වැඩ නොකිරීම රටේම ප්‍රශ්නයක් – ජනපති

වැඩ නොකිරීම රටේම ප්‍රශ්නයක් – ජනපති

රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය වෙනුවෙන් නෙලුම් කුළුණ තැඹිලි වෙයි

අනිසි මිල ගණන්වලට වාහන ගන්න එපා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

ආනවිලුන්දාව සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට සහ බැකෝ ක්‍රියාකරුට ඇප

නිවාස මිලදී ගන්න තිස් වසරකින් ගෙවන්න සහන පොලියට ණයක්

කහපොළ සුරංජි බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට

මංතීරු නීතියේදී යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට ලැබෙන සහනය

වාහන ලියාපදිංචිය පහත වැටෙයි

බෙංගාල බොක්ක ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං

අනාගතය ජයගන්න මඩුවක සිප් සතර හදාරණ උස්වැව දරුවෝ

රස බොජුන් හල් වැසී යන ලකුණු

විනිසුරු තිලිණ ගමගේගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

පොල් මිල ගැන කතා කරන්න පොල් ගසකට නැගුනු රාජ්‍ය ඇමති

*********************************************

වැඩ නොකිරීම රටේම ප්‍රශ්නයක් – ජනපති

(18.09.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම්, ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (17) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැලපෙන මහල් නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බවයි. උතුරේ සුබසාධන කඳවුරුවල වෙසෙන ජනතාවට නිවාස තනා කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් මෙහිදී උපදෙස් ලබා දුන්නා.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි ක්‍රියාශීලි කළ යුතු බවයි.

රට පුරා පවුල් 5,26,000 කට අධික සංඛ්‍යාවකට වැසිකිලි නොමැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවන පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අදාළ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියා ෴

*********************************************

රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය වෙනුවෙන් නෙලුම් කුළුණ තැඹිලි වෙයි

(18.09.2020 – 10:55 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (17) දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය සැමරීම වෙනුවෙන් නෙළුම් කුලුන තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීම සිදුකෙරුනා.

මේ අතර එහි සැමරුම් උත්සවයක් ඊයේ (17) පැවැත්වුනේ කොළඹ කාසල් රෝහලේදයි.

මේ අතර හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය සමරුවේ මෙලෙසින්.

සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින රෝගී සුරක්ෂිතතාව පිළිබද අන්තර්ජාතික දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කෙරුනා.

ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එම දිනය අද සමරනු ලැබුවා.

*********************************************

අනිසි මිල ගණන්වලට වාහන ගන්න එපා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

(18.09.2020 – 11:55 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය නවතා මාස 6 ක පමණ කාලයක් වන අතර වසර 2 ක් පමණ කාලයක් එය ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසනවා.

වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත් ඉහළ මිල ගණන්වලට ඒවා අලෙවි වන බවත් ඔහු කියා සිටිනවා.

රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් නිසා මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති බව පවසන ඔහු මෙය තාවකාලික බවද සඳහන් කළා.

කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙසයි.

එහෙත් මෙම තත්වය මත වාහන වෙළෙන්දන්ගෙන් 40% ක් පමණ බංකොලොත් වී ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පැවසුවේ.

*********************************************

ආනවිලුන්දාව සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට සහ බැකෝ ක්‍රියාකරුට ඇප

(18.09.2020 – 12:24 +0530 – hirunews.lk/sinhala)

රැම්සා සම්මුතිය යටතේ ලියාපදිංචි ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමිය තුළ ඉස්සන් වගා කිරීම සඳහා හෙලි පෙහෙළි කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා (2) අද (18) ඇප මත මුදාහැරුණා.

ඒ ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇප මතයි.

පසුගිය 27 වනදා ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර තිබුණා ෴

+++++++++++++++

(18.09.2020 – 12:39 +0530)

පාර්ලිමේන්තුවේ පළතුරු සැපයුම්කරුගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භෝජනාගාර නිලධාරියා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම භෝජනාගාර නිලධාරියා පළතුරු සැපයුම්කරුගෙන් රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී කඩුවෙල බස් නැවතුම ආසන්නයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය හතරවනදායි.

සැපයුම්කරුගේ පළතුරු ප්‍රතික්ෂේප නොකිරීමටත්, සැපයුම අඛන්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදීමටත් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණා ෴

********************

*********************************************

නිවාස මිලදී ගන්න තිස් වසරකින් ගෙවන්න සහන පොලියට ණයක්

(18.09.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala)

නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් (30) වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසෙන බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී සඳහන් වූවා.

මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22 ක වෙසෙන අවතැන් වූ පවුල් 409 ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබුවා.

රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට (5,26,000) අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි මෙම හමුවේදී කියා සිටියා.

පැරණි මහල් නිවාස සංකීර්ණවල මලාපවාහන පද්ධති නඩත්තු කළයුතුව ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි පණ ගැන්විය යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව ‘සපිරි මහල් නිවාස වැඩසටහන’ යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඉන්දික අනුරුද්ධ මහතා එහිදී ප්‍රකාශ කළා.

සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් එහිදී පෙන්වා දී තිබෙනවා.

*********************************************

කහපොළ සුරංජි බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට

(18.09.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘ධර්මසිරි පෙරේරා’ගේ සහකයෙකු වන ‘කහපොළ සුරංජි’ පිළියන්දල – බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

41 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි (2) මිලිග්‍රෑම් විස්සක් (20) සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇති බව සඳහන්.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවයි.

එමෙන්ම පිළියන්දල ඇතුලු ප්‍රදේශ කිහිපයකට සුපිරි මෝටර් රථවලින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ මෙම පුද්ගලයා කළක් තිස්සේ නිරතව සිට ඇති බවටද හෙළිවී තිබෙනවා.

මේ අතර බණ්ඩාරගම – අටළුගම – මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවන ගංජා ජාවාරමක් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ගොටුකොළ රිෆායි’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේදී ඊයේ (17) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු පහරදීමේ සිද්ධියෙන් පසු බලංගොඩ ප්‍රදේශයට පලාගොස් තිබූ අතර, බලංගොඩ පොලීසියේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට යාමේදී බණ්ඩාරවෙල ප්‍රදේශයට පලාගොස් තිබෙනවා.

ඉන් අනතුරුව බණ්ඩාරවෙල බස් නැවතුම්පල ආසන්නයේ සැරිසරමින් සිටියදී බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීන් පිරිසක් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 6 ක්.

ඔවුන් අතර කාන්තාවන් තුන්දෙනෙකු (3) ද වනවා.

මෙහිදී පොලිස් නිළධාරීන් 4 දෙනෙකු තුවාල ලැබූ අතර, කාන්තා පොලිස් සැරයන්වරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ද ඒ අතර වනවා.

පසුගිය 9 වනදා පොලිසිය සිදුකළ මෙම වැටලීම අතරතුර ‘ගොටුකොළ රිෆායි’ගේ පවුලේ ඥාතීන් මෙම පහරදීම සිදුකර තිබුණා.

පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්ද ඉරා දමමින් පහරදී තිබූ අතර පසුව අවස්ථා දෙකකදී (2) සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුකළද සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ගොටුකොළ රිෆායි’ නැමැත්තා මෙලෙස පලාගිය බව වාර්තාවුණා.

පොලීසිය සඳහන් කළේ ගොටුකොළ රිෆායි මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

*********************************************

මංතීරු නීතියේදී යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට ලැබෙන සහනය

(18.09.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක අවස්ථාවල ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට පොලිස් රථවාහන කොට්ඨාසය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මංතීරු තුනක් (3) සහිත මාර්ගයක යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කිරීමේදී බස් රථ ගමන් ගන්නා වම් පස මංතීරුවට අමතරව මැද මංතීරුවේද ගමන් කළ හැකි බවයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක මහතා සඳහන් කළේ.

පෙරේදා (16) සිට කොළඹ මාර්ග කිහිපයක රථවාහන මංතීරු නීතිය පෙරහුරුවක් ලෙස පොලීසිය ක්‍රියාත්මක කළා.

ඒ අනුව ද්විත්ව මංතීරු සහිත මාර්ගවල වම් පස මංතීරුවේ බස් රථ, ත්‍රිරෝද රථ හා යතුරුපැදි ධාවනය සඳහා අවස්ථාව ලබාදුන් අතර, දකුණු පස මංතීරුව ලබාදෙනු ලැබුවේ මෝටර් රථ සහ වෑන් රථ සඳහායි.

එමෙන්ම වම් පස මංතීරුවේ ගමන් ගන්නා බස් රථයක් යම් නැවතුම්පලක කෙටි වේලාවක් නතර කළද එම මංතීරුවේ ධාවනය වන සෙසු වාහනවලට දකුණු පස මංතීරුව භාවිත කිරීමට අවස්ථාව හිමිවුණේ නැහැ.

මේ හේතුවෙන් අදාළ පෙරහුරුව පැවැත්වූ දින කිහිපයේ එම මාර්ගවල රථවාහන තදබදය තරමක වැඩිවීමක් පෙන්නුම් කළ බව බොහෝ රියදුරන් ප්‍රකාශ කළා.

පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක ප්‍රකාශ කළේ මාර්ගයේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් ඔවුන් සඳහා නව ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කළ බවයි.

*********************************************

වාහන ලියාපදිංචිය පහත වැටෙයි

(18.09.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු මාසයේ මෙරට වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස සියයට 45 කින් පහත වැටී තිබෙනවා.

අගෝස්තු මාසයේදී වාහන 17,493 ක් ලියාපදිංචි කර ඇති අතර, යතුරුපැදි 13,794 ක් සහ ත්‍රිරෝද රථ 206 ක් ලියාපදිංචි කර ඇති බවයි වෙළඳපොල දත්ත මගින් අනාවරණ කෙරෙන්නේ.

එහිදී මෝටර් රථ ලියාපදිංචිය පසුගිය වසරේ අගෝස්තුවේ පැවති ඒකක 2,385 ට සාපේක්ෂව 906 දක්වා පහත වැටීම විශේෂත්වයක්.

මෝටර් රථ ආනයනයට පනවා ඇති සීමාවන් මෙම තත්වයට හේතුව ලෙස සැළකෙනවා.

කෙසේ නමුත් විශාල ප්‍රමාණයේ ට්‍රැක්ටර් ලියාපදිංචිය, පසුගිය වසරේ වාර්තා වූ 183 ට සාපේක්ෂව 428 දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර 2020 වසරේ ජූලි මාසයේ පෞද්ගලික වාහන ආනයනය වියදම 93.6% කින් සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

2019 වසරේ දෙසැම්බර් මාසයට පසු අඩුම මාසික රථවාහන ආනයන වියදම වාර්තා වන්නේ 2020 ජූලි මාසයෙයි.

මීට හේතුව වන්නේ ආනයන සීමා කිරීම බව මහා බැංකුව පවසනවා.

2019 ජූලි මාසයේදී පෞද්ගලික රථ වාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 95.4 ක්.

2020 ජුලි මාසයේ එම වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1 ක්. ඒ අනුව අඩුවීම 93.6 ක්.

2019 ජනවාරි – ජූලි අතර හා 2020 ජනවාරි – ජූලි අතර එම වියදම අඩුවීමේ ප්‍රතිශතය – 33.4% ක්.

මහා බැංකුව කියා සිටින්නේ, වෙ‍ළෙඳ භාණ්ඩ ආනයන වියදම අඩු වීම හමුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන් 2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් වූ බවයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කළ බවද මහා බැංකුව කියා සිටිනවා.

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය අතර, 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ධනාත්මක වර්ධනයක් වාර්තා කළා.

අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයන සීමා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ අපේක්ෂා කළ පරිදි වෙළෙඳ භාණ්ඩ ආනයන පහළ මට්ටමක පැවතුනා.

2020 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණු අතර, එය 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළ ම මාසික ප්‍රේෂණ ප්‍රමාණයයි.

මේ අතර, 2020 වසරේ ජූලි මාසය අවසානය වන විට ඉන්දියානු සංචිත බැංකුව වෙතින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා මූල්‍ය සංවිධානය (SAARCFINANCE) යටතේ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමඟ රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට ශුද්ධ ලැබීම් වාර්තා වීම හමුවේ විනිමය අනුපාතිකය මත වූ පීඩනය ලිහිල් වූ අතර, දළ නිල සංචිත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට ද හැකි වුනා.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් සාපේක්ෂ ව අඩු මට්ටමකින් වුව ද විදේශීය ආයෝජන ගෙවීම් වාර්තා වුනා.

මහා බැංකුව පවසන්නේ 2020 වසරේ ජූලි මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කළ බවයි ෴

*********************************************

බෙංගාල බොක්ක ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං

(18.09.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

එළැඹෙන 20 වනදා වන විට ඊසානදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්සඳහන් කළේ අද (18) සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇති විය හැකි බවයි.

ඒ හේතුවෙන් ලබන 22 වනදා දක්වා එම මුහුදු ප්‍රදේශවෙත යාත්‍රා කිරීමෙන් වලකින ලෙස ධීවර සහ නාවිකා ප්‍රජාව වෙත අනතුරු අඟවා තිබෙනවා.

මේ වන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වත යෙදෙමින් සිටින යාත්‍රා හැකි ඉක්මනනින් වඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

මේ අතර දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවලය මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා ෴

+++++++++

(18.09.2020 – 16:25 +0530)

ඉදිරි පැය 24 ක කාලය තුළ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා නිරිතදිග මෝසම් තත්වය සක්‍රියව පවතින බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) සිට බලාපොරොත්තු වනවා.

සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ක 150 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

විශේෂයෙන් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක 60 ක පමණ තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා වැඩිවිය හැකියි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකියි.

කොළඹ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ක් 60 ක් දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු හෝ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.0 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම්දෙන්නේ ෴

+++++++++++++

(18.09.2020 – 17:24 +0530)

ගිනිගත්හේන නගරය ආසන්නයේදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.

කෙසේවෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය එක්ව කඩා වැටුනු ගස කපා ඉවත් කර ඇති බවයි.

මධ්‍යම කඳුකරයට පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ගස කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් පස්වරු 03:30 සිට 04:30 දක්වා කාලය තුල ගමනාගමනයට බාධා මතුවී තිබුනා.

මේ අතර තවදුරටත් පවතින අධික වර්ෂාව හමුවේ හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවලට පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් එම මාර්ගවල රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම්දෙන්නේ.

මේ අතර අධික වර්ෂාවත් සමග අද (18) පස්වරුවේ කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල එක් වාන් දොරටුව බැගින් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

++++++++++++++

කළුතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට හෙට (19) පස්වරු 05:30 දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා ෴

*********************************************

අනාගතය ජයගන්න මඩුවක සිප් සතර හදාරණ උස්වැව දරුවෝ

(18.09.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

1980 දශකයේ ඉඟිනිමිටිය ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග ඇරඹි ඉහල උස්වැව ධර්මාශෝක විද්‍යාලයේ, පළමු (1) ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා සිසු දරුවන් සිප් සතර හදාරනු ලබනවා.

කෙසේ වුවත් අද වනවිට කිසිදු මූලික පහසුකමක් හෝ නොමැතිවීම හේතුවෙන් මෙහි අධ්‍යාපන කටයුතුවල නිරත දරු දැරියන් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකටයි.

වසර 30 කට පමණ පෙර පාසල ආරම්භයේ ඉදි කළ ගොඩනැගිල්ල හැර වෙනත් කිසිදු ගොඩනැගිල්ලක් මෙතෙක් ඉදි කර නොතිබීමද විශේෂත්වයක්.

අබලන්ව ඇති ගොඩනැගිල්ලේ අධ්‍යාපන කටයුතු හැදෑරීම දැඩි අනාරක්ෂිත බැවින් මව්පියන් මැදිහත්ව තාවකාලික මඩුවක් සකසා දී තිබෙනවා.

ඒ, බලධාරීන් කිසිවෙකුගේ අවධානය යොමු නොවුණු පසුබිමක් තුළයි.

*********************************************

රස බොජුන් හල් වැසී යන ලකුණු

(18.09.2020 – 14:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ හදබිම අධිකාරිය යටතේ ඇති කරන ලද රස බොජුන් අලෙවිසැල් වැසීයාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් එම අලෙවිසැල්වලට සේවා සහ භාණ්ඩ සපයා ජීවිකාව කරගෙන යන විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.

ගන්නෝරුව සහ වැලිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති කළ රස බොජුන්හල්වලින් විශාල පිරිසක් ජීවිකාව කරගෙන ගිය අතර පාරිභෝගිකයන්ගේ කැමැත්ත පරිදි එම අවස්ථාවේදීම කෑම පිළියෙල කර දෙමින් පාරිභෝගික සිත් දිනා ගැනීමට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් හදබිම අධිකාරිය යටතේ පැවති රස බොජුන්හල් සීමාසහිත හදබිම සමූපකාර සමිතිය නමින් ආයතනයක් පිහිටුවා 2019 ජනවාරි 24 වනදා සිට 2024 ජනවාරි 24 වනදා දක්වා පවත්වාගෙන යාමට ගිවිසුමක් යටතේ අවසර ලබා දී තිබුණා.

එසේ වුවද වැලිගම සහ ගන්නොරුව රසබොජුන් අලෙවිසැල්වල ජල සැපයුම සහ විදුලි සැපයුම විසන්ධි කිරීමට කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි එම අලෙවිසැල්වලට භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන් කියා සිටියේ.

%E0%B6%BB%E0%B7%83+%E0%B6%B6%E0%B7%9C%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%93+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

*********************************************

විනිසුරු තිලිණ ගමගේගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

(18.09.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් දිසානායක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (18) වරෙන්තු නිකුත් කළා.

ඒ, නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවෙකු ළඟ තබා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් 5 කට එරෙහිව පවරා තිබූ නඩුවක් අද (18) විභාගයට ගත් අවස්ථාවේදීයි.

නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින දිසානායක නමැති, පොලිස් කොස්තාපල්වරයාට අද (18) සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබුණා.

එහෙත් ඔහු හදිසියේ රෝගාතුරවූ බව පවසමින් ඊයේ (17) පුත්තලම රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.

තීරණාත්මක සාක්ෂිකරුවන් නඩු කටයුතුවලදී හදිසියේ රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (18) අධිකරණයට පෙන්වා දුන්නා.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර සිටියේ අදාළ සාක්ෂිකරු රෝහලෙන් නික්මවූ පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

ඔහු පුත්තලම කොට්ඨාශ ආරක්ෂක ඒකකයේ සේවය කරන්නෙකු වන අතර, නඩුව ඔක්තෝම්බර් 12 වනදා යළි කැඳවීමට නියමිතයි ෴

*********************************************

පොල් මිල ගැන කතා කරන්න පොල් ගසකට නැගුනු රාජ්‍ය ඇමති

(18.09.2020 – 16:13 +0530 – hirunews.lk/sinhala)

පොල්, කිතුල්, තල් සහ රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (18) පොල් ගසකට නැග පොල් මිල පිළිබඳ අදහස් පළකළා.

රාජ්‍ය අමාත්‍යවරයා දංකොටුව ප්‍රදේශයේ පිහිටි සිය ගෙවත්තේ ගසකට නැග මෙලෙස පොල් මිල පිළිබඳ කතා කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අරුන්දික ප්‍රනාන්දු මහතා එහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මේවන විට පොල් මිල ඉහළ ගොස් ඇත්තේ ලෝක වෙළඳපොලේ පොල් ආශ්‍රිත නිශ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් බවයි.

පොල් ගෙඩියක මිල රුපියල් සියයක් (100) දක්වා ඉහළ ගොස් ඇති අතර පොල් කඩන කම්කරුවෙකුට ද ගසකට රුපියල් සියයක් (100) ලබාදිය යුතු බව නැග සිටි පොල් ගසේ ගෙඩි කිහිපයක් කඩා දැමූ ඇමතිවරයා සඳහන් කළා.

පොල් කැඩීමට ද කම්කරුවන් සොයා ගැනීමේ අපහසුතාවක් මතුව ඇති බවයි ඔහු කියාසිටියේ.

කෙසෙවෙතත් පොල් මිල කෙතරම් ඉහළ ගිය ද පොල් රටින් ගෙන්වීමට කටයුතු නොකරන අතර නගරබදව ජීවත්වන ජනතාවට පොල් සහන මිලට ලබාදීමට ඉදිරි දින කිහිපයේදී වැඩපිළිවෙලක් සකස් කරන බවයි අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා සිය වත්තේ පොල් ගසකට නැග තිබුනේ වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් නිෂ්පාදනය කරන ලද යන්ත්‍රයක් ආධාරයෙන්.

එය ඉදිරි දින කිහිපය තුළ හඳූන්වාදීමට ක්‍රියාකරන බව ද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

++++++++++++

පොල් මිල ඉහළ යද්දී – ඉවක් බවක් නොමැතිව කැපෙන පොල්ගස්
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *