පාස්කු කොමිසමේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

පාස්කු කොමිසමේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

කෝප් සහ කෝපා මංගල රැස්වීම් ලබන සතියේ

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 කට බඳවාගැනීම් වැඩි කෙරේ

දේශපාලන පලිගැනීම් ගැන සොයා බලන කමිටුවේ වාර්තාව අගමැතිට

මැලේරියා රෝගීන් 26 ක්

කහ කිලෝ 33,000 ක් රේගුවෙන් පිට කළ රේගු නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

දිඹුලපතන නගරයේ පස්කන්දක් කඩාවැටී ගොඩනැගිලි තුනකට (3) හානි

බස් මංතීරු නීතියට එරෙහි පෞද්ගලික බස් රථ වර්ජනය හකුලා ගනී

හෙරොයින් සමග පානදුරේ මෝස්තර නිරූපණ ශිල්පිණියක් අල්ලයි

සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක්

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම්

වසර 25 ක් පුරා කිසිදු ප්‍රයෝජනයක් නැති ගොඩනැගිල්ල

කොවිඩ් නිසා අසරණ වූ ‘ගෝල්ඩන් මයිල්’

ඇමරිකාවෙන් ශ්‍රී ලාංකිකයන් 18 ක් පිටුවහල් කරයි

*********************************************

පාස්කු කොමිසමේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

(19.09.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බවට පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේ දී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කෙරුණා.

සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මෙම සිද්ධිය අනාවරණය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් හිටපු ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (18) තුන්වන (3) දිනටත් සාක්ෂි ලබා දුන්නේ, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක ලේකම් ධුරය දැරූ හේමසිරි ප්‍රනාන්දු යි.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්ෂක ලේකම් වෙත එවා තිබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා නිසි ලෙස පරිශීලනය කළේ ද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු දිගින් දිගටම පැවසුවේ තමන්ට රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් සෑම වාර්තාවක්ම කිසිදු විශ්ලේෂණයකට භාජනය නොකොට හුදු තොරතුරු පමණක් කොළයකට සීමා කර එවා තිබූ බවයි.

එමඟින් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැතැයි පැවසූ හේමසිරි ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තොරතුරු අවශ්‍යවන්නේ ක්‍රියාත්මක මට්ටමේ සිටින පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට නිසා තමන්ට විශ්ලේෂණය කළ තොරතුරු ලබාදීම සිදුවිය යුතුව තිබූ බවයි.

+++++++++++++++++++++

මෛත්‍රී කිරීමට ගිය දෙයක් ගැන හේමසිරි පාස්කු කොමිසමේදී හෙළිකරයි

(19.09.2020 – 15:34 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බවට පාස්කු ජනාධිපති කොමිසමේ දී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කෙරුණි.

සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මෙම සිද්ධිය අනාවරණය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාව දැනුම්වත් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තෙවැනි දිනටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (18) සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ, රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්ෂක ලේකම් වෙත එවා තිබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා නිසි ලෙස පරිශීලනය කළේ ද යන්නය.

ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු දිගින් දිගටම පැවසුවේ තමන්ට රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් සෑම වාර්තාවක්ම කිසිදු විශ්ලේෂණයකට භාජනය නොකොට හුදු තොරතුරු පමණක් කොළයකට සීමා කර එවා තිබූ බවය.

එමඟින් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැතැයි පැවසූ හේමසිරි ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තොරතුරු අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක මට්ටමේ සිටින පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයට නිසා තමන්ට විශ්ලේෂණය කළ තොරතුරු ලබාදීම සිදුවිය යුතුව තිබූ බවය.

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –
“ඔබ කියන විදියට හරියාකාරව විශ්ලේෂණය කළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය නොදුන්නා නම් ඇයි ඒ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් නොකළේ ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“මට දිගින් දිගටම ලැබුණේ විශ්ලේෂණය නොකරපු වාර්තා වුණාට මං ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන්න ගියේ නැහැ. මොකද ඒ ගැන තේරුම්ගන්න හෝ තවත් තේරුම්කරල දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –
“ඔබ… හිටපු ජනාධිපතිවරයාව අවතක්සේරු කරනවද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“අවතක්සේරුවක් නෙමෙයි ස්වාමීනි. පැහැදිලි කරන්නම් මං. එක්තරා රැස්වීමකදි මං කරපු ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයක් ගැන වටේ හිටපු අය ඇවිත් ජනාධිපතිට බොරු කියල තිබුණා. ඊට පස්සේ විශ්වාසයක් නැහැ කියල මා එක්ක සෘජු සබඳතාවක් තිබුනේ නැහැ. පවුලේ අය කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලා අස්වෙන්න හිටියේ නමුත් ඊට කලින් පාස්කු ඉරිදා මේ අවාසනාවන්ත සිද්ධිය වුණා. ස්වාමීනි, රේඛීය ඇමති හා ලේකම් අතර සුහදතාව නැත්නම් වැඩකරන්න බැහැ..”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –
“ඔය දෙගිඩියාව එහෙමනම් පාස්කු ප්‍රහාරය එල්ලවන තුරුම පැවතුණාද ? ඒකද හේතුවුණේ මේ ආරක්ෂක කටයුතු මඟහැරෙන්න.. ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“අතිශයින් දැඩිව පැවතුනා. දවසින් දවස ඒක වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් කර ගත්තේ නැ මම. මම ලේකම් ලෙස ගොඩක් වැදගත් තීරණ රැසක් ගත්තා. ඒත් ඒ හැම වෙලාවෙම මට කෑගහල ජනපති ඒවා වෙනස් කළා. ලේකම්වරයකු ලෙස මට ඒ වගේ සිද්ධීන් 25 කට 30 කට වගේ මුහුණ දෙන්න වුණා.

එවිට කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ “මේ තනතුර ඔබ කැමැත්තෙන් නේද ඉල්ලා ගත්තේ.?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“මම දන්නේ නැහැ සමහර රෝගාබාධ මිනිස්සුන්ට එනවානේ, එක වෙන්න ඇති දැඩි කැමැත්ත.”

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පූර්ව අනතුරු ඇඟවීම එවකට ජනාධිපතිවරයාට ලබා නොදුන්නේද යන්නයි.

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“මට විශ්වාස කරන්න බෑ කොයිම අවස්ථාවකවත් නිලන්ත මේ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේ නැ කියල. ඒතරම් සුහදතාවක් ජනාධිපති හා නිලන්ත අතර තිබුණා. මීට පෙර බොහෝ අවස්ථාවල මට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගෙන් එන වාර්තා මටත් කලින් ජනාධිපතිට දීලා තිබුණා නිලන්ත විසින්ම. කොහොමත් මෛත්‍රීපාල සිරිසේන මහතාමනේ නිලන්ත ජයවර්ධනව ගෙනැල්ලා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට පත් කළේ. ඔවුන් සුහදව හිටියා ඒ නිසා.”

මෙහිදි හේමසිරි ප්‍රනාන්දු මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 24 වෙනිදා මම ගියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවෙන්න. ඒ වෙනකොට ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර මහතාට කියල තිබුණා, ‘පූජිත්.. ඔයා මේකෙ වගකීම භාර අරන් ඉල්ලා අස්වෙන්න. මම මලල්ගොඩ කමිටුවේ වාර්තාවත් වෙනස් කරවල දෙන්නම්. ඔයා බය වෙන්න එපා. ඔයාට විශ්‍රාම වැටුප, වරප්‍රසාද දීලා සුදුසු රටක තානාපති කමක් දෙන්නම්’ කියල. නමුත් පූජිත් ජයසුන්දර මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මේ යෝජනාවට එකඟවෙලා තිබුණේ නැ.”

“මං ගිහින් එදා කිව්වෙත් එය එසේ නොකළ යුතුයි කියල. මං ඒ ගැන වැඩිය කතාකළෙත් නැ. මං ඇහුවා එතුමාගෙන් ඔබතුමා කියන විදියට මේ ප්‍රහාරය ගැන දැනුම්දුන්නේ නෑ කියන එකට වගකියන්න ඕනේ මමද, නිලන්තද, පූජිත්ද කියල. මං ඊට පස්සෙ කිව්වා නිලන්තනේ ඔබතුමාට ඉතා සමීපව කටයුතු කළේ කියලා. එතකොට කිසිම සද්දයක් නැතුව ජනාධිපතිවරයා නිහඬව බිම බලාගත්තා. මං එතනදි ආයෙත් කිව්වා, ‘ජනාධිපතිතුමා කවදාවත් ලේකම්වරයෙක්ට විනාඩි 10 ක් වත් කතා කරන්න ඉඩ නොදී ඉන්න එපා. එහෙම වුනොත් මේ අමාත්‍යාංශය දුවන්න බැ. මං ඉල්ලා අස්වෙනවා. මගෙන් පස්සෙ එන කෙනෙකුටවත් දවසට පැය භාගයක් හමුවෙලා සාකච්ඡා කරන්න ඉඩ දෙන්න’ කියල. ‘ඔබ ජාතිය අමතා කළ ප්‍රකාශය නිසා මට ආත්ම ගරුත්වය තියාගෙන ඉන්න බැහැ. මම ඉල්ලා අස්වෙනවා’ එහෙම කියල ආචාර කරල ඇවිත් මම ඉල්ලා අස්වීම දැනුම් දුන්නා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –
“ඔබට අප්‍රේල් 20 රෑ නිලන්ත ජයවර්ධන මහත්මයා දැනුම් දුන්නාද ප්‍රහාරය ගැන ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“ඔව්. මට නිලන්ත whatsapp කරල තිබුණා පණිවිඩයක්. ඒකේ තිබුණා ඉදිරි පැය 24 තුළ ප්‍රහාරයක් වෙන්න පුලුවන් කියල. ඒ වෙලාවෙ මං නිලන්තට කිව්වා පොලිස්පති සමඟ සාකච්ඡා කරන්න කියල. මාත් පොලිස්පතිට ඇමතුමක් ගත්තා උපදෙස් දෙන්න. ඒ වෙනකොටත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දෙන ගමන් ඉන්නෙ කියල මට කිව්වා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –
“ඔබ ඇයි එම තොරතුර ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ට නොකිව්වේ.. ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“අපිට ඒ දෙන්නා එක්ක කතාකරන්න තහනම් කරල තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ දෙන්න ඉන්න සාකච්ඡාවකටවත් යන්න එපා කියලයි තිබුණේ.”

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු –
“හේමසිරි ප්‍රනාන්දු මහත්මයා, ඔබ ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍යට කියල තිබුණා.. ‘ගහනව කියල දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියල හිතුවේ නැ’ කියල… ඒ ගැන පැහැදිලි කරන්න.. “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“මං ඒ වෙනකොට පැය 48 ක් විතර නිදිවරල බොහොම තෙහෙට්ටු වෙලා හිටියේ. මොනව කිව්වද කියල මට මතක නෑ ඒ වෙලාවේ ඒ විදෙස් මාධ්‍යවේදීන්ට..”

මෙහිදී ‘අද දෙරණ’ ඔස්සේ විකාශය කළ හේමසිරි ප්‍රනාන්දු මහතා කොච්චිකඩේ දේවස්ථානය අසලදී විදෙස් මාධ්‍යකට ලබාදී තිබූ ප්‍රකාශය ජනාධිපති කොමිසම හමුවේ යළි පෙන්වීමට සැලැස්වුවා.

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –
“හේමසිරි මහත්තයා… ඔබ ඔය කියන පැය 48 ක තෙහෙට්ටුවක් නම් අපිට පෙනුනේ නැ මෙතන. ඔබ හරි ජවයෙන් සහ fresh උත්තරනෙ දුන්නේ..?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
“මට fresh එකක් ආවා අහපු ප්‍රශ්නවලට කේන්ති ගිය නිසා.”

*********************************************

කෝප් සහ කෝපා මංගල රැස්වීම් ලබන සතියේ

(19.09.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

නව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව හෙවත්, කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන අගහරුවාදා (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

එදින (22) පස්වරු 02:30 ට පැවැත්වෙන එම රැස්වීමේදී අදාළ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් අතරින් සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එසේම, රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ පළමු රැස්වීම ද එළඹෙන බදාදා (23) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම කාරක සභාවේ ද සභාපතිවරයා එදිනට තෝරා ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු සාමාජික මන්ත්‍රීවරුන් 22 දෙනෙකුගෙන් සමන්විතයි. රාජ්‍ය සංස්ථා වල සහ රජය යටතේ ඇති වෙනත් ව්‍යාපාරවල මූල්‍ය ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීමේ බලය කෝප් සභාව වෙත හිමිව ඇති අතර, කෝපා සභාවේ කාර්ය භාරය වන්නේ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිලිබද සොයා බැලීමයි ෴

****************

රාජ්‍ය සේවයේ පවතින විෂමතා ඉවත් කරදෙන ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් එහි ප්‍රධාන ලේකම් අජිත්.කේ. තිලකරත්න මහතා පෙන්වා දෙන්නේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නම් පළාත් රාජ්‍ය සේවය ද මධ්‍යම රාජ්‍ය සේවාව යටතට පත් කරන ලෙසයි ෴

*********************************************

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 කට බඳවාගැනීම් වැඩි කෙරේ

(19.09.2020 – 07:22 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 ක් සදහා මේ වසරේ සිසුන් 405 දෙනෙකු වැඩිපුර ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය, රුහුණ, මොරටුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල සදහා මෙලෙස සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

*********************************************

දේශපාලන පලිගැනීම් ගැන සොයා බලන කමිටුවේ වාර්තාව අගමැතිට

(19.09.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පලිගැනීම් ගැන සොයා බලන කමිටුවේ නව සභාපති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඊයේ (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා.

මීට පෙර එම කමිටුවේ සභාපතිවරයා ලෙස දැනට කතානායක ධුරයේ කටයුතු කරන මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉන් අනතුරුව එම තනතුරට පත් කළා.

මේ වනවිට මෙම කමිටුවට අභියාචනා 6952 ක් ලැබී ඇති අතර, ඉන් 2365 ක්ම කමිටුවට ඍජුව ලැබුණු ඒවායි.

2015 සිට 2019 කාල සීමාව දක්වා රාජ්‍ය සේවයේ සිදුවූ දේශපාලන පලිගැනීම් සොයා බැලීම් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.

ඒ අනුව, අදාළ කමිටුවේ මූලික වාර්තාව ද අග්‍රාමාත්‍යවරයාට භාරදී තිබෙනවා.

මේ අතර, රජයේ ඉඩම් වල කළුගල් කැණීම් පිළිබද කමිටු වාර්තාව ද අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා. ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්.හේරත් මහතා ඇතුළු 12 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි.

ඒ අනුව, කළුගල් කැණීම් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයින්ගේ හිග බදු මුදල් සහනදායි ක්‍රමවේදයක් යටතේ ගෙවීමට හැකිවන පරිදි සංශෝධන ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා ෴

*********************************************

මැලේරියා රෝගීන් 26 ක්

(19.09.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මේ වසර තුළ දිවයිනෙන් හමුවූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (18) දිනයේ අයි.ඩී.එච්. රෝහලේදී තවත් මැලේරියා රෝගියෙකු හදුනා ගැනීමත් සමගයි.

පසුගිය 11 වනදා දිවයිනට පැමිණි 51 හැවිරිදි යුක්රේන ජාතිකයෙකු මෙලෙස මැලේරියා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔහු මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සදහන් කළා.

පසුගිය වසරේ මෙම කාලය වනවිට මෙරටින් මැලේරියා ආසාදිතයින් 35 ක් වාර්තා වී තිබුණා. මේ වසරේ දැනට වාර්තා වී ඇත්තේ මැලේරියා ආසාදිතයන් 26 දෙනා අතුරෙන් 10 දෙනෙකුම හමුවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සළකනු ලබන්නේ ෴

*********************************************

කහ කිලෝ 33,000 ක් රේගුවෙන් පිට කළ රේගු නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(19.09.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස කහ කිලෝ 33,000 ක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු (2) බ්ලූමැන්ඩල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට ඊයේ (18) දිනයේදී පුද්ගලයින් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

මීට අමතරව කහ තොගය සහිත කන්ටේනර් තුනක් (3) සහ ලොරි හතක් (7) ද කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදී පොලිස් භාරයට ගෙන තිබූ අතර, වීදුරු ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවටයි වාර්තා වුණේ ෴

+++++++++++

බස්නාහිර පළාත තුළ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 401 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ බස් නැවතුම්පලවල්, දුම්රිය ස්ථාන, සුසානභූමි වැනි ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කරන්නන් ඉලක්ක කරගනිමින් මෙම වැටලීම සිදුකළ බවයි.

ඒ අනුව ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 65 යි මිලිග්‍රෑම් 371 ක්, ගංජා ග්‍රෑම් 210 යි මිලිග්‍රෑම් 510 ක්, අයිස් ග්‍රෑම් 26 යි මිලිග්‍රෑම් 70 ක්, නීතිවිරෝධී මත්පැන් බෝතල් 421 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

++++++++++++

ගංජා කිලෝග්‍රෑම් දෙකක් (2) ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බොරැල්ල බේස්ලයින් මාර්ගයේ දුම්රිය හරස්මාර්ගය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

++++++++++++

ගම්පහ ප්‍රදේශ කිහිපයක පාරිභෝගික අධිකාරිය සිදුකරන ලද වැටලීම් කිහිපයකදී මිල ප්‍රදර්ශනය නොකර සහල්, ධාන්‍ය සහ කිරිපිටි විකිණීම සහ කල් ඉකුත් වූ ආහාර විකිණීමේ චෝදනාවලට මත වෙළදසැල් හිමියන් 12 දෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ, ගනේමුල්ල, කිරිදිවිට, බෙම්මුල්ල, අමුණුගොඩ ඇටිකෙල්ගල්ල සහ වැලිවේරිය යන ප්‍රදේශවලින් මෙම වෙළදසැල් හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 5000 බැගින් රුපියල් 60,000 ක දඩ නියම කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා මහතා නියෝග කළේ ෴

++++++++++++++

සිරගතව සිටින පාතාල කල්ලියේ සාමාජිකයෙකු යොදා ගනිමින් කුරුවිට බන්ධනාගාරයේ අධිකාරීවරයා ඝාතනය කිරීමට බන්ධනාගාර නියමකවරයෙකු කුමන්ත්‍රණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා ෴

*********************************************

දිඹුලපතන නගරයේ පස්කන්දක් කඩාවැටී ගොඩනැගිලි තුනකට (3) හානි

(19.09.2020 – 10:54 +0530 – hirunews.lk/sinhala)

හැටන් – දිඹුලපතන නගරයේ පස් කන්දක් කඩාවැටීමෙන් නිවාස දෙකකට (2) සහ වෘත්තිය සමිති කාර්යාල ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබෙනවා.

දින කිහිපයක සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, එම ස්ථානයේ සිටි පිරිස් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

*********************************************

බස් මංතීරු නීතියට එරෙහි පෞද්ගලික බස් රථ වර්ජනය හකුලා ගනී

(19.09.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

බස් මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල සඳුදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඊයේ (18) දිනයේ තදබදයකින් තොරව බස් රථ ධාවනය කිරීමට අවස්ථාව හිමිවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹ තිබෙනවා.

බස්නාහිර පළාතේ මාර්ග 4 ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුව ඊයේ (18) අවසන් වුණා.

බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුව ආරම්භ කිරීමෙන් පසු පසුගිය 15 වැනිදා පොලිසිය නිවේදනය කළේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි බස් රථ සඳහා වෙන්කර ඇති මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු බවටයි.

ඒ අනුව බස් රථ, ත්‍රී රෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කිරීමට රියදුරන් කටයුතු කල අතර පසුව ඇති වූ තදබදය නිසා රියදුරන් පීඩාවට පත්ව සිටිනු මෙලෙස දැක ගත හැකිවුණා.

මෙම මංතීරු නීතිය සම්බන්ධයෙන් හිරු වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා.

++++++++++++++++

දිවයින පුරා ඊයේ (18) රාත්‍රි අටේ (8) සිට අද (19) අලුයම 4 දක්වා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී බීමත් රියදුරන් 249 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 3,106 ක් ඇතුලු නඩු 3,355 ක් ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම වාහන 249 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

++++++++++++++++

(19.09.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම අතර ලොරි රථයක් පෙරළී ඇති බව පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් මාතර දෙසට යන එක් මංතීරුවක් වසාදමා තිබෙනවා ෴

*********************************************

හෙරොයින් සමග පානදුරේ මෝස්තර නිරූපණ ශිල්පිණියක් අල්ලයි

(19.09.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පදිංචි මෝස්තර නිරූපණ ශිල්පිණියක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් 3,25,000 ක්, පවුම් 6 ක රන් භාණ්ඩ, ජංගම දුරකථන 6 ක්, හෙරොයින් පැකට් කිරීම සඳහා භාවිත කළ තරාදියක් සමග සැකකරුවන් තිදෙනෙකු (3) ගල්කිස්ස – කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි පළමු සැකකරු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු අනුව අනෙක් සැකකරුවන් දෙදෙනා (2) ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය අලෙවි කළ අය බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් අවුරුදු 21, 34 සහ 35 යන වයස් සීමාවල පසුවන බඩෝවිට, දෙහිවල සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් කුලී නිවසක රැඳී සිට මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

මෙම සැකකරුවන් සතු දේපළ සහ බැංකු ගිණුම් පිළිබඳ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව අධික ලෙස හෙරොයින් සඳහා ඇබ්බැහි වී සිටි අඹුසැමි යුවළක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව පානදුර ප්‍රදේශයේ ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිණියක් බව සඳහන්.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරු අනුව පානදුර සිට දෙහිවල දක්වා සංවිධානාත්මක ලෙස හෙරොයින් අලෙවි කරන පුද්ගලයින් දෙදෙනෙකු (2) උපායදූතයෙකු මාර්ගයෙන් වලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින් දෙදෙනා (2) දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්, ජංගම දුරකථන 6 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව සැලකෙන මුදල්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී හෙරොයින් ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු (2) හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 20 ක් වන සැකකරුවන් දෙදෙනා (2) සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

කොස්ලන්ද – ඌරම – කරපිංචා රක්ෂිතයේ අක්කර 20 ක භූමි ප්‍රදේශයක පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් (2) වටලා සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොස්ලන්ද හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගාල්ල සහ වටරැක ප්‍රදේශවලදී හෙරොයින් සහ කේරළ ගංජා සමග පුද්ගලයින් 6 දෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් වයස අවුරුදු 23 සහ 45 අතර වයස් සීමාවල පසුවනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව බොරැල්ල පොලීසියේ නිලධාරීන් සමග එක්ව සිදුකළ වැටලීමකදී බේස්ලයින් පාර හරස් මාර්ගයේදී 30 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 3 කට අධික ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළා.

පොලීසියට ලද තොරතුරක් මත අලව්ව – උරුලෑමුල්ල ප්‍රදේශයේදී විදේශීය රටක නිපදවූ පිස්තෝලයක් සහ ඊට උණ්ඩ පතරොම් 4 ක් සමග 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ප්‍රදේශයේ පෙදරේරුවෙකු වන බවද පොලීසිය සඳහන් කළා.

+++++++++++++++++

හෙරොයින් ග්‍රෑම් 64 යි මිලිග්‍රෑම් 800 ක් සමඟ කාන්තාවක් ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය 225 වත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අද (19) උදෑසන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

24 හැවිරිදි සැකකාරිය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය අද (19) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

*********************************************

සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක්

(19.09.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි සමාරම්භක උත්සවය අද (19) ගල්කිස්ස වෙරළතීරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් මෙවර අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සමරනු ලබන්නේ ‘නිකසල සයුරක් පිරිසිදු වෙරළක්’ යන තේමාවෙන්.

එහි සමාරම්භක උත්සවයට එක් වූ අග්‍රාමාත්‍යවරයා ජගත් සාගර දිනයට සමාගාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන් සඳහන් සහතික පත්‍ර ප්‍රධානය කළා.

සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා සිදුකළ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍යතුමා අතින් සමරු තිළිණයක්ද පිරිනැමුණා.

වෙරළ පවිත්‍රතා දිනය සමරමින් මෙම සතිය පුරා දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර ඒ යටතේ පවිත්‍රතා වැඩසටහන් 70 ක් පමණ සිදුකිරීමට නියමිතයි.

*********************************************

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම්

(19.09.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ වැසි තත්ත්වය හේතුවෙන් මාර්ග යටවීම් සහ නායයෑමේ සිද්ධින් වාර්තාවනවා.

දිඹුලපතන නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකකට (2) සහ ගොඩනැගිල්ලකට හානි සිදු ව තිබෙනවා.

සබරගමුව සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වල අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි දිස්ත්‍රික් අපදා කළමණාකරන කාර්යාල සඳහන් කළේ.

ඊයේ (18) පස්වරුවේ මධ්‍යම කදුකරය සහ දිවයිනේ නිරත දිග කොටසට ඇදහැලුණු දැඩි වර්ෂාපතනයෙන් ප්‍රදේශ කිහිපයක ගස් කඩා වැටීම නිසා විදුලිය විසන්ධිවීමේ සිද්ධින් වාර්තා වු බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

පවතින වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය අද (19) පස්වරු 6 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එසේම කළු ගගේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුරය සහ මිල්ලකන්ද අවට ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තයේ ජල කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ සුගිෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේ.

වාරි ජලාශවල ද ජල මට්ටම සියයට 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොත්මලේ ජලාශයේද වාන් දොරටු දෙකක් (2) ඊයේ (18) රාත්‍රියේ සිට විවෘත කරනු ලැබුවා.

මේ අතර, දිවයින වටා මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර ඉහළ යා හැකි බැවින් කුඩා ධීවර යාත්‍රාවලින් මුහුදු ගිය ධීවරයන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම ඊයේ (18) රාත්‍රියේ සිට අද (19) පෙරවරුව දක්වා වනවිට වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 151 වාර්තාවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.

*********************************************

වසර 25 ක් පුරා කිසිදු ප්‍රයෝජනයක් නැති ගොඩනැගිල්ල

(19.09.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ජනතා බදු මුදල් වැය කරමින් ඉදි කළ ගොඩනැගිල්ලක් වසර 25 ක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා ඇති පුවතක් පිළිබඳවයි, අද (19) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

1969 වසරේ අප්‍රේල් මස 22 වැනිදා පස්සර, මඩොල්සිම, කිතුල්කැලේ ප්‍රදේශයේ මෙම පේෂ කර්මාන්ත ශාලාව විවෘත කෙරෙන්නේ, එවක ස්වදේශ කටයුතු ධුරය දැරූ විජයානන්ද දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉන් අනතුරුව මෙරට ආර්ථිකයේ ප්‍රගමනයට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ රැකියා ගැටලුවටද මෙම කර්මාන්ත ශාලාව හරහා සැලකිය යුතු දායකත්වයක් හිමිවුණා.

කෙසේ වෙතත්, 1995 වසරේදී මෙහි සියලුම නිෂ්පාදන කටයුතු ඇණහිටින්නේ එහි රැකියාව කළ 100 කට ආසන්න පිරිසද අසරණ කරමින්.

*********************************************

කොවිඩ් නිසා අසරණ වූ ‘ගෝල්ඩන් මයිල්’

(19.09.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත නාමයක් වන ‘ගෝල්ඩන් මයිල්’ හි වත්මන් තත්ත්වය මේ වනවිට ඉතා කනගාටුදායක තත්ත්වයට පත්ව තිබෙනවා.

ඒ, කොවිඩ් 19 වසංගතයෙන් එල්ල වූ බලපෑම හේතුවෙන්.

බේරුවල, මොරගල්ල, අලුත්ගම, බෙන්තොට ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවති සංචාරක පාරාදීයක් වන ‘ගෝල්ඩන් මයිල්’ හි තත්ත්වය සොයා බැලීමට අප එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

සංචාරක ව්‍යාපාරය මගින් පමණක් සාමාජිකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඍජුව හා වක්‍රව සිය ජීවනෝපාය සරි කරගත්තා.

කෙසේ වෙතත්, මෙම පිරිස පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතයත් සමග සංචාරකයින්ගේ පැමිණීම නැවති යාමෙන් පසු තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි.

මීට පෙර මුහුණ දීමට සිදුවූ සුනාමි ව්‍යසනය සහ පාස්කු ප්‍රහාරය වැනි ව්‍යසනවලදී තම කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත්වුවත් මේ වනවිට එවැනි සහනයක් පිළිබඳව කාලවකවානුවක් හෝ කීමට නොහැකි බවද ඔවුන් පවසනවා.

කුඩා හා මහා පරිමාන සංචාරක හෝටල්, සංචාරක මග පෙන්වන්නන්, කුලී රථ රියැදුරන්, හස්ත කර්මාන්තකරුවන් ආදී ක්ෂේත්‍ර රැසක රැකියා මෙම කලාපය හරහා නිර්මාණය වී තිබුණත් අද වනවිට ඒවාට අත්ව ඇති ඉරණමයි ‍මේ.

‘ගෝල්ඩන් මයිල්’ හි කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම වන්නේ රට යථා තත්ත්වයට පත්ව විදෙස් සංචාරකයින් නැවත පැමිණෙන තෙක් අවශ්‍ය යටිතල පහසුකම් සලසා දේශීය සංචාරකයින්ට මෙහි පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

*********************************************

ඇමරිකාවෙන් ශ්‍රී ලාංකිකයන් 18 ක් පිටුවහල් කරයි

(19.09.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

වලංගු වීසා කාලය ඉක්මවා ඇමරිකාවේ රැඳී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ (18) දිවයිනට පැමිණියා.

ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා පැමිණි කෙන්යානු ගුවන් සේවයේ 228 දරණ යානයෙන් ඊයේ (18) රාත්‍රී 11:30 ට ඔවුන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

දින 21 ක නිරෝධායනයෙන් අනතුරුව මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *