නීතිවිරෝධී ලෙස වාහන උකසට ගන්නා ස්ථානයක් – ‘අද දෙරණ උකුස්සා’ගේ හෙළිදරව්වක්

නීතිවිරෝධී ලෙස වාහන උකසට ගන්නා ස්ථානයක් – ‘අද දෙරණ උකුස්සා’ගේ හෙළිදරව්වක්

රාජගිරියේ සිදුවු අනතුරක් – CCTV දර්ශන සහිතයි

අමීර් අලී පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනට සම්පත් දායකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක්

පාස්කු ප්‍රහාරයෙන් වසර එකහමාරකට පසු විවෘත වූ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන අවන්හල

හරීන්, කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ගත යුතුයි – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ජනපති අතින් විවෘත වූ මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය

‘හිරු සී.අයි.ඒ.’ හෙළිකරන, සෝමාවතිය වන විනාශය

20 ගැන පක්ෂ විපක්ෂ අදහස්

මංතීරු නීතිය තවත් පුළුල් වේ – දඩ අය කිරිම සතියකින් කල් යයි

බිම වැටී සිටියදී සොයාගත් උකුස්සා

දිගන භූ චලන ගැන ඉදිරි විමර්ශනවලට පේරාදෙණිය සහ මොරටු සරසවි

*********************************************

නීතිවිරෝධී ලෙස වාහන උකසට ගන්නා ස්ථානයක් – ‘අද දෙරණ උකුස්සා’ගේ හෙළිදරව්වක්

(18.09.2020 – 20:47 +0530 – sinhala.adaderana.lk)

ෆිනෑන්ස් සමාගම්වල වාරික නොගෙවන වාහන නීතිවිරෝධී අයුරින් උකසට ගෙන තබාගන්නා ස්ථානයක් පිළිබඳ ව ‘අද දෙරණ උකුස්සා’ට අනාවරණය විය.

ෆිනෑන්ස් සමාගම් හරහා මිලදීගෙන වාරික නොගෙවන පුද්ගලයින්ගේ වාහන නීතිවිරෝධී අයුරින් මෙම ආයතනය විසින් උකසට ලබාගෙන තබාගනී.

එම ස්ථානය පිහිටා ඇත්තේ මාකොළ ප්‍රදේශයේ.

‘අද දෙරණ උකුස්සා’, එහි ඇති වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් එම ස්ථානයට ළඟාවිය.

දැඩි ආරක්ෂාව යටතේ එහි වාහන රඳවා තිබූ අයුරු දක්නට ලැබුණි.

යතුරුපැදි, මෘත ශරීර රැගෙන යන කාර්, ගිලන් රථ සහ අධි සුඛෝපබෝගී මෝටර් රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන මෙහිදී දැකගත හැකි විය.

එහි සිටි සේවකයෙකු පැවසුවේ ෆිනෑන්ස් වාරික ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයින් විසින් වාහන, මෙහි උකසට තබා ඇති බවය.

නමුත් එසේ උකස් තැබූ වාහනයක් යළි ලබාගැනීම පහසු නොවන බව වාර්තා වේ. ඒ වාහනයේ හිමිකරුට කොන්දේසි රැසකට යටත්වීමට සිදුවන බැවිනි.

*********************************************

රාජගිරියේ සිදුවු අනතුරක් – CCTV දර්ශන සහිතයි

(18.09.2020 – 15:07 +0530 – sinhala.adaderana.lk)

අද (18) උදෑසන රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු, ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක් හා දරුවෙක් තුවාල ලබා ඇත.

‘අද දෙරණ’ වාර්තාකරු පවසා සිටියේ, ඔවුන් තිදෙනා (3) ම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

කෙසේ වෙතත් එම අනතුර සිදුවන ආකාරය අසල තිබු සීසීටීවි කැමරාවක සනිටුහන් ව තිබේ.

එහි දැකවෙන ආකාරයට මාර්ගයේ ඉදියට පැමිණෙන ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයේ දකුණු පසට හැරෙන අතර, එහිදී ඉදිරියෙන් පැමිණෙන බස් රථයේ ගැටෙයි.

අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරයි.

***************************************

[ https://www.youtube.com/channel/UC8zkTJglDG3JOPb0GNaOlYQ/ ]

++++++++++++++

YouTube – Sacred Soul Awakening

*********************************************

අමීර් අලී පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට

(19.09.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

වගකීම භාර ගන්නේ නම්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට මුල් වරට පත් කෙරුණු මළල්ගොඩ කමිටුවේ වාර්තාව ද වෙනස් කර, එවක පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂා කිරීමට හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම්දී ඇතැයි ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ ඊයේ (18) කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

මේ අතර, ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියා.

පෙරවරු 09:30 ට පමණ එම පොලිස් ඒකකයට පැමිණි හිටපු මන්ත්‍රීවරයා පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

*********************************************

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනට සම්පත් දායකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක්

(19.09.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඊයේ (18) රාත්‍රි අටේ (8) සිට අද (19) අලුයම 4 දක්වා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී බීමත් රියදුරන් 249 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 3,106 ක් ඇතුලු නඩු 3,355 ක් ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම වාහන 249 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, හෙරොයින් ග්‍රෑම් 64 යි මිලිග්‍රෑම් 800 ක් සමඟ 24 හැවිරිදි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය 225 වත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අද (19) උදෑසන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඇය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ අතර පොලිසිය විසින් උපදේශන ක්‍රමවේදය ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා දියත් කෙරෙන නව වැඩපිළිවෙලේ සම්පත් දායකයින් පුහුණු කිරීමේ වැඩමුළුව අද (19) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේදී ආරම්භ වුණා.

ඊට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා.

මේ අතර, විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ ඒ සඳහා භාවිත කරන පතොරම් දෙකක් මෙන්ම, මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු කිරිදිවැල, උඩවලව, සහ පරයනාලන්කුලම් යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණා ෴

*********************

(20.09.2020 – 07:21 +0530)

ආවා කල්ලියෙන් වෙන්වූ ධනුරොක් නැමති කල්ලියේ ප්‍රධානියා ඇතුලු සැකකරුවන් 9 දෙනෙකු යාපනය – මානිප්පායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මානිප්පායි හි පිහිටි පෞද්ගලික බැංකුවක් අසළ සැකකටයුතු ලෙස රැඳී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන මානිප්පායි පොලීසියට භාරදී ඇති බව සඳහන්.

මෙහිදී අත්අඩංගුවට ගත් ධනුරොක් කල්ලියේ ප්‍රධානියාට මිනිසුන් බියවැද්දීම සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද පවතින අතර, යළි මානිප්පායි ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව බියට පත්වී සිටි බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා ෴

*********************************************

පාස්කු ප්‍රහාරයෙන් වසර එකහමාරකට පසු විවෘත වූ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන අවන්හල

(19.09.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් වැඩිම හානි සිදුවූ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන අවන්හල ඊයේ (18) යළි විවෘත කළා.

ප්‍රහාරයෙන් සති දෙකකට (2) පසු ෂැංග්‍රිලා හෝටලය විවෘත කෙරුණ ද, බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූ ප්‍රධාන අවන්හල මෙලෙස යළි විවෘත කෙරුණේ වසර එකහමාරකට (1½) ආසන්න කාලයකට පසුවයි.

ඒ අනුව, නව මුහුණුවරකින් මෙම නව තරු පන්තියේ ආපනශාලාව හෙට (20) සිට මහජනයාට විවෘත වනු ඇති.

*********************************************

හරීන්, කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ගත යුතුයි – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

(19.09.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවවලින් අදත් (19) දැඩි විරෝධයක් එල්ල වුණා.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් සහ කතෝලික ජනතාවගෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ කතෝලික පල්ලියද පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

මෙම ප්‍රකාශයට ඊයේ (18) දිනයේත් දැඩි විරෝධයක් එල්ල වූ අතර, රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ ඔහු මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි.

මේ අතර, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පස්වරුවේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් බැහැදුටු අවස්ථාවේදී ද උන්වහන්සේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ජනතාව ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි.

මේ අතර, මහා සංඝරත්නය ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කළා.

*********************************************

ජනපති අතින් විවෘත වූ මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය

(19.09.2020 – 20:30 +0530 – hirunews.lk/sinhala)

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඇරයුමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) පස්වරුවේ එක්වුණා.

ඉන්පසුව මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේදී ජනාධිපතිවරයා සිසු දරු දැරියන්ගේ ප්‍රදේශවාසීන්ගේ ගැටලු කිහිපයකට විසඳුම් ලබාදුන්නේ මෙලෙසින්.

*********************************************

‘හිරු සී.අයි.ඒ.’ හෙළිකරන, සෝමාවතිය වන විනාශය

(19.09.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණෙයන් පසුව අලි මංපෙත් පවා අවහිරවන පරිදි වනාන්තර වනසමින් බඩඉරිඟු වගාවක් සඳහා සිදුකළ ඉඩම් සැකසීමක් තාවකාලිකව නතර කිරීමට මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පියවර ගත්තා.

‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙරට ජාතික පාරිසරික පනත අමු අමුවේ උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් විසින් බඩඉරිඟු වගාවක් සඳහා මෙම ඉඩම් නිදහස් කර ඇත්තේ නීතිවිරෝධීව බවයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම භූමිය පිහිටා ඇත්තේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය, ත්‍රිකෝණ මඩුව රක්ෂිතය අතර කලාපය තුලයි.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත ප්‍රකාරව හෙක්ටයාර් 01 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සදහා යොදා ගන්නේ නම් ඒ සදහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබාගත යුතු වනවා.

එහෙත් පුදුම සහගත කරුණ වන්නේ මහවැලි අධිකාරියේ නිලධාරීන් මෙම පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් මහා පරිමාන සහල් මෝල් හිමියෙකුට බඩ ඉරිගු වගාවක් සදහා බව පවසමින් වනාන්තර ඉඩම් අක්කර 100 ක් නිදහස් කිරීමයි.

විල්පත්තුව අවට වන කලාපය විනාශ කළ ආකාරයටම බැකෝ යන්ත්‍ර යොදා වන කලාපය විනාශ කර තිබු අයුරු ගුවනට දිස්වන අයුරුයි මේ.

මහවැලි නිලධාරීන්ගේ සහයෙන් නීති විරෝධීව නිදහස් කර ගත් මෙම වනාන්තර ඉඩම්වලින් කපාදමන දැවවලට කළුතෙල් ආලේප කර තිබුණේද වනය තුලදීමයි.

අදාල සහල් මෝල් හිමියා විසින් දහයියා ඇතුළු අපද්‍රව්‍යද මහා පරිමානයෙන් වනාන්තර භූමියට බැහැර කර තිබුණා.

වන බිම වැනසී යන පරිදි දහයියා පුළුස්සා ඉතිරිවන අළු කඳු වශයෙන් මෙලෙස තැනින් තැන ගොඩගසා තිබෙනවා.

සෝමාවතී ජාතික උද්‍යාන භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ වාසල මහතා මෙම විනාශය පිළිබද මෙලෙස අදහස් පළ කළා.

“සෝමාවතී ජාතික උද්‍යානය, ජල ගැළුම් නිම්නය සහ ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිටින අලි මාදුරුඔය ජාතික උද්‍යානය දක්වා ගමන් කරන්නේ මේ මංතීරුව ඔස්සේ.

වන අලින්ගේ මංපෙත් අහිමිවීම තුලින් අලි මිනිස් ගැටුම උග්‍ර වෙනවා.

ඒ නිසා අනිවාර්යෙන්ම මේක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ අලි මංපෙතක් කරන්න ඉතාම වැදගත් ප්‍රදේශයක්.

මේක අත්‍යාවශ්‍යයි.”

හිරු සී.අයි.ඒ.හරහා මේ පිළිබද පසුගිය 15 වැනිදා හෙළි කිරීමත් සමග මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

මේ අතර සෝමාවතිය අවට වන කලාපයට සිදුව ඇති මෙම හානිය පිළිබඳව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

‘හිරු සී.අයි.ඒ.’ මාධ්‍ය කණ්ඩායම කලේ නිර්භීත කාර්යයක්. මේවා මුදානොගත් ප්‍රදේශ වගේ පෞද්ගලික ආරක්ෂාව යොදාගෙන විනාශ කරනවා.

අපි ඒ පිළිබදව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා විදිමත් විමර්ශනයක් කරලා නීතියෙන් කටයුතු සිද්ධ කරන්න කියලා.

*********************************************

20 ගැන පක්ෂ විපක්ෂ අදහස්

(19.09.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු විශාල පිරිසක් විපක්ෂය සමඟ එක්වීමට නියමිත බව ජන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර සිටියා.

ඒ මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමු වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් තුනෙන් දෙකකට වැඩි බහුතරයකින් එය සම්මත කර ගැනීමට හැකිවන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.

ප්‍රවහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ප්‍රවහන අමාත්‍යවරයා එහිදී කියා සිටියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවම ඉදිරිපත් කර නොමැති බවත් ඉදිරිපත් කර ඇත්තේ 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ සංශෝධනය බවත් ය.

මේ අතර, විපක්ෂයයේ අභ්‍යන්තර ප්‍රශ්න වසා ගැනීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය භාවිතා නොකරන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල්රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයේ ඇති අඩු පාඩු සකස් කර එය යළි ශක්තිමති කරනවා වෙනුවට ඉවත දැමීම අනුමත කළ නොහැකි බවයි.

*********************************************

මංතීරු නීතිය තවත් පුළුල් වේ – දඩ අය කිරිම සතියකින් කල් යයි

(20.09.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

හෙටින් (21) ආරම්භ වන සතියේ, මංතීරු නීතිය මුළු කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය වන අයුරින් සිදුකිරීමට මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.

බස්නාහිර පළාත් රථවාහන සහ නාගරික රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා කියා සිටියේ පසුගිය සතියේ මංතීරු නීතිය ක්‍රියාත්මක වූ කොළඹ අවට ප්‍රදේශ කිහිපය හැකිතාක් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් පසුගිය සතියේ මංතීරු නීතිය ක්‍රියාත්මක වුණා.

ඒ අනුව, කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මෙය ක්‍රියාත්මක වූ අතර, පළමුවන මංතීරුවෙහි බස් රථ පමණක් ධාවනය කිරීමටයි මීට පෙර කටයුතු කළේ.

පසුව, එලෙස බස් රථ පමණක් ධාවනය වූ මංතීරුවේ බස් රථවලට අමතරව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ද ධාවනය කරවීමට ඉඩ පහසුකම් සැලසූ අතර, ඊට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම මාර්ග තදබදයට මුහුණපෑ බොහෝ පිරිස් විරෝධය ද පළ කළා.

කෙසේ වෙතත්, ඊයේ (19) සහ අද (20) දිනයේ මංතීරු නීතිය ක්‍රියාත්මක නොවූ අතර යළි හෙට (21) සිට මංතීරු නීතිය පෙර පරිදිම කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, මංතීරු 4 ක් හෝ 3 ක් පවතින මාර්ගවල පළමුවන (1) මංතීරුවෙහි බස් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ගමන් කළ යුතු අතර දෙවන (2) මංතීරුවෙහි ද සැහැල්ලු වාහනවලට අමතරව ත්‍රිරෝද රථවලට මෙන්ම යතුරුපැදිවලට ද ගමන් කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, අනෙකුත් සියලු වාහන තුන්වන (3) මංතීරුව භාවිත කළ යුතු අතර ත්‍රිරෝද රථ, බස් රථ හෝ යතුරුපැදිවලට තුන්වන (3) මංතීරුව භාවිත කිරීමට හැකියාවක් නැහැ.

මේ අතර, හෙටින් (21) ආරම්භ වන සතියේ ක්‍රියාත්මක මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින්ට දඩ මුදල් අය කිරීම සිදුනොවන බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින්ට උපදෙස් ලබා දීම සඳහා ලබන ඉරිදා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද පොලීසිය කියා සිටියා.

කෙසේ වෙතත්, හෙටින් (21) ආරම්භ වන සතියෙන් පසුව පැමිණෙන සතියේ සිට මංතීරු නීතිය කඩ කරන පුද්ගලයින්ගෙන් රුපියල් 2000 ක දඩ මුදලක් අය කිරීමටයි මේ වනවිට කටයුතු සූදානම් කර ඇත්තේ.

එමෙන්ම, මෙම මංතීරු නීතිය ක්‍රමානුකූලව කොළඹ නගරයෙන් පිටත නගරවලට ද රැගෙන යාමට කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි බස්නාහිර පළාත් රථවාහන සහ නාගරික රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර කියා සිටියේ.

එමෙන්ම, මාර්ග ආශ්‍රිතව සිදුවන අනතුරු සැලකිල්ලට ගෙන දුර ගමන් සේවා බස් රථ සඳහා ද වම් මංතීරුව පමණක් භාවිත කිරීමට අවශ්‍ය නීති සකස් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++

මාකුඹුර, මහරගම ඇතුළු ස්ථාන කිහිපයක් මූලික කර ගනිමින් ලබන සතියේ සිට ‘පාර්ක් ඇන්ඩ් ඩ‍්‍රයිව්’ වැඩසටහන ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

මෙම වැඩසටහන යටතේ මෝටර් රථයෙන් පැමිණ එය දුම්රිය හෝ බස් නැවතුමක් අසල ගාල් කර පොදු ප්‍රවාහන සේවාවක් උපයෝගි කර ගනිමින් රාජකාරි සඳහා පැමිණිය හැකියි.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර වේගසීමා ඉවත් කර දුම්රිය නියමිත වේලාවට ගමන් කරවීමට කටයුතු කරන බවයි ෴

*********************************************

බිම වැටී සිටියදී සොයාගත් උකුස්සා

(20.09.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ආබාධයක් හේතුවෙන් වැටී සිටි දුර්ලභ ගනයේ ‘කොණ්ඩ උකුස්සකු’ වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ගල්කිරියාගම මානේරුව ප්‍රදේශවාසියකු විසින් කළ දැනුම්දීමකට අනුවයි මෙම උකුස්සා ගල්කිරියාගම වනනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත්තේ.

උකුස්සා අත්තටුවක ආබාධයකට ලක්ව සිටින බවයි පසුව අනාවරණ වී ඇත්තේ.

වයස මාස 05 ක් පමණ වන මෙම කොණ්ඩ උකුස්සා පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

*********************************************

දිගන භූ චලන ගැන ඉදිරි විමර්ශනවලට පේරාදෙණිය සහ මොරටු සරසවි

(20.09.2020 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – පල්ලේකැලේ ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා හට ගත් භූ කම්පන සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය, මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල සම්බන්ධ කරගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන සඳහා එම සරසවි සම්බන්ධ කර ගැනීමට අදාළව කාර්යාංශය විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබා ගත් බවයි එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.සජ්ජන ද සිල්වා මහතා කියා සිටියේ.

ඒ පිළිබඳව මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඉදිරි සතියේදී දැනුවත් කිරීමට නියමිතයි.

ඒ අනුව, මහනුවර – පල්ලේකැලේ ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් භූ චලන සම්බන්ධයෙන් වන තාක්ෂණික කරුණු පිළිබඳව ඍජුව අදාල විශ්වවිද්‍යාල සමග කටයුතු කරනු ඇති.

පසුගිය අගෝස්තු 29 වනදා රාත්‍රි 08:32 ට ප්‍රධාන කම්පනය සිදුවූ අතර, එය රික්ටර් මාපාංකයේ සටහන් වූයේ ඒකක 2 ත්, 2.2 ත් අතර අගයකයි.

එය මහනුවර, ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී තිබුණා.

ඊට පෙර එදිනම දහවල් පෙර කම්පනයක්ද සිදුවූ අතර, පසුව සැප්තැම්බර් 2 වනදා යළි මෙම ප්‍රදේශ ආශ්‍රිතව පසු කම්පනයක් සිදුවූයේ ප්‍රධාන කම්පනය සිදුව දින 04 කට පසුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *