මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ නායයාමකින් නොවන බවට තොරතුරු

මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ නායයාමකින් නොවන බවට තොරතුරු

අදත් (21) ක්‍රියාත්මක මංතීරු නීතිය

තුවාල ප්ලාස්ටර් පෙන්වා හෝටල් හිමියන් බියගන්වා මුදල් සොයන ජාවාරමක තොරතුරු හෙළිවෙයි

වෙස්වලාගෙන සිටි ටයිල් චමින්දගේ සහයිකාවක් හෙරොයින් සමඟ අල්ලයි

පොලිතින් කර්මාන්තකරුවන්ගෙන් මැසිවිලි

විසිවන (20) සංශෝධනය පළමුවර කියවීම හෙට (22)

අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම හිමියන්ට විනය ක්‍රියාමාර්ග

රැකියා අහිමිවූ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙනත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්

මහනුවර සියලු පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු සංකේත වර්ජනයක

අයිස් සහ කේරළ ගංජා සමඟ සහෝදරයන් දෙදෙනෙකු (2) දඹුල්ලේදී අල්ලයි

ගලෙන්බිඳුනු වැව සිසුන් ගුරුවරුන් ඉල්ලා අමුතුම විරෝධතාවක

නීතිපති දෙපාර්තමේන්තුවට මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

MT නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් සුබවාදී ප්‍රතිචාරයක්

*********************************************

මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ නායයාමකින් නොවන බවට තොරතුරු

(21.09.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩාවැටීමට හේතුව නායයෑමක් නොවන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගොඩනැගිල්ලේ අත්තිවාරම හා ව්‍යූහයේ ප්‍රමිතිය මෙන්ම, භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගිලාබැසීම සිදුව ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක් මැද බවටද හඳුනාගෙන තිබෙනවා.

එම භූමියට නොගැළපෙන තවත් එවැනි ඉදිකිරීම් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

කඩාවැටීමට ලක්වූ ගොඩනැගිල්ල මීට වසර 15 කට පමණ පෙර සිදුකළ ඉදිකිරීමක්, නවීකරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා නිසි අවසර ලබාගෙන ඇත්ද යන්න සහ දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබලන බවත් මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (20) සිදුවු ගොඩනැගිල්ල කඩාවැටීමත් සමඟ ඒ අවට නිවාස හතරක (4) පුද්ගලයන් විසිදෙනෙකු (20) ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ඊයේ (20) අලුයම 5 ට පමණ මෙම පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමකට ලක්වී ඊට පහළින් පිහිටි තවත් නිවසක් සහ හෝටලයක් මතට ද කඩා වැටී තිබුණා.

කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටියදී පළමුව සොයාගනු ලැබුවේ මාස එකහමාරක් (1½) වයසැති බිළිඳියගේ සිරුරයි.

පසුව අවුරුදු 32 ක් සහ 35 ක් වයසැති මව සහ පියාගේ මළ සිරුරු සොයාගත්තා.

සිද්ධියෙන් මියගිය අයගේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු (2) දිවි ගළවාගනු ලැබුවා.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් දෙකක් (2) පමණ දුරින් පිහිටා ඇති බූවැලිකඩ ප්‍රදේශයේ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල ඊයේ (20) පස්වරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් නිරීක්ෂනයට ලක් කළා ෴

+++++++++++++

කඩාවැටුණු මහනුවර ගොඩනැගිල්ලේ හිමිකරු පලා ගිය බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

(21.09.2020 – 12:19 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි තම නිවස කඩාවැටීමට පෙර පලා නොගිය බව එහි හිමිකරු වන අනුර ලෙව්කේ ප්‍රකාශ කළා.

ඔහු සිය නිවස පිහිටා තිබූ ස්ථානය ආසන්නයේ ඇති අසල්වැසියෙකුගේ නිවසක සිට අද (21) උදෑසන මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනුයි මේ බව සඳහන් කළේ.

ඔහුගේ බිරිඳ මෙන්ම පුතණුවන්ද එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන කිහිපයකින්ම මේ වනවිට විමර්ශන සිදුවන අතර, පොලීසිය පැවසුවේ මෙම ගොඩනැගිල්ල කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරුට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළ හැකි බවයි.

මෙම අනතුර හිමිකරුගේ නොසැළකිල්ල නිසා සිදුවූ බවට තහවුරු වුවහොත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේ කඩවැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකට ඉදි කර නොමැති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.

ඊයේ (20) අලුයම 5 ට පමණ මෙම පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමකට ලක්වී ඊට පහළින් පිහිටි තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටී තිබුණා.

ඊට යටවීමෙන් එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ මාස එකහමාරක් (1½) පමණ වයසැති බිළිඳිය ජීවිතක්ෂයට පත්වු අතර, ඥාති කාන්තාවන් දෙදෙනෙකු (2) බේරා ගැනුනේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් මැදිහත්වීමෙන්.

මියගිය අයගේ සිරුරු මහනුවර ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ප්‍රදේශයේ නායයෑම් සහ විශාල කඳුබෑවුම් සහිත ප්‍රදේශවල දැනට ඉදිකර ඇති නිවාස සහ ගොඩනැගිලි සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++

මහනුවර ගොඩනැගිල්ල කඩා වැටීමට භූ චලන, බලපෑමක් වූවාදැයි සැක

(21.09.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

එකම පවුලේ තුන්දෙනෙකුට (3) මරු කැඳවු මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් (5) ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් සාපරාධී වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව උපරිම නිතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ලිපියක් යොමුකරමින් ඔවුන් සදහන් කර ඇත්තේ ඒ සදහා අවශ්‍ය නීති සහාය ලබා දීමට තම සංගමය සුදානම් බවයි.

මහනුවර – බුවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල ඊට පහලින් තිබු තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුනේ ඊයේ (20) අලුයම් කාලයේදියි.

එහිදි මාස එකහමාරක් (1½) පමණ වයසැති බිලිදියක් සහ ඇයගේ දෙමව්පියන් ජිවිතක්ෂයට පත්වුනා.

ඔවුන්ගේ දේහයන් පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුනේ මහනුවර ජාතික රෝහලේදියි.

පවුලේ ඥාතීන් වෙත භාර දුන් දේහයන් බූවැලිකඩ ප්‍රදේශයේම අසල්වාසි නිවසක තැන්පත් කිරීමට නියමිතයි.

මෙම කඩා වැටුනු ගොඩනැගිල්ල දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් වන අතර, ප්‍රදේශවාසීන් චෝදනා කලේ ගොඩනැගිල්ල හිමිකරු ඇතුලු පිරිස අනතුර සිදුවීමේ අවදානම පිළිබද දැනුවත්ව ඊයේ (20) අළුයම ඉන් පිටත්ව ගොස් ඇති බවටයි.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ල හිමිකරු, බිරිඳ සහ ඔවුන්ගේ පුතණුවන් ගොඩනැගිල්ල කඩාවැටුනු ආසන්නයේ පිහිටි තවත් නිවසක සිට අද (21) ප්‍රතිචාර දක්වා සිටියා.

කඩා වැටුනු ගොඩනැගිල්ල පිහිටි ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ද අද (21) නිරීක්ෂණයට ලක්කල අතර ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගියදා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට සාධකයක් වූවාදැයි සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි.

මේ අනුව අදාල ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්.

අදාල ගොඩනැගිල්ල පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක් මගින් ඉදිකල බව එහි හිමිකරු වන අනුර ලෙව්කේ ප්‍රකාශ කලා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදුකරන බවයි.

ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.

අදාල ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ රාජ්‍ය ආයතන වල නිසි අවසරය අනුවද යන්න සහ එය කඩාවැටුනු පසු නිවැසියන් පිටත්ව ගිය ආකාරය මෙහිදි විමර්ශණයට ලක් කරන බව ඔහු සදහන් කලා.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මහනුවර මහනගර සභාවෙන් වාර්තා කැඳවා ඇති බවයි එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.

සිද්ධියෙන් පසු පොලිසියට දැනුම් දුන් බවට කඩාවැටුනු ගොඩනැගිල්ලේ හිමිකරුගේ පුත්‍රයා සිදුකල ප්‍රකාශයද අසත්‍යයක් බවයි ඔහු සදහන් කලේ.

කෙසේ වෙතත්, නීතිඥ සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සිහිපත් කලේ මීට වසර කිහිපයකට පෙර වැල්ලවත්ත සැවොයි සිනමා හල අසල මෙවැනිම ගොඩනැගිල්ලක් කඩාවැටුනු බවයි.

එහිදි ද ප්‍රමාණවත් නිතීමය ක්‍රියාමාර්ග නොගත් බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය අදාල නිවේදනයෙන් පෙන්වා දි තිබෙනවා.

*********************************************

අදත් (21) ක්‍රියාත්මක මංතීරු නීතිය

(21.09.2020 – 06:40 +0530 – hirunews.lk/sinhala)

මංතීරු නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව අදින් (21) ආරම්භ වන සතිය තුල ද දඩ නියම කිරීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ නෛතික පියවරක් ලෙස එම රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 04 ක් කේන්ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය 14 වනදා සිටයි.

ඒ අනුව, හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ – අනුලා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත්, බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වාත්, ගාලු පාරේ වැල්ලවත්ත – විලියම් හන්දියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වාත්, පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වාත් මංතීරු නීතිය අද දිනයේත් ක්‍රියාත්මකයි.

මේ අතර, රථවාහන තදබදයක් ඇති වීම වළක්වාලමින් මංතීරු නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව අදාළ අවස්ථාවේදීම අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගවලට පියවර නොගත්ත ද පසුව ඔවුන් වීඩියෝ ගතකර හඳුනාගෙන අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් නාගරික රථ වාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂ කමල් පුෂ්පකුමාර සඳහන් කළේ.

+++++++++++++++++++++

*********************************************

තුවාල ප්ලාස්ටර් පෙන්වා හෝටල් හිමියන් බියගන්වා මුදල් සොයන ජාවාරමක තොරතුරු හෙළිවෙයි

(21.09.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

තුවාල සඳහා යොදා ගන්නා ප්ලාස්ටර් උපයෝගි කර ගනිමින් වෙළඳසැල් හිමියන් රවටා මුදල් ලබා ගන්නා ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඊට අදාළ පුද්ගලයෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි එම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආපනශාලා වෙත ගොස් තමන් ගන්නා ආහාරයට ප්ලාස්ටර් කැබලි එක්කර ඒවා එහි (ආහාර වල) තිබූ බවට ප්‍රකාශ කරමින් හෝටල් හිමියන් බියගන්වා මුදල් ගැනීමේ ජාවාරමක නිරතව සිට ඇති බවටයි හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

+++++++++++++++++++++

*********************************************

වෙස්වලාගෙන සිටි ටයිල් චමින්දගේ සහයිකාවක් හෙරොයින් සමඟ අල්ලයි

(21.09.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට අත්අඩංගුවට ගෙන සිටින ‘ටයිල් චමින්ද’ නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකාරියක රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව, සැකකාරියව මේ මස 25 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි මිනුවන්ගොඩ වැබඩලන මහේස්ත්‍රාත් නයනා පුංචිහේවා මහත්මිය ඊයේ (20) නියෝග කළේ.

මිනුවන්ගොඩ නගරයේ දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිටි 46 හැවිරිදි මෙම සැකකාරිය ‘ටයිල් චමින්ද’ අත්අඩංගුවට ගැනීමත් සමඟ අතුරුදන්ව සිටියා.

මරදගහමුල – හේන්පිටගෙදර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ‘ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වී තිබෙනවා.

මීට අමතරව, හෙරොයින් ජාවාරමට ‘ටයිල් චමින්ද’ නමැත්තාට ආධාර අනුබල දීමේ චෝදනාව ද ඇයට එරෙහිව එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකාරිය වෙස්වලාගෙන පසුගිය දින කිහිපයේ මිනුවන්ගොඩ නගරයේ සැරිසරා ඇති අතර ඒ පිළිබඳව පොලීසියට ලද තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

එමෙන්ම, ගාල්ල – වැලිවත්ත ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අයෙකු ද ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ‘මාවා’ නමැති මත්ද්‍රව්‍ය සැකසීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍යද සමඟින්.

ගාල්ල – උඩුගම – උක්ඕවිට ප්‍රදේශයේ ගිනි අවි දෙකක් (2) ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු (2) ද ඊයේ (20) පොලීසිය අත්අඩංගුවට ගත්තා ෴

++++++++++++++++

බස්නාහිර පළාත තුළ අපරාධ නිවාරණය සඳහා සිදුකළ විශේෂ වැටලීමකදී වරෙන්තුකරුවන් හාරසිය විසිහතර (424) දෙනෙකු ඇතුලු 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) උදෑසන හයේ (6) සිට පස්වරු හය (6) දක්වා මෙම විශේෂ වැටලීම සිදුකර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඊයේ (20) උදෑසන හයේ (6) සිට අද (21) උදෑසන පහ (5) දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී පුද්ගලයින් 685 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 324 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සම්බන්ධයෙන් වන චෝදනා මතයි ෴

+++++++++++++++

කිලිනොච්චිය – සේරික්කන් වෙරළ තීරයේ බෝට්ටුවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 77 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය පොලිසියට ලද තොරතුරක් මත එම කේරළ ගංජා තොගය ඊයේ (20) පෙරවරුවේ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ධීවර බෝට්ටුවකින් අදාළ කේරළ ගංජා රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

++++++++++++++++

උඩප්පුව පෙරියපාඩුව මුහුදු වෙරළට අද (21) පෙරවරුවේ ගොඩ ගසා තිබූ මත්කුඩු පාර්සලයක් එම ප්‍රදේශයේ ධීවරයෙකු විසින් උඩප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

කිලෝග්‍රෑම් එකක් පමණ බරති,පොලිතින් කවර කිහිපයක හා රෙදි බැගයකින් ආවරණය කර තිබෙන එම මත්කුඩු පාර්සලය බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් විය හැකි බවට පොලීසිය සක පළ කරනවා.

එසේ වුව හොත් එහි වටිනාකම රුපියල් කෝටියකට අධික වන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන උඩප්පුව පොලීසිය විසින් ක්‍රියාත්මකයි.

*********************************************

පොලිතින් කර්මාන්තකරුවන්ගෙන් මැසිවිලි

(21.09.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ජෛවහායනයට ලක් වන ‘ලන්ච් ෂීට්’ නිපදවීම තහනම් කිරීමට ගෙන ඇති තීරණයෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පවසනවා.

ඔහු කියා සිටියේ 2016 වසරේ පැවති රජය විසින් පොලිතින් වලින් නිෂ්පාදනය කරන ‘ලන්ච් ෂීට්’ වෙනුවට ජෛව හායනයට ලක්වන ලන්ච් ෂීට් නිපදවීමට නීති පැනවූ බවයි.

එමෙන්ම, ඝණත්වයෙන් වැඩි පොලිතින් වෙනුවට ඝණත්වයෙන් අඩු පොලිතින් බෑග් නිෂ්පාදනයට ද පැවති රජය යටතේ නීති පනවනු ලැබුවා.

කෙසේ වෙතත්, අදාළ නීති මේ වනවිට ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතිනවා.

ජනාධිපතිවරයා විසින් කසල වලින් බලශක්තිය නිපදවීමේ සංකල්පය හඳුන්වාදී ඇති පසුබිමක් තුල ඇතැම් නිලධාරින් මෙවැනි තීරණයන්ට එළඹීම හේතුවෙන් පොලිතින් නිෂ්පාදන කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ 03 ක පමණ පිරිසකට බලපෑම් එල්ල වන බවයි සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පෙන්වා දෙන්නේ.

*********************************************

විසිවන (20) සංශෝධනය පළමුවර කියවීම හෙට (22)

(21.09.2020 – 07:38 +0530 – hirunews.lk/sinhala)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් අනතුරුව අදාළ සංශෝධනයට එරෙහිව යම් අයෙක් අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින හතක (7) කාලයක් හිමිවන බවයි.

එසේ අධිකරණය හමුවේ යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එම අධිකරණ ක්‍රියාවලිය සඳහා තවත් සති තුනක (3) කාලයක් හිමිවන අතර, අධිකරණ තීන්දුවෙන් අනතුරුවයි දෙවන වර කියවීමේ විවාදය සඳහා විසිවන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවන්නේ.

++++++++++++++

හදිසි කැබිනට් රැස්වීමක් පස්වරුවේ

(21.09.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

හදිසි කැබිනට් රැස්වීමක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මූලික වශයෙන් මෙහිදී හෙට (22) පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් පසුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එය හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු ඇතුළත් න්‍යාය පත්‍රයට ද ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණ අමාත්‍ය අලි සබ්රි හෙට (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී විසිවන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට පළමුවරට ඉදිරිපත් කරනු ඇති.

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට එරෙහිව යම් අයෙකු අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින හතක (7) කාලයක් හිමිවනවා.

එසේ අධිකරණය හමුවේ යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එම අධිකරණ ක්‍රියාවලිය සඳහා තවත් සති තුනක (3) කාලයක් හිමිවන අතර, අධිකරණ තීන්දුවෙන් අනතුරුවයි දෙවන වර කියවීමේ විවාදය සඳහා විසිවන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවන්නේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (21)කැඳවා තිබෙනවා.

එහිදී ද මෙම සංශෝධනය සම්බන්ධයෙන් සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක්ද අද (21) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ද විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයද අද (21) පස්වරුවේ හෝ හෙට (22) පෙරවරුවේ රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් සඳහන් කර තිබුණේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය, යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි වන බවයි.

එමෙන්ම රටේ විගණන ක්‍රියාවලිය දේශපාලන අධිකාරිය යටතට පත් කිරීම සම්බන්ධයෙන්ද විරෝධය පළ කරන බව එම නිවේදනයේ සඳහන් ෴

+++++++++++++

*********************************************

අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම හිමියන්ට විනය ක්‍රියාමාර්ග

(21.09.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂ සම්මේලනයේදී තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මහ සම්මේලනය ඊයේ (20) පැවැත්වුණේ රාජගිරිය – ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේදියි.

එහිදී පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා වංචනිකව එම හිමියන්ගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කිරීමට කටයුතු කිරීම හේතු කොටගෙන මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වුණා.

එමෙන්ම මෙම හිමියන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවටද යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා.

අපේ ජනබල පක්ෂයට හිමිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට හිමිවිය යුතු බවට ඉදිරිපත්වූ යෝජනාවද සම්මත වී තිබුණා.

පළමුව එම මන්ත්‍රි ධුරයේ පක්ෂ සභාපති සමන් පෙරේරා මහතා දිවුරුම්දීමෙන් පසු ඉල්ලා අස්වී අදාළ පුරප්පාඩුව සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කළ යුතු බවටයි මෙහිදී යෝජනා සම්මත කරගෙන ඇත්තේ.

*********************************************

රැකියා අහිමිවූ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙනත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්

(21.09.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිවී, නැවත මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ පිළිබඳ චක්‍රලේඛයක් විදේශ රැකියා නියෝජිතයින් වෙත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් නිකුත් කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ඒ අනුව, අදාළ අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු, එම ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබ සාධන අංශය මගින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඒ සඳහා අවශ්‍ය ලියවිලි මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයන් වෙත යොමු කිරීමෙන් අනතුරුව වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලැබෙනු ඇති.

නව රැකියා සඳහා එසේ ලියාපදිංචි වීමේදී ගෘහ සේවයට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තාව ද අවශ්‍ය නොවන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර, ඊයේ (20) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් තුන්දෙනෙකු (3) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා සංඛ්‍යාව 3287 දක්වා ඉහළ ගියා.

ඔවුන් තුන්දෙනාම (3) සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 186 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3,088 ක්.

එමෙන්ම කටාර්, එක්සත් අරාබි එමීර්, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 764 දෙනෙකු ඊයේ (20) රාත්‍රියේ සහ අද (21) අළුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයන් 413 දෙනෙකු අද (21) අළුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 294 දෙනෙකු පැමිණි ඇත්තේ මත්තල ගුවන්තොටුපළ වෙතයි.

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා හි සිට ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු සහ ජපානයේ නරීටා හි සිට ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු කටුනායක වෙත පැමිණ තිබෙනවා ෴

*********************************************

මහනුවර සියලු පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු සංකේත වර්ජනයක

(21.09.2020 – 11:19 +0530 – hirunews.lk/sinhala)

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පසුගියදා සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු පැය 04 ක සංකේත වර්ජනයක් නිරත වුණා.

රාජකාරි වේලාවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය තුළදී ප්‍රාදේශීය දේශපාලඥයෙකු මෙම වෛද්‍යවරයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ උදෑසන 8 ටයි.

අදාළ පුද්ගලයා පැය 24 ක් තුළ අත්අඩංගුවට නොගතහොත් මධ්‍යම පළාත තුළ දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහනුවර ශාඛාවේ මධ්‍යම කාරක සභික වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මේ අතර ලග්ගල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු සහ ඔහුගේ සමීපතමයෙකු පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ අටට (8) පමණ අදාළ පහරදීම සිදුව ඇති අතර, පහරකෑ පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් දෙපාර්ශවය මෙම සිද්ධිය මේ වනවිට සමථයකට පත් කරගෙන තිබෙනවා ෴

*********************************************

අයිස් සහ කේරළ ගංජා සමඟ සහෝදරයන් දෙදෙනෙකු (2) දඹුල්ලේදී අල්ලයි

(21.09.2020 – 11:20 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා අලෙවි කරන ජාවාරමක නිරතවූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සේවය කරන සහෝදරයන් දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ගලේවෙල – නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් දඹුල්ල, ගලේවෙල, අනුරාධපුරය සහ කැකිරාව ආදී ප්‍රදේශ රැසකට මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා අලෙවිය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන්ගේ නිවසේ සිදුකළ සෝදිසි කිරීමකදී පැකට් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනහමාරක් (3½), කේරළ ගංජා ග්‍රෑම් 04 ක්, යතුරුපැදියක්, විද්‍යුත් තරාදියක්, බැංකු කාඩ්පත් කිහිපයක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ දෙකහමාරක් (2½) සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘ටයිල් චමින්ද’ නැමැත්තා සමඟ එක්ව මත්කුඩු ජාවාරමේ නිරතවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

46 හැවිරිදි මෙම කාන්තාව මිනුවන්ගොඩ නගරයේ දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මෙලෙස මත්කුඩු ජාවාරමේ නිරතව තිබුණා.

බස්නාහිර පළාත තුළ අපරාධ නිවාරණය සඳහා සිදුකළ විශේෂ වැටලීමකදී වරෙන්තුකරුවන් හාරසිය විසිහතර දෙනෙකු (424) ඇතුලු 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) උදෑසන හයේ (6) සිට පස්වරු හය (6) දක්වා මෙම විශේෂ වැටලීම සිදුකර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

++++++++++++++++

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගල්කිස්සේ රොහා’ නමැත්තාගේ තවත් ගෝලයෙකු කඳාන ප්‍රදේශයේදී අද(21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී ටී-56 ගිනි අවියක් ඇතුළු තවත් ආයුධ කිහිපයක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

‘ගල්කිස්සේ රොහා’ නමැති සංවිධානාත්මක අපරාධකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවනවා ෴

+++++++++++++++++

*********************************************

ගලෙන්බිඳුනු වැව සිසුන් ගුරුවරුන් ඉල්ලා අමුතුම විරෝධතාවක

(21.09.2020 – 11:46 +0530 – hirunews.lk/sinhala)

රැකියා දස දහසේ වැඩපිළිවෙල යටතේ තමන්ට ද රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඌණ සේවා නියුක්ත උපාධිධාරින්ගේ සංගමය අද (21) උද්ඝෝෂණයක නිරත වුණා.

එම සංගමයේ නියෝජිතයින් කොටුව දුම්රියපොල ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුව එහි නියෝජිතයින් 5 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබුණා.

මේ අතර, ගුරු හිඟයට විසඳුම් ඉල්ලා ගලෙන්බිඳුනුවැව, – මානන්කට්ටිය සාරාණන්ද පාසලේ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අද ගලෙන්බිඳුනුවැව -කැකිරාව මාර්ගය අවහිර කරමින් මෙලෙස විරෝධතාවයක නිරත වුණා.

*********************************************

නීතිපති දෙපාර්තමේන්තුවට මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

(21.09.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

පරිසරයට හානි සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා තම නිලධාරීන්ටද බලය ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරියේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම පරිසර හිතකාමී ලෙස නිෂ්පාදිත ‘ලන්ච් ෂීට්’ තහනම් කිරීමට සූදානම් වන බවට පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමය එල්ල කරන චෝදනා වලට ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පිළිතුරු ලබා දුන්නා.

ඔහු කියා සිටියේ එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් පරිසරයට හානිකර පොලිතින්වලින් නිෂ්පාදිත ‘ලන්ච් ෂීට්’ අලෙවිකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා ෴

*********************************************

MT නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් සුබවාදී ප්‍රතිචාරයක්

(21.09.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ලක් රජයට රුපියල් මිලියන 340 ක ගාස්තුවක් ගෙවිය යුතු බවට නීතිපතිවරයා කළ දැනුම්දීමට අදාළ නෞකාව පිළිබඳව කටයුතු කරන පාර්ශව සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ අද (21) පැවැත්වෙන සාකච්ඡාවකදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවයි එහි සභාපතිනි නීතිඥ දර්ශණි ලහදපුර මහත්මිය කියා සිටියේ.

මේ මස තුන්වනදා (03) බොරතෙල් රැගෙන ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්න හටගත් අතර, එය නිවා දැමීමේ වියදම ලෙස රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් අදාල නැව් සමාගම වෙත යොමුකිරීමටයි නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.

මෙමගින් කාන්දුවූ ඝන දැවි තෙල් හේතුවෙන් සාගරයට සිදුවූ හානිය තක්සේරු කිරීම මෙරට විශ්වවිද්‍යාලවල විශේෂඥයින් කණ්ඩායමක් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බව සභාපතිවරිය කියා සිටියා.

නෞකාව තවදුරටත් නැගෙනහිර මුහුදේ රඳවාගෙන ඇති අතර, එමඟින් යළි ඉන්ධන කාන්දුවක් හෝ ගිනිගැනීමක් ඇතිවීමට අවස්ථාවක් නොමැති බවට නෞකාවේ ගළවාගැනීමේ කණ්ඩායම දැනුම්දී ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++

ගිනි ගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවීම හේතුවෙන් ඇති වූ සමුද්‍ර දූෂණය පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව සහ මිපා ආයතනයය සමඟ නීතිපති දප්පුලද ලිවේරා මහතා සකච්ඡාවක් පවත්වා තිබෙනවා. (21.09.2020)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *