රවීට සහ අර්ජුන් ඇලෝසියස්ට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා

රවීට සහ අර්ජුන් ඇලෝසියස්ට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා

කැළිකසළ නිසා අසුන්දර වන අලුත්ගම

දිනෙන් දින වියැකී යන ලෝකුරු කර්මාන්තය

රස බොජුන් හලේ නීරස කතාව

කිසිවෙකුගේ අවධානය යොමු නොවූ දැව ආශ්‍රිත සෙල්ලම් බඩු නිෂ්පාදකයෝ

පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකු මගින් සිදුකර ඇති අක්‍රමිකතා ගැන පැමිණිලි 100 ක්

හෙම්මාතගම පාසලක් අසල අවදානම් තෙමහල් (3) ගොඩනැගිල්ලක්

පසුගිය රජය සමයේ සිදුවූ මිලියන 56 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

‘කුඩු තුෂාර’ ගේ ගෝලයෙක් හෙරෝයින් සමඟ අත්අඩංගුවට

පොලිස් නිලධාරින්ගේ සහ මහජනතාවගේ ගැටලු විසදන්න ‘පොලිස් මහජන දිනයක්’

කාති උසාවිය ගැන තවත් පැමිණිල්ලක්

අපයෝජනයට ලක්වන දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීමට විශේෂ වැඩපිලිවෙලක්

*********************************************

රවීට සහ අර්ජුන් ඇලෝසියස්ට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා

(21.09.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද(21) නඩු පවරා තිබෙනවා.

කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේයි ඔවුන්ට මෙලෙස නඩු පවරා ඇත්තේ.

2016 වසරේ පෙබරවාරි මස 12 වන දින සහ සැප්තැම්බර් 30 කාලය තුළදී අදාළ නිවාසය ලබාදීම සහ ලබාගැනීම සිදුවී ඇති බවයි අල්ලස් කොමිසම ගොනුකළ අධි චෝදනාපත්‍රයේ දැක්වෙන්නේ.

මේ අතර, මහබැංකු බැඳුම්කර වෙන්දේසියේදී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වන්නැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලු පිරිස අභියාචාධිකරණයේ ගොනුකළ රිට් පෙත්සම ලබන දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.

බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලු සැකකරුවන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුවකට අදාළවයි ෴

+++++++++++++++++++++

*********************************************

කැළිකසළ නිසා අසුන්දර වන අලුත්ගම

(21.09.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම මහජන පොළේ කැළිකසළ බෙන්තර ගඟට බැහැර කරන බවට ජනතාව චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බේරුවල ප්‍රාදේශීය සභාව ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බවටයි.

මහජන පොළට අවශ්‍ය වැසිකිලි පද්ධතියක් හෝ එම ස්ථානයේ ස්ථාපිත කර නොමැති අතර, පොල භූමියේ ඇති ළිඳද භාවිතයට ගත නොහැකිව අපිරිසිදු තත්වයක පවතින බවයි වාර්තාවන්නේ.

*********************************************

දිනෙන් දින වියැකී යන ලෝකුරු කර්මාන්තය

(21.09.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ලෝකුරු කර්මාන්තය හෙවත් කම්මල් කර්මාන්තය මෙරට දිගු ඉතිහාසයකට උරුමකම් කියනවා.

එවන් අතීතයකට උරුමකම් කියන ආනමඩුවේ කම්මල්කරුවන් මුහුණපාන ගැටලු පිළිබඳවයි අද (21) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

*********************************************

රස බොජුන් හලේ නීරස කතාව

(21.09.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ ‘හදබිම අධිකාරිය’ විසින් ස්ථාපිත ‘රස බොජුන් හල්’ මේ වනවිට වැසී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරුවන් පැවසුවේ, මෙම තත්ත්වයේ හමුවේ පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්ව රැසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

සීමාසහිත හදබිම සමුපකාර සමිතිය මගින් වැලිගම, ගන්නේරුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත රස බොජුන් හල් හේතුවෙන් විශාල පිරිසකට ජීවිකාව කරගෙන යාමට අවස්ථාව සැලසුණේ, ඒ සඳහා සේවා සහ භාණ්ඩ සැපයීම හරහායි.

එමෙන්ම මෙම රස බොජුන් හල් පාරිභෝගිකයින් අතර ද දැඩි ජනප්‍රියත්වයට පත්වූයේ තම කැමැත්ත පරිදි ඒ අවස්ථාවේදීම ආහාර ලබාගැනීමට අවස්ථාව උදාවීම හේතුවෙන්.

එම තත්ත්වය හමුවේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේද ආකර්ශනය දිනාගැනීමට මෙම බොජුන් හල් සමත් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට එම බොජුන් හල් වෙත සැපයෙන ජල සහ විදුලිය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් ඒවායේ සේවකයින්, පාරිභෝගිකයින් මෙන්ම ඊට භාණ්ඩ හා සේවා සපයා ජීවිකාව සිදුකරගෙන ගිය පාර්ශ්ව රැසක් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

*********************************************

කිසිවෙකුගේ අවධානය යොමු නොවූ දැව ආශ්‍රිත සෙල්ලම් බඩු නිෂ්පාදකයෝ

(21.09.2020 – 14:25 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – අනුරාධපුර ප්‍රධාන මාර්ගය ආසන්නයේ දැව ආශ්‍රිත සෙල්ලම් බඩු නිෂ්පාදනය කර අලෙවි කරන පිරිසක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා.

ඔවුන් පවසන්නේ මෙම දේශීය කර්මාන්තය වැඩිදියුණුකර ගැනීම සඳහා තමන්ට කිසිඳු පාර්ශ්වයකින් අනුග්‍රහය නොලැබෙන බවයි.

*********************************************

පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකු මගින් සිදුකර ඇති අක්‍රමිකතා ගැන පැමිණිලි 100 ක්

(21.09.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේදී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි 100 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ කමිටුව පත් කරනු ලැබුවා.

ඒ අනුව, රාජ්‍ය බැංකු, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති සහ මහජනතාව විසින් මෙම පැමිණිලි භාරදී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

විශාල වශයෙන් පැමිණිලි ලැබීම හේතුවෙන් එම පැමිණිලි භාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලසීමාව ද මේ මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාළ පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ල වී ඇති පාර්ශව කැඳවා තොරතුරු සටහන් කර ගැනීම සිදුකර ගැනීමට නියමිතයි.

ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 ජනවාරි මස 8 වනදායින් පසුව සිදුවූ අක්‍රමිකතා, එම ආයතනවලට අරමුණු වලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධානවලට අනුකූළ නොවන අයුරින් සිදුකර ඇති ගණුදෙනු විධීමත්ව අධ්‍යයනය කිරීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුව පත් කරනු ලැබුවා.

කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා යි.

ඒ අනුව, රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදුව ඇති අක්‍රමිකතා මේ මස 30 වනදාට පෙර අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය. කොළඹ – 01 යන ලිපිනයට දැනුම්දීමේ හැකියාව පවතිනවා ෴

*********************************************

හෙම්මාතගම පාසලක් අසල අවදානම් තෙමහල් (3) ගොඩනැගිල්ලක්

(21.09.2020 – 17:36 +0530 – hirunews.lk/sinhala)

අවදානම් තත්වයේ පවතින කෑගල්ල හෙම්මාතගම නගරයේ පිහිටා ඇති තෙමහල් (3) ගොඩනැගිල්ලක ඇති කඩ කාමර වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

අනතුරුව අද (21) උදෑසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ මූලික පරීක්ෂා කිරීම් සිදුකලා.

මේ වනවිට එම ගොඩනැගිල්ලේ ඉරි තැලීම් කිහිපයක් පවතින අතර පවතින අවදානම් තත්වය පිළිබඳව අවට ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම ද එහිදී සිදුකෙරුණා.

මෙම ගොඩනැගිල්ල හෙම්මාතගම නරගිරි විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ආසන්නයේම පවතින අතර ඒ අසලින් ළමුන් විශාල පිරිසක් දෛනිකව ගමන් කිරීම වඩාත් අවදානම් බවයි ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ.

මේ අතර පවතින අවදානම හෙතුවෙන් ගොඩනැගිල්ල ඉදිරිපිටින් ළමුන් සහ පදිකයන් ගමන් කිරීම වැලැක්වීම සඳහා මේ වනවිටත් පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ප්‍රකාශ කළේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා තවත් පර්යේෂණයක් සිදුකල යුතු බවයි.

*********************************************

පසුගිය රජය සමයේ සිදුවූ මිලියන 56 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(21.09.2020 – 17:50 +0530 – hirunews.lk/sinhala)

2016 – 2017 වසරේ සතොස ආයතනයේ සිදුවූ මහාපරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) අත්අඩංගුවට ගනු ලැබුවා.

සතොස ආයතනයෙන් වී තොග ලබාගෙන නියමිත පරිදි සහල් ලබා නොදීමෙන් ඔවුන් සිදුකර ඇති පාඩුව රුපියල් මිලියන 56 ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් වෙළඳ අමාත්‍යවරයා ලෙස සිටි සමයේ, මින්නේරියේ සහ පොළොන්නරුව – කඳුරුවෙල සහල් මෝල් දෙකක් (2) සඳහා මෙම වී තොග නිකුත් කර තිබුණා.

අදාළ සහල් මෝල් දෙක (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර, ඒවායේ තිබූ සහල් තොග ද එම දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

*********************************************

‘කුඩු තුෂාර’ ගේ ගෝලයෙක් හෙරෝයින් සමඟ අත්අඩංගුවට

(21.09.2020 – 18:20 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර නගරයට මත්කුඩු බෙදහරින ප්‍රධාන ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු හෙරෝයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 800 ක ප්‍රමාණයක් සමඟ රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශනඒකකය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර බටුගෙදර පදිංචිකරුවෙක් වන අතර ‘කුඩු තුෂාර’ නම් අයෙකුගේ ගෝලයෙක් බව පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 55,250 ක මුදලක් සහ ජංගම දුරකථන 2 ක් සොයා ගත් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රත්නපුර පොලීසිය සිදුකරනවා ෴

*********************************************

පොලිස් නිලධාරින්ගේ සහ මහජනතාවගේ ගැටලු විසදන්න ‘පොලිස් මහජන දිනයක්’

(21.09.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස් සේවයේ නිරත වූ සියලුම නිලධාරින්ගේ ගැටලු සහ පොලීසිය සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කරන ගැටලු පිලිබඳව සොයා බලා විසඳුම් ලබාදීමේ අරමුණින් පොලිස් මහජන දිනයක් සංවිධානය කෙරෙනවා.

එය ලබන 25 වනදා බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි අභ්‍යන්තර ආරක්ෂක අංශ කාර්යාල පරිශ්‍රයේදී අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.

මේ අතර, අතුරුදන් බවට පැවසෙන ‘බ්ලූමැන්ඩල් සංජීව’ගේ බිරිඳ, පුත්‍රයා ඇතුළු තිදෙනෙකු (3) හෙරොයින් සමඟ අත්අඩංගුවට.

‘බ්ලූමැන්ඩල් සංජීව’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳ සහ පුත්‍රයා ඇතුළු තුන්දෙනෙකු (3) පොලීසිය විසින් අද (21)මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

හෙරොයින් ග්‍රෑම් 30 යි මිලිග්‍රෑම් 322 ක්, ජංගම දුරකථන 5 ක් සහ රුපියල් 1,29,000 ක් මුදලක් ඔවුන් සතුව තිබී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

‘බ්ලූමැන්ඩල් සංජීව’ගේ බිරිඳ වන 42 හැවිරිදි ‘අබේනායක ගීතාංජලී’ නොහොත් ‘ගීතා’, ඔවුන්ගේ 20 හැවිරිදි පුත් ‘ජනිත ජනන්ද’ සහ ඔහුගේ මිතුරෙකු මෝදර – සේනමුල්ල ප්‍රදේශයේදී අද (21) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායිහි සිටින කාන්තාවක් විසින් මොවුන් හා සම්බන්ධ වී හෙරොයින් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

‘බ්ලූමැන්ඩල් සංජීව’ නමැත්තා 2006 වසරේ සිට අතුරුදන්වී ඇති බවට පොලීසියට වාර්තා වී ඇති අතර, ඔහු ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැති පාතාල කල්ලි නායකයා සමඟ විරසක වී සිටි බව කතාබහට ලක්වූ කරුණක්.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අගුලාන රොහා’ නමැත්තාගේ තවත් ගෝලයන් දෙදෙනෙකු (2) කඳාන ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ටී-56 ගිනි අවියක් සහ මැගසිනයක් සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

‘අගුලාන රොහා’ නමැති සංවිධානාත්මක අපරාධකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ පසුවනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) දිනයේදී මනුෂ්‍ය ඝාතනයකට සූදානම්ව සිට ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව, උඩප්පුව – පෙරියපාඩුව, මුහුදු වෙරළෙහි තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් (1) සහිත පාර්සලයක් පොලීසිය අද (21) සොයා ගෙන තිබෙනවා.

විදෙස් රටක ලාංජන සහිත මෙම පාර්සලය පොලිතින් උර කිහිපයකින් ඔතා තිබූ බවටයි වාර්තා වන්නේ.

මේ අතර, බලංගොඩ – පින්නවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු තවත් ගිනි අවි 3 ක් සමඟින් සැකකරුවෙකු පොලීසිය ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනි අවිවලට අමතරව ඒ සඳහා යොදන ජීව උණ්ඩ 7 ක් ද පොලිස් භාරයට ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, සොරකම් කරන ලද ත්‍රිරෝද රථ වල අමතර කොටස් ගලවා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට මිරිහාන අපරාධ විමර්ශන ඒකකය සමත්වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වැල්ලම්පිටිය සහ කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය සඳහන් කලේ.

*********************************************

කාති උසාවිය ගැන තවත් පැමිණිල්ලක්

(21.09.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි මෙරටට අනවශ්‍ය බව එම අධිකරණයකින් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට පැමිණි තවත් මුස්ලිම් කාන්තාවක් අද (21) ප්‍රකාශ කලා.

එම්.ඩි.ෂිෆානි නම් ඇය අදාළ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කාති විනිසුරුවරුන් තමන්ගෙන් ලිංගික අල්ලස් පවා ඉල්ලු බවයි.

*********************************************

අපයෝජනයට ලක්වන දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීමට විශේෂ වැඩපිලිවෙලක්

(21.09.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීම කඩිනම් කිරිමට සහ දරුවාට කැළලක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (21) සාකච්ඡාවක් පැවැත්වුණා.

ජනාධිපති කාර්යාලයේ පැවති එම සාකච්ඡාවේදී ඒ පිලිබඳව අවධානය යොමුව තිබෙනවා.

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවන පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ජාතික සහ පළාත් පාසල්වල වගකීම්භාර නිලධාරින් කාර්යාලවලට සීමා නොවී පාසල් වෙත ගොස් ගැටලු හඳුනාගෙන විසඳුම් ලබාදිය යුතුයි.

ගුරුවරුන් අධ්‍යාපන කාර්යාල වෙත පැමිණීම වෙනුවට නිලධාරින් පාසලට ගොස් ගුරු ගැටලුවලට විසඳුම් දීමේ ක්‍රමයක අවශ්‍යතාවය පවතින බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව, පීඩාවට සහ හිංසනයට පත්වන කාන්තාවන්ගේ යහපත පිණිස කාන්තාව පිලිබඳව ජාතික කමිටුවක අවශ්‍යතාවය සලකා පාර්ලිමේන්තු පනතකින් අවශ්‍ය නීති සම්මත කර ගැනීම අද පැවති සාකච්ඡාවේදී සංවාදයට බදුන්වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *