පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරදකරු නිලන්ත – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරදකරු නිලන්ත – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

මංතීරු නීතිය කඩකරන පුද්ගලයන් උපදෙස් පංති සදහා කැඳවයි

සාමාජික රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්න, ජනපති ජගත් සංවිධානයෙන් ඉල්ලයි

විස්ස අද (22) පාර්ලිමේන්තුවට

නීති විරෝධීව සූදු ක්‍රීඩාවේ නිරතවූ චීන ජාතිකයින් 12 ක් කොල්ලුපිටියේදී අල්ලයි

පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට නියෝජ්‍ය පොලිස්පතිවරියක්

බූවැලිකඩ ඛේදවාචකයෙන් මියගිය මව, පියා සහ බිළිදියගේ දේහයන් අසල්වාසී නිවසකට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා

සෞදියේ ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

විස්සට එරෙහිව සමඟි ජන බලවේග මන්ත්‍රීවරු විරෝධයක

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට පාස්කු කොමිසමේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්

නුසුදුසු ඇඳුමෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතාවුල්ලා ඉවත්ව යයි

ආනවිලුන්දාව සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජගත් සමන්ත 24 දක්වා රිමාන්ඩ්

*********************************************

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරදකරු නිලන්ත – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

(21.09.2020 – 20:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (21) කොමිසමට පැමිණියේ පස්වන (5) දිනටයි.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා තම සේවාදායකයාට එරෙහිව ඊයේ (20) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය කෙරෙහි කොමිසමේ අවධානය යොමු කළා.

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් :

“හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඊයේ (20) දිනයේ නිකුත්කළ ලිපිය හරහා මාගේ සේවාදායකයා මේ දිනවල කොමිසම හමුවේ ද්වේශ සහගත අසත්‍ය පවසන බවට චෝදනා කර තිබෙනවා.

කොමිසම හමුවේ යම් පුද්ගලයෙකු සිදුකරන සාක්ෂි ලබාදීමක් තුළින් කිසියම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් නීතිඥවරයෙකු මාර්ගයෙන් පෙනී සිට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දී ඇති පසුබිමක මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමෙන් කොමිසම සතු අධිකාරිමය බලයට සහ ගෞරවයට හානියක් සිදුකර තිබෙනවා.

එමෙන්ම කොමිසම් සභාව හමුවේ මේ වන විටත් සාක්ෂි ලබාදෙමින් සිටින සාක්ෂිකරුවෙකුට එරෙහිව සිදුකර ඇති මෙම චෝදනාව හරහා අධිකරණමය කටයුත්තක් බාහිර පාර්ශවයක් විසින් විවේචනය කර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි.”

මෙහිදි ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් දරන අදහස කුමක්ද යන්නයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා :

“මෙවැනි මාධ්‍ය නිවේදනයක් පිළිබදවනම් මම දන්නේ නැහැ ස්වාමීනි. ඒ සම්බන්ධයෙන් මගේ සේවාදායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට උපදෙස් ලබාදීමක් හෝ සිදුකර නැහැ. එමනිසා ඒ සම්බන්ධයෙන් හෙට (22) දින කොමිසම හමුවේ කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටිනවා. පුලුවන් නම් මට ඔය කියන නිවේදනයේ කොපියක් දෙන්න.”

මෙහිදී ජනාධිපති කොමිසම මෙම සිදුවීම සම්බන්ධයෙන් හෙට (22) කොමිසම හමුවේ කරුණු දැක්වීමක් සිදුකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණු අතර රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“සහරාන් හෂීම්, සමාජ ජාලා ඔස්සේ අන්තවාදය පතුරුවා හරිනවා යැයි රාජ්‍ය බුද්ධි සේවය ඔබට වාර්තා කර තිබුනද?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“සහරාන් හෂීම් සමාජ ජාලා ඔස්සේ අන්තවාදය පතුරුවනවා යැයි රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු වාර්තා කර තිබුණත්, ඒවා විශ්ලේෂණාත්මකව සකස් කර තිබු බුද්ධි තොරතුරු නෙවෙයි. නිවැරදි විශ්ලේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් නොකරන අවස්ථාවල ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින්ට ක්‍රියාත්මක වීමට පුලුවන් කමක් නැ. ලේකම්වරයෙකු ලෙස මම නම් වගකිම් නිසි පරිදි ඉටුකළා.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“එක ඔබතුමා කියන දේනේ. නමුත් පෙරහැර හොදට පේන්නේ පෙරහැරේ යන අයට නෙමේ. බලාගෙන ඉන්න අයටනේ “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මම මේ ප්‍රහාරයට වගකිවයුතුයි කියලා කොමිසම පුර්ව නිගමනයකට ඇවිල්ලාද මගෙන් සාක්ෂි විමසීම සිදුකරන්නේ…? මට හැගෙන්නේ එහෙමයි. මම අනිත් සාක්ෂි විමසීම් බලන් හිටියා. ඒවා එහෙම වුණේ නැහැ “

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“කොමිසම කිසිදු සාක්ෂිකරුවෙක් සම්බන්ධයෙන් එහෙම නිගමනයකට ඇවිල්ලා නැහැ. ඒ නිසයි ඔබ වෙනුවෙන් නීතිඥ නියෝජනයකට සහ හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව දිලා තියෙන්නේ. සියලු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම අවසානයෙදීයී කොමිසම නිගමන වලට එළඹෙන්නේ “

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම වැනි සිදුවීම් කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන අංශවලින් ඔබ වැඩිදුර වාර්තා කැදවීමට පියවර ගත්තේද යන්නයි.

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“ස්වාමිනි මම වාර්තා කැදවන්න ඕනේ නැහැ. විමර්ශකයින් වාර්තා ඉදිරිපත් කිරීමට බැදිලා ඉන්නවා. විදේශ බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබෙනකන් මෙරට ප්‍රධාන බුද්ධි තොරතුරු රැස්කිරීමේ ආයතනයවු ‍රාජ්‍ය බුද්ධි සේවය ප්‍රහාරයක් පිළිබද අනතුරු අඟවා තිබුනේ නැහැ. ඒ වගේම 04 වෙනිදා ලැබුණු විදෙස් බුද්ධි තොරතුර සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනත් අවිනිශ්චිතතාවයක් තියෙන්න ඇති. මොකද බෝම්බය පුපුරණ කල් රාජ්‍ය බුද්ධි සේවය එම විදෙස් බුද්ධි තොරතුර සනාථ කරල තිබුනේ නැහැ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණය විනිසුරු :

“රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබට දිය යුත්තේ බුද්ධි තොරතුරු නොවේද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“ඔව් ස්වාමිනි, දියයුත්තේ විශ්ලේෂණාත්මකව බුද්ධි තොරතුරු පමණයි. නමුත් මට එවපු ගොඩාක් වාර්තා තොරතුරු පමණයි. අනික ලිපි නිකන් යොමු කරලා වැඩක් නැහැ. එක තැපැල් ස්ථානාධිපතිවරයෙකුගේ කාර්යය. රාජ්‍ය බුද්ධි සේවය වුනාම බුද්ධි තොරතුරු ඉදිරිපත් කරලා එම තොරතුරු වලට අදාළව නිර්දේශ ඉදිරිපත් කරන්නත් ඕනේ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණය විනිසුරු :

“ඔබ කියන විදියට ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරද කාගෙද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“විධිමත්ව බුද්ධි තොරතුරු ඉදිරිපත් නොකිරීම, ඒ පිළිබද නිසිලෙස වගකිවයුතු නිලධාරින් දැනුවත් නොකිරීම නිසා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වරදකරු වෙනවා ස්වාමීනි “

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි අප්‍රේල් මස 20 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ දැනුවත් කළාද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“ඔව් මට Whatsapp පණිවුඩයක් යොමුකර තිබුණා. මගේ වයසේ හැටියට මම Whatsapp, Facebook වගේ දෙවල්වල පණිවුඩ කියවන්නේ නැහැ. ඒ තොරතුර ඔච්චර වැදගත් කරලා සැලකුවානම් නිලන්තට Whatsapp නොකර පණිවුඩකරුවෙක් මාර්ගයෙන් යොමු කරන්න තිබ්බා. මොකද නිලන්තගෙයි, මගෙයි ගෙවල් අතර තියෙන්නේ කිලෝමීටර් 02 ක පමණ දුරක්. කොහොමහරි නිලන්ත මට Call කරලා කිව්වා, සර් Whatsapp පණිවුඩයක් එව්වා බලන්න කියලා. ඊට පස්සේ මම පණිවුඩය බැලුවා. පස්සේ මම නිලන්තගෙන් ඇහුවා නිලන්ත දැන් මේකට මොකද කරන්න ඕනේ කියලා. නිලන්ත මට කිව්වා, “සර් මම පොලිස්පතිට කිව්වා. සර්ත් පොලිස්පතිට කියන්න කියලා. පස්සේ මම පොලිස්පතිවරයාට කතා කරලා ඇහුවා “නිලන්ත පණිවුඩයක් දුන්නද ?” කියලා. “ඔව් සර් මම මේ පහළ නිලධාරින්ට කතා කරමින් ඉන්නේ. අන්තිම මොහොතේ මට කරන්න පුළුවන් මෙච්චරයි” කියලා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මට පිළිතුරු දුන්නා. ආරක්ෂක ලේකම් ලෙස මම මගේ වැඩේ කළා. පොලිස්පතිවරයා ඔහුගේ වැඩේ කළා. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බයක් බැඳගත්තට පස්සේ එක පිපිරවීම නැවැත්වීම ඉතාම අසීරු කටයුත්තක්. සහරාන්ව අල්ලන්න තිබ්බේ අවුරුද්දකට කළින්. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් පස්සේ යමින් හිටියේ. නමුත් ඒක නැවැත්තුවා. ඒ ගැන වැඩි විස්තර පොලිස්පතිවරයා සාක්ෂි ලබාදෙද්දි කියයි. සහරාන් ඇල්ලීම මගේ වැඩක් නෙමේ. බුද්ධි තොරතුරු සම්බන්ධයෙනුත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට මට උපදෙස් දෙන්න බැහැ. ඔහුට සෘජුව උපදෙස් දෙන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. ඔවුන් තොරතුරු බෙදාගත්තා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර තිබුනේ පිය – පුතු සම්බන්ධතාවයකටත් එහා ගිය බැඳීමක්. මට ඒ සම්බන්ධයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ.”

*********************************************

මංතීරු නීතිය කඩකරන පුද්ගලයන් උපදෙස් පංති සදහා කැඳවයි

(21.09.2020 – 21:02 +0530 – hirunews.lk/sinhala)

මංතීරු නීතිය ක්‍රියාත්මක නොකරන පුද්ගලයන් හදුනාගනිමින් ඔවුන් සති අන්තයේ මාර්ග නීති උපදෙස් පංති සදහා කැඳවන බව පොලීසිය පවසනවා.

මේ අතර මංතීරු නීතිය අද(21) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හිද ක්‍රියාත්මක වුණා.

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලය අසළ සිට පිත්තල හන්දිය දක්වාත්, බේස්ලයින් මාර්ගයේ කැලණි පාලම සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වාත්, ගාලු පාරේ වැල්ලවත්ත විලියම් හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වාත්, පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වා මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර පොලීසිය සදහන් කළේ මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව මෙම සතියේදීද දඩ පත්‍රිකා නිකුත් නොකරන බවයි.

*********************************************

සාමාජික රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්න, ජනපති ජගත් සංවිධානයෙන් ඉල්ලයි

(21.09.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

සාමාජික රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි ජගත් සංවිධානයෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන් අමතමින් ඊයේ (21)ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සමුළුව ඊයේ (21) ආරම්භ වූ අතර, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකය පොදු හා අසමාන වූ තර්ජනයකට මුහුණපා සිටින බවයි.

අපට අවශ්‍ය එක්සත් ජාතීන්, යන පාඨයට අනුව රාජ්‍යයන්හි ස්වෛරී සමානාත්මතාවට හා භෞමික අඛන්ඩතාවට නිසි ගෞරවයක් දැක්විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන් සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එහි තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා.

කොවිඞ් 19 ගෝලීය වසංගතයෙන් රටවල ආර්ථිකයන් සහ සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත්කර තිබෙනවා.

දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඞ් 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවූ බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ෴

*********************************************

විස්ස අද (22) පාර්ලිමේන්තුවට

(22.09.2020 – 06:37 +0530 – hirunews.lk/sinhala)

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී එය ඉදිරිපත් කරනු ඇති.

මෙම යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය 2 වැනිදා හිමිවුණු අතර එය ඊට පසුදින ගැසට් කෙරුණා.

පසුව, එහි ඇති ඇතැම් කරුණු වලට විරෝධතා එල්ල වූ අතර ඒවා සැලකිල්ලට ගනිමින් එම කරුණු නැවත සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කළා.

එම කමිටුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළද ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළේ දැනට කෙටුම්පත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය එම ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර එය පළමුවර කියවීම ලෙස සැලකෙනවා.

අද (22) සිට දින 7 ක් ඇතුළත එහි ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමේ අවස්ථාව පුරවැසියන්ට හිමිවන අතර, විරෝධතා නොමැතිනම් අදාළ කෙටුම්පත දින 7 කට පසු පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයට ගැනෙනවා.

දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු එහි සංශෝධන ඇත්නම් කාරක සභා අවස්ථාවේදී ඒවා කෙටුම්පතට එක්කෙරෙනු ඇති.

පසුව එය 2/3 ක බහුතරයකින් සම්මත කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර, සංශෝධිත කාලයට අනුව පෙරවරු 10:00 සිට පස්වරු 05:30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීම අද (22) සිට ක්‍රියාත්මකයි.

මේ අතර, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඊයේ (21) පස්වරුවේ පැවති අතර එහිදී ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සංවාදයට බඳුන්වී තිබෙනවා.

එමෙන්ම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (21) රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී ද සාකච්ඡා වී ඇති අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම ද රැස්වුණා ෴

*********************************************

නීති විරෝධීව සූදු ක්‍රීඩාවේ නිරතවූ චීන ජාතිකයින් 12 ක් කොල්ලුපිටියේදී අල්ලයි

(22.09.2020 – 06:59 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුලදී මොවුන් අත්ඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් සන්තකයේ තිබී රුපියල් රුපියල් මිලියන 6.5 ක මුදලක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා ෴

***************

අම්බලන්තොට නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ මව, දියණිය සහ මුණුපුරෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්කුඩු ගෙන්වා ගැනීම සඳහා බැංකුවට මුදල් බැර කිරීමට පැමිණි අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන් ලඟ තිබී රුපියල් 74,000 ක් මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

මීට පෙර ද මොවුන්ට මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ ෴

+++++++++++++

කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දුන් සැකකරුවෙකු ඉන් මිදී ගිං ගඟට පැන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (21) පස්වරුවේ මෙම සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන බද්දේගම පොලීසියට භාර දී තිබෙනවා.

එහිදී සැකකරු රැගෙන යන අවස්ථාවේදී පොලිස් භාරයෙන් මිදී ගිං ගගට පැන අතුරුදන්වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

මීටියගොඩ – බේරතුඩුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු සොයා කිමිඳුම්කරුවන් ද මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ගල්කිස්ස පොලීසිය රත්මලාන සහ බඩෝවිට ප්‍රදේශවල ඊයේ (21) සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 728 ක් සමග 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++

හෙරොයින් ග්‍රෑම් 300 ක් සමගින් සැකකරුවන් 9 දෙනෙකු සපුගස්කන්ද ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එම ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී හෙරොයින් ළඟ තබාගෙන සිටියදී ඊයේ(21) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිටින කළු තුෂාර නැමැත්තාගේ ගෝලයෙකුද හෙරොයින් සමඟ ගොතටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර කටුනායක 18 කණුව ප්‍රදේශයේදිද සිදුකළ වැටලීමකදී හෙරොයින් සමඟින් සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් 18 කණුව, වෙළබඩපාර, අමන්දොලුව සහ හීනටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

එමෙන්ම බොරැල්ල – සහස්පුර ප්‍රදේශයේදීද හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 50 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ ෴

+++++++++++++++++

කටාන – කලුආරිප්පුව ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්තශාලාවක ඊයේ(21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු එම කර්මාන්තශාලාවේ සේවකයෙකු බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය පිලිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

++++++++++++++++

කටුනායක ප්‍රදේශයේ වෙළඳසැල්වල මුදල් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක මුදල් සොරකම් කර පසුව එය ගිනිගැනීමට සළස්වා එම වෙළඳසැලට රුපියල් කෝටි එකහමාරක (1,50,00,000) අලාභයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම සැකකරු ඊයේ(21) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

27 හැවිරිදි මෙම සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වී ඇත්තේ මොහු පසුගිය මස 16 වනදා සහ 17 වනදා දිනවල කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක රුපියල් හයදහසක (6000) මුදලක් සහ රෙදිපිලි අලෙවිසැළක රුපියල් අසූ දහසක (80,000) මුදලක් සොරකම් කර ඇති බවයි ෴

+++++++++++++++++

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් පයාගල වෙරළ තීරයෙන් හමුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම කොකේන් තොගය පාර්සලයක බහා තිබූ බවයි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටින ‘ටාසන්’ නැමැත්තා මෙහෙයවන මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

ඊට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකු සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 40 ක හෙරොයින් සමඟයි.

ඔවුන් එම ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී හෙරොයින් ළඟ තබාගෙන සිටියදී ඊයේ (21) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් මුළු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 300 ක්.

දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිටින ‘කළු තුෂාර’ නැමැත්තාගේ ගෝලයෙකුද හෙරොයින් සමඟ ගොතටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

කටුනායක 18 කණුව ප්‍රදේශයේදිද සිදුකළ වැටලීමකදී හෙරොයින් සමඟින් සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (21)අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් 18 කණුව, වෙළබඩපාර, අමන්දොලුව සහ හීනටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

එමෙන්ම බොරැල්ල – සහස්පුර ප්‍රදේශයේදීද හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 50 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම ග්‍රෑන්ඩ්පාස්හිදී හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

කුරුණෑගල ප්‍රදේශයේදී ද හෙරොයින් ජාවාරමේ නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා. එහිදී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 30 යි මිලිග්‍රෑම් 320 ක් වන අතර, සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

මේ අතර බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම් රාජකාරිවලදී සැකකරුවන් 417 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 180 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

+++++++++++++++++

මාරවිල තොඩුවාව ග්‍රාමයේ කාන්තාවක් අභිරහස් ආකාරයෙන් සිදුවූ ගින්නකින් මියගොස් තිබෙන බව අප වාර්තාකරු ප්‍රකාශ කරනවා.

පෙරේදා (21) පස්වරුවේ මෙය සිදුව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ තෙරෙසි ජොහානා නමැති 74 හැවිරිදි කාන්තාවක්.

මේ කාන්තාව නිවසේ නිදා සිට ඇති අතර මේ අවස්ථාවේ නිවසේ කුඩා දරුවන් තිදෙනෙකු හා මියගිය කාන්තාවගේ පුතා හා ලේලිය සිට ඇති බව සඳහන්.

මියගිය කාන්තාවගේ පුත්‍රයා නිවසේ ගින්නක් දැක, ඒ පිලිබදව විමසිලිමත්වූ අවස්ථාවේ දැක ඇත්තේ මවට ගිනි ගෙන ඇති අයුරුයි.

එහිදී වහා ක්‍රියාත්මක වී ඇති මොහු වතුර ගසා ගින්න නිවන්නට උත්සහා කර තිබෙනවා.

එහෙත් ඒ වන විටත් ගින්න පැතිර මේ කාන්තාවට විශාල හානියක් සිදුව ඇති අතර පසුව මොවුන් හදිසි ගිලන් රථ සේවයට කතා කර තිබෙනවා.

ඔවුන් පැමිණ කියා ඇත්තේ මේ කාන්තාව මියගොස් ඇති බවයි.

මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා ෴

*********************************************

පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට නියෝජ්‍ය පොලිස්පතිවරියක්

(22.09.2020 – 07:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියක්, නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ලබා දෙන ලෙසට පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය ලෙස ළමා හා කාන්තා කාර්යාංශයේ බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය කටයුතු කරනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දැරූ ප්‍රථම කාන්තා නිලධාරිනිය වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි ප්‍රමිලා දිවාකර මහත්මියයි.

පොලිස් සේවයට බැඳුණු ඇය පළමු කාන්තා නිලධාරිනිය ද වූ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දරමින් සිටියදී විශ්‍රාම ගෙන තිබුණා ෴

*********************************************

බූවැලිකඩ ඛේදවාචකයෙන් මියගිය මව, පියා සහ බිළිදියගේ දේහයන් අසල්වාසී නිවසකට

(22.09.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල ඊට පහලින් තිබු තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුනේ පෙරේදා (20) අලුයම් කාලයේදියි.

එහිදි මාස එකහමාරක් (1½) පමණ වයසැති බිළිදියක් සහ ඇයගේ දෙමව්පියන් ජිවිතක්ෂයට පත්වුණා.

ඔවුන්ගේ දේහයන් පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (21) සිදුකෙරුණේ මහනුවර ජාතික රෝහලේදියි.

ඒ අනුව ඔවුන්ගේ දේහයන් මේ වනවිට බූවැලිකඩ ප්‍රදේශයේම අසල්වාසී නිවසක තැන්පත් කර තිබෙනවා.

එකම පවුලේ තුන්දෙනෙකුට (3) මරු කැඳවු මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

කිසියම් පාර්ශවයක් ඊට අදාළව සාපරාධී වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව උපරිම නිතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඊයේ (21) ඉල්ලා සිටියේ.

මෙම කඩා වැටුනු ගොඩනැගිල්ල දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් වන අතර, ප්‍රදේශවාසීන් චෝදනා කළේ ගොඩනැගිල්ල හිමිකරු ඇතුලු පිරිස අනතුර සිදුවීමේ අවදානම පිළිබද දැනුවත්ව එදින අළුයම ඉන් පිටත්ව ගොස් ඇති බවටයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදුකරන බවයි.

ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

මහනුවර නගරයේ පිහිටා ඇති අවදානම් සහගත ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයා බැලීමක් අද (22) ආරම්භ කෙරෙනවා.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුවක් මඟින්.

ඊයේ (21) පැවති සාකච්ඡාවකදී මෙම විශේෂඥ කමිටුව පත් කළ අතර, ආණ්ඩුකාරවරයා සඳහන් කළේ එම කමිටුවේ වාර්තාව සති දෙකකින් (2) තමන්ට ලැබීමට නියමිත බවයි.

මේ අතර, දිවයින පුරා අවදානම් සහිත ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස 12,000 ක් පමණ හඳුනා ගෙන ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා ෴

++++++++++++++++

‘වන්දි එපා., සාධාරණය ඉටු කරන්න’ මහනුවර කඩාවැටුනු මහල් ගොඩනැගිල්ලට යටවී මියගිය අයගේ පවුලේ ඥාතීන් ඉල්ලයි

(22.09.2020 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් දිවි අහිමි වූ මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමාපියන්ගේ දේහයන් මේ වනවිට එම ප්‍රදේශයේම අසල්වැසි නිවසක තැන්පත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඊයේ (21) රාත්‍රියේ ඔවුන්ගේ දේහයන් මහනුවර ජාතික රෝහලේ සිට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ අනතුර සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

තවත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට රජය විසින් පුළුල් මැදිහත් වීමක් අවශ්‍ය බවද ඥාතීන් ප්‍රකාශ කළා.

මහනුවර – බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුණු ගොඩනැගිල්ල ඊට පහලින් තිබු තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුනේ පෙරේදා (20) අලුයම් කාලයේදියි.

කඩා වැටුනු ගොඩනැගිල්ල දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් වන අතර, ඔහු විසින් සිද්ධිය වූ දින දහවල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තම නිවස කඩා වැටී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

21-09-2020

+++++++++++++++++++++

22-09-2020

*********************************************

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා

(22.09.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – චෙන්කලඩි – පණ්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක සීමා ලකුණු කිරීම නිසි පරිදි සිදු නොවන බවට පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් චෝදනා කරනවා.

පසුගියදා එම භූමියට පුරාවිද්‍යා නිලධාරීන් පැමිණි අතර, එහිදී උන්වහන්සේ ඔවුන්ටද දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.

+++++++++

++++++++++

මඩකලපුව – චෙන්කලාඩි – පණ්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියකදී තමාට පහරදුන් බවට පවසමින් පුරාවිද්‍යා නිලධාරීන් තුන්දෙනෙකු (3) පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර – මඩකලපුව ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්‍ෂ ඩී.ජී. ප්‍රියන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පහරකෑමෙන් තුවාල ලැබූ තම නිලධාරීන් මේ වනවිට කරදියනාරු සහ මඩකලපුව යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

පණ්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක සීමා ලකුණු කිරීම නිසි පරිදි සිදු නොවන බවට පුරාවිද්‍යා නිලධාරීන්ට පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් චෝදනා එල්ල කර තිබුණා.

ඒ පිළිබඳව සොයාබැලීම සඳහා අම්පිටියේ සුමනරතන හිමියන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා නිලධාරීන්ට දෝෂාරෝපණ එල්ල කරමින් පහරදී ඇති බවටයි වාර්තාවන්නේ.

+++++++++++++++++++++

22-09-2020

*********************************************

සෞදියේ ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

(22.09.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එහි සේවය කළ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ කොන්සල් කාර්යාලය තාවකාලිකව වසා දැමුණු බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම කොන්සල් කාර්යාලය ලබන 27 වනදා යළි විවෘත කිරීමට නියමිතයි.

මෙම කාලය තුළ හදිසි සේවා සඳහා ඊමේල් සහ දුරකථන අංක ඔස්සේ කොන්සන් ජනරාල් කාර්යාලය සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

*********************************************

විස්සට එරෙහිව සමඟි ජන බලවේග මන්ත්‍රීවරු විරෝධයක

(22.09.2020 – 11:57 +0530 – hirunews.lk/sinhala)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

කළු පටි පැළඳ පැමිණ සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එහිදී ඊට සිය විරෝධය පළ කරමින් සිටිනවා.

ප්‍රධාන කටයුතු ආරම්භයෙන් පසු පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ප්‍රථම ඊට විරෝධය පළ කරන බව සඳහන් කිරීමත් සමඟ සභාවේ ඇතිවූයේ උණුසුම් සංවාදයක්.

කෙසේ නමුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, සභාවේ කටයුතු නියමිත පරිදි ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කළ අතර, එහිදී අධිකරණ අමාත්‍යවරයා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඊට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළේ සභාවේ කටයුතුවලට බාධා එල්ල කරමින්. ඔවුන් තම කමිස සාක්කුවල ‘විස්ස එපා’ යනුවෙන් ලාංඡනයක් පැළඳ සිටි අතර, ‘විනාශකාරී විස්ස එපා’ යනුවෙන් පෝස්ටර් රැගෙන ඔවුන් සභාව මැදට ද පැමිණ සිටි බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු ඉෂාන් අල්විස් කියා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් කැඳවන ලෙස ඉල්ලා සිටිමින් නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා ෴

*********************************************

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට පාස්කු කොමිසමේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්

(22.09.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ ලබන 5 වනදා පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එම කොමිසමෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම ඔක්තෝම්බර් 6 වනදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්.

මේ අතර අද (22) පෙරවරුවේ එම කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දහවල් 12:15 ට පමණ ඉන් පිටව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් කෙරුණු සම්පූර්ණ විමර්ශනවලින් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කර එම සියලු‍ විමර්ශන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට භාරදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී කටයුතු කර ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ හෙළිවුණා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී ඊයේ (21) පස්වන (5) දිනටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මීට පෙර සාක්ෂි ලබාදුන් අවස්ථා කිහිපයේදීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් සමඟ පැවති විරසක භාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් යළි විමසමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ, හිටපු ජනාධිපතිවරයා සහ ඔහු අතර විරසකය මුලින්ම ඇති වූයේ කුමන කාලයකදී ද යන්නයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ පමණ එම විරසකය හටගත් බවත්, එය දිනෙන් දින උත්සන්න වූවා මිස අඩුවීමක් නොවූ බවත් හේමසිරි ප්‍රනාන්දු පිළිතුරු දෙමින් පැවසුවා.

ඊට හේතුවක් ලෙස ඔහු සඳහන් කළේ විවිධ පාර්ශ්ව තමා සම්බන්ධයෙන්වන අසත්‍ය කරුණු ජනාධිපතිවරයාට පවසා විවිධ බලපෑම් කර විරසකයක් නිර්මාණය කළ බවයි.

අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගේ අවධානය, පාස්කු ඉරුදිනට පෙර අවසන් බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ 2019 වර්ෂයේ අප්‍රේල් මස 16 දිනට ගෙන ගියා.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ප්‍රහාරයට පෙර අප්‍රේල් 16 අඟහරුවාදා රැස්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ද යන්නයි.

ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එහිදි සාක්ෂි දෙමින් කියා සිටියේ අවුරුදු සමය නිසා ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා ඇතුළු බොහෝ පාර්ශව නිවාඩු ඉල්ලු‍ම් කර තිබු නිසා එම රැස්වීම නොපවැත්වු බවයි.

පසුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ‍විනාඩි 5 න් රැස්වීම අවසන් විමෙන් ඇඟවෙන්නේ ඔබේ පරිපාලනයේ දුර්වලකම නෙවෙයිද යන්නයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ මගේ පරිපාලනයේ දුර්වලකමක් නොමැති බවත් තොරතුරු ලබාදිය යුතු අය තොරතුරු ලබා නොදුන් බවයි.

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා එහිදි ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා විසින් නිලන්ත ජයවර්ධනට ඒ කටයුතු භාර දුන්න බව ඔප්පු කරන්න පුලු‍වන් ද යන්නයි.

ඊට සාක්ෂී ලබා දෙමින් හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ එය ඔප්පු කළ හැකි බවයි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (22) පෙරවරුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන ඔක්තෝම්බර් 06 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට එම කොමිසම දැනුම් දී තිබෙනවා.

+++++++++++++++++++++

*********************************************

නුසුදුසු ඇඳුමෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතාවුල්ලා ඉවත්ව යයි

(22.09.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැළපෙන ඇඳුමකින් පැමිණීම නිසා ඇතිවූ විරෝධය හේතුවෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය දක්වන අතරතුර ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයාටද ඔවුන් විරෝධය පළවූ අතර, ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයාට සභා ගර්භයෙන් ඉවත්වන ලෙසට තමන් දැනුම් දුන් බවයි ෴

+++++++++++++++++++++

*********************************************

ආනවිලුන්දාව සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජගත් සමන්ත 24 දක්වා රිමාන්ඩ්

(22.09.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ආනවිලුන්දාව තෙත් බිම් උද්‍යානයේ ගැටලුවේ ප්‍රධාන සැකකරු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත අධිකරණයට භාරවීමෙන් අනතුරුව එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරායි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • One thing that comes out of the Commission of Enquiry into the Easter Sunday massacre is that the most senior personnel in each line of responsibilitiy and authority have neglected and failed in their management functions. It has been shown that they were and still are brainless, unable to see through the writing, meaning that they do not have the ability to analyse a given statement, unable to uptake the seriousness of the statements and reports received, and totally and utterly failed to exercise what is called the direction and control functions. The highest level executive has gone off on holiday and switched off his communication line (isolated himself) without nominating a person to act on his behalf before his fun trip abroad and failing to instruct his subordinates how to contact him or his proxy. The top politicians have also been lobbied and misled by lying and scheming Muslim politicians pulling wool over the eyes of PM and the President who in turn had blocked enforcing the law against knwon terrorists in the country; instead they have been indulging in personal vendettas against one another. These people in management and leadership have been sitting in their chairs or sleeping like scarecrows in a chena, utterly incompetent. All of them, including the politcians from the president and the prime minister downwards should be named as culprits responsible for this massacre, and put in front of the courts. It is a disgraceful situation and event and I hope it will be written into our history in blood of the victims as one notorious example of incompetent leaders and top level government servants of this country, similar to the incompetence and plotting of the political leader that kept mum during Black July 1983..

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *