කටාරයේ නීතිවිරෝධී සංවිධානයකින් හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට රුපියල් මිලියන 13 ක්

කටාරයේ නීතිවිරෝධී සංවිධානයකින් හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට රුපියල් මිලියන 13 ක්

සහල් මිල ඉහලට

වැසි ජලයෙන් පිඩා විදින කොස්ගම රණවිරුගම ගම්මානය

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු සිව් (4) දෙනෙකුට නොතීසි

ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් චක්‍රලේඛයක්

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

‘මන්නා රමේෂ්’ගේ ගෝලයින් දෙදෙනෙකු (2) ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන පැමිණි රජයේ මුද්‍රණාල සේවකයන් 3 ක් අත්අඩංගුවට

නිවාස සංවර්ධන අධිකාරියේ, නාරාහේන්පිට කාර්යාලය ජනපතිගේ හදිසි නිරීක්ෂණයට

ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීමයි – මහා මණ්ඩල සමුළුව අමතමින් ජනපති කියයි

විදුහල්පති දැරියකට යැවූ ලිපිය ගැන ඇත්ත හෙලි වේ

*********************************************

කටාරයේ නීතිවිරෝධී සංවිධානයකින් හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට රුපියල් මිලියන 13 ක්

(23.09.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් සංවිධානයකට කටාර් හි නීතිවිරෝධී සංවිධානයකින් ත්‍රස්ත කටයුතු සඳහා රුපියල් මිලියන 13 ක මුදලක් ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ මුදල පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ බැංකු ගිණුම් වෙත ලැබී ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනුව එම මුදල් මෙරට කිසියම් ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා යෙදවූයේද යන්න පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

+++++++++++++++++++++

*********************************************

සහල් මිල ඉහලට

(23.09.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ සහල් මිල මේ වනවිට රුපියල් 100 මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියේ සම්බා සහල් වර්ගවල මිල මේ වනවිට පාලන මිල ඉක්මවා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, රට තුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 224 ක ණය මුදලක් ඉල්ලා සිටීම සඳහා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මාස 4 ක කාලයක් සඳහා මෙම ණය මුදල ඉල්ලා ඇති අතර, ඒ සඳහා භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කරන්නැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්.

ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ සහල් මෝල් හිමියන්ගේ සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් සහල් හිඟයක් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ ෴

*********************************************

වැසි ජලයෙන් පිඩා විදින කොස්ගම රණවිරුගම ගම්මානය

(23.09.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට වැසියන් සැහැල්ලුවෙන් සහ සාමයෙන් ජීවත් වන්නේ අව්වැසි නොබලා රට වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් නිසාවෙන් බව නොරහසක්.

පසුගිය කාලයේ රණවිරුවා මහත් උත්කර්ෂයට නැගුවත් මේ වන විට ඔවුන්ගේ කැපකිරීම් බොහෝ දෙනෙකුට අමතක වෙමින් තිබෙනවා.

අද (23) ‘රතු මිනිත්තුව’ රට දැය සමය වෙනුවෙන් සටන් කොට රණක්ෂිතයට පත් (යුද්ධයේදී ආබාධිත තත්වයට පත්වූ) රණවිරුවන් පිරිසක් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි එකම රණවිරු ගම්මානය කොස්ගම – සාලාව ‘ස්වර්ණජයන්ති රණවිරුගම’ ගම්මානයයි.

2000 වසරේ දී රණවිරු සේවා අධිකාරිය මගින් ආරම්භ කරනු ලබන මෙම ගම්මානයේ ජීවත් වන්නේ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල් 107 ක පිරිසක්.

නිසි කානු පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් පසුගියදා ඇති වූ වර්ෂාපතනයත් සමඟ ඔවුන්ගේ නිවාස ජලයෙන් යටවුණා.

ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් සිට තමන් මේ දුෂ්කරතාවට මුහුණ දෙන බවයි.

දශක දෙකකට (2) ආසන්න කාලයක සිට මෙම ගැටලුව බලධාරීන්ට දැනුම් දුන්නද විසඳුමක් ‍නොලැබුණු බව රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ චෝදනාවයි.

විටින් විට ඔවුන් හමුවන නිලධාරීන් විවිධ සැලසුම් ඉදිරිපත් කළ ද මේ දක්වා ඒ කිසිවක් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වී නැහැ.

රට දැය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ මේ රණවිරුවන්ගේ ගැටලුවලට බලධාරීන්ගෙන් නිසි විසඳුම් ලැබෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(23.09.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ මෙම තීරණය ගෙන ඇති බවයි.

මිට අදාල නිවේදනය පහතින් :

*********************************************

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු සිව් (4) දෙනෙකුට නොතීසි

(23.09.2020 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙට (24) පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම් සහ කොළඹ අගරදගුරු පදවියේ සහකාර රදගුරු හිමිවරුන් තුන් (3) දෙනෙකුට අද (23) නොතීසි නිකුත් කළා.

මේ අතර, අද (23) පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසියට අනුව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මේ වනවිට පාස්කු කොමිසම වෙත පැමිණ සිටින බව හිරු වාර්තාකරු කියා සිටියා.

+++++++++++++++++++++

*********************************************

ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් චක්‍රලේඛයක්

(23.09.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නිලධාරීන් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යහ්න 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතු බව දක්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එසේම, සඳුඳා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර, ඉතිරි දින තුනෙන් දිනයක් විවේක දිනය ලෙස හා අනෙක් දින දෙක ක්ෂේත්‍ර රාජකාරී සඳහාද යොදා ගත යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ විධිවිධාන ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මකයි ෴

*********************************************

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

(23.09.2020 – 17:20 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල නගරයේ සිව් (4) මහල් ගොඩනැගිල්ලක පිහිටි හෝටලයක් අද (23) දහවල් ඇතිවූ ගින්නකින් විනාශ වී තිබෙනවා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ගින්නෙන් හෝටලය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

*********************************************

‘මන්නා රමේෂ්’ගේ ගෝලයින් දෙදෙනෙකු (2) ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට

(23.09.2020 – 17:41 +0530 – hirunews.lk/sinhala)

දැනට සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මන්නා රමේෂ්’ගේ සමීපතමයින් දෙදෙනෙකු (2) ගිනි අවි දෙකක් (2), ජීව උණ්ඩ 100 ක් සහ මාංචු යුගලක් සමඟ අවිස්සාවේල්ල – තල්දූවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (23) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, නිට්ටඹුව පොලිසිය සිදුකළ වැටලීමකදි විවිධ අපරාධවලට සම්බන්ධ ‘අමිල’ හෙවත් ‘ගෙම්බා’ නැමැති සැකකරු සමඟ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ වායු රයිෆලයක්, කිනිසි දෙකක් (2) , කඩුවක් සහ හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 100 ක් සමඟයි.

ලුණුගම්වෙහෙර – ගලහිටිය මාර්ගයේ කෑලැබැද ප්‍රදේශයකදි ගිනි අවි පෙන්වා වෑන් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත්, ඔවුන් වැල්ලවාය පොලිසියට භාරදීමෙන් පසු ගිනි අවියක්ද රැගෙන පලාගොස් ඇති අතර පසුව යළි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

මේ අතර පසුගිය වසර දෙකක (2) කාලය තුළ බස්නාහිර පළාත තුළ සොරකම් කරන ලද බවට පැමිණිලි ලද ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොයා අද (23) විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි.

ඇතැම් යතුරු පැදි සහ ත්‍රීරෝද රථවල ලියාපදිංචි අංක, එන්ජින් අංක සහ වැසි අංක වෙනස් කර ඇති අතර, ඒවායේ ලැයිස්තුවක් www.police.lk සහ www.hirunews.lk වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබෙනවා.

[ හිරු නිවුස් වෙබ් පිටුව ]

එවැනි අපරාධකරුවෙකුට හසුවී ඇති බවට හෝ සිය වාහනය සම්බන්ධයෙන් සැකයක් පවතී නම් ඒ පිළිබදව 071 859 1727 , 071 859 2167 , 071 859 2279 මෙන්ම 011 201 3060 යන අංකවලින් තොරතුරු ලබාගත හැකියි.

*********************************************

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන පැමිණි රජයේ මුද්‍රණාල සේවකයන් 3 ක් අත්අඩංගුවට

(23.09.2020 – 18:21 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන පැමිණි බව කියන රජයේ මුද්‍රණාලයේ සේවකයන් තුන් දෙනෙකු (3) පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසියට භාරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කෙරෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

කතුර හමුවී ඇත්තේ මුද්‍රණාල සේවකයන් විසින් පාර්ලිමේන්තුවට රැගෙන පැමිණි ලිපි ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් තුළ තිබියදීයි.

මෙම පාර්සල් එක්ස්රේ පරීක්ෂණ යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමේදී උල් කතුර හමුවී තිබෙනවා.

මෙම පාර්සල් රජයේ මුද්‍රණාලයේදී සැකසූ සේවකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

වැලිකඩ පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා ෴

*********************************************

නිවාස සංවර්ධන අධිකාරියේ, නාරාහේන්පිට කාර්යාලය ජනපතිගේ හදිසි නිරීක්ෂණයට

(23.09.2020 – 18:57 +0530 – hirunews.lk/sinhala)

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වී තිබෙනවා.

සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුවයි ජනාධිපතිවරයා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණ ඇත්තේ.

රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බවයි අදාළ පැමිණිලිකාරිය ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ.

කාර්යාලය අධීක්ෂණය කිරීමේදී එහි ප්‍රමාණවත් සේවක පිරිසක් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතාට නිරීක්ෂණය වී තිබෙනවා.

සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටිනු දුටු ජනාධිපතිවරයා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අනතුරුව නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බවයි.

+++++++++++++++++++++

*********************************************

ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීමයි – මහා මණ්ඩල සමුළුව අමතමින් ජනපති කියයි

(23.09.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටින අතර ජනතා අවශ්‍යතාවන්ට තිරසාර විසඳුම් ලබා දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු ආකාරයකින් ගැති නොවී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසියේ රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (22) රාත්‍රී 09:00 ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කෙරුණා.

‘අපට අවශ්‍ය අනාගතය, අපට අවශ්‍ය එක්සත් ජාතීන් : බහුපාර්ශ්විකත්වය සඳහා අපේ සාමූහික කැපවීම යළිත් තහවුරු කිරීම’ (The Future We Want, the UN We Need : Reaffirming our Collective Commitment to Multilateralism) මෙවර සමුළුවේ තේමාවයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස් මහතා, මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් මහතා සභාව ආමන්ත්‍රණය කිරීමෙන් සමුළුව ආරම්භ වුනා.

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පළමු සහ දෙවන දේශන සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) අළුයම 04:45 ට පමණයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතුවේ.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත සමාජ, ආර්ථික ගැටළු විසඳීමට ශ්‍රි ලංකාව දැඩි කැපවීමකින් ක්‍රියා කරන අතර දරුවන් සහ තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමත් තම අවශ්‍යතාව බවයි සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා ජාවාරමේ නිරත අන්තර්ජාතික අපරාධ කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර, සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ අතර, එය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

“දශක 03 කට ආසන්න කාලයක් බෙදුම්වාදය හා ත්‍රස්තවාදය අත්විඳි ශ්‍රී ලංකාව දේශීය හෝ අන්තර්ජාතික හෝ සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ හෙලා දකිනවා” ජනාධිපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කළ ද කුරිරු මතවාදය ප්‍රචලිත කරමින් හා පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණ ගෙන යමින් ත්‍රස්තවාදී සංවිධානයේ අන්තර්ජාතික ජාලය තවමත් ක්‍රියාත්මකව ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

විවිධ දුර්මත සහ ප්‍රකාශ තුළින් ප්‍රචණ්ඩ දෘෂ්ටිවාදය අඛණ්ඩව පවත්වාගෙන යන මෙම ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් කිසිදු රාජ්‍යයක් නොඉවසනු ඇතැයි ද ඔහු අපේක්ෂාව පළ කළා.

“පටු දේශපාලනික ප්‍රේරණ නොතකා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලෝක ප්‍රජාව ශ්‍රි ලංකාව සමග සහයෝගයෙන් නැගී සිටිය යුතුයි” යනුවෙන් ද ජනාධිපතිවරයා කියා සිටියා.

“කොවිඩ්-19 හි බලපෑම අවම කිරීම සඳහා ජාතික දේශසීමා අතර සහයෝගීතාවේ වැදගත්කම පිළිබිඹු කරයි. ‘කොවිඩ්-19 ගෝලීය මානුෂීය ප්‍රතිචාර සැලැස්ම’ සහ ‘කොවිඩ් 19 ප්‍රතිචාර සහ ප්‍රතිසාදන අරමුදල’ පිහිටුවීම ඇතුළු අභියෝගයට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන් ගත් ව්‍යායාමය අගය කළයුතුය. වැඩිදියුණු කළ පසු මූලික සෞඛ්‍ය පහසුකමක් ලෙස නම් කළ යුතු කොවිඩ්-19 එන්නත සියලුදෙනාට ගත හැකි එන්නතක් වනු ඇති බව සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක්” යැයි ද ඔහු ප්‍රකාශ කළා.

රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය, බහුවිධ අඛණ්ඩතාව ආරක්ෂා කරන සහ එම රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අගයන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත්කම අවධාරණය කරන බවයි සිය දේශනය අවසන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

*********************************************

විදුහල්පති දැරියකට යැවූ ලිපිය ගැන ඇත්ත හෙලි වේ

(23.09.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිඳුණුවැව – ආසිරිගම – නාමල්පුර ප්‍රදේශයේ පදිංචි දැරියකට මෙම ලිපිය යොමුකර ඇත්තේ කැකිරාව – පළුගස්දමන – පුස්දිවුල්වැව විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ජී.එස්.ඒ. බණ්ඩාර මහතා යි.

සමාජ මාධ්‍යට එක්වුණු මෙම ලිපිය ගැන අපි අවධානය යොමු කළේ ඒ තුළ සැඟවුණු සොඳුරු කතාවක් බලාපොරොත්තුවෙන් නොවේ.

පාසල්වල පළමු ශ්‍රේණියට තම දරුවා ඇතුල් කිරීම සඳහා දෙමව්පියන් අතර අදටත් පවතින්නේ දැඩි තරඟයක්.

ඒ සඳහා අල්ලස් ලබාගන්නා විදුහල්පතිවරුන්ද නැතුවාම නොවේ.

එවැනි වකවානුවක පාසලට ඇතුළත්වීමට නියමිත දරුවන් වෙනුවෙන් මෙවන් ලිපියක් යොමුකළ කැකිරාව – පළුගස්දමන – පුස්දිවුල්වැව විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ජී.එස්.ඒ. බණ්ඩාර මහතා ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊට හේතු විමසා සිටියා.

ඔහු කියා සිටියේ ඉතා දුෂ්කර පාසලට දරුවන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙලෙස කටයුතු කළ බවයි.

අති දුෂ්කර පාසලක් වන මෙහි ළමයින් 118 දෙනෙකු ඉගෙනුම ලබනවා.

මෙවර එහි පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී තිබුණේ දරුවන් 11 දෙනෙකු වෙනුවෙන් පමණයි.

විදුහල්පතිවරයා මාතලේ – නාවුල සිට යතුරුපැදියෙන් පාසලට පැමිණෙන්නේ කිලෝමීටර් 70 ක් දුර ගෙවමින්. යාමට ඒමට කිලෝමීටර් 140 ක්.

මෙය සීමිත දරු පිරිසකට සොඳුරු පාසලක් බිහි කරන්නට දරන පුංචි උත්සාහයක් වූවත්, එහි අගය වඩා වටින්නේ දරුවන් වෙනුවෙන් ජනප්‍රිය පාසල් සොයන්නට යන තරඟය අද බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබීම නිසාවෙන්.

පංති පහේ පාසලකට අයදුම්පත් දහස් ගණනක් ලැබෙන සමාජයක දරුවන් වෙනුවෙන් බලා සිටින පාසල් තවත් කොපමණ මේ රටේ විසිරී ඇත්ද ?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *