ඉස්ලාම් අන්තවාදය ගැන විවෘත විමර්ශන සිදු නොකරන්නැයි හිටපු ජනපති මෛත්‍රී උපදෙස් දුන් බව පූජිත් ජනපති කොමිසමේදී කියයි

ඉස්ලාම් අන්තවාදය ගැන විවෘත විමර්ශන සිදු නොකරන්නැයි හිටපු ජනපති මෛත්‍රී උපදෙස් දුන් බව පූජිත් ජනපති කොමිසමේදී කියයි

දේශපාලන පළිගැනීම් සොයන ජනපති කොමිසමේදී තවත් හෙලිදරව්වක්

බූවැලිකඩ පුංචි පවුල අවසන් ගමන් යයි

ජනපතිගෙන් අවස්ථාවක් ඉල්ලන දිඹුලාගල කැටයම්කරු

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නොපෙනෙන පැත්ත බැලුවද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර

20 න් විගණනය ඉවත් කරන්නේ ජනතා මුදල් සොරා කෑමටයි… – මනෝ ගනේෂන්

කහ කිලෝ 205 ක් යුද හමුදා මාර්ග බාධකයේදී සොයාගැනේ

පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ‘රත්මලානේ රොහා’ මරුට

ගිනිගත් නෞකාවෙන් මුහුදට හානියක් සිදු වී ඇති බව – විශේෂඥ කමිටු වාර්තාවෙන් හෙළි වේ

මන්නාරම කාසි ක්‍රිස්තු වර්ෂ හත – අට සමයේ බවට සැක

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා සොයන කමිටු වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රම්පදෙණිය ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා

වසර විසි අටකට (28) පසු අපනයන සංවර්ධන සභාව රැස්වේ

ගම්පොල රැකවල්පොලදී කසළ තේ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

*********************************************

ඉස්ලාම් අන්තවාදය ගැන විවෘත විමර්ශන සිදු නොකරන්නැයි හිටපු ජනපති මෛත්‍රී උපදෙස් දුන් බව පූජිත් ජනපති කොමිසමේදී කියයි

(23.09.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු විවෘත විමර්ශනයක් සිදු නොකරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට උපදෙස් ලබාදුන් බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (23) පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඒ, අද (23) දෙවන (2) දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

කිසියම් අවස්ථාවකදී ජනාධිපතිවරයාගෙන් උපදෙස් නොගෙන අගමැතිවරයාගෙන් උපදෙස් ලබාගත්තේ දැයි කොමිසම විමසූ අවස්ථාවේදීයි.

මේ අතර, පූජිත් ජයසුන්දර සාක්ෂි ලබාදෙන අතරතුර අද (23) පස්වරු 04 ට පමණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිසමට පැමිණියා.

අනතුරුව ඊයේ (22) දිනයේදී මෙන් කොමිෂන් සභාවේ පිටුපස අසුනක හුදෙකලාව අසුන්ගෙන සාක්ෂි විමසීම නිරීක්ෂණය කළ හිටපු ජනාධිපතිවරයා විනාඩි 45 ක් පමණ එහි රැඳී සිට ඉන් පිටව ගිය අතර, එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හෙට (24) පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට අද (23) යළි නොතීසි නිකුත් කෙරුණා.

ඊට අමතරව කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන් තිදෙනාට (3) ද හෙට (24) ජනාධිපති කොමිසමට පැමිණෙන ලෙසට නොතීසි නිකුත් කළා.

+++++++++++++++++++++

*********************************************

දේශපාලන පළිගැනීම් සොයන ජනපති කොමිසමේදී තවත් හෙලිදරව්වක්

(23.09.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

වඩිවෙල් පක්ලිසාමි සහ රත්නසාමි පරමානන්දන් යන අය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු මත අත්අඩංගුවට ගෙන නඩු පැවරීම පිළිබඳ ජනපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනල් කමාන්ඩර් සම්පත් දයානන්ද අද (23) සාක්ෂි ලබා දුන්නා.

2018 වර්ෂයේ ඔක්තෝම්බර් 23 වන දින සී.අයි.ඩී. ය විසින් අදාළ සිද්ධියට තමාව අත්අඩංගුවට ගත් බවත්, එවක සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත සිල්වා මේ සම්බන්ධව තමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ බවත් ලුතිනල් කමාන්ඩර් සම්පත් දයානන්ද කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

අදාළ පුද්ගලයන් අතුරුදන් කිරීම නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ සහ එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානී හෙන්දවිතාන සහ එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ බලපෑම මත සිදුකළ බවට සාක්ෂි ලබාදෙන ලෙස නිශාන්ත සිල්වා තමන්ට දිගින් දිගටම බලපෑම් කළ බවයි සාක්ෂිකරු අනාවරණය කළේ.

“මචං ඔයගොල්ලෝ ජූනියර් අය, ඕගොල්ලන්ට මේවයෙ වගකීමක් නැහැ. කියපු අය කියලා මෙතනින් යන්න”‍ යනුවෙන් නිශාන්ත සිල්වා මුලින් ඉතා සුහදව තමාගෙන් ඉල්ලීම් කළත්, පසුව අසභ්‍ය වචනයෙන් බැන වදිමින් බලපෑම් කළ බවත් ඇතැම් අවස්ථාවල තමාට පහරදීමට උත්සහ කළ බවත් නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අතර පැවැත්වූ දුරකථන සංවාදයක්ද එහිදී කොමිසම හමුවේදි ඉදිරිපත් කළා.

එම හඬ පටයට අනුව යහපාලන රජයේ දේශපාලනඥයින් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පැවැත්වූ සමීප සම්බන්ධතා හෙලිවෙන බවයි සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නඩු ගොනුවලට අදාළ බී වාර්තාව දේශපාලනඥයින් අතට පත් කිරීමත්, දේශපාලනික බලපෑම මත අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමටත් නිශාන්ත සිල්වා ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යහපාලන රජය සමයේ කටයුතු කර ඇති ආකාරයත් එමඟින් පෙනී යන බවද ඔහු සඳහන් කළා.

+++++++++++++++++++++

*********************************************

බූවැලිකඩ පුංචි පවුල අවසන් ගමන් යයි

(23.09.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වු මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමව්පියන්ගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරුණා.

මෙම ගොඩනැගිල්ල කඩා වැටිමෙන් එකම පවුලේ මෙම තිදෙනාට (3) දිවි අහිමි වුයේ පසුගිය 20 වනදායි.

පසුව දේහයන් අසල්වාසි නිවසක තැන්පත් කර තිබු අතර, විශාල පිරිසකගේ සොසුසුම් මැද මහයියාව පොදු සුසාන භූමියේදී අද (23) පස්වරු 2 ට අදාහන කටයුතු සිදු කෙරුණා.

කෙසේ වෙතත්, මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය, සිද්ධියට අදාළව අසල පිහිටි නිවෙස්වල සී.සී.ටී.වී. දර්ශන සහ ගොඩනැගිල්ල අයත් අනුර ලෙව්කේ නමැත්තාගෙන් විධිමත් ප්‍රකාශයක් මෙතෙක් ලබා ගෙන නොමැති බවයි.

මේ අතර, මෙම සිද්ධියෙන් පසුව මහනුවර නගරයේ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පත් කළ කමිටුව අද (23) ප්‍රථම වරට දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයේදී රැස්වුණා.

අදාළ කමිටුව රැස්වීමෙන් පසු නගරයේ අවිධිමත් සහ අනවසර ගොඩනැගිලි පරීක්ෂා කිරීමට ද නියමිතව තිබෙනවා.

එමෙන් එහිදි කමිටුවේ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

අද (23) දහවල් රැස්වු කමිටුව පස්වරුව වනතෙක් පැවැති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

බූවැලිකඩ සිද්ධිය ගැන තවත් වාර්තාවක් අද (24)

(24.09.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව ඇතුළු ආයතන කිහිපයකින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කැඳවූ වාර්තාව අද (24) ලබාදීමට නියමිතයි.

මෙම සිද්ධියත් සමඟ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබුවා.

එම කමිටුව ඊයේ (23) ප්‍රථම වරට දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයේදී රැස්වූ අතර, එහිදී තාක්ෂණික ක්‍රමවේද 07 ක් ඔස්සේ මහනුවර නගරයේ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් සිදුකරනු සති දෙකක් (2) තුළ නගරයේ අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයා බැලීම සිදුකරන අතර, ඉන් පසු අදාළ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසුගිය 20 වනදා ජීවිතක්ෂයට පත්වු මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමව්පියන්ගේ අවසන් කටයුතු ඊයේ (23) සිදු කෙරුණා ෴

+++++++++++++++++++++

මහනුවර – බූවැලිකඩ සංඝමිත්තා මාවතේ මහල් 5 ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මව, පියා සහ එකම දරුවා ඊට යටවී ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් ඇති දැඩි කළ එකම සුරතලා පමණක් මේ වන විට ඉතා සංකාවෙන් ජීවත්වන බව ප්‍රදේශවාසීන් පවසනවා. (24.09.2020)

+++++++++++++++++++++

මහනුවර ඛේදවාචකයෙන් මියගිය සිය බාල සොයුරා ගැන අයියා කියූ සංවේදී කතාව – කවදා කොනැනක දී හෝ මගේම මල්ලිවෙලා අපි නැවත හමුවෙමු

(24.09.2020 – 18:58 +0530 – sinhala.adaderana.lk)

පසුගිය ඉරිදා මහනුවරදී කුඩා හෝටලයක් සහිත නිවසක් මතට පස්මහල් නිවසක් කඩාවැටීමෙන් එකම පවුලේ තිදෙනෙක් මිය ගිය අතර ඔවුන්ගේ අවසාන කටයුතු ඊයේ (23) සිදු කළේය.

එම ඛේදවාචකයෙන් මියගිය චමිල ප්‍රසාද් වැඩිමහල් සොහොයුරා එංගලන්තයේ සිට ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු සිය සොහොයුරා ගැන මතකය අප හා බෙදාගත්තේය.

ඔහු පැවසුවේ සිය සොහොයුරා ඉතා අවංක හිත හොඳ පුද්ගලයෙක් බවය.

“මේ සිද්ධිය වුණ අවස්ථාවේ දී මට හීනයක් වගේ. මට හිතාගන්න බැරි වුණා මල්ලිගේ වියෝව. මේ දවස්වල මේ රටට එන්න හරිම අමාරුයි. පැය 24 ක් වැනි කෙටිකාලයක් තුළ මට මේ රටට එන්න අවස්ථාව හදලා දුන්නේ විශේෂයෙන් ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලෙකම්ට, යුද හමුදාපතිට ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මගේ මල්ලි ගැන මම කියනවානම්, අපේ අම්මා අපිව දාලා යද්දි ඒයාට අවුරුදු 5 යි. මම එතකොට උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ. එයා ඒ අවස්ථාවේ අම්මා නැතිවුණු දුකින් පෙට්ටිය යට අඬමින් ඉන්න වෙලාවේ, තුරුලු කරගත් තුරුලුකර ගැනිල්ල තමයි මේ වෙනතුරු මම එයාව බලාගත්තේ. තාත්තා කෙනෙක් වගේ, එයාගේ පොඩිකාලේ මල්ලිට අම්මාගේ සෙනහස අහිමිවෙනවා, පුංචි අම්මලා හිටියා ඒ අය එයාට තනිකම නැතිකරන්න සහය වුණා. මල්ලි කළුතර විද්‍යාලයේ ඉගෙන ගත්තා, රගර් කණ්ඩායමේ ක්‍රීඩා කළා, අචලා නංගි විවාහ වෙනතුරුම මම එයා පිටුපස්සෙන් හිටියා.

මගේ මල්ලි ඉතාමත් අවංක නිහතමානි පුද්ගලයෙක්, බෞද්ධයෝ හැටියට අපි කවදාවත් කිසිම කෙනෙකුට අපේ මල්ලි හිංසාවක්, හිතරිදීමක්වත් කරන්නේ නැහැ. මල්ලි මගේ හෝටලය පාලනය කරන කාලයේ ඇතැම් අක්‍රමිකතා සිදුවෙන විට එක වතාවක් සමාව දෙනවා, දෙවතාවක් සමාව දෙනවා, තුන්වෙනි වතාවත් සමාව දෙනවා, මම අහනවා මේ අය ‘සැක්’කරනවාද කියලා? මල්ලි කියනවා බේබි අයියේ මම කොහොමද මේ මිනිස්සු සැක්කරන්නේ, මෙයාලගේ දරුවෝ අවුරුද්දකට සැරයක් ඇවිත් මට බුලත් දීලා වඳිනවා. දෙමාව්පියෝ කරන වැරදි හින්දා ඒ ළමයිට දඬුවම් දෙන්න බැහැනේ කියලා වැරදි හදවා හදවා තියාගන්නවා. කිසිම සේවකයෙක් අස්කරන්න ලෑස්ති වුණේ නැහැ, එච්චර නිහතමානියි. අපේ පවුලේ අයියලා දෙනෙක් නැති වුණා. ඒ අපේ ලොකු අයියා එයා අපෙන් වියෝවෙන කොට එයාට දුවලා දෙන්නෙක හිටියා. ඒ අක්කා ගුරුවරියක්. මගේ දෙවෙනි අයියාත් හදිසි අනතුරකින් නැති වුණා. එයාගෙත් දුවයි, පුතයි මල්ලි හදාගන්නවා. එක කාමරයක හිටියේ ඒ දුව තමා, මේ සියලුදෙනාටම තාත්තා කෙනක් වාගේ.

එයාට ආදරණීය බිරිඳක් හමුවුණා එයා දක්ෂ නීතිඥවරියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක්, ඒයාට හමු වුණ අහිංසක නංගි කෙනක්, අපිහරි සතුටු වුණා, විවහාවෙලත් අවුරුද්දක් ඇති දැන්, ඊට පස්සේ මේ පැටියා හමුවුණා, මේ පැටියාගේ මුණයි මගේ වූටි මල්ලිගේ මූහුණයි දෙකම එකයි. පොඩිකාලේ ඒ අහිංසන හිනාව ඒ විදිහටම මෙයාට පිහිටලා තියෙනවා. මේ සිද්ධිය සිද්ධවෙන්න පැය කිහිපයකට කළින්, (අපි හැමවෙලාවේ ම සම්බන්ධ වෙනවා) මම කිව්වා ලොකු අප්පචිට හිනාවක් දෙන්න පැටියෝ කියලා, එතකොට හිනා වුණා. මට මට හිතාගන්නත් බෑ මට වාවගන්නත් බැරි ඒකයි, ඒ එයා මට දුන්න අවසාන හිනාව, ඉතින් කොහොම හරි එයාට හිටියා තව දරුවෙක්, එයාගේ බල්ලා ‘බෘනෝ’. එයා මෙයාව දැක්ක ගමන් පුදුම සතුටින් ඉන්නේ, මට හැමදාම එක අතකින් මගේ පුතා කියලා බෘනෝව පෙන්නවා. බෘනෝ එදා පහළ තට්ටුවේ හිටියේ, මෙයා පාන්දර 5 ට විතර, මෙයා කූ කූ ගාලා, බුරලා නෙමෙයි, එතකොට බේරුණ දුව අනිත් කාමරයේ. දුවට තමා මේක ඇහිලා තියෙන්නේ, බල්ලා ඒ කියලා තියෙන්නේ ‘තාත්තේ දුවලා පළයන්’ කියලා.

මගේ මේ චමිල මල්ලී, අචලා නංගි, ඔනෙලා පැට්ටයි, ජීවිත පූජා කරලා, අපේ ජනතාවට හොඳ ආදර්ශයක්, පාඩමක් උගන්ලා ගියේ, අපේ ජීවිත තුළින්වත් පාඩමක් ඉගෙන ගන්න කියලා, මෙවන් අකල් මරණ කිසිදිනෙක සිදු නොවෙන්න වග බලාගන්න කියලා, මම හිතනවා අතිගරු ජනාධිපතිතතුමා මේ ගැන විශේෂයෙන් සළකා බලයි කියෙලා, මම අවසානයේ කියන්නට යන්නේ, මතු භවයක දී කවදා කොනැනක දී හෝ මගේම මල්ලිවෙලා අපි නැවත හමුවෙමු, තුරුණුවන්ගේ සරණයි.”

+++++++++++++++++++++

*********************************************

ජනපතිගෙන් අවස්ථාවක් ඉල්ලන දිඹුලාගල කැටයම්කරු

(23.09.2020 – 22:34 +0530 – hirunews.lk/sinhala)

දිඹුලාගල නව මිල්ලාන ගම්මානයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමේ අරමුණින් විශාල ධර්මාසනයක් නිර්මාණය කර තිබෙනවා.

එය ජනපති මැදුරේ ධර්ම දේශනා පැවැත්වෙන අවස්ථාවලදී ස්වාමීන් වහන්සේට අසුන් ගැනීම වෙනුවෙනුයි නිමවා ඇත්තේ.

තේක්ක සහ වෙනත් දැව භාවිත කරමින් නිර්මාණය කළ මෙම ධර්මාසනය ජනාධිපතිවරයාට පරිත්‍යාග කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ඔහු ඉල්ලීමක් කරනවා.

*********************************************

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නොපෙනෙන පැත්ත බැලුවද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(24.09.2020 – lankaleadnews.com)

ආණ්ඩුවේම සිටින පිරිසක් ආණ්ඩුව බිඳ වට්ටන කුමන්ත්‍රණයක? – ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කර ගනිමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට ආණ්ඩුවේම ප්‍රභලයන් පිරිසක් දැඩි ස්ථාවරයක සිටිම්න් කටයුතු කිරීම පිළිබඳ සැකයක් මතු වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය සමාගම් වල සිදුවූ වංචා සහ දූෂණ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටින අවස්ථාවක රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට තීරණය කිරීම විපක්ෂයේ කොන්ත්‍රාත් ඉටු කරන පිරිසක් ආණ්ඩුව තුල සිටින්නේ දැයි ජනතාව ප්‍රශ්න කරන බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

අද (24) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

“බොහෝ දෙනෙක් කියනවා අමාත්‍ය අලි සබ්රි මහතා රාජ්‍ය සමාගම් විගණනයට තදින්ම විරුද්ධ වන්නේ එම අංශ වල සභාපතිකම් ගන්න බලාගෙන සිටින ආණ්ඩුවට කිට්ටු වී සිටින පරණ හොරුන්ගේ බලපෑම් නිසා බව. නමුත් ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. ඒ තමයි එම්.සී.සී. ගිවිසුම. එම්.සී.සී. ගිවිසුමට අනුව ‘එම්.සී.ඒ. ශ්‍රීලංකා’ නමින් පිහිටුවීමට නියමිත සමාගම අප රටේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක්. එම්.සී.සී. ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතියට අනුව විගණනය කළ නොහැකියි. ඒ අනුව එම සමාගම් විගණනය කළ යුතු බවට ව්‍යවස්තාවෙන් ප්‍රතිපාදන පැනවුවහොත් එම්.සී.සී. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට මහජනයාට අධිකරණයට යාමට හැකියාව ලැබෙනවා.”

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය.

*********************************************

20 න් විගණනය ඉවත් කරන්නේ ජනතා මුදල් සොරා කෑමටයි… – මනෝ ගනේෂන්

(24.09.2020 – 13:27 +0530 – lankaleadnews.com)

රටේ මහජනතාවගේ බදු මුදල් වලින් කි‍්‍රයාත්මක වන රජයේ ආයතන හා රාජ්‍ය ව්‍යාපාර විගණනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් එහි ඇති එකම අරමුණ මහජන මුදල් සොරාකෑම බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවේ නායකයා, රාජ්‍ය නායකයා සේනාධිනායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා. ඔහුට තවත් මේ රටේ නායක තනතුරු රැසක් තිබෙනවා. ඔහුට පාර්ලිමේනතුවෙත් තුනෙන් දෙකක් තිබෙනවා. ඒ වගේම ඔහුගේ වියත්මග මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

ඔවුන් දැන් කියන්නේ මෙම 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමටලු. එය මොන තරම් විහිළුවක්ද ? විකාරයක්ද? ඔහු දැනටමත් ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඔහුගේ සහෝදරයා මේ රටේ අග‍්‍රමාත්‍යවයා, තවත් සහෝදරයෙක් මේ රටේ ආර්ථික කටයුතු සම්බන්ධ ප‍්‍රධානීයා. තවත් රාජපක්ෂලාත් ඕන තරම් සාටක පැළදගෙන පාර්ලිමේනතුවේ ඉන්නවා.

ඇයි මේ හදිස්සිය? ඇයි මේ එකාධිපති වියරුව? කියල අහන්න අප කැමැතියි. අපට ආණ්ඩුව දැන් වේදිකාවක් හදල දීලා තිබෙනවා. ආණ්ඩුව අපට දැන් දේශපාලනික වශයෙන් සෙල්ලම් කිරීමට පිටියක් සකස් කර දී තිබෙනවා. පැවැති ආණ්ඩුව – එයට අපේ ආණ්ඩුව කියන්න මම කැමති නැහැ – ඒ ආණ්ඩුවේ සිදුවු බැදුම්කර වංචාව නිසා එම ආණ්ඩුවට අත්වු ඉරණමම වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිසා අත්වන බව කියන්න කැමැතියි.

මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණන කොමිසම පැවතුණා. එම කොමිෂන් පැවැතුණ අවස්ථා වලදි මේ රට ස්වාධිනව ඉදිරියට ගෙන යනු ලැබුවා. ජනාධිපතිවරයා බලවත්විමට අවශ්‍ය නම් මේවාට අත තබන්නේ ඇයි?

ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, රජයේ ව්‍යාපාර 150 ක් පමණ අයත් ආයතන විගණනය කිරීම 20 වන සංශෝධනය මගින් ඉවත් කිරීමට උත්සහා දරනවා. මෙය බිමි මට්ටමේ ජනතාව වුවත් අවබෝධ කරගෙන ඇති ඇත්ත.

ජනාධිපතිවරයා සෑම අවස්ථාවකදීම කතා කරන්නේ රටේ නිළධාරීන්ගේ විනය ගැනනේ? එසේ තිබියදි එම රාජ්‍ය ආයතන විගණනයෙන් ඉවත් කරන්නේ ඇයි? ජනාධිපතිවරයා කෙළින් ගමනක් ගැන කතා කළත් සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් කි‍්‍රයාවලියක්.

මම කොළඹ දස්ති‍්‍රක් මන්තී‍්‍රවරයෙක්. හිටපු ඇමතිවරයෙක්. එත් මම මේවනතෙක් මගේ හිතවතුන් කොළඹ ආසන්න පොලිසියක ස්ථානාධිපතිවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලීම් කර නැහැ. අපි එහෙම කරන්නෙත් නැහැ. පොලිස් කොමිෂම තිබෙන්නේ ඒ සියල්ල තීරණය කිරීමටයි. ඇත්ත කතා කළොත් පොලිසියෙන් යුක්තිය ඉටු කර ගන්න පුලුවන්. පොලිසියේ ස්වාධිනත්වයක් තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ පිරිස් ඔවුන්ට අවශ්‍ය පුද්ගලයින් තමන්ට අවශ්‍ය ස්ථාන වලට පත් කර ගන්නවා. මැතිවරණ කොමිෂන් සභාව ගැන රන් අකුරෙන් ලියවිය යුතු කාලයක් මේක. වත්මන් මැතිවරණ කොමිෂන් සභාවෙන් මැතිවරණ පවත්වනවාද කියල අහන්න ජනතාව පෙළඹි තිබෙනවා. එයට හේතුව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම විමයි. මෑත කාලයේ පැවති මැතිවරණ වලදි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, ඝාතන සිදුවීම් , අක‍්‍රමිතා, පොස්ටර් ඇලවීම් සිදුවුණේ නැහැ. එයට හේතුව මැතිවරණ කොමිසමට ස්වාධිනව කටයුතු කිරීමට ලැබී තිබුණ නිදහසයි. ආණ්ඩුවේ කණ්ඩායමක් කියල අපිට එදා මැතිවරණ වලදි විශේෂ සැලකිලි කිසිවක් තිබුණේ නැහැ. එයාකාරයෙන් තමයි කොමිෂන් සභා පැවතිය යුත්තේ. නමුත් ඒ සියල්ල වත්මන් ආණ්ඩුව ඉවත් කිරීමට සුදානම් වෙනවා.

ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් සිදුවුණේ රජයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්දී කොන්ත‍්‍රාත් ලබාදීමේදී ටෙන්ඩර් කැදවීම පමණයි. මෙම කොමිෂම අහෝසි කළොත් ඕනෑ තරමි හොර වැඩ කරන්න පුලුවන්. ආණ්ඩුවේ ඇමැතිවරුන්ට තමන් කැමැති කැමති අයට ටෙන්ඩර් ලබා දෙන්න පුලුවන්.

විගණන කොමිෂමෙන් සිදුවෙන්නේ ජනතාවගේ මුදල් යෙදෙවෙන ආකාරය සොයා බැලීමයි. එවා පුද්ගලික මුදල් නොවෙයි. රටේ මහජනතාවගේ මුදල්. රජයේ දේපල කියන්නේ කාගේවත් පුද්ගලික බුදලයක් නොවෙයි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වුවහොත් රජයේ මුදල් විගණනය කිරීමේ හැකියාවක් නැති වෙනවා.

ජනාධිපතිවරයා සමග සිටින වියත්මග කණ්ඩායම් දැන් වුවමනා වී තිබෙන්නේ වෙනම ආණ්ඩුක් හදා ගැනීමයි. මෙයින් පළමුවෙන්ම ආමාරුවේ වැටෙන්නේ ආණ්ඩුවේ සිටින පැරණි ඇමතිවරුන්. පාර්ලිමේන්තුවේ වියත්මග කණ්ඩායම තමයි 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කර තිබෙන්නේ. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ තමන් කියල ජනාධිපතිවරයා පිළිගත්තේ ඒ නිසයි. නැත්නම් වෙන කවුරුත් මේ කෙටුම්පත සකස් කිරීමේ වගකීම බාර ගත්තේ නැහැ.

දැන් ආණ්ඩුවේ ඇතැම් අය කියන්නේ 20 සම්මත කර ගන්න විපක්ෂයෙන් 20 ක් ගන්නවා කියලයි. විපක්ෂයෙන් කවුරුවත් ආණ්ඩුවට යන්නේ නැහැ. 20 සම්මත කර ගන්න බැරි වේය යන බය නිසා ඔවුන් දැන් එවැනි කතා ගොතනවා.

– මාධ්‍ය අංශය

*********************************************

කහ කිලෝ 205 ක් යුද හමුදා මාර්ග බාධකයේදී සොයාගැනේ

(24.09.2020 – 06:17 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය මන්නාරම මාර්ගයේ 543 වන බල සේනාංකයේ මාර්ග බාධකයකදී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ අටකට (8) අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 206 කට ආසන්න ප්‍රමාණයක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ මෙම මාර්ග බාධකයේදි කුඩා ලොරි රථයක් නවතා සෝදිසි කළ අවස්ථාවේදී මේවා සොයාගත් බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඊට අමතරව කුන්ජිකුලම් මාර්ග බාධකයේ රාජකාරි කළ යුද හමුදා නිලධාරීන් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝ 104 ක්ද සමග දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මේවා මන්නාරමේ සිට වෙනත් ප්‍රදේශයකට ශීතකරණයක් සහිත වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටියදී යුද හමුදා නිලධාරීන් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 21 කට ආසන්නයි ෴

*********************************************

පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ‘රත්මලානේ රොහා’ මරුට

(24.09.2020 – 06:25 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (24) අලුයම තුනට (03:00) පමණ මොහු ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියා බලා පිටත්ව යාම සඳහා කොච්චිකඩේ – කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටියදී බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙලෙස මියගිය බවයි.

සැකකරු සතුව තිබී ටී 56 ගිනි අවියක්, රිවෝල්වරයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ තුනක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

2016 වසරේ නොවැම්බර් 15 වන දින කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තවත් නිලධාරීන් දෙදෙනෙකුට (2) තුවාල සිදුකිරීම, 2007 වසරේ රත්මලාන – ගොනාකෝවිල අසළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, එම වසරේම අදාල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුද මොහුට එරෙහිව අධිකරණ කිහිපයක පවතිනවා.

එමෙන්ම රත්මලාන ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා මුදල් කොල්ලයක් සිදුකිරීම, 2014 වසරේදී ගල්කිස්සේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයකදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඇතුලු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිකරණ කිහිපයකම නඩු පවතින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඔහු ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙසද සැළකෙනවා.

+++++++++++++++++++++

*********************************************

ගිනිගත් නෞකාවෙන් මුහුදට හානියක් සිදු වී ඇති බව – විශේෂඥ කමිටු වාර්තාවෙන් හෙළි වේ

(24.09.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ තත්ත්ව වාර්තාව නීතිපතිවරයාට භාර දී තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (23) පස්වරුවේ අදාළ වාර්තාව නීතිපතිවරයාට ලබාදුන් බවයි.

එමඟින් මෙරට සාගරයට සහ ජලජ ජීවීන්ට හානියක් සිදුවී ඇති බව තහවුරු වූ බවට සඳහන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව එම වාර්තාව මගින් ඉදිරි නීතිමය කටයුතු සකස් කිරීමට හැකි බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළා.

පැනමා ධජය යටතේ ලියාපදිංචි එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී පසුගිය 03 වැනිදා පෙරවරු 07:45 ට පමණ නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හටගත්තා.

පසුව එය පාලනය කිරීම සඳහා මෙරට නාවික සහ ගුවන් හමුදා මෙන්ම ඉන්දීය නාවික සහ වෙරළාරක්ෂක බලකායද දායක වුණා.

මේ වනවිට අදාළ නෞකාව මඩකලපුවේ සිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 67 ක් පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් තිබෙනවා ෴

+++++++++++++

ගිනිගත් එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු රුපියල් මිලියන 340 ක අතුරු හිමිකම ලබාදීමට එම නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබෙනවා.

ඒ, මීට පෙර නීතිපතිවරයා මෙම අතුරු හිමිකම ලබා දෙන ඒ එම සමාගමෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි ෴

+++++++++++++++

(24.09.2020 – 16:01 +0530)

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ ඊට අදාළ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 440 ක් ගෙවිය යුතු බව නීතිපතිවරයා අදාළ සමාගමට දන්වා තිබෙනවා.

මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර, එය ලබාදීමට නෞකාව අයත් සමාගම විසින් එකඟතාවය පළ කළා.

කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අවසන් ඇස්තමේන්තුව ලෙස රුපියල් මිලියන 440 ක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව තවත් මිලියන සියයක් (100) ගෙවන ලෙස අදාළ සමාගමට නීතිපතිවරයා දැනුම් දුන් බවයි.

++++++++++++++++

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පත් කරන ලද විද්‍යාඥයින්ගේ කමිටුව සිය අතුරු වාර්තාව නීතිපති වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී නිව් ඩයමන්ඩ් නෞකාවේ බොරතෙල් කාන්දු වීමෙන් සමුද්‍ර දූෂණය වී ඇති බවට තහවුරු වූ බව සඳහන් ෴

*********************************************

මන්නාරම කාසි ක්‍රිස්තු වර්ෂ හත – අට සමයේ බවට සැක

(24.09.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – නානට්ටාන් ප්‍රදේශයෙන් හමු වූ ඉපැරණි කාසි තොගය ක්‍රිස්තු වර්ෂ හත සහ අට (7 , 8) යන කාලසීමාවන් හි පාණ්ඩියන් රජ සමයේ භාවිතා වූ හස්සබු කාසි විශේෂයක් බවට අනුමාන කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මන්නාරම කලාප භාර නිලධාරි එම්. චමින්ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ කාසි මේ වනවිටත් මන්නාරම – මුරුන්ගන් පොලිසිය වෙත භාර දී ඇති බවයි.

එමෙන්ම, මෙම කාසි හමුවූ ස්ථානයේ තවදුරටත් ගවේෂණ කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කළා.

පසුගිය 18 වැනිදා අලුතින් නිවසක් ඉදිකිරීම සඳහා ගෙබිම සකස් කරමින් සිටි පිරිසකට මෙම කාසි සහිත මුට්ටියක් හමු වී තිබුණා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මන්නාරම කලාප භාර නිලධාරි එම්.චමින්ද සිල්වා ප්‍රකාශ කළේ මෙම මුට්ටියේ තිබී කාසි 1850 ක් පමණ සොයා ගත් බවයි.

එම කාසිවල මසුන් සහ කඩු ලාංඡන දැක ගත හැකි අතර, අතීතයේ වෙළඳ වරායක් වූ මාතොට හෙවත් වත්මන් මන්නාරම ප්‍රදේශයේදී මෙම කාසි භාවිත කරන්නට ඇති බවයි ඔහු කියා සිටියේ.

උතුරු පළාතෙන් එකවර මෙතරම් කාසි තොගයක් හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර පොළොන්නරුව යුගයට අයත් කාසි මුට්ටියක් වව්නියාව – මරක්කාරම්පලෙයි ප්‍රදේශයෙන් හමුවූ බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියා ප්‍රකාශ කළේ ෴

[ http://www.amarasara.info/wp1/?p=31539#%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB ]

*********************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා සොයන කමිටු වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට

(24.09.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

2015 – 2019 කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත ඊයේ (23) භාර දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි ෴

*********************************************

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රම්පදෙණිය ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා

(24.09.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිණිගත්හේන – රම්පදෙණිය ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරළීම හේතුවෙන් අද (24) උදෑසන සිට ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

හැටන් හිරු වාර්තාකරු සඳහන් කළේ මෙම සිද්ධියත් සමඟ තවත් ගල් කිහිපයක්ද ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

+++++++++++++++++++++

***************************************

කටුනායක ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

ඊයේ (23) උදෑසන කටුනායක සරත් මාවත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී හලාවත-කොළඹ දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. කෙසේ වෙතත් එහිදී වෑන් රථයේ ගමන්කරමින් සිටි දරුවන් 17 දෙනෙකු සහ රියදුරු අනූනවයෙන් බේරී ඇති බවයි වාර්තාවන්නේ ෴

*********************************************

වසර විසි අටකට (28) පසු අපනයන සංවර්ධන සභාව රැස්වේ

(24.09.2020 – 09:11 +0530 – hirunews.lk/sinhala)

වසර විසි අටකට (28) පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන සභාව රැස්ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති බවයි.

එහිදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ අපනයන ක්‍ෂේත්‍ර සංවර්ධනය කොට ගෝලීය වෙළඳපොල ජයගනිමින් ජනතා කේන්ද්‍රිය රාජ්‍යයක් ගොඩනැගීම, අපනයන සංවර්ධන සභාවේ විෂය පථයට අයත් වන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා අපනයන සංවර්ධන සභාව මසකට වරක් රැස්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

*********************************************

ගම්පොල රැකවල්පොලදී කසළ තේ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(24.09.2020 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල – වෙලම්බඩ – රැකවල්පොල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කසළ තේ තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (23) මේවා සොයාගෙන ඇති බවයි.

සැකකරු ප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කිලෝ 1924 යි ග්‍රෑම් 780 ක් අදාළ ලොරි රථය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙලම්බඩ පොලීසියට භාරදී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *