සහයක රදගුරුතුමන්ලා තිදෙනාට, මෛත්‍රී සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

සහයක රදගුරුතුමන්ලා තිදෙනාට, මෛත්‍රී සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

‘කුඩු ලාල්’ සහ ‘පූකුඩුකන්නා’ගේ ජාවාරම් මෙහෙයවූ ‘උදයා’ දැලේ

පරිසර සුරකින්න ඇමති නාමල්ගෙන් සෑම ගමකටම තරුණ පාරිසරික නියමුවෙක්

බස් රථයට දණගසා වැන්ද රියදුරු මුල්වරට කියූ කතාව

රටම කතාවෙන මාතරදී හමුවූ කොරෝනා ආසාදිතයාගේ තොරතුරු එළියට

නඩත්තුවක් නොමැතිව ජනතාවට අහිමිවෙන කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් ක්‍රීඩා මණ්ඩපය

රස බොජුන් හල්වල අර්බුදයට හේතුවූ සභාපති හෙළිකරන වංචාව

අග්‍රහාර ප්‍රතිලාභ දෙන මුවාවෙන් මුදල් වංචා කළ හතරදෙනෙකු අල්ලයි

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් ලක් රජයට පැසසුම්

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවීමේ යෝජනාව සම්මතයි

සහල් මිල ඉහළට

විස්සට එරෙහිව අදත් (24) පෙත්සම් 06 ක්

*********************************************

සහයක රදගුරුතුමන්ලා තිදෙනාට, මෛත්‍රී සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

(24.09.2020 – 11:46 +0530 – hirunews.lk/sinhala)

මින් පසු මතභේදාත්මක මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු හිමිවරුන්ට ජනාධිපති කොමිසම අද (24) අවවාද කළා.

ඒ කොමිසමේ සාක්ෂි විමසීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශව නිකුත් කර තිබු මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ නියෝගය අද (24) පෙරවරුවේ ප්‍රකාශයට පත්කරමින් ෴

*********************************************

‘කුඩු ලාල්’ සහ ‘පූකුඩුකන්නා’ගේ ජාවාරම් මෙහෙයවූ ‘උදයා’ දැලේ

(24.09.2020 – 10:34 +0530 – hirunews.lk/sinhala)

දැනට විදේශගතව සිටින ‘කුඩු ලාල්’ සහ වරෙන්තු නිකුත් කර ඇති ‘පූකුඩුකන්නා’ගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහැරීම සිදුකළ ‘උදයා’ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද (24) අලුයම තොටළඟ – මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ භූගත බංකරයක සැඟව සිටියදීයි.

එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 25 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් (8), රුපියල් 10,05,000 ක මුදලක්, ලක්ෂ 15 ක රන් භාණ්ඩ සහ ආයුධ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබුවා.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඞ්පාස් පොලිසිය වෙත භාරදී තිබෙනවා ෴

++++++++++++++

අපරාධ මර්ධන ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩබලන පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නීතිපති හමුවී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

++++++++++++++

හෙරොයින් ග්‍රෑම් 106 ක් සමඟ අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අද (24) මරණ දඬුවම නියම කළා.

1998 වසරේ පිටකොටුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඊට අදාළ නඩු විභාගය 2012 වසරේදී අවසන් වුණේ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරමින්.

කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව ඔහු අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනුකරනු ලැබූ අතර, එය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ මෙම නඩුව යළි විභාගයට ගැනීමටයි.

ඒ අනුව කොළඹ මහාධිකරණයේදී යළි විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවා ෴

++++++++++++++

ආනවිලුන්දාව කුරුළු අභය භුමිය සහ රැම්සා තෙත් බිමට අයත් කොටසක් ඉස්සන් පොකුණු තැනීම සදහා නීති විරෝධි ආකාරයෙන් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා වන ජගත් සමන්ත අද (24) ඇපමත මුදාහැරුණා.

ඊට අදාළ නඩුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ඩී.ඒ.ඒ. බුද්ධදාස මහතා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

සෑම මසකම අවසන් ඉරුදින ආරච්චිකට්ටුව පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරුණා.

පෙරේදා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුද වන ජගත් සමන්ත අධිකරණයට භාර වූ අතර, පසුව ඔහුව අද (24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴

*********************************************

පරිසර සුරකින්න ඇමති නාමල්ගෙන් සෑම ගමකටම තරුණ පාරිසරික නියමුවෙක්

(24.09.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

තරුණ සේවා සභාවට අනුබද්ධිත යෞවන සමාජ නිලධාරින් හා යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු යොදාගනිමින් පරිසර සුරක්ෂිත කිරීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා තරුණ සේවා සභාවට උපදෙස් දී ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පාරිසරික හානි සිදුවන බවට කෙරෙන ප්‍රචාරයන්හී සත්‍ය අසත්‍යතාවය නිවැරදිව සොයා බැලීම ද මෙම යොවුන් පාරිසරික නියමුවන් පත් කිරීමේ එක් අරමුණක්.

සෑම ගම්මානයක්ම ආවරණය වන පරිදි තරුණ පාරිසරික නියමුවන් පත් කර අදාල ගම්මානයේ පාරිසරික විනාශයන් සිදුවන්නේ නම් ඒ පිළිබදව අමාත්‍යංශය දැනුවත් කිරීම වගේම එම පරිසර විනාශය වැළැක්වීමට තරුණ තරුණයින් ලෙස මැදිහත්වීම ද මෙම පරිසර හිතකාමී තරුණ පාරිසරික නියමුවන්ගේ කාර්යභාරය වනවා ෴

*********************************************

බස් රථයට දණගසා වැන්ද රියදුරු මුල්වරට කියූ කතාව

(24.09.2020 – 12:03 +0530 – hirunews.lk/sinhala)

අපේ රටේ බස් රියදුරන්ගේ ඇතැම් ක්‍රියාවන් ගැන මගී ජනතාව මහත් කලකිරීමකින් පසුවනවා.

එවැනි අවස්ථාවක ගල්ගමුව ලංගම ඩිපෝවේ වසර 27 ක් සේවය කල, තමන් පදවපු බස් රථය තමන්ගේ වගේ පරිස්සම් කරපු රියදුරු මහතෙක් කළ අපූරු ක්‍රියාවක් ගැන වාර්තාවනවා. ඔහු විජේරත්න මහතායි.

ඔහු වසර ගණනාවක් සේවය කළ ලංගම බස් රථය ආදරයෙන් රැකබලාගත්තා සේම සේවයෙන් විශාම යන අවස්ථාවේ බස් රථය ඉදිරියේ සුදු රෙද්දක් දමා වැඳ නමස්කාර කර සේවයෙන් සමුගත්තා.

ඒ වසර ගණනක් තමන් හා දරුවන් ජිවත් කරන්න ශක්තියක් වූ බස් රථයට කළ හැකි උපරිම නමස්කාරය බවයි ඔහු පවසන්නේ.

එම අවස්ථාව සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණේ එම බස් රථයේ කොන්දොස්තර ලෙස සේවය කළ බස්නායක මහතායි.

ගල්ගමුව ලංගම ඩිපෝ කළමනාකරු දිසානායක මහතා හරහා අප ඔහුව සම්බන්ද කරගෙන එහි තොරතුරු විමසා සිටියා.

එහිදී විජේරත්න මහතා අපට පැවසුවේ මෙවැනි කතාවක් :

(විජේරත්න මහතා පැවසුවේයැයි කියන කථාව මෙම විඩියෝවේ නැත)

***************************************

රුපියල් සියයක (100) මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලොන්නරුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරලගංවිල ප්‍රදේශයේ බස් රථ සහයකවරයෙකු 1954 යන දුරකතන අංකයට කරන ලද පැමිණිල්ලකට අනුවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මොහු අද (24) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම වේලා සටහන්කරු අදාළ බස් රථ, බස් නැවතුම්පොලෙහි නවතා තැබීමට හා නියමිත වේලාව තෙක් රැඳී සිටිමින් මගීන් රැගෙන යෑමට අවස්ථාව සලසාදීම සඳහා සෑම බස් රථයකින්ම රුපියල් සියයක (100) මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා.

ඒ අනුවයි මෙම අල්ලස් ලබාගැනීම පිළිබඳව බස් රථ සහයකවරයෙකු අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ ෴

*********************************************

රටම කතාවෙන මාතරදී හමුවූ කොරෝනා ආසාදිතයාගේ තොරතුරු එළියට

(24.09.2020 – 12:11 +0530 – hirunews.lk/sinhala)

මාතර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහුගේ ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සිදුකරන බවයි මාතර ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙන්නේ මාතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටයි.

ඔහු හම්බන්තොට මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ අදාළ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා සමග තවත් 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති අතර, එහිදී කළ පළමු PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු නොවීම හේතුවෙන් මෙම සංචාරක හෝටලය වෙත පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, පසුව සිදුකළ දෙවන PCR පරීක්ෂණයකදී එක් පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර, අද (24) උදෑසන වනවිට මෙරටින් වාර්තාවී ඇති නව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3324 ක්.

කෙසේ වෙතත් තවදුරටත් මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 182 ක් පමණයි.

මේ අතර, කොවිඩ් 19 හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටි පුද්ගලයින් 356 දෙනෙකු අද (24) උදෑසන වනවිට මෙරටට පැමිණියා.

කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරෙන බවයි.

මේ අතර, අද (24) දිනයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 205 දෙනෙකු තම නිවෙස් බලා පිටව යාමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ අනුව, අද (24) වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 68 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 6927 ක් නිරෝධායනය වෙමින් පවතිනවා.

මේ අතර, ලොව පුරා වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 3,02,80,000 ඉක්මවනවා.

ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 981,249 ක්.

වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ අමෙරිකාවට වන අතර, එරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 7,139,515 ක්.

මේ අතර, ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තාවන අසල්වැසි ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 80,000 ඉක්මවමින් වාර්තාවීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,730,184 දක්වා ඉහළ ගියා ෴

*********************************************

නඩත්තුවක් නොමැතිව ජනතාවට අහිමිවෙන කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් ක්‍රීඩා මණ්ඩපය

(24.09.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් කරන්දෙණියේ ජනතාවට අහිමි වෙන ක්‍රීඩා මණ්ඩපයක් ගැනයි අද (24) ‘රතු මිනිත්තුවෙන්’ අනාවරණය කෙරෙන්නේ.

ගාල්ල – කරන්දෙණිය – පිහිඹියාකන්ද ගුණරත්න වීරකෝන් ක්‍රීඩා මණ්ඩපය 2009 වසරේ ඉදිකරන ලද අතර මෙම ක්‍රීඩාංගණය සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 4 කට ආසන්නයි.

නමුත්, කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ බලධාරීන් ක්‍රීඩාංගණය නිසි ලෙස නඩත්තු කර පවත්වාගෙන නොයාම හේතුවෙන් මේවන විට එය වල් බිහිවී විනාශමුඛයට යමින් පවතිනවා.

ක්‍රීඩාංගණයේ ගේට්ටු සහ ක්‍රීඩා මණ්ඩපය මේවන විට නටඹුන් බවට පත්ව ඇත්තේ විවිධ අපචාර කටයුතුවල නිරතවන්නන්ට තෝතැන්නක් කරමින්.

*********************************************

රස බොජුන් හල්වල අර්බුදයට හේතුවූ සභාපති හෙළිකරන වංචාව

(24.09.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ගන්නෝරුවේ සහ වැලිගම ස්ථාපිත කළ දේශීය ආහාර අලෙවි සල් මේ වනවිට වැසී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා.

ඒ, මෙම අවන්හල්වලට සපයා ඇති ජලය සහ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ, වංචා සහගත ක්‍රමවේදයක් හරහා අදාළ බොජුන් හල් ඇතුළු දේපළ පවරා ගැනීමක ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය මතුව ඇති බවයි.

*********************************************

අග්‍රහාර ප්‍රතිලාභ දෙන මුවාවෙන් මුදල් වංචා කළ හතරදෙනෙකු අල්ලයි

(24.09.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

අග්‍රහාර ප්‍රතිලාභ ලබාදෙන මුවාවෙන් සිදුකළ මහා පරිමාණ මුදල් වංචාවක තොරතුරු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ජාතික රක්ෂණ භාර අරමුදලේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් මොවුන් මෙම වංචාව සිදුකර ඇති බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුලු සිව්දෙනෙකු (4) මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රධාන සැකකරු රක්ෂණභාර අරමුදලේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් ප්‍රතිලාභ හිමි මියගිය පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්ට හෝ ඥාතීන්ට දුරකථනයෙන් අමතා ප්‍රතිලාභ කඩිනමින් ලබාදිය හැකි බවට පවසා ඇති බවයි.

ඒ සඳහා මුද්දර ගාස්තු ලෙස කිසියම් මුදලක් තැන්පත් කළ විට ප්‍රතිලාභ ඉක්මණින් ලබාගත හැකි බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඒ අනුව බොහෝ පිරිසක් අදාළ පුද්ගලයා ලබාදුන් ගිණුම්වලට මුද්දර ගාස්තු තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රතිලාභ ලබාදීමක් සිදු නොවීම හේතුවෙන් දුරකථන ඇමතුම් ලැබුණු කිහිපදෙනෙකු රක්ෂණ භාර අරමුදල අමතා තොරතුරු විමසා ඇති බව සඳහන්.

එහිදී මෙම ක්‍රියාවලිය ව්‍යාජ එකක් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදියි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

*********************************************

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් ලක් රජයට පැසසුම්

(24.09.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ළමයින් සඳහා සාධාරණත්වය සහ යුක්තිය සහතික කිරීම සඳහා නීති වෙනස් කිරීමට මුල පිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය ලක් රජයට ප්‍රසාදය පළ කර තිබෙනවා.

ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවීම සහ කිසිදු ළමයෙකු බන්ධනාගාර පද්ධතියට ඇතුළත් නොකරන බවට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබුවා.

ඒ සම්බන්ධයෙනුයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ලක් රජයට මෙලෙස ප්‍රසාදය පළ කර ඇත්තේ.

ළමා ප්‍රචන්ඩත්වය, අපයෝජනය, ළමා ශ්‍රමය සූරාකෑම වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්විය හැකි පුළුල් ජාතික ළමාරක්ෂණ පද්ධතියක් ගොඩනැගීමට සිය අධිකරණ පද්ධති සන්නද්ධ කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජයට සහය දක්වන බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

*********************************************

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවීමේ යෝජනාව සම්මතයි

(24.09.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවීමට නියමිත උපදේශන කාරක සභාවලට අදාළ යෝජනාව ගෙන එනතෙක් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවීමේ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

මේ අතර, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අද (24) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ ප්‍රකාශයේ සඳහන් කරුණු අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ වන බැවින් එය සිදුකිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවට ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

*********************************************

සහල් මිල ඉහළට

(24.09.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

වී තොග සහල් මෝල් වෙත නොලැබීම හේතුවෙන් මේ වන විට වෙළඳපොළේ සහල් මිල ඉහළගොස් ඇති බව අපට වාර්තා වුණා.

මේ නිසා සහල් ආනයනය කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ ඉහළ යන සහල් මිල සම්බන්ධයෙන් කළ සොයාබැලීමක්.

වෙළඳපොලේ සහල් කිලෝ ග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 100 මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අද වෙළෙඳපොළේ සහල් මිල දක්නට තිබූ ආකාරයයි.

වෙළෙඳපොළේ ඇති විය හැකි සහල් හිඟයට පිලියම් ලෙස සහල් ආනයනය කිරීමේ සූදානමකද පවතිනවා.

වී මෝල් හිමියන් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ කිසිඳු වී තොගයක් වෙළඳ පොළට නිකුත් නොවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

මේ අතර, මේ දින වල වෙළඳ පොළේ පොල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් සහන මිලට පාරිභෝගිකයින්ට පොල් ලබාදීමේ වැඩපිලිවෙලක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන පොල් ගෙඩියක් රුපියල් 60 බැගින් බෙදාහැරීම සිදුකෙරෙනවා.

*********************************************

විස්සට එරෙහිව අදත් (24) පෙත්සම් 06 ක්

(24.09.2020 – 15:39 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාරවරයෙකු ඇතුලු පාර්ශ්ව 6 ක් අදත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළා.

ඒ අනුව මේ වනවිට 20 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් ගණන 12 ක්.

මේ අතර අදත් (24) මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්ස්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඇතුළු පාර්ශ්ව 6 ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි මෙමඟින් ඉල්ලා ඇත්තේ.

ඊයේ (24) දිනය වනවිට දෙමළ ජාතික සන්ධානය හා සමගි ජන බලවේගය ඇතුලු පාර්ශ්ව 6 කින් පෙත්සම් ඉදිරිපත් කළ අතර ඒ අනුව මේ වනවිට ඉදිරිපත් වී ඇති සමස්ත පෙත්සම් ගණන 12 ක්.

මේ අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා පූජ්‍ය පක්ෂය මෙලෙස අදහස් පළ කළා.

***************************************

කොටිකාවත්ත – මුල්ලේරියාව ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කරමින් සිටියදී ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ මුහුණුවල දැඩි පිළිස්සුම් තුවාල දක්නට ලැබෙන බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

දේහය පසුව වෙනත් ආදාහනාගාරයක් වෙත යොමුකර තිබෙනවා ෴

***************************************

කොළඹ වරායේ බහාළුම් රථ රියදුරන් අද (24) දහවල් සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

එක්සත් ලංකා බහාළුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල ප්‍රකාශ කළේ ඔරුගොඩවත්ත රේගු පරීක්ෂණ අංගනයේ පවතින අකාර්යක්ෂමතාවයන්ට විරෝධය පළ කරමින් බහාළුම් රථ රියදුරන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ අංගන තුළ නීති දැඩි කිරීම හේතුවෙන් ඇතැම් රේගු නිලධාරීන් මන්දගාමීව වැඩ කිරීම මෙම අකාර්යක්ෂමතාවයට හේතු වී ඇති බව ඔහු කියා සිටියා ෴

***************************************

කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ වල පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුම් ලෙස කොළඹ සිට මාළඹේ දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ බව ජනාධිපතිලේකම් වරයා
ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා ෴

***************************************

ලබන ඔක්තෝම්බර් මස 6 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අදාළ සියලුම උපකාරක පංති සම්මන්ත්‍රණ හෝ වැඩමුලු පැවැත්වීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම 7 වනදා මධ්‍යම රාත්‍රි 12 න් පසු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති හෝ සම්මන්ත්‍රණ ද පැවැත්වීම තහනම් වනු ඇති ෴

***************************************

කහ කුඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. පාරිභෝගික අධිකාරිය විසින් එම අවලංගු කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ඊයේ (23) රාත්‍රියේයී ෴

***************************************

ශ්‍රී ලංකා මහබැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමකින් යුතු නව නෝට්ටුවක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ වන නෝට්ටුව අද (24) දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මහබැංකුව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් පිළිගන්වනු ලැබුවා.

ඒ, විජේරාමහි පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.

එහිදී අග්‍රාමාත්‍යතුමා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූ බව සඳහන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *