ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි – ජනපති

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි – ජනපති

ශානිලා නඩු තීන්දු දුන් හැටි කොමිසමේදී හෙළිවෙයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පවතින බව ජනපති කියයි

මෛත්‍රී නිසා තමන් දැඩිව මානසික පීඩනයකට ලක්වූ බව පූජිත් කියයි

මාතරින් හමු වු කොරෝනා අසාදිතයා ආගිය තැන් සොයා පරික්ෂණ

රොහා මියයාමත් සමග කුඩු අංජු ෆේස්බුක් ඔස්සේ සතුට පළකරයි

රජය පොරොන්දු වූ රැකියා 10,000 කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා අදත් විරෝධතාවක

බාල වයස්කාර දැරියකගේ නිරුවත් දර්ශන ජංගම දුරකථනයක තබාගෙන සිටි බාල වයස්කරුවන් දෙදෙනෙකු (2) පොලිස් භාරයට

ජන ගැටළු විසඳන්න ජනපති ගමින් ගමට

නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට ලොකු පුටු දෙකක් මූලස්ථානයට කැඳවයි

*********************************************

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි – ජනපති

(25.09.2020 – 06:31 +0530 – hirunews.lk/sinhala)

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ

ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි ගමන් මගකට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි බවද ජනාධිපතිතුමා කියා සිටියා.

චිරාත් කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම්පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදු විය යුතුයැයි ජනාධිපතිවරයා අවධාරණය කළා.

දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් දිරි ගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

පිරිවෙන් සහ දහම්පාසල් පෙළ පොත් නැවත සංස්කරණයේ අවශ්‍යතාව සහ පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධිධාරී රැකියා පත්වීම් ලබා ඇත්නම් ඔවුන් සේවය කළ පිරිවෙන්වලටම පත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

භික්ෂුන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට, පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම්, වැටුප් සහ දීමනා ගැටළු නිරාකරණයට සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන්නැයිද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද සඳහන්.

පිරිවෙන්වලට සංවර්ධන නිලධාරියෙකු සහ සුළු සේවකයින් රැකියා ලක්ෂයේ සහ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ යොමු කිරීමටත් අවධානය යොමු වී තිබෙනවා.

පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියා ෴

*********************************************

ශානිලා නඩු තීන්දු දුන් හැටි කොමිසමේදී හෙළිවෙයි

(24.09.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

සැකකරුවන්ට රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රහස් පොලිසියට අවසර ලබාදුන් ලේඛන වලට යොදා ඇති අත්සන්වල අසමානතා නිරීක්ෂණය වී ඇතැයි දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම ප්‍රකාශ කළා.

ඒ, යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික බලලත් නිලධාරි විරංජන් උපසේන කොමිසමට කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ දේශපාලන බලපෑම්වලට බව පවසමිනුයි අදාළ නිලධාරියා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට පැමිණිලි කර ඇත්තේ.

ආරක්ෂක අංශ සාමාජිකයෙක්ව සිටිමින් එල්.ටි.ටී.ඊ සමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය 2015 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වන දින සිට දින 90 ක කාලයක් තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි බවද ඔහු සඳහන් කළා.

එලෙස රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොදා ඇති අත්සන් වෙත කොමිසමේ දැඩි අවධානය යොමු වුණා.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සඳහන් කළේ, ‘බැලූ බැල්මට පෙනි යන අතාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සන විවිධ ලේඛන හා බලන කල නොසැසසෙන’ බවයි.

පසුගිය දිනවල දී සාක්ෂි ලබාදුන් පාඨලී චම්පික රණවක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොමිසමට ලබා දුන් අතර, එම අත්සන සහ ත්‍රස්තවාදී පනත යටතේ මෙම නිලධාරින් රඳවා තබා ගැනීමට ඔහු යෙදූ අත්සනෙහි පරස්පරතා තිබෙන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ කොමිසම දැඩිව නිරීක්ෂණය කර ඇති බැවින් මෛත්‍රීපාල සිරිසේනගේ අත්සන නිවැරදි ලෙසම තහවුරු කරගැනීම සඳහා ඔහුගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ උදය සෙනෙවිරත්න කොමිසම හමුවට කැඳවීමට සභාපති විනිසුරුවරයා සිතාසි නිකුත් කළා.

සාක්ෂි දුන් විරංජන් උපසේන සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙහෙයවූ වෙනත් නඩු සම්බන්ධවත් ඔහු සහ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක අවස්ථා කීපයක දී තමන්ට පැවසූ බවයි.

දුමින්ද සිල්වා නඩුව, වාස් ගුණවර්ධන නඩුව වැනි නඩු කටයුතු පිළිබඳ තමන්ට පැවසූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණය කළේ, ‘මේ විදියට තමයි අපි නඩු කරන්නේ. අපිට ඕන විනිසුරුවරුන් තමයි ඒ නඩු අහන්නේ. අපට ඕනේ විදියට තමයි ඒ නඩු ගෙනියන්නේ’ යනුවෙන් පවසමින් ඔවුන් තමන්ට බලපෑම් කළ බවයි.

වාස් ගුණවර්ධනගේ නඩු තීන්දුව දීමට සතියකට පෙර ශානි අබේසේකර ‘අපි කියන විදියට වැඩ කලේ නැත්නම් ඔයාලටත් එහෙම තමයි වෙන්නේ’ යනුවෙන් පැවසූ අතර පසුව ඔවුන් පැවසූ පරිදිම අදාළ නඩුවට සම්බන්ධ අයට මරණ දඬුවම ලබා දී ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.

අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අතර සිදු වූ දුරකථන සංවාදයක් ද කොමිසම හමුවට ඉදිරිපත් කෙරුණා.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සැරයන් මෙන්ඩිස් සහ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක යන අයට සිතසි නිකුත් කෙරුණා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සියලු‍ සාමාජිකයින්ට ලබන 8 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි අද යළි සිතාසි නිකුත් කෙරුණා.

ඒ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ හිටපු අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. දූෂණ විරෝධී කමිටුවේ නිර්දේශ මත අසත්‍ය චෝදනා ගොනු කරමින් සාවද්‍ය මුදල් පරිහරණය සහ මුදල් විශුද්ධිකරණ යන චෝදනා යටතේ විශේෂ මහාධිකරණයේ නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පියදාස කුඩා බාලගේ කොමිසමට පැමිණිළි කර තිබෙනවා.

දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තුසිත් මුදලිගේද එදින ම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරුණා.

*********************************************

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පවතින බව ජනපති කියයි

(24.09.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

අනාගත ලොවට වැඩදාදී ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහිකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද (24) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල විෂය නිර්දේශ, රැකියා වෙළඳපොල ඉලක්ක කරගත යුතු බවයි.

තාක්ෂණ විද්‍යා සහ තොරතුරු තාක්ෂණ විෂයන්ට වැඩි අවධානයක් යොමුකළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ලබන වසරේදී සරසවිවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව දස දහසකින් (10,000) ඉහළ නංවා ඇති බව කියා සිටියා.

මේ අතර, රුපියල් දහසේ (1000) නව මුදල් නෝට්ටුව අද (24) විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින්.

*********************************************

මෛත්‍රී නිසා තමන් දැඩිව මානසික පීඩනයකට ලක්වූ බව පූජිත් කියයි

(24.09.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් දැඩිව මානසික පීඩනයකට ලක්ව සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා පැමිණියේ අද (24) 03 වන දිනටයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් පැවසුවේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබද පොලිසියට විවෘත පරීක්ෂණ සිදු නොකරන ලෙස උපදෙස් දී තිබුණද, ඉන් පසුව සිදුවූ වවුනතිව් පොලිස් නිලධාරින් ඝාතනය, මාවනැල්ල බුදුපිළිම කැඩීම සහ වනාතවිල්ලු‍ව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ කරන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් සොලිසිටර් ජනරාල්වරිය ඔහුගෙන් විමසුවේ ඒ අනුව ඔබ ජනාධිපතිවරයාගේ නියෝගවලට පිටුපෑමක් නොකළේද යන්නයි.

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“ඔව් මම පිටුපෑවා. ඇතිව තිබු තත්ත්වය මත මම ගොඩාක් අසරණ වෙලා හිටියේ. මොකද මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට කියන්නද.. ජනාධිපතිවරයා මෙහෙම උපදෙස් දුන්නා කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගෙන් උපදෙස් ගන්නත් බැහැ. සාකච්ඡා කරන්නත් බැරි තරමට මම අසරණ වෙලා හිටියේ. උදාහරණ ඕන තරම් තියෙනවා කියන්න. නිශාන්ත සිල්වාගේ සිදුවීම ඉන් එකක්. රට යන්න කලින් ජනාධිපතිතුමා ‘ඒක වෙන්නම ඕනේ කියලා’ කියලා ගියා. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාත් ඒකම කිව්වා. එහෙම කියලා දවසකට දෙකකට පස්සේ එකපාරටම ලංකාවට ආවම මගෙන් අහනවා ‘කාගෙන් අහලද කළේ’ කියලා, මම ‘සර්නේ කිව්වේ’ කිව්වාම, ‘මම කිව්වේ නැහැ’ කියනවා. මිලියන ගණනක් වියදම් කරලා හදපු පොලිස් නේවාසිකාගාර තියෙනවා. ජනාධිපතිගෙන් දිනයක් ගන්න බැරි වුණා ඒවා විවෘත කරගන්න. තව තියෙනවා කියන්න. පොලිස් මළල ක්‍රීඩා උත්සවයක් තිබ්බා. ඒකට පොලිස් නිලධාරින් 6000 ක්, 7000 ක් සහභාගි වෙනවා. මම ඒකට සහභාගිවෙන්න කියලා එවකට ජනාධිපති මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළා. ‘මට බැහැ. මට බණ්ඩාරවෙල යන්න තියෙනවා. ලේකම්තුමා එක්ක කතාකරගන්න’ කියල කිව්වා. පස්සේ මම ආරක්ෂක ලේකම්තුමාට කතා කළා. එතුමාත් මුලදි අදිමදි කරලා අන්තිමට උත්සවයට ආව පරක්කු වෙලා. පස්සේ එදා උත්සවය දවසේ ආරක්ෂක ලේකම්තුමාට කෝල් එකක් ආවා. එතුමා මට කිව්වා ජනාධිපතිතුමා දැන් කතා කරයි කියලා. පස්සේ මටත් කෝල් එකක් ආවා. ‘තමුසේ කාගෙන් අහලද ඕවා කරන්නේ, තමුසේ කොහොමද ඔච්වර නිලධාරින් ගෙනල්ලා ඕවා කරන්නේ, ඔය මොකක්ද’ කියලා ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මම කිව්වා සර් පොලිස් මළල ක්‍රීඩා උළෙල කියලා, ‘සර් මම ලේකම්තුමාට කිව්වා’ කියලා පිළිතුරු දුන්නා. ‘කොහොමද ලේකම් ගේන්නේ ? ඇයි තමුසේ දන්නේ නැද්ද මට කියන්න ඕනේ කියලා. තමුසෙ දන්නැද්ද තමුසෙට ඇමති කෙනෙක් ඉන්නව කියල’ මෙහෙම ගොඩාක් කේන්තියෙන් මගෙන් ඇහුවා ස්වාමීනි…ඊටපස්සෙ මම ‘සමාවෙන්න සර්, මම සර්ට ආරාධනා කළානේ, සර් බැහැයි කියපු නිසානේ පරක්කුවෙලා හරි ආරක්ෂක ලේකම්තුමාව ගෙන්නගත්තේ’ කියලා බොහොම හෙමින් පිළිතුරු දුන්නා. ‘කෙහෙල් මල කොහෙද මට කිව්වේ, කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා. ඔහොම දේවල් තමයි වුණේ ස්වාමීනි මට.

මෙවැනි සිදුවීම් නිසා මම පුදුමාකාර මානසික පීඩනයකින් හිටියේ, මට කාටවත් කියාගන්න විදිහක් තිබුණේ නැහැ. පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕනේ පොලිස්පතියි, ආරක්ෂක ලේකමුයි කියද්දි, ඒක දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දිත් මම මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකටවත් මම මුකුත් කිව්වේ නැහැ. මොකද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වගේම මගේ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා නිසා. විනයානුකූල නිලධාරියෙක් ලෙස මම කිසිම ප්‍රකාශයක් කරේ නැහැ. පළමු පාරට කතා කළේ පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවේදි, ඒත් අවසරය ඇතුව”

මෙම සාක්ෂි ලබාදීමේදී පූජිත් ජයසුන්දර මදක් හැඟු‍ම්බර වූ අතර ඔහු යළි සාක්ෂි ලබාදීම ආරම්භ කළා.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කොමිසම මේ වෙද්දි යම් කරුණු අනාවරණයක් කරගෙන තිබුණත්, හෙළිදරව් නොවු බොහෝ කරුණු තියෙනවා මා සතුව කියන්න. මෙච්චර ප්‍රහාරයක් වෙලා මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රටේ ප්‍රධානියා කිව්වේ මොකක්ද..? ‘මම දන්නේ නැහැ, මට කිව්වේ නැහැ, මම වගකියන්නේ නැහැ. වගකියන්න ඕනේ පොලිස්පති, ආරක්ෂක ලේකම්’ කියලා. ඉතිහාසයේ කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරු ගැන පොලිස්පති ජනාධිපති දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා නැහැ.”

මෙම සාක්ෂි ලබාදීම අතරතුර පූජිත් ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවය සහ එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කළා.

“බුද්ධි අංශ මෙතන සාක්ෂි දෙද්දි මම හිටියනේ. එයා කිව්වා ‘රාජ්‍ය බුද්ධි අංශයට නිලධාරින් මදි.. පහසුකම් මදි…’ කියලා. නමුත් ආරක්ෂක අමාත්‍යංශයෙන් පුර්ණ පහසුකම්, වරප්‍රසාද ලැබුණේ රාජ්‍ය බුද්ධි අංශයට. අනිත් අයට වඩා පඩි වැඩි වුනෙත් එයාලට. නමුත් එක විෂය ක්ෂේත්‍රයයි ආවරණය කරන්න තිබ්බේ. ආරක්ෂක අමාත්‍යංශය කොයිතරම්නම් රාජ්‍ය බුද්ධි සේවයට රහසිගතව මුදල් දුන්නද.. විගණනනයකටවත් ලක්වෙන්නේ නැහැ ඒ දීපු තරම. කිසිම සීමාවක් නැහැ ස්වාමීනි.”

අනතුරුව පූජිත් ජයසුන්දරගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම එළඹෙන 28 වනදා දක්වා කල්තැබුණු අතර ඉන්පසුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ රුවන් විජේවර්ධන යි.

ඔහුගෙන් මේ වනවිටත් ජනාධිපති කොමිසම සාක්ෂි විමසමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීරද සිල්වා ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරු හිමිවරුන්ට අද (24) පෞද්ගලිකව පෙනී සිටින ලෙසට ඊයේ (23) ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කළා. .

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමිර ද සිල්වා සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමියන් පමණක් අද (24) කොමිසම වෙත පැමිණියා.

කෙසේ වෙතත් නොතීසි නිකුත් කෙරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන අතිඋතුම් ඇන්තනි ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන රදගුරු හිමිවරු දෙදෙනා කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සිය නියෝගය ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඔහුගේ පෞද්ගලික ලේඛම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු හිමිවර්න්ට අවවාද කර කියා සිටියේ මින් පසු මතභේදාත්මක මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසයි.

*********************************************

මාතරින් හමු වු කොරෝනා අසාදිතයා ආගිය තැන් සොයා පරික්ෂණ

(24.09.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

මාතර හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් රුසියානු ජාතිකයාගේ හම්බන්තොට රෝහලේ සිදුකළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා අනුව ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ සුරංග උබේසේකර මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ අද (24) රාත්‍රියේ ජෛව සාම්පල ලබාගෙන තවත් පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා යොමුකරන බවයි.

ඒ අනුව ඔහුගේ ආසාදිතභාවය තහවුරු කළ හැකි බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

මාතර – පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සඳහා රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු පැමිණ ඇත්තේ පසුගිය 13 වනදායි.

ඔවුන් අද (24) දිනයේ මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි අතර ඊට පෙර මාතර නගරයේ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරගෙන තිබෙනවා.

එහිදී එක් රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත් රුසියානු ජාතිකයා සහ ඔහු සමඟ සිටි සෙසු ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයින් මාතර – පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන ඇත්තේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ අතර, ඔවුන් නවාතැන්ගත් හෝටලයේ සියලු සේවකයින් හෝටලය තුළම නිරෝධායනයට ලක් කළා.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම හෝටල් සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, හෝටල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 07 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති අතර, ඔවුන් ගාල්ල – වක්වැල්ල, අහංගම, ගෝනපීනුවල සහ රත්නපුර, තඹුත්තේගම හා බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් කඩිනමින් යලි ගෙන්වා ගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එසේම, කොරෝනා ආසාදනය වූ තවත් 13 දෙනෙකු අද (24) දිනයේත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,142 දක්වා ඉහළ ගියා.

එමෙන්ම මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3327ක් ලෙස දැක්වෙන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 169 දෙනෙකු පමණයි.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයන් 3,21,37,048 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9,82,717 ක් ලෙසයි.

+++++++++++++++++++++

(25.09.2020 – 07:54 +0530)

කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි සංචාරක හෝටලයේ පරිපාලනය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් මඟින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ උපදෙස් නිසිලෙස අනුගමනය කර නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස අදාළ සංචාරක හෝටලය ක්‍රියාත්මක විය යුතු වන්නේ යුද හමුදාවේ අධීක්ෂණය යටතේ වූවද, හෝටල් පරිපාලනය විසින් මෙම සංචාරක කණ්ඩායම සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

මාතර – පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සඳහා රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු පැමිණ ඇත්තේ පසුගිය 13 වනදායි.

ඔවුන් ඊයේ (24) දිනයේ මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි අතර ඊට පෙර මාතර නගරයේ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරගෙන තිබෙනවා.

එහිදී එක් රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසූරිය මහතා සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (24) සිදුකළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා අනුව ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ සුරංග උබේසේකර මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඊයේ (24) රාත්‍රියේත් ඔහුගෙන් යළි ජෛව සාම්පල ලබාගෙන තවත් පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා යොමුකර ඇති අතර, එහි වාර්තාව අද (25) දිනයේ ලැබීමට නියමිතයි.

මේ අතර, අදාළ සිද්ධියත් සමඟ මේ වනවිට පුද්ගලයින් සියයකට (100) ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (2) නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ අනුව ආසාදිත රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු සහ හෝටලයේ කළමනාකරුගේ බිරිඳ හා ළමයින් දෙදෙනා (2) මෙන්ම තවත් ගර්භණී කාන්තාවක්ද අදාළ හෝටලයේ සිට නිරෝධායනයට ලක්වනවා.

තවත් හැට දෙදෙනෙකු (60) පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වන බව සඳහන්.

එසේම, ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනුණු අතර, ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,333 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව 178 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා ෴

*********************************************

‘රොහා’ මියයාමත් සමග ‘කුඩු අංජු’ ෆේස්බුක් ඔස්සේ සතුට පළකරයි

(24.09.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ පාතාල සාමාජිකයෙකු වන ‘දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා වන ‘අමල් සිංහාරා’ හෙවත් ‘රත්මලානේ කුඩු අංජු’ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ, සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් මුදා හරිමින්. ‘මිනී ගෙනල්ලා නයිට ගහන්න මෙහේ බෑ, ඉස්පිරිතාලේ වලලපන්’ යනුවෙන් එමඟින් දක්වා තිබුණා.

ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පළායෑමට මීගමුව – කොච්චිකඩේ – කම්මල්තොට ප්‍රදේශයේ වැඩබිමක කම්කරුවන් රැඳී සිටීම සඳහා තාවකාලිකව ඉදිකළ මඩුවක සැඟව සිටි ‘රත්මලානේ රොහා’ සහ පොලිසිය අතර අදාළ වෙඩි හුවමාරුව සිදුව තිබුණේ අද (24) අලුයම් කාලයේදීයි.

එහිදී තුවාල ලබා සිටි ඔහු ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ වූ ‘රත්මලානේ රොහා’ අතින් දැනට විදේශ රටක රැඳී සිටින ‘කුඩු අංජු’ නැමැත්තාගේ සහෝදරයාද ඝාතනයට ලක්වුණා.

ඒ, 2016 වසරේ ජූනි මාසයේදී සිය බිරිඳ, දරු දෙදෙනා (2) සමඟ නඩුවකට පෙනී සිටීම සඳහා මහර අධිකරණයට පැමිණ මෝටර් රථයකින් යළි යමින් සිටියදීයි.

‘රත්මලානේ රොහා’ ඝාතනයවීමත් සමඟ දැනට විදේශ රටකට පළාගොස් සිටින ‘කුඩු අංජු’ නැමැත්තා සිය සතුට පළ කරමින් ‘ගේම් ඕවර්’ යනුවෙන්ද සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.

මේ අතර, හෙරොයින් ග්‍රෑම් 106 ක් සමඟ 1998 වසරේ පිටකොටුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (24) මරණ දඬුවම නියම කළා.

එමෙන්ම, කිරිබත්ගොඩ – පමුණුවිල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟින් අද(24) සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කිරිබත්ගොඩ පොලිසිය විසින්.

එසේම, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගෙන ඇති මුදල්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අද (24) නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවී තිබෙනවා.

*********************************************

රජය පොරොන්දු වූ රැකියා 10,000 කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා අදත් විරෝධතාවක

(24.09.2020 – 20:50 +0530 – hirunews.lk/sinhala)

රජය පොරොන්දු වූ රැකියා 10,000 කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී සංගමය අදත් (24) උද්ඝෝෂණයක නිරත වුණා.

සිය ඉල්ලීම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම පිරිස අද (24) පෙරවරුවේ ගාලුමුවදොර සිට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පා ගමනින් පැමිණියා.

ඉන් අනතුරුව ඔවුන්ගෙන් පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් වුණා.

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී සිටීම සහ වෙනත් ස්ථානයක තාවකාලික රැකියාවක් කිරීම යන හේතු මත රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළේදී තමන්ගේ නම් ප්‍රතික්ෂේප වී ඇති බවයි රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසන්නේ.

ඊයේ (23) දිනයේදී මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදීද උද්ඝෝෂණයක නිරත වූ අතර ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවකටද එක් වුණා.

*********************************************

බාල වයස්කාර දැරියකගේ නිරුවත් දර්ශන ජංගම දුරකථනයක තබාගෙන සිටි බාල වයස්කරුවන් දෙදෙනෙකු (2) පොලිස් භාරයට

(25.09.2020 – 06:45 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 13 ක බාල වයස්කාර පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබාගෙන සිටි තවත් බාල වයස්කරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (24) සිය භාරයට ගෙන ඇත්තේ 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක් (2).

තම දියණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අසල්වැසි ළමයින් දෙදෙනෙකු (2) ඔවුන්ගේ ජංගම දුරකථනයේ තිබී තවත් අසල්වැසි ළමයෙකුට පෙන්වා ඇති බවට මවක් විසින් මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම බාල වයස්කරුවන් දෙදෙනා (2) පොලිස් භාරයට ගෙන ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් එක් සැකකරුවෙකුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එහි තිබී අදාල පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප 20 ක් සහ වීඩියෝ දර්ශනයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම වලදී ඔවුන් දෙදෙනා පොලිසිය හමුවේ පවසා ඇත්තේ බාලවයස්කාර දැරිය, ඇයගේ නිවසේ නාන කාමරය තුල දිය නාන අවස්ථාවල දී ඇයට හොරෙන් මෙලෙස ඡායාරූප ලබාගත් බවයි.

සැකකාර බාල වයස්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේ පොල් වගාවක් තුළ ඉතා සූක්ෂම අයුරින් පවත්වාගෙන ගොස් තිබූ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය විසින් ඊයේ (24) වටලා තිබෙනවා.

අක්කර භාගයක (½) පමණ මෙලෙස ගංජා වගා කර තිබී ඇති අතර අඩි තුන හමාරක් (3½) පමණ උසට මෙම ගංජා පැල වැවී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගැනුණා.

ගංජා වගාවට ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා ෴

***************************************

රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 213 යි මිලිග්‍රෑම් 868 ක් සමඟ කැළණිය – ගෝනවල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරු ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු ග්‍රෑන්ඩ්පාස් – නවගම්පුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක් ෴

*********************************************

ජන ගැටළු විසඳන්න ජනපති ගමින් ගමට

(25.09.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීම සඳහා ගමින් ගමට චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැළසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්න, සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි තමා විසින්ම අසා දැනගෙන නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැළසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම වැඩසටහන යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තෝරාගෙන තිබෙනවා.

ඒ සඳහා වන ජන හමුව හපුතලේ – අක්කරසීය ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී අද (25) උදෑසන 10 ට ඇරඹීමට නියමිතයි.

ගම්බද ජනතාව බොහෝකල් විසඳී නොමැති ආර්ථීක හා සාමාජිය ගැටළු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනාධිපතිවරයා පසුගිය ජනපතිවරණ සහ මහ මැතිවරණ සමයේ රට පුරා කළ චාරිකාවලදී පසක් වු කරුණක්.

ජීවනෝපාය ගැටළු, ඉඩම් හා නිවාස හිඟය, ඉඩම්වලට නිරවුල් ඔප්පු නොතිබීම, සෞඛ්‍ය හා ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, දරුවන්ගේ අධ්‍යාපන ගැටළු හා පාසල් අඩුපාඩු මෙන්ම වගා සහ පානීය ජල හිඟය, වන අලි ගම්වැදීම, කෘෂි නිෂ්පාදන අලෙවි කරගැනීමේ අපහසුව එසේ හඳුනාගත් ගැටළු අතුරින් ප්‍රධානයි.

ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කරගෙන ඒවා කඩිනමින් විසඳීමට සහය විය යුතු රාජ්‍ය ආයතනවල උදාසීනතාව සහ අකාර්යක්ෂමතාවද තවත් මුල් පෙළේ ගැටළුවක්.

ජනාධිපතිවරයාගේ ග්‍රාම නිරීක්ෂණ චාරිකා ජනතාවට ප්‍රමුඛත්වය දෙමින් සංවිධාන කෙරෙන බවත්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා ෴

*********************************************

නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට ලොකු පුටු දෙකක් මූලස්ථානයට කැඳවයි

(25.09.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

අකාර්යක්ෂම සේවාව වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයේ දේපළ අංශයේ කළමනාකරු සහ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ, එම අධිකාරියේ විගණන අංශයේ පරීක්ෂණ කමිටුවක් මගින් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුවයි.

පෙරේදා (23) දිනයේදී ජනාධිපතිවරයා නාරාහේන්පිට නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය වෙත ගියේ එහි කටයුතු කාර්යක්ෂමව සිදුනොවන බවට ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි.

නිවාස සංවර්ධන අධිකාරිය තුළ නිලධාරීන් හිඟයක් පවතින බවට ජනාධිපතිවරයා හමුවේ අදාළ ස්ථාන මාරු ලැබූ කළමනාකාරවරියක ප්‍රකාශ කර තිබූ අතර, එවැනි නිලධාරීන් හිඟයක් එම කාර්යාලය තුළ නොමැති බව නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, අද (25) දිනයේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී අදාළ පරීක්ෂණ කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාවද සාකච්ඡාවට ගැනෙනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *