ජනපති ‘ගමින් ගම’ සමඟ හපුතලේට

ජනපති ‘ගමින් ගම’ සමඟ හපුතලේට

කඩාවැටුණු මහනුවර ගොඩනැගිල්ලේ සාම්පල රසායනාගාර පරීක්ෂාවකට යොමු කෙරේ

හෙට (26) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

පින්නවල අලි තදබදය මැති සබයට

විස්සට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක්

ආදරණීය ලිපිය ලියූ විදුහල්පති සහ විදුහල සොයා ගිය ගමන

තවමත් උත්තරයක් නැති කහ හිඟය

පොලිස් කොමිසමෙන් පොලිස්පතිගේ බලතල සීමා වූ බව වැඩබලන පොලිස්පති කියයි

මෛත්‍රී සිදුකළ තවත් බලපෑම්, පූජිත් පාස්කු කොමිසමේදී හෙළි කරයි

වෙන්නප්පුව – ලුණුවිලින් කඩු සහ තවත් ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයෙකු එස්.ටී.එෆ්. භාරයට

රුසියානු ජාතිකයාට කොරෝනා නොමැති බව හෙළිවේ

*********************************************

ජනපති ‘ගමින් ගම’ සමඟ හපුතලේට

(25.09.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන ඊට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සැළසුම් කර ඇති ගමින් ගම චාරිකාව අද (25) ආරම්භ වුණා.

එහි ප්‍රථම අදියර සඳහා තෝරාගෙන තිබුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයයි.

ඒ සඳහා වන ජන හමුව අද (25) පෙරවරුවේ හපුතලේ – අක්කරසීය ගම්මානයේ කුමාරතැන්න විද්‍යාල භූමියේදී පැවැත්වුණා.

*********************************************

කඩාවැටුණු මහනුවර ගොඩනැගිල්ලේ සාම්පල රසායනාගාර පරීක්ෂාවකට යොමු කෙරේ

(25.09.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

ඒ, එය ඉදිකිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහායි.

ඒ අනුව ඊයේ (24) ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට්, යකඩ සහ සිමෙන්ති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් විසින් කොළඹට රැගෙන විත් ඇති අතර, රසායනාගාර පරීක්ෂාවෙන් පසු එහි වාර්තාව ලබන සඳුදා තමන් වෙත ලැබීමට නියමිත බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ.

පසුගිය 19 වනදා කඩාවැටුණු මෙම ගොඩනැගිල්ලට යටවීමෙන් ඊට පහළින් පිහිටි හෝටලයක සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිළිඳිය ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන්ගේ අවසන් කටයුතුවලට සහභාගිවීම සඳහා මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු පසුගියදා එංගලන්තයේ සිට මෙරටට පැමිණි අතර, මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තම සහෝදරයාගේ පවුලේ සාමාජිකයින්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කියා සිටියේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ මහල් දෙකක් (2) ඉදිකිරීම සඳහා පළමුව මහනුවර මහ නගර සභාව අවසර ලබාදී ඇති බවයි.

ඉන් අනතුරුව නිවෙස් හිමියා ඉතිරි මහල් ඉදිකර ඇති බව ඔහු කියා සිටියා.

මහනුවර මහ නගර සභා බලප්‍රදේශය තුළ අවදානම් සහ අනවසර ඉදිකිරීම් 256 ක් ඉවත් කරන ලෙස අධිකරණ නියෝග ලබාදී ඇතත්, මේ දක්වා ඒවා ඉවත් කිරීමට නොහැකි වී ඇති බවද පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

*********************************************

හෙට (26) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(25.09.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට (26) රාත්‍රී අටේ (08:00) සිට පසුදින (27) පෙරවරු හය (06:00) දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.

මීට අමතරව කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා ෴

*********************************************

පින්නවල අලි තදබදය මැති සබයට

(25.09.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පින්නවල අලි අනාථාගාරයේ ප්‍රමාණය ඉක්මවා අලි සංඛ්‍යාවක් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය සමයේදී එහි ආදායමද සැලකිය ලෙස පහත වැටී ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වඳ සැත්කම් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

*********************************************

විස්සට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක්

(25.09.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

අගවිනිසුරුවරයාට අමතරව එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස නම් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුයි.

අදාළ පෙත්සම් මේ මස 29 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි ෴

+++++++++

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අදත් පෙත්සම් 6 ක් ඉදිරිපත් වී තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ තරුණ නීතිඥ සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා වෙළඳ හා කර්මාන්ත පොදු වෙළඳ සංගමය සහ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු විසින් මෙම පෙත්සම් 6 ඉදිරිපත් කර ඇති බවයි.

මීට පෙර ඉදිරිපත් වූ පෙත්සම් 12 ද සමගින් මේ වනවිට 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුළු පෙත්සම් සංඛ්‍යාව 18 ක්.

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් තවත් 9 ක පිටපත් තමන්ට අද දිනයේ ලැබී ඇති බවයි.

මෙලෙස ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

එහි සෙසු සාමාජිකයින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩයි.

අදාළ පෙත්සම් මේ මස 29 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි ෴

*********************************************

ආදරණීය ලිපිය ලියූ විදුහල්පති සහ විදුහල සොයා ගිය ගමන

(25.09.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පතිවරයෙකු සිය පාසලේ පළමු ශ්‍රේණියට ඇතුලත් වීමට ඉල්ලුම් කළ දරුවන්ට යැවූ අපූරු ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එය බොහෝ දෙනෙකුගේ පැසසුමටද ලක්වුණා.

එම ලිපිය යැවූ විදුහල්පතිවරයා සහ අදාළ පාසල පිළිබඳව අප විමසා බැලීමක් කළා.

Email : asirigamavidu@gmail.com

*********************************************

තවමත් උත්තරයක් නැති කහ හිඟය

(25.09.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආහාර රටාව අනුව කහ යනු මුළුතැන් ගෙය සඳහා අත්‍යවශ්‍ය කුළු බඩුවක්.

කහ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කහ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 750 ක් ලෙස මෙතෙක් පැවති උපරිම සිල්ලර මිල අහෝසි වනු ඇති.

එහෙත් දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් කහ ආනයනය නතර කිරීමත් සමඟ මේවන විට වෙළෙඳපොළේ මතුව ඇත්තේ දැඩි කහ හිඟයක්.

මෙම හිඟය නිසා නීතිවිරෝධී අයුරින් ගෙන්වන කහ වැටලීම්ද නිරන්තරයෙන් සිදුවනවා.

කෙසේ වෙතත්, රජයේ අපේක්ෂාව වී ඇත්තේ 2021 වසර වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිත කිරීමයි.

*********************************************

පොලිස් කොමිසමෙන් පොලිස්පතිගේ බලතල සීමා වූ බව වැඩබලන පොලිස්පති කියයි

(25.09.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොමිසම පිහිටුවීම මගින් පොලිස්පතිවරයාගේ බලතල සීමා වී ඇතැයි වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිගත්තා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

*********************************************

මෛත්‍රී සිදුකළ තවත් බලපෑම්, පූජිත් පාස්කු කොමිසමේදී හෙළි කරයි

(25.09.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ මලල්ගොඩ කමිටුවේ පරීක්ෂණද වෙනස් කොට, කැමති රටක තානාපති ධුරයක් ලබාදෙන බව පොරොන්දු වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගන්නා ලෙස තමන්ට අවස්ථා ගණනාවකදී දැඩි බලපෑම් එල්ල කළ බව පූජිත් ජයසුන්දර හෙළි කළා.

පාස්කු ජනපති කොමිසමේදී තවත් අනාවරණයක් කරමින් ඔහු පැවසුවේ දෙහිවලදී ජමිල් මොහොමඩ් නම් ත්‍රස්තයා බෝම්බය පුපුරවා ගැනීමට පෙර, එදිනම බුද්ධි නිලධාරීන් එම බෝම්බකරු හමුවීමට පැමිණ තිබූ බවයි.

***************************************

වීරවිල ඉදිවූ තරු පහේ හෝටලයක් අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

(25.09.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සමාගමකට අයත් වීරවිල ප්‍රදේශයේ ඉදි කෙරුණු නවතම තරුපහේ හෝටලයක් ඊයේ (24) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම සංචාරක හෝටලය මගින් වීරවිල කුරුළු පාරාදීසය, යාල, උඩවලව, බූන්දල වැනි සංචාරක ආකර්ශණ දිනාගත් අභයභූමි සඳහා කෙටි කාලයක් තුළ ළඟාවිය හැකි දෙස් විදෙස් සංචාරකයින්ට නවාතැන් පහසුකම් සැපයීමට හැකියාව ලැබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

*********************************************

වෙන්නප්පුව – ලුණුවිලින් කඩු සහ තවත් ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයෙකු එස්.ටී.එෆ්. භාරයට

(25.09.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව – ලුණුවිල ප්‍රදේශයේදී ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කඩු සහ තවත් ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ගෝනහේන කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම අද (25) සිදුකළ බවයි.

කඩු 6 ක්, රම්බෝ පිහි 5 ක්, එස්.ජී පතොරම් 102 ක්, එම කොපු 32 ක් සහ බයිසිකල් බෝල 3000 ක් මෙහිදී සොයා ගෙන තිබෙනවා.

***************************************

නව රාජ්‍ය තාන්ත්‍රික පත් කිරීම් 8 ක් සඳහා, පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව, ජිනිවාහි මෙරට නිත්‍ය නියෝජිතයා වශයෙන් සී.ඒ.චන්ද්‍රපේම මහතා පත් කර ඇති අතර, දකුණු අප්‍රිකාවේ මහකොමසාරිස්වරයා වශයෙන් එස්.අමරසේකර මහතාගේ නමට අනුමැතිය හිමිව තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයා වශයෙන් විශ්‍රාමික අද්මිරාල් හරිස්චන්ද්‍ර ද සිල්වා මහතා අනුමැතිය හිමිව ඇති අතර, ජපානයේ තානාපතිවරයා වශයෙන් සංජීව් ගුණසේකර මහතාට අනුමැතිය හිමිවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රවීනාථ ආරියසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට අනුමැතිය හිමිව ඇති අතර, ප්‍රංශයේ තානපතිවරයා ලෙස පත් කිරීමට අනුමැතිය හිමිව ඇත්තේ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියයි.

මීට අමතරව, ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට එම කාරක සභාව අනුමැතිය ලබා දුන් අතර මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහකොමසාරිස්වරයා ලෙස පත් කිරීමට ද අනුමැතිය හිමිව තිබෙනවා ෴

*********************************************

රුසියානු ජාතිකයාට කොරෝනා නොමැති බව හෙළිවේ

(25.09.2020 – 17:10 +0530 – hirunews.lk/sinhala)

මාතර – පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොරෝනා ආසාදිතයෙකු ලෙසට වාර්තා වූ රුසියානු ජාතිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව හම්බන්තොට මහරෝහලේ අධ්‍යක්ෂ සුරංග ඔබේසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ හම්බන්තොට රෝහලේදී අද අවසන් වරට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයට අනුවයි. ඊයේ (24) ලැබුණු පී.සී.ආර්. වාර්තාවෙන් ද ප්‍රකාශ වුණේ ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බවටයි.

මේ අතර අදාළ රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි සංචාරක හෝටලයේ පරිපාලනය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් මගින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ උපදෙස් නිසිලෙස අනුගමනය කර නොමැති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

මේ වනවිට සුවය ලබා පිටව ගිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3158 ක් ලෙස සටහන් වන අතර මෙරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 163 ක් ෴

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *