එංගලන්තයෙන් මෙරටට රැගෙන ආ කසල සහිත බහලුම් 263 න් 21 ක් යළි එංගලන්ත්යටම

එංගලන්තයෙන් මෙරටට රැගෙන ආ කසල සහිත බහලුම් 263 න් 21 ක් යළි එංගලන්ත්යටම

තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට බාලදක්ෂ ව්‍යාපාරය අවශ්‍යයි – ආරක්ෂක ලේකම්

කෘත්‍රිම හිඟයට පිළියම් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ තීරණයක්

කිරිපිටි ආනයනය නවත්වන ලකුණු

හෙරොයින් බෙදාගැනීමට නොහැකිව මිතුරා ඝාතනය කළ සැකකරු ප්‍රදේශයෙන් පළා යයි

20 ගැන කියන කතා

තදබදය අඩු කරන්න ට්‍රැෆික් ලයිට් ගැන අද (28) සමීක්ෂණයක්

නව නිපැයුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමට චෝදනා

පොල් වැටලීම් අඛන්ඩව

නිමි ඇඳුම් ආනයනය නතර කිරීමට වැඩපිළිවෙළක්

ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යලි රිමාන්ඩ්

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

වනජීවී රාජකාරිය තමන්ට දෙන්නැයි වැල්ලවායේ ගම්මුන්ගෙන් ඉල්ලීමක්

කෑගල්ලේ අනාරක්ෂිත තෙමහල් (3) ගොඩනැගිල්ලක්

*********************************************

එංගලන්තයෙන් මෙරටට රැගෙන ආ කසල සහිත බහලුම් 263 න් 21 ක් යළි එංගලන්ත්යටම

(27.09.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්, එංගලන්තයේ සිට මෙරටට රැගෙන ආ කසල සහිත බහලුම් 263 න් 21ක් ඊයේ එරටට ප්‍රතිනැව් ගත කෙරුණා.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, අදාළ සියලුම බහලුම් භාර ගැනීමට එංගලන්තය කැමැත්ත පළකර ඇති බවයි.

ජාත්‍යන්තර බාසල් සම්මුතිය, එක්සත් ජාතීන්ගේ සියලු සම්මුතීන් සහ යුරෝපා සංගමයේ නීතිරීති උල්ලංඝනය කරමින් ‍කිසියම් පාර්ශ්වයක් විසින් මෙම කසල සහිත බහලුම් 263 මෙරටට රැගෙන එනු ලැබුවේ 2017 වසරේදීයි.

රෝහල්වලින් ඉවත් කෙරෙන සායනික අපද්‍රව්‍ය එහි ප්‍රධාන වශයෙන් අඩංගු වී තිබුණා.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, මෙම බහලුම් 263 අතරින් 242 ක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් පවතින බවයි.

ඒ අනුව නීතිමය ගැටලුවක් නොමැති කසළ බහලුම් 21 රේගු අධීක්ෂණය යටතේ ඊයේ කොළඹ වරායෙන් එංගලන්තය බලා ප්‍රතිනැව්ගත කෙරුණා.

*********************************************

තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට බාලදක්ෂ ව්‍යාපාරය අවශ්‍යයි – ආරක්ෂක ලේකම්

(27.09.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීමට සහ ඉන් මිදීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය වැදගත් වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (26) පැවති ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ උත්සවයකට එක්වෙමින්.

“ශිෂ්ඨ සම්පන්න සමාජයක් කරා යන ගමනේදී බාලදක්ෂ ව්‍යාපාරයක් ඉතා වැදගත් කොට සළකන්න පුළුවන්. එය පෞරුෂ වර්ධනයට ඉවහල් වනවා සේම තරුණ ජීවිතවල තවත් පැතිකඩ රැසක් සංවර්ධනය සඳහා ඉවහල් කරගන්න පුළුවන්. විශේෂයෙන් තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධවලට යොමුවන කාලයක බාලදක්ෂ ව්‍යාපාරය වැදගත් ක්‍රියාකාරකමක් හැටියටයි මා දකින්නේ. විශේෂයෙන් එය අපේ රටේ අනාගත පරම්පරාවේ පෞර්ෂ වර්ධනයට ඉවහල් වේවි. සුරක්ෂිත සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී තරුණ තරුණියන් යන දෙපාර්ශවයම වඩා කාර්යක්ෂම කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතුයි. ඒ සඳහා බාලදක්ෂ ව්‍යාපාරය වැනි කටයුතුවලට යොමුවීම රටේ තරුණ තරුණියන් අපරාධවලින් ආරක්ෂා කරගැනීමට රන් පළිහක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

මේ අතර බස්නාහිර පළාතේ ගතවූ පැය 24 තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 484 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරින් පුද්ගලයින් 169 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 329 කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබූ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම පුද්ගලයින් 133 දෙනෙකු සතුව තිබී ගංජා කිලෝ 47 කට අධික ප්‍රමාණයක්ද පොලිසිය සොයාගෙන ඇති අතර, නීතිවිරෝධී දුම්වැටි 10,721 ක්ද අදාළ වැටලීම්වලදී සොයාගෙන තිබෙනවා ෴

*********************************************

කෘත්‍රිම හිඟයට පිළියම් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ තීරණයක්

(27.09.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොල තුළ ඇතිවිය හැකි කෘත්‍රිම සහල් හිඟයකට පිළියම් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වැඩි වශයෙන් භාවිත කරන සහල් වර්ගය නාඩු සහල් වර්ගයි.

සම්බා මෙන්ම රතු කැකුළු සහල්ද මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබනවා.

එමෙන්ම මෙරට මාසික සහල් පරිභෝජනය සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දෙකක්.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දත්තවලට අනුව එම සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දෙක නිපදවීම සඳහා අවශ්‍ය වන වී තොගවලින් සියයට 95 ක්ම මේ වනවිටත් රජයේ සහ පෞද්ගලික වී ගබඩා වෙත ලැබී තිබිය යුතුයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ගණනය කිරීම සිදුකරනු ලබන්නේ වගා කරන වී වර්ගය, බිම් ප්‍රමාණය, සපයනු ලබන පොහොර ප්‍රමාණය ආදිය සැළකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් පසුගියදා මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් ඇතුලු සියලු වී මෝල් හිමියන් කැඳවා සිදුකළ සාකච්ඡාවකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුමක් සඳහන් කළද තම ගබඩා සතුව එම සංඛ්‍යාලේඛනවලට සමාන වී තොග නොපවතින බවයි.

වෙළඳ අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රකාශ ඉදිරි මාසවලදී වෙළඳපොලේ කෘත්‍රිම සහල් හිගයක් පෙන්වමින් මිල වැඩි කිරීමේ උත්සාහයක් යැයි අනුමාණ කළ හැකි බවයි.

සාමාන්‍යයෙන් සෑම වර්ෂයකදීම ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මෙරට සහල් වෙළඳපොලේ හිඟයක් ඇති කිරීමට ඇතැම් ව්‍යාපාරිකයන් උත්සාහ කිරීම සුලබ කරුණක්.

මෙවරද එවැනි තත්ත්වයක් ඇති කිරීමට ඉඩ නොතබා කෘත්‍රිම හිඟයක් ඇති කිරීමට උත්සාහ දැරුවොත් එය පාලනය කිරීම සඳහා මෙලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කළ බවයි වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ෴

************

සෝයා බෝංචි ගොවීන් තම අස්වැන්න නිසි මිලකට විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට පත්ව සිටිනවා.

සෝයා බෝංචි කිලෝවක් සඳහා රුපියල් 125 ක පාලන මිලක් නියම කර තිබුණද මේ වනවිට සිය අස්වැන්න අලෙවි කළ හැකිවන්නේ කිලෝවක් රුපියල් 115 ක් වැනි මුදලකට බවයි ගොවීන් පෙන්වා දෙන්නේ ෴

*********************************************

කිරිපිටි ආනයනය නවත්වන ලකුණු

(27.09.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර තුන තුළ කිරිපිටි ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

නාවලපිටිය – පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ඊයේ (26) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

***************************************

ගල්ගමුව – දේවගිරිය ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (26) පස්වරුවේ කුලී වැඩ නිම කර යමින් සිටියදී මොවුන් මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 40 සහ 60 යන වයස්වල පසුවන්නන්.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයේ සිට ඇති අතර ඔවුන් දිව ගොස් දිවි ගලවාගෙන තිබෙනවා ෴

*********************************************

හෙරොයින් බෙදාගැනීමට නොහැකිව මිතුරා ඝාතනය කළ සැකකරු ප්‍රදේශයෙන් පළා යයි

(27.09.2020 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – පීරිස් පාර ප්‍රදේශයේ නිවසකදී හෙරොයින් පානය කළ පුද්ගලයෙකු ඔහුගේ මිතුරා විසින් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇත්තේ තනිවම හෙරොයින් පානය කළ බවට පවසමින්.

ජීවිතක්ෂයට පත්වුණේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

*********************************************

20 ගැන කියන කතා

(27.09.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්(27) අදහස් පළ කළා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ඒකාධිපති පාලනයකට රට ගෙනයෑමට කිසිම ආකාරයකින් ඉඩ ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එකඟ නොවන බවයි.

මේ අතර ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දී ඇත්තේ රටට ව්‍යසනයක් සිදු කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණය ලබා දෙන තීන්දුවට හිස නවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිපදෙනෙක්.

***************************************

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයන් 47 ක් ඇතුලු සැකකරුවන් හා වරෙන්තුකරුවන් 1,500 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) උදෑසන හයේ (6) සිට අද (28) උදෑසන පහ (5) දක්වා කාලය තුළ මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 326 දෙනෙකුද වනවා ෴

*********************************************

තදබදය අඩු කරන්න ට්‍රැෆික් ලයිට් ගැන අද (28) සමීක්ෂණයක්

(28.09.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව අද (28) සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් රථ වාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ගවල තදබදය අඩු කිරීමේ අරමුණින් සංඥා ලාම්පු හෙවත් ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක් ද අද (28) සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කළ මංතීරු නීතිය පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි.

ආරම්භක සති දෙක (2) තුළ මංතීරු නීතිය පිළිබඳ රියදුරන්ට අවශ්‍ය දැනුවත් කිරීම් හා අවබෝධය ලබාදීම සිදුකරනු ලැබුවේ එම නීතිය උල්ලංඝනය කරන්නන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීමකින් තොරවයි.

*********************************************

නව නිපැයුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමට චෝදනා

(28.09.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

1991 වසරේ සිට ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් නවෝත්පාදන හා නව නිපැයුම් වලට සාධාරණයක් ඉටු වී නොමැති බවට නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය චෝදනා කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි කැදවුම්කරු ප්‍රබෝදිත් ධර්මාජීව මහතා කියා සිටියේ නවෝත්පාදන හා නව නිපැයුම් වලට අදාළ මූලාකෘති නිර්මාණය කළ ද ඒවා වෙළඳපොලට යොමු කිරීම සඳහා මේ දක්වා නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි ෴

*********************************************

පොල් වැටලීම් අඛන්ඩව

(28.09.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව, නියම කල මිලට පොල් අලෙවි නොකරන පුද්ගලයින් සොයා වෙළඳපොලේ අඛන්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

පසුගිය 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.

ඒ වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 70 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60 ක් ලෙසත් දක්වමින්.

කෙසේ වෙතත්, පාරිභෝගික සේවා අධිකාරිය නියම කළ මෙම උපරිම මිලට වෙළදපොලේ පොල් අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබුණා ෴

*********************************************

නිමි ඇඳුම් ආනයනය නතර කිරීමට වැඩපිළිවෙළක්

(28.09.2020 – 09:40 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර තුළ විදෙස් රටවලින් නිමි ඇඳුම් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

*********************************************

ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට

(28.09.2020 – 09:44 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ තිබෙනවා.

ඒ, අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුවයි.

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ සැකකරුවෙකු ලෙස නෞකාවේ කපිතාන්වරයා නම් කරන බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සැප්තැම්බර් 03 වනදා අදාළ නැව ගිනි ගැනීමට ලක්වූ අතර, එහිදී විධිමත් ලෙස සන්නිවේදන ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක සිදු කර නොමැති බවටයි සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබුණේ.

එමෙන්ම, කපිතාන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනවලටද කිසිදු සහයක් දක්වා නොමැති බවට ද වාර්තා වුණා.

+++++++++++

ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී, අධිකරණය නියෝග කර ඇත්තේ ඊට අදාළ තීරණය අද (28) පස්වරු දෙකට (2) නිකුත් කරන බවයි.

ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) පෙනී සිටියා.

ඒ, අධිකරණය නිකුත් කළ නොතීසියට අනුවයි. පසුගිය 17 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නොතීසි නිකුත් කරමින් අදාළ කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නා.

ඒ අනුව ඔහු පෙරවරු 09:30 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් එහි කපිතාන්වරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

*********************************************

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යලි රිමාන්ඩ්

(28.09.2020 – 10:34 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ලවී රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවට අද (28) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් මාතර සිට බලපිටිය දක්වා හොරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව මංජු නැමති සැකකරුවකු අත්අඩංගුවට ගෙන මේවනවිට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතින බව දැනුම් දුන්නා.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.

එහිදී ඉන් එක පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ආරක්ෂ සේවා මුලස්ථානයට නිතුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇතිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියා.

යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සාමාජිකයන් අතර පත් වුයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මේ වනවිට පැනී නැගී ඇතැයි පෙන්වා දුන් රජයේ නියෝජය සොලිසිටර් ජෙනරාල්වරයා යුද හමුදාව විසින් එම ගිනි අවිය නිකුත් කළේ කුමන නිළධාරියාටද, එය පාතාල සාමාජිකයන් අතට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර විභාගයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කළා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් බැදුම්කරයක් මත මුදා හරින ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියා.

ඒ අනුව අදාළ කරුණු ඉදිරිපත් කිරීම ලබන මස 07 වනදා සිදුකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

***************************************

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ තිබෙනවා.

ඒ, නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් වන ගාමිණී සෙනෙවිරත්න සහ කේ.පී. චමින්ද ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ද්වේශසහගත ලෙස නඩු පවරා ඇති බව සඳහන් කරමිනුයි ඔවුන් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ෴

***************************************

දෙදරු මවක් බලහත්කාරයෙන් රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා ගාල්ල – හැව්ලොක් පාරේ රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර ඔහු එනතුරු ඇය ඒ අසල සිට ඇති බවයි.

රාත්‍රි එකොළහට පමණ චින කොරටුව පෙදෙසේ සිට පැමිණි ත්‍රි රෝද රථයක් ඇය අසල නවත්වා ඇති අතර එහි පිටුපස අසුනේ සිටි පුද්ගලයා එක් වරම ඇයගේ අතින් ඇද ත්‍රි රෝද රථයට නංවාගෙන ඇති අතර ත්‍රි රෝද රථයේ නංවාගෙන හැව්ලොක් පාර දිගේ ඉදිරියට යනවිට ඇය ඔවුන් සමග පොර බදා රියදුරුගේ බෙල්ල අල්ලාගෙන ඇති බවත් ඒ සමගම රියදුරුට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඇලට පෙරලි ඇති බවත් අනාවරණයවි තිබෙනවා.

පසුව පොලීසිය ඇය බේරාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

සිය සැමියා පැමිණෙන තුරු රැඳී සිටියදී මෙම පැහැරගැනීම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් පෝද්දල පදිංචි 26 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරු සහ 30 හැවිරිදි ඔහුගේ මිතුරෙකි ෴

*********************************************

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

(28.09.2020 – 11:56 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියා.

ඔහුගේ සිනමා ජිවිතයේ ලඟම මිතුරෙකු වන බන්දු සමරසිංහ මහතා ගෙන් අප මේ පිළිබද විමසූ අතර ඔහු ද එම පුවත සනාථ කළා.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියා.

ඔහුගේ සිනමා ජිවිතයේ ලඟම මිතුරෙකු වන බන්දු සමරසිංහ මහතාගෙන් අප මේ පිළිබද විමසූ අතර ඔහු ද එම පුවත සනාථ කළා.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා 68 වන වියේ පසු වුණා.

*********************************************

වනජීවී රාජකාරිය තමන්ට දෙන්නැයි වැල්ලවායේ ගම්මුන්ගෙන් ඉල්ලීමක්

(28.09.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

වනජීවි රාජකාරි තමන්ට ලබාදෙන ලෙස වැල්ලවාය ප්‍රදේශයේ ගම්වැසියන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, නිරන්තරයෙන් තමන් මුහුණ දෙන වනඅලි ගැටළුවට මෙතෙක් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන්.

වැල්ලවාය – දික්ගල්යාය ප්‍රදේශයේ ජනතාව නිරතන්තරයෙන් වන අලි තර්ජනයට මුහුණ දී සිටින අතර ඊයේ (27) රාත්‍රියේ ගම්මානයට කඩාවැදුණු වන අලි සිය දේපළ මෙන්ම වගාවන්ටද හානි කර ඇති බවයි ගම්වාසීන් චෝදනා කළේ.

මේ අතර වන අලි පහරදීමක් හේතුවෙන් ගල්ගමුව – දේවගිරිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (27) පස්වරුවේ ජිවිතක්ෂයට පත්වුණා.

කුලී වැඩ නිම කර යමින් සිටියදී මොවුන් වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 40 සහ 60 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් ෴

*********************************************

කෑගල්ලේ අනාරක්ෂිත තෙමහල් (3) ගොඩනැගිල්ලක්

(28.09.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල – හෙම්මාතගම නගර මධ්‍යයේ නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ලක් හේතුවෙන් තම ජීවිත අනාරක්ෂිත වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

අදාළ ගොඩනැගිල්ල ආසන්නයේ ළමයින් 2,000 ක් පමණ අධ්‍යාපනය ලබන පාසලක්ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (27) සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ඉංජිනේරු අජිත් පනාගොඩ මහතා එම ස්ථානයට ගොස් තිබුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉංජිනේරුවෙකුගේ අධීක්ෂණයකින් තොරව ඉදිකිරීම් සිදුකර ඇති මෙම ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා ගොස් ඇති අතර, කම්බි පවා දිරාගොස් ඇති බවට නිරීක්ෂණය වන බැවින් එම ස්ථානයේ යම් අවදානමක් පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ අතර මහනුවර – බූවැලිකඩ පස්මහල් (5) ගොඩනැගිල්ල කඩාවැටීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ මව, පියා සහ බිළිඳියගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මහනුවර ශාඛාවේ සභාපතිනි කුමාරි අබේරත්න මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩිලන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කළ බවයි. පසුගියදා රැස්වූ නීතීඥ සංගමයේ මහනුවර ශාඛාවේ හදිසි කමිටු රැස්වීමේදී මෙම කමිටුව පත් කෙරුණා.

එමෙන්ම අදාළ ගොඩනැගිල්ල කඩාවැටීම සම්බන්ධයෙන් වන වාර්තාව අද (28) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා වෙත භාරදීමට නියමිතයි.

කඩාවැටුණු ගොඩනැගිල්ලේ සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා පසුගියදා යොමු කරනු ලැබුවේ ඉදිකිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහායි.

ඒ අනුව එම සියලු කරුණු ඇතුළත් එහි වාර්තාව අද (28) දිනයේ පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාරදෙනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *