කටානේ දී රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදලක් කොල්ල කයි

කටානේ දී රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදලක් කොල්ල කයි

අතුරුදන් වූ දෙණියායේ සිසුවියගේ දුරකථනය විසන්ඳි වෙයි

2021 අයවැය නොවැම්බර් 17 පාර්ලිමේන්තුවට

රජයේ අනුමත මිල ගණන් නොලැබීමෙන් පීඩා විඳින ගලෙන්බිඳුණුවැව ගොවියෝ

සජිත් රත්මලාන රැස්වීම අමතද්දී එල්ල වූ ගල් ප්‍රහාරය

රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළගේ අයි ෆෝන් ලිපිය ගැන ඇත්ත කතාව

රාජ්‍ය බුද්ධි සේවයේ වාර්තාවල ප්‍රහාරය ගැන ගතයුතු පියවර නිර්දේශ සඳහන් වූයේ නෑ – හේමසිරි ප්‍රනාන්දු

කණ කොකා හැඬූ ගාල්ලේ ප්‍රථම රබර් කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව

ජලභීතිකාවෙන් ගාල්ලේ පාසල් සිසුවෙකු මරුට

20 න් සිතීමේ නිදහස නැමැති මුලික අයිතිවාසිකමට සීමා පැනවෙනවා – පෙත්සම්කාර පාර්ශව කියයි

අලි නිසා මරණ වැඩිවේ – පැය 18 කදී දෙදෙනෙකු (2) මිය ගිහින්

පුරාවිද්‍යා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප

හෝටල්වල විදුලි බිලට සහනයක්

හම්බන්තොට වරාය ණය උගුලක සිරවීමක් නොවේ – ජනපති, විදෙස් තානාපතිවරුන්ට කියයි

පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 10 සිට නොවැම්බර් 08 දක්වා (එම දින දෙකද ඇතුලුව)

*********************************************

කටානේ දී රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදලක් කොල්ල කයි

(30.09.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් තිබෙනවා.

අද (30) උදෑසන ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

++++++++++++++

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3 කට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ ස්ථානයට පොලිස් නිල සුනඛයින් ද කැඳවා ඇති අතර, වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු අද (30) පෙරවරුවේ නිවසට ඇතුළු වී එහි සිටි ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ අයවලුන් ගිනි අවි පෙන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3 කට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකා අද (30) පලාගොස් තිබුණා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු අද (30) උදෑසන එම නිවසට ඇතුළු වී එහි සිටි ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොල්ලකරුවන් නිවසට පැමිණෙන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබෙනවා.

ප්‍රථමයෙන් කොල්ලකරුවන් නිවසට ඇතුළු වී නිවසේ සිටි ව්‍යාපාරිකයා, බිරිඳ සහ ඔවුන්ගේ දියණිය, සාලයට ගෙන්වා ඇති අතර, පසුව නිවසේ තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකා ඇති බවටයි වාර්තා වන්නේ.

මීට අමතරව, නිවස පිටුපස පිහිටි ව්‍යාපාරිකයාට අයත් බේකරියක තිබූ මුදල් ද කොල්ලකා තිබෙනවා. කොල්ලකරුවන් පිටව යන අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් උඩුමහලෙහි කාමරයකට දමා සිරකර පලාගොස් ඇති බවටයි ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

සැකකරුවන් භාවිත කළ බවට සැකකෙරෙන අත් ආවරණ කිහිපයක් ද නිවසෙහි දමා ගොස් තිබියදී හමුවී ඇති අතර ඒ ඔස්සේ පොලිස් නිල සුනඛයින් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කටාන පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම ව්‍යාපාරිකයා බීඩි සහ බේකරි නිෂ්පාදකයෙකු මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමිකරුවෙකු ද වනවා.

++++++++++++++++

(01.10.2020 – 07:59 +0530)

කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 03 කට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකා පළා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 06 ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔහුගේ නිවස අවට මාර්ග දෙපස ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන විමර්ශන සඳහා උපයෝගී කර ගන්නා බවයි. එමෙන්ම, කොල්ලකරුවන් ගමන් කළ මාර්ගයද හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළා.

මෝටර් රථයකින් පැමිණි 07 දෙනෙකු ඊයේ (30) උදෑසන එම නිවසට ඇතුළු වී එහි සිටි ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොල්ලකරුවන් නිවසට පැමිණෙන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවලද සටහන් වී තිබුණා.

මේ අතර, රුපියල් ලක්ෂ 30 ක කේරල ගංජා තොගයක් නුගේගොඩ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මීගොඩදී ඊයේ (30)අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු බැලීමට පැමිණි යුවලක්ද ඊයේ (30) හෙරොයින් පැකට් 08 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

++++++++++++++++

(01.10.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

කටානේ ව්‍යාපාරික නිවස කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් එහි පැමිණ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ලෙස හඟවමින් බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණවලදී ලබාදී ඇති ප්‍රකාශ අනුව මෙම තොරතුරු අනාවරණ වන බවයි.

මේ වන විටත් කොල්ලයට අදාළ ප්‍රකාශ 21 ක් සටහන් කරගෙන ඇති අතර, පොලිස් කණ්ඩායම් ගණන 6 ක් පරීක්ෂණ මෙහෙයවනවා.

පොලීසිය පවසන්නේ පරීක්ෂණ සඳහා කොල්ලකෑමට ලක්වූ ව්‍යාපාරික නිවසේ මෙන්ම ඒ අවට නිවෙස්වල ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බවයි.

මේ වන විටත් කොල්ලකරුවන් ගමන් ගත් මාර්ගය හඳුනාගෙන ඇති බව පරීක්ෂණ කණ්ඩායම් පවසනවා.

මෝටර් රථයකින් පැමිණි 07 දෙනෙකු ඊයේ (30) උදෑසන නිවසට ඇතුළු වී එහි සිටි ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගිනි අවි පෙන්වා බිය ගන්වා එහි තිබූ රුපියල් කෝටි 3 කට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා පලාගොස් තිබුණා.

*********************************************

අතුරුදන් වූ දෙණියායේ සිසුවියගේ දුරකථනය විසන්ඳි වෙයි

(30.09.2020 – 10:04 +0530 – hirunews.lk/sinhala)

දෙණියාය – ඉදුරදෙණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මාතරදී අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතර, අදාළ සිසුවියගේ දුරකථන සම්බන්ධතා සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකිරීමට නියමිතයි.

මේ වනවිටත් ඇයගේ දුරකථනය විසන්ධි වී ඇතිි බවද මාතර ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු කියා සිටියේ මෙම සිසුවිය මාතර ප්‍රදේශයේ පිහිටි සිය නේවාසිකාගාරයට ගොස් ඇගේ ඇඳුම් සියල්ලද රැගෙන ගොස් ඇති බවයි.

17 හැවිරිදි ඇය මාතර නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා පසුගිය 27 වනදා නිවසින් පැමිණ ඇති බවයි දෙමව්පියන් කියා සිටියේ. නේවාසිකාගාරයක රැඳී සිටිමින් ඇය මාතර නගරයේ පැවැත්වෙන උපකාරක පන්තිවලට මීට පෙර සහභාගි වී තිබෙනවා.

කෙසේ වෙතත් උපකාරක පන්තියට සහභාගිවී ඇය යළි නේවාසිකාගාරයට පැමිණීම සඳහා පිටවූවත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙනුයි මෙලෙස දෙමව්පියන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත්තේ ෴

*********************************************

2021 අයවැය නොවැම්බර් 17 පාර්ලිමේන්තුවට

(30.09.2020 – 12:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට අපනයන ක්ෂේත්‍රය කොවිඩ් 19 වසංගතයට පෙර පැවති තත්ත්වයට මේ වනවිට වර්ධනය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අද (30) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ දැනට පනවා ඇති ආනයන සීමාවන් ලිහිල් කිරීමට ද ඉදිරියේදී විසින් කටයුතු කරන බවයි.

ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.

*********************************************

රජයේ අනුමත මිල ගණන් නොලැබීමෙන් පීඩා විඳින ගලෙන්බිඳුණුවැව ගොවියෝ

(30.09.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් පෞද්ගලික සමාගම්වල ක්‍රියාකාරකම් හමුවේ රජයේ අනුමත මිල ගණන් තම අස්වනු සඳහා නොලැබෙන බවට ගලෙන්බිඳුණුවැව ගොවීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ මෙම ගැටලුව ඇති වීම සඳහා රජයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමද බලපාන බවයි.

ගලෙන්බිදුනුවැව හුරුලුවැව ව්‍යාපෘතිය යටතේ වගා කරන ගොවියන් බලධාරීන්ගේ උපදෙස් මත පසුගිය යල කන්නයේ වී වගාව වෙනුවට ගොඩ බෝග වගා ගැන අවධානය යොමු කළේ සරු අස්වැන්නක බලාපොරොත්තු සමඟින්.

ඒ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් බඩඉරිඟු සහ සෝයා බෝංචි වගා කළ මේ ගොවීන් මේ වන විටත් සිය අස්වනු නෙලා හමාරයි.

රජයේ පාලන මිල යටතේ සෝයා බෝංචි සඳහා කිලෝවක් රුපියල් 125 ක් ලබාදීමට තීරණය වී තිබුණද ඇතැම් පුද්ගලික සමාගම් රුපියල් 115 ක මුදලට තමාගේ අස්වැන්න මිලදී ගැනීමට උත්සාහ කරන බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

*********************************************

සජිත් රත්මලාන රැස්වීම අමතද්දී එල්ල වූ ගල් ප්‍රහාරය

(30.09.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ වරමින් රාජ්‍ය බලය ලබාගත් පසු ජනතාවට කලගුණ සැලකීමේ යුගය අරඹන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. විපක්ෂ නායකවරයා ජනහමුව අමතමින් සිටියදී ගල් ප්‍රහාරයක්ද එල්ල වුණා.

මේ අතර මෙම ගල් ප්‍රහාරය එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ බීමතින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළා.

++++++++++++++++

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූ ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල කළ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ලබන මස 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවුණේ ගල්කිස්ස – බංගලාව පාර, නිවාස සංකීර්ණයේ ඊයේ (29) රාත්‍රීයේ සංවිධාන කර තිබූ ජන හමුවක් අතරතුරයි.

විපක්ෂ නායකවරයා ජන හමුව අමතන අතරතුරයි එය සිදුවුණේ.

ගල් ප්‍රහාරය එල්ල කළ බවට සැකකරන පුද්ගලයෙකු අද (30) අලු‍යම් කාලයේ ගල්කිස්ස – රෂ්ටම්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද (30) උදෑසන ගල්කිස්ස පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 21 සහ 40 වන වියේ පසුවන රෂ්ටම්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් මත්ද්‍රව්‍යයට භාවිතයට ඇබ්බැහි වුවන් වන අතර ගල් ප්‍රහාරය සිදුකරන අවස්ථාවේදිද අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ මෙය දේශපාලන හේතුවක් මත නොව, ජනහමුව සංවිධාන කළ සංවිධායකයන් හා අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පැවැති පෞද්ගලික ආරවුලක් මත එල්ල කළ ගල් ප්‍රහාරයක් බවයි.

*********************************************

රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළගේ අයි ෆෝන් ලිපිය ගැන ඇත්ත කතාව

(30.09.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පරිහරණය සඳහා කුඩයක් ඇතුළු අවශ්‍ය උපකරණ කිහිපයක් ඉල්ලා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි කතා බහක් මතුව තිබෙනවා.

මේ ලිපිය සම්බන්ධයෙන් අමාත්‍යවරියද කරුණු පැහැදිලි කරමින් ලිපියක් නිකුත් කළා.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පරිහරණය සඳහා අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ලබාගැනීමට එම අමාත්‍යාංශයේ පාලන හා මුදල් අංශයට ලිපියක් යොමුකර තිබෙන්නේ අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින්.

එහි දැක්වෙන්නේ අයි ෆෝන් ජංගම දුරකථනයක්, අයි පෑඩ් පරිඝනක යන්ත්‍රයක් අමාත්‍යවරියගේ පරිහරණය සඳහාත් අමාත්‍යවරියගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක් සහ කුඩයක් අවශ්‍ය බවටයි.

මේ ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතුව තිබෙනවා.

කෙසේ වුවත් අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අමාත්‍යාංශයට අදාළ ලිපියේ සඳහන් වන භාණ්ඩ මීට පෙර අමාත්‍ය ධුරය දැරූ ඇය භාවිත කර යළි භාරදුන් භාණ්ඩ වන අතර එකී භාණ්ඩ නැවත ලබාගැනීමේදී අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් යොමුකරන ලද ලිපියක් බවයි.

අදාළ භාණ්ඩ ලේඛනගත වන භාණ්ඩ වන අතර අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යවරියක් සිය ධුරයෙන් ඉවත්වන විට භාණ්ඩ සියල්ල අමාත්‍යාංශය වෙත නැවත ලබාදිය යුතු බවත් එහි සඳහන්.

ඒවා යළි ලබාගත යුත්තේ නීත්‍යානුකූලව වන අතර මෙතෙක් භාරනොදුන් භාණ්ඩ ලිපිය මඟින් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

+++++++++++++

***************************************

ඇතැම් දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්යාවන් හේතුවෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (29) පැවති කෘතීන් කිහිපයක් එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් ෴

*********************************************

රාජ්‍ය බුද්ධි සේවයේ වාර්තාවල ප්‍රහාරය ගැන ගතයුතු පියවර නිර්දේශ සඳහන් වූයේ නෑ – හේමසිරි ප්‍රනාන්දු

(30.09.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබද විදෙස් බුද්ධි අංශයකින් කළ පුර්ව අනතුරු ඇඟවීමේ තොරතුරට අමතරව ප්‍රහාරයක් පිළිබඳ වෙනත් කිසිදු තහවුරු කළ තොරතුරක් ලබාදීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙරට රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් කිසිඳු වාර්තාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර නිර්දේශ සඳහන් නොවු බවයි.

*********************************************

කණ කොකා හැඬූ ගාල්ලේ ප්‍රථම රබර් කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව

(30.09.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම රබර් කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව විසින් ඇල්පිටිය කැටපල ප්‍රදේශයේ ඉදිකළේ 1999 වසරේදීයි.

ඒ කුඩා රබර්වතු හිමියන්ට ශක්තියක් වෙමින් රබර් නිමි භාණ්ඩ නිෂ්පාදනය කර විදේශීය වෙළෙඳපොළට යැවීමේ කර්මාන්තශාලාවක් ලෙසයි.

කෙසේ වුවත් ආරම්භ කර වසර 3 ක් ඉක්ම යන්නටත් මත්තෙන් කම්හලේ පැවැත්මට කණ කොකා හැඬු බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ වනවිට කර්මාන්තශාලාව වැසී වසර 18 කට ආසන්න කාලයක් ගෙවී ඇති අතර එම ගොඩනැගිල්ල, රබර් කිරි ගබඩා කිරීමේ යෝධ ටැංකි මෙන්ම රබර් නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර රැසක් එම පරිශ්‍රෙය් දිරාපත් වෙමින් ඇති ආකාරයයි මේ.

කර්මාන්තශාලාව පිහිටි අක්කර 8 කට පමණ භූමි ප්‍රමාණය මේ වනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇත්තේ මහජන මුදල් කෝටි ගණනක් අපතේ යවමින්.

*********************************************

ජලභීතිකාවෙන් ගාල්ලේ පාසල් සිසුවෙකු මරුට

(30.09.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – යටලමත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුනඛ සපා කෑම් හේතුවෙන් 12 හැවිරිදි පාසල් සිසුවෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේදී මිය ගොස් තිබෙනවා.

ඒ අනුව සතියක් තුළ එම ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවන (2) ජලභීතිකා මරණය මෙයයි.

පසුගිය 26 වන දා ගාල්ල – යටලමත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සුනඛයෙකු සපා කෑමෙන් අනතුරුව ජලභීතිකා රෝගය වැළදීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේදී මිය ගියා.

ඔහු උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණේ.

ඉන් දින 3 කට පසු එනම් ඊයේ (29) දිනයේදී කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්වුණේ මාපලගම සිරිසුනන්ද විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

ඔහු ද උඩුගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.

උඩුගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ සුනඛයා සපා කෑ අවස්ථාවේ සිට පැය 24 ක් තුළ රෝහල් ගත කළේ නම් මෙම සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බවයි.

මේ අතර, ජලභීතිකා රෝගයෙන් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියත් සමඟ අද (30) දිනයේ සුනඛයින් එන්නත් කිරීම සඳහා කණ්ඩායම් 3 ක් එම ප්‍රදේශයට පිටත් කර යවා තිබෙනවා.

පසුගිය දා හොරණ – මිල්ලනිය ප්‍රදේශයේ ජලභීතිකාව වැළදුණු නරි සපා කෑම හේතුවෙන් සුනඛයින් කිහිප දෙනෙකු මිය යාමේ සිද්ධියක් ද වාර්තා වුණා.

*********************************************

20 න් සිතීමේ නිදහස නැමැති මුලික අයිතිවාසිකමට සීමා පැනවෙනවා – පෙත්සම්කාර පාර්ශව කියයි

(30.09.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගය දෙවන (2) දිනටත් අද (30) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනි සිටින නීතිඥයින් කියා සිටියේ යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සහතික කර ඇති සිතීමේ නිදහස නැමැති මුලික අයිතිවාසිකමට සීමා පැනවෙන බවයි.

එමෙන්ම, පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතියට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන තත්ත්වයක් පවතින බවද ඔවුන් ප්‍රකාශ කළා.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මේ වනවිටත් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදු කෙරෙන බවයි.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධ කෙටුම්පතට එරෙහිව මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුලු විවිධ දේශපාලනඥයින්, නීතීඥවරුන්, වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු පාර්ශව පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (29) පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට නව සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත බව ද නීතිපතිවරයා කියා සිටියා.

*********************************************

අලි නිසා මරණ වැඩිවේ – පැය 18 කදී දෙදෙනෙකු (2) මිය ගිහින්

(30.09.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

අද (30) දහවල් 12 න් අවසන් වූ ගත වූ පැය 18 කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිදුවූ වන අලි පහරදීම් වලින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

මින් පලමු මරණය වාර්තා වන්නේ මැදිරිගිරිය දර්ශනපුර ප්‍රදේශයෙන්. එහිදී මියගියේ 73 හැවිරිදි කාන්තාවක්.

ඇය සිය දියණියගේ නිවසේ සිට ඊයේ (29) රාත්‍රියේ තම නිවස වෙත යමින් සිටියදී මෙලෙස වන අලි පහරදීමට ලක්ව මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර, අද (30) උදෑසන ලංකාපුර – කුඩා පටුණුගම ප්‍රදේශයෙන් තවත් මරණයක් වාර්තා වුණේ වනඅලියෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන්. එම ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි දෙදරු පියෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්වුණා.

මෙම මාසය ඇතුළත උතුරුමැද පළාතේ වන අලි පහරදීම් නිසා පුද්ගල මරණ 8 ක් වාර්තා වී තිබෙනවා.

*********************************************

පුරාවිද්‍යා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප

(30.09.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා නිළධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (30) එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු 3 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මතයි.

පසුගියදා පන්කුඩාවේලි, පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භුමියක සිමා ලකුණු කිරිම සඳහා පැමිණි පුරාවිද්‍යා නිලධාරින්ට බාධා කිරීමේ චෝදනාව යටතේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු 3 දෙනෙකු අද (30) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා ෴

*********************************************

හෝටල්වල විදුලි බිලට සහනයක්

(30.09.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, වාසස්ථාන ඇතුලු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලයේ සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පසුගිය මාර්තු මස 01 වනදා සිට අගෝස්තු මස 31 වනදා දක්වා සමුච්චිත විදුලි බිල්පත් සැප්තැම්බර් මස 01 වනදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12 කින් ගෙවීමට අවස්ථාව සලසා දී ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

එම කාලය තුල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලිබල මණ්ඩලය සිය ප්‍රාදේශිය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී තිබෙනවා ෴

***************************************

කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි භාවිතයට ගත හැකි සේ සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, කොළඹ පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවේදනය කළේ.

පුරාවිද්‍යා ආඥා පනත යටතේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති වසර 105 ක් පමණ පැරණි, කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ද ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේද ඊට අදාළවයි.

ගෆූර් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 620 ක් ෴

*********************************************

හම්බන්තොට වරාය ණය උගුලක සිරවීමක් නොවේ – ජනපති, විදෙස් තානාපතිවරුන්ට කියයි

(30.09.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ණය උගුලක සිරවීමක් ලෙස ඇතැම් පාර්ශව හැඳින්වුව ද, හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) පෙන්වා දුන්නා.

ඒ තමා වෙත අක්තපත්‍ර පිළිගැන්වූ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් (4) දෙනෙකු සමඟ කෙටි පිළිසඳරක නිරත වෙමින්.

පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත්, එය භාවිත කරන්නේ වානිජ අරමුණු සඳහා පමණක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. කොරියානු ජනරජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරුන් එලෙස ජනාධිපතිවරයාට අක්තපත්‍ර පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උපයා මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක බවත්, ඒ නිසාම බොහෝ පාර්ශවයන්ගේ ආකර්ශනයට ලක්වන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එසේම, ඉන්දීය සාගරය අරඹයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේ ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතු බවයි.

කළ යුතුදේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව තමන් විශ්වාස කරන්නේ යැයි මෙහිදී ජර්මානු සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවයි ඔවුන් මෙහිදී කියා සිටියේ.

*********************************************

පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 10 සිට නොවැම්බර් 08 දක්වා (එම දින දෙකද ඇතුලුව)

(30.09.2020 – 16:28 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝම්බර් 09 වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දෙවැනි පාසල්වාර නිවාඩුව එදින සිට ඇරඹෙන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

2020 වර්ෂයේ තෙවන පාසල්වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා සිට ආරම්භ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *