බස්රථයක් ප්‍රපාතයකට පෙරලි ළමුන් 24 දෙනෙකු ඇතුළු 35 ක් රෝහලේ

බස්රථයක් ප්‍රපාතයකට පෙරලි ළමුන් 24 දෙනෙකු ඇතුළු 35 ක් රෝහලේ

ශානි යළි රිමාන්ඩ් – අර්ජුන රණතුංගට වරෙන්තු

කටාන කෝටි තුනේ (3) කොල්ලයේ සුලමුල හෙළිවේ සැකකරුවන් හතරක් (4) සහ මුදල් තොගයක් සොයාගැනේ

ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් 4 දෙනෙකුට බරපතල තුවාල

රුපියල් ලක්ෂ 4900 ක කුඩු මුදල් හුවමාරු වූ ගිණුමක් වසා නොදැමූ පෞද්ගලික බැංකුවක උසස් නිලධාරියෙකු අධිකරණයට

මෛත්‍රීපාල සිරිසේනට ජනපති අපේක්ෂකත්වය ලබාදීම තුළින් එජාපය රටත් විනාශ වූ බව තිස්ස කියයි

කොල්ලුපිටිය නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකු ඝාතනය කළ 4 ක් අත්අඩංගුවට

අනවසර වගාකරුවන් නිසා අලුත් දිවුල්වැව වැව් රක්ෂිතය විනාශ මුඛයේ

පාස්කු කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් කණගාටු වූ හේතුව

ජනපති ගමින් ගම දෙවන චාරිකාව මාතලේට

ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය අගමැති අතින් විවෘත කරයි

ගිනිගත් නිව් ඩයමන්ඩ් ඉන්දියාවට අදියි

තවත් රහස් පොලිස් කණ්ඩායමක් බූස්සට

කටාන කොල්ලය පිටුපස සැලසුම් කරුවන් 3 ක්

*********************************************

බස්රථයක් ප්‍රපාතයකට පෙරලි ළමුන් 24 දෙනෙකු ඇතුළු 35 ක් රෝහලේ

(02.10.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් 35 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා

ඒ අතර පාසල් ළමුන් 24 ක් වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඔවුන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව ද හැටන් පොලිසිය සඳහන් කළා.

අද (02) උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ පෝඩයිස් වත්ත එන්සි කොටසේදීයි.

අනතුරට පත් සියලු දෙනා රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරුන් කියා සිටියේ.

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන තිබෙනවා.

එම මාර්ගය දැඩි ලෙස වලවල් හෑරී තීබිම නිසා බස් රථය වලකට වැටි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු ව ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් බවද අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++

හැටන් – ඩයගම මාර්ගයේ ෆෝඩයිස්වත්ත ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් පාසල් දරුවන් ඇතුළු 51 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (02) පෙරවරු 06:30 පමණ මෙම බස්රථය හැටන් සිට ඩයගම දක්වා ධාවනය වෙමින් තිබියදියි රියදුරට එය පාලනය කර ගත නොහැකි විමෙන් ප්‍රපාතයට පෙරලිගොස් ඇත්තේ.

සිද්ධියෙන් බස් රථයේ රියදුරු ඇතුළු මගින් 51 දෙනෙකු තුවාල ලබා දික්ඹය මුලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ අතර, පාසල් ළමුන් 24 දෙනෙකු සිටින අතර, ඉන් බරපතල තත්ත්වයේ පසු වු එක් පාසල් සිසුවෙක් මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ හැටන් – ඩයගම මාර්ගය කලක සිට අබලන් ව පැවැතීම නිසා රිය අනතුරු බහුල වශයෙන් සිදු වන බවයි. එම නිසා මාර්ගය පිළිසකර කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, අද (02) පෙරවරුවේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් වංගුව ආසන්නයේදි ද ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් අනතුරක් සිදු වුණා.

සිද්ධියෙන් එහි ගමන් ගත් සිවි (4) දෙනෙකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ ත්‍රිරෝද රථය ආගරපතන සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමන් තිබියදියි මෙලෙස අනතුරට ලක් වි ඇති අතර, අධික වේගය අනතුරුට හේතුව බවයි පොලිසිය සඳහන් කළේ.

*********************************************

ශානි යළි රිමාන්ඩ් – අර්ජුන රණතුංගට වරෙන්තු

(02.10.2020 – 10:35 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු තුන්දෙනා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් අද (02) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ශානි අබේසේකර, මෙම නඩුවේ පළමු සැකකරු වන අතර, දෙවැනි සැකකරු ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙක්.

මෙම නඩුවේ 03 වන සැකකරු වන රටින් පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා, රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.

අදාළ නඩුවේ සිව්වැනි සැකකරු පසුගියදා නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය 17 වනදා නඩුව කැඳවු අවස්ථාවේදී මහේස්ත්‍රාවරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ නඩුවට අදාළව මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙසටයි.

එසේම, නඩුවේ සිව්වන සැකකරුගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට අවසර ලබා දෙන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාටද මහේස්ත්‍රාවරයා එදින නියෝග කළා.

මේ අතර දෙමටගොඩ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයට අයුතු ලෙස ඇතුලුවීම ඇතුලු චෝදනා යටතේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුලු 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව සඳහා පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් අද වරෙන්තු නිකුත් කළා.

අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා අදාළ නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙසයි නම් කර ඇත්තේ.

2018 වසරේ ඔක්තෝම්බර් 28 වනදා එවකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග, ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණෙද්දී එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකළා. එහිදී 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තුන්දෙනෙකු තුවාල ලැබුවා.

***************************************

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමාට සහ බිරිදට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කළා.

සිය සමීපතම උපදේශිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ස්වයං නිරෝධායනයට ලක්වන බව ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මීට පෙර සඳහන් කර තිබුණා.

*********************************************

කටාන කෝටි තුනේ (3) කොල්ලයේ සුලමුල හෙළිවේ සැකකරුවන් හතරක් (4) සහ මුදල් තොගයක් සොයාගැනේ

(02.10.2020 – 11:18 +0530 – hirunews.lk/sinhala)

කටාන – අක්කර පනහ ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් කෝටි 03 කට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගම්පහ, කුරුණෑගල, නිකවැරටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවලින්.

පොලීසිය සඳහන් කළේ කොල්ලකෑමට යොදාගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක්ද සිය භාරයට ගත් බවයි.

එමෙන්ම, කොල්ලකන ලද මුදලින් රුපියල් ලක්ෂ 72 ක් සහ රන් භාණ්ඩවලින් කොටසක්ද සොයාගෙන තිබෙනවා.

පසුගිය බදාදා පෙරවරුවේ පුද්ගලයින් 06 දෙනෙකු මෙම ව්‍යාපාරික නිවසට ඇතුළු වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව හඟවමින්.

පසුව ව්‍යාපාරිකයා සහ පවුලේ සාමාජිකයින් අවි පෙන්වා බිය ගන්වා කොල්ලය සිදුකර පළාගොස් තිබුණා.

සිද්ධිය විමර්ශනය කිරීම සඳහා ගම්පහ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් 06 ක් පත්කරනු ලැබූ අතර, සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

ඒ වනවිට ඔවුන් ගම්පහ, නිකවැරටිය, කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රදේශයන්හි පිහිටි සිය නිවෙස්වල සැඟව සිට ඇති බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

කෙසේ වෙතත්, කොල්ලයේ මහ මොලකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔහු සහ ඉතිරි මුදල් සොයා පොලිසිය විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

*********************************************

ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් 4 දෙනෙකුට බරපතල තුවාල

(02.10.2020 – 12:05 +0530 – hirunews.lk/sinhala)

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් හුලං වංගුව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ආගරපතන සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයේ ඉදිරිපස රෝදය ගැලීවී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇත්තේ අද (02) උදෑසන 09:30 ට පමණයි.

***************************************

මෝදර – රන්දිය උයන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් අටක් (8) සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු, හේනේවත්ත උපුල් නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු බවද පොලීසිය සඳහන් කළා.

මේ අතර බස්නාහිර පළාත තුළ ඊයේ (01) සිදුකළ විශේෂ වැටලීම් රාජකාරිවලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම ඇතුලු විවිධ චෝදනා යටතේ පුද්ගලයින් 497 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 156 දෙනෙකුම හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

*********************************************

රුපියල් ලක්ෂ 4900 ක කුඩු මුදල් හුවමාරු වූ ගිණුමක් වසා නොදැමූ පෞද්ගලික බැංකුවක උසස් නිලධාරියෙකු අධිකරණයට

(02.10.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටකට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි පෙරේරා නැමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 4,900 ක මුදලක් හුවමාරු වූ ගිණුමක් වසා නොදැමීම සම්බන්ධයෙන් එම ගිණුම පවත්වාගෙන ගිය ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක උසස් නිලධාරියෙකු අද (02), ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැඳවා තිබෙනවා.

මෙම ගිණුම වසා දමන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබූ නමුත් අදාළ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි මුදල් විශුද්ධිකරණය සහ අනුකූලතා අංශයේ ප්‍රධානියා වන සැකකරු එය, වසා දමා නොමැති බවටයි පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කළ අතර, ඒ අනුව මෙම බැංකු නිලධාරියාට නොතීසි නිකුත් කරනු ලැබුවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටයි.

2018 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය ජූනි මස 1 වනදා දක්වා කාලය තුළ මෙම ගිණුමෙන් රුපියල් ලක්ෂ 4,900 ක මුදලක් හුවමාරු වී ඇති බවට කරුණු හෙළිවුණේ රත්මලාන – ජයසුමනාරාම මාවත ප්‍රදේශයේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදියි. අනතුරුව ගිණුමේ හිමිකරු ද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී හෙළිවූයේ මේ වනවිට අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුද නිකුත් කර සිටින ධර්මසිරි පෙරේරා නැමැත්තා ලබාදුන් උපදෙස්වලට අනුව ගිණුම අදාළ පෞද්ගලික බැංකුවේ බෝකුන්දර ශාඛාවේ විවෘත කර තිබූ බවයි.

කෙසේ වෙතත් පසුව අදාළ ගිණුම වසා දමන ලෙස ගල්කිස්ස අධිකරණය නියෝග කර තිබූ නමුත් එලෙස නොකිරීම සම්බන්ධයෙන් අදාළ බැංකුව ප්‍රධාන කාර්යාලයේ පිහිටි මුදල් විශුද්ධිකරණය සහ අනුකූලතා අංශයේ ප්‍රධානියාට එරෙහිව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මොහු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇත්ද යන්න හෙළිකරගැනීම සඳහායි ෴

++++++++

*********************************************

මෛත්‍රීපාල සිරිසේනට ජනපති අපේක්ෂකත්වය ලබාදීම තුළින් එජාපය රටත් විනාශ වූ බව තිස්ස කියයි

(02.10.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

අගමැති අපේක්ෂකත්වය ඉල්ලමින් පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම තුළින් එක්සත් ජාතික පක්ෂයත්, රටත් විනාශ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මීගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

*********************************************

කොල්ලුපිටිය නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකු ඝාතනය කළ 4 ක් අත්අඩංගුවට

(02.10.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන 5 වන මහලෙන් බිමට තල්ලු කර මනුෂ්‍ය ඝාතනයක් කිරීම සහ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

කොල්ලුපිටියේ පිහිටි ජෙසීමා නිවාස සංකීර්ණයේ පස්වන මහලේදී පුද්ගලයෙකුට පහරදී පිහියකින් ඇණ බිමට තල්ලුකර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය කොල්ලකෑම යන අපරාධසිදුකර තිබුණේ පසුගිය 28 වැනිදායි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මහර – කඩවත ප්‍රදේශයේ පදිංචි සජිත් සම්පත් සොයිසා, බිබිල – පස්සර පදිංචි නාගූර් පිච්චේයි අසාද්ල මිදිගම – අහංගම පදිංචි නිරෝෂා උදයංගනී සහ කැළණිය – වනවාසල ප්‍රදේශයේ පදිංචි හර්ෂ ප්‍රියංකර පෙරේරා නැමැති සිව් (4) දෙනෙක්.

සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

*********************************************

අනවසර වගාකරුවන් නිසා අලුත් දිවුල්වැව වැව් රක්ෂිතය විනාශ මුඛයේ

(02.10.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

අනවසර වගාකරුවන් නිසා අලුත් දිවුල්වැව වැව් රක්ෂිතය සහ පිඹුරාගල කන්ද ආශ්‍රිත ප්‍රදේශය විනාශයට පත්ව තිබෙනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කලද වන විනාශය නොකඩවා සිදුවන බවයි.

අනුරාධපුර – ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අළුත් දිවුල්වැව වැව් රක්ෂිතය හා පිඹුරාගල කන්ද අනවසර වගාකරුවන් විසින් විනාශ කරන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් අළුත් දිවුල්වැව වැව් රක්ෂිතයේ අක්කර 200 ක් සහ පිඹුරාගල කන්ද ආශ්‍රිතව අක්කර 10 කට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ පිලිබඳ තොරතුරු සොයා බැලීම සදහා අප එම ස්ථානයට යන විටත් දැක ගන්නට ලැබුණේ රූස්ස ගස් විනාශකරමින් සිටින ආකාරයයි.

වසර ගණනාවක් තිස්සේ සිදුවන මේ වන විනාශය සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කරත් ඒ සදහා නිසි ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බව ගම්වාසීන් චෝදනා කරනවා.

ගලෙන්බිදුණුවැව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අළුත් දිවුල්වැව රක්ෂිතය තුල සිදු කරන මේ හෙලි පෙහෙලි කිරිම හේතුවෙන් වැව ගොඩවීමේ අවධානමක් මතුව ඇති බවද ගොවීන් පෙන්වා දෙනවා.

*********************************************

පාස්කු කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් කණගාටු වූ හේතුව

(02.10.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ කළ පූර්ව අනතුරු ඇඟවීම පිළිබඳව එවකට ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට තමන්ට වගකීමක් තිබියදී එසේ නොකිරීම ගැන තමන් දැන් කණගාටු වන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා.

පාස්කු කොමිසමේදී සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අතර පැවති සමීප ඇසුර නිසා එම තොරතුර පිළිබඳ ඔහු විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නට ඇතැයි තමන් සිතා සිටි බවයි.

*********************************************

ජනපති ගමින් ගම දෙවන චාරිකාව මාතලේට

(02.10.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සැලසුම් කර ඇති ගමින් ගම දෙවන චාරිකාව මාතලේ – හිබිලියාකඩ ගම්මනයේදී අද (02) ක්‍රියාත්මකයි.

ජනතාව පීඩාවට පත්ව ඇති ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැලසීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථයයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (02) පෙරවරුවේ මාතලේ – හිබිලියාකඩ ගම්වාසීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සොයා බැලුවා.

මෙහිදී ජනාධිපතිවරයා ඇතැම් ගැටළු සඳහා ඒ මොහොතේම විසඳුම් ලබාදීමත් සිදුවුණා.

***************************************

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක් නිරික්ෂණය වී ඇති බව නාරා හෙවත්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය පවසනවා.

පසුගිය සැප්තැම්බර් 09 වනදා එම ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් සිදු කළ පරික්ෂාවකදී මේ බව නිරික්ෂණය වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවීම මෙලෙස කැස්බෑවුන්ට බලපා ඇත්ද යන්න පිළිබඳව අනාවරණ කරගැනීම සඳහා අදාළ මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල මේ වනවිට පරික්ෂාවට ලක් කරමින් පවතින බවයි නාරා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

*********************************************

ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය අගමැති අතින් විවෘත කරයි

(02.10.2020 – 13:43 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළ මෙරට විශාලතම ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද (02) විවෘත කෙරුනා.

වසර තුනකට (3) පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 ක්.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඹෟෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඹෟෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේදී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමඟාමීව දේශීය ඹෟෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය ඔස්සේ ඉදිරියේදී විදේශීය ඇණවුම් සඳහා ඹෟෂධ නිෂ්පාදනය ද සිදු වනවා.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන යන මහත්මමහත්මීන් එක්ව සිටියා.

[ සේයාරූ ]

***************************************

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා රැගෙන ආ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු පලාගොස් තිබෙනවා.

මෙම සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මකයි ෴

***************************************

මහනුවර – පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිරගතව සිටින සිය පුත්‍රයා වෙත සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ගිය කාන්තාවක් පොලීසිය ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පල්ලෙකැලේ පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව දුඹුරු සීනි වලට හෙරොයින් කලවම් කර මෙලෙස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව මහනුවර – සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇය අද (02) දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

වන රක්ෂිතවලට හානි කිරීමේ සිද්ධිවලට අදාළ පුද්ගලයින් 25 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

අද (02) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

***************************************

හෙට (03) යෙදෙන ලෝක අමධ්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබිය යුතු අතර, අදාළ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වැටලීම් සඳහා නිලධාරින් 900 දෙනෙකු පමණ යොදවා ඇති අතර, දිවයින පුරා සුරාබදු ස්ථාන 56 ක් යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනු ඇති ෴

*********************************************

ගිනිගත් නිව් ඩයමන්ඩ් ඉන්දියාවට අදියි

(02.10.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැය වූ මුදල් සහ වන්දි ගෙවීමේ පදනම මත එය ඉන්දියාව දෙසට ඇදගෙන යාම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අනුමැතියට යටත්ව නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ආරක්ෂාව මධ්‍යයේ අදාළ නෞකාව ගලවා ගැනීම සඳහා යෙදවූ විදේශ කණ්ඩායම විසින් එය මේ වනවිට සිදුකරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර දූෂණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත්, මීට පෙර අනෙකුත් හිමිකම් නෞකා සමාගම විසින් පියවා නොමැති බවත්, නීතිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දී තිබෙනවා.

එසේම, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ සමුද්‍ර දූෂණයට අදාළ කටයුතු නිමවනතුරු නෞකාව රැගෙන යෑමට අවසර ලබාදිය නොහැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයා වෙත දන්වා ඇති බවයි.

අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බවට ඊයේ (01) වාර්තා පළ වුණා.

එහිදී නෞකාව නිදහස් කළ පසු එය රැගෙන යා යුතු ගමන් මාර්ගය පමණක් සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අනුමත කර ඇති බවයි අප කළ සොයා බැලිමකදි අනාවරණ වුණේ.

කෙසේ වෙතත් මේ වනවිට එම කටයුතු ආරම්භ වී ඇති අතර මේ වනවිට නෞකාව අම්පාර – කෝමාරි මුහුදු සීමාවේ පවතින බවයි වාර්තා වන්නේ.

නෞකාව මුදා ගැනිම සඳහා පැමිණි ගලවා ගැනිමේ කණ්ඩායමේ ටග් යාත්‍රා මගින් එය ඉන්දියාව දෙසට රැගෙන යමින් පවතින බව සඳහන්.

පසුගිය 3 වනදා ඉන්දියාවට බොරතෙල් රැගෙන එමින් තිබියදී නෞකාවේ හට ගත් ගින්න නිවීම සඳහා මෙරට නාවික හමුදාව මෙන්ම, ගුවන් හමුදාව, මැදිහත් වුණා.

ඒ සඳහා සම්පූර්ණ වන්දි මුදල ලෙස එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදලක් ඉල්ලා සිටීමටයි නීතිපතිවරයා පියවර ගනු ලැබුවේ.

එම මුදල ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර ඇති බව පසුගියදා වාර්තා වුණා ෴

*********************************************

තවත් රහස් පොලිස් කණ්ඩායමක් බූස්සට

(02.10.2020 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිද්ධිය වන අවස්ථාවේ බූස්ස බන්ධනාගාරයේ සිරමැදිරි තුළ සිටි අනෙක් රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.

මේ වනවිටත් ඔවුන් එහි රැඳී සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක සහ ‘පොඩි ලැසී’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වෙත චෝදනා එල්ල වී ඇති අතර, ‘පොඩි ලැසී’ නැමැත්තා ලබන 09 වැනිදා දක්වා ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේද මෙම සිද්ධිය සම්බන්ධයෙන්.

මේ අතර, දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුසංක’ හෙවත් ‘පොඩි ලැසී’ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මේ සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොඩි ලැසී ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

කෙසේ වෙතත් පොලීසිය ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයක් එහි නිලධාරීන් පිරිසක් විසින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන්. අදාළ මත්කුඩු තොගය ‘පොඩි ලැසී’ නැමැත්තාට අයත් බවට හෙළිවී තිබෙනවා.

පොඩි ලැසී භාවිත කළ බවට සැක කරන ගිනි අවියක්, ගෝනාපීනුවල – පින්කන්ද ප්‍රදේශයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බූස්ස බන්ධනාගාරයේදී ‘පොඩි ලැසී’ ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු හෙළිකළ තොරතුරුවලට අනුවයි ෴

*********************************************

කටාන කොල්ලය පිටුපස සැලසුම් කරුවන් 3 ක්

(02.10.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

කටාන – අක්කර පනහ ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් කෝටි 02 කට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) අතර එම කොල්ලය සැලසුම් කළ අයෙකුද වන බව පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

මෙම කොල්ලය තුන් දෙනෙකු (3) එක්ව සැලසුම් කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරෙනවා.

මීට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා ගම්පහ, එප්පාවල, නිකවැරටිය සහ මාවතගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 27 ත් 43 ත් අතර වයස්වල පසුවනවා.

පොලීසිය සඳහන් කළේ කොල්ලකෑමට යොදාගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක්ද සිය භාරයට ගත් බවයි.

පසුගිය බදාදා පෙරවරුවේ පුද්ගලයින් 06 දෙනෙකු මෙම ව්‍යාපාරික නිවසට ඇතුළු වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව හඟවමින්.

පසුව ව්‍යාපාරිකයා සහ පවුලේ සාමාජිකයින් අවි පෙන්වා බිය ගන්වා කොල්ලය සිදුකර පළාගොස් තිබුණා.

මේ අතර, ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිද්ධිය වන අවස්ථාවේ බූස්ස බන්ධනාගාරයේ සිරමැදිරි තුළ සිටි අනෙක් රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.

මේ වනවිටත් ඔවුන් එහි රැඳී සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක සහ ‘පොඩි ලැසී’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වෙත චෝදනා එල්ල වී ඇති අතර, ‘පොඩි ලැසී’ නැමැත්තා ලබන 09 වැනිදා දක්වා ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේද මෙම සිද්ධිය සම්බන්ධයෙන්.

මේ අතර, ‘පොඩි ලැසී’ නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මේ සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් පොලීසිය ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයක් එහි නිලධාරීන් පිරිසක් විසින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන්.

අදාළ මත්කුඩු තොගය ‘පොඩි ලැසී’ නැමැත්තාට අයත් බවට හෙළිවී තිබෙනවා.

මේ අතර, අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කර තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ධර්මසිරි පෙරේරා’ නැමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 4,900 ක මුදලක් හුවමාරු වූ ගිණුමක් වසා නොදැමීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (02) කැඳවා තිබූ පෞද්ගලික බැංකුවක උසස් නිලධාරියා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් සහ දැඩි ඇප කොන්දේසි මත අද මුදාහරිනු ලැබුවා.

ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේ සෑම මාසයකම අවසන් ඉරුදින සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටිය යුතු බවයි.

මෙම ගිණුම වසා දමන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබූ නමුත් අදාළ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි මුදල් විශුද්ධිකරණය සහ අනුකූලතා අංශයේ ප්‍රධානියා වන සැකකරු එය, වසා දමා නොමැති බවටයි පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

ගිණුම වසා දැමීමට නියෝග කිරීමෙන් අනතුරුව එය වසා නොදැමුණු කාලසීමාවේදී ඉන් රුපියල් ලක්ෂ 05 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

මේ අතර, සූක්ෂම ලෙස දුඹුරු සීනි වලට හෙරොයින් කලවම් කර මහනුවර – පල්ලෙකැලේ බන්ධනාගාරයේ රඳවා සිටින සිය පුත්‍රයා වෙත හෙරොයින් රැගෙන ගිය කාන්තාවක් පොලීසිය ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය මහනුවර – සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය කියා සිටියා.

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *