කොරෝනා වැළඳුණු කාන්තාවගේ ආශ්‍රිතයන් 780 ක් සමඟ දියණියගේ පාසලේ ළමයින් පිරිසකුත් නිරෝධායනයට

කොරෝනා වැළඳුණු කාන්තාවගේ ආශ්‍රිතයන් 780 ක් සමඟ දියණියගේ පාසලේ ළමයින් පිරිසකුත් නිරෝධායනයට

ලක් රජය ඉල්ලා සිටි මුදල ගෙවූ බව නෞකාව අයත් සමාගම කියයි

නවගත්තේගම ඇතුළු ප්‍රදේශ රැසක් බියවැද්දූ ‘කන්කොටා’ අල්ලයි

ගිනිගත් නෞකාවෙන් ලැබුණු මුදල් ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිළි කිරීමක්

දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (04) සිදු කළ PCR පරීක්ෂණවලින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වෙයි

හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට 20 ට ඡන්දය දෙන්න බෑ – විජයදාස රාජපක්ෂ

අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට

විස්සට එරෙහි පෙත්සම් විභාගය අවසන්

ස්වභාවික ඖෂධ භාවිත කරන හෙළ වෙද කම

නෙල්ලිගල නම විකුණා මුදල් ගැරූ ජාවාරම

වසර 10 ක් නඩත්තු නොකළ සූරියවැව නමඩගස්වැව ජල ව්‍යාපෘතිය

*********************************************

කොරෝනා වැළඳුණු කාන්තාවගේ ආශ්‍රිතයන් 780 ක් සමඟ දියණියගේ පාසලේ ළමයින් පිරිසකුත් නිරෝධායනයට

(05.10.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය – බෝඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ඇඟලුම් සේවිකාවක සහ ඇගේ දියණිය කොරෝනා ආසාදිතයන් බවට තහවුරුවීමත් සමඟ මෙම කාන්තාවගේ ආශ්‍රිතයන් මෙන්ම දියණිය ඉගෙනුම ලැබූ පාසලේ ළමයින් ඇතුලු ආශ්‍රිතයන් පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කොරෝනා ආසාදිත ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන් 780 දෙනෙකු පමණ මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවීමත් සමඟ එම නිවසේ සිටි ස්වාමි පුරුෂයා, දරුවන් හතරදෙනා (4) සහ කාන්තාවගේ පියා, නිරෝධායනය සඳහා හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළා.

ඔවුන් සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් 16 හැවිරිදි දියණියද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනුනා. එම සිද්ධියත් සමඟ ඇය අයි.ඩී.එච්. රෝහලට රැගෙන එනු ලැබූ අතර, මෙම දරුවා ඉගෙනුම ලැබූ පාසලේ ළමයින් පිරිසක් ඊයේ (04) රාත්‍රියේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර, දැරිය ළඟින් ඇසුරු කළ ළමයින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකළ බවයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ ඊයේ (04) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ 1,490 ක් සිදුකර ඇති බවයි.

මෙම කාන්තාවගේ සමීපතමයන්ගේ පී.සී.ආර්. වාර්තා අද (05) දිනයේ ලැබීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම දැනට ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ තුනට (3) පසුගිය දින හත (7) තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසද යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළා.

මේ අතර, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වන ලෙසයි.

එමෙන්ම, ඩුබායි සිට පැමිණ පසුගිය අගෝස්තු මාසයේදී කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 23 හැවිරිදි තරුණයෙකුට 3 වන වරටත් කොරෝනා ආසාදනය වීමේ පුවතක් ආනමඩුව – තෙන්නන්කුරියා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. හරීඩ් මහතා සඳහන් කළේ පළමුවර කොරෝනා වෛරසයෙන් සුවය ලබා නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවන වරටත් කොරෝනා රෝග ලක්ෂණ පහළවීම නිසා පසුගිය සැප්තැම්බර් 17 වන දා හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර ඇති බවයි. එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගත් අතර, එම අවස්ථාවේදී ද ඉරණවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණ තිබුණා.

පසුව පසුගිය 2 වන දා යළි නිවාස නිරෝධායනයේ පසුවෙමින් සිටියදී කොරෝනා රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර ඇති අතර, එහිදී යළිත් වතාවක් ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

මේ අතර ඊයේ (04) දිනයේ ආසාදිතයන් හත්දෙනෙකු (7) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,402 දක්වා ඉහළ ගියා.

දිවුලපිටියෙන් සොයාගත් කොරෝනා ආසාදිත කාන්තාව සහ ඇගේ දියණියට අමතරව, යුක්රේන ජාතික නාවිකයෙකු, සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නැවියෙකු සහ එහි සිට පැමිණි තවත් දෙදෙනෙකු (2) ඊයේ (04) කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 131 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3,258 ක්.

එමෙන්ම ජපානයේ සහ කටාර් හි රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 425 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියා. කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 142 කු කටුනායකට පැමිණි අතර, ජපානයේ සිට මත්තල ගුවන් තොටුපලට පැමිණි සංඛ්‍යාව 283 ක් ෴

++++++++++++++

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට අමතරව වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ද යළි දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා අසාදිත කාන්තාවක් සොයා ගැනිමත් සමඟයි මෙලෙස පොලිස් බල ප්‍රදේශ 3 කට ඊයේ (04) සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ.

ඒ අනුව ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මොවුන් මිනුවන්ගොඩ – පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් සොයාගැනීමත් සමඟ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (04) පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද පොලීසිය ප්‍රකාශ කළා ෴

++++++++++++++

බාහිර සමාජයෙන් යලි කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමඟ එළඹෙන 12 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ එළඹෙන 11 වනදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාග දෙකම මේ මස දක්වා මීට පෙර කල් දැමුණා.

උද්ගත වූ අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාග කොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේ නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බවයි. නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා තැබෙන බව ද ඔහු කියා සිටියා.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර විභාග නැවත දැනුම්දෙනතුරු කල් දමා ඇති බව එහි උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද ආරම්භවීමට නියමිතව තිබූ ශාස්ත්‍රවේදී බාහිර උපාධි තුන්වන වසරේ පරීක්ෂණ ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි එම විශ්වවිද්‍යාලය නිවේදනය කළේ ෴

++++++++++++++

(05.10.2020 – 07:55 +0530 – truenews.lk)

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා ත්‍රී රෝද රථ රියදුරෙකු බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂ එස්.යූ.ටී. කුලතිලක මහතා පවසනවා.

“ආයතනය විසින් ලබාදෙන ප්‍රවාහන සේවා බස් රථයකින් ඇය වැඩට යන්නේ. ඒ බස් රථයේ 40 ක් ඉන්නවා. මේ වන විට ඒ සියලු දෙනා නිරෝධායනය කරලා තියෙනවා.

ඇයගේ සැමියා ත්‍රිරෝද රථයෙන් කුලී සේවා සපයලා තියෙනවා. ඒ නිසත් අවදානමක් තියෙනවා.”

කෙසේ නමුත් අදාළ කොවිඩ් ආසාදිත කාන්තාව විසින් කරනු ලබන ප්‍රකාශවල පරස්පරතා පවතින බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

ඇය රෝගියකු බව හඳුනාගත් අවස්ථාවේ දී කිසිවකු නිවසට පැමිණ නැති බව කීවද ඊයේ (04 වැනිදා) ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීමේ දී පැමිණි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සඳහන් කර ඇති බව සඳහන් කර ඇති අතර ඇය සේවය කළ ආයතනයේ අදාළ සේවකයන්ගේ දත්ත සටහන් නිවැරදිව තබා නොගැනීම හේතුවෙන් සේවකයන් සොයා ගැනීම විශාල ගැටලුවක්ව ඇති බවද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නා.

“ගොඩක් ළමයි බෝඩින් කාමරවල ඉන්නේ. ඒ අයට යන එන තැන් නැති වෙයි කියලා ඉදිරිපත් වෙන්නේ නෑ. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යයි කියලත් ඒ අය බයවෙලා. මේ පිරිස නිවැරදිව හඳුනා නොගෙන අපිට දෙවැනි පෙළ ආශ්‍රිතයන් හඳුනාගන්න අමාරුයි. කොහොම නමුත් මේ වන විට අදාළ මෙහෙයුම් සිද්ධවෙනවා සහ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා” ෴

++++++++++++++++

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු ඇගළුම් ආයතනයක සේවය කරන කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව සමඟ එම ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුද්ගලයින් පිරිසකගේ නාමලේඛනයක් වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ලේඛණයේ නම් ඇතුළත් පුද්ගලයින් අදාළ පොලිස් බලප‍්‍රදේශ තුළ පදිංචිව සිටී නම්, එම පුද්ගලයින් ඔවුන්ගේ නිවැසියන් ද සමඟ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට වහාම පියවර ගත යුත බවයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ. ඒ අනුව මේවනවිටත් නිකුත් කර ඇති උපදෙස් අනුව ස්වයං නිරෝධායනයේදී ගත යුතු පියවර අනුගමනය කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

ඒ අනුව ස්වයං නිරෝධායනය වෙමින් සිටින පිරිසක් සිටින නිවසේ, අවවාද ඇතුළත් දැන්වීම් ඇලවීම, ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධීකරණය කර ගැනීම, අදාළ තැනැත්තන් සමඟ නිවැසියන් ඇතුළු සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීම, නිරෝධායන ක‍්‍රියාවලිය නිසි පරිදි සිදුවන්නේ දැයි පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු යෙදවීම හා නිරෝධායනය වන තැනැත්තන් පිළිබඳ සියලු විස්තර දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සිදුකළ යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම අදාළ පුද්ගලයින් වහාම ස්වයං නිරෝධායන ක‍්‍රියාවලියට යොමු කිරීම නිසියාකාරව සිදුවන්නේ දැයි කොට්ඨාශ භාර නිලධාරීන් විසින් අධීක්‍ෂණය කළ යුතු වනවා. යම් පුද්ගලයෙකු අදාළ ලිපිනයේ නොමැති නම් ඔහු දැනට සිටින ලිපිනය පිළිබඳ අදාළ කොට්ඨාශ භාර නිලධාරියාව දැනුවත් කිරීම ද එහි දක්වා ඇති ලිපිනය අයත් කොට්ඨාශ භාර නිලධාරියාගේ වගකීමක් බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා ෴

+++++++++++++++++

කොරෝනා වැළඳුණු ඇඟලුම් සේවිකාව ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව හෙලිවීමෙන් පසු ඇය ඉගෙනුම ලැබූ පන්තියේ සිසු සිසුවියන් 31 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායන කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මෙම සිසුවිය දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබුවා. ඇය පසුගිය මාසය පුරාම නොකඩවා පාසල් පැමිණ ඇති බවද බව ද විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කළා.

එම සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් ද ගුරුවරු පිරිසක් නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔවුනගේ නාමලේඛන විදුහල්පතිවරයාගෙන් ලබා ගැනීමට සවසම කටයුතු කරනු ලැබුවා ෴

*********************************************

ලක් රජය ඉල්ලා සිටි මුදල ගෙවූ බව නෞකාව අයත් සමාගම කියයි

(05.10.2020 – 07:04 +0530 – hirunews.lk/sinhala)

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටි රුපියල් මිලියන 442 ක මුදල ගෙවීමට කටයුතු කර ඇති බව නෞකාව හිමි සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර මහතා ප්‍රකාශ කළා.

එම මුදල නීතිපතිවරයා ලබාදුන් රජයේ ගිණුමට මේ වන විට බැර කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාව ගලවා ගැනීම සඳහා වැය වූ මුදල් සහ වන්දි ගෙවීමේ පදනම මත ඇදගෙන යාමට අදාළ නෞකාව ගලවා ගැනීමේ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවට වාර්තා වූයේ පසුගිය සතියේදියි.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය කියා සිටියේ නෞකාව ශ්‍රී ලංකාවෙන් ඔබ්බට රැගෙන යනු ලබන්නේ නීතිපතිවරයාගේ උපදෙස්වලට පටහැනිව සහ පරිසර ආරක්ෂණ අධිකාරියේ අනුදැනුමකින් තොරව බවයි.

කෙසේ වෙතත්, නීතිපතිවරයා නෞකාව හිමි සමාගමෙන් ඉල්ලා සිටි මුදල ගෙවීමට කටයුතු කර ඇති බවත්, නෞකාවේ ඉන්ධන කාන්දුවීම නිසා සිදුවූ හානිය සඳහා ඉල්ලා ඇති මුදල ගෙවීමට සාකච්ඡා සිදුකරන බවත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිපුන විමලසේකර මහතා සඳහන් කළා.

නෞකාව මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජාරා වරාය වෙත රැගෙන යමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී බොරතෙල් තවත් නෞකාවන්ට පොම්ප කිරීමෙන් පසු නැව කැබලි කිරීමට පියවර ගන්නා බව ද නීතිඥවරයා කියා සිටියා ෴

*********************************************

නවගත්තේගම ඇතුළු ප්‍රදේශ රැසක් බියවැද්දූ ‘කන්කොටා’ අල්ලයි

(05.10.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

නවගත්තේගම, රඹකනයාගම ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට හිරිහැර කරමින් සැරිසැරූ ‘කන්කොටා’ නැමැති වන අලියා අල්ලා හොරෝව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට වන ජීවි නිලධාරී කටයුතු කර තිබෙනවා.

රඹකනයාම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටියදී මෙම සත්වයා අල්ලා ගැනීමට වන ජීවි නිලධාරීට හැකිවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

අවුරුදු 35 ක් පමණ වයසකින් යුත් මෙම වන අලියා උස අඩි නවයකට (9) ආසන්න බවයි වන ජීවි නිලධාරින් පවසන්නේ.

මෙම මෙහෙයුම සඳහා වන ජීවි පශු වෛද්‍යවරුන් ඇතුළු වන ජීවි නිලධාරින් 21 දෙනකුගේ කණ්ඩායමක් එක්ව සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

[ සේයාරූ ]

***************************************

දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) අත්අඩංගුවට ගත් මොහු සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 88 ක් සහ ජාතික හැඳුනුම්පත් 26 ක්, බැංකු පොත් 6 ක් සහ රියදුරු බලපත්‍ර තුනක් (3) ද සෙයාගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මොහු දෙහිවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදීමට තැත් කර තිබෙනවා ෴

***************************************

වරප්‍රසාද ලබාදී කිසිවෙකු ආණ්ඩුවට එකතු කර ගැනීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මහනුවරට ඊයේ (04) පැමිණි අමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටු අතර, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටු අවස්ථාවේදියි ඔහු මේ බව කියා සිටියේ.

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් ද මෙහිදී කතාබහක් ඇති වුණා.

***************************************

හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමඟින් ගාල්ල – තලාපිටිය ප්‍රදේශයේදී අඹු-සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘සන්කොල්ලා’ යන අන්වර්ථ නමින් හඳුන්වන අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා දීර්ඝ කලක සිට තම බිරිඳ සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවටයි සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

හෙරොයින් වලට අමතරව ඔහු සතුව රුපියල් 26,750 ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර, හුංගම – බටඅත – චේතියගිරි ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය තුවක්කු සහ පතොරොම් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ඊයේ (04) පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙහි බෝර 12 හේ තුවක්කු සහ ඒවාට යොදන පතොරොම් නිෂ්පාදනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් 59 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් රුපියල් කෝටි 600 ක මුදලකට විකිණීමට සූදානම් වූ හතරදෙනෙකු (4) මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය උපාය දුතයන් යොදවා සිදුකළ වැටලීමකදී ඊයේ (04) පස්වරුවේ අදාළ බුදු පිළිමයද සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, රඹෑව, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් පිරිසක් ෴

*********************************************

ගිනිගත් නෞකාවෙන් ලැබුණු මුදල් ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිළි කිරීමක්

(05.10.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් රුපියල් මිලියන 442 ක මුදලක් ලැබී ඇත්තේ සමුද්‍ර දූෂණය සඳහා වන වන්දි මුදල් ලෙස නොව ගින්න නිවීම සඳහා වැයවූ මුදල් ලෙස බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය කියා සිටියේ සමුද්‍ර දූෂණය සඳහා වන වන්දි මුදල්ද අදාළ සමාගමෙන් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මේ අතර ගින්න නිවීම සඳහා වැය වූ මුදල ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක මුදල නීතිපතිවරයා ලබාදී තිබූ රජයේ ගිණුමට බැර කළ බව නෞකාව හිමි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාව ගලවා ගැනීම සඳහා වැය වූ මුදල් සහ වන්දි ගෙවීමේ පදනම මත ඇදගෙන යාමට අදාළ නෞකාව ගලවා ගැනීමේ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවට වාර්තා වූයේ පසුගිය සතියේදියි ෴

***************************************

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් නොවන වෘත්තිකයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ හැකි බවට ලබාදී ඇති නියෝගය අහෝසි නොකරන්නේ නම් හෝ සුදුසුකම් නොමැති විවිධ පුද්ගලයින් යොදවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ දින 7 ක් තුළ ඒ පිළිබද සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර ඇති බවයි ෴

***************************************

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද (05) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවී තිබෙනවා.

රාජගිරියේ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන්, මොහු පසුගිය මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුවයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ෴

මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර රුපියල් ලක්ෂ 4 ක පෞද්ගලික බැදුම්කරයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (05) නියෝග කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාලව කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පසුගිය මස 29 වනදායි.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද කොළඹ මහාධිකරණය මේ වනවිට පනවා තිබෙනවා ෴

***************************************

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මුදල් වංචාවලට සම්බන්ධ 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) උදෑසන හයේ (06:00) සිට පස්වරු හය (06:00) දක්වා මුදල් වංචාවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව මුදල් සම්බන්ධ අපරාධ 34 ක් විසඳා ඇති අතර, එම මූල්‍ය අපරාධවල වටිනාකම රුපියල් හයකෝටි දහඅට ලක්ෂ අසූහතර දහස් හත්සිය අටක් (6,18,84,708) ෴

*********************************************

දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (04) සිදු කළ PCR පරීක්ෂණවලින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වෙයි

(05.10.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළඳුනු බවට තහවුරු වූ ඇඟළුම් කර්මාන්තශාලා සේවිකාව ඇසුරු කළ සමීපතමයින් 69 දෙනෙකුට එම වෛරසය වැළඳී ඇතැයි හෙළි වී තිබෙනවා.

ඇය සමීපව ඇසුරු කළ ඇඟළුම් කර්මාන්තශාලාවේ පිරිසක් සහ තවත් පිරිසක් මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර ඇය සේවය කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීම මේ වනවිට එම කර්මාන්තශාලාව තුළ සිදු කෙරෙනවා.

ගම්පහ – දිවුලපිටිය – බෝඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා හඳුනාගැනුනා.

ඒ, ඇය ස්වසන අපහසුතාවක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකදියි.

පසුව ඇය ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරුණා.

එම කාන්තාවගේ සැමියා සහ දරුවන් සිව්දෙනා (4) සහ ඇයගේ පියා නිරෝධායනය සඳහා ගාල්ල – හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු අතර, එහිදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී තහවුරු වුණේ එම කාන්තාවගේ 16 හැවිරිදි දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා (2) මේ වනවිටත් විශේෂ ප්‍රතිකාරවලට යොමුකර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව අයි.ඩී.එච්. රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ කාන්තාවට වෛරසය ආසාදනය වූ මුලාශ්‍රයක් නිශ්චිතව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ කාන්තාවට වෛරසය ආසාදනය වූ මූලාශ්‍ර සෙවීමට බුද්ධි අංශයේ සහය මේ වනවිට ලබාගෙන ඇති බවයි.

මේ අතර මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පවතින තත්වය හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රධාන නගර රැසක රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ පැමිණීම අද (05) අවම මට්ටමක පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව කියා සිටියේ රාජ්‍ය ආයතනවල කටයුතු පවත්වාගෙන යෑමේ අයිතිය එම ආයතන ප්‍රධානීන්ට පවරා ඇති බවයි.

+++++++++++++++

කොරෝනා වැළඳුනු බවට අද (05) දිනයේ තහවුරු වූ 69 දෙනා දිවුලපිටියෙන් හමුවූ කාන්තාව සේවය කළ ඇඟළුම් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

කොරෝනා වැළඳුණු ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මෙම පිරිස සොයා ගනු ලැබුවා.

අදාළ කාන්තාවට වෛරසය ආසාදනය වූ මුලාශ්‍රයක් නිශ්චිතව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ කාන්තාවට වෛරසය ආසාදනය වූ මූලාශ්‍ර සෙවීමට බුද්ධි අංශයේ සහය මේ වනවිට ලබාගෙන ඇති බවයි.

මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යා 3471 දෙනෙක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව කොරෝනා වෛරස තත්ත්වය සමාජය තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගි නොවී සිටීම, නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුඛ ආවරණයක් පැළදීම, එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කිරීම, නිතර අත් සේදීම සහ මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද එහි සඳහන්.

මේ අතර, ලබන 6 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ රාජ්‍ය භාෂා ප්‍රවීනතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

යළි දැනුම් දෙන තුරු දිවයිනේ සියළුම බන්ධනාගාරවලට රැදවියන් බැලීම සඳහා පිටතින් අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පවතින තත්ත්වය සලකා බලා මෙම තීරණය ගත් බවයි.

මීට පෙර මහර සහ මීගමුව යන බන්ධනාගාරවලට රැදවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවනු ලැබූවේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟයි ෴

+++++++++++++++

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (06) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමක් නොමැතිව කල් දැමූ බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා පවසනවා ෴

+++++++++++++++

පාසල් නිවාඩුවට සමගාමීව දිවයිනේ සියළුම බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ යළිත් පාසල් ආරම්භ කිරීමට සමගාමීව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පිළිපදිමින් දහම් පාසල් ද යළි ආරම්භ කිරීමට නියමිත බවයි ෴

*********************************************

හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට 20 ට ඡන්දය දෙන්න බෑ – විජයදාස රාජපක්ෂ

(05.10.2020 – 14:17 +0530 – lankaleadnews.com)

මහජන පරමාධිපත්‍යයට ගරු කරන මන්ත්‍රීවරයකුට හෘද සාක්ෂියට එකඟ ව 20 වන සංශෝධනයට පක්ෂ ව ඡන්දය දීම කළ හැකි ද යන්න පිළිබඳ ව තමන්ට බරපතළ ප්‍රශ්නයක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනයට පක්ෂ ව ඡන්දයදීම මගින් මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට දෙන ලද ප්‍රතිඥාව / දිවුරුම උල්ලංඝනය කිරීමක් ද සිදුවනු ඇති බවට පෙනෙන්නට ඇති බවයි.

මෙම කරුණු ඇතුළත් සවිස්තරාත්මක ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

එම ලිපිය :

++++++++++++

***************************************

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කර ඇති පැමිණිලි සියල්ල ඉල්ලා අස්කරගන්නා බව ‘සිංහලේ ජාතික සංවිධානය’ පවසනවා.

එම සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් නොමැති නිසා මෙලෙස පැමිණිලි ඉල්ලා අස් කරගන්නා බවයි.

එමෙන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් ‘මහජන යුතුකම් කේන්ද්‍රය’ අද (05) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් (04) ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ විස්සට සහයෝගය දක්වන ලෙස ඉල්ලමින් තමන්ට දුරකථන ඇමතුම් ලැබුණු බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවට තුනෙන් දෙකක් හිමිව ඇති බැවින් විස්ස සම්මත කරගැනීම ගැටළුවක් නොවන බවයි ෴

+++++++++++++++++

රියාජ්ගේ පරීක්ෂණ ගැන පොලිස් කොමිසට ආ පැමිණිල්ල

(05.10.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ස්ථාන මාරු කිරීම සහ රියාජ් බදියුදීන් නිදහස් කිරීම අතර පැහැදිලි සබඳතාවයත් පවතින බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරනවා.

මේ අතර රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ‘මහජන යුතුකම් කේන්ද්‍රය’ විසින් පොලිස් කොමිසම වෙත අද (05) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන මාස 05 කට අධික කාලයක් ප්‍රශ්න කරමින් සිට පසුගියදා මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් කොමිසම වෙත මෙම පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

*********************************************

අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට

(05.10.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ (04) සිදුකළ වැටලීමකදී අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 148 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව කූට ලේඛන සකස් කර කොළඹ වරායෙන් බහලුම් පිටකිරීමට තැත් කළ පුද්ගලයන් තුන්දෙනෙකු (3) වරාය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට භාරදී තිබෙනවා.

මේ අතර දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) අත්අඩංගුවට ගත් මොහු සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 88 ක් සහ ජාතික හැඳුනුම්පත් 26 ක්, බැංකු පොත් 6 ක් සහ රියදුරු බලපත්‍ර තුනක් (3) ද සෙයාගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මොහු දෙහිවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදීමට තැත් කර තිබෙනවා.

එමෙන්ම පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් රුපියල් කෝටි 600 ක මුදලකට විකිණීමට සූදානම් වූ හතරදෙනෙකු (4) මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය උපාය දුතයන් යොදවා සිදුකළ වැටලීමකදී ඊයේ (04) පස්වරුවේ අදාළ බුදු පිළිමයද සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, රඹෑව, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් පිරිසක්.

මේ අතර රුපියල් කෝටි හයකට (6) අධික මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් වංචා විමර්ශන අංශය ඊයේ සිදුකළ මෙහෙයුමකදියි.

***************************************

රිළා – වඳුරු තර්ජනවලට විසදුම් ඉල්ලා පොළොන්නරුව – ගිරිතලේ 20 කණුව ප්‍රදේශයේදී පිරිසක් අද (05) උදෑසන සාමකාමී විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී ඊට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි. තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතයටද මේ හේතුවෙන් දැඩි බාධා එල්ලවී ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා.

*********************************************

විස්සට එරෙහි පෙත්සම් විභාගය අවසන්

(05.10.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට අදාළ වාචික දේශන අද (05) අවසන් කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේ, මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ කතානායකවරයා වෙත යොමු කරන බවයි.

කෙසේ වෙතත්, පෙත්සම් විභාගයට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා හෙට (06) පස්වරු 3 ට ගොනු කරන ලෙස ද අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියෝග කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සළකා බැලෙන්නේ පසුගිය බදාදා සිටයි.

පෙත්සම් විභාගය අද (05) ආරම්භ වු අවස්ථාවේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ලම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව අවධාරණය කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට බැඳී සිටින බව නීතිපතිවරයා පෙන්වා දුන්නා.

එම වගකීම වඩාත් පුළුල් කරමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ඉවහල් වන ශක්තිමත් නීතිමය පදනමක් සලසා දී ඇතැයි නීතිපතිවරයා පැවසුවා.

19 වන සංශෝධනය තුළින් අහිමි කෙරුණු ජනාධිපතිවරයා සතු මුක්තිය, 20 වන සංශෝධන කෙටුම්පත තුළින් යළි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා මේ තුළින් ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන විධායක බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි ද පෙන්වා දුන්නා.

යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් යළි ජනමත විචාරණයක් සදහා යොමු කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී ඇති බවත්, ඉන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බව පෙත්සම්කාර පාර්ශවය සඳහන් කර තිබුණා.

එහෙත් යම් පාර්ලිමේන්තුවක් බල අරගලයක් මත යම් පනත් කෙටුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක මහජන යහපත උදෙසා අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයක් හරහා ඍජුවම මහජනයා හමුවේ තැබීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරීම, ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීමක් නොවන බවත් නීතිපතිවරයා තර්ක කළා.

20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීමට යෝජනා කර තිබීම තුළින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවට පෙත්සම්වලින් චෝදනා කර තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය යනු පත්කිරීම් සිදුකිරීමේ යන්ත්‍රණයක් පමණක් බව නීතිපතිවරයා පෙන්වා දුන්නා.

පත් කිරීම් සිදු කිරීමට අදාල අනන්‍ය බලය පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා වෙත පමණක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කුමන ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප කර ඒ අනුව කටයුතු නොකර සිටීමට ජනාධිපතිවරයාට වෙත බලය තිබෙන බව නීතිපතිවරයා සඳහන් කර සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙනුවට 20 වන සංශෝධන කෙටුම්පත තුළින් පාර්ලිමේන්තු මණ්ඩලයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව පැවසූ නීතිපතිවරයා පෙන්වා දුන්නේ එම මණ්ඩලය සහ 19 වන සංශෝධනය ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය අතර බරපතල වෙනසක් නොමැති බවයි.

20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් යැයි පෙත්සම්වලින් චෝදනා එල්ල කර තිබුණා.

යම් පුද්ගලයකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කරනු ලබන්නේ විෂයභාර අමාත්‍යවරයා විසින් පුරවැසි පනත යටතේ යැයි පෙන්වා දුන් නීතිපතිවරයා එසේ පිරිනමනු ලබන පුරවැසිභාවය ඕනෑම අවස්ථාවක අහිමි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට එම පනත යටතේ බලය පවරා ඇතැයිද ප්‍රකාශ කළා.

ද්විත්ව පුරවැසියන් ද ශ්‍රී ලාංකික පුරවැසියන් යැයි පෙන්වා දුන් නීතිපතිවරයා ඔවුන්ව වෙනස් ආකාරයකින් සැලකීමට හැකියාවක් නැතැයි පැවසුවා.

20 වන සංශෝධන පනත් කෙටුම්පතින් ගෙන ආ හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා, ඒ තුළින් හදිසි ආපදා, වසංගත වැනි හදිසි තත්ත්වයක් උද්ගත වන අවස්ථාවක මහජන යහපත උදෙසා පමණක් ‘හදිසි පනත් කෙටුම්පත්’ ඉදිරිපත් කිරිම සඳහා අවස්ථාව සලසා දී ඇති බව ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරනු ලබන සංශෝධන මෙම හදිසි ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කිරිමක් නොකරන බවයි.

මැතිවරණ කාලසීමාවන් හී මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීම සදහා මැතිවරණ කොමිසම වෙත මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් බලය පවරා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි අධිකරණය හමුවේ පෙත්සම්කරුවන් විසින් චෝදනා කර තිබුණි.

ඒ පිළිබඳව කරුණු දැක්වූ නීතිපතිවරයා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කිරීම උදෙසා එම ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති බව පෙන්වා දුන්නා.

අවසන් වශයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ අවධාරණය කර සිටියේ මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබදව කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

උපුටා ගැනීම :

පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩු පාලනයේ ගැටලුකාරී තත්ත්වයට පත් වූ බව සැබෑය. එය සිදු වූයේ ආණ්ඩුව පත්ව වසර දෙකහමාරක කාලයක් ගත වූ පසුවය.

ඊට හේතුව මෙරට පැවති වෛරී දේශපාලන සංස්කෘතිය තුළ එකිනෙකාට එරෙහිව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති ධූරය හෙබවීමත්,එක්සත් ජාතික පක්ෂ නායකයා අග්‍රාමාත්‍ය ධූරය හෙබවීමත්ය. ඒ තුළ ක්‍රියාත්මක වූයේ බරපතළ දේශපාලන දඩයමකි.

එම ආණ්ඩු කාල පරිච්ඡේදය තුළ ආණ්ඩුවේ අස්ථාවරත්වයට බලපෑ ප්‍රධාන කරුණු කිහිපය හරි හැටි හඳුනා ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයකි.

එම ප්‍රශ්න නිරාකරණය සඳහා ඔබතුමා ගෙන ආ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි අඩංගු විය යුතු ව තිබුණේ ඉතාමත් සරල මහජන විරෝධය අවම කරගත හැකි සුළු සංශෝධන කිහිපයකි.

මතභේදයකට හෝ මහජන විරෝධයකට බඳුන් නොවන සේ මෙවැනි සුළු සහ සරල සංශෝධනයක් කළ හැකි ව තිබියදී රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය මගින් ආණ්ඩුව පිරිහීමට හා පාක්ෂිකයින්ගේ අපේක්ෂා භංගත්වයට පත් වීමේ ඉඩකඩ ඇති බව ඔබතුමා තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

උපුටා ගැනීම අවසන්.

*********************************************

ස්වභාවික ඖෂධ භාවිත කරන හෙළ වෙද කම

(05.10.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් යටතේ පූගොඩ – මීතිරිගල පිහිටි වෙදගම කඩිනමින් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව, විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිරි ජයකොඩි මහතා පවසනවා.

ඒ, වසර ගණනාවක සිට අභාවයට යමින් පවතින වෙදගම පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසුවයි.

ස්වභාවික ඖෂධ භාවිතයෙන් සිදු කෙරෙන සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම ලොව අන් කිසිදු රටකට සමකළ නොහැකි විශ්මිත රෝගී සත්කාර සේවාවක්.

එහි සේවාව දේශීය මෙන්ම විදේශිය ජනතාවටද ලබාගත හැකි පරිදි වසර 37 කට පෙර ස්ථාපිත කරනු ලැබූ පූගොඩ, මීතිරිගල පිහිටි වෙදගම මේ වනවිට අභාවයට යමින් පවතින ආකාරයත්, නැවත සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවත් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කෙරුණේ පසුගිය සෙනසුරාදායි.

එම අනාවරණයෙන් පැය 6 ක් ගත වීමටත් පෙර විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙදගම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

*********************************************

නෙල්ලිගල නම විකුණා මුදල් ගැරූ ජාවාරම

(05.10.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් මුදල් වංචාවේ නිරතවු චීවර ධාරියෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පේරාදෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම බෞද්ධ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදියි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සදහා යැයි පවසමින් පිරිසක් පසුගිය මාස එක හමාරක (1½) කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ටිකට් පත් අලෙවි කරමින් මෙම වංචාව සිදු කර තිබෙනවා.

මෙම පිරිස සම්බන්ධයෙන් බෞද්ධ මධ්‍යස්ථානයට ලද තොරතුරක් මත වංචාකරුවන් කොටුකරගැනීමට හැකිවුණා.

මොවුන් සතුව තිබූ ලේඛන වලට අනුව පසුගිය මාස එක හමාරක (1½) කාලය තුළ 7,28,500 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව පොලීසිය පැවසුවා.

මෙහිදී ආධාර මුදල් එක්රැස් කිරීම සදහා භාවිත කල ව්‍යාජ ටිකට් පත් රැසක්, චෙක්පත් කිහිපයක් සහ චීවරධාරයා භාවිතා කල ගිහි ඇදුම් කිහිපයක්ද සොයාගැණුනා.

*********************************************

වසර 10 ක් නඩත්තු නොකළ සූරියවැව නමඩගස්වැව ජල ව්‍යාපෘතිය

(05.10.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව නමඩගස්වැව, අන්දරවැව, උස්ගල ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සදහා ක්‍රියාත්මක ධර්මධුත ප්‍රජාමූල ජල ව්‍යාපෘතියයි මේ.

වසර 10 ක් තිස්සේ මෙම ප්‍රජාමූල ජල ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ පවුල් 3000 කට ආසන්න පිරිසකට පානීය ජලය සැපයෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ සූරියවැව ප්‍රාදේශීය සභාවෙන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් මෙහි නඩත්තු කටයුතු සිදු කල යුතු බවයි.

නමුත් වසර ගණනාවක සිට එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ඔවුන් චෝදනා කරනවා.

බීමට ගන්නා ජලයේ දක්නට ලැබුණු වෙනස්කම් හමුවේ ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර එහිදී දැක ගන්නට ලැබි ඇත්තේ මෙවැන්නක්.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තම පානීය ජල අවශ්‍යතාවය සපුරාලන මෙම ප්‍රජා ජල මූල ව්‍යාපෘතියේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කලද එය ඵලක් නොවූ බවටයි.

දහස් ගණනකගේ පිපාසය නිවාලන මෙම ජල මූල ව්‍යපෘතිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමුවන තුරු ‘රතු මිනිත්තුව’ අවධි නෙතින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *