ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය

2021 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි” – සුමන්දිරන්

දෙපා අහිමි වුවද නැණස පාදන ගුරු මව

මාරවිල වෙරළේ මාරකය

තවත් බ්‍රැන්ඩික්ස් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා – මුලු ආසාදිතයන් සංඛ්‍යාව 708

බැඳීම ඉදිරියට ගෙන යන්න පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය තීරණය කරයි

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 52 ක් අත්අඩංගුවට

මෙරට දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තාවෙයි

රිෂාඩ්ගේ ගෝලයින්ගේ ඛණිජ වැලි සමාගම් නිසා දඹුල්ලේ ජනතාවට පිළිකා අවධානමක් – මහාචාර්ය අතුල සේනාරත්නගේ සොයා ගැනීමක්

කොළඹට සුපිරි රථගාල් 08 ක් ඉදිකිරිම ඇරඹේ – මහල් 10 ක් බැගින් ඉදිවේ

බ්‍රැන්ඩික්ස් පොකුරේ ඇති පෙර නොතිබූ භයානකත්වය GMOA හෙළි කරයි

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

*********************************************

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය

(06.10.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) පස්වරු 6 සිට බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

මේ අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවක සේවිකාවන් පිටස්තරව සිටින්නේ නම් සිය නිවෙස්වලම රැදී සිටින ලෙසයි.

++++++++++++++

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ (05) සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මේ වන විට කම්හලේ 567 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදය වී තිබෙනවා.

+++++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් හා පවුල්වල අය දිවයිනේ කොතැනක සිටියත් නිවෙස්වලින් පිටතට නොයන ලෙස උපදෙස් දෙන බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

කොවිඩ් 19 අසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලු දෙනාම සුදානම් විය යුතු බව රජය විසින් දැනුම් දෙන බවද එම නිවේදනයේ සඳහන්.

*********************************************

2021 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

(06.10.2020 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂය තුළින් ප්‍රතිවිරුද්ධ අදහස් පැමිණිය ද 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසම සිදුකරන අවස්ථාවේදී එය නිසියාකාරව දැක බලා ගත හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, 2021 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යාවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරනු ලැබුවා.

අදාළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2021 මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම රුපියල් බිලියන 2690 ක් වන අතර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 2216 ක්.

***************************************

පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් වෙන්දේසිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 30 වන දා වෙන්දේසිය පවත්වා නොමැති අතර, අවසන් වරට වෙන්දේසිය පැවති සැප්තැම්බර් 24 වන දා පොල් දහසක් සඳහා ලැබුණු සාමාන්‍ය මිල රුපියල් 56,493 ක්.

මෙලෙස පොල් වෙන්දේසිය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ පොල් සඳහා රජය මගින් රුපියල් 60 ත්, 70 ත් අතර උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් පොල් නිෂ්පාදකයන්ගේ විකුණුම් මිල ද ඒ මට්ටමේ පවතින බව සඳහන් ෴

***************************************

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී එම පොලිස් බල ප්‍රදේශවල බස් රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදුනොකළ යුතු බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අදාළ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථවලට ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවකයින් දැනටමත් නවාතැන්ගෙන සිටින ස්ථානවලම රැදී සිටිය යුතු බව පොලීසිය පවසනවා.

එසේම, එම කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය එම සේවකයින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බව ද පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළා ෴

+++++++++++++++++

ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහර හා අත්‍යාවශ්‍ය නොවන රැස්වීම් රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකි බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා පොකුර හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ.

රටේ දැනට පවතින තත්ත්වය අනුව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතාව වගකීමෙන් කි්‍රයා කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අපේක්ෂා කරනවා.

*********************************************

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි” – සුමන්දිරන්

(06.10.2020 – 16:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව තමන් පිළිනොගන්නා බව ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

‘හිරු සළකුණ’ දේශපාලන සංවාද වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

+++++++++

*********************************************

දෙපා අහිමි වුවද නැණස පාදන ගුරු මව

(06.10.2020 – 16:28 +0530 – hirunews.lk/sinhala)

සමාජයේ වන්දනීයත්වයට නිරතුරුව පාත්‍ර වන පිරිසක් ලෙස ගුරුවරුන් හැඳින්විය හැකියි.

එම උතුම් ගුරු වෘත්තියට බුහුමන් පිදෙන ගුරු දිනය මෙරට සමරනු ලබන්නේ අදයි.

මේ ඒ වන්දනීය පිරිස වෙනුවෙන් තබන උපහාර සටහනක්

‘අර්බුදයට නායකත්වය දීම – අනාගතය යළි සිතීම’ යන්න මෙවර ගුරු දිනයේ තේමාවයි.

ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීම ඔක්තෝබර් 5 වැනි දිනට යෙදුණු බැවින් යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු දිනය ඔක්තෝබර් 5 වන දින සමරන අතර, ගුරුවරුන්ගේ දිගු කාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබුවේ 1995 ඔක්තෝබර් 6 වැනිදා බැවින් ශ්‍රී ලාංකිකයින් අද දින ගුරු දිනය සමරනවා.

සිය ගෞරවාන්විත සේවාව නිසාම නිරතුරුව සමාජයේ වන්දනීයත්වයට පාත්‍ර වන එකම තැනැත්තා ලෙසයි ගුරුවරයා සැලකෙන්නේ.

එවන් වන්දනීය ගුරු මාතාවක් ගැන විශේෂ පුවතක් අපට බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මීට වසර 33 කට පෙර බදුල්ල – කුට්ටියගොල්ල මාවතේ – ලංගම බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් 24 හැවිරිදි කේ.ඩී. සෝමාවතී ගුරු මාතාවාට ඇයගේ පා යුගළම අහිමි වනවා.

සිය දෙපා අහිමි වුව ද අනාගත දරු පරපුරේ නැණස පාදන වගකීම අත් නොහැරි ඇය අදටත් බදුල්ල – සොරනාතොට – පුස්වැල්ල විදුහලේ දරුවන්ට අකුරු කරවන්නේ ජීවිතය යනු දිනාගත යුතු සටනක් බවට ජීවමාන උදාහරණයක් බවට පත්වෙමිනුයි.

වයස අවුරුදු 18 දී ගුරු සේවයට පැමිණි ඇය සිය අවුරුදු 40 ක අභියෝගාත්මක සේවාවකින් අනතුරුව තවත් වසර 2 කින් විශ්‍රාම යාමට නියමිතයි.

අසීරුතා මැද දරුවන්ට අකුරු කරවා ඔවුන් සමාජයේ බොහෝ දුර යනු දැක පහන් සිත් උපදවා ගන්නා මෙවන් ගුරු මව්වරු පියවරු සියලුදෙනාට ජාතියේම උපහාරය නිබැඳවම පිරිනැමෙන බවට සැකයක් නැහැ.

***************************************

මාතරින්, මුහුද යටින් ලංකාවට ඉන්ටනෙට් එන හැටි දැනගන්න මේ වීඩියෝ එක බලන්න

03-OCT-2020

*********************************************

මාරවිල වෙරළේ මාරකය

(06.10.2020 – 16:37 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – කුරුස පල්ලිය ආසන්න මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ (05) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එහි හදිසි මරණ පරීක්ෂණය සිදුකළ මාරවිල හදිසි මරණ පරීක්ෂක නිහාල් පද්මසිරි ගරුසිංහ මහතා සඳහන් කළේ, වසර ගණනාවක සිට අතහැර දමා තිබෙන යාත්‍රාවක් හේතුවෙන් අදාළ ස්ථානය දැඩි අවදානම් සහගත බවයි.

මාරවිල – කුරුස පල්ලිය මුහුදු වෙරළ ආසන්නයේ 2012 වසරේ සිට අතහැර දමා තිබෙන යාත්‍රාවක් හේතුවෙන් මතුව ඇති අවදානම් තත්ත්වය නිසා මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු පමණ අදාළ ස්ථානයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහි ආසන්නතම සිදුවීම ඊයේ (05) වාර්තා වූ අතර මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල පදිංචි මොහොමඩ් උවයිස් මොහොමඩ් උෂාන් නැමති 37 හැවිරිදි පුද්ගලයෙක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ වසර 09 ක පමණ කාලයක සිට මෙම යාත්‍රාව දිරාපත්වෙමින් තිබෙන අතර ඒ හේතුවෙන් එම ස්ථානයේ බොක්කක් නිර්මාණය වී ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්ෂණය සඳහා එම ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක නිහාල් පද්මසිරි ගරුසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දියනෑම අනතුරුදායක බව දැක්වෙන පුවරු අදාළ ස්ථානයේ සවිකර තිබුණ ද එම අවවාද නොතකන බොහෝ පිරිස් දියනෑම සහ විනෝදවීම සිදුකරන බවයි.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ තවත් මිනිස් ජීවිතයක් බිලි වන්නට පෙර දිරාපත්වූ අදාළ යාත්‍රාව එම ස්ථානයෙන් ඉවත් කර දෙන ලෙසයි.

***************************************

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඊයේ (05) පැවති අතර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමද ඊයේ (05) පැවැත්වුණා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පක්ෂ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේදීයි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්විම ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වූනේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අද (06) දිනයේ රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින්.

***************************************

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස මේ මස 7, 8 සහ 9 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත යුතු සේවාවන් සඳහා රාජකාරි වේලාවන් වන පෙරවරු 8 සිට පස්වරු 04:30 දක්වා සේවා සලසා ගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ගමන් බලපත් අංශය සඳහා 070 710 1060 හෝ 070 710 1070 යන දුරකථන අංකවලට ඇමතිය හැකියි.

පුරවැසි අංශය සඳහා 070 710 1030 දුරකථන අංකයට ඇමතිය හැකි අතර, වීසා අංශය සමඟ 070 710 1050 අංකයෙන් සම්බන්ධ විය හැකියි ෴

*********************************************

තවත් බ්‍රැන්ඩික්ස් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා – මුලු ආසාදිතයන් සංඛ්‍යාව 708

(06.10.2020 – 18:17 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 708 ක් දක්වා ඉහලගොස් තිබෙනවා. ඒ තවත් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

+++++++++++++++

දිවුලපිටිය කාන්තාවගේ දියණියගේ පාසලේ සිසුන් ගුරුවරුන් හා කාර්යමණ්ඩලය ඇතුළු 101 කොවිඩ් 19 ආසාදිතයන් නොවන බව PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා ෴

*********************************************

බැඳීම ඉදිරියට ගෙන යන්න පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය තීරණය කරයි

(06.10.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගිය මැතිවරණයේදී ගොඩනගා ගත් එකඟතාවයන් වඩාත් ඵලදායි ලෙස අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් සහෝදර දේශපාලන පක්ෂ සමඟ සුහදතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාව අද (06) බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති අවස්ථාවේදීයි.

පක්ෂ දෙකෙහිම පළාත් පාලන නියෝජිතයන් එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටත්, ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වීමට පක්ෂ දෙකෙහිම නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් මෙහිදී එකඟතාවය පළ වුණා.

එසේම, සංවර්ධන කටයුතුවලදී පක්ෂ දෙකේම නියෝජිතයන් සඳහා සමාන අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කළේ.

පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග මෙන්ම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න ඊට එක්වුණා.

*********************************************

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 52 ක් අත්අඩංගුවට

(06.10.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පනවා ඇති වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල එය උල්ලංගණය කළ පුද්ගලයින් 52 දෙනෙකු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය දැනුම් දෙන්නේ ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් මහ මඟ හැසිරෙන පුද්ගලයින් අඛණ්ඩව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) පස්වරු 6 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

එම කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අමතරව, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම, නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ සියලු පුද්ගලයින් තම නිවෙස්තුලම රැදී සිටිය යුතු වනවා.

ඇඳිරි නීති කාලසීමාව තුළ එම ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීම ද සම්පූර්ණයෙන් තහනම් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම, එම බල ප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී බස් රථ නැවැත්වීම, මගීන් බැස්වීම හෝ මගීන් නංවා ගැනීම සිදුනොකළ යුතු බව ද පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර, ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර අද (06) දිනයේ පමණක් දුම්රිය නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (06) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති තීරණවලට අනුව යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර දුම්රිය නතර නොකර ධාවනය කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, අද (06) පෙරවරුවේ දුම්රියෙන් රැකියා සඳහා පැමිණි පිරිස් යළි නිවෙස් වෙත යාමට අවශ්‍ය බැවින් අද (06) දිනයේ පමණක් එම දුම්රිය ස්ථාන අතර පිහිටි ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ, හීන්දෙණිය – පට්ටිගොඩ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහෙත් අද (06) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු යාගොඩ සහ වදුරව අතර දුම්රිය ස්ථාන වලින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ.

හෙට (07) දිනයේ සිට එම දුම්රිය ස්ථානයන්වල දුම්රිය නතර කිරීමක් ද සිදු නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවකයින් දැනටමත් නවාතැන්ගෙන සිටින ස්ථානවලම රැදී සිටිය යුතු බව පොලීසිය ප්‍රකාශ කළා.

එසේම, එම කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය එම සේවකයින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු වනවා ෴

*********************************************

මෙරට දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තාවෙයි

(06.10.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අද (06) දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් 605 මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 605 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ පොකුරෙන් තහවුරු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 708 ක්.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සේවය කරන කාන්තාවකට කොරෝනා ආසාදිත බවට පසුගිය 3 වනදා වාර්තා වීමත් සමඟ ඒ හා සම්බන්ධ කොවිඞ් පොකුරක් නිර්මාණය වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (06) වනවිට 4000 ඉක්මවා තිබෙනවා.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1394 කට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ නිවාඩු ලබාදී සිටින පිරිසකට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

එම පිරිස යාපනය, අම්පාර, මොනරාගල, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, කටාන, සීදුව, දිවුලපිටිය, මීරිගම, ජා-ඇල සහ මහර ප්‍රදේශවලින් වාර්තා වී ඇති තිබෙනවා.

මේ අතර, දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සියයකට වැඩි පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ දිවුලපිටිය – ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයේදී අද (06) සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

මීට අමතරව, කොරෝනා මර්දන කටයුතුවල නිරත ඉදිරි පෙළ නිලධාරින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එසේම, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද අද (06) දිවුලපිටිය ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයට පැමිණ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන්.

ප්‍රථමයෙන් වාර්තා වූ ඇඟලුම් සේවිකාවගේ කොරෝනා ආසාදිත දියණිය ඉගෙනුම ලැබූ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසු සිසුවියන් 41 ක් විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 57 දෙනෙකු ද පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කෙරුණා.

කෙසේ වෙතත්, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, පාසලේ සෙසු ළමයින් සහ ගුරුවරුන් මේ වනවිට නිවාස නිරෝධායනයට ලක් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, බ්‍රැන්ඩික්ස් සමූහය සිය මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයේ ඇති වූ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඊයේ (05) දිනය තුළ සේවකයන් 1394 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවයි.

වෛරසය ආසාදිතයන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම හේතුවෙන් ආසාදිතයන් හඳුනා ගැනීමේ අභියෝගයන් ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත්, ඇඟලුම් සේවිකාවට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය නිෂ්චිතව හඳුනා ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.

මේ අතර, බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සොයා අදත් (06) දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා.

ඒ අනුව, ගම්පොල, පුපුරැස්ස, නිව් ෆොරෙස්ට් වතුයායේ නිවසකට පසුගිය දෙවනදා මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවිකාවන් දෙදෙනෙකු (02) පැමිණ ඇති අතර, ඉන් එක් අයෙකුට උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇති අතර, අනෙක් කාන්තාවට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නිවස තුලම නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එසේම, බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවිකාවක් කන්තලේ ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණ තිබීම හේතුවෙන් ඇය හා සබඳතා පැවැත්වූ පවුල් 3 ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.

මීට අමතරව, ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගි වන කන්තලේ ප්‍රදේශයේ පදිංචි ළමයින් 120 ක් ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

මේ අතර, මාතලේ, පල්ලෙපොල, ඇහැලේපොල ප්‍රදේශයේ පදිංචි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන කලමනාකරුවෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත සේවිකාවක් කොළඹ මහනගර සභාවේ සේවිකාවකගේ මවක වීම හේතුවෙන්. කොළඹ මහනගර සභාවේ සෙසු නිලධාරින්ට අනිද්දා (08) පෙරවරුවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

වාරියපොල – කටුපොත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක ඊයේ (05) වාර්තාවීමත් සමඟ ඇගේ ආශ්‍රිතයින් 50 දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ අද (06) ලබා ගැනුණේ කටුපොත සතිපොල භූමියේදීයි.

මේ අතර, අම්පාර, මහඔය – ඉද්දපොල ගම්මානයේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට නිවසට පැමිණීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ ඉද්දපොල ගම්මානයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගත්තා.

එසේම, යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨ සිසුන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 90 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත්තේ ඔවුන් පසුගිය දිනවල ගම්පහ ප්‍රදේශයේ සංචාරය කර තිබීම හේතුවෙනුයි.

මේ අතර, ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබූ 5 දෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකු මෙලෙස සුවය ලබා ඇති බවයි.

ඒ අනුව, සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3266 ක්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 4118 දෙනෙකු වාර්තා වන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 839 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

මේ අතර අදාළ බලධාරීන් හට උපරිම සහයෝගය ලබාදෙමින් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසනවා.

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමිනුයි බ්‍රැන්ඩික්ස් සමාගම මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර කාර්යමණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට ලක්වන කාලය තුළ ඔවුන්ට සුවපහසුව ගත කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට ද කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

***************************************

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කල වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කළ නුවන් වෙදසිංහ අදාළ තනතුරු වලින් ඉවත් කර ඇත්තේ පරිපාලන තීන්දු මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් හෙට (07) තීරණයකට එළැඹීමට නියමිත බවයි.

***************************************

20 වැනි සංශෝධනය සම්මතවීම හරහා වත්මන් ජනාධිපතිවරයාට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව නිසි ආකාරයෙන් තේරුම් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අද (06) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++

***************************************

උණ ඇතුළු කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇති අයට ළඟම ඇති රජයේ රෝහලෙන් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම නියෝගයට අනුකූල නොවන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි සඳහන් වන්නේ ෴

++++++++++++++++

කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙල අනුව කොළඹ ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිපති කාර්යාලයේ පවත්වාගෙන ගිය පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය හෙට (07) සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළා.

+++++++++++++++

නැවත දැනුම් දෙනතුරු වයඹ පළාත තුල උපකාරක පංති නොපවත්වන ලෙස, උපදෙස් ලබාදුන් බව, පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++

රට තුල උද්ගතවී ඇති කොවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හෙට (07) දහවල් නැවතත් රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

එතෙක් දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමටත් එහිදී තීරණය වී තිබෙනවා.

මන්ත්‍රී කජේන්ද්‍රන්ගෙන් විවාදාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමත් සමඟ සරත් ෆොන්සේකා ඊට පිළිතුරු දුන්නේ ප්‍රභාකරන්ගේ පවුලේ අහිංසකයන් නොමැති බව සඳහන් කරමින්.

+++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 124 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 832 ක්.

++++++++++

+++++++++++++++++

(06.10.2020 – 15:38 +0530 – sinhala.adaderana.lk)

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවල පිහිටා තිබෙන කර්මාන්තශාලාවල සේවය කරන සේවක/සේවිකාවන් දැනටමත් නවාතැන්ගෙන සිටින ස්ථානයන්හිම රැඳිසිටින ලෙස පොලීසිය ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, එම කර්මාන්ත ශාලාවන්හී කළමණාකාරීත්වය එම සේවක/සේවිකාවන් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බවය.

*********************************************

රිෂාඩ්ගේ ගෝලයින්ගේ ඛණිජ වැලි සමාගම් නිසා දඹුල්ලේ ජනතාවට පිළිකා අවධානමක් – මහාචාර්ය අතුල සේනාරත්නගේ සොයා ගැනීමක්

(06.10.2020 – 18:40 +0530 – lankaleadnews.com)

හිටපු කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමීපතමයන්ට අයත් සමාගම් කිහිපයක් විසින් දඹුල්ල නගරය ආසන්නයේ පවත්වාගෙන යන ඛණිජ වැලි පිරිපහදු කර්මාන්තයක් නිසා ප්‍රදේශයේ ජනතාව පිළිකා අවධානමකට ගොදුරු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඒ මහතාගේ අධ්‍යයනයකට අනුව පුල්මුඩේ කණිජ වැලි සංස්ථාවේ සිට දඹුල්ල දක්වා රට මැදට ගෙනවිත් පිරිපහදු කිරීම නමින් සිදු කරන ක්‍රියාවලිය තුල විකිරණශීලි ද්‍රව්‍ය පරිසරයට නිදහස්වේ.

එම පිරිපහදු ක්‍රියාවලියේදී විකිරණශීලී ද්‍රව්‍ය 100% ක් ඉවත් නොවන බැවින් ජල මූලාශ්‍ර සහ පරිසරයට නිදහස් වන බව මහාචාර්යවරයා බවසයි ෴

*********************************************

කොළඹට සුපිරි රථගාල් 08 ක් ඉදිකිරිම ඇරඹේ – මහල් 10 ක් බැගින් ඉදිවේ

(07.10.2020 – 00:35 +0530 – truenews.lk)

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා රථගාල් 08 ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

එහි ප්‍රථම අදියර කොළඹ කොටුව ලේක්හවුස් ආයතනය පසුපස පිහිටි ටෙලිකොම් රථගාල ඉදිකිරීමෙන් ආරම්භ කෙරුණු අතර මෙම ව්‍යාපෘතියට වැය වන මුදල රුපියල් මිලියන 1,113 ක් වනවා.

එම මුදල නාගරික සංවර්ධන අධිකාරිය වැය කිරීම විශේෂත්වයක් වන අතර රාජ්‍ය ආයතනයන් මඟින් ඉදිකරනු ලබන ප්‍රථම බහුවිධ රථගාල මෙය වනවා.

මහල් 10 කින් සමන්විත වර්ග අඩි 18,444 කින් යුත් එම ගොඩනැගිල්ල තුළ වාහන 252 ක් නවතා තැබීමට පහසුකම් සැලසෙනවා.

වර්ග අඩි 2,015 ක් වන බිම් මහලෙහි (Ground Floor) විශාල ප්‍රමාණයේ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර වර්ග අඩි 2,540 ක් වන පළවෙනි සහ දෙවෙනි මහල් කොළඹ කොටුව පොලිස් ස්ථානයට ලබා දීමට නියමිතයි.

තුන්වන මහලේ සිට නවවන මහල දක්වා වාහන නවතා තැබීමට හැකි වන අතර දසවන මහලේ නිවාස 07 ක් ඉදිකිරීමට ද යෝජිතයි..

මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා :

“වසර 04 ක් ඇතුළත මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන රථගාල ඉදිකිරීමේ කටයුතු අවසන් කරනවා. මේ යන එන වාහනවලට සහ මේ වටේ තියෙන ගොඩනැගිලිවලට පැමිණෙන වාහනවලට නවතා තැබීමේ පහසුකම් නොමැතිවීම නිසා විශාල වාහන තදබදයක් ඇති වෙනවා. දිවයින පුරා වාහන රථගාල් 12 ක් ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා වගේම ඒවායෙන් 08 ක්ම කොළඹ නගරය තුළ සහ ඉතිරි රථගාල් 04 කොළඹින් පිට ඉදිකිරීමත් මෙහි විශේෂත්වයක්. අවුරුදු 3 ක් 4 ක් යනවිට මේ වාහන තදබදය නැති කිරීම අපගේ අරමුණයි.”

***************************************

විටින් විට පොකුරු ලෙස රෝගීන් එන බව අපි කිව්වා – GMOA

(06.10.2020 – gossiplankanews.com)

කෝවිඩ්-19 අවදානමෙන් රට බේරාගැනීම සඳහා කරුණු දහයක් පදනම් කරගත් වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කෝවිඩ්-19 ගෝලීය වසංගතයේ ස්වභාවයට අනුව ප්‍රථම රැල්ල පාලනය කළද, විටින් විට පොකුරු ලෙස රෝගීන් වාර්තා විය හැකි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය. රෝගය ලොවින් තුරන් වනුයේ ඒ සඳහා නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයා ගැනීමට හැකි වුවහොත් පමණක් බවත්, මේ නිසා මෙම තත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. කෝවිඩ්-19 අවදානමෙන් රට බේරාගැනීම සඳහා රෝග ස්පර්ශකයන් හඳුනා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවත්, කෝවිඩ්-19 පරීක්‍ෂණ කිරීමේ ධාරිතාව උපරිමයෙන් දෛනිකව සිදුකළ යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.

රෝග ස්පර්ශකයන් හඹා ගොස් හඳුනාගෙන කෝවිඩ් 19 පරීක්‍ෂණ සිදුකිරීම සැකකටයුතු රෝග ස්පර්ශකයන් නිරෝධායනයට ලක් කර නැවත කෝවිඩ්-19 පරීක්‍ෂණ සිදුකිරීම, රෝගීන් හමුවන ප්‍රදේශ රතු කලාප ලෙස නම් කර හුදකලා කිරීම, රටම ආවරණය වන ලෙස විද්‍යාත්මක පදනමකට අනුව තෝරාගත් පීරීස් කෝවිඩ්-19 පරීක්‍ෂණවලට ලක් කිරීම හා විශාල පිරිසක් සේවය කරන ස්ථාන කුඩා කණ්ඩායම් ලෙස කාණ්ඩගත කිර්ම මූලික සෞඛ්‍ය උපදෙස්වලට අනුව ජනතාව අනුගත කිරීම, දිනපතා හෝ සතිපතා රැස්වී තාක්‍ෂණික තීන්දු තීරණ ගැනීම, කෝවිඩි-19 පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශවලට ලබාදුන් දිරිගැන්වීම, සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගුවන් හා මගී ප්‍රවාහන ආශ්‍රිත සේවා සපයන කණ්ඩායම් ඇතුළු සියලු අධිඅවදානම් කාණ්ඩ නැවත නැවතත් කෝවිඩ්-19 පක්‍ෂණවලට ලක්කිර්ම සිදුකළ යුතු බවද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය ෴

***************************************

*********************************************

බ්‍රැන්ඩික්ස් පොකුරේ ඇති පෙර නොතිබූ භයානකත්වය GMOA හෙළි කරයි

(07.10.2020 – 09:21 +0530 – hirunews.lk/sinhala)

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ පෙර නොතිබූ භයානකත්වයක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මෙම පොකුරෙන් හඳුනාගත් රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉහළ මට්ටමක ඇති බව, වෛද්‍ය පර්යේෂණ ආයතනය තමන්ට ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව මෙරට තුළ මිට පෙර තිබූ කොරෝනා වෛරසයේ ස්වභාවය වෙනස් වී ඇතිද යන්න සෙවිය යුතු බවද එසේ වෛරසයේ ප්‍රබලත්වය වැඩිවී ඇත්නම්, එය භයානක බවද ඔහු සඳහන් කළා.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේ ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (07) පෙරවරුවේ එක්වෙමින්.

***************************************

කොකෝවා, කරඳමුංගු සහ ගම්මිරිස් වැවීමේ සහ සෑදීමේ කර්මාන්තයේ නියුතු සේවකයින්ට විශේෂ දීමනාවක් ගෙවීමට අදාළව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ක්‍ෂේත්‍රවලට අදාළව දෛනික වැටුප් ලබන පුද්ගලයෙකුට රුපියල් 831.44 ක දීමනාවක් ගෙවීමටයි තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ෴

***************************************

කහ කිලෝ 2044 ක් ප්‍රදේශ කිහිපයකදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් කිලෝ ග්‍රෑම් 1,297 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) උඩප්පුව ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් කහ කිලෝග්‍රෑම් 403 ක් ඊයේ නාවික හමුදාව සොයාගෙන තිබුණේ මුන්දලම – සින්නපාඩුව වෙරළට ආසන්නයේ කැළෑවක පොලිතින් මළු 19 ක අසුරා තිබියදියි.

අනෙක් කහ කැබලි කිලෝග්‍රෑම් 344 ප්‍රවහනයට සූදානම් කර තිබියදී පේසාලේ – වංකාලපාඩු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී වියලි මිරිස්, ලුණු, ගොරකා කිලෝග්‍රෑම් 1517ක් සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථයද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ සියලු පුද්ගලයින් තම නිවෙස්තුලම රැදී සිටිය යුතු බව පොලිසිය අවධාරණය කරනවා.

ඇඳිරි නීති කාල සීමාව තුළ එම ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීම ද සම්පූර්ණයෙන් තහනම් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එසේම, එම බල ප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී බස් රථ නැවැත්වීම, මගීන් බැස්වීම හෝ මගීන් නංවා ගැනීම සිදුනොකළ යුතු බව ද පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර, ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර අද (07) සිට දුම්රිය නතර කෙරෙන්නේ නැහැ.

මේ වනවිට ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ කැලණිය කොට්ඨාසයේ කඳාන සහ ජාඇළ පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කැළණිය පොලිස් කොට්ඨාසයට අයත් ජාඇළ සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මීට පෙර දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවලට පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා ෴

+++++++++++++

පවතින කොරෝනා තත්වය හමුවේ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස එම රෝහල ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේ රෝගීන් තමන්ට ආසන්නතම රජයේ රෝහලේ අක්ෂි සායනය සඳහා යොමුවිය හැකි බවයි.

විශේෂ අක්ෂි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අදාළ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් යොමු කිරීම් ලිපියක් සමඟ ජාතික අක්ෂි රෝහල වෙත පැමිණිය යුතු බව එහි සඳහන්.

එමෙන්ම වයස අවුරුදු 14 අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස ජාතික අක්ෂි රෝහල ඉල්ලා සිටිනවා.

එම නිවේදනය :

*********************************************

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

(07.10.2020 – 11:23 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල අත්හිටුවීම හේතුවෙන් හෙට (08) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

හෙට (08) පෙරවරු අටේ (08:00) සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලටයි ෴

***************************************

ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල නඩු කටයුතු සිදුවන ආකාරය

(07.10.2020 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අදාළ දිනයන්ට නියමිත නඩු සඳහා වෙනත් දිනයන් ලබා දීමටත්, එම දිනයන් ගැන එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමටත්, අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැනටමත් අදාළ අධිකරණවලට දැනුම් දී ඇති බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *