මීගමුවේ නිරෝධායන හෝටල සාදයට ගිය බ්‍රැන්ඩික්ස් මැනේජර්ලා ගැන සැකයක් !

මීගමුවේ නිරෝධායන හෝටල සාදයට ගිය බ්‍රැන්ඩික්ස් මැනේජර්ලා ගැන සැකයක් !

බස්නාහිර වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බාහිර සේවා තාවකාලිකව අත්හිටුවයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාමිකයින්ගේ පැමිණීම තාවකාලිකව නතර කරයි

මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන්ගේ පොකුර 1,034 ක් දක්වා ඉහළට

හිටපු යුද හමුදාපති ස්කයිප් ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි දෙයි – ලතීෆ්ට නොතීසි

හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය

ගල්අඟුරු මිලදී ගැනීමේ පාඩුව බිලියන 1.1 ක්

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්

කොවිඩ් තත්ත්වය ගැන බ්‍රැන්ඩික්ස් ආයතනය නිකුත් කළ නිවේදනය

මැතිවරණයෙන් පසු උපාසකලා වූ බදියුදීන්ලා

*********************************************

මීගමුවේ නිරෝධායන හෝටල සාදයට ගිය බ්‍රැන්ඩික්ස් මැනේජර්ලා ගැන සැකයක් !

(07.10.2020 – lankahotnews.net)

දැනට කොරෝනා ආසාදිත බවට තහවුරුවී තිබෙන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකරුවන් 8 දෙනෙකු සහභාගීවූ සාදයක් හරහා ආයතනයට කොරෝනා පැමිණයේද යන්න ගැන සැකයක් විමර්ශන කණ්ඩායම් වලට හසුවී තිබේ.

ඉකුත් 25 වනදා කටුනායක ‘එයාර් පෝට් ගාර්ඩ්න්’ හෝටලයේ පැවති සාදයකට මෙම පිරිස එක්ව තිබෙන අතර එම අටදෙනාට (8) අමතරව තවත් කළමනාකරුවන් 31 දෙනෙකු එයට එක්ව ඇත.

විදෙස් ගතව සිට ලංකාවට පැමිණෙන ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සදහා යොදාගන්නා හෝටලයක් වූ මෙම ස්ථානයේ පැවති කිසියම් දුර්වලතාවක් නිසා මෙම පිරිසට කොරෝනා වෛරස නිරාවරණයවූයේද යන්න සැකයක් පැනනැගී ඇත.

25 වනදා එම සාදය පැවතීමෙන් පසු දින 26 වනදාද බ්‍රැන්ඩික්ස් ආයතන පරිශ්‍රයේ සංගීත සන්දර්ශනයක් පැවත්වී ඇත.

ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගිවූ එම සාදයට පෙරකී කළමනාකරුවන් පිරිසද එක්ව ඇත.

එම අවස්ථාවේ කළමනාකරුවන් හා සේවකයින් සුහදව එක්ව හැසිරී ඇති අතර වෛරස අංශු පැතිරයාමක් සිදුවූයේද යන්න පරීක්ෂණ සිදුවේ ෴

*********************************************

බස්නාහිර වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(07.10.2020 – 18:06 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 තත්ත්වය නිසා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව, බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරිය දැනුම් දෙනවා.

මේ කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත් ලබා ගැනීමේදී 2020.11.15 තෙක් දඩ මුදල් අය නොකරන බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා ෴

*********************************************

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බාහිර සේවා තාවකාලිකව අත්හිටුවයි

(07.10.2020 – 19:02 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවා ලබාගැනීම බාහිර පුද්ගලයින්ට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු සේවා E ක්‍රමයට ලබාගත හැකි බවයි ෴

++++++++++++++++++

කොවිඩ් 19 හේතුවෙන් ආගමික ස්ථානවලට පුද්ගලයින් පැමිණීම සහ එක්රැස්වීම සීමා කරන මෙන් බෞද්ධ ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය ඉල්ලා සිටිනවා ෴

*********************************************

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාමිකයින්ගේ පැමිණීම තාවකාලිකව නතර කරයි

(07.10.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව, මීගමුව කොට්ඨාශයේ සීදුව පොලිස් බල ප්‍රදේශයටත්, කැලණිය කොට්ඨාසයේ ජාඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල, යක්කල පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධානයන ඇඳිරි නීතීය ක්‍රියාත්මකයි.

මේ වනවිටත් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ මෙන්ම අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

එමෙන්ම, සබරගමුව හැර දිවයිනේ අනෙකුත් පළාත් 08 හි උපකාරක පංති ද නැවත දැනුම්දෙනතුරු පළාත් ආණ්ඩුකාරවරු ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් රජය පනවා ඇති රෙගුලාසි වනෝද්‍යානවලද ක්‍රියාත්මක බව වනජීවි අමාත්‍ය සී.බී.රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඔහු සදහන් කළේ වනජීවි අමාත්‍යාංශය යටතේ පාලනය වන සියලුම උද්‍යාන නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක විසි දෙකෙහිම (22) ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල 325 ක් සදහා නව නිලධාරි මණ්ඩල පත්කිරීම සඳහා ලබන 25 වනදා පැවත්වීමට නියමිතව තිබු නිලවරණය කල් දැමීමට බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ මස පැවත්වීමට නියමිත කාන්තා හා තරුණ හා අනුබද්ධ සංවිධාන වල සම්මේලන තාවකාලිකව නතර කිරීමට එම පෙරමුණ තීරණය කළා.

මීට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම් ලබන 08, 09 සහ 10 යන දින තුන තුළ අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ලබන 16 දක්වා තාවකාලිකව අත්හිට වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළා.

මේ අතර, මිල ප්‍රදර්ශනය නොකරමින් විවිධ මිල ගණන් යටතේ මුඛ ආවරණ අලෙවි කල ඔසුසැල් හිමියෙකු අද (07) ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහු දෙගුණයක මිල ගණන් වලින් මුඛ ආවරණ විකිණිම සිදුකර තිබුණා ෴

*********************************************

මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන්ගේ පොකුර 1,034 ක් දක්වා ඉහළට

(07.10.2020 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 5 දෙනෙකුට සහ ඒ ආශ්‍රිත පුද්ගලයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම කර්මාන්තශාලාව ආශ්‍රිතව මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ පොකුර 1,034 ක්.

මේ අතර, වැලිසර පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් වාර්තා වූ ප්‍රථම කොරෝනා ආසාදිතයාද මොහුයි.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතැම් සේවකයින් තවමත් සැඟව සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එම ආයතනයේ සේවය කරන ගම්පහ, වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක සේවිකාවන් හට නිරෝධායන නියෝග යටතේ අද (07) පස්වරු හයට (06:00) පෙර අදාළ බල ප්‍රදේශයේ නම් කළ ස්ථාන වෙත පැමිණෙන ලෙසට පොලිසිය නියෝග කර තිබුණා.

මාස දෙකකට (2) පසු මෙරට සමාජයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවකට වෛරසය ආසාදනය වීමත් සමගයි. ඒ අනුව අද (07) දිනයේදීත් බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් කාන්තාව මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මීට පෙර සිටම කර්මාන්ත ශාලාවේ ඇතැම් සේවක සේවිකාවන්ගෙන් උණ රෝගී තත්ත්වයන් වාර්තා වී තිබූ බවයි. එහෙත් පාලනාධිකාරිය විසින් ඊට කිසිදු පිළියමක් සිදුනොකළ බවටද ඇය කියා සිටියා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඳ වෛද්‍ය සුදත් සමරවීර මහතාද කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් 20 වනදා සිට කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් අතර ශ්වසන ආබාධ පැවති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම, මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් තුළ වෛරසයේ සාන්ද්‍රණය අධික බවටද තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හල ආශ්‍රිතව නිර්මාණය වූ කොරෝනා පොකුරට අදාළව අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, පොළොන්නරුව සහ රත්නපුරය යන ප්‍රදේශවලින් ආසාදිතයන් මේ වනවිට වාර්තා වනවා.

කෙසේ වෙතත්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට කොරෝනා ආසාදනය වීමේ මුලාශ්‍රය තවමත් තහවුරු වී නැහැ.

ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර, ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔහු රෝහලෙන් පිට සිදුකරන වෛද්‍ය සේවාවන්වලදී මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවටයි. මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පුද්ගලයෙකු මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොරෝනා වැළඳුණු සේවකයෙකුගේ මවක් මුතූර් – ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී මියගොස් තිබුණා. ඇය 64 හැවිරිදි වියේ පසු වූ යක්කල – වරපලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මේ අතර, කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමඟ ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මීට පෙර වෙන් කළ රෝහල්වලට අමතරව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලද යොදාගැනීමට පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතාව සතු තොරතුරු ලබාදීමට පොලිස්පති පාලක මැදිරියක් සහ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව 1933 ඍජු දුරකථන අංකයෙන් මෙන්ම 011 597 8701, 011 597 8719 සහ 011 597 8737 යන දුරකථන අංකවලින් අදාළ මැදිරි වෙත තොරතුරු ලබාදිය හැකියි.

එමෙන්ම විද්‍යුත් තැපෑල සහ ෆැක්ස් මගින්ද තොරතුරු ඉදිරිපත් කළ හැකි අතර, www.hirunews.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට අදාළ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

මේ අතර ඊයේ රාත්‍රියේ රාගම රෝහලෙන් පැනගිය බවට වාර්තා වූ කොරෝනා ආසාදිතයා රෝහලේ බාහිර රෝගී අංශයේ රැඳී සිටියදීම අද (07) පස්වරුවේ සොයා ගැනුණා. ඔහු රෝහල තුළම සැරිසරමින් සිට ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

*********************************************

හිටපු යුද හමුදාපති ස්කයිප් ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි දෙයි – ලතීෆ්ට නොතීසි

(07.10.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට අද (07) එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඔහු මීට පෙර කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි සහ අද (07) ලබාදුන් සාක්ෂි අතර පරස්පරතාවක් කොමිසමේ නිරීක්ෂණයට ලක්වීම හේතුවෙන්.

මේ අතර, කොරෝනා ගෝලීය වසංගත හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක සජීවීවි විඩීයෝ තාක්ෂණය ඔස්සේ අද (07) පස්වරුවේ ජනාධිපති කොමිසමට සාක්ෂී ලබා දී තිබුණා.

*********************************************

හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය

(07.10.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය රට පුරා දියත් කෙරුණේ සරණක් අවැසි අපේම මිනිසුන්ට පිහිටක් වෙමින් සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩපිලිවෙලට නොමසුරු දායකත්වයක් ලබාදෙමින්.

ඊට සමගාමීව හිරු ටී.වී. සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය එක්ව අද (07) රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනාකමකින් යුතු ආරක්ෂක ඇඳුම් කට්ටල සහ මුව ආවරණ, ආරක්ෂක අංශ වෙත බෙදාදීම සිදුකෙරුණා.

රට විවිධ ආපදාවන්ට මුහුණදුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු, කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමත් සමඟ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවන් වෙනුවෙන් මෙවරත් පෙරමුණ ගැනීමට කටයුතු කළා.

ඒ අනුව කොරෝනා මර්දන ක්‍රියාන්විතවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් මෙම ආරක්ෂක ඇඳුම් කට්ටල සහ මුව ආවරණ බෙදාදීම සිදුකෙරුණේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේදීයි.

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග හේමසිරි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතිඥවරුන් සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(07) ප්‍රතික්ෂේප කළා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා සමඟ තවත් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටි සැකකරුවෙකු සම්බන්ධව අධිකරණයට නියෝගයක් ලබාදිය නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් දැනුම් දුන්නා.

මේ අතර, දිවි නැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,991 ක මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ලබන 22 වැනිදා දැනුම්දෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

***************************************

2015 සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු වෙනුවෙන් විදේශ සංචාරවලට සහභාගි වූ එෆ්.සී.අයි.ඩී. නිලධාරින් 20 දෙනාට ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් ලෙස රුපියල් ලක්ෂ එකසිය හතලිස් එකක (141)මුදලක් වැය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

***************************************

වෛද්‍ය පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් රට රකින ජනහඬ සංවිධානය අදහස් පළ කළා.

රට රකින ජනහඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ධූරය සඳහා සුදුසුම පුද්ගලයා ඉවත් කර ඒ සඳහා අවම සුදුසුකමක් ඇති අයෙකු එම ධූරයට පත්කර ඇති බවයි.

***************************************

විදේශ කටයුතු අමාත්‍යාංශයේ, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් අංශයේ සියලුම සේවාවන් ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල සිදු නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

තොරතුරු විමසීම සඳහා 011 233 8836 සහ 011 233 5942 යන දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.

***************************************

කොවිඩ් 19 සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ උපදෙස් අනුව බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

ඒ, අද (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින්.

*********************************************

ගල්අඟුරු මිලදී ගැනීමේ පාඩුව බිලියන 1.1 ක්

(07.10.2020 – 17:13 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ගල්අඟුරු කැටවල ප්‍රමාණය සඳහන් නොවීම හේතුවෙන්, රුපියල් බිලියන 1.1 ක පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදි පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී එම කරුණු අනාවරණය විය.

ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම දිගුකාලීන ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අඟුරු මිලදීගැනීම සිදුකර ඇත්තේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව බව ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

එම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම මගින් සිදුකළ ගල්අඟුරු ම්ලදීගැනීම් සම්බන්ධයෙන් විමසීමට එම සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවමින් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී ය.

මෙහිදී දීර්ඝකාලීන ක්‍රමවේදයෙන් තොරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අඟුරු මිලදීගැනීම මගින් වෙළෙඳපොළේ සිදුවන මිල උච්ඡාවචනයවීමේ වාසිය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වූ බව එම නිලධාරීහු කමිටුවට පැවසූහ.

නමුත් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව යමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එම ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් මහතා මෙහිදී පෙන්වාදුණි.

‘නොරොච්චෝලේ ලක්විජය බලාගාරය’ ජාතික විදුලිබල පද්ධතියට එක්කොට ඇත්තේ මෙගාවොට් 900 විදුලි අවශ්‍යතාවයක් සපුරාලීමට වුවද එහි මෙගාවොට් 90 රික්තකයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

මේ අනුව සැබෑ වශයෙන්ම නිපදවෙන්නේ මෙගාවොට් 810 ක් පමණක් බවත් මෙගාවොට් 90 රික්තකයක් යනු නොසලකාහැරීමට නොහැකි විදුලි අවශ්‍යතාවක් බව කෝප් කමිටුව හමුවේදී අනාවරණය විය.

අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු ලේකම්වරයා අවස්ථා 8 කදී ප්‍රසම්පාදන කමිටුවේ නොසිට අතිරේක ලේකම්වරයෙක් ඒ සඳහා යොදවා ඇති බව අනාවරණය වී ඇති බවත් මේ නිසා ගන්නා තීරණ නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් කෝප් කමිටුවේදී අවධානයට ලක්විය.

කෙසේ නමුත් අතිරේක ලේකම්වරයෙක් මේ සඳහා යෙදවීමට හැකියාව පවතින බව පැමිණ සිටි නිලධාරීන් පැවසීය.

එය නිවැරදිද යන්න සොයාබලා වහාම වාර්තාවක් කොප් කමිටුවට ලබාදෙන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.

මිලියන 1100 වියදමින් ලංකා බිදුලිබල මණ්ඩලය මිලදීගත් බත්තල් 3 ක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිහරණයට ලබාදී ඇත්තේ ඇයිද යන්න පිළිබඳව කමිටුවේදී ප්‍රශ්න කෙරුණු අතර එම බත්තල් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදුන් ක්‍රමවේදය, ඒවා නඩත්තුකිරීමට නොහැකිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වාර්තාවක් වහා ලබාදිය යුතුයැයි කොප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කළේය.

එසේම ගල්අඟුරු සැපයීම සම්බන්ධව වසර 5 පලපුරුද්දක් අවශ්‍ය බව පුවත්පත් දැන්වීම්වල පළකොට තිබුණද අයදුම්පත් නිකුත් කිරීමේදී වසර 3 පලපුරුද්ද සහිත ආයතන වෙත අයදුම්පත් නිකුත්කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි.

මේ නිසා ගල්අඟුරු සමාගමට අවාසි සහගත තත්ත්වයක් ඇතිවී ඇති බවද කමිටුවේ අදහස විය.

ලංසු කැඳවීමේ අවසන් දිනය පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් නොපවතින බවත් කමිටුව විසින් මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ලදි.

මේ කාරුණු පිළිබඳව විධිමත්ව සොයාබැලිය යුතු බව කමිටුව තීන්දු කළේය.

ගල්අඟුරු මිලදීගැනීමට ශ්‍රී ලංකා නැව් සංස්ථා සම්බන්ධවීම මගින් සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමය යටතේ වෙනත් ආයතනයක් හරහා ගල්අඟුරු මිලදීගැනීමට වඩා පාඩුවක් සිදුවන්නේද යන්න පිළිබඳව ද කමිටුවේ අවදානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් සොයාබලා හැකි ඉක්මනින් වාර්තාවක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවටද මෙහිදී කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

එසේම ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා නැව් සංස්ථාව, ලංකා ගල්අඟුරු සමාගම, අදාළ රේඛීය අමාත්‍යාංශය යන ආයතන 4 නිතර හමුවී සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද කමිටුවේ අවදානය යොමු වූ අතර ඩීසල් බලාගාර සහ ගල්අඟුරු බලාගාර සඳහා යන වියදම පිළිබඳව ද, කොප් කමිටු සාමාජිකයන්ගේ අවදානය යොමුවිය.

සාකච්ඡා කළ මෙම කරුණු සම්බන්ධව සියලු වාර්තා මාසයක් ඇතුළත කොප් කමිටුව වෙත ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් මෙහිදී අවසාන වශයෙන් නිර්දේශ කරන ලදි ෴

***************************************

නේවි රුවන් අත්අඩංගුවට

(07.10.2020 – 16:30 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නේවි රුවන් සහ ඔහුගේ ගෝලයෙකු හෙරොයින් සමග කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ට කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු පවතින අතර වරෙන්තු ද නිකුත් කර ඇති බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

ලද තොරතුරකට අනුව කොබෙයිගනේ පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ පහල කොබෙයිගනේ ප්‍රදේශයේ වැටලීමක් සිදුකළ අතර එහිදී හෙරෝයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 830 ක්, මෝටර් රථයක්, ජිප් රථයක්, ජංගම දුරකථන 06 ක්, සිම්පත් 11 ක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම සැකකරුවන් 26 සහ 42 යන වයස්වල පසූවන රත්නපුර හා පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන්‍ වෙයි.

සැකකරුවන්ට හෝමාගම, අවිස්සාවේල්ල, පූගොඩ හා ගංගොඩවිල අධිකරණවල කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු පවතින බවද අනාවරණය වී තිබේ.

සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා කොබෙයිගනේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති ෴

*********************************************

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්

(07.10.2020 – 22:45 +0530 – sinhala.adaderana.lk)

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබෙන කාලය පිළිබඳව, අපේක්ෂකයින් විභාග ශාලාවල අසුන් ගැන්වීම සම්බන්ධව, මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම යනාදී කරුණු ගණනාවක් පිළිබඳව දැනුවත් කරමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

ඉන් දෙමව්පියන් සඳහාත් උපදෙස් නිකුත් කර ඇති අතර විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව යා හැකි පරිදි පාසලෙන් ලබා දුන් උපදෙස් අනුව දරුවන් පාසැල වෙත රැගෙන යායුතු බව දැනුම් දෙයි.

තවද, දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු නොවිය යුතු බව සඳහන් වේ.

(එම සම්පූර්ණ නිවේදනය පහතින්)

*********************************************

කොවිඩ් තත්ත්වය ගැන බ්‍රැන්ඩික්ස් ආයතනය නිකුත් කළ නිවේදනය

(07.10.2020 – 20:27 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසයි.

විශේෂ ගුවන් යානා මගින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනාම රජයේ නිර්දේශ මත දින 28 ක නිරෝධායනයට ලක් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය:

2020 ඔක්තෝබර් 7

අපගේ සමාගමට අයත් මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ COVID-19 වෛරසය ආසාදන තත්ත්වයක් නිසා ඇති වී තිබෙන ආපදා තත්ත්වය පාලනය කිරීමේ අභියෝගයට අපි මුහුණදෙමින් සිටිමු. මෙම ක්‍රියාවලිය පුරා, විනිවිදභාවය උපරිම අයුරින් ආරක්ෂා කිරීම සඳහා මහජනතාවට ඇතිවන ඕනෑම ගැටලුවක් පැහැදිලි කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු.

අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ විදෙස් ජාතිකයන් සේවය කළ බවට යම් ගැටලුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. මෙම කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළත් නොවූ බව දන්වා සිටිමු. අපගේ කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත නොකළ බවත්, අපගේ ඉන්දියාවේ පිහිටි කර්මාන්තශාලාවෙන් කිසිදු ඇනවුමක් භාරනොගත් බවත් පැහැදිලි කරමු.

විශේෂ ගුවන්යානා යොදවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කාර්යමණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ද මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. ඉන්දියාවේ විශාකාපට්නම්හි පිහිටි අපගේ කාර්මාන්තශාලාවේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප විසින් විශේෂ ගුවන්යානා තුනක් යොමු කරන ලදි. COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා, PCR පරීක්ෂණ සිදුකිරීම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං-නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කළ බව අපි සහතික වන්නෙමු. තවද, මෙම ශ්‍රී ලාංකිකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු නොවූ බව ද සහතික වන්නෙමු.

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවෙන් වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාවක හමුවීමෙන් අනතුරුව, අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට රැකියාවට වාර්තා කරන ලෙස අප බලකර සිටි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය විය. එම වීඩියෝවේ කැපීපෙනෙන කාන්තාව නේවාසිකාගාරයක් පවත්වාගෙන යන තැනැත්තියකවන අතර, ඇගේ නේවාසිකාගාරයේ නවාතැන්ගෙන ඇතැයි එහි සඳහන් කරන සේවිකාවන් සහ අධීක්ෂණ නිලධාරිනිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගත් තුන්වන පාර්ශ්වයේ පිරිසිදු කිරීමේ සේවා සම්පාදක ආයතනයකට අනුබද්ධිත සේවිකාවන් තිදෙනෙකි. එම වීඩියෝවේ සඳහන්වන කිසිවෙකු බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන් නොවන බව මෙයින් තහවුරු කරමු.

අපගේ රට මෙම ආපදා තත්ත්වයෙන් නැගී සිටීම සඳහා සාමූහික ප්‍රයත්නයක නිරතවන මෙවන් මොහොතක, වෛරසයෙන් ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට දායකත්වය ලබාදෙන අතරම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සුබසෙත තහවුරු කිරීමට අපි අඛණ්ඩව කැපවෙමු.

*********************************************

මැතිවරණයෙන් පසු උපාසකලා වූ බදියුදීන්ලා

(07.10.2020 – colomboxnews.com)

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයාට ඡන්ද 69 ලක්ෂයකුත් මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ප්‍රමුඛ එහි සන්ධානගත පාර්ශවවලට ඡන්ද 71 ලක්ෂයක් ලබා දුන් පුරවැසියන් සිතා සිටියේ බදියුදීන්ලා bad boys ලා කියාය.

සත්‍යය සැමදා යටපත් කිරීමට නොහැක. දැන් ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරා වූ රියාජ් බදියුදීන් කුරා කූඹියෙකුටවත් කරදරයක් නොකළ අහිංසක කොල්ලන් දෙන්නෙක් බව විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මරණයට හා පීඩාවට පත් පවුල්වල ජනතාවට ඔප්පු කර හමාරය. එය ලොකු පිනකි. එම පිනේ හිමිකරුවන් වන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවය. එම දෙපාර්තමේන්තුවේ දක්ෂකම නොවන්නට මේ අහිංසක බදියුදීන් සොහොයුරන් දෙදෙනා නොකළ වරදකට දඬුවම් විදිනු ඇත. සමාජයේ ඇනුම් බැනුම් වලට ලක්වනු ඇත.

බදියුදීන් සොහොයුරන් පාස්කු ඉරුදින මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදයට මූල්‍ය හා වෙනත් පහසුකම් සපයා එම අන්තවාදීන් ශක්තිමත් කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. එය හමාර වූයේ රිෂාඩ්ගේ සොහොයුරා ඉකුත් අප්‍රේල් මස 14 වැනි දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙනි.

බෝම්බකරුවන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වීම, එක් බෝම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේදී එක්තරා හෝටලයක දී සාකච්ඡා කිරීම, විශේෂ සුභසාධක සමිති සමාගම් ඇතිකර බෝම්බකරුවන් සමග ඒ ආයතන වල නිලතල දැරීම, එම සමාගම්වල බෝම්බකරුවන් සමග මුදල් ආයෝජනය කිරීම, බෝම්බකරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම රිෂාඩ්ගේ සොහොයුරාට එල්ල වූ චෝදනා අතර වේ.

මාස 5ක් පුරාවට රඳවා ගෙන ප්‍රශ්න කළ ද මේ චෝදනා එකක්වත් සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි සොයා ගැනීමට නොහැකිකම මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව රියාජ් බදියුදීන් නිදහස් කරන ලද්දේ අවම තරමින් අධිකරණයකටවත් ඉදිරිපත් නොකරය. ඊට සමගාමීව ඔහු නිදහස් කරන අවස්ථාවේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි නුවන් වෙදසිංහ හට ස්ථාන මාරුවක් ලැබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය මාරුකිරීම් ක්‍රියා පටිපාටියට අනුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා සඳහන් කර තිබෙන්නේ ජනතාව තුළ යම් කුකුසක් ඇති නම් එයද පහව යන පරිද්දෙනි.

අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ මෙම වික්‍රමයෙන් සලිත වූයේ අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 250 කට ආසන්න අධික පිරිසත් තුවාල ලැබූ 500 කට අධික පිරිසත් ඒ අතර සිටින සදාකාලිකව ආබාධිතයන් වූ පිරිසත් සිහි වූ උන්වහන්සේ මගේ මිනිස්සු තාමත් දුක් විඳිනවා යැයි පවසමින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් සමඟ තිබෙන දේශපාලන ඩීල් එකක් මත රියාජ් බදියුදීන් නිදහස් කළා දැන් ප්‍රසිද්ධියේම ප්‍රශ්න කරන ලදී. එය නම් වැදගත් ප්‍රශ්නයකි.

නීති විශාරදයන් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රේමනාත් සී දොලවත්ත වැන්නවුන් රියාජ් බදියුදීන් අධිකරණයකට ඉදිරිපත් නොකොට මෙහෙම නිදහස් කළේ කොහොමද කියා අහන්නේ ඒ නිසාය.

දේශපාලනය ගැන දන්නා අය කියන්නේ රිෂාඩ් බදියුදීන්ගේ ගුරා බැසිල් රාජපක්ෂ කියාය. කොටින්ම රිෂාඩ් නිර්මාණය කළේ බැසිල් කියාය. බැසිල් සිය ගෝලයාට විල්පත්තුව සුද්ද පවිත්‍ර කර හිතවතුන්ට බෙදා දීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ ද තිබුන ගුරු ගෝල සම්බන්ධය දැඩි නිසාය. 2015 ජනාධිපතිවරණය ආසන්නයේ ගෝලය ප්‍රතිවිරුද්ධ කඳවුරට පැන්නේය.

දැන් ආණ්ඩුවේ එකම ප්‍රමුඛතාවය වී තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ 150 ක් සොයා ගැනීමය. රිෂාඩ්ගේ මන්ත්‍රීවරුන් 4 දෙනාගේ සහාය කෝටි 200 කට වඩා වටින්නේ ආණ්ඩුව තුළ ම පිරිසක් ඊට විරුද්ධ වීම නිසා ය. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනටමත් අනතුරු අඟවා හමාරය. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ද සිටින්නේ වැඩ උඩය. විමල් විරවංශ අමාත්‍යවරයා හා ඔහුගේ පක්ෂයේ ඉන්න හයදෙනා 20 ගැන සිටින්නේ නොසතුටිනි.

රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ මේ පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේය. ඔහුට චෝදනා පැටවූයේත් මේ ආණ්ඩුව යටතේය. ඔහුට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නැති බව පවසා ඔහුව නිදහස් කරන්නෙත් මේ ආණ්ඩුව යටතේය. එනිසා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිය තනිමතයට රියාජ් බදියුදීන් නිදහස් කළේ යැයි සිතන්නේ මන්ද බුද්ධිකයෙක්ය.රිෂාඩ් බදුදීන් නිදහස් කිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද, ඊට හේතු කුමක්ද? යන්න අබ ඇටයක තරම්වත් මොලයක් තියෙන කෙනෙකුට තේරුම් ගැනීමට පිළිවන.

රිෂාඩ් බදුර්දීන් ඇතුළු ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම 20 දී ආණ්ඩුවට සහය වීම පිළිබඳව දැන් අලූත් කතාවක් සමාජගත කර තිබේ. ඒ විපක්ෂයේ සිට ම 20 ට සහය දෙන බවටය. එයද හතර බීරි කතාවකි.

දැන් මේ ආණ්ඩුව කියන්නේ ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයකුත් මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එහි සන්ධානගත පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ 3 න් 2 ක් ලබා දුන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සදහා බවය. තර්කය එය නම් රිෂාඩ් බදියුදීන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ සමගි ජන බලවේගයට ජනතාව ඡන්දය දුන්නේ ඊට ප්‍රතිවිරුද්ධවය. රිෂාඩ් බදියුදීන්ලාද එම ප්‍රතිවිරුද්ධ මතවාදයේ කොටස්කරුවන්ය. ඒ අනුව ඔවුන් පෙනී සිටිය යුත්තේ 20 ට පක්ෂපාතීව නොව 20 ට විරුද්ධවය. 20 ට පක්ෂපාතීව ඡන්දය දීමට රිෂාඩ් ඇතුළු විපක්ෂයේ කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. අපේ දේශපාලනඥයන් තුළ නැත්තේද ඔන්න ඔය සදාචාරය. එය දැන් බල්ලට ගොස්ය.

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට චරිත සහතිකයක් දුන්නෙ නීතිය හා සාමය විෂය භාර ඇමැති චමල් රාජපක්ෂය. රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ත්‍රස්තවාදී සිද්ධීන්ට සෘජුවම සම්බන්ධයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් නොමැති නිසා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඔහු නිදහස් කළ බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා කියන ලදී. ඒ කියන්නේ රියාජ් බදියුදීන් මාස 5 මාරක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන තිබෙන්නේ එහි පාලු මකන්නටය.

පොලිස් විෂය භාර අමාත්‍යවරයාගේ මෙම අර්ථ දැක්වීමෙන් පෙනී යන්නේ බදියුදීන්ලා මුස්ලිම් වුවත් හතර පෝයට සිල් ගන්නා උපාසකලා දෙන්නෙක් බවය.

පසුගිය ජනාධිපතිවරණයේදී පුරවැසියා තනි සිංහල ජන්දයෙන් ජනාධිපතිවරයෙකු පත් කළේ රිෂාඩ් බදියුදින්ලා, රවුෆ් හකීම්ලා, හිස්බුල්ලා, අසාත් සාලිලාගේ ඉස්ලාම් අන්තවදයට ප්‍රතිවිරෝධයක් දැක්වීමක් හැටියටය. තමන් තනි සිංහල ජන්දයෙන් පත් වූ බව ගෝඨාභය රාජපක්ෂ රුන්වලි මහා සෑ සමිඳුන් අභියසදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රසිද්ධියේම පිලි ගත්තේය.

දැන් ඉතින් ඒ කාරිය කෙරී අවසන්ය. කෙසේ වෙතත් පුරවැසියාට තමන් එදා දුන් ජන්දයට සාධාරණයක් ඉටු වී ඇත්දැයි නැත්දැයි යන්න 20 සම්මත කර ගැනීමට රිෂාඩ්ලා හකීම්ලා දක්වන ප්‍රතිචාරය මත තේරුම් බේරුම් කර ගැනීමට පුළුවන.

(මංජුල බටුගෙදර)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *