Brandix ඉන්දියාවෙන් 60 ක් ගෙන්වූ බවට ලිපියක් ආන්දෝලනයට – බ්‍රැන්ඩික්ස් දුන් උත්තරේ මෙන්න

Brandix සේවකයන් 60 ක් ඉන්දියාවෙන් මත්තලට ගෙනත්

කොරෝනා අතරේ MRI ලොක්කා ඉවත් කිරීම මතබේදයට – වංචා කරුවන්ගේ උවමනාවක් ?

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළු ‘දේපොළ’ රජයට පවරා ගැනීමට නිර්දේශ කෙරේ

විස්ස පස්ස ගස්සන්නට නීතිඥයෝ හා වෘත්තීය සමිති එක් වෙති

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

පොලිස් බල ප්‍රදේශ 18 ක ඇඳිරි නීතිය තවදුරටත්

ඊයේ (07) ආසාදිතයින් 207 යි – බ්‍රැන්ඩික්ස් පොකුර 1034 යි

14 සිට 21 දක්වා ඩෙංගු සතියක්

සීදුව, කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළින් ආසාදිතයින් 30 ක්

සිවලෙකු සපා කෑමෙන් කුඩා දැරියක් හොරණ රෝහලට

යහපාලනයේ FCID නිලධාරීන් 20 කට විදේශගතවෙන්න ලක්ෂ 141 ක් ගෙවලා, තුසිත් මුදලිගේ ඇතුළු උපදේශකයන්ට දුන් දීමනාත් හෙළිවේ

නේවි රුවන් කොබෙයිගනේදී අල්ලයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට අද (08) ලැබෙන අවසන් අවස්ථාව

*********************************************

Brandix සේවකයන් 60 ක් ඉන්දියාවෙන් මත්තලට ගෙනත්

(08.10.2020 – 02:00 +0530 – mawbima.lk)

මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව ආශ්‍රයෙන් ඇති වී දැනට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරේ මූලාශ්‍රයන් සොයා ගැනීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ අපොහොසත්ව ඇති වතාවරණයක් තුළ අදාළ කර්මාන්තශාලාව තුළ කොරෝනා ආසාදිතයන් ඇතිවීමට ආසන්නම හේතුව ඉන්දියාවේ සිට පැමිණි සේවකයන් පිරිසක් විය හැකි බවට සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයකට ලක්වී ඇත.

මේ අතර Brandix ආයතනය විසින් විශේෂිත ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොළ හරහා ඉන්දියාවේ විශාකාපට්නම්හි සිට 60 දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙරටට ගෙන්වා ගත් බවට සඳහන් ලියවිල්ලක් ඊයේ (07) සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමක් සමඟම නැවතත් ආන්දලනාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.

අදාළ ලියැවිල්ලට අනුව සැප්තැම්බර් 22 වැනි දින පස්වරුවේ UL 1159 දරන ගුවන් යානයෙන් අදාළ සේවකයන් පිරිස මත්තලට ළඟා වී ඇත.

මෙයට පෙර අදාළ කර්මාන්තශාලාවේ ඉන්දියානු ජාතිකයන් පිරිසක් සේවය කළ බවටද රාවයක් පැතිර ගියේය.

මේ පිළිබඳව කළ විමසීමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන්දියානු ජාතිකයන් එහි සේවය කළ බවට පළවන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

මේ අතර Brandix ආයතනය විසින් සැප්තැම්බර් 22 වැනිදා මෙරටට විශේෂ ගුවන්යානයකින් පිරිසක් රැගෙන ආ බවට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන බී. කන්දීපන් මහතා තහවුරු කළේය.

අදාළ ගුවන් යානයෙන් සේවකයන් ගෙනා බවට තොරතුරු ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගැනීමක් සමඟම Brandix ආයතනය ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය.

එම නිවේදනයෙන් හෙළි වූයේ අදාළ ආයතනය මඟින් විශාකාපට්නම් සිට එක් ගුවන් යානයක් නොව ගුවන් යානා තුනක් මඟින් එහි ඇති කර්මාන්තශාලාවේ සිට ශ්‍රී ලංකාවට කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

අදාළ පිරිස් දින 28ක් අනිවාර්ය නිරෝධායනයට ලක් කළ බවත් රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානවල සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටි බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර ඉන්දියාවෙන් කිසිදු ඇනවුමක් භාරනොගත් බවටත් ඉන්දියාවෙන් ගෙන්වූ රෙදිපිළි භාවිත නොකළ එම සමාගම පවසයි.

අප පුවත්පත මඟින් වැඩිදුරටත් සිදුකළ විමසීම්වලදී හෙළිවූයේ අදාළ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් කිසිදු මැදිහත්වීමක් සිදුනොවූ බවයි.

යුද හමුදාපතිවරයාගෙන් සිදුකළ විමසීමකදී අදාළ සේවකයන් කොස්ගොඩ ෂෙරටන් හෝටලයේ නිරෝධායනය සඳහා යොමු කළ බව තහවුරු විය. නමුත් ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් බව දකුණු පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනු ලැබීය.

සැප්තැම්බර් 22 වැනිදා පැමිණි පිරිස පෙරේදා (6දා) දිනයේදී දින 14ක නිරෝධායන කාල සීමාව නිම කිරීමට තිබුණද ඔවුන් නිරෝධායනය නිම කරන අවස්ථාවේදී හෝ දෙවැනි වර පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමක් සිදු නොවූ බව ඔවුන් තහවුරු කරනු ලැබීය.

අප කළ විමසීම්වලදී අනාවරණය වූයේ Brandix ආයතනයේ සේවක පිරිස් මෙරටට ගෙන්වීම හා ඊට අදාළ ක්‍රියාපටිපාටියන් පෞද්ගලික අංශයේ වෙනත් ආයතනයක මැදිහත් වීමෙන් සිදුකරන ලද්දක් බවයි.

+++++++++++++

+++++++++++++

බ්‍රැන්ඩික්ස් පාලනාධිකාරියේ ක්‍රියාමාර්ග ගැන විමර්ශනයක් කළ යුතුයි

(08.10.2020 – 02:00 +0530 – mawbima.lk)

බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ ඉකුත් සති කිහිපය පුරා උණ සහ ශ්වසන රෝගීන් බොහෝ පිරිසක් සිටියදී ඒ පිළිබඳව පාලනාධිකාරිය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ එම රෝගීන්ගේ රෝග ලක්ෂණ නිසි අයුරින් අවධානයට නොගැනීම පිළිබඳව විමර්ශනයක් කොට ඇත්ත නැත්ත සොයාගත යුතු බවත්, යම් හෙයකින් එම ආයතනයේ පාලනාධිකාරිය වගකීම් විරහිතව හැසිරී ඇත්නම් එය අතිශය වැරැදි සහගත ක්‍රියාවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති නාරිවේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර මහතා පවසයි.

‘මව්බිම’ මේ පිළිබඳව කළ විමසීමකදී වෛද්‍යවරයා පැවැසුවේ යම් දෙයක් සිදුවූ පසු චෝදනා කිරීම සමාජයේ සාමාන්‍ය සිරිත වුවත්, මේ ආයතනයේ සේවය කළ පිරිස්වලට රෝග ලක්ෂණ මතුවී තිබූ කාල වකවානු හා ඔවුන්ගේ ස්වභාවය පිළිබඳව විමර්ශනයක් කිරීම අතිශය වැදගත් බවත් හෙතෙම අවධාරණය කරයි.

පැහැදිලිවම එක් පාර්ශ්වයකට පමණක් ඇඟිල්ල දිගුකොට චෝදනා කළ නොහැකි නම් මඟ හැරුණු කාරණා බොහොමයක් ඒ වටා පැවතුණ බවද වෛද්‍යවරයා තවදුරටත් පැවැසීය.

උණ රෝගය තිබූ සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජන කිරීමේ ක්‍රමවේදයක් නොතිබුණු බවත්, යම් හෙයකින් කොරෝනා රෝගියකු හා ගැටුණු අයකු හෝ පිටරට සිට පැමිණෙන අයවලුන් පමණක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජන කෙරුණු බවත් හෙතෙම පැවැසීය. වසංගත රෝග විද්‍යා අංශයට එවැනි පරීක්ෂණ වැඩි කිරීමේ ප්‍රවණතාවක් නොතිබුණු බවත්, පරීක්ෂණ වැඩි කිරීමේ අඩුපාඩුව පසුගිය කාලය පුරාම පැවැති බවත්, හෙතෙම පවසයි.

කොරෝනා ආසාදිතයකුගේ ඇසුරක් නොමැති වුවත් දිගින් දිගටම පැවැති උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අතිශය අහඹු ලෙස අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සැක සිතී මේ කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ බවත් පවසයි. විදේශයන්හි සිට පැමිණෙන පිරිස් වෙත යුද හමුදාව විසින් මෙතෙක් තමන් පනවා තිබූ නිරෝධායන නීති කිසිවක් ලිහිල් නොකර අනුගමනය කිරීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය වී පැවැති බවත්, සමස්තයක් ලෙස කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට සියලුදෙනාටම වගකීමක් ඇති බවත් හෙතෙම අවධාරණය කළේය ෴

++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේම සේවිකාවක් හෙළි කරයි …

(08.10.2020 – 02:00 +0530 – mawbima.lk)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් තුළ කොරෝනා රෝග ලක්ෂණ මුලින්ම මතුවී ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා සිට බව සේවක ආරංචි මාර්ගවලින් කියැවේ.

මේ අනුව, වරින් වර උණ, සෙම්ප්‍රතිශ්‍යාව හා කෙටි කැස්සට ගොදුරු වී ඇති සේවක සේවිකාවන් බහුතරයකට ආයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළින් ලබාදී ඇත්තේ වේදනා නාශක ඖෂධ පමණි.

“මේ විදියට සැප්තැම්බර් 27 වැනිදා වනවිට සැලකිය යුතු පිරිසක් රෝගාතුර වුණා. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ආයතනයේ ඇතැම් නිලධාරීන් කටයුතු කළේ නැහැ. අද වනවිට ආයතනය බලවත් අසීරුතාවකට පත්වී ඉන්නේ මේ දුරදිග නොබලා කටයුතු කළ නිලධාරීන් නිසයි.

ඔවුන් හැම වෙලාවම ලෙඩ වුණු අයව ආයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානයට යොමු කරලා වේදනා නාශක බෙහෙත් පමණක් ලබාදුන්නා.”

මෙසේ කියන්නේ දැනට ආසාදිතව ප්‍රතිකාර ලබන සේවිකාවකි.

මීට අමතරව, පසුගියදා ඉන්දියාවෙන් ආනයනය කළ රෙදි සම්බන්ධවද සැකයක් මතුවී තිබෙන බව ඔවුහු සඳහන් කරති. මේ රෙදි පිළි භාවිත කර ඇඟලුම් නිෂ්පාදනය ඇරැඹු කාලයක කොරෝනා වසංගතය ව්‍යාප්තවීම පිළිබඳව වගකිව යුතු අයගේ අවධානය යොමුවීම වැදගත් බව ද ඇය සඳහන් කරයි ෴

*********************************************

කොරෝනා අතරේ MRI ලොක්කා ඉවත් කිරීම මතබේදයට – වංචා කරුවන්ගේ උවමනාවක් ?

(08.10.2020 – 04:43 +0530 – truenews.lk)

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ගේ යහපත සඳහා බව ‘රට රකින ජනහඬ’ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගිය 05 වැනිදා තනතුරෙන් ඉවත් කරනු ලැබුවා.

මේ සම්බන්ධව ඊයේ (07 වැනිදා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණි. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.

“රට රකින ජනහඬ සංවිධානයේ පළමු ලේකම්වරයා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරය දැරූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යි. වෛද්‍ය පර්‌යේෂණ ආයතනය සක්‍රිය වුණේ එතුමා එහි වැඩබලන අධ්‍යක්ෂ ධුරයට පත් වුණාට පස්සේ . ඒක මම කියන කතාවක් නෙවෙයි. ඒ, අගමැති මහින්ද රාජපක්ෂ කියපු කතාවක්. වෛද්‍ය ජයරුවන් හිටියේ වැඩබලන තනතුරක. ඒ සඳහා නිසි පුද්ගලයෙක් පත්කළ යුතු නිසා ඒක කළා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. අළුයට ගිනි වගේ කොරෝනා මතුවෙනකල් ඉන්න ඕනෑ වුණාද ඔහුව තනතුරෙන් ඉවත් කරන්න? ඔහු කොරෝනා රෝගය මැඬලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක්. මෙවැනි අවස්ථාවක ඔහුට වරප්‍රසාද දීලා ඉහළින් ඔසවා තැබීමයි කරන්න ඕනෑ. නමුත් ඔහුව දෙවැනි පුටුවෙන් තැබුවා. එතැනට දානවා නම් මීට වඩා සුදුසුකම් තියෙන කෙනෙක් පත් කරන්න ඕන. දැන් පත්කර තිබෙන වෛද්‍යවරයට වඩා සුදුසුකම් තිබෙන අය තව ඉන්නවා. මෙය වෛද්‍ය ජයරුවන්ට කළ අවමානයක්. මෙය ඔහුගේ සේවය නොසලකා හැරීමක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් බලධාරීන් වැඩකරන පුද්ගලයන්ට කැමැති නෑ. වැඩකරන පුද්ගලයන් නිසා වැඩනොකරන පුද්ගලයන්ගේ නිරුවත ප්‍රදර්ශනය වෙනවා.

ජනාධිපතිතුමනි, මේක දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නෙවෙයි. සවුත්තු දෙපාර්මේන්තුවක් වෙලා තියෙන්නේ. ඇතැම් වෛද්‍යවරුන්ට පරිපාලනයත් බෑ වෙදකමත් බෑ. ඇතැම් වෛද්‍යවරුන්ට පරිපාලනයට ආවම වෙදකම අමතකයි.

අද මේ රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයේ වැඩ කරන්නෙත් වැඩබලන කෙනෙක්. ඔහු අවම සුදුසුකම් තියෙන කෙනෙක්. සුදුසුකම් ඇති පුද්ගලයන්ව පැත්තකට දාලා. වැඩනොකරන පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමේ ආදීනව අපි භුක්ති විඳිමින් සිටිනවා.

යම් කෙනෙකුගේ බලපෑමට ජයරුවන් බණ්ඩාර වෛද්‍යවරයා තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ වුණා නම් එතුමා කළ සේවයට නිසි ඇගයීමක් දීලා එය කරන්න. ඔහු නිසි තනතුරකට පත්කරන්න. නමුත් හොද්දට දාපු කරපිංචා කෑල්ල වගේ ඔහුව තනතුරෙන් ඉවත් කළා.”

*********************************************

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළු ‘දේපොළ’ රජයට පවරා ගැනීමට නිර්දේශ කෙරේ

(08.10.2020 – 04:14 +0530 – truenews.lk)

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තා​ වනවා.

එසේම එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ අනුව එම දේපොළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මහ බැංකුවේ මැදිහත්වීමෙන් එම සමාගම් සමූහය සතු දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුව ඇත්දැයි සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මාසයේදී මෙම කොමිසම පත් කෙරුණා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි සභාපතිත්වය දැරූ එම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකර යන අයයි.

එම සමාගම සතුව තිබූ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විදේශ සමාගම් කිහිපයකට විකිණීම සිදුව ඇත්තේ මෙරට නීතියට පටහැනිවද යන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමද මෙම කොමිසමට පැවරී තිබෙනවා.

කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා ෴

***************************************

(08.10.2020 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17 ක් ආශ්‍රිතව මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළේ මේ වනවිට යතුරු පැදි 18 ක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ෴

*********************************************

විස්ස පස්ස ගස්සන්නට නීතිඥයෝ හා වෘත්තීය සමිති එක් වෙති

(08.10.2020 – 06:44 +0530 – lankaleadnews.com)

රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන ඕනෑම මොහොතක නීතිඥයන් එයට එරෙහිව කටයුතු කළ යුතු බව අවධාරණය කරන මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් එය තම ප්‍රජාවේ යුතුකමක් බව මතක් කර දී තිබේ.

“මොකද නීතිය හදාරලා වසර ගණනාවක් නීතිය පිළිබද පළපුරුද්ධ සහ අධ්‍යාපනය ලබපු මිනිස්සු විදිහට රටක ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙනවානම් සහ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව යම් හෝ සිදු වීමක් සිද්ධ වෙනවානම් එයට විරුද්ධව කටයුතු කිරීම අපේ යුතුකමක් විදියට සලකනවා පුරවැසියෝ සහ නීතිඥවරුන් වශයෙන්.”

නීතිඥ අචලා සෙනවිරත්න ඒ සිහිපත් කිරීම කළේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පරාජය කිරීම සඳහා ඔක්තෝබර් 6 අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පැවැත්වු නිහඩ විරෝධතාවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවහොත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මිනිස් අයිතිවාසිකම් වලට විශාල අනිටු බලපෑමක් සිදු කරන බව පැවසු ඇය එහිදී වැඩි දුරටත් අවධාරණය කළේ ආණ්ඩුවේ සැලසුම සාර්ථක වුවහොත් ඒකාධිපති ජනාධිපතිවරයකු නිර්මාණය වන බවයි.

ජනතා නීතිඥයෝ සංවිධානය සහ 20 ට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරය ඒකාබද්ධව සංවිධානය කර තිබු මෙම විරෝධතාවයේදී වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් චෝදනා කළේ විසි වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය බරපතල ලෙස හෑල්ලු කිරීමට ආණ්ඩුව සුදානම් වන බවයි.

“අපි දන්නවා දැන් අග්‍රවිනිශ්චකාරතුමා ඇතුලු සියලුම විනිශ්චකාරවරු පත් කිරීමේ බලය තිබුනේ ව්‍යවස්ථා දායක සභාවට. විසි වැනි සංශෝධනය හරහා ඒ සමස්ත බලයම ජනාධිපතිවරයාට අරගෙන තියෙන්නේ. එතකොට ජනාධිපතිවරයා තමයි පත් කරන්නේ. ඊලගට අපි දන්නවා දැන් පාර්ලිමේන්තු සභාවෙන් නිර්දේශය පමණයි ලබා ගන්නේ. අනුමැතිය ඔනත් නැ. එතකොට අග්‍රවිනිශ්චකාරතුමා පත් කරන්නෙත් ජනාධිතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කරන්නෙත් ජනාධිපතිවරයා. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් පත් කරන්නෙත් ජනාධිපතිවරයා.”

මෙම තත්වය මෙටේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිත්වය දක්වා ගමන් කිරීමක් බවයි ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා එහිදී වැඩි දුරටත් සදහන් කළේ.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධය පළ කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් එහිදී තවදුරටත් අවධාරණය කළේ රටේ ජනතාව දැනුවත් කරමින් වැඩ කරන පංතිය සහ නීතිඥ ප්‍රජාව ඒකාබද්ධ වූ අරගලයක් අනිවාර්යෙන්ම සිදු කරන බවයි.

*********************************************

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

(08.10.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාළාවක් නිකුත් කර තිබෙනවා.

එම උපදෙස් පහතින් :

*********************************************

පොලිස් බල ප්‍රදේශ 18 ක ඇඳිරි නීතිය තවදුරටත්

(08.10.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, මීගමුව කොට්ඨාශයේ සීදුව පොලිස් බල ප්‍රදේශයටත්, කැලණිය කොට්ඨාසයේ ජාඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටත්, ගම්පහ පොලිස් කොට්ඨාසයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල, යක්කල පොලිස් බල ප්‍රදේශවලටත් නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතීය ක්‍රියාත්මකයි.

මේ දක්වා ඇඳිරි නීතිය කඩකළ 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 18 ක්ද සිය භාරයට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ කන්සියුලර් සේවා අද සහ හෙට තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කන්සියුලර් කටයුතු සිදු නොවන අතර, විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබඳව විමසීම, මරණ සම්බන්ධයෙන් ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන් කරගැනීමේ පදනම මත භාරගන්නා බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

විදේශයන්හි සිදුවන මරණ සම්බන්ධයෙන් 011 233 8836, 011 233 5942 දුරකථන අංකවලින්ද අපනයන ලේඛන සහතික කිරීම, 011 233 8812 යන දුරකථන අංකයද ඇමතීමෙන් වේලාව වෙන්කරගැනීමට හැකියාව පවතිනවා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් කොරෝනා රෝගය හමුවේ ආගමික වතාවත් සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිරන්තරයෙන් පිළිපැදිය යුතු අතර, ආගමික ස්ථානවල ඒකරාශිවීමෙන් වැළකී සිටින ලෙසද ඉන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයින් පැමිණීම ඊයේ (07) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා ෴

***************************************

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙලේ චීන බලවතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (08) දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ඔවුන් හෙට (09) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද මහතා හමුවීමට නියමිත බවයි.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය මෙය වන අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

කැකිරාව සහ හුංගම ප්‍රදේශවලදී නීතිවිරෝධී ගිනි අවි ළඟ තබාගත් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (07) එම ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මහ කැකිරාව ප්‍රදේශයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම හුංගම – නිදහස්ගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ පතොරම් දෙකක් (2) සමඟ 41 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා ෴

*********************************************

ඊයේ (07) ආසාදිතයින් 207 යි – බ්‍රැන්ඩික්ස් පොකුර 1034 යි

(08.10.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් මේ වනවිට 1034 දක්වා වර්ධනය වී තිබෙනවා.

ඒ, ඊයේ (07) දිනයේ එම කර්මාන්තශාලාවෙන් වාර්තා වූ ආසාදිතයින් 202 දෙදෙනා සමඟින්.

මේ අතර, මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වනවිට 4,459 ක් ලෙස සටහන් වන අතර, ඊයේ (07) දිනයේදී ආසාදිතයින් ලෙස හඳුනාගත් විදේශයන් හි සිට පැමිණි 05 දෙනෙකුද ඊට ඇතුළත්.

ඒ අනුව ආසාදිතයන් 1,172 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3,274 ක්.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට පොලීසිය කර තිබූ දැනුම්දීමකට අනුව 275 දෙනෙකු අදාළ ස්ථාන වෙත වාර්තාකළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පොලීසිය ඊයේ (07) දැනුම්දුන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ

සේවය කරන වත්තල, ජාඇල, කඳාන, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක සේවිකාවන්ට ඊයේ (07) පස්වරු හය හෝ ඊට පෙර නම් කළ ස්ථාන වෙත පැමිණෙන ලෙසටයි.

ඒ අනුව තවත් සේවක සේවිකාවන් 200 ක් පමණ පැමිණීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා ෴

++++++++++++++++

*********************************************

14 සිට 21 දක්වා ඩෙංගු සතියක්

(08.10.2020 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ලබන 14 වනදා සිට 21 වනදා දක්වා දිවයින පුරා ඩෙංගු මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසවනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර කියා සිටියේ පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගින් වාර්තාවීම සියයට 75 කින් පමණ අඩුවී ඇති බවයි.

පසුගිය වසරේ ඩෙංගු රෝගින් 105,049 ක් වාර්තා වී ඇති අතර, මරණ දැක්වුණේ 158 ක් ලෙසයි.

ගතවූ මාස කිහිපය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27,870 ක් වන අතර, මරණ සංඛ්‍යාව 33 ක් ලෙස දැක්වෙනවා ෴

*********************************************

සීදුව, කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළින් ආසාදිතයින් 30 ක්

(08.10.2020 – 08:35 +0530 – hirunews.lk/sinhala)

සීදුව, කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළ ඊයේ (07) පස්වරුව වනවිට කොරෝනා ආසාදිතයින් තිස් දෙදෙනෙකු (32) වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආඬිඅම්බලම, කෝවින්න, වලව්වත්ත ආදී ප්‍රදේශවල පදිංචිව සිටින බ්‍රැන්ඩික්ස් පොකුරේ සාමාජිකයින්.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (2) හමුවීමත් සමඟ ආණමඩුව – ආඬිගම – පුණවිටිය ගම්මානය තුළ සංචරණය සීමා කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඊයේ (07) පස්වරුවේ පියවර ගත්තා.

එමෙන්ම පල්ලම, මුන්දලම සහ ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පවුල් 14 ක පිරිස් ඊයේ (07) නිරෝධායනයට යොමු කළ බවයි පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.ඒ.එස්.කේ. පෙරේරා මහතා සඳහන් කළේ.

හලාවත මහ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි 43 හැවිරිදි ඉරාන ජාතිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඊයේ (07) රාත්‍රියේ හඳුනා ගැණුනා.

උමාඔය ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි අදාළ ඉරාන ජාතිකයා කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඇති අතර, එහිදී ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය 4 වනදායි.

සොරණාතොට, මීගහවෙල ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ එම එක් නිවසක සාමාජිකයින් මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට ගොස් පැමිණ ඇති බව හෙලිවීමත් සමඟයි.

අහංගම – එලුකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ගේ සුවදුක් බැලීමට දිවුලපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (07) තහවුරු වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ විහාරාධිපති හිමියන්ද ප්‍රදේශයේ නිවසක පැවති දානමය පිංකමකට සහභාගි වී ඇති හෙයින් එම දානයට පැමිණ සිටි පවුල් 26 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවයි.

මේ අතර, පසුගිය 22 වැනිදා ඉන්දියාවේ විසාකාපට්නම් සිට මත්තලට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 60 දෙනෙකු පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් බ්‍රැන්ඩික්ස් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ සිය ඉන්දීය කර්මාන්තශාලාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විසාකාපට්නම් සිට විශේෂ ගුවන් වාර 03 ක් ක්‍රියාත්මක කළ බවයි.

එසේ පැමිණි සියලු දෙනා රජය යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානයක අනිවාර්ය නිරෝධායන කාලය සම්පූර්ණ කළ බවත්, ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ තවත් දින 14 ක් ස්වයං නිරෝධායනය වූ බවත්, බ්‍රැන්ඩික්ස් සමාගම පවසනවා.

එම සමාගම අවධාරණය කරන්නේ එම පිරිසේ කිසිවෙකු හෝ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට නොපැමිණි බවයි.

එසේම, ඉන්දීය ජාතිකයින් පිරිසක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවය කළ බවට පැතිරෙන වාර්තාද ප්‍රතික්ෂේප කරන බ්‍රැන්ඩික්ස් සමාගම, කිසිදු විදෙස් ජාතිකයෙකු පසුගිය කාලය තුළ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට නොපැමිණි බවද පවසනවා ෴

++++++++++++

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් යැයි සැක ආසාදිතයන් සුළු පිරිසක් හඳුනාගෙන ඇති නිසා ඉදිරි දින 7 විශේෂයෙන් තීරණාත්මක බව, කොරෝනා වැළක්වීමේ කමිටුවේ ප්‍රධානි යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහන සමග අද(08) පෙරවරුවේ එක්වෙමින්.

දින 7 ක් පමණක් නොව අඛණ්ඩව අවධානයෙන් සිට සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවද ඔහු සිහිපත් කළා.

ඉදිරි දින කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් තීරණාත්මක වන ආකාරය හා දැනට ගෙන ඇති මර්දන ක්‍රියාමාර්ග ඔහු මෙසේ පැහැදිලි කළා.

+++++++++++++++

වැලිකන්ද – ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ, ‘හිරු ටී වී’ ඔස්සේ අද (08) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

කාන්තාව මියයාමට හේතුව හෘදයාබාධයක් බවට මේ වනවිට තහවුරු වී ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අදාළ කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත සේවකයෙකුගේ මවක් වනවා.

64 හැවිරිදි වියේ පසු වූ ඇය යක්කල – වරපලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

++++++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ඉන්දියානුවන් හා සබඳතා පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එහෙත් එම බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයෙක් හෝ සේවිකාවක් පිටරටින් ආ අයෙකු සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න තමන්ට පැවසීමට නොහැකි බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

*********************************************

සිවලෙකු සපා කෑමෙන් කුඩා දැරියක් හොරණ රෝහලට

(08.10.2020 – 08:45 +0530 – hirunews.lk/sinhala)

හොරණ – මීමනපලාන ප්‍රදේශයේදී සිවලෙකු සපා කෑමෙන් අවුරුද්දක් (1) වයසැති දැරියක් ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (07) පස්වරුවේ එක්වරම නිවසට පැමිණි මෙම සිවලා දරුවාව සපා කා ඇති බවයි.

පසුව දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් මෙම සත්වයා මරා දමා ඇති අතර, සිවලාගේ මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා වනජීවි නිළධාරීන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

සිවලුන් හරහා ජලභීතිකාව වැළඳීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලයේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවලින් වාර්තාවී ඇති අතර, මිල්ලනිය, මදුරාවල, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවලින් වසරේ මේ දක්වා ජල භීතිකාව වැළඳුනු සිවලුන් 11 දෙනෙකු සහ සුනඛයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පශු වෛද්‍ය සේවා පිළිබඳ අධ්‍යක්‍ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා කියා සිටියේ මසක් (1) ඇතුළත කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස පහකින් සිවලුන් සපාකෑමේ සිද්ධින් 50 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවයි.

ඉන් සිද්ධීන් 30 ක් සිවලුන් විසින් සුනඛයින්ව සපාකෑම් වන අතර, පුද්ගලයින් 11 දෙනෙකුද එලෙස සපා කා ඇති බව ඔහු කියා සිටියා.

+++++++++++++++

*********************************************

යහපාලනයේ FCID නිලධාරීන් 20 කට විදේශගතවෙන්න ලක්ෂ 141 ක් ගෙවලා, තුසිත් මුදලිගේ ඇතුළු උපදේශකයන්ට දුන් දීමනාත් හෙළිවේ

(08.10.2020 – 10:27 +0530 – hirunews.lk/sinhala)

2015 සිට 2019 දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වූ FCID නිලධාරීන් 20 දෙනාට ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක (141) මුදලක් වැය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇති අතර, එම සංචාර සඳහා සභභාගී වූ නිලධාරීන් 20 දෙනෙකුට, එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක (141) පමණ මුදලක් වැය වී ඇති බවයි ඔහු පැවසුවේ.

අගමැතිවරයාගෙන් ප්‍ර‍ශ්න ඇසීමේ අවස්ථාව යටතේ ඊයේ (2020.10.07) පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා වැඩිදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා, මෙසේ සඳහන් කළා :

“ගරු කථානායකතුමනි,

‘වංචා හා දූෂණ විමර්ශනය සඳහා ඒකකයක් ස්ථාපිත කිරීම’ යනුවෙන් එවකට සිටි අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා හා ‘පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම’ යනුවෙන් එවකට සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයන්ට අදාළව 2015 ජනවාරි මස 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයන්ට අනුව ‘දූෂණ විරෝධී කමිටුව’ ස්ථාපිත කොට ඇත.

එහි සාමාජිකයන් වූයේ,

  1. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (සභාපති)
  2. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා
  3. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
  4. හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා
  5. හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා
  6. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නායක, සරත් ෆොන්සේකා මහතා
  7. දෙමළ ජාතික සන්ධානය (TNA) නායක, ආර්. සම්බන්ධන් මහතා
  8. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා
  9. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා
  10. නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා
  11. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා
  12. මලික් සමරවික්‍රම මහතා
  13. කමිටු ලේකම්වරයෙක්

ඉහත 2015 ජනවාරි 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ස්ථාපිත කරන ලද එම දූෂණ විරෝධී කමිටුවෙහි සාමාජිකයින් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් වැටුපක් හෝ දීමනාවක් අදාළ කාලය තුළ ගෙවා නොමැත.

එමෙන්ම, 2015 ජනවාරි 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි කටයුතු කිරීම සඳහා එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2015 පෙබරවාරි 06 දිනැති ‘දූෂණ වැළැක්වීමේ කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම’ යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2015 පෙබරවාරි 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමටත්, අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමටත් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නිලධාරීන් 44 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇති කර ඔවුන් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් වැටුප් හා දීමනා ද ගෙවා ඇත.

උදාහරණ වශයෙන් –

  • එහි අධ්‍යක්ෂක, ආනන්ද විජේපාල මහතාට රුපියල් දොළොස් ලක්ෂ අසු පන්දහස් එකසිය හැට හතයි සත තිස්තුනක් (රු. 1,285,167.33) – වසර තුන (3) සඳහා ද,
  • උපදේශක, ඒ.පී.ඒ. ගුණසේකර මහතාට රුපියල් අනූ තුන් දහස් හත්සිය පනහක් (රු. 93,750.00) – මාස දෙකක් (2) සඳහා ද,
  • උපදේශක, ටී. කේ. වර්ණසූරිය මහතාට රුපියල් හය ලක්ෂ හැට දහසක් (රු. 660,000.00) – 2015 වර්ෂය සඳහා ද,
  • උපදේශක, එම්.ඒ. සතාර් මහතාට රුපියල් දෙලක්ෂ හතළිස් තුන් දහස් හත්සිය පනහක් (රු.243,750.00) – මාස හතරක් (4) සඳහා ද,
  • උපදේශක, එස්. මැදවැව මහතාට රුපියල් විසි ලක්ෂ හැට අටදහස් එකසිය විසි පහක් (රු. 2,068,125.00) – වසර තුන (3) සඳහා ද,
  • උපදේශක, එම්. බී. එච්. එම්. දයාරත්න මහතාට රුපියල් දහනම ලක්ෂ හැත්තෑ දහසක් (රු. 1,970,000.00) – වසර තුන (3) සඳහා ද හා
  • උපදේශක, තුසිත් මුදලිගේ මහතාට රුපියල් හයලක්ෂ විසි හයදහස් අසූවක් (රු.6,26,080.00) – වසර තුන (3) සඳහා ද වශයෙන් ගෙවා ඇත.

එමෙන්ම, 2015 පෙබරවාරි මස සිට 2017 ජුනි මස දක්වා කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අනෙකුත් වියදම් සඳහා රුපියල් මිලියන තිස් තුනයි දශම හතයි එකක පමණ මුදලක් (රු.33,714,807.59) අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ගෙවා ඇත.

‘දූෂණ විරෝධී කමිටුව’ හා ‘දූෂණ වැළැක්වීමේ කමිටුව ස්ථාපිත කිරීම’ ට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ හා තීරණයන් හි පිටපත් පිටු අංක 01 සිට 24 දක්වා ද, දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ 2015 පෙබරවාරි මස සිට 2017 ජූනි මාසය දක්වා දරන ලද වියදම් වාර්තාව, එක් එක් නිලධාරීන්ට ගෙවා ඇති වැටුප් හා දීමනා පිළිබඳ සාරාංශය හා එක් එක් මාණ්ඩලික නිලධාරීන් වෙත අදාළ කාල සීමාව තුළ ගෙවනු ලැබූ වැටුප්, වේතන හා දීමනා පිළිබඳ විස්තර ඇතුළත් ලේඛන පිටු අංක 25 සිට 58 දක්වා ද, මේ සමඟ ඉදිරිපත් කරමි.

මා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලේඛන හා ලියකියවිලි මාගේ කතාවට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇත. එම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 20 දෙනෙකු පමණ වරින් වර විදෙස් සංචාර 19කට සහභාගි වී ඇති අතර, ඔවුන් සඳහා එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක (141) පමණ මුදලක් වියදම් වී ඇත.

එසේ විදේශ සංචාරවලට සහභාගි වූ නිලධාරීන්ගේ නම් හා තනතුරු වෙන් වෙන් වශයෙන් ද, ඔවුන් ඒ සඳහා යෙදවීමට අපේක්ෂිත වූ අරමුණු ද, සංචාරය කරන ලද රටවල් හා එම රටවල් වල ගත කළ දින වකවානු ද, එසේ සංචාරය කරන ලද කමිටු සාමාජික සාමාජිකාවන්ගේ ගුවන් ගමන්, නවාතැන් පහසුකම් හා වෙනත් පහසුකම් වෙනුවෙන් දරන ලද වියදම් පිළිබඳ සවිස්තරාත්මක විස්තර පිටු අංක 59 සිට 61 ලෙස අමුණා ඇත.

මා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලේඛන හා ලියකියවිලි ද මාගේ කතාවට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටිමි.”

මෙසේ අදාළ ප්‍රශ්නයට පිළිතුරු දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කියා සිටියා ෴

*********************************************

නේවි රුවන් කොබෙයිගනේදී අල්ලයි

(08.10.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි සාමාජිකයෙකු වන රසික ‘රුවන් කුමාර විජේතුංග’ හෙවත් ‘නේවි රුවන්’ කුරුණෑගල – පහල කොබෙයිගනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව පෙරේදා (06) පස්වරුවේ මොහු එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

‘නේවි රුවන්’ එම ප්‍රදේශයේ කාන්තාවක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, ඇය නව නිවසක් ඉදිකර එහි පදිංචිවීමට පෙරේදා සැලසුම් කර තිබුණා.

ඊට සහභාගිවීම සඳහායී ඔහු එම නිවසට පැමිණ ඇත්තේ.

එහිදී සැකකරු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ විටින් විට එම නිවසෙහි ඉදිකිරීම් පරීක්ෂා කිරීමට තමන් පැමිණි බවයි.

44 හැවිරිදි ‘නේවි රුවන්’ පාදුක්ක – බටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මීට වසර කිහිපයකට පෙර නාවික හමුදාවෙන් ඉවත් වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

‘නේවි රුවන්’ට එරෙහිව හෝමාගම, අවිස්සාවේල්ල, පූගොඩ සහ ගංගොඩවිල යන මහේස්ත්‍රාත් අධිකරණවලින් වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

ගිනි අවි පෙන්වා කොල්ලකෑමේ සිද්ධීන් ඔහුට එල්ල වී ඇති චෝදනා වන අතර, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 1200 ක්, තියුණු ආයුධ දෙකක් (2), ජංගම දුරකතන 06 ක් සහ සිම් කාඩ්පත් 11 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරු සමඟ සිටි සමීපතමයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 26 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

හෙරොයින් මිලිග්‍රෑම් 630 ක් සමඟ අත්අඩංගුවට ගත් ‘නේවි රුවන්’ගේ සමීපතමයා කොළඹ ප්‍රදේශයේ හෝටලයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා.

එම හෝටලයට ‘නේවි රුවන්’ පැමිණ ඇති අතර, එහිදියි දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩනැගී ඇත්තේ.

මොවුන් නිකවැරටිය අධිකරණයට ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴

*********************************************

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට අද (08) ලැබෙන අවසන් අවස්ථාව

(08.10.2020 – 11:32 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට මෙන්ම විශේෂයෙන් පසුගිය සති දෙකේ (2) ඔවුන්ගේ ආශ්‍රිතයන් හා ආ ගිය තැන්වල අයට පොලිසිය අද (08) අවසන් අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ඒ, පොලිසිය ඊයේ (07) නිවේදනය කළ ස්ථානයන් වෙත පැමිණ නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙසටයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අදාළ ස්ථානවලට ඊයේ (07) පැමිණීමට නොහැකි වූ අයට අද (08) අවසන් අවස්ථාව ලබාදෙන බවයි.

එසේ නොපැමිණෙන මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට මෙන්ම විශේෂයෙන් පසුගිය සති දෙකේ (2) ඔවුන්ගේ ආශ්‍රිතයන්ආ හා ගිය තැන්වල අය සිටි නම් ඔවුන් පදිංචි ස්ථාන තහනම් කිරීම, ඔවුන් ගමන් ගන්නා වාහන පොලිස් භාරයට ගැනීම වුවද සිදුවිය හැකි බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හිරු වෙත සඳහන් කළේ.

පොලිසිය ඊයේ(08) නිකුත් කළ නිවේදන පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Brandix, it is clear that some underhand activities have been going on that led to the importation of virus laden people from India and mixing them with our local workforce. It is always power and money; they are the corrupt lot, and even army and health dept led rules on quarantine have been violated by people using private, flexible agencies for PCR testing. Worse, tehndenying it or pretend not to talk about what has been going on behind the scenes. All secretive. Now the whole country is paying for these corrupt practices. Politcians and top bods are answerable to the people for these mistakes and letting rich companies get away with cutting corners.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *