සහරාන්ට ඉන්දියාවට පැනයාමට සහය දුන්නේ රිෂාඩ්ගේ සොහොයුරා – යුද හමුදා බුද්ධි අංශ කී බව මහේෂ් සේනානායක කියයි

සහරාන්ට ඉන්දියාවට පැනයාමට සහය දුන්නේ රිෂාඩ්ගේ සොහොයුරා – යුද හමුදා බුද්ධි අංශ කී බව මහේෂ් සේනානායක කියයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ට ඇමතීමට අංකයක්

ත්‍රෛපාර්ශවික ගිවිසුම යළි දීර්ඝ කිරීමට කම්කරු අමාත්‍යාංශයේ අවධානය

විකිණූ ETI දේපළ ගැනත් තොරතුරු ඇතුළත් කමිටු වාර්තාව ජනපතිට

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුටත් කොරෝනා

*********************************************

සහරාන්ට ඉන්දියාවට පැනයාමට සහය දුන්නේ රිෂාඩ්ගේ සොහොයුරා – යුද හමුදා බුද්ධි අංශ කී බව මහේෂ් සේනානායක කියයි

(08.10.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

සහරාන්ට ඉන්දියාවට පැනයාමට සහය දුන්නේ රිෂාඩ්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් බව, හමුදා බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මෙරට යුද හමුදාපතිවරයාව සිටි විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ජනාධිපති කොමිසම ඊයේ (07) සාක්ෂි විමසීම සිදුකෙරුණු අතර, ඔහු සාක්ෂි විමසීම සඳහා සම්බන්ධ වුයේ සජීවි විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටයි.

මහේෂ් සේනානායක මහතා, ඩුබායිහි පිහිටි අල්ලාදා නගරයේ ලැවෙන්ඩර් හොටෙල් එපාර්ට්මන්ට් හි කාමර අංක 117 සිට එරට වෙලාවෙන් ඊයේ දහවල් 12:41 ට එනම් මෙරට වෙලාවෙන් ප.ව 02:50 ට පමණ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට සජීවීව සම්බන්ධ වුණා.

++++++++++++++

සහරාන්ට ඉන්දියාවට පළායාමට හිටපු ඇමති බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා – හිටපු හමුදාපති

(08.10.2020 – 20:16 +0530 – sinhala.adaderana.lk)

අන්තවාදීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුද හමුදාව සම්බන්ධවීමට අවසර ඉල්ලා සිටියදීත් ඒ සඳහා සම්බන්ධ කර නොගැනීම සහ යුද හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛතාවයක් ලබා නොදීම ඉකුත් වසරේ පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08 ක ත්‍රස්ත ප්‍රහාර මලාවක් සිදුවීමට ප්‍රබලව හේතු වූ බව විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) පළමුවරට සාක්ෂි ලබාදෙමිනි.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ රැදී සිටින විශ්‍රාමික යුද හමුදාපතිවරයා සජීවි වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් මෙම සාක්ෂි ලබාදීම සිදු කළේය.

එහිදී පළමුව රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ “ඔබ මුලින්ම ISIS ත්‍රස්තවාදීන් ගැන දැනගත්තේ මොන කාලේද සහ IS සිතියමේ ලංකාව කොටසක් වෙලා තිබුණ බව දැන සිටියාද ?” යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු යුද හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික), මහේෂ් සේනානායක මහතා කියා සිටියේ, “මම 2010 ඉඳල හිටියේ ඩුබායිවල. ඒ නිසා ලිබියාව ඇතුළු මැදපෙරදිග සිද්ධීන් මට සමීපයි. මම දැනගෙන සිටියා කවදා හරි ජාත්‍යාන්තරව පැවති මේ ත්‍රස්තවාදි අවධානමට ලංකාවටත් මුහුණ දෙන්න වෙනවා කියලා. මම යුද හමුදාපති වුණාම දැනගත්තා IS සිතියමේ කොටසක් ලෙස ඔවුන් ලංකාව නම් කර තිබූණා කියලා. ඒ අනුව බලද්දි ලංකාවට බලපෑමක් තිබෙන බවත් එවැනි අන්තවාදි මත දරණ සංවිධාන ලංකාවේ තිබෙන බවත් මම 2015ට කලින්ම දැනගෙන සිටියා.”

එහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ, “ඔබ ඒ වෙනකොට සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ගැන දැනගෙන හිටියාද ?” යනුවෙනි.

“යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය මාව ඒ ගැන දැනුවත් කිරීම් කර තිබුණා. මම සහරාන්ලා ගැන දැනගත්තේ යාපනය ආඥාපති වෙලා ඉන්නකොට.මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ආදි සිද්ධිවලට සහරාන් හෂීම් සම්බන්ධ බවත් පාස්කු ප්‍රහාරයට පෙර වසර කිහිපයක ඉඳලම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විසින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේදි, ආරක්ෂක කවුන්සිලයේදි මෙන්ම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීද කරුණු දක්වා තිබුණා. ඒ වගේම සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් උපකාර කර තිබු බවට වූ යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුර ගැනත් අපි ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කර තිබුණා. එබැවින් නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් තියෙන ආයතන එය ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වුණා.” යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයා පිළිතුරු දුන්නේය.

එහිදි රජයේ අධිනීතිඥවරයා යළි ප්‍රශ්න කළේ, “රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධි අංශය තොරතුරු ඉදිරිපත් කිරිමේදී තරගයක් පැවතියේද?” යනුවෙනි.

“ඒක ලෝකයේ තිබෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒක මං අපේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි අංශය අතරත් දුටුවා. මං හිතන විදිහට ඒ තරගය සහ නිසි පරිදි තොරතුරු හුවමාරු කර නොගැනීම තමයි හේතු වුණේ මට මේ විදිහට කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න,” ඔහු කීය.

ඔබ ඒ පිළිබඳ ඔබේ අධීක්ෂණ නිලධාරියා දැනුවත් කළේ දැයි රජයේ අධිනීතිඥවරයා විමසු ප්‍රශ්නයට පිළිතුරු දුන් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, “මම එවකට ආරක්ෂක ලේකම්වරු ලෙස සිටි කපිල වෛද්‍යරත්න හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට බුද්ධි අංශ සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැයි කියන කාරණය කිව්වා. ඒ ගැන කතාකරමු කියලා කිව්වට ඒකට උත්තරයක් හමුවුනේ නැහැ,” යනුවෙනි.

මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසුවේ, අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදි යුද හමුදා බුද්ධි අංශය සමග පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තිබුණ විශේෂ කාර්යාංශ ගැටලු ඇතිකරගත් බවය.

“මේ ක්‍රියාන්විත අතරතුර බුද්ධි සම්බන්ධීකරණයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාංශ සමග ප්‍රශ්න ඇති වුණා. සී.අයි.ඩී. එක සහ ටී. අයි. ඩී. එක තමයි එහෙම ගැටලු ඇතිකළ විශේෂ ආයතන”.

“සී.අයි.ඩී එක ගැන උදාහරණයක් කියන්නම්. වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ තොරතුරු අපි ඔවුන් එක්ක බෙදාගත්තට එතනින් පසු එහි පරීක්ෂණ වලට මැදිහත්වෙන්න ඔවුන් අපේ යුද හමුදාවට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂණ කරන්න යුද හමුදාවට විශේෂ හැකියාවක් තියෙනවා. මං හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙනුත් ඉල්ලුවා ඒ පරීක්ෂණයට සම්බන්ධවෙන්න අපිට අවස්ථාව දෙන්න කියලා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ”.

“ඊළඟට මාවනැල්ල බුදුපිළිම කැඩීම සිදූවූ අවස්ථාවේ විමර්ශනවලට සහය වීමට අපේ නිලධාරින් ගියවිට සහය අවශ්‍ය නැහැයි කියමින් ගම්පොල පොලිස් නිලධාරින් යුද හමුදා නිලධාරින්ව පළවා හැර තිබුණා. ඔවුන් කියා තිබුණා එක යුද හමුදාවට අයිති දෙයක් නොවෙයි කියලා. එම සිදුවීමෙදිත් මම ඊට සම්බන්ධ වෙන්න ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයෙන් අවසර ඉල්ලුවා හමුවූණේ නැහැ. අපව මෙම පරීක්ෂණ වලට සම්බන්ධ කර නොගැනීම රට මේ වගේ වතාවරණයට මුහුණ දීමට හේතුවක්.” යැයි හිටපු යුද හමුදාපතිවරයා කරුණු පැහැදිලි කළේය.

විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, “අපිට අත්අඩංගුවට ගන්න බලය නැහැ.අපි දිගින් දිගටම තොරතුරු දුන්නා. අපි ලබාදුන් බුද්ධි තොරතුරු කෙරෙහි පොලිස්පති පූජිත් ජයසුන්දර, සී.අයි.ඩී.යේ රවී සෙනෙවිරත්න, ටී.අයි.ඩී එකේ නාලක ද සිල්වා, වරුණ ජයසුන්දර, එස්. අයි. එස් එකේ නිලන්ත ජයවර්ධන සහ සී. එන්. අයි සිසිර මෙන්ඩිස් කියන මහත්වරු ප්‍රමුඛතාවක් දුන්නේ නැහැ. අපි ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛත්වයක් ලබා නොදීමත් මෙම ප්‍රහාරය සිදුවීමට එක් ප්‍රධාන හේතුවක්,” බවය.

මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අන්තවාදය යන ප්‍රශ්නය ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවට බඳුන් වු අවස්ථාවලදි එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තවාදය මැඩලීමට කුමන විසඳුමක් ඉදිරිපත් කළේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, “එතුමාගෙන් අදහස් ලබාගන්න එතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටියේ නැහැ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය ආරම්භ කරලා විනාඩි 05 ක් හෝ 10 කින් එතනින් පිටවෙලා යනවා. ඒ ගිහින් විනාඩි 05 කින් වගේ හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් පිටවෙලා යනවා. ඒ නිසා අන්තවාදයට අදාළව විසඳුම් දෙන්න හිටපු අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයේ හිටියේ නැහැ,” යනුවෙනි.

මෙහිදී රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතර කවර ආකාරයේ රාජකාරිමය සම්බන්ධයක් පැවති බව ඔබ නිරික්ෂණය කළේ ද යන්නය.

“මම යුද හමුදාපති ලෙස පත්වුනාට පස්සේ 2017 ජුලි 04 තමයි ඉස්සෙල්ලා ම ජාතික ආරක්ෂක කවුන්සිලයකට සහභාගි වුණේ. මුල් කාලයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි අතර විශේෂාකාරයේ අමනාපයක් මට නිරීක්ෂණය වුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයාගෙන් මට තිබුණු පිළිගැනීම පූජිත්ට තිබුණේ නැහැ. පසුකාලිනව 2018 මැද භාගය වෙද්දි තමයි ඔවුන් දෙදෙනා අතරේ අමනාපවීමක් මට නිරීක්ෂණය වුණේ. ඒ වෙද්දි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා කතාවක් පැතිරුණා. එත් එක්කම අපි අහලාවත් නැති පුද්ගලයෝ එළියට ඇවිත් මාධ්‍ය ඔස්සේ සන්දර්ශන තියන්න පටන් ගත්තා. මම ඒ දේවල් වලට පාවිච්චි කරන්නේ සන්දර්ශන කියන වචනේ. නාමල් කුමාර කියන පැමිණිමත් සමග තමයි හිටපු ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර යම් විරසකවීමක් නිරීක්ෂණය වුණේ,” යැයි මහේෂ් සේනානායක පිළිතුරු දුන්නේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, “නාමල් කුමාර පිටුපස සිටි පුද්ගලයා හෝ ආයතනය කවුද?” යන්නය.

“ආයතනයක් විදිහට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය. ස්වාමිනී, පුද්ගලයෙක් විදිහට ඒ වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂධුරය දැරූ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා,” යැයි හිටපු හමුදාපතිවරයා පැවසුවේය.

ඉන් අනතුරුව රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 21 සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව ගැන මුලින්ම දැනුවත් වුයේ කෙසේද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ යුද හමුදා මූලස්ථානයට මායිම්ව ෂැන්ග්‍රීලා හෝටලය පිහිටා ඇති බැවින් එහි සිදුව තිබු පිපිරීම ගැන සැනකින් දැනුවත් වු බවත් පසුව කිංස්බරි හෝටලයේ සිදුව තිබු පිපිරීම පිළිබඳවත් දැනුවත් වු බවත් ය.

එසේම පිපිරීම් සිදුවී මිනිත්තු කිහිපයක් තුළ ඒ වන විට තම බුද්ධි අංශ සතුව තිබු තොරතුරු මත මෙය සහරාන් ඇතුළු අන්තවාදින් කණ්ඩායම විසින් සිදුකර ඇති බව තමන්ට තහවුරු වූ බවත්, හදිස්සි නීතිය ක්‍රියාත්මක කර නොතිබුණ ද බුද්ධි නිලධාරින්ට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට අවසර දුන් බවත් හිටපු යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පිපිරීමෙන් පසු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවන බව අසන්නට ලැබුණද ඒ සඳහා සහභාගි නොවන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් තමන්ව දැනුවත් කළ බවය.

මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසුවේ ප්‍රහාරය සිදුවීමෙන් පසු එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ සමග කවර සංවාදයක් ඇති කරගත්තේද යන්නය.

“තව වෙන්න පුළුවන් කියලා නිලන්ත කිව්වා. මම ඒ වන විට ලැබෙමින් තිබු බුද්ධි තොරතුරු මත මගේ නිලධාරින් යෙදෙව්වා ක්‍රියාත්මක වෙන්න. පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ආරක්ෂක කවුසලයේදී නිලන්ත ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පෙර දැනුවත් කිරීම ගැන කිව්වා. ඒ වෙනතෙක් විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පුර්ව දැනුවත් කිරීම් පිළිබදව යුද හමුදාව දැන සිටියේ නැහැ. නමුත් බොහෝ දේ දැනං ඉඳලා මුකුත් කරගන්න බැරි වුණ තත්ත්වයේ කලබලකාරි බව නිලන්තගෙන් පෙනෙන්නට තිබුණා,” යැයි හිටපු හමුදාපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කළේ පුර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරු පිළිබඳව යුද හමුදාව දැනුවත් නොකළේ මන්දැයි නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ නොවිමසුවේද යන්නය.

“ජාතික ආරක්ෂක කවුන්සිලයේදී කතාවුණා. නමුත් නිලන්තට එකට දෙන්න පැහැදිලි උත්තරයක් තිබුණේ නැහැ. අපේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ එක්කත් නිලන්ත කතා කරනවා. අපි අවුරුද්දටත් හම්බුණා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී මේ තොරතුරු ගැන අපිව දැනුවත් කළේ නැහැ. නමුත් ප්‍රහාරයෙන් පස්සේ දැනගන්න ලැබුණා මේ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර පොලීසිය හරහා ප්‍රභූ ආරක්ෂක අංශ වලටත් ගිහින් තියෙනවා කියලා. ප්‍රහාරයට දැන් අවුරුද්දක් ගතවෙලාත් ඉවරයි. මට තාම ප්‍රශ්නයක් ඇයි මේ විදෙස් බුද්ධි තොරතුරු ප්‍රහාරයට පෙර හමුදාවට එව්වේ නැත්තේ කියලා.” යැයි විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පිළිතුරු දුන්නේය.

“ඔබ යුද හමුදාපති ලෙස සිටි කාලය තුළ යුද හමුදා බුද්ධි අංශ දුර්වල වුණා කියලා යම් මතයක් තියෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ ” යැයි ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේය.

“2010 – 2015 කාලය අතර තුර සිදුවු අතුරුදහන්වීමේ සිදුවීම් බුද්ධි නිලධාරින් සම්බන්ධයි කියලා මගේ කාලය වන විට නඩු විභාග වුණා. ඒ සම්බන්ධයෙන් ‍යුද හමුදා බුද්ධි නිලධාරින් 300 ක් විතර සාක්ෂි දුන්නා වරින් වර. ඒ ඔස්සේ නිලධාරින්ගේ යම් මානසික මට්ටමේ පහළ වැටීමක් සිදුව තිබුණා නමුත්. බුද්ධි නිලධාරින් 3000 න් 300 ක් සාක්ෂි දුන්නා කියලා සමස්ථ යුද හමුදා බුද්ධි අංශයම දුර්වල වෙලා තිබුණා කියලා මම හිතන්නේ නැහැ,” යනුවෙන් ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.

එහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ යුද හමුදා බුද්ධි අංශ දුර්වල නොවුනානම්, විදෙස් බුද්ධි අංශයකින් තොරතුරක් ලැබෙනකන් ඇයි ඔබේ යුද හමුදා බුද්ධි අංශයට මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත් වීමේ තොරතුරක් සොයාගත නොහැකි වුයේ යන්නය.

“යුද හමුදා බුද්ධි අංශ මෙම ත්‍රස්තවාදින් කණ්ඩායම ගැන දිගින් දිගටම ආවේශණ රාජකාරි කළා. අපි ළඟ බොහෝ තොරතුරු තිබුණා. ප්‍රහාරයෙන් දින දෙක තුනක් ගතවෙද්දී ත්‍රස්තවාදින් හා සම්බන්ධතා පැවැත්වුවන් 35 ක් පමණ අත්අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරු සැපයුවේ යුද හමුදා බුද්ධි අංශ. දෙහිවල ට්‍රොපිකල් ඉන් අවන්හලේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි “ජමීල්” ගැන අපි මුල ඉඳලම ආවේශණ රාජකාරි කළා. නමුත් අපේ පරීක්ෂණ යම් සීමාවක දී නැවතුණා. මොකද අනිත් පැතිකඩවල් ගැන පරීක්ෂණ කළේ වෙනත් ආයතන. මෙතන ලොකුම ප්‍රශ්නය බුද්ධි තොරතුරු බෙදාගත්තේ නැති එක. අපි අමාත්‍යාංශය දෙකක වැඩ කළේ. නමුත් හමුදාවයි, පොලීසියයි එකිනෙකා අතර ප්‍රශ්න තිබුණේ නැහැ. දේශපාලන බලපෑම් මතයි මේ බෙදීම් ඇතිවෙලා තිබුණේ, ” සේනානායක මහතා කරුණු පැහැදිලි කළේය.

*********************************************

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ට ඇමතීමට අංකයක්

(08.10.2020 – 11:39 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් හෝ ආශ්‍රිතයන් සිටී නම් ඔවුන්ට ඇමතීමට අංකයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව 011 345 6548 යන දුරකතන අංකයට මේ සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

පොලිසිය කර තිබූ දැනුම් දීමට අනුව ඊයේ (07) බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන් 275 දෙනෙකු නම් කළ ස්ථානවලට වාර්තා කර තිබුණා ෴

+++++++++++++++

කාසල් වීදියේ කාන්තා රෝහලේ ගර්භනී කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ගම්පහ මීරිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකට බවයි සඳහන් වන්නේ.

ඇය IDH රෝහලට මේ වනවිට මාරුකර යවා ඇති බවයි සඳහන් වන්නේ.

ඇය රැකියාව කරන කම්හල, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලට සේවා සපයන ආයතනයක් බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (08) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේ.

ඒ අනුව මෙම ගර්භනී කාන්තාව සැලකිය හැක්කේද මිනුවන්ගොඩ කම්හලේ කොරෝනා පොකුරේ අයෙකු ලෙස බව ඔහු කියා සිටියා.

+++++++++++++++

ආගමික සහ දින නියමවූ විවාහ උත්සව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහින්ද බාලසූරිය මහතා කියා සිටියේ දැඩි සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව, සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදු කිරීමට අවස්ථාව පවතින බවයි.

කෙසේ වෙතත් සංගීත සංදර්ශන සහ වෙනත් ප්‍රියසම්භාෂන සඳහා තවදුරටත් අවස්ථාව හිමි නොවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා ෴

+++++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඔන්ලයින් ක්‍රමය හරහා ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙලක් අද (08) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව health.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ඔසුහල් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

+++++++++++++++

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් එම්.පි.යු.ඩී.කේ මාපා පතිරණ මහතා කියා සිටියේ රජය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුව එම කර්මාන්තශාලාව පවත්වාගෙන ගොස් ඇත්දැයි සෙවීම මෙහි අරමුණ බවයි.

හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ඊයේ (07) පැවති ත්‍රෛයිපාක්ෂික හමුවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

ඊට එක්වූ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාර්කස් මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන ගියේ නම් මෙවැනි ගැටළුවක් ඇති නොවන බවයි.

අප මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් එම්.පී.ටී. කුරේ මහතා ගෙන් ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ පළමු රෝගී කාන්තාව සොයාගනු ලැබුවේ අදාළ කර්මාන්තශාලාව විසින් බවයි.

කෙසේ වෙතත් අදාළ කර්මාන්තශාලාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස කම්කරු අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පි.යු.ඩී.කේ මාපා පතිරණ මහතා කියා සිටියේ ෴

++++++++++++

මෙතෙක් හඳුනාගෙන නොමැති කොරෝනා ආසාදිතයන්ගෙන් ඇති අවදානම පිළිබඳ අද (08) පාර්ලිමේන්තුවේදී කථාබහට ලක්වුණා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ මහතා සහ චමින්ද විජේසිංහ මහතා ඊට මැදිහත් වුණා.

එමෙන්ම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඉවත් කිරීම පිළිබඳව හේෂා විතානගේ මන්ත්‍රීවරයා විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබාදුන්නේ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතායි.

එමෙන්ම බත්තරමුල්ල පැලවත්තේ ඇති පාර්ලිමේන්තු සේවා අංශය වසා දැමීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රශ්න කළ අතර, ඊට කථානායකවරයාද මැදිහත්වුණා.

*********************************************

ත්‍රෛපාර්ශවික ගිවිසුම යළි දීර්ඝ කිරීමට කම්කරු අමාත්‍යාංශයේ අවධානය

(08.10.2020 – 12:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමඟ හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සහ කම්කරු අමාත්‍යාංශය අත්සන් කළ ත්‍රෛයිපාර්ශවික ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ හාම්පුතුන් මෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ඊයේ (07) සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී අවධානය යොමුව ඇත්තේ රටේ පවතින වත්මන් තත්ත්වයත් සමඟ එම ගිවිසුම නැවත සමාලෝචනය කිරීමටයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මීට පෙර රටේ ඇතිවූ තත්වය සමඟ මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවද එය පසුගිය සැප්තැම්බර් 30 වනදායින් අවසන් වුණා.

ඒ අනුවයි යළි එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඊයේ (07) මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවේ.

ප්‍රදේශ කිහිපයකට මේ වනවිට පනවා ඇති ඇඳිරි නීතියත් සමග සේවා අඩපණ වී ඇති කර්මාන්තශාලා සම්බන්ධයෙන් ලේඛනයක් තමන්ට ලබාදෙන ලෙසද අමාත්‍යවරයා එහිදී කම්කරු කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා ෴

***************************************

ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අද (08) පෙරවරුවේ මොහුට එරෙහිව මෙලෙස අධිචෝදනාගොනුකළ බවයි.

නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් එහි කපිතාන්වරයාට චෝදනා එල්ල වී තිබෙනවා ෴

*********************************************

විකිණූ ETI දේපළ ගැනත් තොරතුරු ඇතුළත් කමිටු වාර්තාව ජනපතිට

(08.10.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ අක්‍රමිකතා සිදුව ඇද්දැයි සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.

එම වාර්තාවට අනුව ‘ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින් ආයතනය’ ඇතුළුව ඊ.ටී.අයි. දේපොල විදේශ සමාගමකට විකිණීමේ ගණදෙනුව අයථා ලෙස සිදු වූ බවට කොමිසම හමුවේ අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා සභාපතිත්වයෙන් පත්කළ මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර මහතා සහ හිටපු සොලිසිටර් ජනරාල්වරයෙකු වන සුහද ගම්ලත් මහතායි.

ජනවාරි 9 වැනිදා මාස 3 ක කාලයකට පත් කෙරුණු කොමිසමේ නිල කාලය පසුව දීර්ඝ කෙරුණු අතර ඒ අනුව කොමිසමේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ අනිද්දායි (10).

කොමිසම විසින් අවස්ථා රැසකදී ඊ.ටී.අයි. ආයතනයට සම්බන්ධ නිලධාරීන් මෙන්ම මහ බැංකුවේ නිලධාරීන්ද කොමිසම හමුවට කැඳවා ඊ.ටී.අයි. ආයතනයේ අක්‍රමිකතා සිදු වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සාක්ෂි විමසුවා.

ඊ.ටී.අයි. සමාගමේ හිටපු සේවකයින් පිරිසක් හෙළිකළ කරුණු මෙන්ම මහ බැංකු නිලධාරීන්ද ලබාදුන් සාක්ෂි අනුව ඊ.ටී.අයි. තැන්පතු සම්බන්ධයෙන් සැකසහිත සිදුවීම් රැසක් පිළිබඳව හෙලිදරව් වුණා.

ඊ.ටී.අයි. සමාගමට අයත් දේපොළ මේ වන විට විකුණා ඇති අතර එම ගණදෙනුව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් කොමිසම හමුවේ හෙළිදරව් වූ අතර ඒ සම්බන්ධ නිර්දේශද කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ අඩංගු කර ඇති බව සඳහන්.

*********************************************

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුටත් කොරෝනා

(08.10.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඉදිරියටත් සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ එම පොකුරේ ආසාදිතයින් විස්තාරණය වීමක් දක්නට ලැබෙන බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1034 ක්.

එම කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය 03 වැනිදා හඳුනාගත් අතර, දින 03 ක් ඇතුළත එම කොවිඞ් පොකුර ඉහළ ගියේ මෙරට විශාලතම කොවිඩ් පොකුර නිර්මාණය කරමින්.

නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඞ් පොකුර මීට පෙර වාර්තා වූ විශාලතම කොවිඞ් පොකුර ලෙස සටහන් වූ අතර, එහිදී ආසාදිතයින් 906 දෙනෙකු හඳුනා ගැණුනා.

බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීමෙන් අනතුරුව එහි ආසාදිතයින් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 15 කින් වාර්තා වනවා.

ගම්පහ, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, පොලොන්නරුව සහ යාපනය එම දිස්ත්‍රික්කයි.

ඊයේ (07) මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 207 දෙනාගෙන් 202 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින්.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ මෙම පොකුර පාලනය කරගත හැකි යැයි තමන් විශ්වාස කරන බවයි.

මේ අතර, මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුටද කොරෝනා ආසාදනය වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.

ඔහුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුද කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනා ගැණුනා.

මිනුවන්ගොඩ පොලිසියෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු ද මේ බව තහවුරු කළා.

මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින් සිටී නම් ඔවුන්ට ඇමතීමට අංකයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව 011 345 6548 යන දුරකතන අංකයට මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ දිස්ත්‍රික්කය තුළ පදිංචි සේවක සේවිකාවන්ට පොලිසිය කළ දැනුම්දීමට අනුව 275 දෙනෙකු ඊයේ (07) පොලිසිය නම් කළ ස්ථාන වෙත පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ.

ඔවුන්ට නිරෝධායනය සඳහා අනුගතවීමට ලබාදී ඇති අවසන් දිනය අද (08) බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, මුතූර් – ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටියදී මියගිය කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. 64 හැවිරිදි යක්කල – වරපලාන ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහන අද (08) උදෑසන එක්වෙමින් කියා සිටියේ.

එහිදී යුද හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ඉදිරි දින 07 ක කාලය තුළ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

එසේම, කාසල් වීථියේ කන්තා රෝහලේ ගැබිණි කාන්තාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ගම්පහ – මීරිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය මුල්ලේරියාව රෝහල වෙත මාරු කර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා අදත් (08) දිවයිනේ ප්‍රදේශ රැසක පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා.

එහි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් පසුගියදා පොලොන්නරුව – ලංකාපුර – දෙබරැල්ල ප්‍රදේශයට පැමිණ තිබීම හේතුවෙන් පුද්ගලයින් 70 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා.

එසේම, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකළ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 75 දෙනාට සහ ඌව විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචි සිසුන් වීම හේතුවෙන් මෙලෙස පසුගියදා ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබූ බව විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා සඳහන් කළා.

එමෙන්ම හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල පාසලක විදුහල්පතිවරයා, ගුරුවරුන් ඇතුළු සියයකට (100) ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ පැවති සංගීත සංදර්ශනයකට එක්වූ සංගීත කණ්ඩායමක් අඹගමුව ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වීම හේතුවෙන්.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් අම්බලන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් (2) අත්හිටුවීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

ඔවුන්ට ලද තොරතුරක් මත එම ස්ථානයට යන අවස්ථාවේදී දෙක (2) ශ්‍රේණියට සහ සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ඔවුන් උපකාරක පන්ති පවත්වාගෙන ගොස් තිබුණා.

එමෙන්ම මගී බස් රථවලට මුඛ ආවරණ නොපැළඳ මගීන් ඇතුල් කර ගන්නා රියදුරුන්ට සහ සහයකයන්ට එරෙහිව පියවර ගන්නා බව සමස්ත ලංකා ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරුන්ගේ සංගමයේ සභාපති රත්නකුමාර වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් නිරෝධායනයට යොමුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයටද යොමුකරන බවයි.

ආපනශාලාවේ හිමිකරුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුද කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනා ගැණුනා ෴

+++++++++++++++

කොරෝනා ආසාදිතයින් ඇතුළත් කිරීම සඳහා මේ වනවිට රෝහල් 14 ක් වෙන්කර තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අයි.ඩී.එච්., වැලිකන්ද, මිනුවන්ගොඩ, තෙල්දෙනිය ඇතුළු රෝහල් 14 ක් මෙලෙස වෙන්කර ඇති බවයි.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් හා ඒ ආශ්‍රිතයින් ඇතුළු පුද්ගලයින් පන්සිය හැට දෙදෙනෙකු (562) මේ වනවිට හබරාදූව – කොග්ගල නිරෝධායන මධ්‍යස්ථාන 03 ක නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් පසු මොවුන් පසුගිය 06 වැනිදා සිට මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

පවතින තත්ත්වයත් සමඟ සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අදාළ සම්මුඛ පරීක්ෂණ යළි පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

+++++++++++++++

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය සතියක කාලයක් වසා දමා තිබෙනවා. හෙට (09) සිට ලබන 16 වැනිදා දක්වා එය වසා තැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන පියසද යළි දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

මීට අමතරව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමට බාහිර පුද්ගලයින් පැමිණීම අද (08) සිට යළි දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

++++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද (08) උදෑසන හයෙන් (06:00) අවසන් වූ කාලසීමාව තුළ පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

මෙහිදී වාහනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගතවූ කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 19 ක්.

එමෙන්ම, සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් දේවස්ථානවල සිදුකරන සිකුරාදා යාඥාව ඇතුළු සියළුම යාඥා මෙහෙයන් සඳහා සහභාගි විය හැකි උපරිම බැතිමතුන්ගේ සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කර ඇති බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, ආගමික සහ දින නියම වූ විවාහ උත්සව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට හැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඔන්ලයින් ක්‍රමය හරහා ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ද අද (08) සිට ආරම්භ කෙරුනු අතර health.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ඔසුහල් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය සතියක කාලයක් වසා දමා තිබෙනවා. හෙට (09) සිට ලබන 16 වැනිදා දක්වා එය වසා තැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන පියසද යළි දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

මීට අමතරව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමට බාහිර පුද්ගලයින් පැමිණීම අද (08) සිට යළි දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සදහා බාහිර පුද්ගලයින්ගේ පැමිණීම ද නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැළඳී ඇතැයි විවිධ මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

පාර්ලිමේන්තුවේදී අද (08) රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට කථානායකවරයා විසින් පිළිතුරු ලබා දෙමින් කළ ප්‍රකාශයක් මෙම ප්‍රවෘත්තියට පදනම් වී තිබෙනවා.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කරනු ලැබුවේ බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කටයුතු අංශයේ සේවකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් වැළඳී ඇති බවට සැකයක් පවතින බැවින් එම කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට ඊයේ (07) දිනයේදී ඇතුළුවීමට අවකාශ ලබා දී නොමැති බවයි.

එසේ හෙයින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට පළවන වාර්තා වල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා ෴

+++++++++++++++

ඉදිරි පැය 48 රටට තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

යළි හිස එසවූ කොවිඩ් වසංගතය හමුවේ රටක් ලෙස කුමන තීරණ ගත යුතුද යන්න එහිදී තීරණය කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළා.

හිරු ඇත්ත සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ජනතාව හැකි තරම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද ඔහු පවසනවා.

සංචරණ සිමා පැනැවීම නොකර තවදුරටත් සමාජය තුළ සිටින කොරෝනා රොගීන් සොයාගැනීමට නොහැකිවනු ඇති බව ද ඔහු කියා සිටියා.

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග නියමිත පරිදි පැවැත්වීමට රජය තීරණය කළේ එම අවස්ථාවේ තත්ත්වය සලකා බලා බවද ඔහු සඳහන් කළා.

දැනට සිදුකර පි.සි.ආර්. පරීක්ෂණ ප්‍රමාණය මිට වඩා වැඩිකිරීමට සිදුවන බවද ඔහු පැවසුවා.

සම්පුර්ණ සාකච්ඡාව පහතින් :

+++++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතියත් සමඟ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19 ක් අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගම්පහ, මීරිගම, අඹේපුස්ස, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන දුම්රිය මෙලෙස අවලංගු කර ඇති බවයි.

කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන අනෙකුත් දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන අතර, එය ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කරනු ඇති ෴

***************************************

යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ පැමිණියා.

***************************************

ගෙවුණු පැය 24 තුළ බස්නාහිර පළාත තුළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් 258 ක් සිදු කර තිබෙනවා.

එහිදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිතර වූ පුද්ගලයින් 259 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

බුත්තල පොලිස් විශේෂ බලකා කඳවුරේ නිලධාරීන් තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී ගංජා හේන් 2 ක් වටලා සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගංජා හේන් දෙකෙහි (2) ගංජා ගස් දහ දහසකට (10,000) ආසන්න ප්‍රමාණයක් වගා කර තිබී ඇති අතර වටිනාකම රුපියල් ලක්ෂ 80 කට අධික බව පොලිසිය සඳහන් කළා.

***************************************

ආණමඩුව – මහකුඹුක්කඩවල ගම්මානයට එල්ලව ඇති වන අලි තර්ජනයට විරෝධය පළ කරමින් ගම්මානයේ ජනතාව විරෝධතාවක නිරත වුණා.

ගම්වාසීන් පවසන්නේ පසුගිය දින කිහිපයේ පමණක් වන අලින් විසින් ප්‍රදේශයේ පොල් ගස් දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් විනාශ කර ඇති බවයි.

***************************************

තමන්ටම කියා හිසට සෙවණක්, සෑම කෙනෙකුගේම සිහිනයක්.

නමුත් ලබා දුන් ඉටු නොවන පොරොන්දු හමුවේ, එය තවමත් සිහිනයක් වූ මේ පිරිස පිලිබඳව ‘හිරු රතු මිනිතුව’ට වාර්තා වුණේ පුත්තලම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ සේවන්තිව් ගම්මානයෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ඇතුළු දේශපාලනඥයින් පිරිසකගේ සහභභාගීත්වයෙන් 2019 වසරේදී, මෙම ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් සදහා මුල්ගල් තබා තිබෙනවා.

ඒ මාස 3 කින් නව නිවසක් ඉදි කර දෙන බවට පොරොන්දු ලබා දෙමින්.

ධීවර කර්මාන්තය සිය ජීවනෝපාය මාර්ගය බවට පත් කරගත් පවුල් 20 ක, සාමාජිකයන් 75 කට ආසන්න පිරිසක් මෙම ගම්මානයේ දිවි ගෙවනවා.

අපහසුතා මධ්‍යයේ එදා වේල පිරිමහ ගන්නා මේ ගම්වැසියන්ට මෙම නිවාස ව්‍යාපෘතිය හේතුවෙන් දැන් සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • @ Baduddin: According to the former Commander of the Army, he confirms that this man was complicit in the escape of Sahran to India, that he helped the criminal to escape, and that police intelligence people were acting against army intelligence. Baduddin was released from custody by the police only yesterday, ahead of former Commander’s evidence. So it confirms that his arrest was on genuine evidence but the police now have been corrupted with bribes and pretending that there was no evidence. Corrupt police investigation, hiding evidence and concocting a release without presenting the suspect to the court.

  • @ Baduddin, police action releasing this suspect is out of order. It was not their responsibility to release such a leading suspect. As they have done it, it smacks on the integrity of the police chief; either he is an absolute fool, incompetent and unfit for his duty, or he has taken a hefty bribe. Former Commanders evidence indicates that Baduddin was directly responsible for supporting Sahran to escape and that the Army Intelligence had provided this evidence to the police. Therefore if the police now say that they have no evidence, then it means that the police has been suppressing and hiding evidence, under an external influence, and acting ina corrupt manner. All police officers and their senior managers should be removed from their posts , suspect rearrested and new enquiries should begin. Former commanders evidence also demonstrates that the top people in the police force have been inept, incompetent and were bickering under the influence of even more incompetent political leaders.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *