රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් අත්අඩංගුවට

රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් අත්අඩංගුවට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයින් 17 ක්

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විදෙස් ගත වුණේ ප්‍රහාරය පිළිබඳ හොඳින්ම දැනගෙන – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට (15) අලුයම පහේ සිට නිරෝධායන ඇඳිරි නීතිය

*********************************************

රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් අත්අඩංගුවට

(14.10.2020 – 17:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා ලෙස සිටි පොලිස් නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඊයේ (13) දිනයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එහිදී ඔහුට අයත් බවට සැක සුඛෝපභෝගී රථ දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේ.

පසුව සිදුකළ සෝදිසි කිරීම්වළදී අදාළ මෝටර් රථ දෙකේ (2) තිබී ගිනි අවි දෙකක් (2),මැගසින් 4 ක් සහ පතොරම් 48 ක් ද හමුවී තිබෙනවා.

ඒවා කවරෙකුට අයත් ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදාගෙන අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරන්ජන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සමඟ අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා දැනුම් දුන් තිදෙනා (3)ගෙන් එක් අයෙකු වන මොහු කිරුලපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදාගෙන අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරන්ජන් නැමැත්තා ලබන 26 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

+++++++++++++

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරන්ජන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ රියදුරන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද (14) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, රියදුරන් දෙදෙනා (2) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ ලබන 28 වැනිදා දක්වායී.

2019 ජනාධිපතිවරණයේදී පුත්තලම සිට මන්නාරම දක්වා ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීමට රජයේ මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ එවකට නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු තුන් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ (13) වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සමඟ අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා දැනුම් දුන් තිදෙනා (3) ගෙන් එක් අයෙකු වන කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරන්ජන් අද (14) අත්අඩංගුවට ගනු ලැබුවේ කිරුලපන ප්‍රදේශයේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ රියදුරන් දෙදෙනා (2) ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මන්ත්‍රීවරයාට අයත් වාහන දෙකක (2) තිබූ පිස්තෝල දෙකක්ද සමඟින්.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරීයා වන ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්ත ජමාදිල් අබ්දුල් ලතීෆ්ද ඊයේ (13) අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැර තිබුණා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරුණද, ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් හැකි වී නැහැ.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් ප්‍රශ්න කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු 07 ක් යටතේ විමර්ශනය කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ නඩුවේ දෙවන සැකකරු සම්සුදීන් මොහොමඩ් යාසීව්ට විදෙස් ගතවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

++++++++++++++

15 October 2020 – 10:49

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (15) මෙම පෙත්සම ගොනු කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්දදායකයින් මන්නාරම ප්‍රදේශයට ශ්‍රී ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පෙරේදා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කළා.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායම් 6 ක් යොදවා ඇති නමුත් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැහැ ෴

+++++++++++++++

*********************************************

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයින් 17 ක්

(14.10.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව තවත් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වී ඇති අතර, සෙසු පුද්ගලයින් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් සොයාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1608 ක්.

+++++++++++++++++++++

පවතින කොරෝනා අවදානම පාලනය කිරීම සඳහා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබෙනවා.

ඒ සඳහා පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ අදාළ අංශ හා සම්බන්ධ වී සේවාවන් ලබාගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.

එම දුරකථන අංක පහතින් :

+++++++++++++++++++++

කොවිඩ් 19 ආසාදිතයින් 113 ක් අලුතින් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අතර අනෙක් ආසාදිතයින් බ්‍රැන්ඩික්ස් පොකුරේ ආශ්‍රිතයින් බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව අද (14) දිනය තුළ හඳුනා ගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 130 ක්.

***************************************

තිරප්පනේ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 35,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බීට්ටු නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාට ජංගම ලී ඉරුම්හලක් ලියාපදිංචි කිරීම සඳහා වන සහතිකය නිකුත් කිරීමට මෙම බීට්ටු නිලධාරීයා අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසුරිය මහතා කියා සිටියේ ෴

***************************************

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ 06 ක් මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර තිබෙනවා.

ඒ අනුව අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, සමත්තුව පක්ෂය සහ සිංහල රාවය මෙලෙස ලියාපදිංචි කරන ලද පක්ෂයි.

‘සිංහල රාවය’ පක්ෂයේ නම ‘අපේ ජනතා රාවය’ යනුවෙන් සංශෝධනය කිරීමට යෝජිත බවද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මේ වසරේ ජනවාරි මාසයේදී දේශපාලන පක්ෂ පිලිගැනිම සදහා ඉල්ලුම්පත්‍ර 154 ක් ලැබී තිබූ අතර, ඉන් 121 ක් පිළිබඳව මූලික පරීක්ෂාවක් සිදුකිරීමටයි පියවර ගැනුනේ.

ඉන් අනතුරුව මෙම දේශපාලන පක්ෂ 06, පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

***************************************

හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට (3) කොළඹ මහාධිකරණය අද (14) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ වැල්ලවත්ත, මාළිගාවත්ත සහ බොරැල්ල යන ප්‍රදේශවල දී අවස්ථා 3 කදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 3 දෙනෙකුටයි.

ඔවුන් ළඟ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 9 කට අධිකයි ෴

***************************************

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (14) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවා. ඒ, කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.

මෙහිදී මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවන ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතෝලික පල්ලිය ඇතුළු සමස්ත ප්‍රජාවගේ සහය ලබාදෙන බවයි අගරදගුරු හිමියන් සඳහන් කර ඇත්තේ.

එසේම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නංවන ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් සිය පූර්ණ දායකත්වය ලබාදීමට සූදානම් බව අගරදගුරු හිමියන් ප්‍රකාශ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

***************************************

ලොකු ලූනු ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයනික බදු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරුණද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිටත් නිකුත් වී නැහැ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාවට සහන සැලසීමේ අරමුණින් පරිප්පු, සීනි, ලොකු ලූනු සහ ටින් මාළු සඳහා වන ආනයනික බදු ඉවත් කිරීමටයි පියවර ගැනුණේ.

ඒ අනුව සීනි කිලෝවක් රුපියල් 85 කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 100 කට සහ ලොකු ටින් මාළු අසුරණයක් රුපියල් 200 කට මිලට ගැනීමට හැකිවනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (13) නිවේදනය කළා.

රජය සිදු කළ බදු සංශෝධන අනුව අදාළ භාණ්ඩවල මිල පහත දැමීමට සතොස වෙළෙඳසැල් අද පියවර ගෙන තිබුණා.

එහෙත්, ජනතාව ප්‍රකාශ කළේ රජය බදු සහන ඉවත් කළද එම මිලට මේ වනවිට අදාළ භාණ්ඩ අලෙවි නොවන බවයි.

*********************************************

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විදෙස් ගත වුණේ ප්‍රහාරය පිළිබඳ හොඳින්ම දැනගෙන – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

(14.10.2020 – 20:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල වන බව හොඳින්ම දැනගෙන හිටපු ජනාධිපතිවරයා විදෙස්ගත වූ බවට තමන් විශ්වාස කරන බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ජනපති කොමිසමේදී ප්‍රකාශ කළා.

මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට මෙරට ආරක්ෂක තත්ත්වය බිඳ වැටී තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පිළිගත්තා.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සාමූහිකව වගකීම භාරගත යුතුව තිබූ බවයි.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට ඊයේ (13) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ දෙවෙනි (2) දිනටයි.

සාක්ෂි ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 2018 ඔක්තෝබර් මාසයේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව දක්වා තමන්ව ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සඳහා නොකැඳවූ බවයි.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඉදිරිපත් වූ කරුණු අනුව ඔබේ පාර්ශවය හා හිටපු ජනාධිපතිගේ පාර්ශවය මතගැටුම් තිබූ බව දැන් නොරහසක් නේද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“එහෙම මත ගැටීම් නම් තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා වුණාම එතන තිබුණේ පොදු අපේක්ෂාවක් විතරයි. මත ගැටුම් ඇතිවුණා ඔය රැකියා දෙන අවස්ථාවල එහෙම. නැතුව ප්‍රතිපත්තිවල සහ පක්ෂ හැටියට නම් ගැටුම් තිබුණේ නැහැ. අමාත්‍යාංශ අතර යම් අවස්ථාවල ප්‍රශ්න තිබුණත් කිසිදු කටයුත්තකට ඒවා බලපෑමක් වුණේ නැහැ.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“කැබිනට් මණ්ඩලයේ අර්බුද තිබුණද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“ප්‍රශ්න තියෙනවා ඕන ආණ්ඩුවක. කැබිනට් එකේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමෙත් තිබුණා එහෙම.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබතුමා 2015 ඉදලා 2018 දක්වා සෑම ආරක්ෂක කවුන්සිලයකටම සහභාගී වුණාද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“හැම රැස්වීමටම සහභාගී වුණේ නැහැ. සමහරවිට මම රටින් පිට හිටියේ. ඒ වගේම මේ රැස්වීම්වලට සහභාගී වෙන්න දැනුම්දීම එන්නෙ පැය 24 ක් 48 ක් වගේ ඇතුළත. එතකොට කළින් දාගත්ත වැඩ වෙනස් කරගන්න බැහැනේ.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඉතින් මේ ප්‍රායෝගික ගැටලු ගැන හිටපු ජනාධිපතිතුමා සමග කතාකළේ නැත්ද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“මම වතාවක් දෙකක් කිව්වා එක නිශ්චිත දවසක් දාගන්න නැත්නම් කලින් කියන්න කියලා. නමුත් ජනාධිපතිතුමා කිව්වෙ බුද්ධි අංශ වාර්තා දෙන විදියට තමයි කැඳවන්නේ කියලා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබ අගමැති විදියට හිතන්නේ ආරක්ෂක කවුන්සිලය සති පතා රැස්විය යුතුව තිබුණද? සාක්ෂි ඉදිරිපත් වුණා 2015ට කලින් නම් සතිපතා රැස්වුණා කියලා..”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“හදිසි යුධ අවස්ථාවක් නැත්නම් අඩුම තරමේ සති දෙකකට වතාවක් හරි රැස්කරන්න තිබුණා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ආරක්ෂක කවුන්සිලයේ ඉස්ලාම් අන්තවාදය ගැන කතාවුණා ද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“ඉස්ලාම් වගේම අනෙකුත් අන්තවාද ගැනත් කතා කළා. නමුත් මධ්‍යස්ත සම්ප්‍රදායික මුස්ලිම්වරු නැතිකරන්න අන්තවාදී අදහස් මතුවෙලා තිබුණා මුස්ලිම් සමාජයේම. අනිත් ආගම්වල එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ “

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“මේ සම්ප්‍රදායික මුස්ලිම්වරු ආරක්ෂා කරන්න රජයක් විදියට ඔබතුමන්ලා මොකද කළේ ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“අපේ එක්සත් ජාතික පක්ෂයෙත් වැඩියෙන් හිටියේ සම්ප්‍රදායික මුස්ලිම්වරු. ඉතින් ඒ අයව ආරක්ෂා කරන්න අපිට ලොකු වගකීමක් තිබුණා. ඒ අදාළ නීතිය හා සාමය ඇමතිවරු වගේම පොලිසිය දැනුම්වත් කළා මේ ගැන හොයන්න.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“හොයන්න කිව්වට…. 2017 අලියාර් ගැටුමෙන් පස්සේ සහරාන්ට වරෙන්තු නිකුත් වෙලා 2019 ෂැංග්‍රිලා එකෙන් මතුවෙලා පුපුරගන්නකල් ඔය පොලිසියට සහරාන්ව හොයාගන්න බැරි වුණා නේද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“අපි මේ වෙද්දී අන්තවාදී ආගමික කොට්ඨාසයක් ආරම්භ කරලා තිබුණේ මේවා හොයන්න. මේක TID එකට දුන්නා පොලිසියට මේක කරන්න බැරි නිසා. නමුත් ඔය අතරේ ආරංචි වුණා සහරාන් ඉන්දියාවට ගියා කියලා. ඒත් CID එක කිව්වේම ලංකාවෙ ඉන්නවා කියලා. එක වතාවක් තොරතුරු ලැබුණා කාශ්මීරයේ ඉන්නව කියලා.”

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“වරෙන්තු නිකුත් වෙන අනිත් සැකකරුවන් අල්ලගන්න පුලුවන් වෙලා. මෙච්චර කාලයක් පුරාවට ඇයි මේ සහරාන්ව විතරක්ම Arrest කරන්න බැරි වුණේ ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“මට ඒක කියන්න බෑ. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ ගැන බුද්ධි අංශ නීතිය හා සාමය ඇමතිටවත් නොකිව්වෙ කියන එක. බුද්ධි අංශ සහරාන් ගැන කියද්දි මම නම් කියලා තියෙනවා ආරක්ෂක කවුන්සලයේ දී නීති උපදෙස් අරන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සහරාන් අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඔය රැස්වීම්වල මුල් කාලයේ සුරේෂ් සලේ මහත්තයා අදහස් දක්වන එකට ඔබතුමා එතරම් සතුටක් දැක්වුවේ නැහැ කියලා වාර්තාවෙනවා. ඔබ මොකද ඒ ගැන කියන්නේ ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“මාධ්‍ය ඉන්න නිසා ඒ ගැන කියන්න අමාරුයි. හැබැයි ඔහු දක්ෂ නිලධාරියෙක්.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඒ වෙද්දි ලෝකෙ බොහෝ රටවල ISIS සංවිධානය තහනම් කරන්න පියවර අරන් තිබුණා. ඇයි ලංකාව තුළ ISIS තහනම් කරන්න හිතුවෙ නැත්තේ ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“අපේ රටේ IS සංවිධානය ක්‍රියාත්මක වෙනවා කියලා ඒ වෙද්දි අපිට තොරතුරු ලැබුණේ නැහැ. එක පාරක් 2017 දී හිටපු යුධ හමුදාපති සිල්වා මහත්තයා කිව්වා තහනම් කළා නම් හොදයි කියලා. මං ඒත් කිව්වා ඒක අන්තවාදීන්ට උඩගෙඩි දීමක් වෙනවා සහ ඔවුන් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට හිරිහැර කරයි කියලා. එහෙම වුණානම් අපිට මේ ගැන තොරතුරු එන මාර්ගත් නැති වෙනවා. 83 දෙමළ ප්‍රශ්නවලදිත් තොරතුරු ආවෙ නැත්තේ ඕකනේ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඒ වුණාට වික්‍රමසිංහ මහත්තයා.. තහනම් නොකළත් තොරතුරු ආවේ නැහැනේ නේද බෝම්බ පිපිරෙනකල් ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“අපිට සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ ගැන තොරතුරු කියලා තිබුණා හිරිහැර වෙනවා කියලා.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“නෑ.. මම අහන්නේ විදෙස් බුද්ධි අංශයක් කියනකල් ලංකාවෙ බුද්ධි අංශ දැනගත්තේ නැහැනෙ මේ ගැන ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“ඒක අපේ බුද්ධි අංශවල ලොකු අඩු පාඩුවක්. සහරාන්ලා නුවරඑළියේ එහෙම පන්තිත් පැවැත්වුවා. දැනගත්තේ නැනෙ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඇත්තටම ඔබතුමාට මතක් කරලා දුන්නොත්.. නුවරඑළියේ පන්ති පවත්වනවා කියලා පොලිසියට කිව්වා. පොලිසිය එතනට ගියා. සහරානුත් හිටියා. නමුත් පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මේ කොමිසමේදී හෙළිවුණා. ඇයි ශ්‍රී ලංකා පොලිසියට සහරාන්ව අත්අඩංගුවට ගන්න බැරි වුණේ.. දේශපාලන බලපෑමකද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“නෑ. දේශපාලන බලපෑමක්නම් තිබුණේ නැහැ.”

ඉන් පසුව පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව රටේ උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා අදහස් පළකළා.

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“ප්‍රහාරය එල්ලවුණාට පස්සේ මම නීතිපති, සොලිසිටර් ජෙනරාල්වරයෙක් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් කැඳෙව්වා. නමුත් ජනාධිපතිතුමා කියලා තිබුණා ආරක්ෂක ලේකම්ට හා එතුමාගේ ලේකම්ට යන්න එපා කියලා. එයා හිතන්න ඇති මම එතන කේන්ද්‍රස්ථානයක් කරන්න යනවා කියලා. නමුත් අපි පසුව රැස්වෙලා තීරණ ගත්තා හිටපු අය එක්ක. ඒ අනුව මම තමයි කිව්වෙත් ඇඳිරිනීතිය දාමු කියලා. ඒ වුණත් මම ජනාධිපතිතුමාට කෝල් කරලා මේ ගැන දැනුම්වත් කළා. එතකල් එතුමා මට කෝල් කරෙත් නැහැ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“මුස්ලිම් සමාජයේ ප්‍රශ්න ගැන දන්නේ මුස්ලිම් සමාජයේම සහාය ඇතුව. ඔබතුමන්ලාට මුස්ලිම් ඇමතිවරු රැසක් හිටියා. ඔවුන්ට මේ ගැන දැනුම්වත් කරන්න තිබුණා නේද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“ඔව් එහෙම කරන්න තිබුණා. මොකද මුස්ලිම් පක්ෂ තමයි ඒ අන්තවාදය හා ඒ කටයුතු හොදින් දන්නේ “

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“මුස්ලිම් දේශපාලකයන් අන්තවාදීන්ට උදව් කළා කියලා මේ කොමිසමේ සාක්ෂිත් තියෙනවා ..”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“මේ ප්‍රශ්න තිබුණේ නැගෙනහිර. කල්මුණේ, පොතුවිල්වල තමයි මේවා වැඩියෙන්ම තිබුණේ. දේශපාලනය සම්බන්ධ වෙන්නත් ඇති ඉතින්.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබ ප්‍රහාරයට පසු ජාතිය අමතලා කිව්වා මේ ප්‍රහාරය ගැන සාමුහිකව රජයක් විදියට වගකීම භාරගන්න ඕනෙ කියලා. ඒ කියන්නේ මේ වගකීම බෙදීයනව කියන එකද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“ඔව් මේ වගකීම ඔක්කොම අතරේ බෙදී යනවා. එදා වගකීම අපි සාමුහිකව භාර ගන්න තිබුණා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“හිටපු ගරු අගමැතිතුමා… ඔබතුමා මේ කියන්නේ ලංකාවේ ආරක්ෂක තත්ත්වය බිඳවැටී තිබුණ කියලද ?”

හිටපු අග්‍රාමාත්‍ය – රනිල් වික්‍රමසිංහ :

“ඇත්තමට ඔව්.. එහෙම තමයි තිබුණේ..”

මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතාද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) 9 වන දිනටත් සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය එල්ල වන බව හොදින්ම දැනගෙන එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගතවූ බවට තමන් විශ්වාස කරන බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යධුරය හෙබවූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 3 න් වන දිනටත් අද (14) පස්වරුවේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ වන විටත් ජනපති කොමිසම සාක්ෂි විමසමින් සිටින බවයි.

*********************************************

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට (15) අලුයම පහේ සිට නිරෝධායන ඇඳිරි නීතිය

(14.10.2020 – 18:18 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා අසාදිත පොකුරේ ව්‍යාප්තිය මේ වනවිට දිස්ත්‍රික්ක 15 කට පැතිර ගොස් තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ, කළුතර, කුරුණෑගල, මාතලේ, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, හෙට (15) අලුයම පහේ (05:00) සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන පුද්ගලයින්ට තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

අද (14) දිනයේදීත් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් කොරෝනා අසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනුණා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඔවුන්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ සෙසු පුද්ගලයින් බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින්ගේ සමීපමතයින් බවයි.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වනවිට 1,608 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තොම්බර් මස 05 වනදා සිට 11 වනදා දක්වා ගත වූ දින 06 ක් තුළ රෝගීන් 1,186 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊට පසු දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 121 ක්.

එමෙන්ම, පසුගිය 13 වන දින රෝගීන් 90 දෙනෙකු සහ ඊයේ (13) දිනයේදි තවත් රෝගීන් 194 දෙනෙකු වාර්තා වී තිබුණා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු හෙදියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා.

මතුගම ප්‍රදේශයේ පදිංචි ඇය සමග තවත් අසාදිතයින් තුන්දෙනෙකු (3) වාර්තා වී ඇති බවයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේ.

ඒ අතර අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික මගී බස් රථයක රියදුරෙකු සහ රිය සහායකවරයෙකුද සිටිනවා.

එමෙන්ම, ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටි සිසුවියකටද අසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

එම සිසුවිය ඇතුළු තවත් සිසු සිසුවියන් කිහිපදෙනෙකුට කොළඹ අයි.ඩී.එච්. රෝහලේදී සහ ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව පිළියන්දල – කහපොළ – සිළුමිණ සෑය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 69 ඇතුළු 89 දෙනෙකු එම පිරිවෙන තුලම නිරෝධායනයට ලක් කිරීමට අද පියවර ගත්තා.

ඒ, හිමි නමකගේ මවක් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟයි.

මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් විහිදුනු කොරෝනා ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොල්ලුපිටිය, යුනියන් පෙදෙස, බොරැල්ල මෙන්ම රත්මලාන ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින්ද අසාදිතයින් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.

ඒ අනුව, අහඹු පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියේ.

පවතින තත්ත්වයත් සමඟ අභ්‍යාසලාභි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොරෝනා වෛසරය මැඩපැවත්වීම වෙනුවෙන් අද (14) සිට යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ඔවුන් අනුයුක්ත කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියට අදාලව ජනතාව දැනුවත් කිරීම සදහා දෛනිකව පැවැත් වූ මාධ්‍ය හමුව අද (14) සිට මින් ඉදිරියට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නොපැවත්වීමට තීරණය කර තිබෙනවා.

උදැසන 06:10 සහ පස්වරු 03:00 ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් දෛනිකව මෙම මාධ්‍ය හමු කැඳවා පවතින තත්ත්වයේ බැරැරුම්කම් ජනතාවට ඒත්තු ගැන්වීමටයි.

කෙසේ වෙතත්, අදාල මාධ්‍ය හමුව පැවත්වෙන ස්ථානය පිළිබදව ඉදිරියේදි මාධ්‍ය දැනුවත් කරන බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් ගමන් කළ බස් රථ 06 ක් හඳුනාගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු බස් රථ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ සුඛෝපභෝගී බස් රථවලට මගීන් නංවා ගැනීමේදී උණ පරීක්ෂා කර බස් රථයට මගීන් ඇතුළත් කර ගන්නා ලෙසයි.

මීට අමතරව කොරෝනා වෛසර තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ජනතාව සීමා කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් වෙනුවෙන් විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Bad-Uddin. What is the use of our police force, CID, TID, intelligence services, when they cannot find such a prominent man named Rishard Bad-Uddin inside the 25,000 sq miles of a tiny island like Sri Lanka. This is is not the first time: they were incompetent with that arch criminal Rajitha, also with the former boss of Negombo jail. Law enforcement agencies and their informers were totally and utterly proved to be incompetent and impotent to arrest those culprits until they volunteered to appear themselves. Most probably this Baddy has already left the Island and having a good laugh. So all these points to nothing but a conspiracy at the highest levels, and playing a charade to excite the public. Even the courts are involved in this game, and the poor public are being taken for a ride. All our politicians, no matter what colour they are, playing their double game. Totally untrustworthy. I am disgusted.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *