ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළදපොළක් නිර්මාණයට කිරීමට ජනපතිගේ අවධානය

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළදපොළක් නිර්මාණයට කිරීමට ජනපතිගේ අවධානය

අළුවලින් වැනසෙන ලංකාපුර ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

කොවිඩ් ආසාදිතයන්ට වැළඳිය හැකි නව ස්නායු රෝගයක් සොයාගනී

හිටපු ජනාධිපති ලේකම්වරයා කියූ හිටපු ජනපති මෛත්‍රීගේ අත්සනේ වෙනස

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ නාවික සේවයට සමුදෙයි

නීතිපතිගේ තීන්දුවෙන් පොලිසියට පාඩමක්

නෙරපීමට එරෙහිව සෞම්‍ය ලියනගේ – පේෂල මනෝජ් අධිකරණයට යති

රැස්විම මැද එක්වරම ප්‍රාදේශීය සභාවේ සිවිලිම කඩා වැටෙයි

රිෂාඩ් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන නීතිපති CIDයෙන් කරුණු විමසයි

ගම්පහට රුපියල් 5000 දීමනාව ඉල්ලා දිස්ත්‍රික් ලේකම්ගෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්

“ප්‍රහාරය ගැන තොරතුර ලැබුණනම් රට අතහැරලා යන පහත් මට්ටමක මම හිටියේ නෑ” – මෛත්‍රීපාල

වැලිකඩ සිද්ධිය ගැන යළි විමර්ශනයක් ආරම්භ කළ හේතුව පූජිත් හෙළිකරයි

*********************************************

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළදපොළක් නිර්මාණයට කිරීමට ජනපතිගේ අවධානය

(14.10.2020 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළදපොළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජීවන වියදම් කමිටුව සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කලා.

දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම හිමිකර දීමෙන් මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීමද කෙරෙහි ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු ව තිබෙනවා.

පුරන්ව ඇති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

රැස්වීමට එක්වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා පැවසුවේ එළවළු, පළතුරු, බිත්තර පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක්ද සැකසෙමින් පවතින බවයි.

අඩු ආදායම්ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාස ආශ්‍රිතව එළවළු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුලු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයි නිලධාරීන් පෙන්වා දුන් අතර, ඒ අනුව ඉදිරියේ දී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩසටහන සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

*********************************************

අළුවලින් වැනසෙන ලංකාපුර ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

(14.10.2020 – 21:10 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාන සහල් මෝල් හිමියෙකු කුඹුරු ඉඩමකට දහයියා ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම හරහා පරිසරය හා සෞඛ්‍ය ගැටළු රැසක් මතුව තිබෙනවා.

අද(14) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

‍පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති මෙම කුඹුරු ඉඩමට මහා පරිමාන සහල් මෝල් හිමියෙකු මෑතක සිට දහයියා ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරනවා.

එම බැහැරකරන දහයියා ඇතුළු අපද්‍රව්‍ය රාත්‍රී කාලයේදී ගිනි තැබීමට ද කටයුතු කරන බවයි ගම්වාසීන් ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු ලබාදෙමින් පැවසුවේ.

මේ දිනවල ප්‍රදේශයේ පවතින අධික සුළං තත්ත්වයත් සමග දහයියා අළු විසිර යන්නේ මෙලෙසයි.

“අපිට ගෙවල්වල ඉන්න බෑ. මේ අළු යන නිසා. කුඹුරක්වත් කපාගන්න බෑ සම්පුර්ණයෙන් අළුමයි තියෙන්නෙ කුඹුරුවල. අපේ තාත්තගෙ ඇස්වලට අළු ගිහිං ඇස් කැපිලා බෙහෙත් කරනවා‍.”

දහයියා අළු නිවෙස්වල තැන්පත්ව ඇති අයුරු ද ‘හිරු සී.අයි.ඒ.’ මෙලෙස නිරීක්ෂණය කළා.

මෙම ප්‍රදේශයේ ජීවත්වන කුඩා දරුවන් ද මෙම දහයියා අළු හේතුවෙන් පීඩා විදින්නේ මෙලෙසයි.

“පාරක යන්න බෑ. රෙදි ටිකක් වනාගන්න බෑ. ඔක්කොම අළු තියෙන්නෙ. අපි බත් එකක් උයලා වහලා නොතිබ්බොත් බත් කන්න වෙන්නෙ අළුත් එක්ක.”

මෙලෙස දහයියා පිළිස්සීමෙන් අපහසුතාවට පත්වන්නේ ප්‍රදේශවාසීන් පමණක් නොවේ.

පොලොන්නරුව හරහා ගලා බසින මල ඔය හා මින්නේරි ඔය ද ඒ හේතුවෙන් මුළු මනින්ම වැන සී ඇති අයුරුයි මේ.

ඔයවල් දෙපස මෙලෙස මහා පරිමානයෙන් තැන්පත්ව ඇත්තේ දහයියා අළුයි.

දහයියා අළු හේතුවෙන් සිදුවන පරිසර විනාශයටත්, සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වී ඇති දැඩි බලපෑමත් මෙම දර්ශන ඕනෑතරම් සාක්ෂි සපයනවා.

නීතිය ක්‍රියාත්මක කරවිය යුතු බලධාරීන් අදාල විනාශය සිදුකරන මහා පරිමාන සහල් මෝල් හිමියාගේ මුදලට යටවෙමින් මීට නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

මෙම විනාශය නොදුටු දෑසින් ඉදිරියේදීත් රජයේ බලධාරීන් ක්‍රියාකරන්නේ ද?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිලිබඳ අවධානයෙන්.

*********************************************

කොවිඩ් ආසාදිතයන්ට වැළඳිය හැකි නව ස්නායු රෝගයක් සොයාගනී

(14.10.2020 – 21:43 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් පසු ගතවන පශ්චාත් කාලසීමාව තුළ දී වැළඳෙන නව ස්නායු රෝගයක් ඔස්ට්‍රේලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

පී.සී.එන්.එස්. ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය පුද්ගලයෙකුගේ මානසික හා ශාරීරික හැකියාව දරුණු ලෙස අඩපන කරන බවටයි මේ වනවිට හඳුනා ගෙන ඇත්තේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් පසු ගත වන පශ්චාත් කාලසීමාව තුළ දී නව ස්නායු රෝගයක් වැළඳෙන බවටයි මෙල්බන් හි වෙස්ටන් රෝහලේ ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සොයාගෙන තිබෙන්නේ.

+++++++++++++

15 October 2020 – 7:09

මීගමුව කොට්ඨාශයේ කටුනායක පොලිස් බල ප්‍රදේශයට අද (15) අලුයම 5 සිට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකි අතර, එහි සේවය සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 142 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවදුරටත් වාහන 37 ක් පොලිස් භාරයේ පවතිනවා ෴

++++++++++++++

++++++++++++++

ඊයේ (14) හඳුනාගත් ආසාදිතයින් 113 දෙනා සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වනවිට 1,721 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ (14) අවසන්වරට වාර්තා වූ එම පොකුරේ ආසාදිතයින් 113 දෙනාගෙන් පස් දෙනෙකු (5) බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ නිරෝධායනයට වෙමින් සිටි 05 දෙනෙකු සහ සෙසු 108 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5170 දක්වා ඉහළ ගියා.

ඊයේ (14) පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (2) වාර්තා වූ අතර ඔවුන් කුවේට් සහ කටාර් හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ආසාදිතයින් 1800 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 3357 ක්.

එමෙන්ම, කටුනායක ආයෝජන කලාපය තුළින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආයෝජන මණ්ඩලය සඳහන් කළේ මීට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 150 ක වාර්තා ඊයේ (14) නිකුත් වූ අතර, ඉන් 37 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු බවයි.

මේ අතර, කොරෝනා ආසාදිත කාන්තාවකගේ සැමියෙකු කොළඹ මැනිං වෙළඳපොලේ සේවකයෙකු ලෙස කටයුතු කිරීම නිසා එහි වෙළදසැල් 70 ක් ඊයේ (14) වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර, විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව එම වෙළදසැල් අද (15) යළි විවෘත කළ බවයි වෙළඳපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කොරෝනා වැළදුණු කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති අතර, ඇයගේ සැමියාගේ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද (15) නිකුත් වීමට නියමිතයි.

මැනිං වෙළඳපොලේ වෙළඳුන් හා සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ වේල්ලවීථිය පොලිසියේදීයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ කිසිදු ආසාදිතයෙකු දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නොමැති බවයි.

මේ අතර, කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණීමට ඇති අපහසුතාවය සලකා බලා අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සඳුඳා මහජන දිනය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළා.

පවතින තත්ත්වය හමුවේ සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (15) සිට ලබන 29 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සබරගමුව පළාත් සභාව නිවේදනය කළා.

කළුබෝවිල රෝහලේ සායනවල ඖෂධ තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලබාගත හැකි අතර, ඊට අදාළ දුරකතන අංක කිහිපයක්ද එම රෝහල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දියවැඩියා සායනය සඳහා 011 368 1992 දුරකතන අංකයද, කායික රෝග වෛද්‍ය සායනය සඳහා 011 368 1990 දුරකතන අංකයද ඇමතිය හැකියි. එසේම, හෘද රෝග සායනයේ ඖෂධ ලබා ගැනීම සඳහා 011 368 1998 දුරකතන අංකයද, බාහිර රෝගී අංශයේ සායන ඖෂධ ලබාගැනීම සඳහා 011 361986 දුරකතන අංකයද ඇමතිය හැකියි.

මේ අතර, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ කොරෝනා මර්දනයට අවශ්‍ය ශක්තිය තමන් සතුව පවතින බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කියා සිටියා ෴

+++++++++++++

PCR සරල පරීක්ෂණයක් … වේදනාවක් නෑ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

(15.10.2020 – 09:35 +0530 – sinhala.adaderana.lk)

පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී අධික වේදනාවක් දැනෙන බවට පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (14) රාත්‍රීයේ ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වු ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහන සමග එක්වෙමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

“ලෝකයේ පීසීආර් පරීක්ෂණ මිලියන ගාණක් කරලා තියෙනවා. මේක එහෙම වේදනා දෙන එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි මමත් පීසීආර් පරීක්ෂණයට ලක්වෙලා තියෙනවා. යම් කිසි අපහසුතාවයක් තියෙනවා. පොල් කෙන්දක් නහයේ දැම්මත් පොඩි අපහසුතාවයක් තියෙනවානේ. නමුත් ඒක දරා ගන්න බැරි එකක් නෙමෙයි. බය වෙන්න කාරණාවකුත් නෙමෙයි. බොහෝම සරල ක්‍රියාවක්. ඇත්තටම මම ඒක කරේ මේ කාරණයේ ඇත්ත නැත්ත හොයා ගන්න ඕන නිසා. එහෙම නැතුව මට රෝගය ගැන සැකහිතිලා නෙමෙයි. පීසීආර් පරීක්ෂණයට සාම්පල් එක අරගෙන මම බැලුවා….”

” ‘රෝගය සමාජ ගතවෙලා නැත’ කියන්නේ අලගිය මුලගිය තැන් මේ රෝගීන්ගෙන් හොයා ගන්න පුළුවන් කියන එක. ආසාදිතයෙක් හම්බවුණාම ඒ ආසාදිතයාගේ ආශ්‍රිතයින් හොයා ගෙන ගිහින් මේ ආශ්‍රිතයින්ගේ මූලය අපේ 33 වන පොකුරට සම්බන්ධ කරන්න පුළුවන් නම්, ආසාදිතයාට විෂබීජය ආසාදනය වුණ ආකාරය ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් ඒක තමයි වසංගත රෝග විද්‍යා අංශයේ නිර්ණායකය. මේ අවස්ථාවේ දී අපිට හම්බවෙලා තියෙන කොවිඩ් පොකුර තාම සමාජ ගතවෙලා නෑ. දැන් මේ අවස්ථාව වෙනකොට 1660 ක් විතර මේ පොකුරේ රෝගීන් ඉන්නවා. හැබැයි අපි තාම එක පුද්ගලයෙකුවත් දැඩිසත්කාර ඒකකයට යන්න අවශ්‍යතාවයක් තියෙන මට්ටමට මේ විෂබීජ ආසාදනය වැඩි වෙච්ච රෝගියෙක් තවම හම්බ වෙලා නෑ මේ පොකුර තුළ. අද වන විට දැඩි සත්කාර ඒකකයේ කිසිදු රෝගියෙක් වාර්තා වෙන්නේ නෑ.”

*********************************************

හිටපු ජනාධිපති ලේකම්වරයා කියූ හිටපු ජනපති මෛත්‍රීගේ අත්සනේ වෙනස

(14.10.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හමුදා බුද්ධි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණය වන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා අද (14) ප්‍රකාශ කළා .

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

++++++++++++++

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (14) පැය 05 පමණ කාලයක් සාක්ෂි ලබාදුන්නා.

තුන් වන (3) දිනටත් පස්වරු 04:00 ට පමණ කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා ඉන් පිටව ගියේ රාත්‍රි 09:00 ට පමණයි.

යළිත් ලබන 17 වැනිදා උදෑසන පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට කොමිසම දන්වා තිබෙනවා ෴

***************************************

බන්ධනාගාර ආරක්ෂක කටයුතු සඳහා විශේෂ ආරක්ෂක බලඇණියක් බන්ධනාගාර පද්ධතිය තුළ ස්ථාපිත කර ඊට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකිරීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

පසුගියදා එම අමාත්‍යාංශයේ ඊට අදාළ සාකච්ඡා පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

සිරකරුවන් අධිකරණය සඳහා ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වන තර්ජන සහ රැඳවියන්ට බාහිර පාර්ශවයන්ගෙන් එල්ල වන තර්ජනයන් හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් සැපයීම සඳහාද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

එසේම, මෙම අලුතින් ආරම්භ කිරීමට නියමිත බලඇණිය සඳහා විශේෂ හමුදා පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

මෙරට පාතාල කල්ලි සාමාජිකයෙකු ඉන්දියාවේ බැංගලෝර් හිදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය රැසක් අද (15) වාර්තා කර තිබුණා.

එම වාර්තාවල දැක්වුණේ මොහු සුනිල් ෆොන්සේකා ලෙස හඳුන්වන බවටයි.

මෙම සැකකරු අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය මගින් අනාවරණ කරගෙන ඇති බවත්, මොහු මීට පෙර 2003 වසරේ දී තමිල්නාඩුවේදී අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉන්දීය වාර්තා තවදුරටත් සඳහන් කළා.

පසුව මෙම පුද්ගලයාට එරට අධිකරණය මගින් වසර 7 ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙම පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙතෙක් ඒ පිළිබදව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි ෴

+++++++++++++

බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීම්වලදී 311 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊයේ (14) පස්වරු 6 සිට අද (15) අලුයම 5 දක්වා මෙම වැටලීම් සිදුකළ බවයි.

හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට 110 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා ෴

***************************************

පානදුර – හේනමුල්ල ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදි දෙකක් (2) පානදුර – උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ ජීප් රථයේ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකු (3) තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (14) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ අය අතර යතුරුපැදිකරුවන් දෙදෙනා (2) ද වන බවයි.

අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදි දෙක පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ ජීප් රථයේ ගැටීමත් සමඟ එය මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.

පසුව තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා සහ යතුරුපැදිකරුවන් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා ෴

*********************************************

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ නාවික සේවයට සමුදෙයි

(දිනය නැත – news.navy.lk)

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.

යුධ නෞකාවක් නාවික හමුදා සේවයට එක්වීම රටේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් විශේෂ බලපත්‍රයකින් අධිකාරියට පත් කිරීම මගින් සිදු වන අතර, යුධ නෞකාවක් නාවික සේවයෙන් ඉවත් කිරීමද ජනාධිපතිවරයාගේ විශේෂ අනුමැතියක් සහිතව සිදු වේ. ඒ අනුව, ‘වීරයා’ සහ ‘ජගතා’ යුධ නෞකාවන් අධිකාරියෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ව අනුමැතිය මත සිදු කරන ලදි.

1972 වසරේ රියර් අද්මිරාල් ඩීවී හන්ටර් මහතා නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අවදියේ ‘Her Majesty’s Ceylon Ship Weeraya’ සහ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ ලෙස අධිකාරයට පත්කර නාවික හමුදා සේවයට එක්කෙරුණු ‘වීරයා’ නෞකාව, එතැන් සිට වසර 48 ක පමණ කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව අඛණ්ඩව ජාතියට සේවය කොට ඇත. 1980 වසරේ රියර් අද්මිරාල් ඒ.ඩබ්.එච්. පෙරේරා මහතා නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අවදියේ අධිකාරියට පත්කර නාවික සේවයට එක්කළ ‘ජගතා’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව වසර 40 ක අඛණ්ඩ ජාතික සේවයක් ලබා දී ඇති අතර, මෙම නෞකා ද්විත්වය 1961 වසරේදී මහජන චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදනය කර ඇත. 1980 දශකයේ මුල් භාගයේ පළමු ඊලාම් යුද්ධය ආරම්භ වීමත් සමඟ අතිශය කාර්යබහුල වූ මෙම නෞකාවන් වෙතින් කරෙයිනගර් දූපත ආශ්‍රිත මුහුදේ සිදු වූ අවි ජාවාරම් සහ ත්‍රස්ථ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා සිදු වූ දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවට බෙහෙවින් වැදගත් විය. මෙම නෞකා නිෂ්පාදනයේ සිට අඩසිය වසකට වැඩි කාලයක් භාවිතා කිරීමෙන් පසු මේ වන විට කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස යෙදවිය හැකි උපරිම කාලය සම්පූර්ණ කර ඇත.

මෙම යුධ නෞකා ද්විත්වය අධිකාරියෙන් ඉවත් කිරීමෙන් පසු නෞකාවන්ගේ දිගට සමාන වන ලෙස සකස් කරන ලද එම නෞකා අධිකාරියට පත් කිරීමේ ධජය (Commissioning Pennant) සංකේතවත් කරනු ලබන Paying off Pennant ධජයන් නැව් මුළුවේ සාමාජිකයින් ගණනට සමාන කොටස් වලට වෙන් කොට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකා ද්විත්වයේ නැව් මුළු වෙත ලබා දීම, මෙම අධිකාරියෙන් ඉවත් කිරීමේ උත්සව අවස්ථාවේ අවසන් අංගය ලෙස සනිටුහන් විය.නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීමේ මෙහෙයුම් සඳහා දශක හතරකට අධික කාලයක් අභිමානවත් සේවයක් ලබා දෙමින් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අනභිභවනීය සේවයක් සිදුකල මෙම නෞකා ද්විත්වය නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව ඉදිරි දිනකදී ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කෘතිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට නියමිතය.

කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වන ලද ‘වීරයා’ සහ ‘ජගතා’ නෞකා අධිකාරියෙන් ඉවත් කිරීමේ උත්සව අවස්ථාව සඳහා 1980 ජනවාරි 01 වන දින සිට 1981 ජනවාරි 25 වන දින දක්වා එවකට ‘වීරයා’ නෞකාවේ හයවන (06) අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජේ.ටී.ජී. සුන්දරම් ජ්‍යේෂ්ඨ නිලධාරියා විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගි විය. තවද, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් වයි.එම්.ජී.බී. ජයතිලක, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල, ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ආර්.පී.සී.ජේ. රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් කේ.එස්. රණසිංහ යන මහත්වරු, නාවික හමුදා මූලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ ආයතන හා නෞකාවන්ට අයත් අණදෙන නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

[ සේයාරූ ]

*********************************************

නීතිපතිගේ තීන්දුවෙන් පොලිසියට පාඩමක්

(15.10.2020 – 11:10 +0530 – lankadeepa.lk)

පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් රහස් පොලීසිය නිසියාකාර විමර්ශනයක් කොට නොමැති බව හෙළිවීම නිසා නීතිපතිවරයා දුන් විශේෂ ලිඛිත උපදෙස්වලට අනුව විමර්ශන සිදුකොට මාසයක කාලයක් ඇතුළත එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන්ට අවධාරණය කළ බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

ලෝකයේ හැමදාමත් පන්ති දෙකක් තිබුණේය. ඒ බලය ඇති පන්තිය හා බලය නැති පන්තිය ලෙසය. බලය ඇති පන්තිය සාතිශය සුළුතරයකි. බලය නැති පන්තිය සාතිශය බහුතරයකි. එහෙත් බලය ඇති සුළුතරය බොහෝවිට නීතිය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවූයේය. කවර සාපරාධයක් කළද තම ගැලවුම පිණිස නීතිය යොදා ගත්තේය.

සමාජ යුක්ති ධර්මයට මුළුමනින්ම පටහැණි වුවද යථාර්ථය පෙර දැක් වූ දේය. එම නිසාම සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත් වූයේ සියල්ලන්ටම නීතිය සමාන විය යුතු බවය. අලුත් ආණ්ඩුවේ සටන් පාඨයක් වූයේද එක රටක් එක නීතියක් යන්නයි. එයට මෙරට බහුතර ජනයාගේ ප්‍රසාදයත් අනුමැතියත් හිමි විය. එහෙත් නීතිපතිවරයා පවසන්නේ රියාජ් බදියුදීන් මුදාහැරීමේ රහස් පොලිස් තීරණය සාධාරණ නොවන බවය.

පුද්ගලයකු ආවාට ගියාට අත්අඩංගුවට ගත නොහැකිය. එයට සාධාරණ පදනමක් තිබිය යුතුය. යුක්තිගරුක සාධක තිබිය යුතුය.

පොලිසියට බලය ඇත්තේ එබන්දකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පමණි. අදාළ පුද්ගලයාට දඬුවම් නියම කරන්නේද නැද්ද තීරණය කරනු ලබන්නේ අධිකරණය මගිනි. පැමිණිලි පාර්ශ්වයටත් විත්ති පාර්ශ්වයටත් ඇහුම්කන් දී සාධාරණ නිගමනයට අධිකරණය එළැඹේ. එය විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියකි. අධිකරණයෙන් ඔප්පු වනතුරු ඕනෑම අයකු සැකකරුවකු පමණි. අධිකරණ ක්‍රියාවලිය දියත් වන්නේ එබඳු සාධාරණ පදනමකින්ය. එහෙත් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කරන්නේ රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමේ රහස් පොලිස් තීරණය සාධාරණ නොවන බවය.

රියාජ් බදියුදීන් නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක කටයුතු පුද්ගලයකු ලෙසය. ඔහු තවම වරදකරුවකු වශයෙන් ගණන් ගැනීමටද නොහැක. පාස්කු ප්‍රහාරය ඉතිහාසයට එක්වන්නේ මානව සංහතියේ කුරිරුතම සිදුවීමක් ලෙසය. ආගමික අන්තවාදයෙන් උමතුව එල්ල කළ එම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මානව හිතවාදී මුළු මහත් ලෝකයම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දුටුවේය.

මානව වංශ කතාවට කළු පැල්ලමක් හා කළු කුහරයක් විවර කළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට ඉහළම දඬුවම් ලබා දිය යුතුය. මහා මනුෂ්‍ය ඝාතනයක හවුල්කරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීම යුක්තිගරුක මානව අධ්‍යාත්මය දරා නොඉවසන්නෙකි.

රියාජ් බදියුදීන් නමැත්තා අත්අඩංගුවට ගත් මොහොතේ සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්ත මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පිළිගත හැකි සාක්‍ෂි මත පදනම්ව බවය. ඉන් මාස පහ හමාරකට පසුව රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැර තිබිණි. ඒ අවස්ථාවේදී ද හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ඔහුට නඩු පැවරීමට තරම් හේතු නොවන බවය.

සාධාරණ හේතු නොමැතිව අත්අඩංගුවට ගැනීම, මාස පහ හමාරක් වැනි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම කිසිසේත්ම සාධාරණ නැත. එය වරදකි. එමෙන්ම නීතිපතිවරයා පවසන ආකාරයට පොලිසිය මෙහිදී නියමාකාර විමර්ශනයක් කර නැත.

ඔහු ජංගම දුරකථන 16ක් භාවිත කළ බවට හෙළි වී ඇතත් ඉන් ජංගම දුරකථන 12ක්ම රහස් පොලිසිය සොයාගෙන නොමැත. එමෙන්ම මෙම සිදු කළ විමර්ශනවලදී රියාජ් බදියුදීන් නමැත්තා මුදල් විශුද්ධිකරණය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර නොමැති බවද නීතිපතිවරයා අවධාරණය කර ඇත.

රියාද් බදියුදීන් නමැත්තාගේ සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ය. දේශපාලන ලෝකය යනු ඩීල්වලින් පිරුණ තැනකි. ඒ අනුව එබදු ඩීල් එකක් නිසා රියාද් මුදාහරින ලදැයි සමාජයේ සාකච්ඡාවට ලක්විය. කුමන හේතුවක් මත වුවද අනීතික ක්‍රියා මෙරට ජනයා නොඉවසන බව අවධාරණය කළ යුතුය ෴

++++++++++++++

(15.10.2020 – 10:49 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (15) මෙම පෙත්සම ගොනු කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්දදායකයින් මන්නාරම ප්‍රදේශයට ශ්‍රී ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගන්නා ලෙස පෙරේදා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කළා.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායම් 6 ක් යොදවා ඇති නමුත් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැහැ ෴

*********************************************

නෙරපීමට එරෙහිව සෞම්‍ය ලියනගේ – පේෂල මනෝජ් අධිකරණයට යති

(14.10.2020 – 14:17 +0530 – lankadeepa.lk)

කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය ධූරයෙන් සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීන නළු හා එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන සෞම්‍ය ලියනගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර එම විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීන තබ්ලා වාදක හා වැඩසටහන් පූරකවරයෙකු වන පේෂල මනෝජ් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

නීතිඥ තුෂාරි ජයවර්ධන මගින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, එහි නිසි බලධාරීන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. අබේරත්න ඇතුළු දහ අට (18) දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

එම තනතුරු වලින් තමා ඉවත් කිරීමෙන් සිදුවූ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි පහක (5) වන්දි මුදලක් ලබා දෙන ලෙස සෞම්‍ය ලියනගේ මහතා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

සහකාර කථිකාචාර්ය වරයකු ලෙස සේවයට එක් වූ පෙත්සම් කරුගේ සේවය 2015 වසරේදී ස්ථිර කල බවත් පසුව ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මහාචාර්ය ධූරයට ත් පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ධූරයට ත් උසස් කළ බව පෙත්සමෙහි දැක්වේ.

එහෙත් ඉකුත් සැප්තැම්බර් මස 25 වැනිදා තමන් එම ධූරයන්ගෙන් ඉවත් කල බව දක්වා ලිපියක් ලැබුණු බව පෙත්සම් කරු කියයි. කථිකාචාර්ය වරයකු ලෙස තම පරිවාස කාලය නිම වන්නට පෙර ආචාර්ය උපාධිය සම්පූර්ණ කර නොතිබීම ඊට හේතුව ලෙස සදහන් කර තිබූ බවද පෙත්සම්කාර සෞම්‍ය ලියනගේ මහතා සිය පෙත්සමින් කියා සිටී.

එහෙත් තමන් එම උපාධිය නිසි පරිදි සම්පූර්ණ කර ඇති බව සදහන් කරන පෙත්සම් කරු විධිමත් විමර්ශනයක් හෝ තමාගෙන් කරුණු විමසීමකින් තොරව එලෙස තනතුරු වලින් තමා ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ14(1)වගන්ති වලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද සිය පෙත්සමේ සදහන් කර ඇත.

එබැවින් එම තීරණ ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ත් එම තනතුරු වලට නැවත තමා පත් කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත.

මේ අතර එම කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සහකාර කථිකාචාර්ය ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පේෂල මනෝජ් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, එහි නිසි බලධාරියා වන මහාචාර්ය ඩබ්ලිව්. එම්. අබේරත්න, විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

විනය පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලියට පටහැනිව යමින් විනය පරීක්ෂණයක් පවත්වා සිය සේවය අත් හිටුවීමට වගඋත්තර කරුවන් ගත් තීරණය අසාධාරණ සහ අත්තනෝමතික බව පෙත්සම් කරු සදහන් කර ඇත.

එබැවින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.එසේම තමන් දැරු තනතුරට නැවත තමා පත් කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් කරන ලෙස පෙත්සම්කාර පේෂල මනෝජ් මහතා අභියාචනාධිකරණයෙන් සිටී.

මෙම පෙත්සම් වෙනුවෙන් නීතීඥ තුෂාරි ජයවර්ධන මහත්මිය ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ උපුල් කුමර⁣ප්පෙරුම මහතා පෙනී සිටීමට නියමිතය ෴

++++++++++++

+++++++++++++

https://www.youtube.com/watch?v=0intF7LFSME
06-10-2020

++++++++++++

10-01-2019

*********************************************

රැස්විම මැද එක්වරම ප්‍රාදේශීය සභාවේ සිවිලිම කඩා වැටෙයි

(15.10.2020 – 11:58 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – ලග්ගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩාවැටී තිබෙනවා.

ලග්ගල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්වූ ඊයේ (14) දිනයේ මෙලෙස එහි සිවිලිම කඩා වැටී ඇති බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවේ මාසික රැස්විම සඳහා එහි සභා ශාලාවේ මන්ත්‍රීවරු පහලොස්දෙනෙකු (15) සිටි බවත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් සඳහන්.

අනතුරෙන් පසු මාසික සභා රැස්වීම අවසන් කිරිමට සිදුවු බවයි අප කළ විමසීම දී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුධික සේනාරත්න මහතා කියා සිටියේ.

*********************************************

රිෂාඩ් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන නීතිපති CIDයෙන් කරුණු විමසයි

(15.10.2020 – 12:09 +0530 – hirunews.lk/sinhala)

රිෂාඩ් බදියුදීන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට නීතිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (15) පස්වරුවේ සිය කාර්යාලයට කැඳවා තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර දින 2 ක් ගතවුවද මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැහැ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

2019 ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීමට රජයේ මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා රිෂාඩ් බදියුදීන් දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එස්.එම්. යාසීම් සහ එහි ගණකාධිකාරී ඒ. මනෝරංජන් යන අයට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ, මෙම පිරිස වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසටයි.

කෙසේ වෙතත්, වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දන්වා සිටියේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව පසුගිය 13 වැනිදා රාත්‍රියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6 ක් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවාස ඇතුළු ස්ථාන කිහිපයකට පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වූවන් අතරින් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ අලගරත්නම් මනෝ රන්ජන් නැමැත්තා පමණයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වන පළමු සැකකරුවූ රිෂාඩ් බදියුදීන් පසුගිය 13 වැනිදා භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථ 2 ක් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ බලපත්‍ර රහිත ගිනි අවිද සමඟින්.

ඒ සමගින් අත්අඩංගුවට ගනු ලැබූ රියදුරන් දෙදෙනෙකු (2) සහ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු (4) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් තිදෙනා (3) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ වන විට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාටත් අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාටත් රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ ඇතුළු හත් දෙනෙකු (7) නම් කර තිබෙනවා.

මෙම අවතැන් වූ ඡන්ද දායකයින් ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ ප්‍රදේශවලට ලංගම බස් රථ වලින් රැගෙන යාම සඳහා එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර අනුමැතිය ලබාදුන් බව එම පෙත්සමේ සඳහන්.

ඒ අනුව අදාළ ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුණේ මුදල් අමාත්‍යාංශයෙන් ලද අනුමැතිය මත බැවින් එම ක්‍රියාව තුළ කිසිදු නීති විරෝධී වරදක් උද්ගත වී නොමැති බව රිෂාඩ් බදුයුදීන් පෙන්වා දෙනවා.

ඒ අනුව රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හෝ පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවයි ඔහු පවසන්නේ.

කරුණු එසේ හෙයින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

*********************************************

ගම්පහට රුපියල් 5000 දීමනාව ඉල්ලා දිස්ත්‍රික් ලේකම්ගෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්

(15.10.2020 – 12:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව 3 වන අදියර යටතේ ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයේ පවුල් 72,345 ක් වෙනුවෙන් රුපියල් 361,725,000 ක් ප්‍රතිපාදන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.

ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 130 දෙනෙකු අලුතින් හඳුනාගැණුනා.

ඒ අතරින් පස්දෙනෙකු (5) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙහි සේවකයින් වන අතර, සෙසු 125 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 1721 දක්වා ඉහළ ගියා.

මේ අතර, කටුනායක ආයෝජන කලාපය තුළින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 111 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ, මීට පෙර සිදුකළ PCR පරීක්ෂණ 150 ක වාර්තා ඊයේ (14) නිකුත් වීමෙන් පසු ඉන් 37 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගැනීමත් සමගයි.

කටුනායක ප්‍රදේශයෙන් මෙලෙස කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන පසුබිමක මීගමුව කොට්ඨාසයේ කටුනායක පොලිස් බල ප්‍රදේශයට අද (15) අලුයම 5 සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පියවර ගත්තා.

මේ අතර, කටුනායක පොලිස් බල ප්‍රදේශයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් බල ප්‍රදේශ 18 කට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක අතර, ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේවන විට අත්අඩංගුවට පත්ව ඇති නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් ගණන 142 ක්.

මේ අතර, කොවිඩ් 19 ආසාදිත කාන්තාවකගේ සැමියෙකු කොළඹ මැනිං වෙළෙඳපොළේ සේවකයෙකු වීම හේතුවෙන් එහි වෙළෙඳසැල් 70 ක් ඊයේ (14) තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමෙන්පසු අද (15) යළි විවෘත කෙරුණා.

මේ අතර, තිස්සමහාරාම සේනපුර පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරුවී තිබෙනවා.

යාල සංචාරක හෝටලයක සේවකයෙකු වන මොහු රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ඇත්තේ පසුගිය 13 වැනිදායි.

එහිදී PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු නිරෝධායනය වන ලෙසට උපදෙස් දී නිවසට පිටත්කර ඇති අතර, එම පුද්ගලයා ඊයේ (14) දහවල් ත්‍රිරෝද රථයක නැග ගොස් වෙනත් නමකින් හම්බන්තොට මහ රෝහලේ 18 වාට්ටුවට ඇතුළත්වී තිබෙනවා.

කෙසේ වෙතත් PCR වාර්තාවට අනුව අදාළ පුද්ගලයාට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ මේවන විට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා පැමිණි කාන්තාවක් වෛද්‍යවරුන් සමග නිශ්චිත තොරතුරු සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් හික්කඩුව රජයේ රෝහල වෙත යොමු කර PCR පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.

එම PCR වාර්තාවේ ප්‍රතිඵලය ලැබෙනතුරු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ මහජනතාවට හඳුන්වාදී ඇති සරළ කරුණු 4 ක් මත පදනම්වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා මහත්මිය ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා.

*********************************************

“ප්‍රහාරය ගැන තොරතුර ලැබුණනම් රට අතහැරලා යන පහත් මට්ටමක මම හිටියේ නෑ” – මෛත්‍රීපාල

(15.10.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වුවහොත් තානාපති ධුරයක් ලබාදෙන බවට තමන් පූජිත් ජයසුන්දර මහතාට කිසිසේත් නොපැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා අනාවරණය කළේ මේ වනවිට රටින් පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පසුපස ක්‍රියාත්මක වූයේ LTTEයේ ජාත්‍යන්තර බලවේග බවයි.

තමා රටින් පිටවුණේ පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව බවට එල්ලවන චෝදනාද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) පස්වරුවේ තුන්වෙනි (3) දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළේ 2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු නැවත අගමැති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සඳහා කැදවූයේද යන්නයි.

තමන්ට ඒ පිළිබඳ මහතකයක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරු ලබාදුන්නා.

අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම එළඹෙන 17 වැනිදා පෙරවරුව තෙක් කල් තැබුණා.

= උපුටා ගැනීම =

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :
“ඔබ තව අවස්ථාවක ප්‍රහාරය සිදුවුණාට පස්සෙ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා ගෙන්නලා කිව්වද මේකෙ වගකීම භාර අරන් ඉවත් වුණොත් කැමති රටක තානාපති කමක් දෙන්නම් කියලා ?”

හිටපු ජනාධිපති – මෛත්‍රීපාල සිරිසේන :
“ඒක සම්පූර්ණයෙන් බොරුවක්. තානාපති කමක් දෙන්නම් කිව්වා පූජිත් අර නුවර පෙරහැරේ නටපු වෙලාවේ. එතකොට මම කිවවා ඉවත් වෙලා යන්න මම වෙන පොලිස්පති කෙනෙක් පත්කරගන්නම් කියලා.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :
“මේ ප්‍රහාරය ගැන දැනගෙනයි ඔබ රටින් පිටවුණේ කියලා මේ කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් ඔබතුමා එය පිළිගන්නවාද ?”

හිටපු ජනාධිපති – මෛත්‍රීපාල සිරිසේන :
“කිසිසේත්ම නැහැ ස්වාමීනි ඒක අසත්‍යයක්. ඒ තොරතුර ලැබුණනම් රට අතහැරලා යන පහත් මට්ටමක මම හිටියේ නැහැ. මේක කවුරුන් හෝ ගොතපු කතාවක්” ෴

***************************************

20 අහිතකර බවට ප්‍රකාශ කළේ අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි සංඝ සභාව එක්ව ගත් තීරණයකට අනුවයි

(15.10.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය රටට අහිතකර බවට සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය රැස්වී සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල හිමියන් පවසනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාව විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක පූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමියන් පසුගියදා ප්‍රකාශ කලා.

මේ අතර ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ අධිකරණ ලේඛකාධිකාරී හිමියන් පැවසුවේ අදාළ නිවේදනය නිකුත් කළේ අමරපුර හා රාමඤ්ඤ නිකායන් දෙකේම සංඝ සභාව එක්ව ගත් තීරණයකට අනුව බවයි.

*********************************************

වැලිකඩ සිද්ධිය ගැන යළි විමර්ශනයක් ආරම්භ කළ හේතුව පූජිත් හෙළිකරයි

(15.10.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවු කැරැල්ලේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යළි විමර්ශනයක් ආරම්භ කළේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවේ නිර්දේශ අනුව බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ජනාධිපති කොමිසමට කල පැමිණිල්ලකට අදාලව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබෙනවා.

2012 නොවැම්බර් මාසයේ සිදු වූ සිද්ධියක් පිළිබඳව වසර පහකට පසු එනම්, 2017දී නැවත විමර්ශන ආරම්භ කළේ ඇයිදැයි කොමිසම පුජිත් ජයසුන්දර මහතාගෙන් විමසුවා.

ඔහු සඳහන් කලේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හිටපු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා විසින් පත්කළ කමිටුවක්, පොලිස්පතිගේ මෙහෙයවීම යටතේ වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබූ බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ලැබුණු නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් සිදු කරන්නැයි තමා දැනුම් දුන් බවත් පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරයා පෙන්වා දුන්නේ , මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට නීතිපතිවරයා 2017 ජූලි 17 වැනිදා ලිපියක් යොමු කර ඇති නමුත් පූජිත් ජයසුන්දර මහතා සී.අයි.ඩී. යට උපදෙස් ලබාදී ඇත්තේ ඊට පෙර දිනක දී බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව ස්වාමිනාදන් විසින් පිහිටවු කමිටුවක් විසින් ගනු ලැබූ තීන්දුවක් මත එනම් දේශපාලන බලාධිකාරයේ උවමනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සිය සේවාදායකයා අගතියට පත් කර ඇති බවට, පැමිණිල්ල මෙහෙයවූ නීතිඥවරයා පුජිත් ජයසුන්දර මහතාට යෝජනා කළා.

එම චෝදනාව ප්‍රතික්ෂේප කල පුජිත් ජයසුන්දර මහතා සඳහන් කලේ, තමා පොලිස් නිළධාරියෙකු ලෙස විමර්ශන සිදු කලා හැරෙන්නට කිසිඳු අවස්ථාවක දේශපාලඥයන්ගේ තීන්දු ක්‍රියාත්මක කිරීමට මැදිහත් නොවුණ බවයි.

මේ පිළිබඳ විමර්ශන සිදු කරනවානම් 2017 ට පෙර සිදු නොකලේ ඇයි දැයි සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් විමසුවා.

පූජිත් ජයසුන්දර මහතා එහිදී නිහඬව සිටි අතර සභාපති විනිසුරු නැවත ප්‍රශ්න කළේ ඊට පිළිතුරු ලබාදීමට තමා බියක් දක්වන්නේද යන්නයි.

“මම බය වෙන්නේ මොකටද ස්වාමිනි. මට වෙන්න තියන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි” යැයි පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබා දුන්නා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *