කොවිඩ් නිසා තාවකාලිකව නවතා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් 20 වනදා සිට නව ක්‍රමවේදයකට

කොවිඩ් නිසා තාවකාලිකව නවතා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් 20 වනදා සිට නව ක්‍රමවේදයකට

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49 ක් හමුවෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට දැනුම්දීමක්

අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහල දේවියගේ අවසන් කටයුතු හෙට (17)

රිෂාඩ් ගැන CIDය හකීම්ගෙනුත් විමසයි

ඇඳිරිනීතිය ක්‍රියාත්මක සහ නොමැති සියලු ප්‍රදේශවල ජනතාව නව ගැසට් නිවේදනයේ අඩංගු කරුණු අනුගමනය කළ යුතුයි

නව ආසාදිතයින් 49 ත් සමඟ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1899 ක් වෙයි

වැලිගමින් වැටලූ ව්‍යාජ වාහන අමතර කොටස් ජාවාරම

*********************************************

කොවිඩ් නිසා තාවකාලිකව නවතා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් 20 වනදා සිට නව ක්‍රමවේදයකට

(16.10.2020 – 17:28 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ සේවාවන් ලබන (20) වනදා සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රමවේදයක් යටතේ එම කටයුතු ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව දුරකථන හරහා ලබාගන්නා කාලය වෙන් කිරීමේ ක්‍රමයක් අනුව එක්දින සේවාවන් ආරම්භ කෙරෙනු ඇති.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන පහත සේවාවන් සඳහා වෙන්කර ඇති දුරකථන අංක වෙත ඇමතීමෙන් කාලය වෙන්කර ගැනීමක් සිදුකර ගත හැකියි.

  1. වාහන ලියාපදිංචි කිරීම සඳහා :- 070 635 4116 , 070 635 4117, 070 635 4118
  2. වාහන පැවරුම් සඳහා :- 070 635 4115 , 070 635 4137 , 070 635 4138 , 070 635 4139 , 070 635 4140 , 070 635 4141
  3. වාහන අංක තහඩු පිළිබද විමසීම් සඳහා :- 070 635 4119 , 070 635 4120
  4. අනෙකුත් විමසීම් :- 070 635 4145 , 070 635 4146 , 070 635 4147 , 070 635 4148 , 070 635 4149

+++++++++++++++

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල ලබන 23 වනදා දක්වා මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා ෴

***************************************

පූගොඩ පොලීසිය මගින් පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගත් තරුණයෙකු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමේදී මිය යාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති මූලික පරීක්ෂණයකින් අනතුරුවයි.

රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා මතයි ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ ෴

***************************************

එක් දිනකදී සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරීමට සහ කොවිඩ් 19 ආසාදිතයන් වෙනුවෙන් වෙන්වූ රෝහල් ගණන 21 දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා ෴

++++++++++++++++

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

රට තුළ දැනට පවත්නා කොවිඩ් 19 තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ උසස් පෙළ විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් එම විභාගය ඒ අයුරින් ම පවත්වන බවත් ලේකම්වරයා පවසා සිටියා.

එමෙන් ම කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇඳිරිනීතිය පවත්නා පොලිස් බල ප්‍රදේශ තුළ විභාග මධ්‍යස්ථානවල රාජකාරී කටයුතුවල නිරතව සිටින ගුරුවරුන්ට මුහුණපෑමට සිදුව ඇති ප්‍රවාහන අපහසුතා සම්බන්ද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, රජය භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට සහනයක් සැලසීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මෙම අදහස් පළකර සිටියේ අද (16) දින පැවති මාධ්‍ය හමුවකදීයි ෴

*********************************************

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49 ක් හමුවෙයි

(16.10.2020 – 19:02 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49 ක් හමුවී තිබෙනවා.

ඔවුන්ගෙන් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින අතර අනෙක් 14 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සේවකයන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ සමඟ එම පොකුරෙන් මෙතෙක් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,850 දක්වා ඉහළ ගියා.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාවද මේ වනවිට 135 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (16) ප්‍රකාශ කළේ කටුනායක ආයෝජන කලාපය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් ඉහළයාමේ අවදානමක් පවතින බවයි.

මේ අතර, කොරෝනා ආසාදනය වී ඇති මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (16) නිවේදනය කළා.

පසුගිය අඟහරුවාදා ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවටද සහභාගි වී ඇති බව සඳහන්.

ඔහු පදිංචි බලංගොඩ – තුඹගොඩ ප්‍රදේශයේ පවුල් 06 ක පුද්ගලයින් ස්වයං නිරෝධානයට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

අද (16) දිනයේත් කොරෝනා ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් සංචරණය කළ ප්‍රදේශ කිහිපයක විෂබීජහරණ කටයුතු සහ ස්වයං නිරෝධායන කටයුතු සිදුකෙරුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන්.

කොරෝනා ආසාදිතයන් වාර්තාවන තත්ත්වය හමුවේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ පිහිටි හැලකන්දල, පේරලන්ද සහ ගනිහිමුල්ල යන ගම්මාන හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි නීතිඥවරයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා.

අදාළ නීතිඥවරයාගේ පුත්‍රයා කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම නිසා එම පවුල ස්වයං නිරෝධායනයට ලක් කර සිටියදී, එය නොතකමින් මෙම නීතිඥවරයා අද (16) පෙරවරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

මීට අමතරව නිරෝධායනයට යොමුකර සිටි හබරාදූව පොලිසියේ නිලධාරීන් 06 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අද (16) තහවුරු වී තිබෙනවා.

මැදවච්චිය ප්‍රදේශයේ සිට පැමිණි ආසාදිතයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වීම හේතුවෙනුයි මෙම පොලිස් නිලධාරීන් පෙරේදා (14) සිට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණේ.

මේ අතර, පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත් අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාව එම ප්‍රදේශයේ සමිති රැස්වීම් කිහිපයකට සහභාගි වී ඇති බවට අනාවරණ වුණා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ගැනීමට යාම හේතුවෙන් ඇයට වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟ රඹුක්කන පොලිස් වසමේ ඊරියගොල්ල – වල්කොටුව වත්ත සහ ඇඹුල්අඹේ යන ගම්මාන තුනට (3) සංචරණ සීමා පැනවීමට පොලීසිය අද (16) පියවර ගත්තා.

පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවල එක්දින සේවාවන් ඇතුලු මහජන සේවාවන් ඔක්තෝම්බර් 23 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලැබූ රෝගීන් 05 දෙනෙකු අද (16) රෝහල්වලින් පිටව යෑමත් සමඟ මේ වනවිට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,385 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් මේ වනවිට හඳුනාගත් මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,305 ක්.

මේ අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරීමට සහ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල් සංඛ්‍යාව 21 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 19 හි අද (16) පෙරවරු 08:00 විවෘත කළ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් රාත්‍රි 10 දක්වා විවෘතව තැබෙනවා.

කෙසේ වෙතත්, එම වෙළඳසැල් හෙට (17) සහ අනිද්දා (18) විවෘතව නොතැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

*********************************************

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට දැනුම්දීමක්

(16.10.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික රාජකාරී සිදුකර ගැනීමට පැමිණෙන ජනතාව සඳහා එම දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සේවා ලබාගැනීම සඳහා පැමිණීමේදී ලබාදී ඇති දුරකථන අංක මගින් උපදෙස් ලබාගෙන අදාළ ප්‍රාදේශීය කාර්යාල මගින් සේවා ලබාගැනීමට කටයුතු කරන ලෙසටයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් ඉල්ලා සිටින්නේ.

*********************************************

අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහල දේවියගේ අවසන් කටයුතු හෙට (17)

(16.10.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පිනියකල ගායන ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අද (16) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 73 වියේ පසු වූ බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (17) සිදුකිරීමට නියමිතයි.

1947 වසරේ සැප්තැම්බර් 21 වැනිදා උපත ලැබූ අනුලා මෙන්ඩිස්, අනුලා බුලත්සිංහල නමින් ප්‍රකටවන්නේ ප්‍රවීන නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන් සමඟ විවාහ වීමෙන් පසුවයි.

ආර්.ආර්. සමරකෝන් ශූරීන්ගේ කුළුදුල් නිර්මාණය වන “ලෙඩක් නැති ලෙඩෙක්” වේදිකා නාට්‍ය ඔස්සේ 1965 වසරේදී අනුලා බුලත්සිංහල මහත්මිය පළමුවරට වේදිකාවට පිවිසියා.

ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉඟිලෙති’ වේදිකා නාට්‍යයේ පළමු නිෂ්පාදනය සඳහාද ඇය රංගනයෙන් දායක වුණා.

අනතුරුව එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, බර්ටි ගලහිටියාව වැනි ප්‍රවීණයන්ගේ නිර්මාණ හරහා වේදිකාවේ දිගු දුරක් යන අනුලා බුලත්සිංහල මහත්මිය වඩාත් ජනප්‍රිය වූයේ ‘රතු හැට්ටකාරී’ නාට්‍යයේ ‘දීකිරි දීකිරි’ ගීතයෙන්.

දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘මධුර ජවනිකා’ නාට්‍යයේ ‘නෙයිනගේ සූදුව’ ගීතයද මෙරට ප්‍රේක්ෂකාගාරයේ මතකයෙන් මැකී නොයන තවත් ගීතයක්.

විජේරත්න වරකාගොඩ මහතා සමඟ ගයනු ලැබූ ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’, සිය දියණිය සමඟ ගායනා කළ ‘බුදුන් වඳින මේ දෑතින්’ ආදී ගීතද මෙරට රසිකයින්ගේ හදවත් තුළ අදටද රැව් දෙනවා.

‘භවත්‍රා’, ‘යකඩදෝලි’ ආදී ටෙලි නිර්මාණවලින් පුංචි තිරය හරහා මෙරට ජනතාවට සමීප වූ අනුලා බුලත්සිංහල මහත්මිය ‘අසන්ධිමිත්තා’, ‘මහින්දාගමනය’ ආදී සිනමා නිර්මාණ හරහා මෑත ඉතිහාසයේ රිදී තිරයද ආලෝකවත් කළා.

මෙම අසහාය රංගන ශිල්පිනිය පසුගිය සැප්තැම්බර් 11 වැනිදා අවසන් වරට වේදිකාවකට පා තැබුවේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී කලාකරුවෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ‘නාට්‍ය කීර්ති’ සම්මානය පිළිගැනීම සඳහායි.

හර්ෂ පුතනුවන්ට සහ ඉන්ද්‍රචාපා දියණියට ආදරණීය මවක් වූ අනුලා බුලත්සිංහල මහත්මිය සිය සැමියා වන ලූෂන් බුලත්සිංහලයන් හට අදරණීය බිරිඳක් බවට පත් වූයේ ඔහුගේ නිර්මාණ දිවියටද ශක්තියක් දෙමින්.

ජීවන වේදිකාවෙන් බැසයන ‘රතු හැට්ටකාරිය’ට සුභ ගමන්.

*********************************************

රිෂාඩ් ගැන CIDය හකීම්ගෙනුත් විමසයි

(16.10.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සිදුකළ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් අද (16) ප්‍රකාශ සටහන් කර ගත්තා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නිවසට ගොස් අද (16) දහවල් දොලහේ සිට පස්වරු දෙක දක්වා මෙලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විපක්ෂ නායක මාධ්‍ය අංශය අනතුරුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පසු මන්ත්‍රීවරයා සහ විපක්ෂ නායකවරයා අතර දුරකතන සංවාදයක්ද ඇතිවූයේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කර සිටි බව එහි දක්වා තිබුණා.

විපක්ෂ නායකවරයාට තම පාර්ශවයේ මන්ත්‍රීවරයෙකුගෙන් ඇමතුමක් ලැබීම පවා ආණ්ඩුවට ප්‍රශ්නයක් වීම විහිළු සහගත තත්ත්වයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණේ.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට නියෝග කර මේ වනවිට දින 03 ක කාලයක් ගත වී ඇති නමුත්, මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැහැ.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ රීට් පෙත්සම ලබන 20 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කළා.

ඒ අනුව එම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතයි.

වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු 07 දෙනෙකු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

***************************************

‘සුරකිමු ගංඟා’ තේමාව යටතේ මෙරට ගංඟා 103 ක් සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඒ සඳහා රුපියල් කෝටි 2300 ක මුදලක් වැය කිරීමට නියමිත බවයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පානීය ජල අවශ්‍යතාවය සපුරන ගංඟාවලට අපද්‍රව්‍ය එක්වීම මගින් සිදුවන හානි අවම කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණක් ෴

*********************************************

ඇඳිරිනීතිය ක්‍රියාත්මක සහ නොමැති සියලු ප්‍රදේශවල ජනතාව නව ගැසට් නිවේදනයේ අඩංගු කරුණු අනුගමනය කළ යුතුයි

(16.10.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවම කොවිඩ් 19 රෝගී බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක සහ එසේ නොවන සියලු ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ අඩංගු කරුණු අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර අද (16) දිනයේ ගම්පහ සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා තිබූ ඇඳිරිනීතිය පැය කිහිපයකට ලිහිල් කිරීමට කටයුතු කෙරුණා.

කෙසේ වුවත් හෙට (17) සහ අනින්දා අදාළ සහන කාලය ක්‍රියාත්මක නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ගම්පහ සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ 19 ක පැවති පොලිස් ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග එම ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළෙඳසැල් අද (16) පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පැය 14 ක කාලයක් ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණා.

***************************************

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ දී අදාළ කාන්තාවගේ ඥාතීන් ඊයේ (16) විරෝධත්වක නිරත වුණා.

හික්කඩුව පොලීසියට විරෝධය පළ කරමින් සිදුකළ මෙම විරෝධතාවදී ඔවුන් පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.

මේ අතර අදාළ 52 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය ගිලදැමූ බවයි පොලිසිය පවසන්නේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අද (17) දිනයේ සිදුකෙරෙන මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරි පියවර ගන්නා බවයි ෴

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර මේ වනවිට දින 04 ක කාලයක් ගත වී ඇති නමුත්, මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැහැ.

මේ වනවිටත් පොලිස් කණ්ඩායම් 06 ක් ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සිදුකළ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඊයේ (15) ප්‍රකාශ සටහන් කර ගත්තා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ඉදිරිපත් කළ රීට් පෙත්සම ලබන 20 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (15) දින නියම කළා.

***************************************

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (16) අරලියගහ මන්දිරයේ පැවති මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම හමුවට එක්වෙමින් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණ නීතිවල සංශෝධනයක් අත්‍යවශ්‍ය බවටයි.

මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි පුද්ගලයින් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද හිමි නාමලේඛණ මාස 03 කට වතාවක් යාවත්කාලීන කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇති සිදුකළ යුතු සංශෝධන අතර වනවා.

එමෙන්ම, ආබාධිත පුද්ගලයින්ට පහසුකම් සහිත ඡන්ද මධ්‍යස්ථාන සකස්කිරීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා ෴

***************************************

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ සංචාරයකදී ජනතාව විසින් සිදුකළ ඉල්ලීම් අනුවයි මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව දින 18 ක් වැනි කෙටි කාලයකදී ක්‍රීඩා පිටියේ වැඩ 90% ක් පමණ අවසන් කර ඇති අතර, ඊට යුද හමුදා ඉංජිනේරු බලකාය ශ්‍රම දායකත්වය ලබාදී තිබෙනවා.

එමෙන්ම, කඩිනමින් මාර්ග කිහිපයකද කාපට් අතුරා සංවර්ධනය කිරීමද සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

*********************************************

නව ආසාදිතයින් 49 ත් සමඟ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1899 ක් වෙයි

(17.10.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ඊයේ (16) වාර්තා වූ නව ආසාදිතයින් 110 දෙනා සමඟින් එම පොකුරෙන් දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,899 දක්වා ඉහළ ගියා.

ඊයේ (16) අවසන්වරට වාර්තා වූ ආසාදිතයින් 49 දෙනාගෙන් 35 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කටුනායක ආයෝජන කලාපය ආශ්‍රිත ඇඟළුම් කර්මාන්ත ශාලාවලින් හමු වූ කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව මේ වනවිට 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (16) දිනයේදී එම කලාපය ආශ්‍රිතව පී.සී.ආර්. පරීක්ෂණ 930 ක් සිදුකර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

මෙවන් තත්ත්වයක් හමුවේ පිටත රාජකාරී කර පැමිණෙන තමන්ට නවාතැන්පොලට ඇතුළුවීමට එහි හිමිකරුවන් ඉඩ ලබා නොදෙන බවට කටුනායක – අමන්දොලුව ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටින රියදුරු රැකියාවේ නිරත පුද්ගලයෙකු චෝදනා කළා.

මේ අතර අවිස්සාවේල්ල දිසා රෝහලෙන් කොස්ගම සාලාව රෝහලට මාරු කර යැවූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයෙකු වන ත්‍රීරෝද රථ රියදුරෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලිසිය ප්‍රකාශ කළා.

පේරාදෙනිය රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු අදාළ පුද්ගලයා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඒ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුට දුරකතනයෙන් දැනුම්දෙමින් සඳහන් කර ඇත්තේ ළඟම රෝහලට ඇතුළත් වන ලෙසයි. ඒ වනවිට ඔහු රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් සඳහා බස් රථයකින් අවිස්සාවේල්ල බලා පැමිණෙමින් සිට ඇති අතර, ඒ අනුවයි අදාළ පුද්ගලයා මෙලෙස අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් වී ඇත්තේ. පසුව ඔහු බස් රථයේ සිට රෝහල වෙත ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු හඳුනාගෙන ස්වයං නිරෝධායනයට ලක්කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, රත්මලාන – කඳවල පාර – සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ 63 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ එම නිවාස සංකීර්ණයේ නිවාස දහයක පුද්ගලයින් 34 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. මෙම කාන්තාව දෙහිවල – කරගම්පිටිය සතිපොලේ මාළු වෙළඳාමේ නිරතව ඇති බවටද අනාවරණ වී ඇති බව සඳහන්.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට තවදුරටත් ඇඳිරි නීතිය පනවා ඇති අතර, එම ප්‍රදේශවල සංචරණය තදින්ම සීමා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳසැල් සහ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට අද (17) දිනයේ අවසර ලබානොදෙන බවද පොලිසිය ප්‍රකාශ කළා. එමෙන්ම ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 203 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සහ වාහන 40 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල ලබන සඳුඳා (19) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, දුරකතනය ඔස්සේ දින වෙන්කරවා ගන්නා ක්‍රමවේදයක් යටතේ සේවා සැලසෙන අතර, එසේ දින වෙන් කිරීමකින් තොරව පැමිණෙන පුද්ගලයින්ට කාර්යාලයීය පරිශ්‍රයට ඇතුළුවීම සඳහා අවසර ලබානොදෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවා සීමිත කාර්ය මණ්ඩලයක් යොදාගෙන යම් යම් සීමා කිරීම්වලට යටත්ව ලබන අඟහරුවාදා (20) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම සහ වාහන පරීක්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සේවා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සතියේ දිනවල පෙරවරු නවයේ සිට පස්වරු 04 දක්වා දුරකතනය මගින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතු බවයි එම දෙපාර්තමේන්තුවද අවධාරණය කළේ ෴

*********************************************

වැලිගමින් වැටලූ ව්‍යාජ වාහන අමතර කොටස් ජාවාරම

(17.10.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස වාහන අමතර කොටස් ලංකාවට ගෙන්වා එම වාහන අමතර කොටස් මෙරට ජනප්‍රිය වෙළෙඳ නාමයන් භාවිත කරමින් ව්‍යාජ ලෙස ඇසුරුම්කර වෙළෙඳපොළට බෙදාහැරීම සිදුකළ ස්ථානයක් වැලිගම, කොලේදණ්ඩ ප්‍රදේශයේදී වටලා තිබෙනවා.

කොක්මාදුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (16) පස්වරුවේ මෙම වැටලීම සිදුකළ බවයි වැලිගම අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

එහිදී රුපියල් කෝටි දෙකකට (2) ආසන්න වාහන අමතර කොටස් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී ව්‍යාජ ඇසුරුම් සැකසීම සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍ර සහ තවත් උපකරණ ද සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම, කොලේදණ්ඩ පෙදෙස් නිවසක රහසිගතව මෙම ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇති අතර ගුවන් හමුදාවේ බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් වෙනත් ව්‍යපාරික බලපත්‍රයක් භාවිත කරමින් මෙම ව්‍යාජ වාහන අමතර කොටස් අසුරුම් ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවටයි සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ව්‍යාජ වාහන අමතර කොටස් වැලිගම නගරයේ සහ දිවයිනේ විවිධ පෙදෙසවලට බෙදාහැර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *