20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට – ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වයි

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට – ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වයි

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මධූෂ් රැගෙන ගොස් ඇත්තේ, කංජිපානිගේ කුඩු තිප්පොළකට බව හෙළිවේ

කොළඹ නැව් තටාකාංගණයේ, කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළට

මලල්ගොඩ කමිටු වාර්තාවට ගිය හේමසිරි නොකී කරුණු

මෛත්‍රීට අමතක වූ උදයංග වීරතුංගගේ සංග්‍රහය

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

මධූෂ් මියගිය ස්ථානයේ තිබූ යතුරු පැදියේ CCTV දර්ශන එළියට

කොග්ගල නිරෝධායනය වී නිවෙස් වෙත යාමට සිටි 24 කුත් ආසාදිතයන් වේ

*********************************************

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට – ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වයි

(20.10.2020 – 10:07 +0530 – hirunews.lk/sinhala)

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පවතින ආකාරයෙන්ම සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට අද (20) පෙරවරුවේ දැනුම් දෙමින්.

කතානායකවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අදහස් දැක්වීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඉන් අනතුරුවයි කතානායකවරයා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ.

පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පිටපත් ලබාදෙන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

***************************************

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන මස 06 වනදා දැනුම් දෙන බව අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.

මෙම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේ.

එහිදී පෙත්සම්කාර රිෂාඞ් බදියුදින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මේ වනවිටත් සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

එමෙන්ම සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාට මේ ආකාරයෙන් උපදෙස් ලබා දීමට බලයක් නොමැති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නොවැම්බර් මස 06 වනදා මෙම පෙත්සම කැඳවීමට නියම කළ අතර එදිනට පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසද නියෝග කළා.

කෙසේ වෙතත් ඊයේ (19) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා අද (20) පාර්ලිමේන්තුවට නොපැමිණි බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස 28 වන දා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) ප්‍රකාශ කළා.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබඳතා තර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සිය සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා හමුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වන දා විදේශ අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට ද එක්වනු ඇති.

ඊට සහභාගි වන මාධ්‍යවේදීන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

***************************************

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා රිෂාඩ් බදියුදීන්ගේ හෝ ඔහුගේ පාර්ශ්වයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ සහයෝගය ලබානොගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ටී.වී. සලකුණ’ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින්.

+++++++++++

*********************************************

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මධූෂ් රැගෙන ගොස් ඇත්තේ, කංජිපානිගේ කුඩු තිප්පොළකට බව හෙළිවේ

(20.10.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

වෙඩි හුවමාරුවකදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ රැගෙන ගොස් ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘කංජිපානි ඉම්රාන්’ට අයත් කුඩු තිප්පොළකට බවට අනාවරණ වී තිබෙනවා.

‘මාකඳුරේ මධුෂ්’ මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට මාළිගාවත්ත – ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත අද (20) අලුයම රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය සඟවා තිබූ නිවසේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් හට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදීයි ‘මාකඳුරේ මධුෂ්’ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන ‘මාකඳුරේ මධූෂ්’ එහි නිලධාරීන්ගේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මෙම නිවාස සංකීර්ණයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුවයි අද (20) අලුයම පොලීසිය සහ ‘මාකඳුරේ මධුෂ්’ එම ස්ථානයට පැමිණ ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව එම නිවාස සංකීර්ණයේ 10 වන මහලේ අදාළ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22 ක් සොයා ගත්තා.

මීට අමතරව වෙඩි තැබීම පුද්ගලයින් පැමිණි යතුරුපැදියක් ද නිවාස පරිශ්‍රය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.

වෙඩි හුවමාරුවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එක් අයෙකුගේ පාදයකට සහ අනෙක් පොලිස් කොස්තාපල්වරයාගේ පපු ප්‍රදේශයේ සුළු තුවාල පවතින බවයි රෝහල් ආරංචි මාර්ගක සඳහන් කළේ.

සිද්ධිය සිදුවූ මාළිගාවත්ත – ඇපල්වත්ත – ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණ පරිශ්‍රයට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (20) උදෑසන පැමිණියා.

මේ අතර, වෙඩි වැදීමෙන් මිය ගිය ‘මාකඳුරේ මධුෂ්’ගේ දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ ද අද (20) උදෑසන කොළඹ ජාතික රෝහල වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

දේහය මේ වන විට ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) දහවල් සිදුකිරීමට නියමිතයි.

මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් මෙහෙය වූ මාකඳුරේ මධුෂ් එරට දී පොලිස් අත්අඩංගුවට පත්වුණේ 2019 පෙබරවාරි මස 5 වන දායි.

එහිදී ඔහු ඇතුළු 31 දෙනෙකු ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ හෝටලයක් තුළ සාදයක් පවත්වමින් සිටි අතරතුරයි.

පසුව ඔහු ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අතර, අනතුරුව ඔහු මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය වසරේ මැයි මස 5 වන දායි.

ඒ අනුව වසර එක හමාරකට අධික කාලයක් ‘මාකඳුරේ මධුෂ්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ අතර පසුව පසුගිය දා වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙනු ලැබුවා.

+++++++++++++++

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව වෙඩි හුවමාරුවකින් මියගිය ‘මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ගේ දේහය නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබෙනවා.

පාතාල කල්ලි සාමාජිකයින් සහ පොලීසිය අතර අද (20) අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකිනුයි ‘මාකඳුරේ මධුෂ්’ ජීවිතක්ෂයට පත්වූයේ.

ඔහුගේ විවාහක බිරිඳ විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ ‘මාකඳුරේ මධුෂ්’ගේ මළ සිරුර හඳුනාගෙන තිබෙනවා ෴

*********************************************

කොළඹ නැව් තටාකාංගණයේ, කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළට

(20.10.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නැව් තටාකාංගණයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆනෑන්ඩු මහතා සඳහන් කළේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සහ පවුල්වල පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ කොළඹ – මතුගම සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම බස් රථයෙන් වන්දනා ගමනක ගිය 25 දෙනෙකු මේ වන විට වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකු වන කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන පුද්ගලයෙකුට වෛරසය වැළදී ඇති බව පසුගිය දා තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා.

ඒ අනුවයි මේ වන විට කොළඹ නැව් තටාකාංගණයෙන් ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන රෝහල් ගත කර ඇත්තේ.

කොළඹ නැව් තටාකාංගණයේ ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆනෑන්ඩු මහතා කියා සිටියේ අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට එම ආයතනයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවයි.

මේ අතර, කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කැදවා මේ වන විට ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

පිටකොටුව 4 වන හරස් වීදියේ සේවකයන් 19 දෙනෙකු සේවය කළ වියළි ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැලක හිමිකරු සහ එහි සේවකයන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (19) වාර්තා වුණා.

එමෙන්ම, කොළඹ මැනිං පොදු වෙළදපොළේ ආපන ශාලාවක හිමිකරුවෙකුට ද කොරෝනා ආසාදිත බව හඳුනා ගත්තේ ඊයේ (19) දිනයේයි.

ඒ අනුව මැනිං පොදු වෙළදපොළින් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන්ට අද (20) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරෙන් ඊයේ (19) දිනයේදීත් තවත් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 2162 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5625 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2172 ක්.

මිනුවන්ගොඩින් වාර්තා වූ මෙම නව කොරෝනා පොකුරේ ආරම්භයත් සමඟ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ අතර, කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා අද (20) ප්‍රකාශ කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය සහ මතුගම ගම්මාන 3 කට හා කුලියාපිටියේ ගම්මාන දෙකකට (2) පසුගිය දා පැනවූ සංචරණ සීමාවන් ද තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද (20) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

මේ අතර, කොරෝනා පැතිර යාම ඉහළ යාම හේතුවෙන් පාර්ලිමේන්තු සභා වාරය කල් දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේදී කළා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ නිරෝධායන නීති ඇතුළත් කර රජය පසුගිය දා ගැසට් මගින් ප්‍රකාශටයට පත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට අදාළ නොවන බවයි ෴

+++++++++++++

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු දෙකයි මාස 4 ක් වයසැති දැරියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ දැරියගේ මවට සහ පියාටද වෛරසය ආසාදනය වී ඇති බවට පසුව හඳුනාගත් බවයි.

+++++++++++++++

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 52 නෙකු හඳුනාගෙන තිබෙනවා.

එහි කර්මාන්තශාලා 15 කින් මෙම රෝගීන් වාර්තා වන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව කටුනායක ආයෝජන කලාපයෙන් හමුවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 268 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කරන මිලිලීටර් 20 ට හෝ ග්‍රෑම් 20 ට අඩු පොලිතින් හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත සැෂේ ඇසුරුම් තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ වෙනුවට මිලිලීටර් 100 හෝ ග්‍රෑම් 100 හෝ ඊට වැඩි ඇසුරුම් භාවිතා කිරීමටයි ඊයේ (19) පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමිව ඇත්තේ.

එමෙන්ම බැලුන්, බෝල වර්ග සහ දියමත පාවෙන සෙල්ලම් බඩු හැර ප්ලාස්ටික් වලින් සාදන ලද විවිධ හුළං පුරවන ලද සෙල්ලම් බඩු තහනම් කිරීම හා ඒ සඳහා විකල්පයක් ලෙස පරිසර හිතකාර හා සෞඛ්‍යාරික්ෂිත අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත දෑ භාවිතා කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.

සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා ද්‍රව්‍ය හැර ප්ලාස්ටික් ‘කොට්න් බඩ්’ තහනම් කිරීමටත් ඊට විකල්පයක් ලෙස දිරාපත්වන අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ‘කොට්න් බඩ්’ භාවිත කළ යුතු බවද දැනුම් දී තිබෙනවා ෴

*********************************************

මලල්ගොඩ කමිටු වාර්තාවට ගිය හේමසිරි නොකී කරුණු

(20.10.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ මලල්ගොඩ කමිටු වාර්තාවේ තමන් නොපැවසූ කරුණු අන්තර්ගත බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (19) රාත්‍රීයේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතායි.

මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුව සම්බන්ධයෙන් සහ ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ලබාදී තිබූ සාක්ෂි සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමුකළා.

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මලල්ගොඩ කමිටුවේ අවසන් වාර්තාවේ මගේ සාක්ෂි ලෙස සටහන් වන ඇතැම් කරුණු නිවැරදි ලෙස වාර්තා කර නැහැ. කිසිදු අවස්ථාවක සාක්ෂිය අවසානයේ එය නිවැරදිව සටහන් කර ඇති බවට මගෙන් අත්සන් හෝ ගත්තෙත් නැහැ. ස්වාමීනි මම පැහැදිලිව කියනවා මම නොකියූ දේවල් එහි සටහන් වෙලා තියෙනවා කියලා.

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ :

“ප්‍රහාරයෙන් පසුව එවකට සිටි ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔබ හා එවකට පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවට ප්‍රකාශයක් කර තිබෙනවා නේද ප්‍රනාන්දු මහත්මයා. ඒ වන විට මලල්ගොඩ කමිටු වාර්තාව ඉදිරිපත් කර තිබුණද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මලල්ගොඩ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමටත් පෙර තමයි හිටපු ජනාධිපතිවරයා විසින් මාව හා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකීව යුතු බවට ප්‍රකාශයක් කළේ.”

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ –

“ඔබ එම චෝදනා පිළිගන්නවාද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“කිසිසේත්ම නැහැ. හිටපු ජනාධිපතිවරයා වැඩිපුර හුවාදැක්වූයේ පොලිස්පති හා මා ඔහුට ඒ තොරතුර ගැන දැනුවත් නොකිරීම. කොහොමත් මගේ සේවා කාලය තුළ එක දවසකවත් මම ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු කියලා නැහැ. එය සම්ප්‍රදායක් ලෙසම කළේ රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින්.”

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ :

“අප්‍රේල් 04 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය වෙත ලැබුණු ප්‍රහාරයක අවධානම ගැන සති බුද්ධි වාර්තාවේ සඳහන් කරන්නට තිබුණාද සාක්ෂිකරු ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“අනිවාර්යයෙන් සඳහන් කරන්න තිබුණා. ඒ වෙද්දී එය නිශ්චිත තොරතුරක්ද නැද්ද කියන එක නෙවෙයි ලැබුණු තොරතුරේ වැදගත්කම සලකලා එය සති බුද්ධි වාර්තාවට ඇතුළත් කරන්න තිබුණා. එහෙම වුණානම් ඒ පිළිබඳ දැනගත යුතු පාර්ශව සියල්ල හමුදා බුධි අංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියලු දෙනා ඒ ගැන අවබෝධයක් ලබා ගන්නවා. එහෙම වුණානම් ඒ සඳහා සාකච්ජා කරලා ක්‍රියාකාරී මෙහෙයුමක් හදාගන්නත් තිබුණා.”

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ :

“අප්‍රේල් 19 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට යොමුකරන ලද වාර්තාව ඔබටත් පිටපත් කර තිබුණාද?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“නැහැ ස්වාමීනි. මටත් එවලා තිබුණ නම් ඒ වෙද්දී අපට පැය 48 ක් තිබුණා. එහෙම මා දැනුවත් වුණා නම් සියලු දෙනා කැඳවලා සාකච්ජාවක් කරලා අවශ්‍ය ක්‍රියාත්මක සැලසුම හදන්න තිබුණා. මා වෙත එම වාර්තාව ලබා නොදීම රාජ්‍ය බුද්ධි සේවයෙන් සිදු වූ ලොකු අඩුපාඩුවක්.”

නීතිඥ දිල්ෂාන් ජයසූරිය – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ :

“අප්‍රේල් 04 සිට 21 දක්වා කාලය තුළ නිලන්ත ජයවර්ධන ඔබව හමුවෙන්න අවස්ථාවක් ඉල්ලුවේ නැද්ද?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“නැහැ. එහෙම කිසිම ඉල්ලීමක් කළේ නැහැ. එහෙම ඉල්ලීමක් නැතිව ඕනෑම අවස්ථාවක් මාව මුණ ගැහෙන්න ඔහුට අවසරය දීලා තිබුණේ. ඔහුට පමණක් නෙවෙයි CNI හා CDS ටත් ඒ අවසරය තිබුණා.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබ සාක්ෂි ලාබදීමට පෙර මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා 21 වැනිදා පිපිරීම් අප්‍රේල් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා කාලය තුළ සිදු වුවා නම් එහි වගකීම තමන් භාරගන්නා බව. නමුත් එසේ නොවුණු බවත් දැන් ඊට වගකිව යුතුවන්නේ ආරක්ෂක ලේකම්, පොලිස්පති හා ජාතික බුද්ධි ප්‍රධානී බව ඔහු පවසනවා. ඔබ මොකද මේ ගැන හිතන්නේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මට ඒ ගැන මොනවත් කියන්න දෙයක් නැහැ ස්වාමීනි. නමුත් මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.”

***************************************

එප්පාවල නගරයට නුදුරින් පිහිටි, කටියා මංසන්ධිය ආසන්නයේ ඉදි කර ඇති ආදාහනාගාරයයි මේ.

තඹුත්තේගම,තලාව, එප්පාවල ඇතුළු ප්‍රදේශ රැසකට පැවති අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමේ අරමුණින් එම ක්‍රියාමාර්ගය ගැණුනා.

නමින් ආදාහනාගරයක් වුවද මෙහි මෘත ශරීරයන් ආදාහනයක් සිදු නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඒ ආදාහනය සදහා ඇති පෝරණුවේ වැඩ කටයුතු අවසන්ව නොමැති වීම හේතුවෙන්.

අදාහනාගාරය වෙනුවෙන් ඉදි කළ ගොඩනැගිල්ලද අද වන විට වල් බිහිවී, අපචාර ක්‍රියාවන්ගේ මූලස්ථානයක් බවට පත්ව ඇති බවට ප්‍රදේවාසීන් පෙන්වා දෙනවා.

රුපියල් ලක්ෂ ගණනක ප්‍රතිපාදන වෙන් කරමින් මහජනතාවගේ සුබ සෙත වෙනුවෙන් ගැණෙන ක්‍රියාමාර්ග අතර මඟ නවතා නොදමන ලෙසට ප්‍රදේශවාසීන් ඉල්ලා බලධාරීන්ගෙන් සිටිනවා.

එප්පාවල ප්‍රදේශවාසීන්ගේ මෙම ඉල්ලීමට බලධාරීන්ගේ නිසි අවධානය යොමුවන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

මෛත්‍රීට අමතක වූ උදයංග වීරතුංගගේ සංග්‍රහය

(20.10.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

2011 වසරේදී තමා එවක රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හමු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගත්තා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී අදහස් පළ කළේ එම සිද්ධිය පිළිබඳ තමාට මතකයක් නැති බවයි.

හිටපු ජනාධිපතිවරයා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුවරට සාක්ෂි ලබාදුන්නේ ඊයේ (19) දිනයේදීයි.

රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (19) පළමු වරට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ අත්සන විවිධ ලිපි ලේඛනවලදී වෙනස් වී තිබීම සම්බන්ධයෙන් කොමිසම ඔහුගෙන් විමසුවා.

2016.10.03 වන දින මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කළ සංදේශයක් කොමිසමේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර එහි අත්සන පිළිබඳව විමසුවා.

“මේක මම ඉදිරිපත් කළ සංදේශයක් ස්වාමිනි. මේක මගේ අත්සන තමයි. සමහර දවස් තියෙනවා ලියුම් කොච්චර අත්සන් කරනවද කියලා මතක නෑ . අත්සන සමහර වෙලාවට කිසියම් වෙනස්කමක් වෙන්න පුළුවන්. මේක නං මං අත්සන් කරපු එකක් තමයි.” හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා.

මේ අතර උදයංග වීරතුංග මහතා සමඟ රාජකාරි මට්ටමෙන් සම්බන්ධයක් තිබුණාදැයි පැමිණිල්ලේ නීතීඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

නීතිඥවරයා : සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටියදී ඔබතුමා රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වුණා ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන : සෞඛ්‍ය ඇමතිවරයා කාලෙ……………. රුසියාවේ සංචාරයක නිරත වුණේ නැහැ මට මතක විදිහට.. මම රුසියාවේ සංචාරයක යෙදුණේ ජනාධිපතිව සිටි කාලේ කියලයි මට මතක. මට හරියටම මතක නැහැ… සෞඛ්‍ය ඇමති කාලෙ ගියාද නැද්ද කියලා.

නීතිඥවරයා : 2011 වර්ෂයේ දී ඔබතුමා රුසියාවේ මොස්කව් නුවර එක්සත් ජාතීන්ගේ වාර්ෂික සම්මේලනයට සහභාගි වුණ බව මතකද?

නීතිඥවරයා : ඒ අවස්ථාවේදී ඔහු රුසියානු තානාපති කාර්යාලය මගින් ඔබතුමා පිළිගත් බවත් සංග්‍රහ කළ බවත් මතකද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන : ඔව්. ආ… මතකයි. ආ දැන් මතක් වෙනවා.

නීතිඥවරයා : ඒ අවස්ථාවේදී රුසියාවේ තානාපතිවරයා වශයෙන් සිටියේ කවුද හිටපු ජනාධිපතිතුමනි?

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන : මං හිතන්නේ උදයංග වීරතුංග මහත්මයා වෙන්න ඕන හිටියේ.

නීතිඥවරයා : ඔබතුමා පිළිගැනීම උත්සවයක් සහ සංග්‍රහයක් තිබුණා නේද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන : ඔව්… තිබුණා, තිබුණා.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊයේ (19) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා රවී කරුණානායක මහතාගෙන් විමසා සිටියේ “ඔබ මුදල් අමාත්‍යවරයා ලෙස සිටී සමයේදී සිය සේවාදායකයාගේ බැංකු ගිණුම් අක්‍රීය කිරීමක් පිළිබඳව දැනුවත්ව සිටියේද ?” යන්නයි.

“නැහැ ස්වාමීනී මම පුදුමාකාර මුදල් ඇමතිවරයෙක් විදියට කටයුතු කළේ. මම මුදල් ඇමතිකම නිල වශයෙන් දැරුවාට මහ බැංකුව සහ වාණිජ බැංකු මගේ යටතේ තිබුණේ නැහැ” කරුණානායක මහතා පිළිතුරු දුන්නා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාද ඊයේ (19) පස්වරුවේ දේශපාලන පිළිගැනිම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ ‘කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්’ හෙවත් CSN නාලිකාව ආරම්භ කිරීමේදී රජයේ දේපොළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.

එහිදී CSN නාලිකාවේ හිටපු අධ්‍යක්ෂක රොහාන් වැලිවිට මහතාද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

ඔහු සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතා ‘මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මෙම නාලිකාව ආරම්භ කිරීමට ඔහුගේ මුදල් යොදවා ඇතැයි’ සාක්ෂි ලබාදෙන්නැයි තමාට අවස්ථා ගණනාවකදී බලපෑම් කළ බවයි.

*********************************************

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි

(20.10.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් කොට්ඨාසය තුළ පිහිටි කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++

තවත් ආසාදිතයන් 60 දෙනෙකු අද (20) දිනයේ අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 35දෙනෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ෴

+++++++++++++++

කොළඹ – කොටුව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (20) තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු අද (20) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,457 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් 2,215 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

***************************************

තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් තීරණය හෙට (21) ලබාදෙන බව අභියාචනාධිකරණය අද (20) සඳහන් කළා.

ඒ, රියාජ් බදියුදීන් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සහ අතරමැදි පෙත්සම්කරුවෙකු වන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන අභියාචානාධිකරණය හමුවේ කරුණු දැක්වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

දෙමටගොඩ සහ තොටළඟ ප්‍රදේශවලට මත්පැන් සැපයූ රාගම – වැලිසර ප්‍රදේශයේ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අද (20) වටලනු ලැබුවා.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් පෙරන ලද ස්ප්‍රීතු ත්‍රිරෝද රථයක පටවා බෙදාහැරීමට සූදානම් කර තිබූ බවයි එම ඒකකයේ ස්ථානාධිපති පී.එන්. හේමන්ත මහතා කියා සිටියේ.

එම ස්ථානයේ තිබී ස්ප්‍රීතු බෝතල් 672 ක්ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් 33 සහ 39 හැවිරිදි වියේ පසුවන්නන් ෴

*********************************************

මධූෂ් මියගිය ස්ථානයේ තිබූ යතුරු පැදියේ CCTV දර්ශන එළියට

(20.10.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘මාකඳුරේ මධූෂ්’ මියගිය ස්ථානයේ තිබී රතු පැහැති යතුරු පැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබුනා.

එම යතුරු පැදිය කිසියම් පුද්ගලයෙකු විසින් තල්ලු කරගෙන යන ආකාරය දැක්වෙන CCTV දර්ශණ පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

එම දර්ශන පහතින් :

වෙඩි හුවමාරුවකදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ රැගෙන ගොස් ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘කංජිපානි ඉම්රාන්’ට අයත් කුඩු තිප්පොළකට බවට අනාවරණ වී තිබෙනවා.

‘මාකඳුරේ මධුෂ්’ මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට මාළිගාවත්ත – ඇපල්වත්ත ප්‍රදේශයේ ‘ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය’ වෙත අද (20) අලුයම රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය සඟවා තිබූ නිවසේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් හට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදීයි මාකඳුරේ මධුෂ් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන ‘මාකඳුරේ මධූෂ්’ එහි නිලධාරීන්ගේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මෙම නිවාස සංකීර්ණයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුවයි අද (20) අලුයම පොලීසිය සහ ‘මාකඳුරේ මධුෂ්’ එම ස්ථානයට පැමිණ ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව එම නිවාස සංකීර්ණයේ 10 වන මහලේ අදාළ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22 ක් සොයා ගත්තා.

මීට අමතරව වෙඩි තැබීම පුද්ගලයින් පැමිණි යතුරුපැදියක් ද නිවාස පරිශ්‍රය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.

වෙඩි හුවමාරුවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එක් අයෙකුගේ පාදයකට සහ අනෙක් පොලිස් කොස්තාපල්වරයාගේ පපු ප්‍රදේශයේ සුළු තුවාල පවතින බවයි රෝහල් ආරංචි මාර්ගක සඳහන් කළේ.

සිද්ධිය සිදුවූ මාළිගාවත්ත – ඇපල්වත්ත – ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණ පරිශ්‍රයට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (20) උදෑසන පැමිණියා.

මේ අතර, වෙඩි වැදීමෙන් මිය ගිය ‘මාකඳුරේ මධුෂ්’ගේ දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ ද අද (20) උදෑසන කොළඹ ජාතික රෝහල වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

දේහය මේ වන විට ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) දහවල් සිදුකිරීමට නියමිතයි.

මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් මෙහෙය වූ ‘මාකඳුරේ මධුෂ්’ එරට දී පොලිස් අත්අඩංගුවට පත්වුණේ 2019 පෙබරවාරි මස 5 වන දායි.

එහිදී ඔහු ඇතුළු 31 දෙනෙකු ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ හෝටලයක් තුළ සාදයක් පවත්වමින් සිටි අතරතුරයි.

පසුව ඔහු ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අතර, අනතුරුව ඔහු මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය වසරේ මැයි මස 5 වන දායි.

ඒ අනුව වසර එක හමාරකට අධික කාලයක් ‘මාකඳුරේ මධුෂ්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ අතර පසුව පසුගිය දා වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙනු ලැබුවා ෴

+++++++++

පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදීමකින් මියගිය ‘මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ගේ දේහය ඔහුගේ නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද (20) අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණේ කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේදියි.

ඒ අනුව ‘මධුෂ් ලක්ෂිත’ගේ විවාහක බිරිඳ විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔහුගේ මළ සිරුර හඳුනාගනු ලැබුවා.

‘මාකඳුරේ මධුෂ්’ මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට මාළිගාවත්ත – ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත අද (20) අලුයම රැගෙන ගොස් තිබුණේ එම නිවාස සංකීර්ණයේ නිවසක සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම සඳහායි.

එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය සඟවා තිබූ නිවසේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් හට වෙඩි තබා ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුව එම නිවාස සංකීර්ණයේ 10 වන මහලේ අදාළ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22 ක් සොයා ගත්තා. මීට අමතරව වෙඩි තැබීමට පුද්ගලයින් පැමිණි යතුරුපැදියක් ද නිවාස පරිශ්‍රය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත් අතර, එය වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවටද අනාවරණ වී තිබෙනවා.

සැකකරුවෙකු විසින් අදාළ යතුරුපැදිය රැගෙන යන අයුරු සී සී ටී වී කැමරාවක සටහන්ව ඇති බව පොලිසිය කියා සිටියා.

වෙඩි තැබීම වාර්තාවීමෙන් පසු කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට ‘මාකඳුරේ මධුෂ්’ගේ බිරිඳ මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් ද පැමිණ සිටියා.

මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් මෙහෙය වූ ‘මාකඳුරේ මධුෂ්’ එරට දී පොලිස් අත්අඩංගුවට පත්වුණේ 2019 පෙබරවාරි මස 5 වන දායි.

පසුව ඔහු ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අතර, අනතුරුව ඔහු මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය වසරේ මැයි මස 5 වන දායි.

වසර එක හමාරකට අධික කාලයක් ‘මාකඳුරේ මධුෂ්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ අතර පසුව පසුගිය දා වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙනු ලැබුවා.

+++++++++++++

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ‘මාකඳුරේ මධූෂ්’ මාලිගාවත්තේදී සිදු වූ වෙඩි හුවමාරුවක් අතරතුර මියයාම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.

***************************************

මෙම වසරේ වියදම සහ ලබන වසරේ සමස්ත වියදම ඇතුළත් විසර්ජන පණත් කොටුම්පත් දෙක මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පළමු විසර්ජන පණත් කොටුම්පතට අනුව මෙම වසරේ සමස්ත වියදම රුපියල් කෝටි 253,802 ක් බවයි එහි දැක්වෙන්නේ.

දෙවැනි විසර්ජන පණත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත වියදම රුපියල් කෝටි 267,804 ක්. ලබන වසර සඳහා සමස්ත වියදම වෙනුවෙන් ආදායම සොයා ගන්නා ආකාරය ඇතුළත් අයවැය යෝජනා නොවැම්බර් මස 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලබන වසර සඳහා වන වියදම් ඇතුළත් විසර්ජන පණත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහායි.

එම මුදල රුපියල් කෝටි 31 දහසකට අධිකයි. සෞඛ්‍යයට රුපියල් කෝටි 15 දහසකට අධික සංඛ්‍යාවක් වෙන් කර තිබෙනවා.

අධ්‍යාපනයට රුපියල් කෝටි 12 දහසකට අධික මුදලක් වෙන් කර තිබෙනවා ෴

***************************************

නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය කළ එතනෝල් ලීටර 15,308 ක් අඩංගු බැරල් 80 ක් සහිත බහලුමක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීනයේ ෂැන්හයි වරායේ සිට අදාළ බහලුම, මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය වසරේ මැයි මාසයේදී මෙරටට ගෙන්වා ඇති බවයි හෙළිවී ඇත්තේ.

එම සැකකරු මේ වනවිට රේගු භාරයට ගෙන ඇති අතර, මෙමඟින් රුපියල් මිලියන විස්සක (20) පාඩුවක් රජයට සිදුව ඇති බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත් ද සිල්වා මහතා සඳහන් කළේ.

මෙම එතනෝල් රාජසන්තක කර වෙන්දේසියේ විකුණා එම මුදල් රජයට බැර කිරීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා ෴

***************************************

ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ, 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 05 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

***************************************

ගම සමඟ පිළිසඳර දෙවන වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස්වලට අනුව මාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඔක්තෝම්බර් 2 වනදා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරුඔය, ලේඬියන්ගල, අලියාවල, වෙහෙරගල සහ හිඹිලියාකඩ ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ජනතාව හමුවෙමින් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ අත්‍යවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසයි.

ඒ අනුව හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ඉදි කිරීම මෙන්ම ක්‍රීඩාපිටිය සැකසීම මේ වනවිටත් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුවෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20), දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි – කියුන් සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර එහිදී සංවාදයට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

*********************************************

කොග්ගල නිරෝධායනය වී නිවෙස් වෙත යාමට සිටි 24 කුත් ආසාදිතයන් වේ

(20.10.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව කොග්ගල සංචාරක හෝටලයක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක කාලයක් නිරෝධායනය වූ පිරිසක් පිටව යාමට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඉන් 24 දෙනෙකු කොරෝනා රෝගීන් බවට අද (20) තහවුරු වී තිබෙනවා.

මොවුන් අයි.ඩී.එච් රෝහලට යැවීමට කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 02 යි මාස 04 ක් වයසැති දැරියකට සහ ඇගේ දෙමාපියන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මොවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් පසුගිය 18 වනදා මෙම දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදි මොවුන්ට වෙන්කර ප්‍රතිකාර සිදුකළ බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ.

කොළඹ නැව් තටාකාංගණයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆනෑන්ඩු මහතා සඳහන් කළේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සහ පවුල්වල පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

එමෙන්ම කොළඹ නැව් තටාකාංගණයෙන් හඳුනාගත් කොරෝනා රෝගියෙකු රත්නපුර ඇලපාත, ගගුල්විටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට ද සහභාගි වී ඇති බවට වාර්තා වීමත් සමඟ පවුල් 21 කට අයත් 98 දෙනෙකු අද (20) නිරෝධායනය කරා යොමුකළ බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා කියා සිටියා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන්කළ ඇඳන් 2400 න් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 200 ක පමණ සංඛ්‍යාවක් බවයි.

එමෙන්ම කඨින පිංකම් පිළිබඳ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රජයේ නිරෝධායන නීතිරිති හා වෛද්‍ය උපදෙස් අනුව සෑම විහාරස්ථානයකම භික්ෂුන් වහන්සේලා සහ දායකයන් සීමාකොට මෙම පිංකම් ලබන මස 29 වනදාට යෙදෙන ඉල් පොහාය තෙක් පැවැත්විය හැකි බවයි එහි දැක්වෙන්නේ ෴

++++++++++++

පවතින කොවිඩ් අවදානම සම්බන්ධයෙන් අද මැතිසබය උණුසුම් වුණා.

+++++++++++++++

ජ්‍යෙෂ්ඨ පුරවැසි ‍ප්‍රජාව කොවිඩ් 19 වසංගත අවධානම් තත්ත්වයෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා එම නිවේදනය පහතින් :

+++++++++++

20 October 2020 – 22:00

කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර ඉන් 83 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් බවයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *