පූගොඩ පොලීසියේ හිටපු OIC අත්අඩංගුවට

පූගොඩ පොලීසියේ හිටපු OIC අත්අඩංගුවට

කොරෝනා නිසා කොටුව පොලිස් ස්ථානය වසා දමයි

මෙරට කොරෝනා මුළු ආසාදිතයන් 5,811 දක්වා ඉහළට

විසිවන ව්‍යවස්ථා සංශෝධන විවාදය ඇරඹේ

කටුනායක ආයෝජන කලාපයේ කොරෝනා ආසාදිතයන් 314 ක් දක්වා ඉහළට

*********************************************

පූගොඩ පොලීසියේ හිටපු OIC අත්අඩංගුවට

(21.10.2020 – 07:04 +0530 – hirunews.lk/sinhala)

පූගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි තරුණයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු (8) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි.

පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළවයි.

කෙසේ වෙතත්, ඔහු පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබුණා.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ චෝදනා කළේ පොලීසිය පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මන්නාරම පොලිස් කොට්ඨාසය වෙත මීට පෙර මාරුකර යවා තිබුණා.

ඉන් අනතුරුවයි ඔහුගේ වැඩ තහනම් කෙරුණේ.

*********************************************

කොරෝනා නිසා කොටුව පොලිස් ස්ථානය වසා දමයි

(21.10.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ කොටුව පොලිසියේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොටුව පොලිසිය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසදනය වී ඇති බව ඊයේ (20) හෙළිවුණා.

එම තත්ත්වයත් සමඟ එම ඒකකයේ සහ කොටුව පොලීසියේ නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

ඒ අනුව කොටුව පොලිසියේ රාජකාරි ආවරණය පිටකොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිසිවලින් සිදුවන බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ෴

+++++++

කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කොළඹ – කොටුව පොලීසිය අද (21)පෙරවරුවේ සිට යළි විවෘත කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් අනුයුක්ත කර එහි රාජකාරි කටයුතු යළි ආරම්භ කළ බවයි ෴

*********************************************

මෙරට කොරෝනා මුළු ආසාදිතයන් 5,811 දක්වා ඉහළට

(21.10.2020 – 07:38 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 180 දෙනෙකු ඊයේ (20) දිනයේදීත් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගියා.

එමෙන්ම තවදුරටත් රෝගීන් 2,341 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3,457 ක්.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුර ද මේ වනවිට 2,221 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට දිස්ත්‍රික්ක 21 ක කොරෝනා ව්‍යාප්තිය සිදුව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය රට තුළ යළිත් වරක් හිස ඔසවා ඇති මොහොතක වැඩි අවදානම් කාණ්ඩයක් ලෙස සැළකෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත ඒකකය සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව අවධාරණය කළේ.

ඒ අනුව නිවෙස් තුළ සිටින සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ පවත්වාගෙන යන වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටි ප්‍රජාව ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා වැදගත් වනවා.

හැකි සෑම විටම බැහැරට යෑමෙන් වැළකීම, පිරිස් වශයෙන් එක්රැස්වීම අවම කිරීම සහ මීටරයේ දුර පවත්වාගන්නා ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඊයේ (20) දිනයේදීත් නව කොරෝනා ආසාදිතයන් හත්දෙනෙකු (7) හඳුනාගෙන ඇති බව එහි වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවන මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 27 ක්. එම ප්‍රදේශයෙන් ඊයේ (20) වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතර 4 දෙනෙකු පිටකොටුව කරවල වෙළඳසැළක සේවකයින් බව සඳහන්.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 1,702 ක් වාර්තාවී ඇති අතර, කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන්ද වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 268 ක්.

මේ අතර දිවයින පුරා පී සී ආර් පරීක්ෂණ 3,98,196 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණාගාරද 24 ක් පිහිටුවා ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කළුතර දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේද කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙසයි.

මේ අතර රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දුම්රිය මගීන්ගේ සැළකිය යුතු අඩුවක් පවතින බැවින් තවත් නගරාන්තර දුම්රිය ගමන් වාර 10 ක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව උදෑසන හතට (07:00) කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන සහ සවස තුනට (03:00) මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම පස්වරු තුනට (03:00) මරදාන සිට බෙලිඅත්ත දක්වාත්, අලුයම 02:15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වාත් ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ද ධාවනය අවලංගු කර තිබෙනවා.

තවද පස්වරු 03:05 ට කොළඹ කොටුවේ සිට පොළොන්නරුවටත්, අලුයම 03:45 ට පොළොන්නරුවේ සිට කොළඹ කොටුවටත් ධාවනය වන දුම්රියද අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය ධාවනයද අවලංගු කිරීමට මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

රට තුළ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනයෙන් සියලු ජනතාව ආරක්ෂා කරගැනීම උදෙසාත් රෝ බිය දුරුකිරීම උදෙසාත් රතන සූත්‍රය සජ්ඡායනා කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම ආගමික කටයුත්ත දිවයින පුරා පිරිවෙන්, සිල්මාතා අධ්‍යාපන ආයතන, බෞද්ධ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් සියලු බෞද්ධ විහාරස්ථානවල එකම වේලාවේ ආරම්භ කොට දින 10 ක් පුරා එය සිදුකිරීමටයි දැනට තීරණය කර ඇත්තේ.

එහි ආරම්භය අද (21) පස්වරු 08:30 ට මාතර රන්දූපත උපෝසථාගාර මහා විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතයි ෴

++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කළ 105 දෙනෙකු අතරින්, 49 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග එම මත්ස්‍ය වෙළඳපොල තාවකාලිකව වසා දමා තිබෙනවා.

***************************************

21 October 2020 – 07:39

පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට (22) සිට ලබන 27 වනදා දක්වා දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39 කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඇගයීම් කටයුතු සිදු නොකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම පරීක්ෂකවරුන් වෙත පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අදාළ ඇගයීම් මණ්ඩල වෙතට වාර්තා කිරීම සඳහා කෙටි පණිවුඩ මගින් දැනුම්දීම් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් ඊට අදාළව කිසියම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් 011 278 5231 සහ 011 278 5216 මෙන්ම 011 278 4037 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳව තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම උසස් පෙළ විභාගයට අදාළව රාජකාරි සිදුකරන නිලධාරීන්ට ලබාදීමට පොරොන්දු වූ රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කරනවා. එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල විභාග රාජකාරි සිදුකරන ගුරුවරුන් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුකරන ලෙසයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඉල්ලා සිටින්නේ ෴

***************************************

ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට පවතින කොරෝනා තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමෙන් දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තාවනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට ඉතාලියේ සිට විභාගයට පෙනී සිටීමට පහසුකම් සළසා දෙන ලෙස හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙසයි.

අන්තර්ජාලය ඔස්සේ විභාගයට අයදුම් කළ ඉතාලියේ නාපෝලි නගරයේ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් අටදෙනෙකු (8) සිටින බවයි වාර්තාවන්නේ ෴

***************************************

පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය ‘මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ගේ දේහය මේ වනවිට මහරගම – පමුණුව ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ (20) දිනයේදී දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගිය අතර ඉන් අනතුරුවයි ඥාති නිවස වෙත රැගෙන ගොස් ඇත්තේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (20) අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ ‘මධුෂ්’ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසටයි.

‘මධුෂ්’ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු (2) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය වෙත ඊයේ (20) පැමිණ සිටි අතර, ඒ හේතුවෙනුයි අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබුණේ.

මියගිය ‘මාකඳුරේ මධූෂ්’ගේ උපන් ගම කඹුරුපිටිය – ගතාරේ ප්‍රදේශයේ වන අතර, ඊයේ (20) දිනයේදී ඇතැම් වාර්තා පළ කර තිබුණේ දේහය මාතරට රැගෙන යන බවයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ‘මාකඳුරේ මධුෂ්’ පිළිබඳව සටහනක් තබා තිබෙනවා.

පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල ‘මධුෂ්’ නැමති නම ප්‍රථමයෙන් සටහන් කිරීම සිදුකළේ තමන් බවත්, ඒ වනවිට ‘මධුෂ්’ තුන්වන පන්තියේ කොල්ලකරුවෙකු වන බවයි ඔහු තැබූ සටහනේ දැක්වන්නේ.

මීගමුව, ගාල්ල සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ කොල්ලකෑම් 10 ක් සම්බන්ධයෙන් තමන් ප්‍රථමයෙන් වාරියපොල ප්‍රදේශයේදී ‘මධුෂ්’ අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළා ෴

++++++++++++++

පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහරගම – ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට දේහය මහරගම – පමුණුව ප්‍රදේශයේ ඔහුගේ අනියම් බිරිඳකගේ නිවසක තැන්පත් කර තිබෙනවා.

දේහය තැන්පත් කර ඇති නිවස ආශ්‍රිත ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (20) අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසටයි.

කෙසේ වෙතත් ඇගේ එකඟතාව මත දේහය අනියම් බිරිඳගේ මහරගම – පමුණුව නිවසේ තැන්පත් කෙරුණු බවයි වාර්තාවන්නේ.

***************************************

මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන 800 නැමති දෙමළ චිත්‍රපටියේ රගපෑමෙන් තමිල්නාඩු රංගන ශීල්පි විජෙයි සේතුපති ඉවත්වී තිබෙනවා. ඒ එහි රඟපෑමෙන් ඉවත් වන ලෙසට ඔහුට එල්ල වන බලපෑම් හේතුවෙන්.

මෙම චිත්‍රපටියේ රඟපෑම සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් ද විජෙයි සේතුපතිට පසුගියදා ලිපියක් යොමු කර තිබුණා.

විජෙයි සේතුපති මුත්තයියා මුරලිදරන්ගේ චරිත කථාව ඇතුළත් 800 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපෑමට නියමිතව තිබූ නමුත් ඊට දකුණු ඉන්දීය කළාකරුවන් මෙන්ම දේශපාලනඥයින්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්.

මේ අතර මෙම චිත්‍රපටයේ රඟපෑවහොත් විජෙයි සේතුපතිගේ දියණිය අපයෝජනයට ලක් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මක පණිවුඩ ද නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු පොලීසිය විමර්ශන සිදුකර ඊට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ ෴

***************************************

මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ රුපියල් කෝටි දෙකක (2) වටිනාකමින් යුත් ‘එක්ස්ටසි’ වර්ගයේ මත්පෙති තොගයක් අඩංගු පාර්සලයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලැබී තිබූ රෙදි අසුරණයක සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අනුවයි.

අදාළ පාර්සලය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෑත කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය සිදුකළ අත්අඩංගුවට ගැනීම් අතර මෙය සුවිශේෂී වැටලීමක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා ෴

***************************************

අද (21) විවාදයට ගැනීම ආරම්භ කෙරෙන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පා සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ අත්වල විස්සට එරෙහි පළඳනාවක් දක්නට ලැබුණු අතර, විස්සට එරෙහි වැකි සඳහන් මුව ආවරණද ඔවුන් පැළඳ සිටි බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම රථ පෙළපාලියේ පැමිණි මන්ත්‍රීවරුන්ගේ වාහනවලද විස්සට එරෙහි විරෝධතා පුවරු සවිකර තිබුණා.

***************************************

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් යළි අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (21) තීරණය කළා.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව බලපෑම් එල්ල කරමින් සිටින බවත් මේ නිසා යළි අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ ආඥාවක් සහ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලායි රියාජ් බදියුදීන් මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

මේ අතර රාජගිරියේදී අනතුරක් සිදුකර තරුණයෙකු යටකර පළායාමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට කොළඹ මහාධිකරණයේදී අද අධිචෝදනා භාරදුන්නා. ඉන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරුණු බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළ්.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන නොවැම්බර් මස 6 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ වගඋත්තරකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන්ට අද (21) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට අවශ්‍ය බවට කර තිබූ ඉල්ලීමක් සළකා බලමින් ෴

***************************************

රාජගිරියේදී අනතුරක් සිදුකර තරුණයෙකු යටකර පළායාමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට කොළඹ මහාධිකරණයේදී අද (21) අධිචෝදනා භාරදුන්නා.

ඉන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරුණු බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළ්.

*********************************************

විසිවන ව්‍යවස්ථා සංශෝධන විවාදය ඇරඹේ

(21.10.2020 – 10:49 +0530 – hirunews.lk/sinhala)

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබෙනවා.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අද (21) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිට විරෝධතා රථ පෙළපාලියකිව් පාර්ලිමේන්තුවට පැමිණියා.

ඇතැම් රථවල විස්සට එරෙහි විරෝධතා පුවරුද සවිකර තිබූ අතර, මන්ත්‍රීවරුන්ගේ අත්වල සහ මුව ආවරණවල විස්සට එරෙහි වැකි සඳහන් කර තිබුණා.

‘විනාශකාරී විස්ස එපා’ යනුවෙන් හඬ නගමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසියා.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන යෞවන කටයුතු කමිටුව විසින් යාපනය – වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ පන්දම් දල්වා විරෝධතාවක් පවත්වා තිබුණේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවයි.

ඊට සහය දක්වමින් සහ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ද සිය නිවසේ විදුලි පහන් නිවා ලාම්පුවක් දල්වා විරෝධය පළ කර තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ රැස්වුණේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අල් සබ්රි විසින් ආරම්භ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදයේදී අදහස් පළ කළා.

+++++++++++++++

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සිය ස්ථාවරය තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (21) පෙරවරුවේ පැවැත්වුණා.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම අද (21) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

++++++++++++++

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය අද (21) අදහස් කිහිපයක් පළකලා.

***************************************

පසුගිය කාලසීමාවේ දැඩි කථාබහට ලක්වූ හලාවත – ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් කුරුළු අභයභූමියේ අක්කර එකහමාරක (1½) පමණ භූමි ප්‍රමාණයක්, කිසියම් පිරිසක් යළි හෙළි පෙහෙළි කර තිබෙනවා.

ආනවිලුන්දාව – පිංකට්ටිය ප්‍රදේශයේ වැවට යාබද පුරන් කුඹුරක් මෙලෙස හෙළිපෙහළි කර ඇති අතර, එහි තිබූ කුඹුක්, බෙලි සහ සියඹලා ඇතුලු ශාඛ වර්ග රැසක් කපා දමා ඒවාට ගිනි තබා විනාශ කර ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මීට පෙර රැම්සා තෙත්බිම හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරු ජගත් සමන්ත ඇතුලු පිරිසක් පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් පිංකට්ටිය ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක් යොදවා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

*********************************************

කටුනායක ආයෝජන කලාපයේ කොරෝනා ආසාදිතයන් 314 ක් දක්වා ඉහළට

(21.10.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය සඳුදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අද (21) දිනයේ ලැබී ඇති අතර, එහිදී මේ බව අනාවරණ වූ බවයි පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.එම්. වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ කඩවත – රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ 46 සහ 56 වාට්ටු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා. ඊට හේතු වී ඇත්තේ මෙම වාට්ටු දෙකෙන් (2) කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමත් සමඟයි.

මේවා සාමාන්‍ය වාට්ටු ලෙස සැලකෙන අතර කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බවයි එම රෝහලේ ප්‍රකාශකයා කියා සිටියේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක අපනයන කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 314 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (20) දිනයේ තවත් රෝගීන් 56 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයන් වාර්තා වන කර්මාන්තශාලාවල සියළු සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (20) දිනයේත් කටුනායක ආයෝජන කලාප ක්‍රීඩාංගණයේදී සිදුකර තිබෙනවා.

රෝගීන් වාර්තා වන කර්මාන්තශාලාවල අදාළ අංශ හැර සෙසු කර්මාන්තශාලාවල කටයුතු සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පවත්වාගෙන යන බවයි ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් වෙළද කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොරෝනා තත්ත්වයත් සමඟ කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ මාසිකව මෙරට ජාතික ආර්ථිකයට උපයා දෙන විදේශ විනිමය සියයට 40 කින් පමණ අඩු වී ඇති බවයි.

කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කොළඹ – කොටුව පොලීසිය අද (21) පෙරවරුවේ සිට යළි විවෘත කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ කොටුව පොලීසිය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව වෙනත් පොලිස් නිලධාරීන් අනුයුක්ත කර එහි රාජකාරි කටයුතු යළි ආරම්භ කළ බවයි.

මේ අතර, කුලියාපිටිය ප්‍රදේශයෙන් අද (21) දිනය වන විට කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ වන විට එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 1000 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බෝහිංගමුව, හම්මලව ප්‍රදේශවලින්.

එමෙන්ම, කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන මෙම ආසාදිතයන් කිසියම් ආගමික නිකායකට අයත් දේවස්ථානයක පූජාවකට සහභාගි වී ඇති බවට අනාවරණ වී ඇති අතර, මෙම ආගමික නිකායේ පිරිස් දිවයිනේ වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය සමාජගත වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (21) උදෑසන එක්වෙමින් අදහස් පළ කළා.

මේ අතර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ නිසා ඔහුගේ ආශ්‍රිතයන් 40 දෙනෙකුගේ පමණ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 5,811 ක් වාර්තා වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,341 ක්.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනයට ලක් කර ඇති නිසා සති දෙකක (2) කාලයක් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගිවීමට අවසර ලබා නොදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුවූ අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට මැදිහත්වුණා.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන් සහ නලින් බණ්ඩාරද මෙම සංවාදයට එක්වුණා.

++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සඳුදා (26) උදෑසන 05:00 දක්වා එය ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් අදාළ වෙළඳසැල සහ ඊට යාබද තවත් වෙළඳසැලක් වසා දමා තිබෙනවා.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ලසන්ත සංජීව මහතා කියා සිටියේ අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි.

***************************************

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව පිහිටවූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය අවිධිමත් ලෙස පිහිටුවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා .

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් කළ පැමිණිලිවලට අදාළව අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කොමිසමට පැමිණියා.

ඔහු සඳහන් කළේ 2015 ජනවාරි 21 වැනිදා දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් පිහිටුවීම සදහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි.

***************************************

අනුරාධපුර නොච්චියාගම – පහළමහරගහවැව ප්‍රදේශයේ උඳු ගොවීන් වගාවට අවශ්‍ය බීජ සපයාගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

ඊට හේතුව වෙළඳපොලේ උඳු බීජ මිල ඉහළ යාමයි.

අනුරාධපුර, නොච්චියාගම – පහලමහරගහවැව ප්‍රදේශයේ උඳු ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර ඇත්තේ මේ දිනවල පවතින වැසි තත්ත්වයත් සමඟයි.

එහෙත් වෙළෙඳපොලේ උඳු බීජ මිල ඉහළ යාම හේතුවෙන් ඊට දැඩි බාධා එල්ල වී ඇති බව එම ගොවීන් පෙන්වා දෙනවා.

අක්කරයක භූමි ප්‍රමාණයක උඳු වගාකිරීම සඳහා බීජ කිලෝ 10 ක් අවශ්‍ය වන අතර මොවුන් පවසන්නේ උඳු බීජ කිලෝවක් මේ වන විට ඉහළ මිලක පවතින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *