අගලවත්තේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ පාලින්ද නුවර බෙල්ලන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

අගලවත්තේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ පාලින්ද නුවර බෙල්ලන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

අදත් (21) ආසාදිතයන් 109 ක් – 49 ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන්

රන්ජන් සහ හිරුණිකා දේශපාලන පළි ගැනීම් පිළිබද සොයන ජනපති කොමිසම පැහැර හරී

මධුෂ්ගේ අවසන් කටයුතු සිදුකෙරේ – බිරිඳකගෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්

පාස්කු ප්‍රහාරයට හේතුව පැවති ක්‍රමයේ බිඳවැටීම බව පූජිත් ජයසුන්දර කියයි

කොළඹ පොලිස් බල ප්‍රදේශ 05 කට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවයි

*********************************************

අගලවත්තේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ පාලින්ද නුවර බෙල්ලන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

(21.10.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුළන්දල උතුර ග්‍රාම නිලධාරී වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු එම තත්ත්වය ක්‍රියාත්මක බවයි.

+++++++++++++++

අද (21) රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය පැනවුවද කොළඹ – නුවර මාර්ගයේ මගී බස් රථ ධාවනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේදී මගීන් නංවා ගැනීම සඳහා එම ප්‍රදේශවල බස් රථ නතර කළ නොහැකි බවයි පොලිස් මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එමෙන්ම, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හට ද තම විභාග අයදුම්පත පෙන්වා විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

+++++++++++++++

රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලබන සිකුරාදා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අද (21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද දෙවන පෙළ කොවිඩ් ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන උපදෙස් ලබාදීමට කටයුතු කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී ඇතිවූයේ උණුසුම් සංවාදයක්.

***************************************

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකථන ලබාදීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (21)පොලීසියට නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදියි.

පසුගිය සැප්තැම්බර් මස 12 වන දාට යෙදී තිබූ සිරකරු සුබසාධක දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට පැමිණි අවස්ථාවේදී කංජිපානිගේ පියා ඇතුළු ඔහුගේ ඥාතීන් 6 දෙනෙකු කෑම බඳුනක සූක්ෂම අයුරින් ජංගම දුරකථන දෙකක් බන්ධනාගාරය වෙත රැගෙන යාමට උත්සාහ දරා තිබුණා.

කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ පිළිබදව කරුණු අනාවරණ කර ගැනීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවේ ෴

*********************************************

අදත් (21) ආසාදිතයන් 109 ක් – 49 ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන්

(21.10.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනයේදී කොරෝනා ආසාදිතයන් 109 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5920 දක්වා ඉහල ගියා.

අද (21) සොයාගත් ආසාදිතයන්ගෙන් 49 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් හමුවී ඇති අතර තවත් 37 මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කාර්ය මණ්ඩලයේ සහ ආශ්‍රිතයන් වනවා.

එමෙන්ම තවත් 23 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ කොරෝනා ආසාදිත දොම්පේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට පැමිණ ඇති බවට වාර්තා වීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අද නිකුත්වීමත් සමඟයි එහි 49 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කර ගැණුනේ.

ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ අද (21) දිනයේත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරුණා.

එසේම කොට්ටාව නගරයේ වෙළඳ සංකීර්ණයේ පිහිටි මත්ස්‍ය අලෙවිසැළක සේවකයින් හතරදෙනෙකුට (4) ද කොරෝනා ආසාදනය වී ඇති බවටද අද (21) තහවුරු වුණා.

ඒ අනුව එම වෙළඳසැල සහ ඔවුන් නවාතැන් ගෙන සිටි තෙමහල් ගොඩනැගිල්ලක ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත සේවකයෙකු කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි සමූපාකාර වෙළඳසැලට හා මාළු වෙළඳසැලට පැමිණ ඇති බව අනාවරණ වීම හේතුවෙන් එම ස්ථාන තාවකාලිකව වසා දමා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදීයි මෙම නව ආසාදිතයින් හමුවී ඇත්තේ.

මේ අතර, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් අදාළ වෙළඳසැල සහ ඊට යාබද තවත් වෙළඳසැලක් වසා දැමුණා.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ලසන්ත සංජීව කියා සිටියේ අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි.

එමෙන්ම හබරාදූව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායනය සඳහා රැගෙන එන ලද බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරි කළ තවත් පොලිස් නිලධාරියෙකුට සහ නිලධාරිණියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කොටුව පොලීසිය පිහිටි ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වූ බවට ඊයේ (20) තහවුරු වුණා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයට සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවයක් මෙතෙක් මතුවී නොමැති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා කියා සිටියේ.

මේ අතර කඩවත – රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය වෙළන්දෙකු ඇතුලු ඔහුගේ ආශ්‍රිතයින් 6 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බවයි කඩවත මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරගල මහතා කියා සිටියේ.

එමෙන්ම කුලියාපිටිය ප්‍රදේශයෙන්ද අද (21) දිනය වනවිට කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන මෙම ආසාදිතයන් කිසියම් ආගමික නිකායකට අයත් දේවස්ථානයක පූජාවකට සහභාගි වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ආගමික නිකායේ පිරිස් දිවයිනේ වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර කර තිබෙනවා.

මේ අතර පසුගිය 10 වන දා පස්වරු 02:05 ට කොළඹ කොටුවේ සිට කුලියාපිටිය බලා ගමන් ගත් එන්.සී. 8785 අංකය දරණ සුඛෝපභෝගී බස් රථයෙන් සහ පසුගිය 14 වන දා පස්වරු 04:05 ට කොළඹ කොටුවේ සිට කුලියාපිටිය බලා ධාවනය වූ එන්.සී. 4257 දරණ බස් රථයෙන් ගමන් කළ පුද්ගලයන් සිටී නම් ඒ පිළිබද තොරතුරු 037 228 1278 යන අංකයට දැනුම් දෙන ලෙසයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දෙන්නේ.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම ප්‍රතිකාර ඒකකය අද (21) තාවකාලිකව වසා දැමුණා.

එසේම කොළඹ ජාතික රෝහලේ 46 සහ 56 වාට්ටු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඒ, එම වාට්ටු දෙකෙන් කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමත් සමඟයි.

මේ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා 15 කින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 314 ක්.

එසේම කොළඹ නැව් තටාකාංගණයේ සේවකයින් 31 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය 19 සහ 20 යන දෙදින තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 900 ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි එම ආයතනය නිවේදනය කළේ.

පවතින තත්ත්වය සලකා හෙට උදෑසන 10 ට කොළඹ මැනිං වෙළදපොළ තාවකාලිකව වසා දැමීමට එහි වෙළද සංගමය තීරණය කර තිබෙනවා.

එය නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ ලබන සඳුදා (26) උදෑසන කාලයේදියි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලබන 23 වන සිකුරාදා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද (21) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

++++++++++++++++

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල විභාග රාජකාරිවල නිරතවන ගුරුවරුන්ට ඊට අදාළ ලිපි ලේඛන ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඉන් එක් ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වූ අතර සෙසු 56 දෙනා ආශ්‍රිතයින් ලෙසයි හඳුනාගෙන ඇත්තේ ෴

+++++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 49 දෙනෙකු වාර්තාවීම බරපතළ තත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහනට සජීවීව එක්වෙමින්.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ එහිදී වැඩි සංඛ්‍යාවක් PCR පරීක්ෂණ සිදුකෙරුණි නම් ආසාදිතයන් එම සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තාවීමේ සියයට අනූනවයක අවස්ථාවක් පැවති බවයි.

+++++++++++++++

ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 83 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇඳිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 596 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ඇඳිරි නීතිය කඩකිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 76 ක් ෴

++++++++++++++++

22 October 2020 – 07:25

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින්ගෙන් 186 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිත කාන්තාව වාර්තා වී දින 20 ක් ඇතුළත මොවුන් මෙලෙස සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි.

මේ අතර, ඊයේ (21) දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 167 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5978 දක්වා ඉහල ගියා.

ඊයේ (21) සොයාගත් ආසාදිතයන්ගෙන් 49 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් හමුවී ඇති අතර තවත් 38 නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කාර්ය මණ්ඩලයේ සහ ආශ්‍රිතයන් වනවා.

තවත් 79 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඊයේ (21) හඳුනාගෙන තිබෙනවා.

+++++++++++++++

කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා අද (22) උදෑසන 10 ට ලබන සඳුදා (26) උදෑසන දක්වා කොළඹ මැනිං වෙළදපොළ තාවකාලිකව වසා දමා ඇති බව එහි වෙළඳ සංගමය පවසනවා.

කහවත්ත – මාදම්පේ මාළු වෙළඳසැල අද (22) දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මාළු වෙළදපොළට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලොරි රථවලින් මාළු රැගෙන එන වෙළෙදුන් සිටින බැවින් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා.

මීට අමතරව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් ග්‍රාම නිලධාරී වසමක් ද හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ සහ කැකුලන්දර – උතුර යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

මේ අතර, දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට රජය විසින් ලබාදෙන රුපියල් 5000 ක දීමනාව අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ජනතාවට ද ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) ප්‍රකාශ කළේ ෴

***************************************

ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ‘ඊෂි කෑෂ්’ ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු කෑගල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කෑගල්ල – කළුගල්ල මාර්ගයේ පදිංචිකරුවෙකු වන අතර, වාහනයක් සහ යතුරුපැදි විකිණීමට ඇති බව පවසා වාහන හා වෙනත් භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවි කිහිපයක දැන්වීම් ද පළ කර තිබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මොහුට එරෙහිව කොහුවල, අතුරුගිරිය සහ මිනුවන්ගොඩ යන පොලිස් ස්ථානවලට පැමිණිලි රැසක් ඉදිරිපත්ව තිබුණා ෴

*********************************************

රන්ජන් සහ හිරුණිකා දේශපාලන පළි ගැනීම් පිළිබද සොයන ජනපති කොමිසම පැහැර හරී

(21.10.2020 – 18:27 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම පැහැර හරින පුද්ගලයන් බවට තීරණය කළ බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා අද (21) ප්‍රකාශ කළා.

ඒ, හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර කොමිසමට ගොනු කළ පැමිණිල්ලකට අදාළවයි.

මේ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුලු පිරිසකට එළඹෙන සිකුරාදා (23) දිනයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද (21) නොතීසි නිකුත් කෙරුණා.

ඒ, දැනට වැඩ තහනමකට ලක්ව සිටින යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි.

2012 වසරේ මැයි මස 17 වනදා නාරාහේන්පිට ප්‍රදේශයේදී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වී මියයාමේ සිද්ධියට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ බව පවසමින් සාක්ෂි ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට බලපෑම් කළ බව කපිතාන් තිස්ස විමලසේන කොමිසමට ප්‍රකාශ කර තිබුණා.

ඔහු සඳහන් කළේ තමන් දීර්ඝ කාලයක සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප ආරක්ෂකයා ලෙස කටයුතු කළ බවයි.

එම හේතුව පදනම් කරගනිමින් තමන් ලවා රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ඇතුලු පිරිස අවස්ථා ගණනාවකදී උත්සහා කළ බවත් කපිතාන් විමලසේන ප්‍රකාශ කළා.

කපිතාන්වරයා වැඩිදුරටත් පැවසුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා මූල්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ගොනු කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා අත්අඩංගුවට ගෙන මාස 5 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

මෙම පැමිණිල්ලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ වසර හතරකට (4) ආසන්න කාලයක් ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර යන අය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ වීඩියෝ පටයක් ඔහු අද (21) කොමිසම හමුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළා.

කරුණු සළකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු යුද හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර යන අයට මේ මස 23 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළා.

***************************************

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

එය හෙට (22) දිනයේදීත් පැවැත්වෙන අතර ඡන්ද විමසීම හෙට (22) පස්වරුවේ පැවැත්වෙනු ඇති.

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් නිරෝධායනයට ලක් කර ඇති නිසා සති දෙකක (2) කාලයක් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගිවීමට අවසර ලබා නොදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කෙසේ වෙතත්, අද (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට හෙට (22) පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීම සඳහා අවස්ථාව ලබාදීමටයි ෴

++++++++++++++++

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට තම පක්ෂය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (21) පෙරවරුවේ පැවති පක්ෂ මධ්‍යම කාරකසභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරකසභාව අද (21) පක්ෂ මූලස්ථානයේදී රැස්වුණා.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් පිරිසක් අභයාරාම විහාරස්ථානය වෙත පැමිණියේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කැඳවීමකට අනුවයි.

සාකච්ඡාවෙන් අනතුරුව එහි මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවා තිබුණා.

මේ අතර පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

++++++++++++++

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, ටිරාන් අලස් යන මහත්වරු එක්ව සිටියා.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එහිදී අද (22) දිනය තුළ මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියා සිටියේ ෴

*********************************************

මධුෂ්ගේ අවසන් කටයුතු සිදුකෙරේ – බිරිඳකගෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්

(21.10.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala)

පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) මහරගම – ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, ඔහුගේ බිරිඳ, අනියම් බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් පිරිසකගේ සභාගීත්වයෙන්.

මේ අතර, මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත අද (21) ලිපියක් යොමු කර තිබෙනවා. පෙරේදා (19) අලුයම පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මිය යන විට මාකඳුරේ මධුෂ් 41 වන වියේ පසුවුණා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (20) අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් ඇගේ එකඟතාව මත දේහය අනියම් බිරිඳගේ මහරගම – පමුණුව නිවසේ තැන්පත් කර තිබුණා. අද (21) දහවල් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුවයි දේහය මිහිදන් කිරීම සඳහා සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවේ.

අවසන් කටයුතු සිදුකෙරුණු ගොඩිගමුව සුසාන භූමිය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණා.

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යවනු ලැබූ ලිපියේ දැක්වෙන්නේ මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ වන විට මරණය සිදුවූ ආකාරය පිළිබදව තොරතුරු නිර්මාණය කරමින් ඒ සඳහා නීති උපදෙස් පැතීමට කටයුතු කර ඇති බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, මධුෂ් ඝාතනය වූ මාළිගාවත්ත – ඇපල්වත්ත – ලක්සිත නිවාස සංකීර්ණ පරිශ්‍රය වෙත අද (21) පස්වරුවේ පැමිණි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරිශ්‍රය පරීක්ෂාවට ලක් කළා.

කෙසේ වෙතත්, එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු සඳහන් කළේ මෙහි ආරක්ෂිත කැමරා බහුතරයක් කලක පටන් අක්‍රීයව පවතින බවයි.

*********************************************

පාස්කු ප්‍රහාරයට හේතුව පැවති ක්‍රමයේ බිඳවැටීම බව පූජිත් ජයසුන්දර කියයි

(21.10.2020 – 22:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ලවීමට ප්‍රධාන හේතුව වූයේ පැවති ක්‍රමයේ පැහැදිළි බිඳවැටීම බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (21) කැඳවා තිබුණේ 13 වෙනි දිනටයි.

ඔහු මෙතෙක් ජනාධිපති කොමිසම වෙත ලබාදී ඇති සාක්ෂි සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමට අනෙකුත් පාර්ශව නියෝජනය කරන නීතිඥවරුන්ට අද (21) අවස්ථාව හිමිවුණා.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් :

“මෙය විදෙස් රටකින් ලැබුණ තොරතුරක් නිසා ඔබලා ඒ පිළිබඳව තැකුවේ නැහැ නේද ?”

හිටපු පොලිස්පති – පූජිත් ජයසුන්දර :

“නැහැ ස්වාමීනි එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපේ බුද්ධි අංශවලට බැරිවුණා මේ තොරතුර හොයාගන්න විදෙස් රටකින් කියනකල්”

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් :

“ඔබ හිටියේ පල්ලිවලට ගැහුවට කමක් නෑ කියන මතයේ.. එහෙම නේද ?”

හිටපු පොලිස්පති – පූජිත් ජයසුන්දර :

“කරකව කරකව ඇහුවත් එකමයි කියන්න තියෙන්නේ. මං ඒක පිළිගන්නෑ”

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් :

“කරකව කරකව හරි කෙලින් කරලා හරි මට යෝජනා කරන්න වෙනවා, ඒකනෙ සිද්ධ වුණේ ? එහෙනම් ඇයි මේ තොරතුර ජනාධිපතිවරයාට නොදැන්නුවේ ?”

හිටපු පොලිස්පති – පූජිත් ජයසුන්දර :

“ඒක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙ වගකීමක්.”

අනතුරුව පූජිත් ජයසුන්දර මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාවක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරියට හිමිවුණා.

නීතිඥ මධූ ජයතිලක – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් :

“අපි අප්‍රේල් 4 ලද බුද්ධි තොරතුරට එමු. ඔබ කියන්නේ අප්‍රේල් 9 ඔබට එය සිසිර මෙන්ඩිස් මහත්මයාගෙන් ලැබෙනකල් ලැබී තිබුණේ නැහැ කියලද ? හැබැයි ඊට පෙර නිලන්ත ජයවර්ධන මහතා ඔබට මේ ගැන දුරකථනයෙන් දැනුම් දුන්නා නේද ?”

හිටපු පොලිස්පති – පූජිත් ජයසුන්දර :

“කතා කළා දැනුම් දුන්නේ නම් නැහැ. නිලන්ත ජයවර්ධන මහත්තයා ඔහොම කතා කරපු ඒවා රෙකෝඩ් කරලා මේ කොමිසමට දුන්නනේ. ඒ වගේ මටත් ඕක කියපු එක රෙකෝඩ් කරල තියෙනව නම් කොමිසමට දෙන්න.”

නීතිඥ මධූ ජයතිලක – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් :

“ආරක්ෂක කවුන්සිලයට නොකැඳවූවට අප්‍රේල් 18, 19, 20 ඔබට නිලන්ත ජයවර්ධන මහත්මයා සියලු වාර්තා එව්වා නේද පාස්කු ප්‍රහාරය වෙනකල්ම ?”

හිටපු පොලිස්පති – පූජිත් ජයසුන්දර :

“ඒක මං පිළිගන්නවා. නමුත් ඒ තොරතුරුවල නිශ්චිත බවක් තිබුණේ නැහැ.”

නීතිඥ මධූ ජයතිලක – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් :

“ඔබ, පොලිස්පති ධූරය ඔබේ පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනැංවීමට භාවිත කළා මිස නීතිය හා සාමය රැකීමට භාවිත කළේ නෑ කියල මම යෝජනා කරනවා.”

හිටපු පොලිස්පති – පූජිත් ජයසුන්දර :

“ඒකත් ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පති තනතුර මම එහෙම භාවිත කළා නම් මට අද මෙහෙම වෙන්නෙ නැහැ. මං පස්සෙ දොරෙන් ආපු කෙනෙක් නෙවෙයි.

මට මොන ඉරණම ලබාදුන්නත් මට කියන්න තියෙන්නෙ මට පුළුවන් උපරිමය මං කළා. පාස්කු ප්‍රහාරය සාමූහිකත්ව ප්‍රයත්නයක අසමත්වීමක්. It’s a system failer.”

*********************************************

කොළඹ පොලිස් බල ප්‍රදේශ 05 කට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවයි

(22.10.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++

ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විභාගවලට පෙනී සිටින සිසුන්, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක කාර්ය මණ්ඩල සඳහා ගමනාගමන කටයුතුවලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

මේ අතර, ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියා.

කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ඊයේ (21) රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණා.

ලබන සඳුදා (26) උදෑසන 5 දක්වා මෙම පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙනු ඇති.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 33 ක සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5 ක මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

මේ අතර මීට සුළු වෙලාවකට පෙර සිට මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

***************************************

හොරණ – කටුහේන වත්ත මීවනපලාන ප්‍රදේශයේ ජනතාව ද සිවලුන් (නරි) ගම්වැදීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

පසුගිය දා වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකු නිවසේ සිටියදී සිවලුන් විසින් සපා කෑම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීට පෙර ද සිවලුන් ගම්වැදීම හේතුවෙන් කළුතර ගම්මාන කිහිපයක ජනතාව අපහසුතාවට පත්ව සිටින අයුරු අප අනාවරණ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *