LTTE සංවිධානය ගැන බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබාදුන් තීන්දුව ගැන ලක් රජයේ අවධානය

LTTE සංවිධානය ගැන බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබාදුන් තීන්දුව ගැන ලක් රජයේ අවධානය

මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ (22) – 309 න් 188 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන්

PHI සභාපතිගේ ප්‍රකාශයෙන් බ්‍රැන්ඩික්ස් ගොඩ යන ලකුණු

*********************************************

LTTE සංවිධානය ගැන බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබාදුන් තීන්දුව ගැන ලක් රජයේ අවධානය

(22.10.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවන බවට එරට අධිකරණයක් මගින් ලබාදුන් නියෝගය පිළිබඳව ලක් රජයේ අවධානය යොමුවී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් සිදුකෙරෙන අභියාචනා කොමිසම අධිකරණයට කරනු ලැබූ කරුණු දැක්වීමට අනුවයි ඊයේ (21) දින මෙම නියෝගය නිකුත් කර තිබුණේ.

මේ පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කෙරුණු අතර එම කොමිසම සිය කරුණු දැක්වීම මගින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

දෙමළ ඊලාම් සංක්‍රාන්තික රාජ්‍ය නම් සංවිධානය විසින් අදාළ අභියාචනය ගොනුකර තිබුණා.

කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එල්.ටී.ටී.ඊ.ය සහ ඊට සම්බන්ධ කණ්ඩායම් විදේශ රටවල සිට ශ්‍රී ලංකාව තුළ අස්ථාවරත්වයක් සහ ගැටුම් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි රජය සතු බවයි ෴

***************************************

වෙළඳපලේ පවතින කහ හිඟය සළකා, ලබන මස සිට කහ බීජ මිලදී ගැනීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පුවත්පත් සහ ගොවිජන සේවා කේන්ද්‍ර හරහා ඒ පිළිබඳව ගොවීන් දැනුවත් කරමින් බීජ මිලදී ගැනීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස මිල ගන්නා බීජ වැඩිදියුණු කර, කහ වගාකරුවන් වෙත ලබාදීම මෙහි අරමුණ වී තිබෙනවා ෴

***************************************

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවනවර කියවීම සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වුණා.

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 156 ක් හිමි වූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 65 ක් පමණයි.

ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරිස් සහ එම්. එස්. තවුෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ.

පසුගිය දිනවල අදාළ පනත් කෙටුම්පත විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

ද්විත්ව පුරවැසිභාවය සඳහා වූ බාධකය ඉවත් කිරීම පිළිබඳ 17 වන වගන්තිය කාරක සභා අවස්ථාවේදී බහුතර ඡන්ද 93 කින් සම්මත වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර 64 දෙනෙක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා ෴

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම, තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන්, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එයට පක්ෂව ඡන්ද 156 ක් සහ විපක්ෂව ඡන්ද 65 ක් හිමි වුණා ෴

++++++++++++++

++++++++++++++

++++++++++++++

19 ගැටය සහ විස්සේ කොස්ස කොලේ වසා ගැසිමක්ද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර (09.10.2020)

++++++++++++++

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවනවර කියවීම සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් අද (22) සම්මත වුණා.

ඒ, අනුව ඊට පක්ෂව ඡන්ද 156 ක් හිමි වූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 65 ක් පමණයි.

+++++++++++++++++

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ, රජයෙන් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී ඩයනා ගමගේ සඳහන් කරනවා.

ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරිස් සහ එම්. එස්. තවුෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ.

පසුගිය දිනවල අදාළ පනත් කෙටුම්පත විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

++++++++++++++

***************************************

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 259 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ 182 ක්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් 02 ක් සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ආසාදිතයින් 75 ක් ඒ අතර වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ෴

++++++++++++++++

23 October 2020 – 07:25

අද (23) දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට කොරෝනා මර්ධන කමිටුව රැස්වී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

අද (23) උදෑසන ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහනට සජීවීව එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව අද (23) ලැබීමට නියමිත අදාළ PCR වාර්තා බහුතර ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ බවටයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමට මෙම මොහොතේ අවශ්‍යතාවක් නොමැති බවයි හමුදාපතිවරයා පවසන්නේ.

අදාළ PCR වාර්තාවලට අනුව යම්කිසි අවදානමක් ඇති ප්‍රදේශයක් වේ නම් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ද ගම්මානයක් වේ නම් එය හුදෙකළා කිරීමටත් නියත වශයෙන් ම කටයුතු කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

එසේම මේ වනවිටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඉදිරි දින දෙකෙන් අනතුරුව එළඹෙන දිනයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීමට ඉදිරි සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල සිටින පුද්ගලයන් සති අන්තයේ හැකිතාක් සිය නිවෙස්වලම රැඳී සිටිමින් මෙම තත්වය පාලනය කරගැනීමට සහය ලබාදෙන ලෙසයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

+++++++++++++++

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟ බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව එහි කළමනාකරු පැවසුවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බේරුවල ධීවර වරායේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළ වෙත මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට බවයි සඳහන් වන්නේ.

ඊයේ (22) දිනයේ බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා සිදුකල PCR පරීක්ෂණවලදීයි මේ බව අනාවරණ වී ඇත්තේ ෴

++++++++++++++++

අද (23) උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගිය 4 වන දා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ 691 දෙනෙකු සහ වාහන 92 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇදිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

+++++++++++++++

නිරෝධායන කටයුතුවල ධාරිතාව මේ වනවිට අභියෝගාත්මක වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ආයතනික නිරෝධායනය වෙනුවට වගකීම් සහගත ස්වයං නිරෝධායනය සඳහා යොමුවීමේ අවශ්‍යතාව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එහිදී අවදානම් සහිත පිරිස් පමණක් ආයතනික නිරෝධායනය වෙත යොමුකළ හැකිවන අතර, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් රෝහල් නොවන කලාපවල පිහිටුවා ඇති ස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රියාවලියකට යොමුවිය යුතු බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වැඩිහිටි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිස් සහ ජීවිත අවදානමක් ඇති රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් පමණක් ප්‍රධාන රෝහල්වලට යොමු කිරීමටත්, රෝහල් ගතකිරීමේ නිර්ණායක සකස් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහසයි.

එමෙන්ම තවමත් සමාජ ව්‍යාප්තියක් දක්වා කොරෝනා වසංගතය පැමිණ නැති බව ප්‍රකාශ කළද වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා ව්‍යාප්තිය මර්දනය සඳහා මුලසිට සහය දුන් කණ්ඩායම් සමග රෝග ව්‍යාප්තිය පිළිබඳ දත්ත බෙදා නොගැනීම නිසා සමාජ ව්‍යාප්තියක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තාක්ෂනික නිර්වචනය ලබාදීමට හැකියාව ඇත්තේ එම ඒකකයට පමණක් බව එම සංගමය පෙන්වා දෙනවා.

රෝගීන්ගේ හා ආශ්‍රිතයන්ගේ ව්‍යාප්තිය පිළිබඳ දත්ත තාක්ෂණික සහය ලබාදෙන කණ්ඩායම් සමඟ බෙදා නොගැනීමේන් සිදුවිය හැකි බරපතල තත්ත්වයේ වගකීම වසංගත රෝග නිවාරණ ඒකකය භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

රාජ්‍ය බුද්ධි සේවයේ දෙවැනියා බව පවසමින් පොලීසිය නොමඟ යැවූ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා එම පොලිස් ස්ථානයේ සුළු පැමිණිල්ලක් විභාගයට පැමිණ තමන් රාජ්‍ය බුද්ධි සේවයේ දෙවැනියා බව ප්‍රකාශ කර පොලීසිය සහ ජනතාව නොමග යවා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල – කළුවැල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක්.

ඔහු ඊයේ (22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 3 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා ෴

*********************************************

මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ (22) – 309 න් 188 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන්

(23.10.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (22) වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ (22) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා.

ඊයේ (22) දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තාවී ඇති අතර, තවත් 97 දෙනෙකු ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවලින් ද පුද්ගලයන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ පෙරේදා (21) දිනයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 1,178 කින් 350 ක පමණ ප්‍රතිඵල වාර්තා ලැබී ඇති අතර, ඉන් 250 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 300 ක් පමණ වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් ඉල්ලා සිටියේ පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට කිසියම් කටයුත්තක් සඳහා ගමන් කළේ නම් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි.

එමෙන්ම, බේරුවල ධීවර වරාය අද (23) සිට නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව එහි කළමනාකාරවරයා සදහන් කළා.

ඒ, බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් සහ සහයකයින් දස දෙනෙකුට (10) කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.

ඊයේ (22) බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයින් 100 කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22) ජීවිතක්ෂයට පත්වූ 50 හැවිරිදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතයි.

ඒ ඇයගේ ඥාතියෙකු පැමිණීමෙන් පසු නිරෝධායන නීතිවලට අනුකූලවයි.

කුලියාපිටිය – ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය 14 වනදා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුනා.

ඒ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් 13 ක් සහ හෙද හෙදියන් ඇතුලුව 54 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ.

මීට අමතරව ඇය නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝහලේ එක් වාට්ටුවක්ද තාවකාලිකව වසා දැමුණා.

මියගිය කාන්තාවගේ සැමියාද මේ වනවිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් මේ වනවිට 44 දෙනෙකු වාර්තාවී ඇති අතර, එම ආසාදිතයන් වැඩිපිරිසක් එක් ආගමික නිකායකට අයත් දේව මෙහෙයකට සහභාගිවූවන් බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (22) පස්වරු 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට ද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (22) උදෑසන පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර, එය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි.

කොළඹ නැව් තටාකාංගණයෙන් ද ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, තවත් 800 ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි කොළඹ නැව් තටාකාංගණයේ ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆර්නෑන්ඩු මහතා සඳහන් කළේ.

මේ වන විට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 28 කින්ද ආසාදිතයන් 358 දෙනෙකු වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++

ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය යටතේ පවතින පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රවලින් පරීක්ෂණ 4500 ක පමණ ධාරිතාවක් දෛනිකව සිදුකිරීමට හැකියාව තිබුණද මේ දක්වා එම යන්ත්‍ර ප්‍රයෝජනයට නොගන්නා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ අදාළ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනටමත් ලබාදී ඇතත්, මේ දක්වා ඒවා නිසි පරිදි බෙදාහැර නොමැති බවයි ෴

++++++++++++++++

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (23) දිනයේ 281 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර පිටව යන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළ පුද්ගලයන් 105 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද (23) පිටව යාමට නියමිතයි.

කොග්ගල පෞද්ගලික හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ පිරිසක් මෙලෙස පිටව යන බවයි යුද හමුදාව සඳහන් කළේ.

කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඊයේ (22) දිනයේදී ද 199 දෙනෙකු පිටව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++

හෝමාගමින් හමුවු කොවිඩ් ආසාදිතයා

(23.10.2020 – 10:55 +0530 – sinhala.adaderana.lk)

හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළෙහි හිමිකරු කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයා ආසාදිතයෙක් බවට අනාවරණය වීමත් සමග වෙළෙඳසැළ වසා දැමීමට කටයුතු කර ඇත.

එමෙන්ම එම හිමිකරුගේ පවුලේ අය සහ වෙළෙඳසැළේ සේවකයින් 17 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා :

“ඒ අදාළ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කරලා තියෙනවා. ඒ වෙළෙඳසැළේ සේවකයින් 17 ක් පමණ සේවය කරනවා. ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සියලුදෙනා මේ වන විට නිරෝධායනය කරමින් ඉන්නවා. ඊට අමතරව මේ පොදු වෙළෙඳපොළේ තව මස් කඩ, එළවළු කඩ, පොල්තෙල් කඩ හා බිත්තර වැනි කඩ කිහිපයක් තියෙනවා. ඒ කඩහිමියන් හා මෙම ආසාදිත පුද්ගලයා අතර නිතර ගනුදෙනු සිදුව තිබෙන නිසා, අපි තාවකාලිකව ප්‍රාදේශීය සභාව සමග එකතු වෙලා පොදු වෙළෙඳසැළේ ඉතිරි කඩ මේ වන විට වසා දමා තිබෙනවා. ඊට අමතරව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළත් සමග සම්බන්ධකම් තියෙන මාළු ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. අපි ඔවුන්වත් පීසීආර් පරීක්ෂණ කරන තෙක් ඔවුන්ගේ පවුල්වල අය සමග නිරෝධායනය කරලා තියෙනවා. ඊට අමතරව ශාඛා තැපැල් කාර්යාලයක් මේ ස්ථානයේ පිහිටා තිබෙනවා මේ වෙළෙඳපොළේ එම තැපැල් කාර්යාලයත් තාවකාලිකව වසා දැමුණා.”

++++++++++++++

***************************************

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත තුළ ඊයේ (22) දිනයේ සිදුකළ මෙහෙයුමකදියි.

මෙහිදී හෙරොයින් අලෙවි කළ පුද්ගලයන් 98 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයන් 19 දෙනෙකු සහ ගංජා අලෙවි කළ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

බසිල් රාජාගේ රටේ රාජ්‍ය ලේකම් පිළිගන්න සියල්ල සූදානම්

(23.10.2020 – LL News)

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාව වෙත පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ඔහුගේ සංචාරය රටවල් දෙක අතර මිත්‍රත්වය ශක්තිමත් කරන්නක් බවත්, නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ දෙරටේ හවුල් දැක්ම වර්ධනය කරන්නක් වනු ඇති බවත් තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඔක්තෝබර් 26 සහ 27 යන දිනවල ඉන්දියාවේ සංචාරය කරමින් ‘ටූ ප්ලස් ටූ’ ලෙස නම්කර ඇති ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී වීමට නියමිතය. එම සංචාරයට සමගාමීව රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ දූත පිරිස එලැඹෙන 28දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, ඔවුන් මාලදිවයිනේ සහ ඉන්දුනීසියාවේද සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඇමරිකානු පුරවැසියෙකු වන බසිල් රාජා රාජ්‍ය ලේකම් මයික්ගේ යටත් වැසියෙකි ෴

++++++++++++

මයික් පොම්පේ 28 කොළඹට.. ඔහුගේ ආරක්‍ෂාවට හමුදා කණ්ඩායමක් ඊයේ (22) ඇවිත්.. සාමාන්‍ය නිරෝධායන නෑ..

(23.10.2020 – 15:50 +0530 – lankacnews.com)

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ මහතා එළැඹෙන 28 වැනි දා මෙරටට පැමිණීමට නියමිතය.

ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ඔහු මෙරට ගත කරන කාලයේ දී මෙරට ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඉන් පසු මාධ්‍ය හමුවක් පවත්වන බවත්ය.

මේ අතර ඔහුගේ ගමනට පෙර ඔහුට අවශ්‍ය ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ඊයේ (22) දිනයේ මෙරටට පැමිණ තිබේ.

16 දෙනෙකුගෙන් යුතු එම හමුදා නිලධාරීන් පිරිස කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

මෙම රාජතාන්ත‍්‍රික පිරිස සදහාද සාමාන්‍ය නිරෝධායන කටයුතු සිදු නොකරන නමුත් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී සඳහන් කලාය ෴

***************************************

ඔක්තෝම්බර් 22 ජාතික බලවේග වලට ශෝක දිනයක් – ජාතික සංවිධාන වලින් හේතු 3 ක්

(23.10.2020 – 12:07 +0530 – lankaleadnews.com)

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ඔක්තෝම්බර් 22 දින ජාතික ශෝක දිනයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ලංකා ලීඩ් ඇමතූ ඔහු විසින් ඊට හේතු 03 ක් ඉදිරිපත් කරනු ලැබීය.

  1. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍යාජ රූපලාවන්‍ය වෙනස්කම් සහිතව සම්මත කිරීම මඟින් මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන මතයට ආණ්ඩුව ගරු නොකරන බව පැහැදිළිව ප්‍රදර්ශණය කිරීම. ඒ මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී සහ එම්.සී.සී. සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයි පෙන්වීම.
  2. මහජන විරෝධය නියෝජනය කළ ආණ්ඩුව තුළ සිටින වාමවාදී ජාතිකවාදී බලවේග සහ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බව පෙන්වූ මන්ත්‍රීවරුන් සියල්ල ආණ්ඩුවේ බලපෑම් වලට යටත් වීම නිසා ඒ මඟින් ඉදිරියේදී එම්.සී.සී. සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට ජාත්‍යන්තර බලපෑම් එල්ල වන අවස්ථා වලදී ඔවුන් කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳව මහජන විශ්වාසය පළුදු වීම. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මහජනයා අමතා කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන තත්වයක් යටතේ ජනාධිපතිවරයා ඔවුන්ට පුද්ගලිකව කරන ලද බව කියන හැඟීම්බර හෝ වෙනත් ආකරයක ඉල්ලීමක් මත එම බලවේග එම බලපෑම් වලට යටත් වී සියළු වගකීම් බාරගනිමින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉල්ලීම් ඉටු කරන බව ප්‍රකාශ කිරීම මඟින් මහජන විශ්වාසය තවදුරටත් පළුදු වේ.
  3. රහසිගතව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේග වලට ආණ්ඩුව තුළට ඇතුලුවීම සඳහා දොරක් විවෘත වීම. විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් රාජ්‍ය තුළ නියෝජනය වෙමින් සහ රාජ්‍ය බලය යොදා ගනිමින් අන්තවාදය පෝෂණය කිරීම සඳහා යොදා ගත් හකීම් – රිෂාඩ් – හිස්බුල්ලා වැනි චරිත වලට දැන් එම භූමිකාව ඉටු කිරීමට නොහැකි තත්වයක් තුළ, එම භූමිකාව ඉටු කිරීම සඳහා ඔවුන්ට විරුද්ධ බව හෝ ඔවුන්ගෙන් ස්වාධීන බව පෙන්වන නව පුද්ගලයින්ට ආණ්ඩුව තුළට ඇතුල් වී අනාගතයේදි ඇමතිකම් ලබා ගැනීමට දැන් නව දොරක් විවෘත වී ඇත ෴

*********************************************

PHI සභාපතිගේ ප්‍රකාශයෙන් බ්‍රැන්ඩික්ස් ගොඩ යන ලකුණු

(23.10.2020 – 11:05 +0530 – lankaleadnews.com)

මෙරට වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඇරඹුණේ බ්‍රැන්ඩික්ස් පොකුරට පෙරද යන්න සම්බන්ධයෙන් යම් යම් සාධක මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. සෞඛ්‍ය පද්ධතියේ ගැටළු මෙන්ම රට පවතින තත්වය පිළිබඳව ද ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ඒ මහතා අනාවරණය කළේය.

උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි.

“පසුගිය 2 වෙනිදා රාත්‍රියේ ආරම්භ වෙච්ච මේ ආසාදනය මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශ දෙක ආශ්‍රිතව තමයි වාර්තා වුණේ. නමුත් මේ වෙද්දි ඒකෙන් බිහිවෙච්ච අනු පොකුරු 4 ක් ඊයේ (21) රාත්‍රිය වෙද්දි ලංකාවේ වාර්තා වෙමින් තියෙනවා, සක්‍රියව තියෙනවා.

විශේෂයෙන්ම කුලියාපිටිය ප්‍රදේශය, ඒවගේම කටුනායක වෙළඳ කලාපය ආශ්‍රිතව කර්මාන්තශාලා 11 ක රෝගීන් වාර්තා වෙනවා, ඒවගේම මතුගම ආශ්‍රිතව රෝගීන් අනු පොකුරක් වාර්තා වෙනවා, ඒවගේම ඊයේ (21) දිනයෙදි වාර්තා වුණා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව.

දැන් තවදුරටත් ප්‍රධාන පොකුරෙන් බැහැරව මෙවැනි අනු පොකුරු කිහිපයක් වාර්තා වෙමින් තියෙනවා. ඒවගේම ඉදිරියේදී මෙවැනි තවත් අනු පොකුරු වාර්තා වීමේ අවදානමක් තියෙනවා. ඒනිසා ලංකාවේ ඕනෑම තැනක ඕනෑම මොහොතක මෙවැනි පොකුරක් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒනිසා අවදානම ඉතාම ඉහළින් ලංකාවෙ මේ වනවිට පවතිනවා කියන එක තමයි අපේ මතය”

වෛරසය සමාජගත වීමේ අවදානමක් පවතීද යන්න විමසීමේදී ඒ මහතා පැවසුවේ :

“ඇත්තටම දැන් මේ මොහොතේදී අපි සමාජගත වීමේ අවදානමේ එළිපත්තේ ඉන්නෙ. ඊයෙ (21) සවස් භාගයේදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තා වෙච්චි රෝගීන් එක්ක අපට යම් යම් කරුණු සහ අනාවැකි පහළ වෙමින් තියෙනවා මේක සමාජගත වෙමින් තියෙනවා කියන එකට. විශේෂයෙන්ම මේ වෙද්දි අපට රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වෙනවා, ඊයේ (21) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව අහඹු සාම්පල් ලබාගැනීමෙන් තමයි මෙවැනි රෝගීන් ගණනක් වාර්තා වෙන්නෙ. කෙසේවෙතත් ඒ අහඹු සාම්පල් ලබාගැනීමට හේතුවුණේ බ්‍රැන්ඩික්ස් පොකුරේ යම් ආසාදිතයින්ගේ සංචරණය පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන්.

කොහොමවුණත් මේ රෝගීන් වාර්තා වුණේ කොහොමද? ආසාදනය වුණේ කොහොමද? ඒවගේම බ්‍රැන්ඩික්ස් පොකුරට කලින් යම් යම් සාධක තිබුණා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව රෝගීන් වාර්තා වෙන්න. ඒවගේම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් සැක සහිතව මීට සති කිහිපයකට කලින් අපි අපේ ග්‍රහණයට අරගෙන තිබුණා. නමුත් ඔහුව රෝහල්ගත කිරීමේ හැකියාවක් ලැබුණෙ නෑ අපට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නිසා. ඉතිං මේ නිසා අපට යම් සැකයක් උපදවා ගන්න පුළුවන් මේ මොහොතේ අපට හමුවන රෝගීන්ගේ මූලාශ්‍රයන් සොයාගැනීමට අපහසුතාවක් මතුවීමත් එක්කම සමාජයේ යම් තරමකට රෝගීන් පැතිර යමින් තියෙනවා කියලා” යනුවෙනි.

ප්‍රශ්නය – ඔබතුමා ප්‍රකාශ කරන්නේ මේ බ්‍රැන්ඩික්ස් පොකුරටත් කලින් මේ සාධක සමාජයේ තැන් තැන්වල තිබුණා කියලාද ?

“ඔව්, අපි දැන් කුලියාපිටිය ප්‍රදේශයේ මේ වෙද්දි පැතිරයමින් තියෙන අනුපොකුර සම්බන්ධව සලකා බැලුවොත් මේකෙදි වාර්තා වෙන්නෙ ප්‍රධාන වශයෙන් යම් ආගමික කටයුත්තක් සහ විවාහ මංගල උත්සවයක්. මේ ආගමික කටයුත්තට සහභාගී වෙච්ච 65% කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයො විදියට වාර්තා වෙනවා. ඉතිං මේ ආසාදිතයො වාර්තා වෙන්නෙ අපට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර වාර්තා වීමට කලින් තමයි මේ ආගමික කටයුත්ත පැවතිලා තියෙන්නෙ. ඒ හින්දා යම් තරමකට මේ තත්වය බ්‍රැන්ඩික්ස් පොකුර පුපුරා ගිහිල්ලා අනාවරණය වෙන්න කලින් යම් යම් ස්ථානවල පැවතුණාද කියලා සැක සහිත කරුණු මේ වෙද්දි අනාවරණය වෙමින් තියෙනවා”

පෑලියගොඩ තත්වය සහ අහඹු ලෙස පරීක්ෂණවලින් විශාල ප්‍රතිශතයක් රෝගීන් ලෙස හමුවීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ :

“අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ 105 කින් 49 ක් ආසාදිතයින් ලෙස හමුවීම කියන්නෙ අපි ඒක නිවැරදිව අර්ථ දක්වා ගත්තොත් ඉතාම බරපතළ භයානක තත්වයක්. ඒ වගේම මේ පෑලියගොඩ ආශ්‍රිතව ලංකාවේ ධීවර වෙළඳසැල් සහ ධීවර වරායවල් සෘජු සම්බන්ධතා පවත්වනවා. ඒ නිසා මේ තත්වය ධීවර වරායවල් වලට සහ රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර යන්න පුළුවන්.

ඒ නිසා ඇත්තටම අහඹු ලෙස ලබාගන්නා සාම්පල් සංඛ්‍යාව ඉහළ දැමිය යුතු වෙනවා තවදුරටත්. නමුත් ගැටළුවක් පවතිනවා මේ වෙද්දි පීසීආර් පරීක්ෂණ වාර්තා විශාල තොගයක් ලැබීමට නියමිතයි. තවදුරටත් ලැබෙමින් පවතිනවා. ඒ එක්කම පීසීආර් පරීක්ෂණ ඉහළ දමලා ලොකු තොගයක වාර්තා ‘පෙන්ඩිං’ තියාගන්නවා කියන එකත් ප්‍රශ්නයක්. ඒවගේම පීසීආර් පරීක්ෂණ අහඹු ලෙස කිරීම ඉහළ දමාගැනීමේදී අපට ප්‍රායෝගික ගැටළු රාශියක් පහුගිය කාලෙ පැවතුණා. ඒවාට තවමත් විසඳුම් හම්බුවෙනවා කියලා පේන්න නෑ. විශේෂයෙන්ම යම් යම් වෘත්තීය කණ්ඩායම් අතර තියෙන ගැටුම්, ඒවගේම පීසීආර් සාම්පල් ලබාගැනීමේ බිමේ තියෙන සම්පත් ප්‍රශ්නය, විශේෂයෙන්ම පුහුණු නිලධාරීන් නොමැතිවීම වැනි ගැටළු රාශියක් තවදුරටත් පවතිනවා. කෙසේවෙතත් අහඹු සාම්පල විශාල සංඛ්‍යාවක් ලබාගත යුතුව තිබෙනවා. ඊයේ (21) අපි පෑලියගොඩ 105 ට වැඩි සාම්පල ගත්තා නම් විශාල පිරිසක් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමේ 99% ක ඉඩකඩ තියෙනවා. ඒවගේම එයින් තවදුරටත් පැතිරයාම පාලනය කරගන්න ප්‍රායෝගික වශයෙන් ඉවහල් වෙනවා” ලෙසිනි.

කොරෝනා පාලනයට මුල් අවස්ථාවේ එක්ව සිටි යම් යම් අංශ අතර මේ වනවිට බිඳීමක් ඇතිව තිබීම මීට හේතුවන්නේදැයි විමසූ විට :

“ඔව්, පැහැදිලිවම අපි පළවෙනි රැල්ල පාලනය කරගන්න යොදපු ශක්තිය – විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සහ ප්‍රාදේශීය බලධාරීන් මේ තත්වය අර්ථ දැක්වූයේ අපි ඒ සීමාවලට වඩා එහා ගිහිල්ලා යම් යම් කටයුතු කරනවා කියලා. නමුත් මේ මොහොතේ, දැන් පැහැදිලියි අපි සීමාවලට එහා ගියා නෙවෙයි, අපි ඒ තත්වය දැඩිව රට තුළ පවත්වා ගත්තා නම් මහජනතාව සහ විශේෂයෙන් දේශපාලන අධිකාරියේ සියලුම දෙනා එකතුවෙලා මේ මොහොතේ අපි අත්විඳින දේ මෙතරම් දරුණුවට අත් නොවිඳින්න ඉඩ තිබුණා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

“බොහෝ පරස්පරතා මේ වෙද්දි පැන නඟිමින් තියෙනවා. විශෙෂයෙන් මේ ක්‍රියාවලිය ආරම්භයේදී වසංගත රෝග විද්‍යා අංශය සහ බිම්මට්ටමේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර තිබිච්ච සන්නිවේදන ක්‍රියාවලිය යම් යම් ස්ථනවලින් මේ වෙද්දි බිඳවැටෙමින් යනවා. අපට අවම වශයෙන් බොහෝ අවස්ථාවලදි නිරෝධායන කඳවුරුවලින් නිවෙස් කරා නිදහස් කරන ආසාදිතයන් එහෙම නැත්නම් නිරෝධායනය කරන අයගේ තොරතුරු පවා මේ වෙද්දි නිවැරදිව ලැබෙන්නෙ නෑ. ඒවගේම අපට බිම්මට්ටමට ලැබෙන උපදෙස් මහජන සෞඛ්‍ය සේවයේ පරස්පරව උපදෙස් ලැබෙනවා. ඒවගේම ප්‍රායෝගික නොවූ උපදෙස් ලැබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවකට පත්වෙනවා මේ සම්බන්ධීකරණ කටයුත්තේ දුර්වලතාවය නිසා.”

“ඒවගේම පහුගිය දින කිහිපයේම අපි විශේෂයෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියට සහ අමාත්‍යාංශ බලධාරීන්ට පෙන්වා දුන්නා මේ තත්වය වර්ධනය කිරීම සඳහ අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒවගේම ආරක්ෂක අංශ සහ බිමේ සෞඛ්‍ය අංශ අතර පවතින පරස්පර විරෝධී අදහස් හුවමාරුවීම් සහ විශේෂයෙන්ම සන්නිවේදන ක්‍රියාවලිය ඉතාමත්ම ඉක්මනින්ම ඒක නිවැරදි කරන්න කියලා අපි ඉල්ලුවා. හමුදාපතිතුමා අපට පේන්න තියෙනවා ඒ සම්බන්ධයෙන් සාධනීය කැපවීමක් කරනවා. කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධ කඩිනමින් ක්‍රියාමාර්ග නොගත්තොත් මේ පවතින සන්නිවේදන ගැටළුව තවදුරටත් ගැටළුකාරී තත්වයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා” යනුවෙනුයි කොරෝනා සම්බන්ධ තොරතුරු හුවමාරුවේ ඇති ගැටළු පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *