ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන්, එරට ආරක්ෂක භට පිරිසක් දිවයිනට

විස්සට පක්ෂ වූ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගෙන් හකීම් නිදහසට කරුණු විමසයි

අද (24) මියගිය කොරෝනා ආසාදිතයා මීට පෙර මියගිය කුලියාපිටියේ කාන්තාවගේ යාබද ඇදෙහි ප්‍රතිකාර ලැබූ අයෙක් බව අනාවරණය වෙයි

ප්‍රහාරයට පෙර නිලන්ත තමා දැනුවත් නොකළ බව මෛත්‍රී කියයි – සහරාන් ගැන දැන සිටි බව පිළිගනී

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

අර්ථසාධක අරමුදල් අයැදුම්පත් ළඟම පිහිටි කම්කරු කාර්යාලයට

වහාබි, සලෆි, ඉහ්වාන් ත්‍රස්තයන්ට විරුද්ධව බොදු බල සේනා සුෆි මුස්ලිම් ප්‍රජාව සමග එක් වෙයි

*********************************************

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය

(24.10.2020 – 15:18 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව සහ ගොතටුව පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු අද (24) රාත්‍රී 7 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

++++++++++++++++

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද 3414 ඉක්මවූවා.

ඒ, තවත් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් රෝගීන් 3424 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7153 ක් ෴

+++++++++++++++

ගාල්ල – රත්ගම ප්‍රදේශයේ ධීවරයින් රැසකගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (24) දින සිදුකර තිබෙනවා.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ ගාල්ල ධීවර වරාය ඇතුළු අවට ධීවරයින් 400 කගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි.

මේ සඳහා ගාල්ල මහනගර සභාවේ සහ බෝපේපෝද්දල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වුණා.

ඊයේ (23) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතුරෙන් 25 දෙනෙකු ගාල්ල ධීවර වරාය ආශ්‍රිත පුද්ගලයන් ෴

++++++++++++++++++

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත මගී ජනතාව අවම වීම නිසා දුම්රියන් කිහිපයක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අදාල දුම්රියන් පිළිබද විස්තර පහතින් :

++++++++++++++++++

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 37 ක්, ධීවර වරායන්ගෙන් 24 දෙනෙකු සහ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයින් 140 දෙනෙකු ඒ අතර වන බවයි.

++++++++++++++++

පිටකොටුව මැනිං වෙළඳපොළ ලබන නොවැම්බර් මස පළමු වනදා දක්වා වසා තිබීමට තීරණයකර තිබෙනවා ෴

*********************************************

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන්, එරට ආරක්ෂක භට පිරිසක් දිවයිනට

(24.10.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඇමරිකානු ආරක්ෂක භටයින්, සත්කාරක නිලධාරීන් එරට සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළින් ඊයේ (23) මෙරටට පැමිණ තිබෙනවා.

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ආර්.සී.එච් – 1815 දරන ගුවන් යානයෙන් ඔවුන් ඊයේ (23) පස්වරුවේ මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර අද (24) අලුයම ද කටාර් ගුවන් සේවයේ යානයකින් ඇමරිකානුවන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස 28 වනදා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 20 වනදා ප්‍රකාශ කළා.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබඳතා තර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සිය සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා හමුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වනදා විදේශ අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට ද එක්වීමට නියමිතයි.

මේ අතර, මෙම සංචාරය සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන් මාධ්‍යවේදීන් අද (24) මහනුවරදී ප්‍රශ්න කර සිටියා.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ‘එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුකරනවා ද?’ යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙරටට වැදගත් සියලු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි ෴

++++++++++++++

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන 27 වනදා සහ 28 වනදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇරයුමක් පරිදි ඔහු දිවයිනට පැමිණෙන බවයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සිය සංචාරය අතරතුර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට නායකත්වය සමග මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡාවල නිරත වනු ඇති.

එමෙන්ම, දෙරට අතර විවිධ අංශ ඔස්සේ සබඳතා පිළිබඳව එම සාකච්ඡාවලදී අවධානය යොමු වනු ඇති බව විදේශ අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෙරට සංචාරයක නිරත වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉහළතම නිලධාරියායි ෴

*********************************************

විස්සට පක්ෂ වූ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගෙන් හකීම් නිදහසට කරුණු විමසයි

(24.10.2020 – 19:11 +0530 – hirunews.lk/sinhala)

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් එහි නායක රවුෆ් හකීම් එම නිදහසට කරුණු විමසා තිබෙනවා.

පක්ෂ නායක රවුෆ් හකීම් පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ඊයේ (23) සිය නිවසේදී හමුවූ අතර, ඔවුන් දැරූ ස්ථාවරය සම්බන්ධයෙන් පක්ෂයේ උත්තරීතර සභාවට කරුණු ඉදිරිපත් කරන ලෙසටයි එහිදී පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ උත්තරීතර සභාව කැඳවා එම නිදහසට කරුණු විශ්ලේෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි පක්ෂයේ ලේකම් නිසාම් කරියප්පර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, නාරාහේන්පිට – අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමට පැමිණි විපක්ෂ නායකවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ සාකච්ඡා කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණියා.

ඒ හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි කොමිසමට කල පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.

මෙම පැමිණිල්ලට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඇතුළු දූෂණ විරෝධී කමිටු සාමාජිකයන්ට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම නොතීසි නිකුත් කර තිබෙනවා.

*********************************************

අද (24) මියගිය කොරෝනා ආසාදිතයා මීට පෙර මියගිය කුලියාපිටියේ කාන්තාවගේ යාබද ඇදෙහි ප්‍රතිකාර ලැබූ අයෙක් බව අනාවරණය වෙයි

(24.10.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට 15 වන කොරෝනා මරණය ලෙස අද (25) පෙරවරුවේ කුලියාපිටිය රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරුවේ කුලියාපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිරීතිවලට අනුව, සිදුකෙරුණු එම අවස්ථාවට ඔහුගේ බිරිඳ සහ දරුවන් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි කුලියාපිටිය – කිතලව ප්‍රදේශයේ පදිංචි ඔහු හෘද සහ දියවැඩියා රෝගයෙන් පෙලුණු අයෙකු බව සඳහන්.

ඔහු පසුගිය 16 වනදා සිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, 14 වන කොරෝනා මරණය ලෙසින් වාර්තා වූ කාන්තාවගෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට සැලකෙනවා.

අදාළ කාන්තාවගේ යාබද ඇඳක ඔහු ප්‍රතිකාර ලැබූ බව කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී තහවුරු කළා.

මේ අතර මීට ටික වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 201 දෙනෙකු වාර්තා වුණා.

ඉන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, 24 දෙනෙකු ධීවර වරාය වලින් ද, 140 දෙනෙකු ආශ්‍රිතයන් ලෙස ද වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඊයේ (23) දිනයේදී දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින් ආසාදිතයින් 866 දෙනෙකු හඳුනා ගැණුනා.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 7354 ක් ලෙසටයි.

ඊයේ (23) හඳුනා ගත් ආසාදිතයින්ගෙන් 535 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අයත් පුද්ගලයින්.

ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 79 ක්.

ඊට අමතරව, ගාල්ල ධීවර වරාය ආශ්‍රිතව රත්ගම, බූස්ස, මාගොල්ල හා මකුළුවාව යන ප්‍රදේශවලින් ආශ්‍රිතයන් 5 දෙනෙකු හඳුනා ගැණුනා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ධීවර වරාය කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් අද (24) දිනය තුළ නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

මේ වනවිට බේරුවල සහ ගාල්ල ධීවර වරාය තුල මාළු කිලෝ 3,50,000 ක් තිබෙන බව ද එම හමුවේදී ධීවර අමාත්‍යාංශ නිලධාරින් සෞඛ්‍ය අමාත්‍යවරියට දන්වා තිබෙනවා.

ඒ අනුව, එම මත්ස්‍ය තොග බෙදා හැරීම සඳහා කඩිනමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙසටයි එම අමාත්‍යාංශ බලධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ.

මේ අතර, හදිසියේ රෝගාතුර වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (23) ජීවිතක්ෂයට පත්වූ ගාල්ල ධීවර වරායේ සිටි ධීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ද හෘදයාබාධයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවයි.

එසේම, ගාල්ල – රත්ගම ප්‍රදේශයේ ධීවරයින් රැසකගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (24) සිදුකළා.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ ගාල්ල ධීවර වරාය ඇතුළු අවට ධීවරයින් 400 කගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි.

මේ සඳහා ගාල්ල මහනගර සභාවේ සහ බෝපේපෝද්දල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වුණා.

ඊයේ (23) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතුරෙන් 25 දෙනෙකු ගාල්ල ධීවර වරාය ආශ්‍රිත පුද්ගලයන්.

එසේම, නුගේගොඩ ජනතා පොලේ මත්ස්‍ය අලෙවිසැලක පුද්ගලයින් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම සතිපොල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරින් තීරණය කළා.

අදාළ ආසාදිතයින් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් මාළු මිලදී ගැනීමේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවටයි සැලකෙන්නේ.

මේ අතර, අටකලම්පන්න – මාදම්පේ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ කහවත්ත සහ ගොඩකවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල පුද්ගලයන් 200 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ සේවය කර, පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ පුද්ගලයෙකු, කොළඹ සිට බදුල්ල දක්වා ඊයේ (23) ශ්‍රී ලංගම බස් රථයකින් ගමන් කර ඇති අතර එහිදී ඔහු බලංගොඩ – පඹහින්න ප්‍රදේශයේදී රෝහල් ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) පියවර ගත්තා.

පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

මේ වනවිට ඔහු පොළොන්නරුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර ඔහු ගමන් කළ බස් රථය සුපුරුදු පරිදි අද (24) දිනයේත් ධාවනය කිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මගීන්ට උපදෙස් දුන්නේ ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසටයි.

මේ අතර, ත්‍රිකුණාමල මධ්‍යම මාලු වෙළඳ සංකීර්ණයේ සේවය කළ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් ත්‍රිකුණාමලය හා පුල්මුඬේ නගරවල පදිංචිකරුවන් වන අතර, පෑලියගොඩ මාලු වෙළඳපොලට පැමිණ ගොස් ඇති බව හෙළි වී ඇති බවයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලදාහරන් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම, අම්බලන්ගොඩ ධීවර සංකීර්ණය සහ පොල භූමිය ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ 07 වන වාට්ටුවෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (24) 3414 ඉක්මවූවා.

ඒ, තවත් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් රෝගීන් 3424 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7153 ක්.

මේ අතර, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 40 දෙනෙකු පමණ අද (24) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා කල්පිටිය මූලික රෝහල වෙත කැඳවා තිබූ අතර එම පෝලිමෙහි රැදී සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු ප්‍රවාහනය කළ ලොරි රථයක සහායකයෙක්.

++++++++++++++

*********************************************

ප්‍රහාරයට පෙර නිලන්ත තමා දැනුවත් නොකළ බව මෛත්‍රී කියයි – සහරාන් ගැන දැන සිටි බව පිළිගනී

(24.10.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දුරකතනයෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව දැනුවත් නොකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේදී අද (24) ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දුරකතන සංවාද රැසක් පිළිබඳව තොරතුරු, තම දුරකතන විශ්ලේෂණ වාර්තාවන් හි සටහන් වී තිබුණද, එය පිළිගැනීමට නොහැකි බවයි.

+++++++++++++++++

පාස්කු කොමිසමට ආ මෛත්‍රීගේ වෛද්‍ය වාර්තා

(24.10.2020 – 19:59 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිංගප්පුරුවේ රෝහලක රැඳීසිටිමින් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත්කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයකරන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (24) නියෝග කළේය.

ඒ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින සහ ඊට පෙරදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පැවැති දුරකථන සම්බන්ධතා අද (24) කොමිසමේ දී ප්‍රශ්නගත වූ අවස්ථාවේ දීය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට මිනිත්තු 46 කට පෙර සිංගප්පුරුවේ සිටි හිටපු ජනාධිපතිවරයා එවකට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ගෙන ඇති බව ජනාධිපති කොමිසමේ දී අද අනාවරණ විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිය හා සාමය විශයභාර අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) 06 වන දිනටත් ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසීය.

එහිදී ජනාධිපති නීතිඥවරයා, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නගන ලද ප්‍රශ්නයක් කෙරෙහි හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

එම ප්‍රශ්නය යොමු කිරීමත් සමග විවෘත කොමිසම හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ, “ස්වාමිනී, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු මම පිළිගන්නේ නැහැ. මම ඒකට සාක්ෂිදෙන්න ගියෙත් නැහැ. අවශ්‍යනම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් හම්බවෙන්න කිව්වා. දැන් ඔබතුමා ඔය ප්‍රශ්නෙදි ඇහුවෙ, සරත් ෆොන්සේකා මහත්මයාට මාත් එක්ක පෞද්ගලික වෛරයක් තියෙනවා ? ඒ තේරීම් කාරක සභාවේ ඉඳපු අනිත් සමාජිකයන් මාත් එක්ක පෞද්ගලික වෛරයකින් ඉඳපු අය ද? කියලා. මම ඒක හමුවේ ප්‍රකාශයක් කරලා තියෙනවානම් ඒ ප්‍රකාශය විතරක් හරි. නමුත් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මම ගැන නිර්දේශ කරලා තියෙනවානම් මම ඒවා පිළිගන්නේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ, “ඔබ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 24වන දින නීතිය හා සාමය අමාත්‍යාංශය ඔබ යටතට ගත්තේ ඔබව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පවතිනවා,” යැයි සමාජය හමුවේ මතයක් පැවති නිසාද යන්න ය.

එහිදී “නැහැ ස්වාමිනී, මම එය ප්‍රතික්ෂේප කරනවා,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“ඔබ කොමිසම හමුවේ සාක්ෂි දුන්නා ඉකුත් වසරේ අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් මෙම ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කරලත් ඔබ විසින් අප්‍රේල් 08 දින පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ රැස්වීමේ දි කිසිදු නිලධාරියෙකු පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන දැනුම් දුන්නේ නැහැ කියලා. ඒ පිළිබද පැහැදිළි කිරීමක් කරන්න පුළුවන්ද?,” යැයි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මෙහිදී විමසීමක් කළේය.

“ඔව් ස්වාමිනී, කිසිවෙකු එම රැස්වීමේදී ඒ වනවිටත් ලැබී තිබුණු පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන කිව්වේ නැහැ. ඒ වෙද්දිත් පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිටි නිලධාරින් රැසක් මේ ගැන දැනං ඉඳලා තියෙනවා. නමුත් මට කිව්වේ නැහැ. තොරතුර ගැන දැනගත්තානම් මම රට යන එක නවත්වනවා,” යැයි හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ය.

“රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂිදෙමින්, මේ කොමිසම හමුවේ කියා සිටියා අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර ගැන අප්‍රේල් 11 වෙද්දි ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු 15,000 ක දෙනා දැනගෙන හිටියා කියලා. ඔබ ඒ ගැන මොකක්ද හිතන්නේ,” යැයි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ ය.

“15,000 ක් දැනගෙන හිටියද කියලා නිශ්චිත වශයෙන්ම මම දන්නේ නැහැ. නමුත් 15,000 ක් දැනගත්තා කිව්වට එවකට ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා වෙච්ච ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාවත් දැනගෙන හිටියේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“ඒක පිළිගන්න පුළුවන් කතාවක්ද..? ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළුව 15,000 දෙනා දැනන් ඉදපු දෙයක් රටේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වන ඔබතුමා දැනන් හිටියේ නැහැ කියන එක,” යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.

“මම දන්නේ නැහැ ඒක,” යැයි හිටපු ජනාධිපතිවරයා ඊට කෙටියෙන් පිළිතුරු දුනි.

එහිදී ජනාධිපති නීතිඥවරයා විමසාසිටියේ, “ඔබ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු නිලන්ත ජයවර්ධන මහතාට කියා තිබුණා නේද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් තිබුනොත් ඔබව සෘජුවම දැනුවත් කරන්න කියලා. ඉතිං මේ තොරතුර ගැන ඔබව ඔහු දැනුවත් කළේ නැද්ද..?” යන්න ය.

“ඔව්, මම ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජයවර්ධන මහත්මයාට එහෙම දැනුම්දීලා තිබුණා. නමුත් පාස්කු ඉරුදින මේ අවාසනාවන්ත සිදුවීම වෙනකන්ම කිසිවෙකුත් මාව මෙවැනි දෙයක් ගැන දැනුවත් කළේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

“ඔබ නිලන්ත ජයවර්ධන මහතා සමග දෛනිකව දුරකථනයෙන් සම්බන්ධවීම පුරුද්දක්ව පැවතියාද?” යැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී විමසීමක් කළේය.

“නැහැ එහෙම දිනපතා දුරකථන සම්බන්ධතා පැවැත්වුවේ නැහැ,” යැයි හිටපු ජානාධිපතිවරයා පිළිතුරු දුනි.

“ඔබ එහෙම කිව්වට 2019 ජනවාරි මාසේ 01 වෙනිදා ඉදලා අප්‍රේල් 31 වෙනිදා වෙනකන් නිලන්ත ජයවර්ධන මහතා සහ ඔබතුමාගේ පැජට් පාරේ පිහිටි නිවස අතර දුරකතන ඇමතුම් 221 ක් පැවති බවට දුරකතන වාර්තා තියෙනවා,” යැයි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට දුරකථන වාර්තා යොමුකර සිටියේ ය.

එහිදී හිටපු ජනාධිපතිවරයා, “වාර්තාවල තිබ්බට මට නම් මතකයක් නැහැ, මෙච්චර ඇමතුම් ගත්තා කියලා. නිලන්ත ගෙදරට ගත්තද මම දන්නේ නැහැ. හැබැයි මට ඔච්චර ඇමතුම් වලට පිළිතුරු දෙන්න වෙලාවක් තිබ්බේ නැහැ,” යැයි පැවසීය.

“ඒ වුණාට හිටපු ජනාධිපතිතුමනි, ඇමතුම්වලට අදාළ දත්ත වාර්තා මේ ලේඛනවල තියෙනවානේ. ඉතිං ඒවා නිවැරදි නැහැ කියන්න පුළුවන්ද..?” යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා විමසීය.

“මට ඔය තාක්ෂණික කරුණු ගැන අවබෝධයක් නැහැ. මම දුරකථනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මට ඔය වාර්තා තේරුම්ගන්න දැනුමක් නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

මෙහිදි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති අවස්ථාවන්ගේ දුරකථන වාර්තා තවවදුරටත් කොමිසම් සභාවේ අධ්‍යනයට යොමුකරමින් ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ, “ඉකුත් වසරේ අප්‍රේල් 01 – 21 අතර ඔබ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර දුරකථන සම්බන්ධතා 20 ක් පැවති බව මේ වාර්තාවලින් ඔප්පු වෙනවා. එවැනි වාතාවරණයකත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රේල් 04 බුද්ධි තොරතුර පිළිබඳව ඔබව දැනුවත් නොකළා කියලා විශ්වාස කරන්න පුළුවන්දැයි,” යන්න ය.

“මට මේ දුරකථන වාර්තාවන් ගැන ලොකු අවබෝධයක් නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දීමත් සමග ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා තම කණිෂ්ඨ නීතිඥවරයෙකුව හිටපු ජනාධිපතිවරයාගේ සහයට යොමුකර තිබේ.

කෙසේ වතත් එහිදී ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “මේ වාර්තාවල තිබුණට මට මෙච්චර කතා කළා කියලා පිළිගන්න බැහැ. නිලන්ත පැජට් පාරේ මගේ නිල නිවසට ගන්න ඇති. ඒත් මම මෙච්චර කතා කළා කියලා පිළිගන්න බැහැ,” යන්න ය.

එහිදි ජනාධිපති නීතිඥවරයා යළිත් ප්‍රශ්න කළේ, “ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර, හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වෙනවා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව විදෙස් බුද්ධි අංශය දැනුවත් කරන්නේ ප.ව. 04:12 ට. ඒ වෙලාවෙන් පස්සේ පස්වරු 06:16 ට නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව මෙම වාර්තාවල සඳහන් වෙනවා.” යන්න ය.

“වාර්තාවල සඳහන් වුනාට මම ඒ වෙලාවේ හිටියේ සිංගප්පුරු රෝහල් අභ්‍යන්ත‍රයේ ප්‍රතිකාර ගනිමින්. මම මීට කලිනුත් මේ කොමිසමට කිව්වා. මට මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනුවත් කළේ පිපිරීම්වලට පස්සේ. ඊට කළින් මට කවුරුත් මේ ගැන කිව්වේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“හිටපු ජනාධිපතිතුමා ඔබ 20 සවස සිංගප්පුරු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා, දුරකථනය භාවිතා කළේ නැහැ කිව්වාට. මේ වාර්තාවල සඳහන් වෙනවනේ එදින පැජට් පාරේ පිහිටි නිවස හරහා සිංගප්පුරුවේ සිටි ඔබේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ අත තිබු ජංගම දුරකථනයට විශාල ඇමතුම් ප්‍රමාණයක් ගිහින් තියෙන බව,” යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.

“මම ඇත්ත කියන්නේ. මම එදින හිටියේ සිංගප්පුරු රෝහලේ ප්‍රතිකාර ගනිමින්. මේ අවස්ථාවේ මාධ්‍ය ඉන්න නිසා මම ඒ වෙලාවේ ඉඳපු තත්ත්වය පැහැදිළි කිරීම සුදුසු නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

“හරි එහෙම් මේ දේ කියන්න, ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරුදින මෙරට තුළ පළමු බෝම්බ පිපිරෙන්න කළින් පෙ.ව. 07:49 ට සිංගප්පුරුවේ සිටි ඔබේ දුරකථනයෙන් පැජට් පාර හරහා නිලන්ත ජයවර්ධන මහතාට විනාඩි 01 යයි තත්ත්පර 38 ක ඇමතුමක් ලැබී ඇති බව දුරකථන වාර්තාවල සඳහන් වෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ,” යැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් විමසා සිටියේ ය.

“වාර්තාවල තිබුණා කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. මම ඒ වෙද්දි ඉඳපු තත්ත්වට අනුව මට කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මේ කියන්නේ සත්‍යය. අවශ්‍යනම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නම්.” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“හිටපු ජනාධිපතිතුමනි, ප්‍රහාරය සිද්ධ වුණ දවසේ උදෑසන ඔබ කතා කිරීමේ අපහසුතාවයකින් පෙළුණා කියලා දැන් කිව්වට, එදින උදෑසන ඔබේ දුරකතනයෙන් විශාල ඇමතුම් ප්‍රමාණයකට සම්බන්ධ වී ඇති බවට වාර්තා තිබෙනවානේ,” යැයි හිටපු ජනාධිපතිවරයා වෙත යළිත් ප්‍රශ්නයක් යොමු විය.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වාර්තාවල සඳහන් වෙන්න පුළුවන් නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා යන්න ය.

“හරි දැන් ඔබතුමා කියනවා ප්‍රහාරය සිදුවුණ දවසේ ඔබතුමා කතා බහ කිරීමේ අපහසුතාවයකින් පෙළුනා කියලා, ප්‍රහාරයට පෙර ඔබතුමා එහෙම අපහසුතාවයකින් පෙළුණානම් කොහොමද මේ ප්‍රහාරයෙන් පස්සේ එක ළග ඇමතුම් 07 ක් අරගෙන තියෙන්නේ,” යැයි ජනාධිපති නීතිඥවරයා යළි යළිත් ප්‍රශ්න කළේය.

කෙසේවෙතත් අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා දුරකථන වාර්තා සම්බන්ධයෙන් කළ මෙම දැඩි ප්‍රශ්නකිරීම හමුවේ කොමිසම් සභාවේ නැගී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ශමිල් පෙරේරා මහතාට බාධාකරමින් ඔහු එකම ප්‍රශ්නය අසන බවට චෝදනා කළේය.

කෙසේ වෙතත් මේ තමන්ගේ ප්‍රශ්න ඇසීමේවාරය බැවින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට නිශ්ශබ්දව අසුන්ගන්නා ලෙස පැවසු ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා යළිත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ, “ඔබතුමා ඔපමණ රෝගී තත්ත්වයකින්, අපහසුවකින් සිටියේ නම්, ප්‍රහාරය එල්ල වූ දින මධ්‍යම රාත්‍රීයේම හදිස්සියේ දිවයිනට පැමිණියේ කෙසේද?” යන්න ය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවශ්‍යනම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ හැකිබව පැවසුවද, එහිදී නැගීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නය ඇසීම පිළිබඳ සිය විරෝධය පළ කළේය.

කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට නියෝග කළේ, කිසියම් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තා පෞද්ගලික වුවද, උද්ගතව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය නොමැති අවස්ථාවක එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසය.

මෙහිදී සිය හරස් ප්‍රශ්න ඇසීම අවසන් කරමින් අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා යෝජනා කර සිටියේ, “කතෝලික ජනතාවද ඇතුළුව ජීවිත 300 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වූ මෙම ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකිවීම කෙරෙහි වගකිවයුතු ප්‍රධානියා ඔබ නොවන්නේද?” යන්න ය.

එම චෝදනාව හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

++++++++++++++

***************************************

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී නායක වේලු‍පිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට දකුණු ඉන්දීය සිනමාකරුවෙකු වන වෙන්කටේෂ් කුමාර් සූදානම් වනවා.

‘සීරුම්පුලි’ හෙවත් ‘ගොරවන කොටියා’ ලෙසින් නම්කර ඇති මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගත කිරීමටයි ඔවුන් සැරසෙන්නේ ෴

***************************************

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද කඩිනමින් සම්මත කර ගැනීමට වත්මන් ආණ්ඩුවට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මහනුවර දී ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

*********************************************

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

(24.10.2020 – 21:38 +0530 – hirunews.lk/sinhala)

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

නැවත දැනුම් දෙනතුරුතුරු එය ක්‍රියාත්මකයි.

+++++++++++++

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

*********************************************

අර්ථසාධක අරමුදල් අයැදුම්පත් ළඟම පිහිටි කම්කරු කාර්යාලයට

(24.10.2020 – 19:32 +0530 – lankadeepa.lk)

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම ලඟම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමටත් එළැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා දුරකතන මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට රටේ පවතින කොරෝනා ව්‍යාපතිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

එම දුරකතන අංක ඇතුළත් නිවේදනය පහතින් දැක්වෙයි :

*********************************************

වහාබි, සලෆි, ඉහ්වාන් ත්‍රස්තයන්ට විරුද්ධව බොදු බල සේනා සුෆි මුස්ලිම් ප්‍රජාව සමග එක් වෙයි

(24.10.2020 – colombotoday.com)

ලෝක සුෆි මුස්ලිම්වරුන් අන්තවාදයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා එක්ව කටයුතු කිරිමටත් ත්‍රස්තවාදීන් බිහිකිරීමට බලපාන මූල බීජ හඳුනාගෙන එම ඉගැන්වීම් ලෝකයෙන් තුරන්කර දැමීමටත් බොදු බල සේනා සංවිධානය ලෝක සුෆි මුස්ලිම් ප්‍රජාව හා සහයෝගීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බොදු බල සේනා සංවිධානය සඳහන් කර සිටිනවා.

වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය නිකුත් කල මාධ්‍ය නිවේදනය :

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය – 2020/10/24

වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඩමස්කස් අගනගරයේදී 2020 ඔක්තෝම්බර් 23 සිකුරාදා දින බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි සුෆි මුස්ලිම් පුජකතුමා වහාබි, සලෆි, ඉහ්වාන් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව වැඩසටහන් රාශියක් තාර්කිකව ඉදිරිපත් කල අයකු ලෙස හැදින්වේ.

2013 වසරේදී ද මෙවැනිම ආකාරයෙන් ෂෙයික් මුහම්මද් සයිද් රමළාන් නැමති සුප්‍රසිද්ධ සුෆි පුජකතුමාව පල්ලියක් තුල බොම්බ තබමින් ඝාතනය කරන ලදි.

බොදු බල සේනා සංවිධානය මෙම කෘර ඝාතන තරයේ හෙලා දකිනු ලබයි. ආගම නාමයෙන් සිදුකෙරෙන මෙවැනි ඝාතන කිසිම හේතුවක් මත අනුමත කිරීමට නොහැක. වහාබි, සලෆි, ඉහ්වාන් මතවාදවලින් ගොඩනැගුනු ISIS පන්නයේ ක්‍රියාකාරකම් සමාජය තුල ව්‍යාප්තවීම අන්‍ය ජාතිකයන්ට මෙන්ම ඝාතන අප්‍රිය කරන සහ සාමයට ලැදි සාම්ප්‍රධායික මුස්ලිම් ජනසමාජයට ද දැඩි ලෙස බලපාන කාරණයක් බව මෙම ඝාතන ඔස්සේ පැහැදිලි වේ.

ලෝක සුෆි මුස්ලිම්වරුන් අන්තවාදයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා එක්ව කටයුතු කිරිමටත් ත්‍රස්තවාදීන් බිහිකිරීමට බලපාන මූල බීජ හඳුනාගෙන එම ඉගැන්වීම් ලෝකයෙන් තුරන්කර දැමීමටත් බොදු බල සේනා සංවිධානය ලෝක සුෆි මුස්ලිම් ප්‍රජාව හා සහයෝගීව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

බොදු බල සේනා
076 688 0030
info@bodubalasena.org

***************************************

***************************************

29-07-2020
21-10-2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *