පෑලියගොඩ පොකුරේ ව්‍යාප්තියට මුදල් (නෝට්ටු) හේතුවීදැයි සැකයක්

පෑලියගොඩ පොකුරේ ව්‍යාප්තියට මුදල් (නෝට්ටු) හේතුවීදැයි සැකයක්

මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

2019 උසස් පෙළ කඩයිම් ලකුණු අද අන්තර්ජාලයට

ඉදිරි මාස දෙක (2) තුළ කොරෝනා මරණ ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

*********************************************

පෑලියගොඩ පොකුරේ ව්‍යාප්තියට මුදල් (නෝට්ටු) හේතුවීදැයි සැකයක්

(25.10.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අද (25) පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර, අනෙකුත් 227 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,784 ක්.

සුවය ලබා අද (25) රෝහල්වලින් පිටත්ව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 89 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊයේ (24) දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 368 දෙනා සහ අද (25) පස්වරුවේ වාර්තා වූ ආසාදිතයින් 263 දෙනා සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුර 4,313 දක්වා ඉහළ ගියා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිත කොරෝනා පොකුර ව්‍යාප්තවීමට මුදල් සංසරණය වැඩි වශයෙන් හේතු වන්නට ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාව මුදල් සංසරණයේදී දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහෝදරයාට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සභාපතිවරයා ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන් පදිංචි හබරකඩ ප්‍රදේශයේ පවුල් 30 ක පමණ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

පසුගියදා සභාපතිවරයාගේ මව මියගොස් ඇති අතර, පසුව පැවති ඇයගේ දානමය පිංකමට අවශ්‍ය මාළු මිලදී ගැනීම සඳහා සභාපතිවරයාගේ සහෝදරයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇති බවටද වාර්තා වනවා.

ඉන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී ඇත්තේ.

එසේම, දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

හැටන් නගරයේ කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයාව පරීක්ෂා කර පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකළ වෛද්‍යවරයායි මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ.

මෙම ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ හැටන් නගරයේ වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව හැටන් – දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් ප්‍රකාශ කළා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා සම්බන්ධතා පැවැත්වූ මිරිහාන පොලීසියේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව පොලීසිය පැවසූ අතර, ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානය අද විෂබීජහරණය කිරීම ද සිදුකෙරුණා.

මේ අතර, කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයෙකු පළාගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා අද පෙරවරුවේ රෝහලේ බාහිර රෝගී අංශය වෙත ප්‍රතිකාර ලබා ගනීම සඳහා පැමිණ ඇති අතර, ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත්තේ රෝහලට ඇතුළත් කර පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසයි.

ඒ සඳහා උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා පැනගොස් තිබුණා.

පසුව අනාවරණ කරගෙන ඇත්තේ මෙම පුද්ගලයා කළුතර සිට මතුගම දක්වා ධාවනය වූ බස් රථයක නැගී දොඩංගොඩ – රේන්දපොල දක්වා කිලෝමීටර් 05 ක පමණ දුරක් ගොස් ඇති බවයි.

අනතුරුව පැනගිය පුද්ගලයා දොඩංගොඩ – රේන්දපොල මංසන්ධියේ පිහිටි සතොස ගොඩනැගිල්ලේ රැඳී සිටියදී සොයා ගත්තා.

ඔහු එම ආයතනයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන අයෙක්.

අනතුරුව ඔහුව නාගොඩ රෝහලේ ස්ථාපිත කරන ලද කොරෝනා සැක සහිත රෝගීන් සඳහා වන වාට්ටුව වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔහු රැඳී සිටි සතොස ගොඩනැගිල්ල වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර, එහි සේවය කළ 06 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් සහ ජනතාව සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළා.

මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට පැතිර යන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර, කොරෝනා ආසාදිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අග්‍රාමාත්‍යවරයා සහභාගි වන බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම් වලට අදාළව පමණක් සම්බන්ධ වන එම නිලධාරියා, ඔක්තෝම්බර් 17 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

+++++++++++++++

(25.10.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

අද (25) පස්වරුවේ සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙන් පිට පළාත් වෙත ශ්‍රී ලංගම බස් ධාවනය නොවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියා.

කොටුව, පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, බස් ධාවනය සම්බන්ධයෙන් හෙට (26) දිනයේදී යළි සාකච්ඡාවක් පැවැත්වෙන බව ද සභාපතිවරයා සඳහන් කළා.

එසේම, කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ගාල්ල තැපැල් දුම්රිය හැර අද (25) රාත්‍රියේ ධාවනය වීමට නියමිත අනෙකුත් සියලු තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ කාර්යාල දුම්රිය රැසක් හෙට (26) ධාවනය නොවන බවයි.

මේ අතර, මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානයේ කටයුතු ද බාහිර පාරිභෝගිකයින් සඳහා විවෘත නොකරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාතේ සහ ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා එහි පාලිත උප තැපැල් කාර්යාල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය සහ තදාසන්න තැපැල් කාර්යාල මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදුවන ලිපි බෙදා දීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම, ඇදිරි නීතිය බලපැවැත්වෙන දිනවල විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කල් දමා ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

එහි ලේඛකාධිකාරිවරයා සඳහන් කළේ ඊට අදාළ නව දින ඉදිරියේදී දැනුම් දෙන බවයි ෴

++++++++++++++++

(25.10.2020 – 17:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

පවතින තත්වය හමුවේ බොහෝ ප්‍රදේශවල ජනතාව ලිපි සහ පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ තැපැල්කරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි තැපැල්පතිවරයා නිවේදනය කළේ.

ඒ අනුව බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ එහි පාලිත උප තැපැල් කාර්යාලය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා තදාසන්න තැපැල් කාර්යාල, මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු මේ අනුව අත්හිටුවනු ඇති.

තවදුරටත් වාර්තාවන තත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු අවශ්‍ය ලිපි බෙදීමේ කටයුතු අත්හිටුවීම් හා කාර්යාල තාවකාලිකව වසා තැබීම් සිදු කිරීමටයි තැපැල්පතිවරයා ප්‍රාදේශීය පරිපාලනය වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම බෙදීම් අත්හිටුවන ප්‍රදේශ සඳහා යැවෙන ලිපි දිවයිනේ අනෙක් කාර්යාලවලින් භාරගැනීම ද අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානයේ කටයුතු ද භාහිර පාරිභෝගිකයන් සඳහා විවෘත නොකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියාසිටියා.

කෙසේවෙතත් ලිපි බෙදීම් අත්හිටුවා ඇති ප්‍රදේශවල රෝහල් මගින් සායනික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග සහ රාජ්‍ය ඔසුසල මගින් ඇණවුම්කර බෙදාහරින ඖෂධ බෙදීම් කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 7784 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (25) දිනයේ තවත් ආසාදිතයන් 263 ක් හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන්ගෙන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තාවී ඇති අතර 227 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 3966 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 3803 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 15 ක් ෴

+++++++++++++++++

(25.10.2020 – 18:45 +0530 – hirunews.lk/sinhala)

බේරුවල, පයාගල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට (26) අලුයම 5 ට ඉවත් නොකිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මීට පෙර නිවේදනය කළේ අදාළ ප්‍රදේශවලට හෙට (26) උදෑසන 5 ට නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරෙන බවයි.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය අඛන්ඩව ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා කියා සිටියා.

අද (25) පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අදාළ කාලසීමාව තුළ විවෘතව තබන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

මේ අතර, අද (25) පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 61 ක අත්‍යාවශ්‍ය රාජකාරි කටයුතු සඳහා සිය රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි.

එමෙන්ම, අද (25) පස්වරු 6 ට ඇදිරි නීතිය පැනවූ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට පැමිණිම සඳහා පිටත්ව ඇති දුම්රිය සහ බස්වලට ඒ සඳහා අවස්ථාව පවතින බව ද ඔහු සඳහන් කළා.

++++++++++++++++++

(25.10.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට ධීවර කර්මාන්තය බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන මේ වන විට ලබා දී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මාතර ප්‍රදේශයේදි හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පෑලියගොඩ මාළු වෙළදපොළ ආශ්‍රිතව නිර්මාණය වූ කොවිඩ් පොකුර හේතුවෙන් මෙරට ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා.

එය ආශ්‍රිතව දිනෙන් දින ආසාධිතයින් ඉහළ යාමත් සමඟ රට පුරා ධීවර අලෙවි මධ්‍යස්ථාන වසා දමන්නට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙසටයි.

මේ සමඟම ධීවර නිෂ්පාදන අලෙවිය සීඝ්‍රයෙන් පහත වැටුණු අතර මාළු පරිභෝජනය ද දැඩි ලෙස පහත වැටුණා.

මේ හේතුවෙන් රට පුරා ධීවර වරායවල මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගත නොහැකි තත්ත්වයකට පත්වු අතර, ඇතැම් ප්‍රදේශවල අඩු ඉල්ලු‍ම හේතුවෙන් ඇතැම් ධීවර වරාය තාවකාලිකව වසා දැමීමට ද සිදු වුණා.

මේ සමඟ ධීවර වරාය අශ්‍රිතව මත්ස්‍ය අස්වැන්න කිලෝ ලක්ෂ 3 වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙනවා.

මාතරදී හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කිසියම් පාර්ශවයකට සිය නිශ්පාදන අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් මතුවන්නේ නම් අදාළ ධීවර වරායේ කළමනාකරු හමුවී දැනුවත් කල යුතු බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය හරහා කොරෝනා ආසාදනය වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බැවින් ඒ පිලිබඳ පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙසයි.

තවද පදනමකින් තොරව මාළු වෙළදසැල් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති අතර ඒවා නිසි සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදවලට අනුගතවෙමින් පවත්වාගෙන යා හැකි බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

+++++++++++++++

(25.10.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට වෙන් කළ දුම්රිය හැර ප්‍රධාන මාර්ගයේ පුත්තලම මාර්ගයේ මෙන්ම කැළණිවැලි මාර්ගයේ සියලු දුම්රිය හෙට සිට අවලංගු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

+++++++++++++++++

නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාල සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට (26) සිට යළි දැනුම්දෙන තෙක් තවදුරටත් වසා තැබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා ෴

+++++++++++++++++++

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 7872 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (25) දිනයේදී තවත් ආසාදිතයන් 88 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයන් සහ ධීවර වරාය පොකුරේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 4054 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 3803 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 15 ක් ෴

***************************************

(25.10.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය ලබා දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබඳව අවධානයෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අද (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

*********************************************

මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(25.10.2020 – 23:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට 16 වන කොරෝනා මරණය ඊයේ (25) වාර්තා වුණා.

කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහු පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා.

එම සංකූලතා හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මියගිය පුද්ගලයා, කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

නව කොරෝනා ආසාදිතයින් 351 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,875 ක් දක්වා ඉහළ ගියා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 312 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එසේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 36 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (24) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම පොකුරුවලින් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,398 ක් වනවා.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු සහ පිලිපීන ජාතික නාවිකයින් දෙදෙනෙකු (2) නව ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සඳහන්.

එමෙන්ම, අහුංගල්ල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙලෙස ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ කොළඹ නැව් තටාකාංගනයේ සේවය කරන ආසාදිත පුද්ගලයෙකුගෙන් බව විශ්වාස කෙරෙනවා.

ඔහු සහභාගි වූ ප්‍රදේශයේ අවමංගල උත්සවයකට මෙම වෛද්‍යවරයා සහ බිරිඳ සහභාගි වීම ඊට හේතුවයි.

අදාළ ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගැනීමට කොස්ගොඩ පොලිසීයේ නිලධාරින් දෙදෙනෙකු (2) පැමිණි බවට තහවුරු වීමත් සමඟ ඔවුන් ඇතුළු පොලිස් ස්ථානයේ නිලධාරින් 08 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ සඳහන් කළා.

එම පොලිස් ස්ථානයේ නිලධාරින් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයටද යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ ඊයේ (24) පස්වරුවේ විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව අවට පොලිස් ස්ථානවල නිලධාරින් යොදවා රාජකාරි කටයුතු සිදුකිරීමට පියවර ගැණුනා.

මේ වනවිට ගාල්ල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 31 ක් වන අතර ඉන් 26 දෙනෙකු වාර්තා වන්නේ බලපිටිය ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින්ගෙන් 5 දෙනෙකු ධීවර වරායන්වල සේවයේ නියුතු පුද්ගලයින් බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ඊයේ (24) පස්වරු 4 න් අවසන් වූ ගෙවුණු පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාරා ඈපා මහතා සඳහන් කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2772 ක්.

ඊයේ (24) දිනය වනවිට එම දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්. සංඛ්‍යාව 36,216 ක් සිදුකර තිබෙනවා.

එසේම මේ වනවිට කටුනායක වෙළඳ කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 372 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී කොරෝනා වැළදී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු ව්‍යාජ ලිපිනයන් ලබාදී ඇතැයි වාර්තා වුණා.

සෙම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ පසුගිය 23 වනදායි.

එම අවස්ථාවේදී රෝහල් බලධාරින් ඔහුට සඳහන් කර ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා ලැබෙන තෙක් නිවසේ රැඳී සිටින ලෙසයි ෴

++++++++++++++++

(26.10.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු පොලිස් බල ප්‍රදේශ 64 කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. එසේම, ඊයේ (25) පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලටද නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

මීට අමතරව, බේරුවල, පයාගල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටත් තවදුරටත් එලෙසම ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන අවශ්‍යතාවයන් සඳහා අද (26) දිනයේ වෙළඳසැල්, ඔසුසැල් සහ බැංකු විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (25) පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ මුව ආවරණ වැඩි මිලට විකුණන පුද්ගලයින් සොයා වැටලීම් ද සිදුකරන බවයි.

මේ අතර, කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ අද(26) සිට අවලංගු කර ඇති බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

උසස් පෙළ සිසුන්ට වෙන් කළ දුම්රිය හැර ප්‍රධාන මාර්ගය, පුත්තලම සහ කැළණිවැලි යන මාර්ගවල අද (26) සිට දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළා.

එසේම, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියන් කොල්ලුපිටිය දුම්රියපල දක්වා පමණක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ එහි රාජකාරි කරන කාර්ය මණ්ඩලය සඳහා දුම්රිය මෙන්ම, ලංගම බස් රථ යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ අනුව ඔවුන්ට බාධාවකින් තොරව විභාග කටයුතුවලට සහභාගි විය හැකි බවයි.

එසේම, කොරෝනා වසංගතය හේතුවෙන් රටේ උද්ගතව ඇති අවදානම් තත්ත්වය මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වසා දමා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ සහ වේරහැර කාර්යාල ද නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගත් බවයි.

මේ අනුව, ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වය පහව ගිය පසු නැවත සේවා ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති.

මේ අතර, ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සේවයට වාර්තා කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ, ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිට රාජ්‍ය ආයතනවල සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයින්ට සහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතනවලට පැමිණීමට නොහැකි සියලුම රාජ්‍ය සේවකයින්ට රාජකාරි නිවාඩු ලබාදීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද (26) දිනයේදී එළඹීමට නියමිත බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++++++++++

(26.10.2020 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් එකසිය පනස් දෙදෙනෙකු (152) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 16 ක්.

ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,076 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ෴

++++++++++++++++++

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා අද (26) සහ හෙට (27) දිනවල වසා තැබෙන බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ වසා තැබෙන දෙදින තුළදී මුළු පාර්ලිමේන්තු පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කෙරෙන බවයි.

ඒ අනුව එළැඹෙන බදාදා (28) දිනයේදී කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තුව යළි විවෘත කෙරෙනු ඇති ෴

+++++++++++++++

ත්‍රිවිධ හමුදාව යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 316 දෙනෙකු නිරෝධායනය අවසන් කර සිය අද (26) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව මේ වනවිට මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 57,427 ක්.

තවදුරටත් පුද්ගලයින් 8421 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 73 ක නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

+++++++++++++++

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු හුදෙකලා කර ඇති අතර, දැනට ඒවායේ සේවය කරන සෙබළුන් දස දෙනෙකුට (10) වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කඳවුරුවලට අනුයුක්ත සෙබළුන් මේ වනවිට කඳවුරුවලට කැඳවා ඇති අතර, මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණීම හේතුවෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇතැයි සැකපළ කෙරෙනවා ෴

***************************************

මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ පසුගියදා කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ලබන බදාදා වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී.රනේපුර මහතා ප්‍රකාශ කළා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ ෴

***************************************

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘බ්ලූමැන්ඩල් සංඛ’ගේ බිරිඳ සහ පුත්‍රයෙකු ජාඇල පමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ බිරිඳ සතුව තිබූ හෙරොයින් ග්‍රෑම්10 ක් සහ රුපියල් ලක්ෂ 20 ක මුදලක්ද සොයාගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

ඇයගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ඉවත් කරගෙන ඇති බවද විමර්ශනවලදී හෙලිව තිබෙනවා.

එම මුදල දැනට ඇපමත නිදහස්ව සිටින බ්ලූමැන්ඩල් සංඛට ලබාදී ඇති අතර, ඔහු විදෙස් ගතවීමේ අරමුණින් වැය කිරීම සඳහා අදාළ මුදල් ලබාගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ ෴

+++++++++++++

(26.10.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත’ හෙවත් ‘බ්ලූමැන්ඩල් සංඛ’ගේ බිරිඳ වන නිල්මිණී ප්‍රියදර්ශනී සහ ඥාති පුත්‍රයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (26) අවසර ලබා දුන්නා.

උස්වැටකෙයියාව – පුබුදුගම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව අධි සුඛෝපභෝගි ජිප් රථයකින් ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ජිප් රථය පැදවූ පුද්ගලයා පලාගොස් ඇති අතර, අත්අඩංගුවට ගත් බ්ලූමැන්ඩල් සංඛ ගේ බිරිඳ සතුව එම අවස්ථාවේ තිබූ හෙරොයින් ග්‍රෑම් 10 ක් සහ රුපියල් 60,000 ක මුදලක් සොයා ගෙන තිබෙනවා.

පසුව, සැකකාරියගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකුගේ හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ නිවහනක තිබී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 20 ක මුදලක් සොයා ගෙන තිබෙනවා.

තවදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී කොළඹ-15 – ‘මිහිජය සෙවණ’ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව සඳහන්.

ඔහු ‘බ්ලූමැන්ඩල් සංඛ’ගේ ඥාති පුත්‍රයෙකු බවට පසුව අනාවරණ වූ අතර, ඔවුන් දෙදෙනාම අද (26)අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මෙහි ප්‍රධාන ජාවාරම්කාරිය වන ‘බ්ලූමැන්ඩල් සංඛගේ බිරිඳ’ගේ ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 200 ක පමණ මුදලක් පසුගිය කාලසීමාව තුලදී හුවමාරු වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කල්බදු ගෙවීමේ පදනම මත වාහන ලබාගෙන ඒවායේ චැසි හා එන්ජින් අංක වෙනස් කර විකුණූ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුවන්වැල්ල සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචි සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ ලෙස එන්ජින් සහ චැසි අංක සකස් කර විකුණූ ත්‍රිරෝද රථ 3 ක් සහ ලොරි රථයක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, හබරාදුව සහ යක්කලමුල්ල ප්‍රදේශවලදී ගිනි අවි දෙකක් (2) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා ෴

*********************************************

2019 උසස් පෙළ කඩයිම් ලකුණු අද අන්තර්ජාලයට

(26.10.2020 – 08:43 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ‘ඉසෙඩ් අගය – කඩඉම් ලකුණු’ අද (26) අන්තර්ජාලය වෙත මුදා හැරෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ එම කඩඉම් ලකුණු ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk (?) වෙබ් අඩවියට අද (26) පස්වරුවේ එක් කෙරෙන බවයි.

https://admission.ugc.ac.lk/

මෙවර සිසුන් 41,500 කට රාජ්‍ය සරසවිවලට ඇතුළුවීමට හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු විෂය ධාරාවන් සඳහා ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවද ඉහළ නංවා තිබෙනවා.

2019 උසස් පෙළ විභාගයේ ‘ඉසෙඩ් අගය – කඩඉම් ලකුණු’ නිකුත් කිරීම පමාවීමට කරුණු කිහිපයක් බලපා ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

ඊට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග, කොරෝනා වෛරස් වසංගතය මෙන්ම ප්‍රතිපාදන කොමිසමේ කාර්ය මණ්ඩලය සීමිත වීම එවැනි කරුණු කිහිපයක් ෴

( ugc.ac.lk වෙබ් අඩවියේ admission.ugc.ac.lk වෙබ් අඩවිය සඳහා ලින්ක් එකක් නැත ! – අමරසර )

***************************************

මහනුවර සිට යාපනය දක්වා ධාවන වූ ලංගම බස් රථයක් ටිපර් රථයක් ගැටීමෙන් අද (26) අලුයම අනතුරක්‌ සිදුවුණා.

ඒ වවුනියාව තැපැල් කාර්යාලය ආසන්නයේදීයි.

අනතුර සිදුව ඇත්තේ වවුනියාව තැපැල් කාර්යාලය පසුකරමින් ගමන් කරමින් තිබූ ටිපර් රථයක පසුපස අපරික්‍ෂාකාරී ලෙස ධාවනය වූ එම ලංගම බස් රථය ගැටීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් බස් රථයට දැඩි අලාභාහානි සිදුව තිබෙනවා.

කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

අනතුරුට හේතුව ලංගම බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත් ධාවනය බව අනාවරණ වී තිබෙනවා

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වවුනියාව පොලීසිය විසින් ක්‍රියාත්මකයි ෴

*********************************************

ඉදිරි මාස දෙක (2) තුළ කොරෝනා මරණ ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

(26.10.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ කඩිනමින් නිවැරදි තීරණ නොගතහොත් ඉදිරි මාස දෙක (2) ඇතුළත කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ තම සංගමය ලබාදෙන උපදෙස් අනුගමනය කිරීමට, බලධාරීන් කල්ගත කරමින් සිටින බවයි.

මේ අතර, සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා අද (26) සහ හෙට (27) දිනවල ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වසා තැබෙන බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසනවා.

ඔහු කියා සිටියේ වසා තැබෙන දෙදින තුළදී මුළු පාර්ලිමේන්තු පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කෙරෙන බවයි.

ඒ අනුව එළැඹෙන බදාදා (28) දිනයේදී කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තුව යළි විවෘත කෙරෙනු ඇති.

එසේම, ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු හුදෙකලා කර ඇති අතර, දැනට ඒවායේ සේවය කරන සෙබළුන් දස දෙනෙකුට (10) වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කඳවුරුවල සෙබළුන් මේ වනවිට කඳවුරුවලට කැඳවා ඇති අතර, මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණීම හේතුවෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළ කෙරෙනවා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් ප්‍රභූ ආරක්ෂාව සඳහා අනෙකුත් කඳවුරුවලින් සෙබළුන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට යළිත් වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (25) ජීවිතක්ෂයට පත්වූ අතර, මියගිය පුද්ගලයා, කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය මෙරට 16 වන කොරෝනා මරණය බවයි.

ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකූලව අද සිදුකිරීමට නියමිතයි.

නව කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු ඊයේ (25) හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,875 ක් දක්වා ඉහළ ගියා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 312 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එසේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 36 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (25) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම පොකුරුවලින් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,398 ක් වනවා.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු සහ පිලිපීන ජාතික නාවිකයින් දෙදෙනෙකු (2) නව ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සඳහන්.

ඊයේ (25) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 159 දෙනෙකුම කොළඹින් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

නාරාහේන්පිට, සීදුව සහ මිරිහාන පොලීසිවල නිලධාරීන් තුන් දෙනෙකුටද (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

කොරෝනා ආසාදිත කඩවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු දින 03 ක කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් රැසකට ගමන් කර ඇතැයි වාර්තා වනවා.

ඔහු ලොරි රථයකින් කඩවත සිට දඹුල්ලට පැමිණ තිබෙනවා.

ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී තිබියදීයි ඔහු මෙලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගොස් ඇත්තේ.

මේ අතර, කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ එම ආසාදිතයා සැරිසැරූ හැටන් මහජන වෙළඳපොල තවදුරටත් වසා දමා ඇති අතර, ඊයේ (25) වසා දැමුණු නගරයේ අනෙකුත් වෙළඳසැල් අද විවෘත කෙරුණා.

එමෙන්ම, කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 49 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව එම පොලිස් ස්ථානය ඊයේ (25) රාත්‍රියේ විෂබීජහරණය කළා.

පසුව නව පොලිස් කණ්ඩායමක් එහි රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

තාවකාලිකව වසා දැමුණු පිටකොටුව මැනිං වෙළඳපොල අද (26) දිනයේදී සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කළා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුවයි.

අහුංගල්ල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, පොලිසියේ දෙදෙනෙකු (2) එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යාම හේතුවෙනුයි මෙලෙස ඔවුන් නිරෝධානයට ලක් කෙරුණේ.

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (26)පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ කොරෝනා ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් රෝහල් ගත නොකර වෙනත් මධ්‍යස්ථානයකට යොමු කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි ෴

++++++++++++++

25.10.2020 – 09:19 pm
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *