කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා බස් රථ අද (26) සිට අවලංගු කෙරේ

කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා බස් රථ අද (26) සිට අවලංගු කෙරේ

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දුටු දෙපත් නයි

ආණ්ඩුවේ පරම සිංහල බෞද්ද සුජාතභාවය දැන් අහෝසියි.. මහා සංඝයා නොතකා 20 සම්මත කලේ අන්තවාදීන් සමගයි..

නොරොච්චෝලලේ සුළං බලාගාරයෙන් මතු වූ ගැටලු

බුද්ධි වාර්තාව ජනපතිට – කොවිඩ් දෙවැනි රැල්ලේ මුල අහුවෙයි – ආවේ යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් – නිරෝධායනය වුණේ සීදූව තරු හෝටලයක

සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්ථාවක් නිර්මාණය කිරීම යුක්ති යුක්තද?

පී.බී. ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක් – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ඇමෙරිකාවේ ටෙක්සාස්හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක්

වව්නියාවේ පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් ඩෝසර් කරලා

IDH රෝහලේ කිසිම සේවකයෙක්ට ‘කොරෝනා නොවැළඳුණු හේතුව’ මෙන්න

*********************************************

කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා බස් රථ අද (26) සිට අවලංගු කෙරේ

(26.10.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64 ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වනවිට සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට අද (26) පෙරවරු 8 ට ආරම්භ වූ එම සහන කාලය රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මකයි.

අද (26) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද විවෘත වූ අතර, ජනතාව සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට එහි පැමිණි අයුරු දක්නට ලැබුණා.

මේ අතර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නිවෙස්වල රැදී සිට කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීමට දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාව කටයුතු කළ යුතු බවයි.

ඊයේ (26) පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 ක් සඳහා තවදුරටත් ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා.

මේ අතර, කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ අද (26) සිට අවලංගු කර තිබෙනවා.

කොළඹට පැමිණෙන බස් රථවලට නගර සීමාවෙන් පිටතදී මගීන් නංවා ගැනීම හා බැස්සවීම සිදුකළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ බස් රථ හිමියන්ට යම් සහනයක් ලබාදීම පිළිබඳව ද, අද (26) දිනයේදී අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකරවන බවයි.

එසේම, පවතින තත්ත්වය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය තුලදී ද සාකච්ඡාවට බඳුන්වනු ඇති බවත් ඔහු කියා සිටියා.

මේ අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ එහි රාජකාරි කරන කාර්ය මණ්ඩලය සඳහා දුම්රිය මෙන්ම, ලංගම බස් රථ යොදවා තිබෙනවා.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අද (26) දිනයේ කොළඹ නගරයේ පිහිටි රාජ්‍ය ආයතන වෙත පැමිණි සේවක සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවටයි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ (25) රාත්‍රියේ බේරුවල ධීවර වරාය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එහි පවතින මාළු තොග මුදා නොහැරීමට කටයුතු නොකිරීමත් සමඟ මාළු තොග රැගෙන යාමට එහි පැමිණි ධීවර යාත්‍රා හිමියන් සහ බලධාරින් අතර, මෙම උණුසුම් තත්ත්වය හට ගත් බවයි ෴

++++++++++++++++++

රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙත මසක ඖෂධ තැපෑල හරහා ලබාදීමේ වැඩපිළිවෙල දෙවන (2) අදියරට පිවිස තිබෙනවා.

ඒ අනුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට හෙට (27) සිට ඖෂධ නිවෙස් වෙත ලබාදීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

සායන සඳහා ලබාදී ඇති පොතෙහි ඇතුළත් ලිපිනයට අදාළ ඖෂධ තැපෑල හරහා යොමු කෙරෙනවා.

කෙසේ වෙතත්, එම ලිපිනයන්හි යම් දෝෂ ඇත්නම් සායන සඳහා යොමුවන රෝහලෙහි දුරකථන අංකයට ඇමතුමක් ලබාදී එය යාවත්කාලීන කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කළා ෴

+++++++++++++++++++

(26.10.2020 – 12:19 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම පුද්ගලයාගේ වඩේ වෙළෙඳසැළ පැවති ස්ථානය හා බකමූණ නගරය විෂබීජහරණයට ලක්කිරීමට ඇළහැර ප්‍රාදේශීය සභාව හා ඇළහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද (26) උදෑසන කටයුතු කළේය.

බකමූණ, ට්‍රැක් 19 ප්‍රදේශයේ පදිංචි වී සිටි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් මෙලෙස කොරෝනා ආසාදිතයෙක් ලෙසට ඊයේ (25) රාත්‍රීයේ අනාවරණය වී තිබේ.

එම ආසාදිත පුද්ගලයා පසුගිය දිනක ඉස්සන් ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට පැමිණි අයෙක් බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ඒ අවට නිවාස 10 ක පුද්ගයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බව ඇළහැර ප්‍රාදේශිය සභා සභාපති නලීන් ජානක කුමාර මහතා පැවසීය ෴

+++++++++++++++++

(26.10.2020 – 09:19 +0530 – sinhala.adaderana.lk)

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ පොම්පෙයෝ මහතාය.

මේ අතර රට තුළ පවතින කොවිඩ්-19 වෛරසය හමුවේ විදෙස් නියෝජිතයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද (26) උදෑසන ‘දෙරණ අරුණ’ සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ මෙවන් අදහසකි :

“මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. එකම දේ ලංකාවට එන හැම විදේශිකයෙක්ම තමුන්ගේ ඔර්ජින් එකේ දී පටන් ගන්න තැනදී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. ඒ වගේම ලංකාවට ආවට පස්සේ, ගුවන් තොටුපොළේ දී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට බලපාන්නේ, ඒ රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධ අන්තර්ජාතික නීතියේ තියෙන ප්‍රතිපාදන. එහෙම නැතිනම් වියානා සම්මුතීන්. ලෝකයේ ඉන්න සෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ම නිරෝධායන කඳවුරුවලට ගිහිල්ලා නිරෝධායනය වෙන්නේ නෑ. අපේ රට නියෝජනය කරලා පිටරටකට යන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ත් ඒ ආකාරයට තමයි. ඒක ලෝකයේ තියෙන සම්මත ක්‍රමවේදයක්. ඒ සම්මත ක්‍රමය අනුගමනය කරනවා.”

+++++++++++++++++++

කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා දෙකකින් (2) කොරෝනා ආසාදිතයන් හමුවී තිබේ.

‘DPL ග්ලවුස්’ කම්හලේ සේවකයන් හත් දෙනෙකුට (7) සහ ‘ඇන්සෙන් ලංකා’ කර්මාන්ත ශාලාවේ එක් (1) ආසාදිතයෙකු හමුවී තිබේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත අතර නිරෝධායන කිරීමටද කටයුතු කර ඇත ෴

++++++++++++++++++++

(26.10.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පෙර අතරමැදි මධ්‍යස්ථානයක රැඳවීම පිළිබඳ අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

++++++++++++++++

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 7 දෙනෙකු සහ මව්වරුන් තිදෙනෙකුට (3) වාර්තා වන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.

මීට පෙර ද එම රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් දෙදෙනෙකු (2) සහ පියෙකු (1) හඳුනා ගනු ලැබුවා ෴

*********************************************

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දුටු දෙපත් නයි

(25.10.2020 – 22:19 +0530 – sinhala.adaderana.lk)

20 වන සංශෝධනයට පක්ෂව මුස්ලිම් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශකිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් නිර්මාණය වී ඇතැයි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුවදුක් විමසා බැලුවේය.

අග්‍රාමාත්‍යවරයා ඉන් පිටව ගිය පසු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ ‘ද්විත්ව පුරවැසිභාවය’ භයානක කරුණක් බවය.

එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු වලට තමන් විරුද්ධ බව ද උන්වහන්සේ පැවසූහ.

ඇතැම් මැති ඇමතිවරු ‘දෙපත් නයි’ ලෙස කටයුතු කරන බවත් ඔවුන්ට අවශ්‍ය රට ආරක්ෂා කිරීම නොව සිය පුටුව ආරක්ෂාකර ගැනීමට බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

+++++++++++++++++

“ඕන කපුටෙකු ඔළුවට උඩින් පියඹපුවාවේ. ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ.” යනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ. (26.10.2020)

*********************************************

ආණ්ඩුවේ පරම සිංහල බෞද්ද සුජාතභාවය දැන් අහෝසියි.. මහා සංඝයා නොතකා 20 සම්මත කලේ අන්තවාදීන් සමගයි..

(26.10.2020 – 13:20 +0530 – lankacnews.com)

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ගත් ආකාරයක් සමග වත්මන් ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි වී ගිය බව හෙළ බොදු සවිය සංවිධානය සඳහන් කරයි.

ඒ බව සදහන් කරමින් එම සංවිධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාභාවය නැති වුනා

2015 දි 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය මන්ත්‍රිවරුන් 2015 කින් සම්මත වු අතර ඊට විරෝධි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුයේ මන්ත්‍රින් 156 කින්ය. මෙම ආණ්ඩුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි කර ගත්තේය. මෙම ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලාය. එම භික්ෂුන් වහන්සේලා දානයේ දි, පාංශුකුළයේ දි ධර්ම දේශනයේ දි අනුශාසනා කලේ පැවති යහපාලන ආණ්ඩුව සුළු ජාතින්ට වරප්ප්‍රසාද, වරදාන දෙන බැවින් ගෝඨාභය ජනාධිපති තුමා ඇතුළු වත්මන් ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසය. ඒ මගින් සිංහල බෞද්ධයන්ට තැන ලබා දෙන රටක් බිහිකර ගැනීමට හැකි වන බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැක කිසිම කෙනෙක් සමග මෙම ආණ්ඩුවේ බලධාරින් සම්බන්ධ නොවන බවට සහතිකයක් 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාවට ජන්දයට පෙර කියා සිටිහ.

20වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ ශාසනික හා සමාජ මෙහෙවරෙ විවිධාකරයෙන් කැප වි සිටින භික්ෂුන් වහන්සේලාගේ 20 වන සංශෝධනයට දැඩි විරෝධයක් එක් කළේය. එය තඹ දොවිතුවකට මාහිම් කලේ නැත.

ගරු ජනාධිපති තුමා රුවන්වැලි සෑරුදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නාකත්වයට පත්කල මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය. එසේම මෙරට පිළිගත් භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා ගත්තහ. එම උප දේශක සභාව කැදවිමක් හෝ 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය සම්බන්ධායෙන් අනුශාසනක් ලබාගෙන නොමැත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට හා අනපනත් සමත කර ගැනිම උදෙසා සුළු ජාතික මන්ත්‍රින්ට විවිධ රජයේ වරක්ප්‍රසාද තනතුර තානාන්තර ලබා දෙන අයුරු ඉදිරියේ දි බලාගත හැක.එසේම බලගතු අධිකරණ වැනි ආමත්‍යංශයක් ලබා දි මුස්ලීම් මන්ත්‍රිවරුන් සම්බන්ධ කරගනිමින් ඇත. එබැවින් අදවන විට සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු එකින් එක බිද හෙළමින් ඇත.

ජන්දයට පෙර මෙම ආණ්ඩුවේ බොහෝ අය කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රිවරුන් කිසි දිනක අනපත් සම්මත කරගැනීමට යොදා නොගන්නා බවයි. යොදා ගන්නා දවසට තමන් මෙම අණ්ඩුව සමග එක විනාඩියක් ගත නොකරන බව දැඩි ස්වරයෙන් කියා සිටිහ. එබැවින් මෙම ආණ්ඩුව ද සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොතු බිද දමා සුළු ජාතින්ගේ අනුහසින් ඉදිරියට යමින් ඇත.

බුදගල ජිනවංස හිමි
සභාපති
හෙළ බොදු සවිය

***************************************

25-10-2020

*********************************************

නොරොච්චෝලලේ සුළං බලාගාරයෙන් මතු වූ ගැටලු

(26.10.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලලේ සුළං විදුලි බලාගාර පද්ධතියට අයත් කුලුනක සිදුව ඇති කාර්මික දෝෂයක් නිසා විසිරයන තෙල් හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කල්පිටිය අර්ධද්වීපයට අයත් ඉලන්තිඅඩිය වෙරළ ආසන්නයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාරයට අයත් කුලුනු 12 න් එක් කුලුනක කාර්මික දෝෂයක් හටගෙන ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි.

කුළුණෙන් මීටර් 150 ක දුරට විසිරෙන තෙල් හේතුවෙන් එම ප්‍රදේශයේ පාරිසරික හානි රැසක් මතුව තිබෙන බව ගම්වාසීන් පවසනවා.

මෙම ප්‍රදේශයේ තල් ගස් විශාල ප්‍රමාණයක් එක පෙළට දක්නට ලැබෙන අතර, ඒවා සියල්ල මේ වන විට විනාශ වෙමින් ඇත්තේ මෙම කුලුනෙන් විසිරී යන තෙල් නිසයි.

පරිසරයට පමණක් නොව දෛනික ජන ජීවිතයට පවා දැඩි ලෙස බලපෑම් සිදුකරන මෙම සිදුවීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දුන් බව ප්‍ර දේශවාසීන් පවසනවා.

*********************************************

බුද්ධි වාර්තාව ජනපතිට – කොවිඩ් දෙවැනි රැල්ලේ මුල අහුවෙයි – ආවේ යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් – නිරෝධායනය වුණේ සීදූව තරු හෝටලයක

(26.10.2020 – epaper.aruna.lk)

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු (11) සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනා (60) ගෙන් දහඅට දෙනකු (18) දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් (14) නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට (5) කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් (3) සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

“මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15 ත් 18 ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29 ත් 31 ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් ‘වයිරස ලෝඩ් එක’ 29 ත් 31 ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.” යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් (2 – 3)සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48 ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය ෴

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

*********************************************

සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්ථාවක් නිර්මාණය කිරීම යුක්ති යුක්තද?

(26.10.2020 – colombotoday.com)

නව ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය විසින් පළකරනලද පුවත්පත් දැන්වීමක් පාදක කරගෙන පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි දැඩි විවේචනයක් එල්ලකර තිබෙනවා.

සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්තාවක් නිර්මාණය කිරීම මොනතරම් යුක්ති යුක්තද? සදාචාරාත්මකද? යැයි ප්‍රශ්න කරමින් උන්වහන්සේ යොදා තිබුණු සම්පුර්ණ Facebook සටහන :

“මේවට කියන්නේ වඳුරු කුණුහරුප කියලා. කොරෝනා අස්සේ ව්‍යවස්ථා හදන්න යෝජනා ඉල්ලනව. මිනිස්සු මරණ භයේ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් කුසගිණි නිවාගැනීමේ සටනක. ඒ සියල්ල පැත්තකින් තිබ්බත් රටකට ව්‍යවස්ථාවක් හදනකොට රටේ ජනතාවට නීති සෑදීමේ අයිතිය පවතින ව්‍යාවස්ථාවෙන්ම තහවුරු කරලා තියෙනවා. ඒ අයිතිය උල්ලංඝණය කරමින් කකුල් අත්පා බැඳලා පිහිණන්න දියට දමන්නා සේ ඒකරාශිවීමට, සාකච්චා සම්මන්ත්‍රණ ආදි කිසිවක් කළ නොහැකි වටපිටාවක කෙසේ නම් යෝජනා අදහස් දෙන්නද?”

“එනිසා මූලිකම කාරණය නම් කාලය මාස 6 ක්වත් දිය යුතුය. අනික මේ යෝජනා අදහස් ගැනීම හුදු රැවටීමක්ද නැතිනම් අවංකවමද යන්න තහවුරු කළ යුතුය. සියලු පිටපත් සකසාගෙන අපි මහජනයාගෙන්ද අදහස් විමසූ බවට ලෝකයාට පැවසීමේ මිත්‍යාවද මේ කරන්නේ ? මන්ද අපි දුටුවා 20 වැනි සංශෝධනයේදි මේ පාලකයන්ගේ හැසිරීම. එවන් සංශෝධනයකදි පවා ඇති වූ ව්‍යාකූලත්වය සමග අපට ඇති ලොකුම සැකය නම් සමස්ත ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී කුමන ‘ගේම්’ ගසාවිද ? යන්නයි. අනික මේ රටේ මහජාතිය සිංහලයායි. එවන් පසුබිමක සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්ථාවක් නිර්මාණය කිරීම මොනතරම් යුක්ති යුක්තද? සදාචාරාත්මකද?”

*********************************************

පී.බී. ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක් – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

(26.10.2020 – colombotoday.com)

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බවත් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම ජනාධිපතිවරයාගේ විනාශයට හේතුවක් බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

පි.බි. ජයසුන්දර ජනාධිපති ලේකම් වරයාට රජයේ තනතුරු නොදරන ලෙස අධිකරණ නියෝගයක් ද ඇති බව පෙන්වා දුන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියෝ ඔහුව ලේකම්ධුරයෙන් ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ හිමියෝ :

*********************************************

ඇමෙරිකාවේ ටෙක්සාස්හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක්

(27.10.2020 – 15:11 +0530 – lankadeepa.lk)

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් අලුතින් ස්ථාපිත කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ටෙක්සාස් හි නව ශ්‍රී ලංකා කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය පත් කරනු ලැබ ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් එරට ටෙක්සාස් ප්‍රාන්තයේ ආශ්‍රිතව ජීවත්වන බැවින් ඔවුන් ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නව කොන්සියුලර් කාර්යාලය හූස්ටන් නගරයේ ස්ථාපිත කරනු ලැබ ඇත.

ටෙක්සාස් හි නව ශ්‍රී ලංකා කොන්සාල්වරිය වන දක්ෂිණි සේනානායක මහත්මිය වසර 20 කට වැඩි කාලයක් එම ප්‍රාන්තයේ නීතීඥවරිය ලෙස කටයුතු කරන අතර ඇය ආගමන හා ජාතිකත්ව නීතිය පිළිබද පළපුරුද්ද සහිත නීතීඥවරියක වේ.

++++++++++++

[ Sri Lanka Appoints An Honorary Consul in Texas, U.S.A. ]

*********************************************

වව්නියාවේ පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් ඩෝසර් කරලා

(27.10.2020 – 13:00 +0530 – lankadeepa.lk)

වවුනියාව, සෙට්ටිකුලම, මැණික්ෆාම් ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් රථ යොදාගනිමින් විනාශ කිරීමකට ලක් කර ඇත.

යුද හමුදාව විසින් පවත්වාගෙන යන ගොවිපොළක ආසන්නයේවූ මෙම පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදාගනිමින් විනාශ කර තිබේ.

අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන ගල් කණු රැසක පාදම් හා පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් එලෙස විනාශ වි ඇති අතර ඇතැම් පුරාවිද්‍යා සළකුණු තිබූ ස්ථානයෙන් ඉවත්කොට ඇති බව ගැමියෝ කියති.

මෙලෙස සෙට්ටිකුලම ප්‍රදේශයේ ස්ථාන රැසක පුරාවිද්‍යා උරුමයන් සංවිධානාත්මක පිරිසක් විනාශ කර ඇති බවත් මෙම ක්‍රියාව සිදුකල පිරිසට එරෙහිව තවමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

සාමාන්‍ය පුරවැසියකු විසින් පුරාවිද්‍යා ස්ථානයක් විනාශකළේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාල ස්ථානය ඩෝසර් රථ යොදා විනාශකර සතියකට අධික කාලයක් ගතවූවද විනාශකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පැවසීය.

ප්‍රදේශවාසීන් පැවසූයේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා ගොවිපොළ වටා පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් හමුව තිබූ අතර මෑත කාලය වන විට අදාල ස්ථානයේ පමණක් නටඹුන් ඉතිරිව පැවතියද එයද මේ වන විට විනාශ කොට ඇති බවත්ය.

ඇතැම් අන්තවාදී කණ්ඩායම් සෙට්ටිකුලම හා එම ප්‍රදේශයේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමේ සැළසුම් සහගත ක්‍රියාවලියක නිරතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවීමද කණගාටුවට කරුණක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

අදාල ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ආරක්ෂිත ප්‍රදේශයක් බැවින් විනාශය සිදුකළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදා විනාශ කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතේ පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ අදාල ස්ථානය ආසන්නයේ යුද හමුදාව විසින් ගොවිපළක් පවත්වාගෙන යනු ලබන අතර වගාකටයුතු පුළුල් කිරීම සඳහා ඉඩම් හෙළිපෙහෙලි කිරීමේදී පුරාවිද්‍යා ස්ථානයද ඩෝසර් කර ඇති බවට අනාවරණයවූ බවත්ය.

*********************************************

IDH රෝහලේ කිසිම සේවකයෙක්ට ‘කොරෝනා නොවැළඳුණු හේතුව’ මෙන්න

(27.10.2020 – 12:46 +0530 – truenews.lk)

ජනතාව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් –19 වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ (26) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14 ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ජනතාව හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවත් ඒ මහතා සඳහන් කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා :

“ඇත්තටම මේ රෝගය හැදෙන්නේ නැති බවට හොඳම සාධකයක් තමයි අපේ IDH රෝහල. පළමු කොරෝනා රෝගියා හමුවුණේ මාර්තු මාසයේ 11 වෙනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ IDH රෝහලේ. එදා ඉදලා කොච්චර සංඛ්‍යාවක් ද? අද වෙන කොට නම් රෝහල් සංඛ්‍යාව 28 ක් දක්වා වැඩිවෙලා තියෙනවා. නමුත් ප්‍රතිකාර ලැබුවේ වැඩිදෙනෙක් IDH රෝහලේ. මට සෞඛ්‍ය අංශ දැනුවත් කළ විදියට ඊයේ (26) දිනය වෙනතෙක් IDH රෝහලේ කිසිදු සේවකයෙක්ට, හෙදියකට හෝ කිසිම කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා නෑ. මොකද්ද ඒකෙ රහස ? අමුතු දෙයක් නෙමෙයි නේ. ඒ රහස තමයි මුඛ ආවරණ පැළඳීම, අත් පිරිසිදු කර ගන්න එක, ඒ වගේම හැම අවස්ථාවක දීම දුරස්ථභාවය තබා ගෙන කටයුතු කරලා. එතැන තමයි වැඩිපුරම කොවිඩ් රෝගීන් හිටියේ. නමුත් එක සේවක සේවිකාවකට හෝ සෞඛ්‍ය අංශයේ කාටවත් ඒ රෝගය වැළඳිලා නෑ. එහෙම වුණේ ඒවට අනුගත වුණ නිසා. ජනතාව හරියටම ඒකට අනුගත වෙලා කටයුතු කළොත් අපි ඔක්කෝටම නැගිටින්න බැරිකමක් නෑ.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *