කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනය කිරීමට තීරණයක්

කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනය කිරීමට තීරණයක්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො හෙට (27) දිවයිනට

කොරෝනා තවමත් සමාජ ගත වි නැතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි

නිරෝධායනයට බිය නොවන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

*********************************************

කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනය කිරීමට තීරණයක්

(26.10.2020 – 17:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයන් මින් ඉදිරියට නිවෙස්තුලම නිරෝධායනයට ලක් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

+++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දුන් සහන කාලය අද (26) රාත්‍රී 10 ට අවසන් වනවා.

එසේම, කොරෝනා වසංගතයත් සමඟ දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64 ක් සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වුව ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද (26) පෙරවරු 8 සිට මෙම සහන කාලය ආරම්භ වුණා.

ඒ අනුව, අද (26) පෙරවරුවේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද විවෘතව පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලබාදුන් සහනය අයුතු ලෙස භාවිත කළ පුද්ගලයින් 20 ක් පමණ අද (26) දිනයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඊයේ (25) පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 ක් සඳහා තවදුරටත් ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර, කොටුව සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීමත් සමඟ කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ අද (26) සිට අවලංගු කර තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹට පැමිණෙන බස් රථවලට නගර සීමාවෙන් පිටතදී මගීන් නංවා ගැනීම හා බැස්සවීම සිදුකළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, කියා සිටියේ ඇදිරි නීතිය හේතුවෙන් බස් රථ ධාවනය සිදුනොවන බවයි.

මේ අතර, කොරෝනා වසංගතය මැඩලීමේ මෙහෙයුමට සමගාමීව කොළඹ නගරයේ ප්‍රධාන වශයෙන් ජනතාව ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් අද (26) ආරම්භ වුණා.

ඒ අනුව, පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය, මධ්‍යම සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොල හා තවත් ස්ථාන ඉලක්ක කර ගනිමින් එය ආරම්භ වුණා.

මේ අතර, රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙත මසක ඖෂධ තැපෑල හරහා ලබාදීමේ වැඩපිළිවෙල දෙවන (2) අදියරට පිවිස තිබෙනවා.

ඒ අනුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට හෙට (27) සිට ඖෂධ නිවෙස් වෙත ලබාදීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

එසේම, දෙමළ ජනතාව විසින් පාරම්පරිකව පවත්වන ලබන තිරික්කල රේස් තරඟාවලියක් ඊයේ (25) පස්වරුවේ මන්නාරම – මුරුගන් පිච්චෙයිකුලම් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අතර, ඊට සහභාගි ඇතමුන් මුව ආවරණ පැළඳ සිටීයේ නැහැ.

++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 280 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන් අතරින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 265 දෙනා දිවුලපිටිය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවන අතර මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8152 ක්.

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් ආසාදිතයන් 4678 ක් හමුවී තිබෙනවා.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 4203 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 3933 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 16 ක් ෴

***************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, ඇතුළු පිරිසක් දේශපාලන කොමිසම මග හැර සිටි පුද්ගලයින් ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නම් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරන් සහ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ද මෙම පිරිසට ඇතුළත්.

මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු කළ පැමිණිල්ලකට අදාළව මොවුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා ෴

***************************************

සියලු අභය භූමි සහ වන සංරක්ෂණ කලාප වලට අයත් ඉඩම් මැන වෙන් කිරීමට තීරණය කළ බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉඩම්, පරිසර සහ වනජිවි යන අමාත්‍යාංශ තුනෙහි (3) අමාත්‍යවරුන් විසින් ඉදිරියේදී ඒ සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අනවසරයෙන් රක්ෂිත ඉඩම් හා අභය භූමි ඉඩම් අත්පත් කර ගෙන ඇති පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී මෙම සීමා මායිම් ගැටලුවක් බවට පත්වීම හේතුවෙනුයි මෙලෙස මෙම ඉඩම් වෙන් කිරීමට තීරණය කර ඇත්තේ ෴

*********************************************

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො හෙට (27) දිවයිනට

(26.10.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො හෙට (27) දිවයිනට පැමිණිමට නියමිතයි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇරයුමකට අනුව හෙට (27) දිවයිනට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිවරයා, සහ අගමැතිවරයා හමුවනු ඇති.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දකුණු සහ අග්නි දිග කලාපීය සංචාරය අරඹමින් අද (26) පෙරවරුවේ ඉන්දියාවට පැමිණියා.

නවදිල්ලි නුවර පාලම් ගුවන්තොටුපලට පැමිණි රාජ්‍ය ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ පිළිගනු ලැබුවේ ඉන්දියාවේ අමෙරිකානු තානාපති කෙනත් ජස්ටර් විසින්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මිසයිල සහ ත්‍රස්ත ක්‍රියා අධ්‍යනය, නිරීක්ෂණය, ජාතික ආරක්ෂාවට වැදගත් වන සංවේදී අමෙරිකානු අභ්‍යාවකාශ චන්ද්‍රිකා දත්ත ලබා දීම වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

සිය සංචාරයේදී පොම්පියෝ මාලදිවයින, සහ ඉන්දුනීසියාව යන රටවල ද සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අමෙරිකානු ආරක්ෂ අංශ, මාධ්‍යවේදීන් සහ සත්කාරක නිලධාරීන් රැගත් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් RCH 1815 දරණ ගුවන් යානය පසුගිය 23 වැනිදා මෙරටට පැමිණියා.

කටාර් ගුවන් සේවයේ QR 668 දරණ ගුවන් යානයෙන් තවත් අමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණියේ පසුගිය 24 වනදායි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො මෙරට සිදු කරන සංචාරයේදි දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී විවිධ අංශ ඔස්සේ පවතින සබඳතා පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළ මට්ටමේ අමෙරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේද මයික් පොම්පියෝයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරය නිමා කරමින් අනිද්දා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අමෙරිකානු ආරක්ෂ අංශ, මාධ්‍යවේදීන් සහ සත්කාරක නිලධාරීන් රැගත් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානය මෙරටට පැමිණි පුද්ගලයින් නිවැරදි ලෙස නිරෝධායන නිතීරිති යටතේ මෙරටට පැමිණි යේද දැයි රජය ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

සෝපා ගිවිසුම සහ MCC ගිවිසුම් අත්සන් කිරිම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන බවයි සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විශේෂ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ඊට අදාළව නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එහි සඳහන් වුණේ ඇමරිකාව සමග ද්වීපාර්ශවික සබඳතා පවත්වා ගෙන යා යුතු නමුත්, පිබිදෙන ආසියාව සමඟ ශ්‍රී ලංකාව ද ආර්ථික සංවර්ධනය ළඟා කර ගත යුතු බවයි.

+++++++++++++

ඇමරිකානු රාජ්‍ය ලේකම් අද (27) දිවයිනට – චීනයෙන් නිවේදනයක්

(27.10.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (27) දිවයිනට පැමිණිමට නියමිතයි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇරයුමකට අනුව දිවයිනට පැමිණෙන ඔහු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවනු ඇති.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දකුණු සහ අග්නි දිග කලාපීය සංචාරය අරඹමින් ඊයේ (26) ඉන්දියාවට පැමිණියා.

මෙරටදී ඔහු පවත්වන ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී විවිධ අංශ ඔස්සේ දෙරටේ සබඳතා පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළම මට්ටමේ අමෙරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේද මයික් පොම්පියෝයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරය නිමා කරමින් හෙට (28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සිදුකරන සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සිදුකරන සංචාරය, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට බලපෑම් ඇති කිරීමේ අරමුණින් සිදුකරන්නක් බවයි.

වෙනත් රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන මිත්‍රයෙකු ලෙස චීනය සිය ප්‍රසාදය පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්.

මෙම සංචාරය මගින් ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිමතාර්ථයන්ට සුදුසු නොවන ආකාරයෙන් බලපෑම් නොකරන ලෙසටද චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම, චීන නියෝජිත කණ්ඩායමක් සහන ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී එම කණ්ඩායම අවම පිරිසක් ලෙස පැමිණි අතර, එය ශ්‍රී ලංකාවට ගැටලුවක් නොවූ ආකාරයෙන් සිදුවූ බවත්, එරට නිරෝධායන නීතිරීති වලට අනුගත වෙමින් එම පිරිස ශ්‍රි ලංකාවට පැමිණි බවත් එම නිවේදනයේ සඳහන්.

එලෙස කුඩා රටවල් සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට තමන් සූදානම් බවද චීනය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇමරිකාව ශ්‍රී ලංකාව තුල සංචාරයක් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ දැඩි බලපෑමක් පවතින අවස්ථාවක බව ද එම නිවේදනයේ සඳහන්.

එවැනි අවස්ථාවක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව තුළ කරන සංචාරය වෙනුවෙන් මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කරන ලෙසට ඉල්ලීමක් සිදුකර ඇති බව ද සඳහන් කරන චීන තානාපති කාර්යාලය, ආගන්තුකයෙකු ලෙස රටකට පැමිණීමේදී එලෙස කටයුතු කිරීම මගින් ගෞරවයක් හිමිවේදැයි සඳහන් කර තිබෙනවා.

එසේම මේ වනවිට ඇමරිකාව තුළ කොරෝනා ආසාදිතයන් මිලියන 8 ක් පමණ වාර්තා වන අතර, මරණ දෙලක්ෂ 30,000 ක පමණ සිදුව තිබෙනවා.

වසංගතයට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළට රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට පෙර වෙනත් කණ්ඩායමක් පැමිණීම සෞඛ්‍ය නීතිරීති වලට ද, ගැටලුවක් බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

*********************************************

කොරෝනා තවමත් සමාජ ගත වි නැතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි

(26.10.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ශ්‍රි ලංකාව තුළ සමාජගතවීමක් තවමත් සිදුව නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුර මේ වනවිට මනාව පාලනය කර ඇති බවයි.

වැඩිහිටි සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින් කොරෝනා වෛරසයට ගොදුරු වුවහොත් එය අවදානම් තත්ත්වයක් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 07 දෙනෙකුට සහ මව්වරුන් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.

මීට පෙර ද එම රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් දෙදෙනෙකු (2) සහ පියෙකු (1) හඳුනා ගනු ලැබුවා.

මේ අතර, නුවරඑළිය, කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයින් තුන්දෙනෙකු (3) හඳුනාගෙන තිබෙනවා.

එසේම, දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයක පදිංචි පුද්ගලයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් 07 දෙනෙකු කාත්තන්කුඩි නිරෝධායන මධ්‍යස්ථානයටත්, අනෙක් පුද්ගලයා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් පිටත්කර හැරුණා.

මෙම ආසාදිතයින්ගෙන් 07 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සමඟ ඍජු සබඳතා පැවැත් වූ ව්‍යාපාරිකයින් වන අතර, අනෙක් ආසාදිතයා මීට පෙර වෛරසය ආසාදනය වූ මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්.

කළුතර උතුර සහ කළුතර දකුණ ප්‍රදේශවල පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 60 ක ප්‍රතිඵල වාර්තා ඊයේ (25) ලැබී තිබූ අතර, ඒ අතරින් දස දෙනෙකුට (10) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීමේ බරපතල ගැටළුවකට තම සංගමයේ සාමාජිකයින් මුහුණ දී ඇති බවයි.

මේ අතර, මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා කරමින් කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකූලව අද (26) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර, හම්බන්තොට ධීවර වරායේ ධීවරයින් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට ධීවර වරාජයට සහ හම්බන්තොට නගරයට ඇතුළුවීමේදී දැඩි සංචරණ සීමා පනවා ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

එසේම, බේරුවල ධීවර වරායේ යාත්‍රා තුළ මේ වනවිට මාළු තොග විශාල වශයෙන් රඳවා තිබෙන අතර, ඒවා රැගෙන යාමට අද (26) පෙරවරුවේ ධීවර යාත්‍රා හිමියන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ, එම මාළු තොග අදත් (26) මුදා නොහැරීම හේතුවෙන්. පසුව බේරුවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මෑතකදී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරාය පරිශ්‍රයට කිසිවෙකුටත් ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි.

මේ අතර, කිරිවත්තුඩුව – තාරකා සෙවණ ප්‍රදේශයේ නිවාස 18 ක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කිලෝමීටර් 14 ක පමණ දුරින් පිහිටි හොරණ ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති පුවතක් වාර්තා වුණා.

ඒ අනුව එම නිවාසවල වෙසෙන පිරිස් විවිධ ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කරමින් අදාළ ස්ථානයට පැමිණ තිබුණා.

+++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 261 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 234 දෙනා මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4939 ක්.

මෙම ආසාදිතයන් 261 ත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8413 ක් දක්වා ඉහළ යනවා.

ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 4464 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 3933 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 16 ක් ෴

++++++++++++++++

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

ඔහු මීට පෙර කටයුතු කරනු ලැබුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසයි.

ඊට අදාළ පත්වීම ඊයේ (26) රාත්‍රියේ සිදුකළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද පත්කර තිබෙනවා ෴

++++++++++++++++

ජනතාව නිරෝධායන නිතීරිති වලට අනුගත නොවි කටයුතු කරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරිමට සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය දින කිහිපයේදී පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා තුළ නිසිලෙස නිරෝධායන නිතීරිති අනුගමනය නොකළ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයන් මින් ඉදිරියට නිවෙස්තුලම නිරෝධායනයට ලක් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (26) ප්‍රකාශ කළා.

එසේම, කොරෝනා වසංගතයත් සමඟ ගම්පහ ඇතුළු දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64 ක් සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ඉල්ලා සිටින්නේ ජනතාව රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු තත්ත්වයක් මතුව ඇති බවයි.

මේ අතර, දකුණු පළාත තුළ අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරනු ලබන වාහන සඳහා නිකුත් කරන තාවකාලික බලපත්‍රයෙහි වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පවතින කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ තැපැල් කටයුතු සීමාවීම හේතුවෙන් මහජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි ෴

++++++++++++++++

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ (26) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 541 ක් වාර්තා වීමත් සමඟයි.

එම ආසාදිතයන්ගෙන් 42 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් වන අතර, ඉතිරි 499 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,939 ක් වනවා.

මෙරටදී කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8,413 ක් ලෙස සටහන් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3,933 ක් වනවා.

එසේම වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දැක්වෙන්නේ 4,464 ක් ලෙසටයි. කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (26) ප්‍රකාශ කළේ පෑලියගොඩ ආසාදිත පොකුර මේ වනවිට පාලනය කර ඇති බවයි.

මේ අතර, රත්නපුර – සිරිපාගම – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහුගේ පවුලෙන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

ඒ අතර, මාස 09 ක බිළිඳෙකුද සිටින බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් කුමාර් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පෙරේදා (25) සිට සිරිපාගම පොලිස් වසමට අයත් ප්‍රදේශ 09 ක් හුදකලා කිරීමටද පියවර ගෙන තිබෙනවා.

එසේම, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 07 දෙනෙකුට සහ මව්වරුන් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.

මේ අතර, ශ්‍රී ලංකා සහ චීනය අතර සුහදතාව ශක්තිමත් කරමින් කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුහුණු ආවරණ 2,500 ක කට්ටලයක් ලබාදීමට චීනය පියවර ගෙන තිබෙනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පසුගියදා මෙම පරිත්‍යාගය සිදුකළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලයීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද, ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛන්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

රෝගය පැතිර යාම පාලනය පිණිස පනවා ඇති සීමා නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන දුරකථන තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් මේ යටතේ අවස්ථාව සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව, ජනාධිපති මහජන සම්බන්ධතා අංශය සඳහා 011 435 4550 සහ 011 235 4550 යන දුරකථන අංක හා 011 234 8855 යන ෆැක්ස් අංකය භාවිත කළ හැකි අතර, Publicaffairs@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑල ද භාවිත කළ හැකියි.

මීට අමතරව, 011 233 8073 යන දුරකථන අංකයෙන් ඔම්බුඩ්ස්මන් කාර්යාලය ඇමතිය හැකි අතර, ජනාධිපති අරමුදල හා සම්බන්ධ වීමට 011 235 4354 දුරකථන අංකය භාවිත කළ හැකි වනවා. ඒ සඳහා 011 233 1243 යන ෆැක්ස් අංකය ද භාවිත කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

++++++++++++++

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම කාලසීමාව තුළ රථවාහන 07 ක්ද පොලිස් භාරයට ගත් බවයි.

ඒ අනුව මේ දක්වා කාලසීමාව තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,122 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගැනුණු රථවාහන සංඛ්‍යාව 162 ක් ෴

+++++++++++++++

හැටන් නගරය හුදකලා කෙරේ

(27.10.2020 – 09:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, නැවත දැනුම්දෙනතුරු මෙය ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, හැටන් නගරයට අද (27) උදෑසන පැමිණි ජනතාව ඉවත් කිරීමට පොලීසිය කටයුතු කරන බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ මහතා සඳහන් කළා.

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම කාලසීමාව තුළ රථවාහන 07 ක්ද පොලිස් භාරයට ගත් බවයි.

ඒ අනුව මේ දක්වා කාලසීමාව තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,122 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගැනුණු රථවාහන සංඛ්‍යාව 162 ක්.

++++++++++++++++

පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල සහ මහනුවර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන, සියලු කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා ෴

++++++++++++++++

නිවෙස්ගත සහ සෞඛ්‍ය නොවන ආයතන තුළ නිරෝධායනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් මාර්ගෝපදේශයන් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

එහිදී වැඩි අවදානමක් ඇති පුද්ගලයින් නිරෝධනය වීමට අනුගමනය කළයුතු ක්‍රම එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++

ශ්‍රී ලංකාවේ 17 වන කොරෝනා මරණය අද (27) වාර්තා වුණා. ඒ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේදී මියයාමත් සමගයි.

සිරෝසිස් රෝගී තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කෙරුණු මොහු පෙරේදා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත්තේ කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීම හේතුවෙන්.

අද (27) දහවල් ඔහු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ෴

***************************************

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන අද (27) අනුරාධපුරයෙන් ආරම්භ වනවා.

අනුරාධපුර – උතුරුමැද පළාත් සභා ශාලාවේදී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව නියෝජනය කරන අමාත්‍යවරුන්, ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරින් එක්වීමට නියමිතයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවුණා.

ආයෝජන, අපනයන, සංචාරක කටයුතු සහ කොවිඩ් 19 වසංගතයට එරෙහි සටන් කිරීම ඇතුළු දෙරටට වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුකළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

රජය කොවිඩ් 19 මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මෙහිදී තානාපතිවරයාගේ පැසසුමට ලක්වී තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම හා රට අඟුළු දැමීම, සියලු දෙනාටම ඉතා අසීරු කාර්යයක් වූවත්, සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වන බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණ වේගවත් කිරීම සඳහා ඊට අදාළ උපකරණ මෙරටට ලබාදීමටද තම රජය කටයුතු කරන බව එහිදී ස්විස්ටර්ලන්ත තානාපතිවරයා සඳහන් කළා.

මීට අමතරව, මෙරට සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම, සංචාරක ක්ෂේත්‍රයට අදාළ පුහුණුවීම් ලබාදීමටද සිය රජය සූදානම් බව ස්විස්ටර්ලන්ත තානාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ පූර්ණ වෙනසක් සිදුකිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මෙම ප්‍රහාරයේ වගකීම කවුරුන් අතට පැවරුණද, ඒ සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට වත්මන් රජය නොපැකිලව කටයුතු කරන බවයි ෴

***************************************

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇති වන අයහපත් බලපෑම අවම කරලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක හදිසි ප්‍රතිචාර සංරචකයක් ඇතුළත්, ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

එම ණය මුදලට අමතරව, දරිද්‍රතාව අවම කිරීම සඳහා වන ජපාන අරමුදල යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක ප්‍රදානයක් ලබාදීමට ද එකඟ වී ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද (27) ප්‍රකාශ කෙරුණා.

අදාළ ණය මුදල් සහ ප්‍රදානයන් ලබා ගැනීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබෙනවා ෴

***************************************

වාහනයක රේඩියේටරයක් යොදාගෙන නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වටලා වැල්ලවාය පොලීසිය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදීයි.

අදාළ සැකකරු ඉතා සූක්ෂමව තම ගෙවත්තේ දීර්ඝ කාලයක පටන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර කසිප්පු පෙරීම සඳහා යොදා ගන්නා දඟරය වෙනුවට වාහනයකින් ඉවත් කළ රේඩියේටරයක් භාවිතා කර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් 90,000, නීති විරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් භාරයට ගත් බව සඳහන් .

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදුකරනු ලබනවා ෴

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන නොවැම්බර් 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළා.

ඒ ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.

2019 ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්ද පොල වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කළ බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.

ඒ අනුව, පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේදී රහස් පොලීසිය මගින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබූයේ ඔහුට රැකවරණ සැපයූ තවත් 7 දෙනෙකු ද සමගින් ෴

***************************************

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට බහාලුම් රැගත් පළමු නෞකාව අද (27) සේන්දු වුණා.

සිංගප්පුරුවේ සිට බහාලුම් 800 කින් සමන්විත එම නෞකාව නැගෙනහිර පර්යන්තයට පැමිණියේ පෙරවරු 10 ට පමණයි.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි පළමු බහාළුම ගොඩබෑමේ කටයුතු සිදුකෙරුණා.

2015 වසරේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පසුගිය රජය මගින් ඉන්දියාවට ලබාදීමට මූලික කටයුතු සැලසුම් කරනු ලැබුවා.

පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ඇතුළු වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23 ක් පසුගිය අගෝස්තු මාසයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදී එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකරන ලෙස ඉල්ලමින්.

පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ගෑන්ට්‍රි දොඹකර සවි කිරීම සිදුකෙරුණා.

ඒ අනුවයි අද (27) බහාළුම් ගොඩබෑමේ කටයුතු ආරම්භ කෙරුණේ.

මේ, ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළ කොළඹ වරායේ වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා කියා සිටියේ වෘත්තීය සමිති සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ග අද (27) ජයග්‍රහණය කළ බවයි.

නැගෙනහිර පර්යන්තයේ බහාළුම් ගොඩබෑමේ කටයුතු අද (27) සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අද (27) දිනය ශ්‍රී ලංකා වරාය අධිකාරියට සුවිශේෂී දවසක් වන අතර, නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරා ගැනීමට සඳහා තිබුණු බාධා සියල්ල ඉවත් කරමින් අද (27) දිනයේ එහි බහාලුම් ගොඩබෑමේ කටයුතු සිදුවූ බවයි ෴

*********************************************

නිරෝධායනයට බිය නොවන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

(27.10.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී රෝග ලක්ෂණ නොමැති කොරෝනා ආසාදිතයින් රෝහලක් නොවන ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා තබාගෙන අවශ්‍ය කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ නිවාස ආශ්‍රිතව නිරෝධායනය වීම සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

එමෙන්ම, ආසාදිතයින්ගේ සිටින ස්ථානවල වාතය හරහා වෛරසය ව්‍යාප්තවීමක් සිදුනොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා, ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්, පී.සී.ආර්. පරීක්ෂණ වෙනුවට නව පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පවතින සූදානම පිළිබඳව අදහස් පළ කළා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 8,413 ක් වන අතර, ඊයේ (26) දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 541 ක්.

ඊයේ (26) වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ මහ නගර සභාවට අයත් පරිපාලන බල ප්‍රදේශවලින් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 77 ක්.

කැලණිය ප්‍රදේශයෙන් සහ ජාඇල ප්‍රදේශයෙන්ද ආසාදිතයින් 74 බැගින් වාර්තා වුණා. ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 52 ක් වන අතර, බියගම ප්‍රදේශයෙන් ඊයේ (26) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 63 ක්.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් තවදුරටත් පුද්ගලයින් 4,464 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 3,933 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම, මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් තුළ පුද්ගලයින් 8,090 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වන අතර, පුද්ගලයින් 57,814 ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

දිවයින තුළ මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව හාරලක්ෂ 60,455 ක්.

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 167 දෙනෙකු වාර්තා වී ඇති බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා ප්‍රකාශ කළා.

ඒ අතර බේරුවල ප්‍රදේශයේ 33 දෙනෙකු සහ කළුතර 17 දෙනෙකු සිටිනවා.

එසේම, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වසා දැමුණු බේරුවල ධීවර වරායේ ට්‍රෝලර් යාත්‍රාවල තිබූ මත්ස්‍ය අස්වැන්න නිදහස් කරගැනීමට ධීවරයින්ට අද (27) අවස්ථාව ලබා දුන්නා.

මේ අතර, ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවරයින් 538 දෙනෙකුගේ ලබාගත් ජෛව සාම්පලවලට අදාළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇති අතර, එහිදී කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි එමඟින් තහවුරු වී ඇත්තේ.

එසේම, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සමඟ සබඳතා පැවැත්වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ 36 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයින් 500 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

වේල්ල වීථිය පොලිසියේ භෝජනාගාර පාලකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එහි නිලධාරීන් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මේ අතර, නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස, කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

මෙතෙක් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *