අද (27) කොරෝනා මරණ 3 ක් – සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු ඇඟවීමක්

අද (27) කොරෝනා මරණ 3 ක් – සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකා රාජ්‍ය ලේකම් දිවයිනට

ජනතාවට සහන ලබාදීමට සැලසුම් රැසක්

කොරෝනා මර්දනයට දේශීය ආයුර්වේද ඖෂධයක් රෝහල්වලට

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුදු අලියෙක් වෙයි. ශ්‍රමිකයන් දසදහස් ගණනක් කබලෙන් ලිපට

*********************************************

අද (27) කොරෝනා මරණ 3 ක් – සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු ඇඟවීමක්

(27.10.2020 – 19:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තුන් දෙනෙකු (3) අද (27) ජීවිතක්ෂයට පත්වුණා.

එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද වන අතර, අද (27) ජීවිතක්ෂයට පත්වූ තුන් දෙනා (3) ගෙන් එක් අයෙකු 19 හැවිරිදි වියේ පසුවීමද විශේෂත්වයක්.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි ඔහු උපතින්ම ආබාධ තත්ත්වයන්ගෙන් පෙළුණු අයෙකුද වනවා.

මියගිය අනෙක් පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ.

අද (27) සවස් කාලයේදී ඔවුන් දෙදෙනා (2) කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව සඳහන්.

අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මගින් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවයි ඔවුන් දෙදෙනා (2) කොවිඩ් 19 ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇත්තේ.

අද (27) වාර්තා වූ අනෙක් කොරෝනා මරණය සිදුවුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේදීයි.

ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක්.

සිරෝසිස් රෝගී තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කෙරුණු මොහු පෙරේදා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන්.

අද (27) දහවල් ඔහු මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19 ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුවූ මරණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙය බරපතල තත්ත්වයක් බවයි.

+++++++++++++++++

මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,232 ක්.

ඊට අද (27) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 293 දෙනා ද ඇතුළත්.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ එම ආසාදිතයින් අතරින් දෙදෙනෙකු (2) නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවයි.

අනෙකුත් ආසාදිතයින් 291 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එසේම, අද (27) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 110 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4043 ක් දක්වා ඉහළ ගියා.

මේ වනවිට රෝහල් අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,646 ක්.

කොරෝනා ව්‍යාප්තිය බරපතල තත්ත්වයකට මුහුණ දී ඇති බැවින් තෝරාගත් ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ඇතුළු පොලිසියේ 19 දෙනෙකුට ආසන්න පිරිසකට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒ හේතුවෙන් කිසිසේත් පොලිසියේ කටයුතු අඩාල නොවන බවයි.

රත්මලාන ඇඟළුම් කර්මාන්ත ශාලාවක විධායක නිලධාරිනියකටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඇයගේ සැමියා කොළඹ වරාය නැව් තටාකාංගනයේ සේවය කරනවා.

ඔහුටද මීට පෙර කොරෝනා ආසාදනය වී තිබූ අතර, ඔවුන් කහතුඩුව – පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන්. අදාළ කාන්තාව සේවය කරන ඇඟළුම් කර්මාන්ත ශාලාවේ 50 දෙනෙකු සහ ඇයගේ ආශ්‍රිත පවුල් කිහිපයක පිරිස්ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර, කහවත්ත – මාදම්පේ ප්‍රදේශයේ මාළු වෙළන්ඳෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනුණා.

අදාළ ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් 220 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

මේ අතර, ගාල්ල නීතිඥ සංගමය, අධිකරණ විනිසුරුවරුන් සහ සෞඛ්‍ය අංශ එක්ව පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව ගාල්ල නගරයේ සියලු අධිකරණවල නඩු විභාග කිරීම ලබන 30 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ, පවතින වසංගත අවදානම හේතුවෙන්.

එසේම, මධ්‍යම පළාත තුළ ලියාපදිංචි කළ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නොවැම්බර් 27 වැනිදා දක්වා මාසයක කාලයකට අත්හිටුවීමටද තීරණය කර තිබෙනවා.

++++++++++++++++

රසායනාගාර සේවාවට සුදුසු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරි සති දෙක (2) ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය අද (27) අනතුරු අඟවනු ලැබුවා.

එමෙන්ම, පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සහ රසායනාගාර සේවා සිදුකිරීමේදී මේ වනවිට බාධා එල්ල වී ඇති බවත්, නිවැරදි ලෙස අහඹු පරීක්ෂණ සිදුකළේ නම්, බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ රෝගීන් මීට පෙර හඳුනා ගැනීමට හැකිව තිබූ බවත්, එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා ෴

++++++++++++++++

මොරටුව, පානදුර සහ හෝමාගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇදිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නැවත දැනුම්දෙනතුරු එම ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.

+++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු හමුවී තිබෙනවා.

ඉන් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් වාර්තාවී ඇති අතර අනෙක් 156 දෙනා මත්ස්‍ය වෙළඳසැල් පොකුරෙන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

මෙරටින් මේවන විට ආසාදිතයන් 8870 ක් හමුවී ඇති අතර ඉන් 4808 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4043 ක්. මරණ 19 ක් සිදුවී ඇති අතර ඉන් 3 ක්ම වාර්තාවූයේ අද (27) දිනයේදීයි ෴

*********************************************

ඇමරිකා රාජ්‍ය ලේකම් දිවයිනට

(27.10.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා දිවයිනට ළගාවී තිබෙනවා.

ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා ඇතුලු දූත පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, මෙරට ඇමරිකා තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම විදේශ අමාත්‍යංශ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා.

ඉන්දීය සංචාරය අවසන් කරමිනුයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

++++++++++

(28.10.2020 – 01:04 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාව සහ අමෙරිකාව, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව නැවත වරක් තහවුරු කර තිබේ.

ඉන්දියාවේ නව දිල්ලි නගරයේදී අමෙරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එස්ප(ර්) සහ ඉන්දීය ආරක්ෂක ලේකම් රාජ්නාත් සිං සහභාගී වූ මාධ්‍ය හමුවකදී ඔවුන් ඒ බව පැවසීය.

චීන හමුදා ක්‍රියාකාරීත්වය කලාපය තුළ වර්ධනය වෙමින් ඇති පසුබිමක අමෙරිකාව, ආසියාවේ මිත්‍රයින් එක්කරමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති.

අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඉන්දියාව සහ අමෙරිකාව අතර අද (27) සම්මුතියකට ද එළඹ තිබේ.

“අප දෙරට අතර ඇති ආරක්ෂක සහයෝගීතාවය තමයි අපගේ ද්වීපාර්ශ්වික සබඳතාවල වැදගත් ම සාධකය,” එස්ප(ර්) පැවසීය.

“එම ගිවිසුම මගින් ජාත්‍යන්තර මුහුදු කලාපයේ නීතිය සහ සියලු රටවල ස්වෛරීත්වය ආරක්ෂා කරමින් නාවික කටයුතු සඳහා ඇති නිදහස තහවුරු කෙරෙන” බව ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද නව දිල්ලි නගරයේ දී මාධ්‍ය අමතමින් චීනයට චෝදනා එල්ල කළේය.

එහිදී ඔහු පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂය “ප්‍රජාතන්ත්‍රවාදයට, නීතිගරුකභාවයට, විනිවිදභාවයට හෝ නාවික කටයුතු සඳහා මිත්‍රශීලී බවක් නොදක්වයි,” යනුවෙනි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ, අද සවස ශ්‍රී ලංකාවට පැමිණියේය.

*********************************************

ජනතාවට සහන ලබාදීමට සැලසුම් රැසක්

(27.10.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala)

නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට (2) ප්‍රමාණවත් ආහාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ආර්ථික පුනර්ජීවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අරලියගහ මන්දිරයේ අද (27) පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශවලට රුපියල් 5000 ක දීමනාව ලබාදීමටයි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළා.

බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසද රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරින්ට මෙහිදී උපදෙස් ලබාදුන්නා.

මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා තැපැල්පතිවරයාට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදී තිබෙනවා.

නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට (2) සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ දිස්ත්‍රික් ලෙකම්වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුතු සිදු කරන ලෙසයි.

මීට අමතරව ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

කොළඹ නගරය තුළ කොවිඩ්19 ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එය පාලනය කිරීම සඳහා කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා වුණා.

*********************************************

කොරෝනා මර්දනයට දේශීය ආයුර්වේද ඖෂධයක් රෝහල්වලට

(27.10.2020 – colombotoday.com)

කොරෝනා මර්දනය සඳහා දේශීය හා ආයුර්වේද ඖෂධද යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම ඖෂධ රජයේ රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබාදීමට මූලික එකගතාවකට පැමිණ තිබේ.

ඒ අනුව දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකමේ දීර්ඝ කාලයක් භාවිතා කරන ලද ‘සුදර්ශණ පැණිය’ කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව ඒ මහතා පැවසීය.

එමෙන්ම ආයුර්වේද රෝහල් වලට කොරෝනා ආසාදිතයන් ඇතුලත් කර ඔවුනට ප්‍රතිකාර කිරීමේ මූලික එකඟතාවයකට පැමිණි බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

+++++++++++++++++++

27-10-2020 (දීගොඩ කුමාර සූරීන්)

++++++++++++++++++++

ගමන් ගන්නා බස් රථවල අංක ලියා ගන්න.. බස්වලත් අංකය ඇතුළේ ප්‍රදර්ශනය කරන්න – පෑලියගොඩ කොරෝනා ආසාදිතයන් බස් රැසක ගොස් ඇති නිසා ඔබට පොලිසියෙන් දැනුම් දීමක්

(27.10.2020 – 17:50 +0530 – truenews.lk)

තමන් ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා බස් රථවල අංක සටහන් කර තබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා.

යම් අවස්ථාවක දී කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කොට තිබුණහොත් එම පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කළ පුද්ගලයින් සොයා ගැනීම සහ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිවේදනය කිරිමට මෙය උපකාරී වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය හරහා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් රැසක් පොදු ප්‍රවාහන සේවා රැසක ගමන් කර ඇතිබවට තොරතුරු හෙළිවී තිබීම මිට ආසන්නතම සිදුවීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන් සිය බස් රථයේ අංකය හොදින් පෙනෙන අයුරින් බස් රථය තුල ස්ථාන කිහිපයක ප්‍රදර්ශණය වන ලෙස සටහන් කොට තබන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් දැනුම් දී සිටියේ ෴

++++++++++++++++++

(28.10.2020 – 06:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුරට පැනවූ ඇඳිරි නීතිය පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බලප්‍රදේශයන්ටද අදාළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (27) රාත්‍රියේ සිට යළි දැනුම්දෙනතුරු පානදුර උතුර, පානදුර දකුණ, මොරටුව, හෝමාගම යන පොලිස් බල ප්‍රදේශයන් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා ෴

++++++++++++++

මොරටුව ප්‍රදේශයේ සිදුකල PCR පරීක්ෂණවලට අනුව 42 දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ඊයේ (27) දිනයේ වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පියවර ගත් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

අද (28) උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් සොයා කළ PCR පරීක්ෂණවලට අනුවයි එම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් පානදුර ප්‍රදේශයෙන් ආසාදිතයන් වාර්තා නොවුනද එම ප්‍රදේශයට වෛරසය පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පානදුර උතුර සහ දකුණ පොලිස් බලප්‍රදේශවලට ද ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එසේම සුළු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුවද හෝමාගම ප්‍රදේශයේ ජන ඝනත්වය සහ ඉන් විවිධ ප්‍රදේශවලට ආසාදිතයන් පැතිර යාමේ අවදානම සලකා බලා මෙලෙස ඊයේ (27) රාත්‍රියේ සිට ඇඳිරි නීතිය පැනවීමට ක්‍රියා කළ බවයි හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ (27) දිනයේ බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයන් 20 ක්, කොටහේන ප්‍රදේශයෙන් 44 දෙනෙක්, මට්ටකුලියෙන් 36 ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ ඇතැම් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේද ආසාදිතයන් වාර්තාවීමට හේතුව එම ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස පුද්ගල සංචරණයන් සිදුවීම බවයි.

කොළඹ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල තවදුරටත් මෙලෙස ආසාදිතයන් වාර්තාවීම අවදානම් තත්වයක් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව සෞඛ්‍ය අංශ ඇතුළු සියලුම පාර්ශවයන් හි උපදෙස් සහ ඉදිරියේ සිදුකෙරෙන සාකච්ඡා මධ්‍යයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි යුද හමුදාපති සඳහන් කරන්නේ.

එසේම ඇඳිරි නීතිය පනවා නොතිබුණද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

එසේම දැඩි අධීක්ෂණය යටතේ පැවති ඇතැම් ප්‍රදේශවල රෝගීන් වාර්තා නොවීම අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කිරීමට හැකියාවක් පවතින බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් වාර්තානොවන වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කිරීමට අවශ්‍ය කරුණු අධීක්ෂණය කරමින් සිටින බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා ෴

++++++++++++++++++

කොරෝනා අවදානම හමුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ මෙන්ම හෝමාගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා ඊයේ (27) රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා.

පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම සැලකිල්ලට ගනිමින් මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 68 කට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර, ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ අලෙවිසැල් විවෘතව තබන දිනයන් හා වේලාවන් සම්බන්ධයෙන්ද යුද හමුදාපතිවරයා විශේෂ දැනුම් දීමක් සිදුකළා.

• ඒ අනුව, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන් හි සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙළඳසැල් විවෘතව තැබෙනවා.

• එසේම, කොළඹ සහ කුරුණෑගල නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ඖෂධ අලෙවිසැල් හා අත්‍යාවශ්‍ය ආහාර අලෙවිසැල් අඟහරුවාදා සහ සිකුරාදා උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කළ හැකියි.

මේ අතර, බස් රථවල ගමන් ගන්නා මගීන් පිළිබඳව තොරතුරු රැස් කිරීමේ පහසුව සඳහා බස් ඇතුළත එහි අංකය පැහැදිලිව ප්‍රදර්ශනය කරන ලෙස ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හරහා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් රැසක් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කර ඇතැයි තොරතුරු වාර්තා වීම මීට හේතුවයි.

එසේම, නිරෝධානයට ලක් වන පුද්ගලයින් සහිත නිවෙස්වල සෞඛ්‍ය බලධාරින් අලවන දැන්වීමට අමතරව, තවත් දැන්වීමක් ඇලවීමට කටයුතු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් බස් රථ කර්මාන්තයට සිදුවී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ෴

+++++++++++++++

ඊයේ (27) දිනය තුළ නව ආසාදිතයින් 457 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඔවුන්ගෙන් දස (10) දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනා ගැනුණු අතර, 447 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව එම පොකුරුවලින් පමණක් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 5,396 දෙනෙකු වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (27) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූවන් 290 ක් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කළේ බියගම සහ කටුනායක නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව වෛරසය ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගත් බවයි.

එමෙන්ම, ජා-ඇල ප්‍රදේශයෙන් ආසාදිතයින් 72 ක්, කැළණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 83 ක්, මහර ප්‍රදේශයෙන් ආසාදිතයින් 77 ක් මෙලෙස වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 8,870 ක් ලෙසයි.

ඉන් 4,808 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර, මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 19 ක් වනවා.

ඊයේ (27) දිනයේ රෝගීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 19 ක පිරිමි පුද්ගලයෙකු සහ 87 හැවිරිදි කාන්තාවක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ අතරින් 19 හැවිරිදි තරුණයා උපතින්ම රෝගාබාධ වලින් පෙලුණු පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල පුද්ගලයින් 73 දෙනෙකු අද (28) නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට පුද්ගලයින් 7530 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 75 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.

නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 58,396 ක්.

ඊයේ (27) දිනය තුළදී පමණක් මෙරට සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 10,740 ක් වන අතර, සිදුකර ඇති මුළු පී.සී.ආර්. සංඛ්‍යාව හාරලක්ෂ 69,258 ක් ෴

*********************************************

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුදු අලියෙක් වෙයි. ශ්‍රමිකයන් දසදහස් ගණනක් කබලෙන් ලිපට

(27.10.2020 – colombotoday.com)

කුවේටයේ ශ්‍රීලංකා තානාපති කාර්‍යාලය සම්බන්ධයෙන් පසුගිය දින වල බොහෝ සෙයින් කතා බහට ලක්වුනි. කුවේටය ‘ලොක් ඩවුන්’ කල සමයේ එහි සේවය කල දහස් ගණනක් වූ ශී ලාංකික ශ්‍රමිකයන් බොහෝ අපහසුතා රැසකට මුහුණ පෑ අතර මේ සම්බන්ධයෙන් තානාපති කාර්‍යාලය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන ලදි. කිසිදු ශ්‍රමිකයෙකුට ඉන් සෙතක් සලසන්නට වෑයමක් නොගත් අතර කෑම මලු පහක් දහයක් අතර ප්‍රමාණයක් තානාපති කාර්‍යාලයේ හිතවත් අය අතර පමණක් බෙදා දුන් බවට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් චෝදනා කරයි.

තානාපති කාර්‍යාලය පිලිබද නැවතත් මත බේදයක් හට ගත්තේ කුවෙටයේ සේවය කල ශ්‍රමිකයින් පිරිසක් කුවේට් රජයේ අනුග්‍රහය මත ලංකාවට පිටත් කර පැමිණි මොහොතේය. එහි ආ මගීන්ගේන් 350 කට ආසන්න පිරිසක් කොරෝනා වැලැදුනු අයවලුන් වේ. මෙම සිදුවීමද තමා අත වරදක් නැති බව කියා ඇග බේරාගත් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති ජෞහාර් නමැත්තා සදහන් කරන්නේ සියල්ලන් පරීක්ෂණ කර එවු අයවලුන් බවය.

ඉන් අනතුරුව මෑත කාලීනව කුවේට් තානාපති කාර්‍යාලය දින ගණනාවක් වසා දැමුවේ එහි සේවය කරන සේවකයන් හා නිළධාරීන්ට කොරෝනා වැළදී ඇති බව කියමිනි. ඉන් තවත් අසරණ තත්වයට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තම උපන් රට වෙනුවෙන් තමා නියෝජනය කරන ප්‍රධානම ආයතනය වන තානාපති කාර්‍යාලය දිගින් දිගටම මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව ඉතාමත් කලකිරීමට පත්ව ඇත. මොවුන්ගේ සහ මෙම තානාපතිවරයාගේ මෙකී ක්‍රියාකලාපය ඔස්සේ වැඩිම අප්‍රසාදයට පත් වන්නේ පවතින වත්මන් ආණ්ඩුවයි. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා ගොඩනගාගත් ප්‍රතිරූපයයි. ඔක්තෝබර් 18 දින මෙකී තානාපති කාර්‍යාලය අර්ධ වශයෙන් විවෘතකල බව ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ පල කල අතර කිසිවෙකුට කිසිවිටෙකත් තානාපති කාර්‍යාලයට නොපැමිනෙන ලෙසටද එහි සදහන් කර ඇත. සියලුම අවශ්‍යතා සඳහා දුරකථනයෙන් අමතා දිනයක්, කාලයක් වෙන් කර පැමිණෙන්නයැයි ඔවුන් විසින් දුරකථන අංක කිහිපයක් සඳහන් කර ඇත. නමුත් සිය දහස් ගණනක් ශ්‍රමිකයන් මෙම අංක අමතා ඇති අතර එකී අංක කිසිවක් භාවිතයේ නැති අතර තවත් අංකයක් එන ඇමතුම් විසන්දි කරමින් සිටී.

මෙවන් අවස්ථාවක ඉපදුන රටටද පාපයක් වෙමින් හැසිරෙන නිළධාරීන් මෙන්ම පෙර රජය සමයේ සිට සේවයේ නියුතු තානාපතිවරයා මෙලෙස හැසිරෙන්නේ ශ්‍රමිකයන්ට මැරෙන්නට හෝ ඉඩ හැර පවතින රජය අපහසුතාවයට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන ආකාරයෙන් බව පෙනී යයි. මේ පිළිබඳව වහා සොයා බැලීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේත්, ගරු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මැතිතුමාගේත් වගකීමකි. කුවේට් තානාපති කාර්යාලයේ වගකීම් විරහිත හැසිරීම පිළිබඳව වහා පරීක්ෂණයක් සිදුකර තානාපති කාර්‍යාලයේ නිළධාරීන් හා තානාපතිවරයා නැවත මෙරටට කැඳවා හෝ එරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩ කරන කාර්යක්ෂම නිලධාරීන් පත් කර රජයේ ගෞරවයත් රටේ ගෞරවයත් සුරැකීමට ක්‍රියා කරන ලෙස එරට ජිවත් වන ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටියි.

සටහන – ඩොන්

***************************************

හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මීගමුව – කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරු සුඛෝපභෝගී වෑන් රථයකින් මෙම හෙරොයින් රැගෙන යමින් සිට ඇති අතර, ඔහු කුරණ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ දැයි විමර්ශන සිදුකරන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා ෴

***************************************

දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (27) රාත්‍රී 7.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ 36 දෙනෙකුගෙන් යුත් උසස් රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් සමඟ ඔහු දිවයිනට පැමිණි බවයි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟද සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

අද (28) උදෑසන එම සාකච්ඡා සිදුවන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, දෙරට අතර විවිධ අංශ ඔස්සේ සබඳතා පිළිබඳව එම සාකච්ඡාවලදී අවධානය යොමු වනු ඇති.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෙරට සංචාරයක නිරත වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉහළතම නිලධාරියායි ෴

***************************************

භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් (බෝල්පොයින්ට්) පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රතිචක්‍රීකරණය සඳහා සකස් කරන ලද පළමු බහාලුම ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයාට භාරදෙනු ලැබුවා. පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක මෙම වැඩසටහන ‘අපි හැදී රට හදමු’ ලෙස නම් කර තිබෙනවා.

දිනකට පාසල් පද්ධතියෙන් ඉවත් කරන ලද කාබන් බට පෑන් ප්‍රමාණය කිලෝ 80 ක් පමණ වන අතර වසරකට කිලෝ 29,000 ක් ඉවත් කරන බවටයි ගණන් බලා ඇත්තේ.

කෙසේ වෙතත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශ වලින් ඉවත් කෙරෙන පෑන් බට ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැහැ.

පරිසරවේදීන් සඳහන් කරන්නේ අදාල පෑන් බට සහ දත් බුරුසු දිරාපත්වීමට වසර 100 ත් 500 ත් අතර කාලයක් ගත වන බවටයි.

ඒ අනුව, සෑම පාසලකටම විශේෂ බහාලුමක් සැපයීම සඳහා සැලසුම් කර ඇති අතර, එක්රැස් කරගන්නා ප්ලාස්ටික් පෑන් බට මිලදී ගැනීමට පෞද්ගලික ආයතනයක් ඉදිරිපත් වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ෴

***************************************

අගමැති නියමයෙන් පත් කළ, යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකුවල සිදුවූ අයථා ක්‍රියා පිළිබඳ සොයන කමිටුව විසින්, එවකට දේශපාලන හිතවතුන් ලබා ගත් ණය ගෙවා හැරීම පැහැර හැර ඇති බවට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව, එවක ඇතැම් දේශපාලනඥයන්ගේ හිතවතුන් රජයට අයත් සියලු බැංකුවලට ගොස් ණය අයදුම්කර ඒවා නිසි ක්‍රමවේදයකින් තොරව ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, රාජ්‍ය බැංකුවලට අයත් ඇතැම් දේපල අත්තනෝමතික ලෙස විකුණා දමා ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද කමිටුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් එම කමිටුවට පැමිණිලි 200 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

2015 ජනවාරි 8 වනදායින් පසු ප්‍රධාන රාජ්‍ය බැංකු 04 ක සිදුවූ අක්‍රමිකතා සෙවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම සිව් (4) පුද්ගල කමිටුව පත් කරනු ලැබුවා ෴

***************************************

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන ඊයේ (27) ආරම්භ වුණා.

ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිදුකළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල නව රජයෙන් ග්‍රාමීය ජනතාව වෙත ඍජුවම හා කඩිනමින් ප්‍රතිලාභ ගෙන යාමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ.

ඒ අනුව, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන සඳහා පත් කරනු ලැබූ ප්‍රධාන කමිටු 4 අතරින් සමාජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ නිල වැඩ කටයුතු ඊයේ (27) පෙරවරුවේ අනුරාධපුර, උතුරු මැද පළාත් සභා ශාලාවේදී ආරම්භ කෙරුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ෴

***************************************

මතුගම – අලු‍ත්ගංගොඩ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් එක් සොහොයුරෙකු විසින් බාල සොහොයුරාට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පිහි ඇණුම සිදුකිරීමෙන් පසු වැඩිමහල් සොහොයුරා ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයේ ගමන්ගත් ලොරියකට පැන සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

සිද්ධිය දුටු සොහොයුරන් දෙදෙනාගේ 58 හැවිරිදි මව හදිසියේ ඇතිවු කම්පන තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *