ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීනයට එරෙහි විලෝපික කතාවට, චීන තානාපති කාර්යාලයෙන් පිළිතුරු

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීනයට එරෙහි විලෝපික කතාවට, චීන තානාපති කාර්යාලයෙන් පිළිතුරු

සීමා පැනවූ සියලු ප්‍රදේශවල ඔසුසැල් සහ වෙළඳසැල් හෙටත් (29) විවෘත කිරීමට අවසර

සුපිරි වෙළෙඳසැළට ගිය පාස්කු ප්‍රහාරකයෝ – CCTV දර්ශන සහිතයි

කොවිඩ් නිසා අතරමංවූ මැදපෙරදිග ශ්‍රමික විලාපය

*********************************************

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීනයට එරෙහි විලෝපික කතාවට, චීන තානාපති කාර්යාලයෙන් පිළිතුරු

(28.10.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

චීනය මෙන් නොව අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මිතුරෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (28) පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

එහිදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති සංචාර තහනම යලි ඇගයීමකට ලක් කරන බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි.

දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවේදී ද්විපාර්ශවික සහ කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු වී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම හරහා ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම රජයේ අරමුණ බවයි.

එසේම, යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උපකාර කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්වා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශවයේ එකඟත්වය පළ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව ප්‍රකාශ කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කළා.

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බවට මෙහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රතිඥා ලබාදුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (28) සාකච්ඡාවක නිරත වුණා.

අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර මීළඟ ඉහළපෙලේ සාකච්ඡාව ලබන වසරේ මුල් භාගයේදී පවත්වන බවයි.

මේ අතර, ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් චීනය විලෝපිකයෙක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ “කණගාටුයි, රාජ්‍ය ලේකම්තුමනි, අපි ශ්‍රී ලංකාව සමඟ මිත්‍ර සබඳතා ගොඩනගා ගෙන ඇත්තේ ඔබ පවසන ආකාරයට පිටසක්වල ජීවින් සහ විලෝපිකයින් ලෙස නොවන බවයි”.

එමෙන්ම, අමෙරිකාවට එම චරිත දෙක (2) සෑමවිටම එකවර රඟ පෑ හැකි බවත්, එම ට්වීටර් පණිවුඩයේ සඳහන්. ඒ සඳහා ආදායම් වාර්තා බිඳ හෙලූ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක් වන ‘ඒලියන්ස් වර්සස් ප්‍රිඩේටර්’ චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් යොදා ගැනීමට ද, ඔවුන් අමතක කර තිබුණේ නැහැ.

ඒකාබද්ධ මාධ්‍ය හමුවෙන් අනතුරුව අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පැමිණියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ එක් ඉලක්කයක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙතයි.

පාස්කු ප්‍රහාරය ස්මරණය සහ වින්දිතයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සහයෝගය පළ කිරීම දේවස්ථානය වෙත පැමිණීමේ අරමුණ බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළා.

ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් ට්වීටර් සටහනක් තබමින් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී අමෙරිකාව ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි.

මෙහිදී මයික් පොම්පියෝ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිකරමින් එම ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස නිල සංචාරය නිමා කරමින් අද (28) දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් නික්මුණා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ දහවල් 01:06 ට එම විශේෂ ගුවන් යානය මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.

+++++++++++++++++

+++++++++++++++++

MCC ගිවිසුම ගැන අවසන් තීරණය ශ්‍රී ලංකාව සතුයි – අමෙරිකානු රාජ්‍ය ලේකම්

(28.10.2020 – 16:26 +0530 – sinhala.adaderana.lk)

මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරය කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.

නමුත් දෙරට අතර සබඳතාව ශ්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බව ඔහු පවසයි.

‘අද දෙරණ’ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

“අප විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් ඒකත් එකක්. එය නොගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් එවිට ශ්‍රී ලංකාව තීරණය කරාවි එය පිළිනොගෙන සිටීමට. අපගේ සබඳතාවේ ශක්තිය, ගැඹුර සහ සංකීර්ණත්වය එක් ගනුදෙනුවකට හෝ එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක්.”

අමෙරිකාව සහ චීනය කටයුතු කරන ආකාරය ගැන ඔහු පැවසුවේ මෙවැන්නකි.

“අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අපි එන්නේ නෑ ණය පැකේජ සමග. එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රාජ්‍යයන් ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්.”

+++++++++++++++++

+++++++++++++++++

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු පාර්ශව රැසක් අදත් (28) විවිධ අදහස් පළ කළා.

++++++++++++++++

(28.10.2020 – 21:31 +0530 – lankaleadnews.com)

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ නොගැසීම පිළිබදව මේ වනවිට මෙරට දේශපාලන අංශවල සහ තානාපති අංශවල මහත් කතාබහට ලක්ව ඇති බව දැනගන්නට තිබේ.

මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම සංචාරයේදී පොම්පියෝ මහතා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිත බවකි.

නමුත් පොම්පියෝ මහතා ජනාධිපතිවරයා සමග පමණක් සාකච්ජා කොට අගමැතිවරයා සමග සාකච්ජා නොපැවැත්වීම මේ වනවිට දේශපාලන අංශවල මහත් කතාබහට ලක්ව තිබේ.

ඊට කුමන හේතුවක් බලපා තිබේද යන්න පිළිබදව මෙතෙක් කිසිදු පාර්ශවයකින් කිසිදු ප්‍රකාශයක් පළව නොතිබීමද විශේෂ සිදුවීමකි ෴

*********************************************

සීමා පැනවූ සියලු ප්‍රදේශවල ඔසුසැල් සහ වෙළඳසැල් හෙටත් (29) විවෘත කිරීමට අවසර

(28.10.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා (02) අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා (02) දිනයෙන් පසුව ද අඛණ්ඩව එය ක්‍රියාත්මක බවයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් හෙට (29) පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය පැනවෙන ප්‍රදේශවල ඇදිරි නීතිය සඳුදා (02) උදෑසන 5 ට ඉවත් කරන බැවින් බස්නාහිර පළාතේ සිටින සියලුම දෙනා වෙනත් පළාත්වලට නොයන ලෙසට ද යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියා.

එමෙන්ම, අද (28) පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් නිලධාරින් ද යොදවා ඇති බවයි.

මේ අතර, හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමත් සමඟ වෙළඳසැල් වලට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන ආකාරයක් අද (28) පස්වරුවේ දක්නට ලැබුණා.

ලංකා සතොස සභාපති ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කළේ හිඟයකින් තොරව භාණ්ඩ පවතිත බැවින් අනවශ්‍ය කළබලයක් ඇති කර නොගත යුතු බවයි.

එමෙන්ම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත්, උසස් පෙළ විභාග කටයුතුවලට එය බාධාවක් නොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

+++++++++++++++++

මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 9000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 9081 ක් ලෙසයි.

++++++++++++++++

පුරවැසියන් සිය සමාජ වගකීම ඉටු නොකළහොත් මෙරට වැඩිහිටි ප්‍රජාව කොවිඩ් 19 හේතුවෙන් මියයාමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා.

කොවිඩ් 19 වෛරසයට ගොදුරුව සුවය ලැබූ මෙරට පළමු වෛද්‍යවරයා වන ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ප්‍රවෘත්ති’ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

++++++++++++++

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ, අනුව අද (28) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 335 ක් ෴

***************************************

ඉදිරි පැය 48 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

***************************************

මාතර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් හෙරොයින් සමඟ අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර යුධ හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාතර කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැලිගම අප වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව 25 හැවිරිදි වියේ පසුවන අතර ඇය සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 325 ක්.

සිදුකළ වැඩිදුර විමර්ශන වලදී ජාවාරමට සම්බන්ධ බව කියන මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තවත් කාන්තාවක් සහ කඹුරුගමුව පෙදෙස් පදිංචි 22 සහ 27 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනකු (2) ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

*********************************************

සුපිරි වෙළෙඳසැළට ගිය පාස්කු ප්‍රහාරකයෝ – CCTV දර්ශන සහිතයි

(28.10.2020 – 14:37 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලකළ සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් ආරක්ෂක නිවසක් ලෙස භාවිත කළ පානදුර සරික්කිමුල්ල, පරත්ත පාර ප්‍රදේශයේ නිවස කුලියට ගෙන ඇත්තේ සපත්තු අළෙවි කරන්නෙක් ලෙස බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදි ඊයේ (27) අනාවරණ විය.

එම නිවස කුලියට ගෙනඇත්තේ, කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් විසිනි.

ජනාධිපති කොමිසම ඊයේ (27) සාක්ෂි විමසුවේ සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් ආරක්ෂක නිවසක් ලෙස භාවිතා කළ පානදුර සරික්කිමුල්ල, පරත්ත පාර ප්‍රදේශයේ නිවසේ හිමිකරුවන එස්.එම්. ඉල්හාම් මහතා ගෙනි.

ඔහු ප්‍රකාශ කළේ නිවස කුලීයට ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයා තමන් පාවහන් වෙළෙඳාමේ නිරත වන බවත් තමන් සහ මිතුරෙකුද, දරුවන් තිදෙනෙකු (3) සහ බිරින්දෑවරුන්ද මෙම නිවසේ පදිංචිවීමට බලාපොරොත්තු වන බවට සඳහන් කළ බවය.

ඒ අනුව 2019 පෙබරවාරි මස 13 වැනිදා මසකට රුපියල් 40,000 බැගින් මාස 12 ක් සඳහා රුපියල් 480,000 මුදලක් මුලික ගෙවීමක් ලෙස ලබාගනිමින් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට නිවසේ යතුර භාරදුන් බව නිවසේ හිමිකරු කියා සිටියේය.

නිවස කුලීයට දීමෙන් මසකට පසු අවස්ථා දෙකකදි (2) තම නිවස නිරීක්ෂණය කිරීම සඳහා ගිය විට මොහොමඩ් මුබාරක් නිවසේ නොසිටි බවත් නිවස කුලීයට ගැනීමේ ගිවිසුමේ සාක්ෂිකරු ලෙස අත්සන් කළ රිස්කාන් පමණක් දෙවියන් යදිමින් සහ විවේකිව නිවසේ රැඳී සිටි බව සාක්ෂිකරු මෙහිදී කොමිසම හමුවේ පැවසීය.

නිවසේ හිමිකරු පැවසුවේ, පාස්කු ප්‍රහාරය එල්ල වූ දින පස්වරු හතරට (04:00) පමණ ප්‍රදේශයේ වෙළෙදසැළක් අසල සිටි තමන් වෙත පැමිණි මුස්ලීම් තරුණයෙකු “ඉල්හාම්! උඹේ ගේ හමුදාවෙන් වට කරලා. දුවපං දුවපං” යනුවෙන් ප්‍රකාශ කළ බවය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ තම නිවසට ගොස් එහි හිමිකරු තමන් බව පැවසූ බවත් පසුව සිය පෞද්ගලික නීතිඥවරයා හමුවී නිවස කුලීයට දීමට අදාළ නෛතික ලේඛන අදාළ නිලධාරින්ට ඉදිරිපත් කළ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

ඉන් අනතුරුව කොමිසම සාක්ෂි විමසනු ලැබුවේ, මෙම නිවස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන නාලනී දිසානායක නිලධාරිනිය ගෙනි.

එහිදි අදාළ නිලධාරිනිය ප්‍රකාශ කළේ, ප්‍රහාරයට පසුදින මෙම නිවසට ගිය තමන්ට බයිසිකල් බෝල ඇතුළත් පෙට්ටි කිහිපයක්, බැටරි සහ බැටරි පෙට්ටි කිහිපයක්, පරිපථ සටහන් කිහිපයක්, ‘බ්ලීචින් පවුඩර්’ යැයි සඳහන් කළ විශාල බූලියක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් හමුවූ බවය.

එහිදී මොහොමඩ් මිල්හාන්ගේ නම සඳහන් වූ ‘ටෙක් ශ්‍රී ලංකා’ ආයතනයේ සහතික පතක් ද එම නිලධාරිනිය විසින් සොයාගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිය පැවසුවේ, නිවසේ තිබූ බිල්පත් ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බෝම්බකරුවන් ආගිය ස්ථාන රැසක් අනාවරණය කර ගැනීමට හැකිවූ බවය.

ඒ අනුව 2019 අප්‍රේල් මස 10 වැනිදා ගොරකාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකිර්ණයෙන් භාණ්ඩ මිලදීගැනීම සඳහා ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඊට ඇතුළුවන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ බව කොමිසමේදී හෙළිවිය.

ප.ව. 08:17 ට එම වෙළෙද සංකීර්ණයට ඇතුළුවන්නේ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ, අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් සහ කිංස්බරි හෝටලයට හෝටලයට ප්‍රහාරය එල්ල මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ය.

එමෙන්ම ඔවුන් දෙදෙනා අප්‍රේල් 11 වැනිදා බත්තරමුල්ල වෙළදසැළකට ගොස් භාණ්ඩ මිලදීගැනීමක් ද සිදුකර තිබෙනවා.

සාක්ෂි දුන් නිලධාරිනිය ප්‍රකාශ කළේ, එම ත්‍රස්තවාදීන් දෙදෙනා එදින ලීටර් 50 ප්‍රමාණයේ Backpack 10 ක් එහිදී මිලදී ගෙන ඇති බවය.

ඊට අමතරව බෝල, පාවහන්, අව්කණ්නාඩි, ටී-ෂර්ට් ඇතුළු රුපියල් 76,650 ක වටිනාකමකින් යුතු භාණ්ඩ අයිතම 36 ක් ඔවුන් මෙහිදී ගෙන ඇති බව සඳහන් වේ.

සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළේ, කිංස්බරි හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් අදාළ භාණ්ඩ මිලදීගත් වෙළෙඳසැළේ Loyalty කාඩ් පත හිමි පාරිභෝගිකයෙක් බවය.

***************************************

(28.10.2020 – 10:01 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි අටසීයක් (800) වටිනා නිල් මැණික් බුදුපිළිමයක් අලෙවි කිරීමට තැත් කරමින් සිටි අවස්ථාවේ දී පොලීසිය සිදුකළ මෙහෙයුම අතරතුර පළාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී එම පිළිමය අලෙවි කිරීමට සුදානම්වෙමින් සිටි අතරතුර පොලීසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර එහිදී චීවරධාරීයෙක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

එම මෙහෙයුම අතර තුර පළාගිය එම ජාවාරමේ ප්‍රධාන සැකකරුගේ සහායකයා බව කියන එම පුද්ගලයා දීර්ඝ විමර්ශනයකින් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල පීල්ලවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන පුද්ගලයකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සදහා මොනරාගල පොලිසිය වෙත භාරදී ඇත ෴

*********************************************

කොවිඩ් නිසා අතරමංවූ මැදපෙරදිග ශ්‍රමික විලාපය

(25.10.2020 – ravaya.lk)

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පාර්ශ්වයක් වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. කොවිඩ් 19 ගෝලීය වසංගතයේ පැතිර යාමත් සමග විදෙස්ගත ශ්‍රමිකයෝ ගැටලු රාශියකට මැදිව සිටියහ. නැවත මව් රටට ඒමේ බලාපොරොත්තු සහිතව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින වැඩි පිරිසක් සිටින්නේ මැදපෙරදිග රටවලය. ඔවුන් නැවත මෙරටට රැගෙන ඒමේ කටයුතු වරින් වර පමා වෙමින් තිබී පසුගිය කාලයේ නැවතත් කණ්ඩායම් වශයෙන් රැගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබුණි. එහෙත් මේ වන විට රට තුළින් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සමග විගමණික ශ්‍රමිකයන් ගෙන ඒම නැවතත් තාවකාලිකව නතර වූයේය.

වසංගතය මධ්‍යයේ හිංසන

“අපේ රටේ බලධාරීන් අපිව ගෙන්න ගන්නේ නැති බව දැන් මෙහේ අය දන්නවා. ඒ නිසා දැන් ඒ අය අපෙන් වෙනදාටත් වඩා වද වේදනා දිදී වැඩ ගන්නවා. අපේ වැටුප් පවා දුන්නත් එකයි නැතත් එකයි කියලා දැන් ඒ අය හිතනවා. ලාංකාවේ අයට කොවිඩ් හැදුණත් වැඩකරන ගෙවල් වලින් පැනඩෝල් පෙත්තක්වත් ලැබෙන්නේ නැහැ. එම්බසි එකෙන් බලන්නේත් නැහැ. අපිට මේ රට වලට එන්න රජයේ අනුග්‍රහය ලැබුණා වගේම මේ වෙලාවේ අපි වෙනුවෙන් පෙනී ඉන්න අපේ රටේ රජයට බැරි ඇයි. ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න මෙහේ ලංකාවේ මිනිස්සු දුක් විඳලා මැරිලා යනවා.” කුවේට් හි ගෘහ සේවයේ යෙදෙන ශ්‍රී ලාංකික කාන්තාවක් රාවයට පැවසුවාය.

කොවිඩ් වසංගතයේ පැතිරීමත් ඒ හේතුවෙන් මව් රටට පැමිණීමට නොහැකි තත්ත්වයත් හමුවේ මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු බොහෝ සංඛ්‍යාවක් විගමණික ශ්‍රමිකයන් පත්ව තිබෙන්නේ ඉතා ඛේදනීය තත්ත්වයකටය. ඔවුන් බොහෝ දෙනා පවසන්නේ තානාපති කාර්යාල වලට දැන්වීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවය, ඒ ඇතැම් කාර්යාල වසා දමා ඇති බවය, ඇතැම් දුරකථනවලට කිසිවකු පිළිතුරු නොදෙන බවය. ඒ බොහෝ ශ්‍රමිකයන් දැන් සිටින්නේ කිසිදු පාර්ශ්වයක පිළිසරණක් නොමැති තත්ත්වයකය. කෙසේ හෝ තමන් මෙරටට රැගෙන එන ලෙස සියලුදෙනාට ඔවුහු ආයාචනා කරමින් සිටින්නේ එබැවිනි.

ඕමානයේ ගෘහ සේවයේ සිටින එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මීට දින කීපයකට පෙර හඬා වැළපෙමින් තම දුක්ගැනවිල්ල සමාජමාධ්‍ය ජාලවලට එක් කර තිබුණේ මෙලෙසය. “මම ඕමානයට ඇවිත් අවුරුදු දෙකයි මාසයක් වෙනවා. මම වැඩ කරන ගෙදර මැඩම් මට එම්බසියට යන්න කියලා ගහනවා. කන්න දෙන්නේත් නෑ. කෑම ඉතිරි වෙන ඒවා මම කාවි කියලා, ඩස්ට්බින් එකට විසි කරනවා. බඩගින්නේ ඉන්න බැරුව මම තේ එකක් හදාගනිද්දී ඒකත් විසි කළා. පිහියෙන් ඇනලා මාව මරණවා කියලා කියනවා. මම එම්බසි එකට යන්න දන්නේත් නැහැ, මාව ගෙනිහින් දාන්නේත් නැහැ. මේ වීඩියෝව දකින කෙනෙක් හරි මට එම්බසියට යන්න උදව් කරන්න. මාව කොයි වෙලාවේ මරලා දාවි ද කියලා මට බයයි.” ඔවුන්ට යාන්තම් හෝ රැකවරණයක් තිබුණා නම් වසංගතය හමුවේ එම රැකවරණයන් ද දැන් අහිමිව ගොස්ය. මේ වන විට ඔවුන්ට කිසිදු පිළිසරණක් නොමැති බව දන්නා ඇතැම් හාම්පුතුන්ගෙන් දැන් ඔවුන්ට එල්ලවන හිරිහැර ද අසීමිතය.

කබලෙන් ලිපට වැටීම්

කුවේට්හි ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් දුරකථනය ඔස්සේ අපට පැවසුවේ ඇය සේවය කළ නිවසෙන් සිදුවූ හිරිහැර හේතුවෙන් ඇය එම නිවසෙන් පැන ගොස් කුවේට් හි මෙරට තානාපති කාර්යාලය වෙත ගිය බවය. එහි නිලධාරීන් තමන්ට වෙනත් නිවසක් සොයා දුන් බවත් එම නිවසේ හාම්පුතා වෙතින් ඇයට ලිංගික බලපෑම් එල්ල වූ බවත් ඇය පවසන්නීය. ඊට විරෝධය දැක්වූ විට ඇයට හාම්පුතා විසින් සඳහන් කර තිබුණේ ඇය ඒ වෙනුවෙන්ම තානාපති කාර්යාලයට ද දන්වා රැගෙන ආ බවය. ඇය එම නිවසෙන් ද පැන ගොස් අවසානයේ කිසිදු පිළිසරණක් නොමැතිව තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ රැකවරණය යටතේ මේ වන විට සිටින බව ඉකි බිඳිමින් කියන්නීය. “මම ඒජන්සියටත් ගියා. එතැන දීත් මාව විකුණන්න කතා වෙනවා මට ඇහුණා. මම අසරණයි, එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා. කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ.” ඇය ඇතුළු තවත් විශාල පිරිසකට නවාතැන් පමණක් නොව ආහාර වේලක් හෝ සොයා ගැනීමට නොහැකිව සිටින බව ඇය අප හා කීවාය. ඇතැම්විට නොමිලේ ආහාර සපයන ඉතා දිගු පෝළිම්වල බලා සිටියත් අවසානයේ කිසිදු අහරක් නොලබා සිටීමට සිදුවන බව ඇය පැවසුවාය. ඒ බොහෝ දෙනා මැදපෙරදිග රැකියා සොයා පැමිණ තිබුණේ තම පවුලේ ආර්ථිකය තම දෙවුර මත තබා ගනිමිනි. බොහෝ අයට පාසල් වියේ දරුවෝ වූහ. වයස්ගත, රෝගී දෙමාපියෝ වූහ. ඔවුහු ජීවත් කරවීමට මුදල් උපයා මෙරටට එවූ මේ විගමණික ශ්‍රමිකයන්ට අද ඒ කිසිවක් සිදුකරගත නොහැකි ව තිබෙන්නේය. මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මේ හේතුවෙන් මුහුණ දීමට සිදුව තිබෙන පීඩාවන් සුළු පටු නොවන්නේය.

රෝගී තත්ත්වයට පත්ව කුවේට් හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකට තම දුක්ගැනවිලි ඉදිරිපත් කරන ආකාරය පසුගිය දිනෙක සමාජ මාධ්‍යවලට එක් කර තිබුණි. “මම මාස හතරක ඉඳලා රෝද පුටුවේ ඉන්නේ. අසනීප අය ඉක්මනට ලංකාවට ගන්නවා කිවුවත් අසනීප අය ඉද්දී සනීපෙන් ඉන්න අයත් ගෙන ගියා. අපිට ඉන්න තැනක් නැහැ. කන්න, අඳින්නවත් හරියට නැහැ. අපිට අවශ්‍ය බෙහෙත්වත් ගන්න විධියක් නැහැ. සනීපාරක්ෂක තුවා නැහැ. අපි අපේ ඇඳුම් ඉරලා සනීපාරක්ෂක තුවා විධියට පාවිච්චි කරවනවා. අපිට කිසිම කෙනකුගේ පිළිසරණක් නැහැ.” එම කණ්ඩායමේ එක් කාන්තාවක් කීවාය. ඒ බොහෝ දෙනාට තිබුණේ ඉතා දුක්ඛිත කතාන්දරය. ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මෙරටට නැවත ඒමට අවස්ථාවක් සලසා ගැනීමය.

විදෙස්ගතව රැකියාවන්හි නියැලෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 48,000 ක් පමණ නැවත මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කොවිඩ් වසංගතයේ පැතිරයාම සමග රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු, ආහාර ඖෂධ නවාතැන් ආදී මූලික අවශ්‍යතා අහිමිවීමෙන් ද තවත් බොහෝ ගැටලු රාශියකට මේ බොහෝ ශ්‍රමිකයෝ මැදිව සිටිති. ඇතැම් පිරිස් මෙම වසර ආරම්භයේ දී තෙමසක් සඳහා වීසා ලබා රැකියා සොයා මැදපෙරදිගට ගිය පිරිස්ය. ඇතැම් අය මේ වන විට රැඳී සිටින්නේ පොදු උද්‍යාන, පාළු ගොඩනැගිලි ආදී ස්ථානවලය. ඩුබායි හි එලෙස උද්‍යානයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඡායාරූප ද සහිතව එහි මාධ්‍යවේදිනියක් තම ට්විටර් ගිණුමේ මෙන්ම ‘ද ටෙලිග්‍රාෆ්’ වෙත මීට දින කීපයකට පෙර වාර්තා කර තිබුණි.

පිහිටක් නැති තානාපති කාර්යාල

ඒ අතර නීත්‍යානුකූල ලියවිලි රහිතව රැඳී සිටින ශ්‍රමිකයන් මුහුණ දී තිබෙන්නේ වඩා අවදානම් තත්ත්වයකටය. මෙම වසරේ අප්‍රේල් මාසය වන විට වීසා නොමැති සහ නීතිමය ගැටලු සහිතව කුවේට් හි සිටින විගමණික ශ්‍රමිකයන්ට මාසයක් තුළ කුවේට්වලින් පිටවන ලෙසත් එම කාල සීමාව තුළදී ඔවුන්ගේ ලියවිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත් එරටින් දන්වා තිබුණි. “පිලිපීනය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල ගොඩක් අය ඒ වෙලාවේ මේ රටෙන් පිටත් වුණා. අපිටත් භාර වෙන්න කියලා තිබුණා, ඒත් ඒ වෙලාවේ එම්බසි එකෙන් ඒකට ඕනෑ ලියකියවිලි හදලා දෙනවා වෙනුවට පොලීසියෙන් ගෙන්නලා අපිට පහර දුන්නා. වීසා නැති, නීතිමය ප්‍රශ්න තියන අය ගොඩක් අය මෙහේ අසරණ වෙලා ඉන්නවා. අපිට රටෙන් පිටවෙන්න අවස්ථාව ලැබුණ වෙලාවේත් අපේ එම්බසි එකෙන් අපිට උදවු කළේ නැහැ. එම්බසි එකේ අයටත් කොරෝනා කියලා ඊට පස්සේ ඔෆිස් එක වහගෙන ඉන්නවා. ගොඩාක් අය තාම මෙහේ අඬ අඬ ඉන්නවා. ගෑනු අයව හිරකරගෙන ඉන්නවා. ඒවා මාධ්‍යවල යන්නේ නැහැ.” ඒ, නීතිමය ගැටලුවකට මැදිව එරටින් පිටවීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික තරුණයෙකි. ඔවුන් සියලුදෙනාට තම මවු රටට යෑමට ලබා දුන් අවස්ථාවේ දී මෙරට තානාපති කාර්යාලය ඒ සම්බන්ධව නිසි මැදිහත්වීමක් නොකළ බවට ඔවුහු චෝදනා කරති. එමෙන්ම සෑම අතින්ම පීඩනයට පත්ව සිටින අවස්ථාවක තානාපති කාර්යාලවල අය තමන්ට උපකාර කරනවා වෙනුවට තව තවත් පීඩාවට පත්වන ආකාරයේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඔහු විස්තර කළේය.

මේ අතර කොවිඩ් වෛරසය ආසාධිතව කිසිදු ප්‍රතිකාරයක් ලබාගත නොහැකිව අසරණ තත්ත්වයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මැදපෙරදිග සිටින පිරිස් අපට පැවසූහ. ඒ බොහෝ දෙනා මේ වන විට සිටින්නේ ද කිසිවෙකුට උපකාරයක් කිරීමට හැකි තත්ත්වයක ද නොවේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කිසිදු පාර්ශ්වයක් ද මේ වන විට නැත. කෙසේ වෙතත් කොවිඩ් ආසාධිත යැයි පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වන අය මෙරටට රැගෙන එන්නේ ද නැත. රැගෙන එන අවස්ථාවල ගෙන එන්නේ ද කොවිඩ් ආසාධිත නොමැති බවට තහවුරු වන්නන් පමණි. මෙම වසර තුළ දී මැදපෙරදිග රටවල කොවිඞ් ආසාධිතව ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 68 ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත සඳහන් කරයි. ඒ, සවුදි අරාබි 30 ක්, කුවේට් 17 ක්, අබුඩාබි 8 ක්, කටාර් 6 ක්, බහරේන් 2 ක්, ජෝර්දාන් 1 ක් සහ ඕමාන් 4 ක් ලෙසය. ඉන් 56 ක් පුරුෂයන් වන අතර 12 ක් ස්ත්‍රීන් බව එම කාර්යාංශය සඳහන් කරයි.

ඉදිරි සැලසුම මොකක් ද

මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් ආශ්‍රිත මෙරටින් විශාල කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම සමග ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන් ද තාවකාලිකව අවලංගු වූයේය. ඒ සමග එම ශ්‍රමිකයන්ගේ මව් රටට ඒමේ බලාපොරොත්තුව තවත් ඈතට ගොස් තිබේ. එවන් පසුබිමක මෙම ශ්‍රමිකයන් මැදිව සිටින ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන සැලසුම කුමක් දැයි අප ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වන මංගල රන්දෙණිය ගෙන් විමසුවෙමු. විශේෂ ගුවන් යානා කීපයක් යවා කඩිනමින් ගෙන්වාගත යුතු අය පිළිබඳ අපි ලැයිස්තුවක් හැදුවා. ඒක ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කළා. කොවිඩ් කමිටුවෙනුත් අනුමැතිය ඊට ලැබී තිබුණා. ඒ සියල්ල සූදානම් කර තිබිය දී අවාසනාවන්ත ලෙස ලංකාව ඇතුළේ මේ කොවිඩ් දෙවන රැල්ලක් මතු වුණා. දේශීය වශයෙන් දැනට තිබෙන මානව හා භෞතික සම්පත් ලංකාවේ ඇතුලේ ඉන්න අය වෙනුවෙන් යොදවන්න සිදුවුණා. ඉදිරි දින කීපය තුළ ආසාදිතයන්ගේ ප්‍රමාණය වැඩි වෙයි ද පීසීආර් හා රෝහල්වල ඇඳන් ප්‍රමාණය මදි වෙයි ද නිරෝධායන ස්ථානවල ප්‍රමාණය මදි වෙයි ද වැනි දේ පිළිබඳ සති දෙකක් පමණ ඉදිරියට බැලීමට සිදුවන නිසා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යොදවා තිබූ සියලු විශේෂ ගුවන් යානා ජාතික කොවිඩ් කමිටුව විසින් තාවකාලිකව නවතා දැමුවා. කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුන නිරීක්ෂණයටන්ට අනුව ගන්නා ඊළඟ පියවරක් තිබෙනවා. ඒ අනුව ගෙන්වා ගැනීම වෙනත් ක්‍රමයකට සැලසුම් කිරීම සම්බන්ධයෙන් දැනට සාකච්ඡා සිදුවෙනවා.”

රජයේ ප්‍රකාශකයෙකු අපට පැවසුවේ ගෙන්වනවා ගැනීම් සම්බන්ධයෙන් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන ඉහත කී ක්‍රමවේදය වෙනස් කර නිරෝධායන කටයුතු ආදියෙහි වගකීම එම පුද්ගලයන්ට ගැනීමටත්, සියලු ආසාධිතයන් රෝහල්ගත කිරීම වෙනුවට ඇතැම් රටවල සිදුවන ආකාරයට රෝග ලක්ෂණ සහිත පිරිස් පමණක් රෝහල්ගත කිරීම වැනි ක්‍රියාවලියකට මාරු වීමට ඉදිරි දිනවල තත්ත්වය සලකා බලා තීරණ ගනු ඇති බවය.

රටේ වගකීම ඉටු කරන්න

“සුරංගනා කතා කියලා මේ රටවලට එවන ඒජන්සිවල අය අපි මෙහාට ඇවිත් භාරදුන්නාට පස්සේ හොයන්නේවත් නෑ. හැමදාම අපේ රටේ කාන්තාවෝ මෙහේ ආවාට පස්සේ දුක් විඳිනවා. කිසිම පිහිටක් නෑ. දැන් මරුවා පෙනි පෙනී අපිට මෙහේ බලාගෙන ඉන්න වෙලා තියනවා. අපෙන් කොරෝනා එනවා කියලා කිවුවාට දැන් රට ඇතුලේ කොරෝනා ඇති වෙනකම් ඒ අය දන්නේ නෑ. චීනේ අයට කිසිම නීතියක් නැතිව රටට එන්න දුන්නා. අපිත් චීනයට ගිහින් චීනය හරහා ලංකාවට එන්න ඕනෑ ද? චීනයේ අයට එක විධියකටත් අපිට තව විධියකටත් සලකන්නේ ඇයි. කවදා වෙනකම් මේ අය මේ විධියට රඟපාවි ද? පහුගිය කාලයේ පළමු තැන දීලා තිබුණේ ඡන්දයට. මෙහේ ලාංකිකයෝ කාන්තාරයේ වැළලෙද්දී අපි ගෙන්වා ගන්න ඔනෑ කමක් තිබුණේ නැහැ.” මව් රටට ඒමට කුවේට්හි බලා සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් කියන්නීය.

එපමණක් නොව රටෙහි පුරවැසියන් වන මෙම විගමණික ශ්‍රමිකයන් රැකගැනීමේ වගකීම මෙරටට තිබෙන්නේය. ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගෙන් මෙරටට වාර්ෂිකව ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 7 කට වැඩි විදේශ විනිමය වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ මැදපෙරදිග සේවා නියුක්තිකයන්ගෙනි. එසේ වුව ද මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවන බව නම් පෙනෙන්නට නැත. වරින්වර විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් විවිධ ප්‍රතිපත්ති යෝජනා ආදිය මතු වුව ද තවමත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙරට රජය කෙතරම් දුරට මැදිහත් වෙනවාද යන ගැටලුව තිබෙන්නේය ෴

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *