පැය 48 කින් පසු විමල් මතුවෙයි – මයික් පොම්පියෝ ගැන කතා කරයි

පැය 48 කින් පසු විමල් මතුවෙයි – මයික් පොම්පියෝ ගැන කතා කරයි

ඉඟුරු කොත්තමල්ලි කොවිඩ් මඩින්න පෙරමුණ ගනීද ?

පරීක්ෂණ මුකුත් නැතිව ගෙදර ඉදන් තමන්ටම කොරෝනා හදුනා ගත හැකි ක්‍රමයක්

දේශපාලන බලපෑම් සිදුවූ බව හිටපු එෆ්.සී.අයි.ඩී ප්‍රධානියා පිලිගනී – නාම ලේඛනයක් කොමිසමට

*********************************************

පැය 48 කින් පසු විමල් මතුවෙයි – මයික් පොම්පියෝ ගැන කතා කරයි

(29.10.2020 – gossiplankanews.com)

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දිවයිනට පැමිණි අවස්ථාවේ විපක්ෂය සඳහන් කර සිටියේ ඇමති විමල් වීරවංශ මහතා අතුරුදන් බවත් පැය 48 ක් තුළ සොයාගන්නා කෙනෙකුට ත්‍යාගයක් ලබාදෙන බවත්ය.

අද (29) පැය 48 කට අනතුරුව ඇමති විමල් වීරවංශ මහතා සිය පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වී එයට පිළිතුරු සපයා තිබේ.

එම විඩියෝව පහතින් :

+++++++++++

*********************************************

ඉඟුරු කොත්තමල්ලි කොවිඩ් මඩින්න පෙරමුණ ගනීද ?

(28.10.2020 – helanews.lk)

  • විශ්වවිද්‍යාල හතරකින් පිටවන වෛද්‍යවරු වගේම, පාරම්පරිකව මහා දැනුමක් තියෙන හෙළ වෛද්‍යවරු විසිදෙදහක් අපට ඉන්නවා
  • ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අද පිළිගන්නව දේශීය වෛද්‍ය ක්‍රමවල වටිනාකම
  • නිරෝධායනය, ලොක්ඩවුන් : අපිට අලුත් දේවල් නෙමේ

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වනවිට රට පුරාම පැතිර යමින් තිබේ. එමෙන්ම ලෝකයම කොරෝනා දෙවැනි රැල්ල බිළිගනිමින් සිටී. බටහිර වෛද්‍ය විද්‍යාවට නිශ්චිත ඖෂධයක් තවමත් සොයා ගැනීමට නොහැකි පසුබිමක ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම කොරෝනා ව්‍යාප්තිය යම් ප්‍රමාණයකින් අවමකර ගැනීමට ඉවහල්වන බව පැවැසේ. ප්‍රතිශක්තිකරණය පිළිබඳ කථිකාවේදී අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අමතක කළ නොහැක. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඇති ඖෂධ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයට ඉවහල් වන බව බටහිර වෛද්‍යවරු පවා අද පිළිගනිති. නමුත් ඒ පිළිබඳ අපේ අවධානය නිසි ලෙස යොමුවීද? කොරෝනා සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන විසඳුම් මොනවාද? යන්න පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක වෛද්‍ය සුජීව විතානගේ මහතා සමග කළ සංවාදයයි මේ.

කොරෝනා වයිරසයට එරෙහිව දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ඇසුරේ මොන වගේ ප්‍රතිකර්මද මේ වෙද්දි හඳුනාගෙන තියෙන්නේ…?

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට පාරම්පරික සිංහල වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, සිද්ධ සහ යුනානි කියන සියලු වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන ඒ වෛද්‍ය ක්‍රමවල තියෙන විශේෂඥ දැනුම උපයෝගී කරගෙන මෙවැනි රෝගී තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ගතහැකි ප්‍රතිකාර ක්‍රම, පියවර පිළිබඳ පුළුල්ව සාකච්ඡා කළා. එතනදි අපි කොරෝනා තත්ත්වයට මේ වෙලාවේ දිය හැකි හොඳම විසඳුම ලෙස දැක්කෙ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව ශරීරය තුළ වර්ධනය කිරීම. ඒ සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂඥ දැනුම භාවිත කරල ඖෂධ හඳුන්වාදී තියෙනවා.

මොනවද ඒ…?

‘සුවධරණී’ තමයි එහි ආරම්භය. අපේ දේශීය ඖෂධවලට පුළුවන් ස්වභාවිකවම අපේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන්න. ඒ ඖෂධ වර්ග කොයි තරම් විද්‍යාත්මකද කියල අද වෙද්දී හොයාගෙන තියෙනවා. වෙනිවැල් ගත්තොත් ප්‍රතිජීවක ගුණය වගේම අක්මාවට ඉතාම හිතකර ඖෂධයක්. හුඟක් වයිරස් රෝගවලදි ශරීරයේ අවයවවලින් වැඩිම බලපෑමක් වෙන්නෙ අක්මාවට. අක්මාව ආරක්ෂා කර ගැනීම මගින් අපේ ශරීරයේ සියලු ක්‍රියාවලීන් මනාව පවත්වාගන්න පුළුවන්. කොත්තමල්ලි ගත්තොත් ඒක බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත එකක්. ඒ ඖෂධත් අරත්ත, ඉඟුරු යම් අනුපාතයකට මිශ්‍ර කරපු ප්‍රතිශක්තිජනක ඖෂධයක් තමයි ‘සුවධරණී’ කියන්නෙ. ඒක සියලුදෙනාටම පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. මේ ඖෂධයෙන් කරන්නෙ ශ්වසන රෝග අපේ ශරීරය තුළ ඇතිවීමට තියෙන පදනම බිඳ දැමීම.

මේ කොරෝනා වයිරස තත්ත්වය තුළදී වැඩිපුරම ඉස්මතුවෙන්නෙ බටහිර වෛද්‍ය මතය. දේශීය වෛද්‍ය මතයක් ඉස්මතු වුණත් ඒක ප්‍රබල ලෙස සමාජගත කරන්න එම වෛද්‍යවරු සමත්කම් දක්වන්නෙ නෑ. ඇයි එහෙම වෙලා තියෙන්නෙ…?

යටත්විජිත යුගයෙන් පස්සෙ බටහිර ගැති මානසිකත්වයකින් තමයි අපි කටයුතු කරන්නෙ. බටහිර චින්තනයට ගැතිවුණු ජනසමාජයක් බිහිවෙලා තියෙද්දි හෙළ වෙදකම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වළපල්ලට යෑම වළක්වන්න බෑ. මොකද මේව අවිද්‍යාත්මකයි කියන කාරණා මේ බටහිර චින්තනය මගින් අපේ ඔළුවලට දාල තියෙනව. ඒ චින්තනය පරම්පරාවෙන් පරම්පරාවට යද්දි අපේ දේවල් පිළිබඳ තියෙන ඇගයීම ඛණ්ඩනයට ලක්වෙලා තියෙනව. ඒක ප්‍රබල ලෙස බටහිර වෛද්‍ය මතය මේ සමාජය වැලඳ ගැනීමට හේතුවක් වෙලා තියෙනව.

ඒත් එහෙම ගැති නොවුණු පිරිසක් නිසා තමයි අපට මේ තරමින්වත් දේශීය වෛද්‍ය ක්‍රමය ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ ජාන පරම්පරාව තමයි මේ හෙළ වෙදකම මේවෙනකම් රැකගෙන ආවෙ.

අපි දකිනව අද බටහිර වෛද්‍ය ක්‍රමයට ඒ තුළින්ම යම් යම් විරෝධතා මතුවී තියෙනව. බටහිර වෛද්‍යවරුම අපේ සිංහල වෙදකමේ අගය ගැන ප්‍රසිද්ධියෙ කියනව. ඉංග්‍රීසි බෙහෙත් නිසා කොච්චර අතුරු ආබාධ ඇතිවෙලා තියෙනවද? එක ලෙඩකට බෙහෙත් කරද්දි තව ලෙඩ කොයි තරම් මතුවෙලා තියෙනවද? රෝග නැතිවෙලා තියෙනවද? වගේ කාරණා මුල්කරගෙන අද සමාජය තුළ කථිකාවක් ඇතිවෙලා තියෙනව. බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ දුර්වලතා ගැන අද බොහෝදෙනා කතාකරනව. එවැනි තැනකදි මේ හෙළ වෙදකමේ අගය වඩ වඩා ඉස්මතුවන තත්ත්වයක් තමයි තියෙන්නෙ. අපිට නොපෙනුනාට දේශීය වෛද්‍ය ක්‍රම ගැන බටහිර සමාජය අද ඉහළින් කතා කරනව. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නව අද වෙනත් දේශයකින් පැමිණි වෛද්‍ය ක්‍රමයකට වඩා ඒ දේශයේ උපන් වෛද්‍ය ක්‍රමවල තියෙන වටිනාකම් සහ හැකියාව ගැන.

දේශීය වෛද්‍ය ක්‍රමයත් සමග ඇත්වැල් බැඳගෙන කොරෝනා උවදුරට මුහුණදිය යුතු බවට පසුගිය සමයේ බටහිර වෛද්‍යවරුන් අතරින් කථිකාවක් මතුවුණා. නමුත් එය කතාවකට පමණක් සීමාවෙලා තියෙන්නෙ ඇයි?

කොරෝනා රෝගය පසුගිය පෙබරවාරි මාසයේ අපේ රටේ මතුවෙද්දි අපි ඉල්ලීම් කළා දේශීය වෛද්‍යවරුන්ටත් මේ රෝගය මර්දනයට මැදිහත්වෙන්න ඉඩ දෙන්න කියල. මේ රෝගයේ භාවිත වන නිරෝධායනය කියන එක අපට අලුත් දෙයක් නෙමේ. අපේ ගෙදර කාටහරි පැපොල හැදෙද්දි ඒ හැදුන කෙනා කාමරයකට දාල, වැටේ කොහොඹ අත්තක් එල්ලල, කාමරය ඇතුළෙ කොහොඹ කොළ දාල නිරෝධායනය කළා. අපි හැමෝටම ඒ අත්දැකීම් තියෙනව. අපි සමාජයට පෙන්නුවා ගෙදර බෝවන රෝගයක් තියෙන කෙනෙක් ඉන්නව කියල. ඒ නිසා අවට ප්‍රදේශයම ලොක්ඩවුන් වුණා. ගෙදර මිනිස්සු ස්වයං නිරෝධායනයට ලක්වුණා. අම්ම ආරක්ෂාවට ළඟ හිටිය. කපු මහත්තය ඇවිත් නූලක් දාල මානසික ශක්තිය ඇති කළා. මේක දියුණු චින්තනයක් එක්ක තිබුණු නිරෝධායනයක්. එහෙම කළේ අපේ හෙළ වෙදකම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රම තුළ. ගමේ වෙද මහත්තය තමයි මේවට නියෝග දුන්නෙ. එවැනි තත්ත්වයක අපි හිටියෙ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ ඉන්නව විශ්වවිද්‍යාල හතරකින් (4) පිටවන ආයුර්වේද වෛද්‍යවරු. වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් තමන්ගෙ වෛද්‍ය ක්‍රමය හදාරපු, බටහිර වෛද්‍ය ක්‍රමය ගැන හොඳින් අධ්‍යයනය කරපු ජාත්‍යන්තර අත්දැකීම් තියෙන විශේෂඥ වෛද්‍යවරු අටදාහක් (8000) අපට ඉන්නව. පාරම්පරිකව ලැබුණු මහා දැනුමකින් යුතු පාරම්පරික වෛද්‍යවරු විසිදෙදහක් (22,000) විතර ඉන්නව. මේ සියලු දෙනාම යම්කිසි තැනකදි එකට එකතු කරගෙන මේ කොරෝනා මඩින කටයුත්තට සක්‍රීයව දායක කරගන්න තිබුණ. මොකද බටහිර වෛද්‍ය ක්‍රමය තුළදි කොරෝනා හොඳ වෙන්න කියල බෙහෙත් දෙන්නෙ නෑනෙ. නිරෝධායනය කරල බලන් ඉන්නව මොනවද වෙන්නෙ කියල.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර මීට පෙර හමුවුනු පොකුරුවලට වඩා සංකීර්ණයි. ඒ නිසා මේක රට පුරා ව්‍යාප්ත වෙලා රෝගීන් වැඩිවුණොත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගිහින් ඉඩකඩ මදිවෙනව. එහෙම වුණොත් වෙන්නෙ රෝගීන් නිවසෙම තියාගෙන ප්‍රතිකාර කරන්න. එතනදි සෞඛ්‍ය අංශ මොනව කිව්වත් දේශීය වෛද්‍ය ක්‍රමයේ පිහිට අවශ්‍ය වෙනව. ඒ නිසා ඇමරිකාවේ, ඉතාලියෙදි වගේ කොරෝනා වසංගතයක් වීමට පෙර ආයුර්වේද වෛද්‍යවරයා මේකට සම්බන්ධ කරගන්න කියන එකයි අපි කියන්නෙ. අපිට පුළුවන් ඉතා සක්‍රීය ලෙස මේකට දායකවෙලා එකට එකතුවෙලා කොරෝනා පාලනයට සම්බන්ධවෙන්න.

අපේ පාරම්පරික හෙළ වෙදකම නූතන සමාජය තුළ ඉස්මතු වෙන්නෙ නැත්තෙ එම ප්‍රතිකාර පර්‌යේෂණාගාරවලදී තහවුරු කර නැති නිසාද? නැතිනම් බටහිර වෛද්‍ය ක්‍රමය ඉස්මතුවුණු සමාජයකට හෙළ වෙදකමේ වටිනාකම් නොදැනෙන නිසාද?

අද හැම දේම පිළිගන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ විද්‍යාගාරවල ඔප්පු කරල පෙන්නුවොත් විතරයි. හැබැයි අපේ දක්ෂ පාරම්පරික හෙළ වෛද්‍යවරු මේ කිසිම දෙයක් නැතිව බොහෝ රෝග බොහොම දක්ෂ විදිහට නිට්ටාවටම සුවපත් කරනව. හෙළ වෛද්‍ය ක්‍රමයෙ පුද්ගලය මත තමයි ඖෂධ නියම කරන්නෙ. එතනදි පුද්ගලයගෙ විශේෂතා මත ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයා දක්ෂ වෙනව. ඒත් බටහිර ක්‍රමය තුළ යම් රෝගයක් පුද්ගලයන් කීප දෙනෙක්ට වැලඳුනත් තියෙන්නෙ එකම බෙහෙත් වට්ටෝරුව. සිංහල වෛද්‍ය ක්‍රමය තුළ එකම ඖෂධය පුද්ගලයා ගෙන් පුද්ගලයා සහ රෝගය අනුව විවිධ අනුපාත අනුව තමයි භාවිත කරන්නෙ. ඒක තීරණය කරන්නෙ වෛද්‍යවරයා. ඒ නිසා අපේ හෙළ වෛද්‍ය ක්‍රමය ගැන පරීක්ෂණ නිරීක්ෂණ මත නිගමන ගැනීමට යාම ප්‍රායෝගික නෑ. පර්‌යේෂණාගාරවල ඔප්පුකරන වෛද්‍ය ක්‍රමයක් අපේ වෛද්‍ය ක්‍රමය තුළ නෑ. ඒ වුණත් අද වෙද්දි අපේ ඖෂධ පර්‌යේෂණාගාරවලදි ඔප්පුවෙමින් තියෙනව යම් යම් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ බව.

මේ දිනවල සමාජ මාධ්‍යවලත් විවිධ අත්බෙහෙත් පිළිබඳ සඳහන් වෙනවා. විශේෂයෙන්ම පාරම්පරික සිංහල බෙහෙත් භාවිතයෙන් සකස් කළ ඖෂධ ගැන තමයි ඒවායේ සඳහන් වෙන්නේ…

ඔව්, අපි දකිනව දේශීය යැයි පවසන විවිධ වෛද්‍යවරු විවිධ ප්‍රකාශ, විවිධ බෙහෙත් වට්ටෝරු නිකුත් කර තියෙනවා. හැබැයි ඒවා වෛද්‍ය විද්‍යානුකූලව, නීත්‍යානුකූලව පිළිගත් බවක් අමාත්‍යාංශය විදිහට කොතැනකවත් සඳහන් කර නෑ. ඒ වගේම දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ගැන මේ කිසිම දෙයක් දන්නෙ නැති පිරිසක් ‘කොරෝනා හදාගන්න; මම හොඳ කරන්නම්’ කියමින් ජනතාව මුළාවට පත්කිරීම දේශීය වෛද්‍ය ක්‍රමය වළපල්ලට යැවීමේ වෑයමක්. වෛද්‍ය සදාචාරයට අනුව එහෙම ප්‍රකාශ කරන්න බෑ. කාටවත් කියන්න බෑ අහවල් ලෙඩේ මට විතරයි සනීප කරන්න පුළුවන් කියල. සමාජ මාධ්‍ය තුළ මේ විදිහට හෙළ වෙදකම අවභාවිත වෙනවා අපි නිතර නිතර දකිනවා. කොරෝනා වයිරසය ගැන කිසි දෙයක් නොදන්න, දේශීය වෛද්‍ය ක්‍රම ගැන කිසිම දැනුමක් නැති ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ හෙළ වෙදකම ගැන සමාජය තුළ තියෙන විශ්වාසය බිඳ වැටීමට හේතුවක් වෙලා තියෙනවා. විෂය හොඳින් ප්‍රගුණ කරපු දේශීය වෛද්‍යවරුන් අතින් කිසිම වැරැද්දක් වෙන්නෙ නෑ.

එවැනි හොර වෙද්දු වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මොන වගේ ක්‍රියාමාර්ගයන්ද අරන් තියෙන්නේ… ?

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එවැනි වෛද්‍යවරු ලියාපදිංචි වෛද්‍යවරුද කියල සොයාබලා ඔවුන්ට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා. ජනතාව මුළාවට පත්කරන පුද්ගලයන් නියාමනය කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට තියෙනවා.

පාරම්පරික වෛද්‍යවරයෙක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තුළ ලියාපදිංචි කිරීමේදී මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්නෙ…?

මේ ලියාපදිංචි කිරීම විවිධ කාල සීමාවලදී විවිධාකාරයෙන් සිද්ධවෙලා තියෙනවා. ඒක නිසි අධ්‍යයනයකින් සිදුවුණ අවස්ථා වගේම නොවුණු අවස්ථාත් තියෙනවා. ඒ කියන්නෙ දේශපාලන හිතවත්කම්, පුද්ගලික දැන හැඳුනුම්කම් මත මේ ලියාපදිංචි වීම් සිදුවුණු අවස්ථාත් තියෙනවා. ඒ නිසා කිසිම පදනමක් නැතිව ලියාපදිංචිය ගත්ත වෛද්‍යවරුන් ඉන්නවා. නමුත් අද වෙද්දී මේ ලියාපදිංචිය වෙනුවෙන් නිශ්චිත ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. එතනදී පාරම්පරික තත්ත්වය හරියටම තහවුරු කරගෙන තමයි ඒ ලියාපදිංචිය කරන්නෙ. එතනදි ඔහු ඇත්තටම පාරම්පරික වෛද්‍යවරයෙක්ද, ඔහු වෛද්‍යකර්මයේ යෙදෙනවාද, වෛද්‍යකර්මයේ යෙදෙන ප්‍රදේශයේ ජනතාවගෙන්, ග්‍රාමසේවා නිලධාරියාගෙන්, ප්‍රාදේශීය ලේකම්ගෙන්, පළාත් ආයුර්වේද කොමසාරිස්ගෙන් හරියටම තොරතුරු අරගෙන ඒවා පදනම් කරගෙන තමයි ලියාපදිංචිය දෙන්නෙ. ඒ ලියාපදිංචිය දීමෙදි ලිඛිත හා වාචික පරීක්ෂණ පවත්වනව.

ඒ පරීක්ෂණ සම්බන්ධවත් පසුගිය සමයේ යම් යම් ගැටලු පැනනැගී තිබුණ. මොකද සමහර පාරම්පරික වෛද්‍යවරු එක් විෂය පථයකට පමණයි පාරම්පරික වෛද්‍යවරු බවට පත්වී තියෙන්නේ. උදාහරණයකට සමහර විට ඔහු කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් විතරයි. එවැනි අයට සර්වාංග ලියාපදිංචියක් ලැබෙන්නෙ නෑ. ඔහු විශේෂ වෙන්නෙ කැඩුම් බිඳුම් වෛද්‍යකර්මයට විතරයි. ඒ නිසා එවැනි අයගෙ දැනුම් පද්ධතිය පරීක්ෂණයට ලක්කරන්න ඕන ඔහුගෙ විෂය පථයට අනුව. නමුත් එවැනි තත්ත්වයන්ට පටහැනි දේවල් අතීතයේ සිදුවුණු අවස්ථාත් තිබුණ.

‘දේශීය වෛද්‍ය ක්‍රමය’ කියන එක ගැන විවිධ විවාදයන් තියෙනව. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නෙ අපේ පාරම්පරික හෙළ වෙදකමද? නැත්නම් ඉන්දියාවෙන් අපට ලැබුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයද? නැත්නම් මේ හැමදේකම මිශ්‍රණයක්ද?

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ මේ රට ඇතුළෙ තියෙන සියලු වෛද්‍ය ක්‍රමයන් නියෝජනය වෙනවා; බටහිර වෛද්‍ය ක්‍රමය හැරෙන්න. ඉන්දියාව තුළ ගොඩනැගුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අද වෙද්දී ලංකාව තුළ ස්ථාපිත වුණු වෛද්‍ය ක්‍රමයක්. ඒ ආභාෂය අපේ රට තුළ තියෙන බොහෝ වෛද්‍ය ක්‍රමවලට අනුගත වෙලා තියෙනවා. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රමයට මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් ඇතුළත් වෙනවා.

අනෙක තමයි පාරම්පරික හෙළ වෛද්‍ය ක්‍රමය. ඒක අපට ආවේණික අවුරුදු දහස් ගාණක් තිස්සේ පවත්වාගෙන ආපු වෛද්‍ය ක්‍රමයක්. දකුණු ඉන්දියානු දෙමළ ජනතාව ඇසුරේ ක්‍රියාත්මක වෛද්‍ය ක්‍රමය තමයි ‘සිද්ධ’. අපටත් ඒ ආභාෂය ලැබිල තියෙනවා. යාපනයෙ සිද්ධ වෛද්‍ය පීඨයක් තියෙනව. ‘යුනානි’ කියන්නෙ මැදපෙරදිග කලාපයේ ඇතිවුණ වෛද්‍ය ක්‍රමයක්. ඒක මුස්ලිම් ජනතාව හරහා අපට සම්ප්‍රේෂණවෙලා තියෙනව. ඒ වගෙ අපේ රට තුළ තියෙන මේ හැම වෛද්‍ය ක්‍රමයක්ම අද වෙද්දී දේශීය වෛද්‍ය ක්‍රමයට තමයි අයිති වෙන්නෙ.

වෛද්‍ය සුජීව විතානගේ

*********************************************

පරීක්ෂණ මුකුත් නැතිව ගෙදර ඉදන් තමන්ටම කොරෝනා හදුනා ගත හැකි ක්‍රමයක්

(29.10.2020 – aruna.lk)

ඔබ COVID-19 ආසාදිතයෙක්දැයි හඳුනා ගැනීම සඳහා ඔබේ නාසය ඔබට ම හෝඩුවාවක් ලබා දෙන බව සින්සිනාටි විශ්ව විද්‍යාලයේ කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥයෙක් පවසනවා.

සින්සිනාටි යනු එක්සත් රාජධානියේ ඔහියෝ වල පිහිටි ඉතා ම පැරණි විශ්ව විද්‍යාලයක්.

ගඳ සුවඳ දැනීම නැතිවීම COVID-19 ආසාදනයේ ප්‍රධාන දර්ශකයක් විය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

COVID-19 හි භෞතවේදය තීරණය කිරීමේදී නාස් කුහරයේ ඇති වැදගත්කම වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් හඳුනාගෙන ඇති බව නාසයේ සහ කෝඨරකවල (Sinus) රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සින්සිනාටි වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය අහමඩ් සේදගාට් පැහැදිලි කරනවා.

COVID-19 සාමාන්‍යයෙන්, නාසය අවහිරවීම හෝ සොටු නිෂ්පාදනය වැනි රෝග ලක්ෂණ (මේවා සාමාන්‍යයෙන් වෛරස් සෙම්ප්‍රතිශ්‍යාවලදී ඇති වන රෝග ලක්ෂණයන්ය.) සමග සම්බන්ධ නොවන බව ඔහු පවසනවා. COVID-19 වෙනත් සාමාන්‍ය සෘතුමය අසාත්මිකතාවන්ගෙන් (Seasonal Allergies) වෙන්කර හඳුනා ගැනීමට තරමක් පහසු වන්නේ ද මේ වෙනස නිසයි.

COVID-19 වෛරසය නාසයේ රෝග ලක්ෂණ වල තරමක් අද්විතීය සංයෝජනයක් සමඟ සම්බන්ධ වන බව ඔහු පවසනවා. කෙනෙකුගේ නාස් කුහරයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ම ගඳ සුවඳ දැනීම නැතිවීම, ‘ඇනොස්මියා’ (Anosmia) ලෙස හැඳින් වෙනවා. එය සිංහලෙන් හඳුන්වන්නේ “අවඝ්‍රාණය” ලෙසයි. මෙසේ හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය COVID-19 රෝගයේ හොඳ අනාවැකියක් වන අතර එය “අනුමාන COVID-19 තත්ත්වයක්” ලෙස සලකා වහාම එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට ලක්වීමට පෙළඹ විය යුතු බවත් ඔහු පවසනවා.

COVID-19 වෛරසය ආසාදනය වන බොහෝ පුද්ගලයින් වෛරසයට නිරාවරණය වී දින දෙකේ සිට 14 දක්වා කාලයක දී උණ, කැස්ස සහ හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ පළ කරනවා. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ නිරන්තර පීඩනයක් හෝ පපුවේ වේදනාවක් හෝ ව්‍යාකූලත්වයක් හෝ නැගිට ගැනීමට නොහැකියාවක් හෝ ඇත්නම් නම් වෛද්‍ය ආධාර අවශ්‍ය වෙනවා.එහෙත් බොහෝ දෙනෙකුට එවැනි ආධාර නොමැතිව සුවය ලැබෙනවා.

COVID-19 වෛරසය නිපදවීම නාසය තුළ ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය එම රෝගීයා තවමත් රෝග ලක්ෂණ පළ නොකරන හෝ ඉතා මෘදු රෝග ලක්ෂණ පමණක් පළ කරන රෝගයේ මුල් අවධියේදී සිදු වන බවයි ඔහු පවසන්නේ. එවැනි පුද්ගලයින් කිවිසුම් මගින් ඉතා කුඩා බිඳිති ලෙස හෝ නාසය අල්ලා වෙනත් පෘෂ්ඨ ස්පර්ශ කිරීම මගින් හෝ මෙම වෛරසය ව්‍යාප්ත කරනවා.

නාසයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය “COVID-19 හි අතීශය නිශ්චිත දර්ශකයක්” බවයි ඔහු පවසන්නේ. ඔහු මෙම සොයා ගැනීම කරන්නේ වර්තමාන කොරෝනා වෛරසයට සාපේක්ෂව මිනිසාට පීඩා කරන වෙනත් කෝඨරක(Sinus) හා නාසයේ ආබාධ පිළිබඳව කර ඇති අධ්‍යයන 19 ක් විශ්ලේෂණය කිරීමෙන්. පැරිස් වෛද්‍යවරුන් වන ඩොමිනික් සැල්මොන් සහ ඇලයින් කෝරේ (Dominique Salmon and Alain Corré) විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයක් ගැන ද ඔහු ලිපියක සඳහන් කරනවා. එයින් පෙන්නුම් කරන්නේ නාසයේ වෙනත් බාධාවකින් තොරව ඇති වූ ඇනොස්මියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 55 දෙනෙකුගෙන් 94% ක්ම PCR මගින් COVID-19 සඳහා ධනාත්මක වී ඇති බවයි.

පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වූ ඕනෑම වේලාවක ගඳ සුවඳ දැනීම නැතිවීම සිදුවිය හැකි නමුත් මෙය ආරම්භක රෝග ලක්ෂණයක් ලෙස ඇති වූ විට එය විශේෂයෙන් උපදේශාත්මක බව ඔහු පවසනවා.

කෙනෙකුගේ ගඳ සුවඳ හදිසියේ නැතිවීම තමාට COVID-19 ඇතැයි සිතීමට බොහෝ දෙනෙක්ව පොළඹවන්නේ නැති බව ඔහු පවසනවා. මෙවැනි පුද්ගලයින් සුපුරුදු පරිදි තම ව්‍යාපාර සහ රාජකාරි කටයුතු කරගෙන යන අතර එමගින් ඔවුන් මෙ⁣ම රෝගයේ වාහකයින් ලෙස ද ක්‍රියා කරනවා.

නාස් කුහරය යනු COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සිරුරට ඇතුල් වන හා ආසාදනයට ලක් වන ස්ථානය විය හැකි බවයි පවසන්නේ.

– වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු –

අහමඩ් සෙඩාගාට්ගේ මෙම නිගමනය
https://onlinelibrary.wiley.com/doi/epdf/10.1002/lio2.384
ඔස්සේ ඔබට බාගත හැකියි.

මේ පිළිබඳව වැඩිදුර කියවීමට පහත දැක්වෙන දිගුව ඔස්සේ යන්න.
https://www.newswise.com/coronavirus/your-nose-may-know-more-when-it-comes-to-covid-19/?article_id=730007

***************************************

(29.10.2020 – 06:50 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ පවා වාහන ගමනා ගමනය අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සීමාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන වෙත එක්වෙමින්.

ඒ අනුව බස්නාහිර පළාතට කෙසේ හෝ ඇතුල් වුවද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට ඉන් පිටවීමට කිසිදු අවසරයක් හිමි නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර අද (29) උදෑසන 6 සිට බස්නාහිර පළාතේ සිට පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසි කිරීමකට ලක්කරන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා බස්නාහිර පලාතට ඇතුල්වන සහ පිටවන ස්ථානවල විශේෂ මාර්ග බාධක යොදා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

එහිදී අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ කරුණකට හැරුණුකොට බස්නාහිර පළාතේ සිට රථවාහන පිටත්වීම අත්හිටුවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම අවස්ථාවන්හිදී සිය සේවා හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම සති අන්තයේ බස්නාහිර පළාතේ නොවුනද වෙනත් පළාත්වල ජනතාවට එක්රැස්ව සිදුකරන කිසිදු කටයුත්තකට අවසර හිමි නොවන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කරන්නේ ෴

***************************************

(29.10.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

2019 උසස් පෙළ කඩයිම් ලකුණු මත විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් කණ්ඩායමක් සමග අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපියක් භාරදීම සඳහා ඊයේ (28) පැමිණියා.

කෙසේ වෙතත්, එය භාර ගැනීමට බලධාරින් ඉදිරිපත් නොවූ බවයි ඔවුන් චෝදනා කළේ ෴

***************************************

(29.10.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ ආයතන ප්‍රධානීන් වෙත අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අප්‍රේල් 18 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සහ මැයි 14 නිකුත් කළ චක්‍රලේඛය වෙත අවධානය යොමුකරන ලෙසයි.

එම චක්‍රලේඛවල සඳහන් වන්නේ කාර්යාලයට ප්‍රවේශවීමට පෙර අත් පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිය යුතු අතර, රජයේ වියදමින් මුඛ ආවරණ, සනීපාරක්ෂක සේදුම් දියර ලබාදීම සඳහා වැඩපිලිවෙලක් යෙදිය යුතු බවයි.

එමෙන්ම, අවශ්‍ය වන්නේ නම් අත්වැසුම් සැපයීමටද, විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමටද කටයුතු කළ යුතු බව එහි දැක්වෙනවා.

කාන්තා නිලධාරිනියන් සඳහා සාරිය හෝ ඔසරිය ඇඳීම අනිවාර්ය නොවන අතර, පිරිමි මාණ්ඩලික නිලධාරීන් ටයිපටිය පැළඳීම අනිවාර්ය නොවන බවද අදාළ චක්‍රලේඛයේ සදහන් ෴

+++++++++++++++

(29.10.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 335 දෙනෙකු ඊයේ (28) වාර්තා වීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 9000 ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9205 ක් ලෙස සටහන් වන අතර, තවදුරටත් රෝගීන් 5111 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ (28) වාර්තා වූ ආසාදිතයින් 335 දෙනාගෙන් 202 නෙකු ආශ්‍රිතයින් වන අතර, ඔවුන්ගෙන් ද 140 දෙනෙකු වාර්තා වන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, 106 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයින් වනවා.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 27 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් බවට ඊයේ (28) තහවුරු වුණා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරුවලින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5731 ක්.

මේ අතර, වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර, ඊයේ (28) දිනයේ තවත් 32 නෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4075 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරියෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බව ද ඊයේ (28) වාර්තා වුණා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දුන් උපදෙස් වලට අනුවයි.

මේ අතර, මතුගම – වලල්ලාවිට – මාකලන්දාව ප්‍රදේශයේ මාස 3 තුනක බිළිඳියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේ මේ වනවිට එම ප්‍රදේශය හුදකලා කර ඇති අතර, එම බිළිඳියගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. ඔවුන් දෙදෙනාම (2) මේ වනවිට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, දින කිහිපයක් නිව්මෝනියා රෝගය වැළඳි රෝහල්ගතව ප්‍රතිකාර ලබා මියගිය, මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ආදාහනය නිරෝධායන නීතිරීති අනුව ඊයේ (28) සිදුකෙරුණා.

ඇහැළියගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු ඊයේ (28) වාර්තා විමත් සමඟ ඇහැළිගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පැනවිමට තීරණය කර තිබෙනවා.

මේ අතර, පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීමට මේ වනවිටත්, හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

++++++++++++++++++

(29.10.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා (02) අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා (02) දිනයෙන් පසුව ද අඛන්ඩව එය ක්‍රියාත්මක බවයි.

එහෙත්, අද (29) මධ්‍යම රාත්‍රියේ සිට අලුතින් පනවන ප්‍රදේශවල ඇදිරි නීතිය අනිවාර්යයෙන්ම සඳුදා (02) අලුයම 5 ඉවත් වන බව ද ඔහු ප්‍රකාශ කළා.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් අද (29) පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබෙන බවද, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

එමෙන්ම, අද (29) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 73 දෙනෙකු සහ වාහන 3 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1235 ක් සහ වාහන 177 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර, පොලිස් මූලස්ථානයේ ඊයේ (28) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් සිවිල් පොලිස් නිලධාරින් අද (29) සිට යොදවන බවයි ෴

+++++++++++++++++++

(29.10.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළේ පොලිස් මුරපොළට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම මත්ස්‍ය වෙළදපොළ ආශ්‍රිතව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ පොලිස් මුරපොළේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ගේද පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය දා සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව අදාළ පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, වැල්ලවත්ත – කොලින්වුඩ් පටුමගේ පදිංචිව සිටි ඉන්දීය ජාතිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ ෴

+++++++++++++++++

(29.10.2020 – 11:17 +0530 – hirunews.lk/sinhala)

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (29) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු මෙලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වූවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මහා සංඝරත්නය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියා.

එහිදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු වැඩ බාරගැනීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් බාරදෙනු ලැබුවා.

සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා :

“කොවිඩ්-19 වසංගත තත්ත්වයක් මේ වනවිට ලොව පුරා තිබෙනවා. අප රටෙන් ද නව පොකුරු වාර්තා වුනා. සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදා එක්ව එම තත්ත්වය පාලනය සදහා කටයුතු කරනවා. සමහර ප්‍රදේශවල නිරෝධායන ඇඳිරිනීති සහ සංචරණ සීමා පනවා තිබෙනවා. ජනතාව ප්‍රධාන මාර්ග වල සංචරණය සීමා කළත් අතුරු මාර්ගවල සංචරණ සිදුවන බව වාර්තා වනවා. ජනතාව ලබාදෙන සහයෝගය මත ඉක්මණින් මෙම තත්ත්වය පාලනය කළ හැකියි. මෙම කටයුතු සදහා ජනතාවගේ සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.”

++++++++++++++++++

(29.10.2020 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 335 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 237 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම පිරිස අතරින් ද 161 දෙනෙකු කොළඹ 01 – 15 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, කුරුණෑගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 4 බැගින් වාර්තා වී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන අතර, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ ෴

++++++++++++++++++

(29.10.2020 – 11:33 +0530 – hirunews.lk/sinhala)

හුදෙකළා කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියලු ගම්මාන හුදෙකළා ගම්මාන ලෙස නම් කිරීමෙන් මේ මොහොතේ සිට ඉවත්කරන බව කොරෝනා වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දී තිබෙනවා.

පසුගිය 17 වන දා මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කිරීමට පියවර ගැනුනේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හමුවීමත් සමඟයි.

මේ අතර, අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා (02) අලුයම පහ දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ වෙසෙන පුද්ගලයින් වෙනත් පළාත්වලට යාම සීමා කිරීමේ අරමුණින් මේ වනවිටත් පළාත් සීමාවන්වල පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුකරන බවයි අද (29) උදෑසන විකාශය වූ ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එසේම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමන කටයුතුද දැඩි සීමා කිරීම්වලට යටත්ව සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයේ ඇති නීතිරීති කඩකිරීම සහ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1235 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 177 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, දිවයිනේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වෙළඳසැල් සහ ඔසුසැල් අද (29) පෙරවරු 8 ට විවෘත වූ අතර, ඒවා රාත්‍රී 10 ට යළි වසා දැමිය යුතු වනවා.

මේ අතර ලබන සඳුදා (02) සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් විවෘතව පවතින්නේ සඳුදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණයි.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත වන්නේ අඟහරුවාදා සහ සිකුරාදා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණක් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් විවෘතවීමත් සමඟ බොහෝ ප්‍රදේශවල පුද්ගලයින් නිරෝධායන නීතිරීති ආරක්ෂා කරමින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු අතර, ඇතැම් ප්‍රදේශවල එම නීතිරීති කඩකරන ආකාරයක් දක්නට ලැබුණා.

*********************************************

දේශපාලන බලපෑම් සිදුවූ බව හිටපු එෆ්.සී.අයි.ඩී ප්‍රධානියා පිලිගනී – නාම ලේඛනයක් කොමිසමට

(29.10.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේ දී පිහිටවනු ලැබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරනු ලැබූ විමර්ශනවලට, එවක සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වූ බව එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ප්‍රකාශ කළා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (28) සාක්ෂි ලබාදෙමින්.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකනායක සහ හිටපු භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංගට ද ඊයේ (28) ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීනි නිකුත් කළත් ඔවුන් එහි පෙනී සිටියේ නැහැ.

එබැවින් ඔවුන් කොමිසම මඟ හැරි පුද්ගලයන් ලෙස වාර්තා කරන බවයි සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

රාජපක්ෂවරුන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට තමාට බලපෑම් කළ ප්‍රබලයින්ගේ නම් ඇතුළත් රහස්‍ය ලේඛනයක් රවී වෛද්‍යලංකාර, සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වෙත ලබා දුන්නා.

අනතුරුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර වගඋත්තරකරුවකු කරමින් ඉදිරිපත්ව තිබූ පැමිණිලි කිහිපයකට අදාළව කොමිසම හමුවේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා.

අදාල ලේඛනයෙහි නම් සඳහන් පිරිස් සන්නාහ සන්නද්ධව හැසිරෙමින් සිටින බවත් ඒ පිළිබඳව අනාවරණය කළහොත් තමාට ජීවිත තර්ජන ඇතිවිය හැකි බවත් රවී වෛද්‍යාලංකාර කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ කාර්ය පටිපාටියට අනුව නීත්‍යානුකුල රාමුවක සිට පොලිස් ආඥා පනත යටතේ පිහිටවනු ලැබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සියලු‍ම විමර්ශන කටයුතු සිදු කළ බව රවී වෛද්‍යලංකාර වැඩිදුරටත් කියා සිටියා.

“ස්වාමීනි, මුලින්ම දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් පැමිණිලි කිහිපයක් ලැබුණා. බාහිර පාර්ශ්වයන්ගෙන් ද පැමිණිලි ලැබුණා. එම පැමිණිලි සියල්ලම පොලිස්පතිවරයාට යොමු කළා. ඒ අනුමැතියට යටත්ව තමයි විමර්ශන කළේ. පොලිස්පති එම පැමිණිලි පරික්ෂා කරලා සී.අයි.ඩී. යටද, සී.සී.ඩී. යටද, එෆ්.සී.අයි.ඩී. යටද දෙන්නෙ කියලා තීරණය කළේ එතුමා.”

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සිටියදී තමන්ට සිදු වූ අසාධාරණකම් සමාජගත කිරිමට අවශ්‍ය වූ බවත් විශ්‍රාම යාමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍යයට අනාවරණය කළේ තමාගේ ප්‍රතිරූපය සහ ගෞරවය රැකගැනීම උදෙසා බවත් ‍රවී වෛද්‍යලංකාර කොමිසම කියා සිටියා.

හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ පටයක් ද මෙහිදී කොමිසම හමුවේ සාක්ෂි සඳහා වාදනය කෙරුණා.

2019 වර්ෂයේදී පුවත්පතකට ලබා දුන් සාකච්ඡාවක සතියකට වරක් හෝ රාජපක්ෂවරයෙකු අත්අඩංගුවට ගත යුතු බවට අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළ බව රවී වෛද්‍යාලංකාර සඳහන් කර තිබුණා.

සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ඔබට ප්‍රතිරූපය රැක ගැනීමේ අවශ්‍යතාව මතු වුණේ විශ්‍රාම ගිය පසුව නේද යනුවෙන්.

පොලිස් සේවයේ යෙදී සිටි සමයේ නීතිමය වශයෙන් තමාට එවැනි අනාවරණයක් සිදුකළ නොහැකි වූ බවයි රවි වෛද්‍යලංකාර ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ.

රවී වෛද්‍යලංකාර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවකට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සිටි ගෝඨාභය රාජපක්ෂට සිදුවන අසාධාරණය පිළිබඳව නිහඬව සිටීම සුදුසු නොවන බව තමන්ට වැටහී ගිය නිසා සාක්ෂි නොමැතිව ඔහු අත්අඩංගුවට ගැනීමට තමා කටයුතු නොකළ බවයි.

එෆ්.සී.අයි.ඩී. යේ කටයුතු කරමින් සිටියදී තමා දැඩි මානසික පීඩනයකට හා දේශපාලන බලපෑමකට ලක් වූ බවත් තමා මුහුණ දුන් ඉරණම කිසිදු රාජ්‍ය සේවකයෙකුට අත් නොවිය යුතු බවද ඔහු කොමිසමට කියා සිටියා.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ වීඩියෝ පටයක් කොමිසම හමුවේ වාදනය කළ අතර නිලමේවරයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස එෆ්.සී.අයි.ඩි. යේ ප්‍රධානියාට දැනුම් දී ඇති බවට පූජිත ජයසුන්දර දුරකථන ඔස්සේ තවත් අයකුට පවසන ආකාරය එහි සඳහන්.

සභාපති විනිසුරුවරයා එහිදී විමසා සිටියේ ‘ඒ අනුව තමන් නිලමෙට මොකද කළේ’ යනුවෙන්.

“අත්අඩංගුවට ගත්තේ නැහැ” යනුවෙන් වෛද්‍යාලංකාර පිළිතුරු දුන්නා.

“‍අත්අඩංගුවට ගන්න එපා කියපු අය ගත්තෙ නැහැ, වගේම අත්අඩංගුවට ගන්න කියපු අයත් අත්අඩංගුවට ගන්න ඇති නේද?”‍ යනුවෙන් සභාපති විනිසුරුවරයා යළි ප්‍රශ්න කළ අතර, රවී වෛද්‍යාලංකාර පිළිතුරු දුන්නේ,

“ප්‍රශ්නගත තත්ත්වයන් නිසා නීතිපති ගෙන් අහලයි අත්අඩංගුවට ගත්තෙ.” යනුවෙන්.

අරලියගහ මන්දිරයේ පවත්වන ලද රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, චම්පික රණවක, මලික් සමරවික්‍රම, සහ අනුර කුමාර සහභාගී වූ රැස්වීම් සඳහා තමා ද සහභාගි වූ බව හරස් ප්‍රශ්න විමසීමේ දී රවි වෛද්‍යලංකාර පිළිගනු ලැබුවා.

මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වූ බවත් එබැවින් තමා මාධ්‍යයට ඒ පිළිබඳ ව කරුණු ඉදිරිපත් කළ බවත් රවී වෛද්‍යලංකාර සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසුවේ කොමිෂන් සභාවට ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂිවලින් එෆ්.සී.අයි.ඩී. එකෙන් කරපු හැම පරීක්ෂණයකම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරන ලෙස පැමිණිලිකරුවන්ට බලපෑම් කර ඇති බවට කොමිසම හමුවේ පෙර පැමිණිලිවල සාක්ෂි මඟින් කරුණු අනාවරණය වී ඇති බවයි.

“ප්‍රතික්ෂේප කරනවා. එහෙම කිසිම බලපෑමක් අපි කරල නැහැ.” යනුවෙන් රවී වෛද්‍යාලංකාර පිළිතුරු දුන්නා.

මේ අතර, කොමිසම හමුවේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් තමාගෙන් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කළ බවයි.

එෆ්.සී.අයි.ඩී. නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කළ බවත් 2015 අප්‍රේල් 22 දින තමන්ව අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිහාල් ජයතිලක කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

***************************************

(29.10.2020 – 09:26 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ අද (29) උදෑසන 5 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 52 ක්.

මේ අතර, පිළියන්දල ප්‍රදේශයේදී ද හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 12 ක් ද සමඟයි ෴

***************************************

(29.10.2020 – 11:54 +0530 – hirunews.lk/sinhala)

කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද (29) දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව කථානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර තිබෙනවා.

තුනෙන් දෙකක බහුතර බලයකින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

***************************************

(29.10.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

සමඟි ජන බලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් එම පක්ෂය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ අත්සනින් යුතුව අද මෙම ලිපිය යොමු කර ඇති අතර එහි සමඟි ජන බලවේගයෙන් නෙරපූ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ නම් සඳහන් වනවා.

අදාළ ලිපියේ දැක්වෙන එම මන්ත්‍රීවරුන්ගේ නම් පහතින් :

ඩයනා ගමගේ
ඒ. අරවින්ද් කුමාර්
ඉෂාක් රහුමාන්
ෆයිසාල් කාසිම්
එම්.එම්.එම්. හාරිස්
එම්.එස්. තවුෆික්
නසීර් අහමඩ්
ඒ.ඒ.එස්.එම්. රහීම්
එස්.එම්.එම්. මුෂාරෆ්

මෙම මන්ත්‍රීවරුන් 09 දෙනා සමඟි ජන බලවේගයෙන් නෙරපීමට තීරණය කර ඇති බැවින් ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සිය මන්ත්‍රී කණඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙසයි එම ලිපියෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ.

මේ අතර, පක්ෂ නායක රැස්වීමක් මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ වී තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි ෴

***************************************

(29.10.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඔහුගෙන් ප්‍රමාණවත් ලෙස තොරතුරු අනාවරණය කරගැනීමට එවකට එහි අධ්‍යක්ෂකවරයා වූ ශානි අබේසේකරට වුවමනාවක් තිබී නැතැයි බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධව ඉතා ගැඹුරින් සොයා බලන බවයි.

***************************************

(29.10.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

කටාන – අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවස කොල්ල කෑම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එප්පාවල – කටියාව – යාය 5 ප්‍රදේශයේදියි.

එහිදී සැකකරුගේ හීනටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ මිදුලේ වළ දමා තිබූ රුපියල් 32,03,000 ක මුදලක් ද කටාන අපරාධ විමර්ශන අංශය විසින් සොයා ගැනුණා.

පසුගිය සැප්තැම්බර් 30 වන දා මෝටර් රථයකින් පැමිණි 7 දෙනෙකු අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී එහි සිටි පුද්ගලයින්ට ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *