තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 11 ක් වැසේ – 100 ක් නිරෝධායනයට

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 11 ක් වැසේ – 100 ක් නිරෝධායනයට

කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව මුහුණු ආවරණයක් ඇමරිකාවෙන්

කොවිඩ් තොරතුරු රැස් කරන නව ‘යෙදුම’ ජනපතිට හඳුන්වා දෙයි

*********************************************

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 11 ක් වැසේ – 100 ක් නිරෝධායනයට

(29.10.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 11 ක් වසා දමා එහි සේවකයන් 100 ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කළ බවයි තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්.පී.එස්.එල්. වාසල මහතා සඳහන් කළා.

මේ අතර, වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර, කොළඹ ජාතික රෝහලට ඊයේ (28) ඇතුළත් කළ දෙදෙනෙකු (2) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (29) දිනය තුළ අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

එමෙන්ම, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඒ, ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (29) උදෑසන එක්වෙමින්.

+++++++++++++++++++

ඊයේ (28) වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹ මහ නගර සභා බල සීමාවෙන් – සැකකටයුතු මරණ දෙකක් (2) ගැන පී.සී.ආර්. පරීක්ෂණ

ඊයේ (28) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 335 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 237 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම පිරිස අතරින් ද 161 දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 ක්, කුරුණෑගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 4 බැගින් වාර්තා වී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3 ක් වන අතර, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ (28) ආසාදිතයෙකු බැගින් වාර්තා වුණා.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළේ පොලිස් මුරපොළට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම මත්ස්‍ය වෙළදපොළ ආශ්‍රිතව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ පොලිස් මුරපොළේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ගේද පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය දා සිදුකළා.

වැල්ලවත්ත – කොලින්වුඩ් පටුමගේ පදිංචිව සිටි ඉන්දීය ජාතිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

ගාල්ල – අක්මීමන – තොටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ විදේශගතවීම සඳහා පෞද්ගලික රෝහලකින් සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණයකදියි.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ අසළ ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරත වූ මස්කෙලිය – ඩී – සයිඩ් තේ වතුයායේ පුද්ගලයින් 7 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 25 දෙනෙකු ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියා සිටියේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 411 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

නව ආසාදිතයින් 335 දෙනෙකු ඊයේ (28) වාර්තා වීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 9000 ඉක්මවා ගිය අතර, ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9205 ක් ලෙසයි සටහන් වන්නේ.

තවදුරටත් රෝගීන් 5111 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරුවලින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5731 ක් ෴

++++++++++++++++

(29.10.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

නිවෙස් වෙත ඖෂධ බෙදා හැරීමේදී ඖෂධශාලා බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළා.

නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ දී අවහිරතාවකින් තොරව ජනතාව වෙත ඖෂධ ලබාදීම තහවුරු කිරීම සඳහා මෙම අනුමැතිය ලබාදෙන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම කටයුතු සිදුකිරීමේදී නිරෝධායන සෞඛ්‍ය නීති සහ ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශවලට අනුව ඖෂධසැල් හිමියන් කටයුතු කළ යුතු වනවා ෴

+++++++++++++++

(29.10.2020 – 14:42 +0530 – hirunews.lk/sinhala)

නිවසේ නිරෝධායනය වෙමින් සිටි මුන්දලම ප්‍රදේශයේ කාන්තාවක් මියයාම හේතුවෙන් එම දේහයේ ආදාහන කටයුතු නියමිත සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලව නිකවැරටිය, බලගොල්ලාගම ආදාහනාගාරයේදී ඊයේ (28) පස්වරුවේ සිදු කෙරුණා.

වයස අවුරුදු 76 ක කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය කාන්තාවගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට කොවිඩ් 19 රෝගය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇය සමඟ නිරෝධායනයේ සිටි තවත් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති වීම හේතුවෙනුයි දේහයේ ආදාහන කටයුතු සෞඛ්‍ය නීතිරීති අනුව සිදුකිරීමට සෞඛ්‍ය අංශ නියෝග ලබාදී ඇත්තේ.

මේ අතර දේහයේ ආදාහන කටයුතු බලගොල්ලාගම ආදාහනාගාරයේදී සිදුකිරීමට පස්වරු 04:00 වන විටත් නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ අවසරය නොලැබීම හේතුවෙන් දේහය පැය 04 ක පමණ කාලයක් ආදාහනාගාරය අසල තබාගෙන සිටීමට එය රැගෙන ආ සෞඛ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසට සිදුවූ බව වාර්තා වනවා ෴

++++++++++++++++

කොවිඩ් ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 67 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4142ක් ලෙසයි ෴

++++++++++++++++

රටේ උද්ගත වී ඇති තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකා පැමිණීමෙන් වළකින ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රෙගරි වැව උද්‍යානය මෙන්ම සඳතැන්න ඇතුලු සංචාරක ස්ථාන කිහිපයක්ම මේ වනවිටත් වසා දමා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ෴

+++++++++++++++

(29.10.2020 – 16:14 +0530 – hirunews.lk/sinhala)

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර වෙනත් ඒකකයකින් විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වැළඳී ඇති බවට වාර්තාවීම ඊට හේතුව බවයි ෴

++++++++++++++

(29.10.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේ පිවිසුමේ ආරක්ෂක නිලධාරීන් හතරදෙනෙකුට (4) සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපනශාලාව පවත්වාගෙන යන පුද්ගලයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇති අතර, ඔහු හරහා මොවුන්ට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කරන්නේ.

ආපනශාලා හිමියා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ නමුත් ඔහු ආසාදිතයෙකු නොවන බවට හෙළිවී තිබෙනවා.

කෙසේ වෙතත් නිරෝධායනයට ලක් කර තිබූ අවස්ථාවේදී එම පුද්ගලයාට ආහාරපාන සපයා දී ඇත්තේ අදාළ රියදුරා විසින්.

වෛරසය ආසාදනය වූ ආරක්ෂක නිලධාරීන් හතරදෙනා (4) එම රියදුරාගේ ආශ්‍රිතයින් ලෙසට සැක කරනවා.

එමෙන්ම පවතින තත්ත්වය සළකා නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමීමට තීරණය කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 67 දෙනෙකු අද (29) දිනයේදීත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,142 දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++

(29.10.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala)

කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන යළි රෝහල් ගත කර තිබෙනවා.

මොහු අද (29) උදෑසන රෝහලෙන් පලාවිත් ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුවයි කළුතර – මහ වස්කඩුව ප්‍රදේශයේදී අල්ලාගෙන ඇත්තේ.

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මොහු පසුගියදා රෝහල් ගත කෙරුණේ කොරෝනා රෝගී ලක්ෂණ මතුවීම හේතුවෙන් ෴

+++++++++++++++++

(29.10.2020 – 17:35 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය පිළිබඳ එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව සමස්ථ බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති හෙට (30) සහ නොවැම්බර් 02 වන දින උදෑසන 5 දක්වා කාල සීමාව තුළ දුම්රිය ධාවනය පහත පරිදි සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

2020-10-30 – 2020-11-01
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ද බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද, හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වූ කිසිඳු දුම්රියක් ඉහත දිනදෙක තුළ ධාවනය නොවේ.

2020-10-31
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ධාවනය වන දුම්රිය, එම නියමිත වේලාවටම ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත ෴

+++++++++++++++++++

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 414 දෙනෙක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

නිරෝධායනයේ සිටි 62 ක් සහ ආශ්‍රිතන් 352 ක් මේ අතර වන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ෴

***************************************

(29.10.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ආනයනික මාළු, කරවල, උම්බලකඩ සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා.

වෙළඳපොළේ මාළු අලෙවිය අඩුවීමත් සමඟ ඒවා කරවල බවට පත්වීම නිසා දේශීය නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස බදු ඉහළ නැංවූ බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිලෝවකට 127 ක් ද, උම්බලකඩ කිලෝවකට රුපියල් 302 ක් ද, හාල්මැස්සන් කිලෝවකට රුපියලයක් (1) ද ලෙස මෙලෙස බදු ඉහළ නංවා තිබෙනවා ෴

***************************************

(29.10.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය තලවිල ප්‍රදේශයේ ගොවීන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මෝටර් ක්‍රියාකරවීම සඳහා ස්ථාපිත කෙරුණු සුර්ය බලශක්ති පැනල 28 ක් මේ වනවිට අක්‍රීයව ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ඊට වැය කළ ලක්ෂ ගණනක මුදල් අපතේ ගොස් ඇති බවයි.

***************************************

(29.10.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මීමුරේ – කයිකාවල, කුඹුක්ගොල්ල, හුනුකැටදෙකලා සහ පුස්සේඇළ යන ග්‍රාම සේවා වසම් 5 මැදිකර පිහිටා ඇති අවදානම් තත්තවයේ පවතින ඒදණ්ඩක් පිළිබඳව පසුගිය දිනක අප ‘රතු මිනිත්තුව’ විශේෂාංගය තුළින් වාර්තා කළා.

‘රතු මිනිත්තුව’ පුවතට කඩිනමින් අවධානය යොමුකළ බලධාරීන් මේ හරහා ස්ථිර පාළමක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

***************************************

(29.10.2020 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම එළඹෙන 03 වනදා පමණක් පැවැත්වීමට අද (29) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.

ඒ අනුව සෞඛ්‍ය නීති රීතිවලට අනුව 03 වනදා පෙරවරු 10 ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම දහවල් 12 දක්වා පමණක් පැවැත්වෙනු ඇති.

මීට පෙර ලබන මස 03 වනදා සිට දින 04 ක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබුණා ෴

***************************************

(29.10.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවෙයිස් මොහොමඩ් මහතා ප්‍රකාශ කළා.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අවශ්‍ය ඛණිජ තෙල් ප්‍රවාහනය කිරීමට ද පහසුකම් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

*********************************************

කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව මුහුණු ආවරණයක් ඇමරිකාවෙන්

(29.10.2020 – 15:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය විනාශ කළ හැකි මුහුණු ආවරණයක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.

රත්වූ තඹ දැලකින් සමන්විත අදාළ මුහුණු ආවරණය නැවත නැවත භාවිත කළ හැකි වන අතර, සේදීමද අවශ්‍ය නොවන බවයි එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

මෙම නව මුහුණු ආවරණය පැළඳීමෙන් ආශ්වාස කෙරෙන වාතය අදාළ රත්වූ තඹ දැල් හරහා ගමන් කිරීමේදී විනාශ වන අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ඕනෑම වෛරසයක් අක්‍රිය තත්ත්වයට පත්වන බව සඳහන්.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන්ට සහ පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු බස් රථ වැනි ස්ථානවලදී භාවිතයට ගත හැකි මුහුණු ආවරණයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි බවයි පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ.

දැනටමත් අදාළ මුහුණු ආවරණයේ මූලකෘති නිර්මාණය කිරීම ආරම්භ කර ඇති අතර, එය ඉතා නුදුරේදීම අත්හදා බැලීමට අපේක්ෂා කරන බව මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

(29.10.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

වසර 36 ක සේවා කාලයක් නිම කර නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.

2019 මැයි 29 වන දින ගුවන් හමුදාපති ධූරයට පත් සුමංගල ඩයස් මහතා මෙරට 17 වන ගුවන් හමුදාපතිවරයායි.

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළ ඔහු තම සේවා කාලය තුළ වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි සේවා පදක්කම, දේශපුත්‍ර සම්මානය, තෙවරක් රණශූර පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය ඇතුලු පදක්කම් රැසක් හිමි කරගෙන තිබෙනවා.

මව්බිම වෙනුවෙන් කළ විශිෂ්ඨ මෙහෙය අගය කළ ජනාධිපතිතුමා විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතාගේ විශ්‍රාම දිවියට සුභාශිංසන එක්කර සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴

***************************************

(29.10.2020 – 18:11 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව – වැල්ලවත්ත ප්‍රදේශයේ කලපුවක් ආශ්‍රිත ප්‍රදේශයක සඟවා තිබියදී ටී 56 උණ්ඩ 973 ක් අතුළුව අවි ආයුධ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සොයාගෙන තිබෙනවා.

එම උණ්ඩ වලට අමතරව ජීව අත්බෝම්බ දෙකක් (2) සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් (1) ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒවා කවුරුන් විසින් හෝ බහාලුමක දමා සඟවා තිබියදියි මෙලෙස සොයාගෙන ඇත්තේ ෴

*********************************************

කොවිඩ් තොරතුරු රැස් කරන නව ‘යෙදුම’ ජනපතිට හඳුන්වා දෙයි

(29.10.2020 – 18:33 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගතහැකි නව යෙදුමක් (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය විසින් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව යෙදුම ජනාධිපතිවරයා වෙත හඳුන්වා දීම අද (29) සිදුකෙරුණා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදීයි.

කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, පී.සී.ආර්. පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් මෙම නව යෙදුමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

අලුත්ම වර්ධනයන් පිළිබඳ තොරතුරු සෑම විටම දැනගත හැකි ලෙස මෙම යෙදුම සකස් විය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

***************************************

(29.10.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය සළකා ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු දිනකට සීමා කිරීමට අද (29) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව එළඹෙන තුන්වනදා (03) සිට දින හතරක් (4) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු, තුන්වනදා (03) පෙරවරු 10 ට ආරම්භ වී මධ්‍යහ්න 12 ට අවසන් කෙරෙනු ඇති.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකිර්ණයේදීයි.

ඒ අනුව ලබන 3 වනදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග දෙකක් (2) විවාදයට ගැනීමට නියමිතයි.

මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය එදිනට නොපැවැත්වීමටද තීරණය කර තිබෙනවා.

එසේම පාර්ලිමේන්තුව පැවැත්වෙන එළඹෙන 3 වනදා මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ඇතුලුවීමට ඉඩ ලබා නොදීමටද අද (29) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේ එදිනට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ටද අවසර නොලැබෙන බවයි.

පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කළ මාධ්‍යවේදියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *