රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවයි

දරු ප්‍රසූතියක් සිදුකළ රත්නපුරේ මවකට කොරෝනා – කුඩාවැල්ලේ දින 21 ක් වයසැති කුඩා දරුවෙකුගේ මවකට ද වෛරසය

උතුම් වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි (30)

උසස්පෙළ ගිණුම්කරණයට වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

*********************************************

රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවයි

(29.10.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5000 සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ බලපෑම මේ වන විට දිස්ත්‍රික්ක 23 ක් පුරා ව්‍යාප්තව පවතින බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ දක්වා මෙරට වාර්තාවී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 9205 ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5044 ක්.

මේ අතර, මෙරට කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 67 දෙනෙකු අද (29) දිනයේදීත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,142 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

+++++++++++++++++

අද (29) මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය

(29.10.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යාව අනුව ප්‍රදේශ කලාප වශයෙන් වෙන් කර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර බස්නාහිර පළාතටම බල පැවැත්වෙන පරිදි අද (29) මධ්‍යම රාත්‍රි 12 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනවා.

කෙසේ වෙතත් එය, ලබන සඳුදා (02) උදෑසන 5 ට ඉවත් කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 37 ක, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21 ක, කළුතර දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටියේ පොලිස් කොට්ඨාසය තුළ පොලිස් බල ප්‍රදේශ පහ බැගින් 10 ක මේ වනවිටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට අද (29) මධ්‍යම රාත්‍රි 12 ට පැනවෙන නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා (02) උදෑසන පහට අවසන් වුවද ඉහත සඳහන් පොලිස් බල ප්‍රදේශ 68 ට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා (02) පෙරවරුවේ ඉවත් නොකරන බවයි, ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (29) පෙරවරුවේ එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, දිවයිනේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වෙළඳසැල් සහ ඔසුසැල් අද (29) පෙරවරු 8 ට විවෘත වූ අතර, රාත්‍රී 10 ට යළි ඒවා වසා දැමිය යුතු වනවා.

ලබන සඳුදා (02) සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් විවෘතව පවතින්නේ සඳුදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණයි.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත වන්නේ අඟහරුවාදා සහ සිකුරාදා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණක් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

*********************************************

දරු ප්‍රසූතියක් සිදුකළ රත්නපුරේ මවකට කොරෝනා – කුඩාවැල්ලේ දින 21 ක් වයසැති කුඩා දරුවෙකුගේ මවකට ද වෛරසය

(29.10.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේ පිවිසුමේ ආරක්ෂක නිලධාරීන් හතරදෙනෙකුට (4) සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකුට (1) කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපනශාලාව පවත්වාගෙන යන පුද්ගලයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇති අතර, ඔහු හරහා මොවුන්ට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කරන්නේ.

ආපනශාලා හිමියා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති නමුත් ඔහු ආසාදිතයෙකු නොවන බවට හෙළිවී තිබෙනවා.

කෙසේ වෙතත් නිරෝධායනයට ලක් කර තිබූ අවස්ථාවේදී එම පුද්ගලයාට ආහාරපාන සපයා දී ඇත්තේ අදාළ රියදුරා විසින්.

වෛරසය ආසාදනය වූ ආරක්ෂක නිලධාරීන් හතරදෙනා (4) එම රියදුරාගේ ආශ්‍රිතයින් ලෙසට සැක කරනවා.

මේ අතර රත්නපුර මහරෝහලේ දරු ප්‍රසූතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (28) තහවුරු වුණා.

ඒ අනුව අදාළ මවට සිසේරියන් සැත්කම සිදුකළ එම රෝහලේ වෛද්‍යවරයන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම විකිරණ ඒකකයේ පිරිස් ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා කොළඹ වරායේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරියෙකු වන අතර ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, දරුවා සෞඛ්‍යාරක්ෂිතව නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, අද (29) දිනයේ රත්නපුර – ඇහැලියගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බවයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියා සිටියේ.

මේ අතර, තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේ දින 21 ක් වයසැති කුඩා දරුවෙකුගේ මවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (28) තහවුරු වීමත් සමඟ බිළිදා ද සමඟ ඇය මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇය කිරිබත්ගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් ඥාති නිවසක සතියක පමණ කාලයක් නැවතී සිට පැමිණ තිබීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකට අනුවයි ඇය ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

මේ අතර කඩවත – වැවහේනවත්ත පාරේ නිවසක කාන්තාවක් කොරෝනා රෝගියෙකු බවට තහවුරු වීමෙන් පසු අද (29) පෙරවරුවේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ඇය රැගෙන යාමට නිවසට පැමිණි අවස්ථාවේ එම කාන්තාවගේ පුත්‍රයා ඊට දැඩි ලෙස විරෝධය පළ කළ අතර කඩවත පොලීසියේ නිලධාරීන්ට ද ඔහු බැන වැදුණා.

කෙසේ වෙතත්, කඩවත පොලීසියේ ස්ථානාධිපතිවරයා කරුණු පැහැදිලි කර දීමෙන් පසු ඔහු සිය මව රැගෙන යාමට ඉඩ ලබාදුන් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට සහ බේරුවල වරායට පැමිණි ගාල්ල – කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයින් 3 දෙනෙකු ද ආසාදිතයින් ලෙස අද තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, ඇල්පිටිය – පිටිගල – මැටිවිලිය ප්‍රදේශයේ පදිංචි කොළඹ මහ නගර සභාවේ ඩෙංගු මර්දන ඒකකයේ සේවය කරන පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු ඩෙංගු මර්දන ඒකකයේ සේවයට අමතරව පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ස්ථානවල විෂබීජ හරණ කටයුතුවලට එක්වූ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මාතලේ – ලග්ගල ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු සහ හෙදියන් 05 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ලග්ගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අභිෂේක් සංකල්ප ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිත එම එක් හෙද නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයා ද කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති අතර, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවටයි හෙළි වී ඇත්තේ.

හුංගම – කලමැටිය ප්‍රදේශයේ නිවාස නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ අදාළ ආසාදිතයා කලමැටිය – ධීවර වරායට ගොස් ඇති බැවින් මසුන් මිලදී ගැනීමට සහ එහි පැමිණි සියළු පුද්ගලයින් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත හෝ හුංගම පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස හුංගම පොලීසිය ඉල්ලීමක් කරනවා.

මේ අතර හෙටට (30) යෙදෙන වප් පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් සංවිධාන කිරීමේදී නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලද පුද්ගලයින් සංඛ්‍යාව 50 කට සීමා කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා ඉල්ලීමක් කළා.

එමෙන්ම, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පවතින තත්වය සළකා නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමීමට තීරණය කළ බවයි.

එසේම නැවත දැනුම් දෙනතුරු නුවරඑළිය ප්‍රදේශයට විනෝද චාරිකා පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රෙගරි වැව උද්‍යානය මෙන්ම සඳතැන්න ඇතුලු සංචාරක ස්ථාන කිහිපයක්ම මේ වනවිටත් වසා දමා ඇති බවයි ඔහු කියා සිටියේ.

+++++++++++++++

(29.10.2020 – 22:26 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 53 ක්.

ඒ අනුව අද (29) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 582 ක් ෴

++++++++++++++++++

(30.10.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩු තත්වයක් සිදු නොවීම හේතුවෙන් ඉදිරි කාල සීමාව අවදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහට සජීවීව එක්වෙමින්.

මේ අතර මේ වනවිට ක්‍රියා විරහිත වී ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය කඩිනමින් යළි ක්‍රියාකරවීම සඳහා අදාළ යන්ත්‍රය යළි සකස්කිරීමට චීන විශේෂඥයන් මෙරටට පැමිණෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම නිරෝධායනය යනු සිරකර තැබීමක් නොව එය සමාජයටත් මහජන සුබ සිද්ධිය සඳහාත් සිදුකරන ක්‍රියාවලියක් බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++

(30.10.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (29) දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) උදෑසන ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන සමග සජීවීව එක්වෙමින්.

එහිදී ඇතැම් ස්ථානවල දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව බස්නාහිර පළාතේ පදිංචිකරුවන් විශාල පිරිසක් පළාතෙන් පිටව ගොස් ඇති බවට පළවන කටකතා සියල්ල අසත්‍ය බවයි ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහනට ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් එම නීතියට අවනත නොවී මේ වනවිටත් බස්නාහිර පළාතෙන් පිටව ගොස් සිටින පිරිස් සිටී නම් එම පුද්ගලයන්ට අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන හරහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති මෙම කාලසීමාවේ පිරිස් එක්රැස් වී ක්‍රීඩා කිරීමට හෝ කල්ලි කණ්ඩායම් ගැසී සිටීමට කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බවද ඔහු සඳහන් කළා.

ඒ පිළිබඳව විමර්ශනය කර කඩිනම් පියවර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.

මේ අතර ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට පුද්ගලයින් 50 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඇඳිරිනීතිය කඩ නොකර සිය නිවෙස්වලට වී සිටීමේ අවශ්‍යතාව ජනතාව අවබෝධ කරගැනීම සමාජ වගකීමක් බවයි ෴

++++++++++++++++

(30.10.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දස දහසට (10,000) ආසන්න වී තිබෙනවා.

ඒ ඊයේ (29) දිනයේ කොරෝනා 586 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9,791 ක් දක්වා ඉහළ යාමත් සමගයි.

මෙම 586 දෙනාගෙන් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් වන අතර, තවත් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 6,313 ක් දක්වා ඉහළ ගියා.

මෙම පොකුරු දෙක දිස්ත්‍රික්ක 23 ක් පුරා ව්‍යාප්තව පවතින බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික නැවියෙකු සහ ඉන්දුනීසියානු ජාතික නැවියන් තුන්දෙනෙකුද (3) ආසාදිතයන් බවට ඊයේ (29) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව 5,630 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 4,142 ක්.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ අනුව මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට අමතරව තවත් නිලධාරීන් හතරදෙනෙකු (4) කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම රත්ගම ප්‍රදේශයේ පදිංචි තරුණියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරන බවටයි වාර්තාවන්නේ.

එමෙන්ම යම් හදිසි අවස්ථාවක් මතුවුවහොත් ඇඳන් 180 ක ධාරිතාවකින් යුත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමටත්, අගුණකොළපැලැස්ස බන්ධනාගාර රෝහල සහ දුම්බර බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීමත් කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් ලබාගැනීමටත් අවධානය යොමුකර ඇති බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව කඨින පූජෝත්සව සඳහා සහභාගි කරගන්නා ගිහි පිරිස 30 කට සීමා කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම කඨින චීවරය තැන්පත් කර ඇති ස්ථානයේ සිට කෙටි දුරකින් විහාරස්ථානයට එම චීවරය වැඩම කරවන ලෙසයි එම නිවේදනය මගින් දැනුම් දෙන්නේ.

කඨින චීවරය සඟ සතු කොට පූජා කිරීමේදී භික්ෂූන් වහන්සේලා පස් නමක් පමණක් සහභාගි කරවාගන්නා ලෙසත් එමඟින් දැනුම්දී තිබෙනවා ෴

+++++++++++++++++

(30.10.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ දක්වා කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 1,259 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 178 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(30.10.2020 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇතුලුවීමට හෝ ඉන් පිටවීම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් සංචරණයන් සිදුකරන ඕනෑම පුද්ගලයෙකු පෙර දැනුම්දීමකින් තොරව අත්අඩංගුවට ගන්නා බවයි ඔහු කියා සිටියේ.

බස්නාහිර පළාතටම බල පැවැත්වෙන පරිදි ඊයේ (29) මධ්‍යම රාත්‍රි 12 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

එය ලබන සඳුදා උදෑසන 5 ට ඉවත් කෙරෙනවා. කෙසේ වෙතත් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 37 ම, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21 ක, කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ පහක සහ කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ පහේ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් තුනක්වත් (3) විවෘත කර තැබීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ද පවතින බවයි ෴

+++++++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයන් සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඊයේ (29) දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) උදෑසන ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන සමග සජීවීව එක්වෙමින්.

+++++++++++++++++

(30.10.2020 – 11:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (29) තහවුරු වූ පුද්ගලයින් 586 දෙනාගෙන් වැඩිම පිරිස මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් බවට හෙළිවී තිබෙනවා.

එම සංඛ්‍යාව 58 ක් වන අතර, කොටහේන – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සහ යාපනය – විඩත්තපලෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 37 බැගින් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම මට්ටක්කුලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද ඊයේ (29) දිනයේදී ආසාදිතයන් 32 කු සොයාගැනුනා ෴

+++++++++++++

පොලිසියෙන් ඇඳිරි නීති බලපත් ගන්න බැහැ – ක්‍රමවේදය මෙන්න

(30.10.2020 – 12:18 +0530 – truenews.lk)

බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවත් ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකුත් කිරීමට අවසර ලබාදී නැහැ.

මානූෂීය හේතූන් මත ඇදිරි නීති බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලින් පමණක් බවයි පොලිස් මූලස්ථාන ආරංචි පැවසුවේ.

එමෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනයට අවශ්‍ය ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කෙරෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ ෴

***************************************

(29.10.2020 – 20:30 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව යටතේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමක් කිසි විටෙකත් සිදුනොවන බවත් එලෙස අත්සන් කරන ආණ්ඩුවක කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (29) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර මෙරට සංචාරයේ නිරත වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඊයේ (28) පස්වරුවේ මාලදිවයින බලා පිටත් වූ අතර අද (29) ඔහු ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වුණා.

***************************************

(29.10.2020 – 21:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ‘නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය’ යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මෙම වසරේ අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ ‘නිවසේ සිට වැඩ කිරීමේ කාලය’ තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් අද (29) සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(29.10.2020 – 22:55 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේ දී පිහිටුවන ලද‍ FCID ය මඟින් සිදුකළ විමර්ශනවලට එවකට සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වූ බව, එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ප්‍රකාශ කළා.

ඒ, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (28) සාක්ෂි ලබාදෙමින්.

*********************************************

උතුම් වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි (30)

(30.10.2020 – 06:46 +0530 – hirunews.lk/sinhala)

පෙරවස් විසූ භික්ෂූන් වහන්සේලා වස් පවාරනය කිරිම ඇතුලු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් සිහිපත් කරමින් විවිධ පුද පූජා සිදුකරන උතුම් වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි (30).

මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදීම සිදු කළේ අද වැනි වප් පුර පසළොස්වක පෝහෝ දිනකයි.

බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවැනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත් වූයේ ද අද වැනි වප් පොහෝ දිනක වීම විශේෂත්වයක්.

මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදිවීම, අනුලා දේවිය ඇතුලු කුල කතුන් පැවිදිබිමට ඇතුලත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් රජු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ වප් පොහෝ දිනකයි.

ථූපාරාමයේදී සිදුකළ විනය සංඝායනාව ද සිදුකර ඇත්තේ අද වැනි වප් පෝය දිනක බව ඉතිහාසයේ සඳහන් වනවා.

මිහිදු මහරහතන් වහන්සේගේ අනුශාසනාව පරිදි මහා අරිට්ඨ මහ තෙරුන් විසින් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිටකය සජ්ඡායනය කිරීම සිදු වූයේද අද වන් පොහොය දිනකයි ෴

***************************************

(30.10.2020 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණීමේ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුලු ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා අගය පෙන්නුම් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

මෙම තත්වය සංවේදී පුද්ගලයින් කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙලෙස වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය අස්වාභාවික ලෙස ඉහළ යෑමට හේතුව වී ඇත්තේ දිවයින වටා පවතින සුළං ප්‍රවාහය හේතුවෙන් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වායු දූෂක මෙරට වායුගෝලයට ඇතුලුවීම බවයි ‘එයා විෂුවල්’ නැමති වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් මේ ආකාරයටම පැවතිය හැකි බැවින්, කුඩා ළමයින්, වැඩිහිටි පුද්ගලයින්, ගර්භනී මාතාවන් සහ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියේ.

මේ හේතුවෙන් අදාළ කණ්ඩායම්වලට හුස්ම ගැනීමේදී යම් අපහසුතාවන් ඇතිවීමටද ඉඩ පවතිනවා.

එහෙයින් මුඛ ආවරණ නිරන්තරයෙන් පළඳින ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

ව්‍යායාම්, ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයන්හි නිරතවීම හැකිතාක් අවම කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා ෴

***************************************

(30.10.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala)

රාජකාරි කටයුත්තකට සහභාගිවී නැවත පොලිසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (29) පස්වරු 06:30 ට පමණ හදිසියේ රෝගීවූ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මොහු මියයනවිට 51 වන වියේ පසුවුණා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

නොවැම්බර් මස 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස ජනපතිවරයා විසින් පත්කර තිබෙනවා.

*********************************************

උසස්පෙළ ගිණුම්කරණයට වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

(30.10.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටින්නේ මෙම විෂය සදහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බවයි.

රට තුළ මතුව පවත්නා තත්වය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි විභාග මධ්‍යස්ථාන 638 ක් ක්‍රියාත්මක වන බවද, එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළා.

විභාග අපේක්ෂකයන් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ට දී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන අතර තවත් විෂයන් 13 ක් ඉදිරි දින හය තුළ පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා දින පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඔක්තෝබර් 22 දින සිට අද (30) දින තෙක් පැවැති බවත් කුලියාපිටිය සහ ගම්පහ හැර දිවයින පුරා, විභාග මධ්‍යස්ථාන 391 ක් යොදාගනිමින් පිළිතුරු ඇගයීම් කටයුතු සිදු කළ බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(30.10.2020 – 11:41 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ බස්නාහිර පලාතේ කළ වැටලීම්වලින් පුද්ගලයින් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 42 කු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම පෑලියගොඩ පොලිස් වසමේදී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 500 ක් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකුද ඊයේ (29) අත්අඩංගුවට ගැනුනා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *