චීනයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝට අතුල් පහරක්

චීනයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝට අතුල් පහරක්

වටේ ඉදන් උපදෙස් දෙන කේවට්ටයන් නිසා ආණ්ඩුව යන්නෙ වැරදි පාරක – ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග පාරට බස්සනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හැමදාම රැවටෙන (ජන)රජයක සිට ලියමි!

කොළ කලාප, රතු කලාප බවට පත් වීම වැලැක්වීමයි දැන් වැදගත් – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට කොලඹ ඉඩම් කොල්ලකැම් චෝදනා.. ජනපති, අගමැති, චමල්, නාමල් නම්ද ගාවයි.. වීඩියෝව සමාජ ජාලවල..

හරි තාක්‍ෂණය දුන්නා නම් පැයකට පී.සී.ආර්. 90 ක් කරන්න තිබුණා… – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ්

කොරෝනා වෛරසය ගියවරට වඩා ඉහල මට්ටමකින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති මහාචාර්ය චන්න ජයසුමන

‘බස්නාහිරෙන් පැන්නා’ කියා සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කල අයට වැඩ වරදී – අන්තර්ජාලය හරහා පොලිසිය මෙහෙයුම් අරඹයි

*********************************************

චීනයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝට අතුල් පහරක්

(31.10.2020 – divaina.com)

• විලෝපියා සහ පිටසක්වල ජීවීන්ගේ සෙල්ලමට සම්බන්ධ නොවෙන බව චීනය කියයි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය 28 වැනිදා මෙරටට සම්ප‍්‍රාප්ත විය. පොම්පියෝ ශ‍්‍රී ලංකාවට පැමිණියේ කොරෝනා වසංගතය වර්ධනය වීම ගැන සොයා බැලීමට නොවේ.

චීන විරෝධී න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කරන ඇමෙරිකාව හම්බන්තොට වරාය චීනයට බදුදීම සහ කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය ගැන දැඩි නොසතුටපළ කර තිබිණි. පසුගියදා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහළම නිලධාරියකු මෙරටට පැමිණීම කෙරේද ඇමෙරිකාවේ අවධානය යොමු විය. ඊට පෙර ජපන් ආරක්‍ෂක ඇමැතිවරයා ද හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කරනු ලැබීය. මේ හැර කොළඹ ප‍්‍රංශ තානාපතිද හම්බන්තොට වරායේ නිරීක්‍ෂණයක යෙදුණි. මෙවන් පසුබිමක් මැද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් චීනයට එරෙහි ආරක්‍ෂක ජාලයක් ස්ථාපිත කිරීමේ මෙහෙයුමක නිරත වූහ.

ඊට ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දුනිසියාව යන රටවල් ඇතුළත් කර ගැනීම ඇමෙරිකාවේ අරමුණ විය. මෙයට සති කීපයකට පෙර ඇමෙරිකාව සහ මාල දිවයින අතර ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කෙරුණේ මාලදිවයින හමුදාවට පුහුණුවක් ලබාදීමේ මුවාවෙනි.

මෙම තත්ත්වය මත ඇමෙරිකානු රජය ශ‍්‍රී ලංකාවට යොමු වන්නේ ඉන්දියාව හරහායි.

පසුගිය යහපාලන රජය සමයේ සෝෆා සහ ඇක්සා ගිවිසුම් හරහා ඇමෙරිකාව උපාය මාර්ගික වැඩ පිළිවෙළක් දියත් කරනු ලැබීය. ත‍්‍රිකුණාමලයට ආසන්න මුහුදේ නතර කර තිබූ ජෝන් ස්ටෙනිස් නැව උපයෝගි කරගෙන කටුනායක ගුවන් තොටුපළ හරහා භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ක‍්‍රියා කළ අතර ඊට කිසිවකුගේ විරෝධය හිමි වූයේ නැත.

මේ ගැන ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් පැවසුවේ ශ‍්‍රී ලංකාව තුළ ඇමෙරිකානු භට පිරිසක් සිටින බවත් ඔවුන් ප‍්‍රවාහන කටයුතු මෙහෙය වන බවත්ය. එහෙත් සත්‍ය තත්ත්වය එය නොවේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම සැලසුම් සකස් කරන්නේ ඉදිරි වසර දහය (10) සඳහායි. එම කාලය තුළ අලුතින් නාවික කඳවුරු ස්ථාපිත කළ හැකි රටවල් ගැන ඇමෙරිකානු බලධාරීහු අවධානය යොමු කරති.

මාලදිවයින ජනාධිපති ලෙස කටයුතු කළ යමීන් චීනය වෙත නැඹුරු විය. එහි ප‍්‍රතිඵලය වූයේ යමීන් බලයෙන් පහ කිරීමට ඇමෙරිකාව ක‍්‍රියා කිරීමයි. මේ අතර ඉන්දු-ලංකා දේශ සීමාවේ 60,000 ක භට පිරිසක් සිටින බවට ඇමෙරිකාවට වාර්තා විය. එහි ප‍්‍රතිඵල වූයේ ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්කර් සමග රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවට පැමිණීමයි. මෙවන් තත්ත්වයක් යටතේ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ ‘අප මුල්තැන දෙන්නේ ඉන්දියාවට’ යැයි පවසනු ලැබීය. එය ඇමෙරිකාවට වාසිදායක පිළිවෙතකි. රජය, ජාතික සංවිධානවල දැඩි විරෝධය නොතකා ඇමෙරිකානු ද්විත්ව පුරවැසියකු වූ මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපති කිරීමද ඇමෙරිකාවේ සතුටට හේතු විය.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්තර් සමඟ නවදිල්ලියට පැමිණීයේ ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වූ ඇමැති සංවාදයේ දෙවැනි අදියර සඳහා බව හෙළි විය. එසේම ඇමෙරිකාව සහ ඉන්දියාව අතර චන්ද්‍රිකා තොරතුරු හුවාමරු කර ගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීමටද ක‍්‍රියා කර ඇත. මෙම චන්ද්‍රිකා දත්ත ලබාදීමේදී ශ‍්‍රී ලංකාවට අදාළ තොරතුරුද ඉන්දියාවට ලබාදීමට ඇමෙරිකාව ක‍්‍රියා කරනු ඇත. ඊට පෙර ‘ඇමෙරිකානු ශාන්තිකර කලාපීය හමුදා විධානය’ මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි. ඉන්දු පැසිපික් සංවිධානය, ඇමෙරිකානු අයිතිවාසිකම් ඉන්දු පැසිපික් කලාපය තුළ ආරක්‍ෂා කිරීමට ක‍්‍රියා කරනු ඇත. ඒ සඳහා ආරක්‍ෂක සහයෝගීතාවයක් ගොඩනැංවෙනු ඇත. මෙහිදී මතුවන බරපතළ ප‍්‍රශ්නය නම් ‘ආරක්‍ෂක සහයෝගිතාවයක් ගොඩනැංවෙන්නේ කවුරුන් සමඟ ද’ යන්නයි. ඒ ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල් සමගය. එසේ වූවත් ශ‍්‍රී ලංකාව මේ සඳහා අනුමැතියක් පළකර නැත. එසේම එම්.සී.සී. ගිවිසුමට අදාළ මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මයික් පොම්පියෝයි. පොම්පියෝගේ සංචාරය ද්වි පාක්‍ෂික සබඳතා ගැන සාකච්ඡා කිරීමක් සඳහා මුල් වූ රාජ්‍ය සංචාරයක් බව රජයේ දේශපාලකයන් පැවසුවත්, සත්‍යය නම් එම්.සී.සී. ගිවිසුම ගැන ලංකා රජයේ අවධානය යොමු කිරීමයි. එහෙත් වත්මන් රජයට චෝදනා එල්ල කරන පිරිස් එහි කොටස් දෙකක් අත්සන් කළේ යහපාලන රජය බවත් සෝපා ගිවිසුම සඳහා ද යහපාලන රජය එකඟත්වය පළ කර තිබූ බවත් අමතක කර ඇත. මේ පසුබිම මැද ඇමෙරිකාවේ සහ චීනයේ ගැටුමට ශ‍්‍රී ලංකාව මැදිවී ඇත. මේ ගැන චීන තානාපති කාර්යාලය දැඩි විරෝධය දක්වා පැවසුවේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇමෙරිකාව බලපෑම් එල්ල කිරීමෙන් වැළකිය යුතු බවයි. මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පනවා ඇති තහනම ගැන රජය ඇමෙරිකාවේ අවධානය යොමු කර තිබේ.

එහෙත් එම තහනම ඉවත් වනු ඇතැයි සිතිය හැකිද? මයික් පොම්පියෝ මෙරට පැවතියේ ත‍්‍රස්තවාදී යුද්ධයක් යැයි පිළිගෙන නැත. ඔහු පවසන්නේ ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් පැවැති බවත් එහිදී නිතීවිරෝධී ලෙස ඝාතන සිදු කිරීම නිසා තහනම පැන වූ බවයි. ‘යුධ අපරාධ සිදු කළ අයවළුන්ට එරෙහිව වගවීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමු’ යැයි පොම්පියෝ තවදුරටත් පවසා ඇත. එසේ නම් මයික් පොම්පියෝ ද යුද අපරාධකරුවෙකි. ඔහු සී.අයි.ඒ. ප‍්‍රධානියාව සිටියදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන්නේ ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරවය.

එසේම යුද අපරාධ චෝදනා එල්ල වූ ඇමෙරිකානු සෙබළුන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නෙදෙන බවත් පරීක්‍ෂණ පවත්වන බව පවසන ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවන්ගේ වත්කම් තහනම් කරන බවත් ඔහු තර්ජනය කර ඇත. මින් තහවුරු වන්නේ බලවත් රටවල හමුදාවලට එල්ල වූ යුද අපරාධ චෝදනා වසන් කිරීමටත් අනිකුත් රටවල හමුදාවන්ට එල්ල වන යුද අපරාධ චෝදනා විභාග කිරීමටත් තීරණය කිරීමේ දෙබිඩි පිළිවෙතක් නොවේද? කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව අද මැදිවී සිටින්නේ ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය යන රටවල්වලටය. ඉන්දීය රෝ සංවිධානය සහ ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය ශ‍්‍රී ලංකාව ගනු ලබන ක‍්‍රියාමාර්ග කෙරේ දැඩි අවධානයකින් සිටියි. මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රය වෙත දැනටමත් දේශීය රෝ නියෝජිතයකු ඇතුල් වී සිටී. මෙවන් පසුබිමක් මැද ඇමෙරිකාවේ ඡන්දය ආරම්භ වී තිබියදී මයික් පොම්පියෝ ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කළේ එම රටවලට ආධාර කිරීමට නොවේ.

ඇමෙරිකානු ආරක්‍ෂක වාර්තාවක සඳහන් වූයේ ඉන්දීය සාගරයේ හොඳම උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය ශ‍්‍රී ලංකාව බවයි. ඇමෙරිකාවේ මේ ප‍්‍රකාශය සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කළ පිළිවෙත මෙරට ජනතාවගේ අවධානයට යොමු විය යුතුයි. මේ එම අතීතයයි.

  1. හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයිසා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානියා කර ගැනීම
  2. ඇමෙරිකානු නාවික හමුදා ගුවන් යානාවලට චීන වරායට සහ මත්තල ගුවන් තොටුපළට ගොඩබැස්වීමට අවසර දීම
  3. ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට හම්බන්තොට වරාය නිරීක්‍ෂණයට ඉඩදීම
  4. ඊට සමගාමීව ප‍්‍රංශ තානාපති හා චීන ආරක්‍ෂක ඇමැති හම්බන්තොට වරාය විමර්ශනයට ලක් කිරීම
  5. යහපාලන රජයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇමෙරිකාවේදී කෙටුම්පත් කිරීම
  6. යුද හමුදාවට එරෙහිව හයිබි‍්‍රඩ් අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකාවේදී අනුමැතිය දීම

මේ අතර මයික් පොම්පියෝ ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මෙරටට තර්ජනය කළේය. ඔහු පැවසූවේ ශ‍්‍රී ලංකාවේ රජය ඇමෙරිකාවද චීනයද යන්න තීන්දුවක් ගත යුතු බවයි. මෙයට පෙර ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්ථාවේ ඇමෙරිකානු නිලධාරීනියන් ශ‍්‍රී ලංකාවට තර්ජනය කරනු ලැබීය.

එසේම ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් තවදුරටත් පැවසූවේ ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්මත කිරීම ගැන නිරීක්‍ෂණය කළ බවයි. මේ තත්ත්වය මැද චීන විරෝධී ඇමෙරිකානු මෙහෙයුම කොළඹ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ද ආරම්භ කර තිබේ. වියානා සම්මුතිය අනුව වෙනත් රටකට එරෙහිව තානාපතිවරයෙකුට ක‍්‍රියා කළ නොහැකි වූවත් ඇමෙරිකානු තානාපතිනිය ඒ ගැන සැලකිලිමත් වන්නේ නැත.

මෙම පසුබිම මැද එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනු ලැබුවේ යහපාලන රජය බව විපක්‍ෂයට අමතක වී ඇත. එම ගිවිසුමේ මෙහෙයවීම් කටයුතු සඳහා ඩොලර් මිලියන 10 ක මුදලක් යහපාලන රජයට ලබා දී තිබිණි. එම අතීතය වසන් කිරීමට විපක්‍ෂ දේශපාලකයෝ දැඩි උත්සාහයක යෙදී තිබේ. එසේම ඇමෙරිකානු නාවික විධානයේ ප‍්‍රධානී අද්මිරාල් හැරී හැරිස් මෙයට කලකට පෙර කළ ප‍්‍රකාශය අපි අනාවරණය කළෙමු. ඔහු පැවසූවේ ‘ඉන්දීය සාගරයේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක ශ‍්‍රී ලංකාව ඇති’ බවයි.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසූවේ ඇමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව ඉන්දු පැසිපික් කලාපයේ ප‍්‍රධාන පාර්ශවකරුවන් බවයි.

එසේම ශ‍්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයට අතුල් පහරක්ද එල්ල කරනු ලැබීය. ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කළ ඇතැම් ගිවිසුම් නිසා ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝණය වී ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මයික් පොම්පියෝ ශ‍්‍රී ලංකාව සම්බන්ධව කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ශ‍්‍රී ලංකාව චීන ණය උගුලට කොටු වූයේ නැතැයි ප්‍රකාශ කළේය. මෙලෙස පැය 16 කට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමත් සමඟ විපක්‍ෂයේ ඇතැම් නවක දේශපාලකයන් මයික් පොම්පියෝ මෙරටට පැමිණියේ කුමකටදැයි හෙළි කළ යුතු බව රජයෙන් ඉල්ලා ඇත.

එහෙත් මෙයට වසර ගණනකට පෙර ජෝන් කෙරී නැමැති ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීම ගැන එවකට සිටි රජය කිසිදු තොරතුරක් ජනතාවට හෙළි කළේ නැත. මේ හැර යහපාලන රජය සමයේ ඇමෙරිකානුවන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙද්දී එකී දේශපාලකයෝ නිහඬව සිටියෝය.

ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බව පිළිගනිමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර 30/11 ජිනීවා යෝජනාව අත්සන් කරද්දී මේ විපක්‍ෂ දේශපාලකයන් සිටියේ කොහේද? මේ අතර රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, චීන කොමියුනිස්ට් පක්‍ෂය හැඳින් වූයේ ‘ප‍්‍රිඩේටර්’ හෙවත් විලෝපියකු ලෙසයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ චීනය විලෝපියා සහ පිටසක්වල ජීවීන් එකම පිරිසක් බවත් එම සෙල්ලමට චීනය සම්බන්ධ නොවන බවයි. මෙවන් පසුබිමක් මැද 2002 සිට ඉන්දියාව විසින් ඇමෙරිකාව සමඟ හමුදා ගිවිසුම් හතරක් (4) අත්සන් කර තිබේ. මේ අතර මයික් පොම්පියෝ සිය ශ‍්‍රී ලංකා සංචාරයේදී තවදුරටත් පැවසූවේ ශ‍්‍රී ලංකාව ඇමෙරිකාවට වැදගත් වූ කලාපයක් බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේදී ආරක්‍ෂාව සම්බන්ධ කරුණු හතරක් (4) ගැන සාකච්ඡා කර ඇත. ඒ කලාපීය ආරක්‍ෂක සහයෝගිතාවය, ආරක්‍ෂාවට අදාළ තොරතුරු හුවමාරුව, දෙරටේ හමුදා අතර සබඳතාවය සහ ආරක්‍ෂාවට අදාළ අවි මිලයට ගැනීම යන කරුණුයි. මේ කරුණුවලට අමතරව ඉන්දියාව සහ ඇමෙරිකාව අතර අත්සන් කෙරුණු ‘බේකා’ ගිවිසුම ගැන මෙරට දේශපාලකයන් අවධානය යොමු කළේ නැත. එසේම මයික් පොම්පියෝ මෙරට බලධාරීන් සමඟ කිසිඳු ගිවිසුමක් අත්සන් කිරීමට ක‍්‍රියා කළේ නැත. එසේ වූවත් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර අත්සන් කළ බේකා ගිවිසුම ඉන්දීය සාගර කලාපයට බලපායි. ඒ එම ගිවිසුම යටතේ එම කලාපය නිරීක්‍ෂණය වේ. ඒ සඳහා ඇමෙරිකාව උපයෝගී කර ගන්නේ ‘විශ්ව ක‍්‍රමෝපායික සහයෝගිතාවය’ නැමැති උපක‍්‍රමයයි.

කීර්ති වර්ණකුලසූරිය

*********************************************

වටේ ඉදන් උපදෙස් දෙන කේවට්ටයන් නිසා ආණ්ඩුව යන්නෙ වැරදි පාරක – ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග පාරට බස්සනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

(30.10.2020 – 21:54 +0530 – lankaleadnews.com)

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කරපු කැපකිරීම් පිළිබඳව තමන් වහන්සේ පසුතැවෙන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

ආණ්ඩුවට විරුද්ධව සියලු බලවේග පෙළ ගැස්සවීමට තමන් වහන්සේ මුල් වී කටයුතු කරන බවටද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් ද කරනු ලබයි.

ඒ අනුව තව ටික දවසකින් මුළු වෘත්තිය සමිති ව්‍යාපාරයම ආණ්ඩුවට එරෙහිව පාරට බස්සන බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරයි.

කොවිඩ් 19 වසංගතය මේ වන විට සමාජගත වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ආණ්ඩුව බොරු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජනතාව නොමඟ යවන බව ද සඳහන් කරයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ වැඩසටහනට සහභාගි වෙමිනි.

30-10-2020

*********************************************

හැමදාම රැවටෙන (ජන)රජයක සිට ලියමි !

(30.10.2020 – 17:46 +0530 – lankaleadnews.com)

(අන්තර් ජාලයේ හුවමාරු වූ මෙම ලිපියේ ඇති කරුණු වල ප්‍රායෝගික අත්දැකීමේ වැදගත්කම සලකා ‘ලංකා ලීඩ්’ පාඨකයා හමුවේ තබමු.)

ඇමරිකානු Millennium Challenge Corporation (MCC) හී ශ්‍රී ලංකාවේ Resident Country Director ජෙනර් එඩල්මන් සහ ඇගේ කණ්ඩායම සමග හමුවක් සඳහා මට ආරාධනා කෙරිණි. ඒ හරියටම මීට වසරකට පෙර ජනපතිවරණය කටමුල තියාගෙන MCC ගිවිසුම අත්සන් කළ යුතු යැයි එවක යහපාලන ආණ්ඩුව විසින් බෝල දමමින් සිටි කාලයේය. ඇමරිකානු MCC ගිවිසුම කෙරෙහි සමාජයේ ඇති නරක ප්‍රතිරූපය වෙනස් කිරීමට ඔවුන් ප්‍රචාරණ සහ සන්නිවේදන වැඩපිළිවෙලක් අරඹා තිබෙන බව මට පෙනී ගියේය. ලෝකයේ විශාලතම අන්තර්ජාතික සබඳතා සංවිධානයේ වසර හතකට වැඩිය සේවය කර ඇති මා එවැනි සංවිධානවල උපාය උපක්‍රම හොඳින් දනී. එකල මා ගෝඨාභයගේ ජනපතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ රචකයෙක් සහ කථිකයෙක් විය.

විරුද්ධ දේශපාලන මත දරන තරුණ කණ්ඩායමක් ලෙස පිහිටුවා ගත් #NextGenSL ඒ වනවිට තරුණ සමාජය අතර තරමක් ප්‍රසිද්ධ වෙමින් තිබිණි. එහි ආරම්භක සාමාජිකයන් වන මම, මිලින්ද රාජපක්ෂ සහ රසික ජයකොඩි ඇතුළු තවත් කිහිපදෙනෙකුට ඉහත රැස්වීම සඳහා ආරාධනා ලැබිණි. එකල ETCA ගිවිසුමට විරුද්ධව කතා කළ ‘යුතුකම සංවාද කවයේ’ ලසන්ත වික්‍රමසිංහවත් මම අපේ කණ්ඩායමට එකතු කර ගතිමි. රැස්වීම තිබුණේ Cinnamon Grand හෝටලයේ එක් රැස්වීම් ශාලාවකය. මා ඇඳගෙන ගියේ සරමක් සහ කමිසයකි.

පළමුව ජෙනර් විසින් MCC ගැන හැඳින්වීමක් කළාය. පසුව ඇයගේ සගයා වූ ලාංකිකයෙක් ඇමරිකානු ඌරුවට අහංකාරයෙන් කතා කළේය. මට ඔහුගේ නම මතක නැත. රැස්වීමට යන්නට පෙර දිනයේම මා කළේ MCC ගැන අන්තරජාලයේ ගවේෂණය කිරීමයි. ඇසිය යුතු ප්‍රශ්න මගේ සටහන් පොතේ ලියාගෙන ගියෙමි. මා ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔවුන් ඇතැම්විට නිරුත්තර විය. උදාහරණයක් ලෙස MCC ගිවිසුම සකස් කර තිබුණේ ලංකාව අඩු ආදායම්ලාභී රටක් වූ නිසාය. නමුත් ඒ වනවිට ලංකාව මැදි ආදායම් රටකට උසස් වී තිබිණි. මා ඇසුවේ “ඇයි එහෙනම් දැන් ඔබේ නීතියට විරුද්ධව යමින් මේ ගිවිසුම අත්සන් කරන්නේ?” හරි උත්තරයක් නැත. එමෙන්ම මැඩගස්කරය, මාලි, ඝානාව වැනි අප්‍රිකානු රටවල අත්සන් කළ MCC ගිවිසුම් අසාර්ථක වූයේ ඇයි දැයි මම උදාහරණ සහිතව විමසුවෙමි. ඔවුන් ගොතගසමින් ඒවායින් ලිස්සා ගියේය. ඔවුන් කීවේ MCC වල අරමුණ ලංකාවේ දුප්පත්කම නැති කිරීම බවයි. එවිට මා ඇසුවේ එහෙනම් ලංකාවේ දුප්පත්කම වැඩිම දිස්ත්‍රික්ක අත්හැර වෙනත් දිස්ත්‍රික්ක ගිවිසුමෙන් ආවරණය කරන්නේ මන්ද? යන්නයි. උත්තර නැත.

ලසන්ත වික්‍රමසිංහත් එවැනි හිරවෙන ප්‍රශ්න ඇසුවා මට මතකය. අනෙක් උන් නම් ගල් බිල්ලන් සේ සිටියේය. එජාප කඳවුර නියෝජනය කළ තරුණයන් කොහොමත් සිටියේ MCC යට පක්ෂවය. ජෙනර් පුන පුනා කියා සිටියේ ගිවිසුම දෙසැම්බරයට (2019) පෙර අත්සන් නොකරන්නේ නම් ගිවිසුම අවලංගු වන බවයි. එසේනම් දැන් ගිවිසුම අවලංගු වී තිබිය යුතුය. නමුත් එය තවමත් මේසය මත තිබීමෙන් ඔප්පු වන්නේ ඇය එදා පට්ටපල් බොරුවක් කියූ බවයි. මා එතරම් හොඳින් ලැහැස්ති වී ඒවි යැයි ඔවුන් නොසිතූ බව පෙනිණි.

එහිදී ජෙනර්ගේ කටින් පිටවූ එක් වැදගත් කාරණයක් නම් ලංකාවේ මෙම වැඩසටහන කළ යුතු යැයි මුළින්ම යෝජනා කළේ කුප්‍රකට ඇමරිකානු බිලියනපතියෙකු සහ ගෝලීය දේශපාලන හසුරුවන්නෙකු වන ජෝර්ජ් සොරෝස් විසින් මුදල් ගෙවා හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කළ පර්යේෂණයක් විසින් බවයි.

MCC ගිවිසුමෙන් කරන්නේ සරල දෙයකි. එහි ලස්සන කැරට් අලයක් ඇත. එනම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට Traffic Management System එකක් සහ ලස්සන නවීන බස් රථ ටිකක් ලබා දීමයි. ආටෝපයට කැමති අපේ ගොබ්බයන්ට එය බැලූ බැල්මට ආකර්ශනීයය. නමුත් එයට පිටුපසින් ඇත්තේ හලාහල වසකි. එනම් ලංකාවේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට හෙක්ටයාර දහස් ගණනින් සින්නක්කර මිලදී ගැනීමට හැකි වන පරිදි වැඩ සැලසීමයි. ඒවා ගැන දැන් ඇති තරම් කතා කර ඇත. නමුත් ලංකාවේ වැසියන්ට කැරට් අල පෙන්වා ලෙහෙසියෙන් රැවටිය හැකිය. එදා ඉඳන්ම අප පිටරැටියන්ගේ චාටු කතාවලට රැවටුණු අහංකාර මෝඩ රැළකි.

ඒ බව ඇමරිකානුවන් පමණක් නොව අනෙක් සියලුම රටවල් දනී. මාව ඔවුන්ගේ Diplomatic කතාවලින් නම්මාගත නොහැකි බව ඔවුන්ට වැටහිණි. රැස්වීම අවසන් කරමින් මා ජෙනර්ගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන මෙසේ පැවසුවෙමි. “මගේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම්වල අයිතිය එදා මුඩුබිම් පනත කියන එක ලියවිල්ලකින් අහිමි වුනා. ඒ ඉඩම් අයිතිය නැවත බ්‍රිතාන්‍යයන්ගෙන් දිනා ගන්න අපේ මුතුන් මිත්තන්ට ලේ වගුරුවා සටන් කරන්න වුනා. ඒ නිසා අපේ ඉඩම් ගැන සම්බන්ධ ඕනෑම ගිවිසුමකදී අප ඒ ගැන ඉතාමත් සැලකිලිමත්.” ජෙනර් බිම බලාගත්තා. අපි නැගිටලා එන්න ආවා.

ටික දවසකට පස්සෙ #NextGenSL මගුලෙන් මා ඉල්ලා අස්වුණා.

වසරකට පස්සේ ලංකාව නැවත අඩු ආදායම් රටක් වුනා. ද්විත්වපුරවැසියන්ට දොර ඇරුණා. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහකොමසාරිස් වෙලා මයික් පොම්පෙඕ ලංකාවට ආවා.

ධර්මය ඔබට මග වේවා!

– ගිනිගේ
2020 ඔක්තෝබර් 30 වැනිදා
හැමදාම රැවටෙන (ජන)රජයක සිට

*********************************************

කොළ කලාප, රතු කලාප බවට පත් වීම වැලැක්වීමයි දැන් වැදගත් – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

(31.10.2020 – 07:39 +0530 – lankaleadnews.com)

කොරෝනා මර්දන වැඩපිළිවෙළේදී මහජන සහය බිඳ වැටි ඇති බව පෙනෙන්නට තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය අඩු අවදානම් කලාප එනම් කොළ කලාප අවදානම වැඩි කලාප වන රතු කලාප බවට පත්කර නොගැනීමට එම කලාපයන්හි ජනතාව හැම විටම කටයුතු කළ යුතු බව වෛද්‍ය පාදෙණිය මහතා සඳහන් කළේය.

විශේෂයෙන් රෝගීන් වැඩිවශයෙන් මතුව ඇත්තේ ආර්ථික කලාපවල වන අතර ඒවායෙහි ජනතාව වැඩි වශයෙන් ගැවසීමත් නිසා වැඩි ව්‍යාප්තියක් දැක ගත හැකි වූ අතර එය එසේ වුවත් ඇඳිරි නීති පවතින තත්ත්වයක වුවද ගිලන් රථ සේවා ක්‍රියාත්මක වීම අවදානම් අඩු කලාපවල සිට අවදානම් වැඩි කලාප වෙත ගමන් කිරීමත්, විශේෂයෙන් පොලිස් හා හමුදා නිලධාරීන් මෙම කලාප අතර ගමන් කිරීමත් දැක ගත හැකි වුවද ඔවුන්ගෙන් කිසිලෙසකින්වත් රෝගය ව්‍යාප්ත නොවුණු බවද වෛද්‍ය පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

එයින් අදහස් වන්නේ ඔවුන් රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් අනුගමනය කළත් ආර්ථික සැපයුම් ජාල තුළ එය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති බවයි.

එමෙන්ම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වල වාට්ටුවල වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩල ඔවුන් ලඟට ගොස් ප්‍රතිකාර කරනා අතර ඉන් බොහොමයක් වෛද්‍යවරු, කාර්ය මණ්ඩල තම නිවෙස් වෙත යන අතර ඔවුන් රෝගය නිවසට ගෙන ගොස් නැති බවද ජනතාව අවධාරණය කරගත යුතු බව වෛද්‍ය පාදෙණිය මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

විශේෂයෙන් ඇගළුම් සයැපුම් ජාලය හා මත්ස්‍ය සැපයුම් ජාලය මඟින් මේ මොහොතේ වෛරසය ව්‍යාප්තිය සිදු වූ ආකාරයට ඉදිරියේදී හාල් පොල් ආදී බෙදා හැරීම් ජාල ඔස්සේද වෛරසය ව්‍යාප්ත විය හැකි හෙයින් හැම විටම ඒ ගැන සිතා කටයුතු කළ යුතු බවද වෛද්‍ය පාදෙණිය මහතා පැහැදිලි කරන ලදී.

තමන්ගේ කලාපය රතු කාලපයක් කර නොගැනීමට වැඩි වගකීමක් ජනතාව සතු වන බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350 න් 28 කට නැත්නම් පොලිස් කොට්ඨාස 490 න් 68 කට රෝගය පැතිරි ඇති අතර සෙසු කලාප වල ජනතාව තමන්ගේ කලාපයට රෝගය නොගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය ෴

*********************************************

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට කොලඹ ඉඩම් කොල්ලකැම් චෝදනා.. ජනපති, අගමැති, චමල්, නාමල් නම්ද ගාවයි.. වීඩියෝව සමාජ ජාලවල..

(31.10.2020 – 14:10 +0530 – lankacnews.com)

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ලෙස ප‍්‍රකට නගරාධිපති සහ තවත් කිහිප දෙනෙකු ගේ ප්‍රධානත්වයෙන් – මූලිකත්වයෙන් සිදු කෙරෙන බව පවසන මහා පරිමාණ ඉඩම් මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.

ජනාධිපති ගෝඨාභය, රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ද නම්ද විකුණමින් මෙම ජාවාරම අදාළ පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි වීඩියෝවේ සඳහන් වේ.

නුගේගොඩ ප‍්‍රදේශයේ අන් සතු ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ආකාරය ද එම වීඩියෝව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් තබා ඇත.

ඔහු එමගින් සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් බලධාරීන් පරීක්ෂණ කරමින් සිටින බවත් මෙවන් සිදුවීමට තමන් හෝ තම පවුලේ කිසිදු සාමාජිකයෙක් සම්බන්ධ නැතැයි සහතික වන බවත්ය.

*********************************************

හරි තාක්‍ෂණය දුන්නා නම් පැයකට පී.සී.ආර්. 90 ක් කරන්න තිබුණා… – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ්

(31.10.2020 – divaina.com)

තම සංගමය යෝජනා කළ පරිදි නිවැරදි තාක්ෂණය ලබා දුන්නේ නම් මෙරට පැයකදී ‘පී.සී.ආර්.’ පරීක්ෂණ 90 කට වඩා කළ හැකිව තිබූ බවත්, එවැනි නවීනතම ‘පී.සී.ආර්.’ යන්ත‍්‍ර සවි කර තිබුණේ නම් දිනකට එම පරීක්ෂණ 50,000 ක ධාරිතාවක් වුවද සිදු කළ හැකිව තිබූ බවත් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කොරෝනා වසංගතයේ පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොරෝනා අහවර වූ බව හඟවමින් කටයුතු කළ නිලධාරීන් හේතුවෙන් ‘පී.සී.ආර්.’ පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමි වූ බව පවසන ඔහු තවදුරටත් රටේ සියලුම රසායනාගාර ‘පී.සී.ආර්.’ පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප‍්‍රතිඵල ලබා ගැනීමට තම වෘත්තිකයන්ට පැය අටක (8) පමණ කාලයක් බලා සිටීමට සිදු වී ඇති බවත් සඳහන් කරයි.

අදාළ යන්ත‍්‍ර මිලදී ගැනීම සඳහා පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 130 ක් ලෝක බැංකුව මගින් ලබා දීමට නියමිතව තිබූ අතර, එය ජුලි මාසය වන විට බිලියන 180 දක්වා වැඩි කර ගැනීමට හැකිව තිබේ. එහෙත් කොරෝනා අහවර බව පවසා එම ආධාර භාවිතයට නොගත් බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව ‘කොරෝනා වසංගතය සඳහා රෝහල් පද්ධතිය සූදානම් කර තැබීමේ’ ලෝක බැංකු ආධාරය නිසි පරිදි භාවිත කිරීම අතපසු කරන ලද්දේ, යුනිසෙෆ් ආයතනය මගින් අදාළ උපකරණ මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට තීරණය කිරීම හරහා ඇතැම් දූෂිත නිලධාරීන්ට කොමිස් මුදල් ලබා ගැනීමේ අපහසුවක් ඇති වන නිසා යැයි තම සංගමය සැක පළ කරන බව ද රවී කුමුදේශ් මහතා කියා සිටියි.

මෙම තත්ත්වය හේතුවෙන් නිවැරදි තාක්ෂණය තම වෘත්තිකයන්ට නොලැබී ඇති බවත්, එය කළේ හිතාමතා බවත් එම ගැටලු දඩමීමා කර ගනිමින් ‘පී.සී.ආර්.’ පරීක්ෂණ ක‍්‍රියාවලිය ව්‍යාකුල කර දමමින්, තම තමන්ට පෞද්ගලිකව වාසි සිදු වන වෙනත් විකල්පවලට රට යොමු කර ගැනීමට රසායනාගාර සේවාවේ වගකිවයුතු පරිපාලකයන් උත්සාහ දැරීම භයානක තත්ත්වයක් බවත් ඔහු කියයි.

ධාරිතාව වැඩි කිරීම සඳහා වැඩිම මුදලක් වැයකර ඉදි කරන ලද මුල්ලේරියාව රසායනාගාරය මගින් අපේක්ෂිත ධාරිතාව නොලැබෙන බවත් එම රසායනාගාරය ඉදිකිරීමේ දී නිවැරදි තාක්ෂණික උපදෙස් ලබා ගෙන නොමැති බවත් අඩුම තරමින් එවකට සිටි රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා ඒ පිළිබඳව දැනුවත් කර නොමැති බවත් හෙතෙම කියයි. මෙම රසායනාගාරයේ සුළු කාර්මික දෝෂයක් පවා නිරාකරණය කර ගැනීමට පවා මේ මොහොතේ එයට වගකීමක් නොදරන චීන සමාගමක් මත යැපීමට සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් රසායනාගාරයේ නිසි ප‍්‍රයෝජනය රටට අහිමිව ඇති බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කීවේය ෴

*********************************************

කොරෝනා වෛරසය ගියවරට වඩා ඉහල මට්ටමකින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති මහාචාර්ය චන්න ජයසුමන

(31.10.2020 – 10:40 +0530 – lankacnews.com)

වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද අද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල ශ්‍රී ලංකාව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගත වීමක් අභියස යයිද ඔහු පැවසුවේය.

කොරෝනා වෛරසය කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී මුල් දින දෙක තුන තුළ ඇත්තේ නාස්කුහරය තුල බවත් පැවැසූ ඔහු එහිදී වෛරසය විනාශ කිරීම සඳහා ඖෂධීය ධුම ඇල්ලීම ඉතා සුදුසු බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සඳහා වන දේශීය ඖෂධයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

*********************************************

‘බස්නාහිරෙන් පැන්නා’ කියා සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කල අයට වැඩ වරදී – අන්තර්ජාලය හරහා පොලිසිය මෙහෙයුම් අරඹයි

(31.10.2020 – 09:19 +0530 – truenews.lk)

පසුගිය 29 සහ 30 යන දෙදින තුළ සමාජ මාධ්‍ය තුළ බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ අදහස් පළකර යම් යම් ලිපි පළකළ අය සම්බන්ධයෙන් ද මේ වන විට අන්තර්ජාලය හරහා මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අද (31) පෙරවරුවේ රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

නිරෝධායන ඇඳිරි නීතිය විහිලුවට ගනිමින් ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කරන අයුරු ද ඊයේ (30) දිනයේ දක්නට ලැබුනා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“ෆේස්බුක් එකේ, ඉන්ස්ටර්ග්‍රැම්වල දාලා තිබුණා ‘අපි වෙලාවට පැන්නා’ කියලා කට්ටිය. ඒ අය ගැන අන්තර්ජාලය හරහා අපි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා තාක්ෂණික සහය ලබාගෙන; ඔවුන්ගේ ඊමේල් හා ෆේස්බුක් ඇඩ්‍රස් අරගෙන. ඒ අයට එරෙහිවත් අපි ක්‍රියාකරනවා. මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා.”

ප්‍රශ්නය – සඳුදා උදේ ආපසු එනකොට ‘කවදා ද මේ අය ගියේ’ කියලා කොහොම ද හඳුනා ගන්නේ ?

“පොලිස් වසමක තියෙන හේටල්වල, නවාතැන්පොළවල්වල විස්තර පොලීසිය සතුව තියෙනවා. කළමනාකරුවන් කියන්න එපැයි තමන්ගේ ආයතනයට ආවේ කවද්ද කියලා. එහෙම කිව්වේ නැත්නම් ඒ හෝටලයේ කළමනාකරුවන් සම්පූර්ණයෙන්ම වරදක් කළා වෙනවා. අනිවාර්යයෙන්ම ‘ආපු දිනේ’ කියන්න ඕනේ. 29 හෝ 30 හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ අයගේ පොත් ‘මේන්ටේන්’ කරන්න ඕනේ එන යන අය ගැන. ඇත්ත කිව්වේ නැත්නම් ඒ අයට විරුද්ධවත් කටයුතු කරනවා. ඔවුන්ගෙන් විස්තර අරන් වැඩිදෙයක් කරන්නේ නෑ. ඉන්න ස්ථානයේ ම දින 14 ක් තියනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *