සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අගමැතිගෙන් මහා සංඝරත්නයට ඉල්ලීමක්

සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අගමැතිගෙන් මහා සංඝරත්නයට ඉල්ලීමක්

කොරෝනා සැක නිසා මවක් රෝහල් ගතකිරීමෙන් පසු සිත් තැවුලට පත් මන්දමානසික පුතු සියදිවි හානිකරගනී

9 දෙනෙකු ඝාතනය කිරීමට යැයි පවසා, ගිනි අවිය රැගෙන පලාගිය පොලිස් සැරයන්වරයෙකු සොයා පරීක්ෂණ

කොරෝනා සුව වීමෙන් අනතුරුවත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි කළ හැකි බව සොයා ගැනේ

*********************************************

සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අගමැතිගෙන් මහා සංඝරත්නයට ඉල්ලීමක්

(31.10.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක මේ වන විටත් රතන සූත්‍රය සඡ්ඡායනා කිරීම සිදුවනවා.

මෙම අර්බුදකාරී තත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සඡ්ඡායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

+++++++++++++++++

රතන සූත්‍රය

++++++++++++++++++

(31.10.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් ගුවනින් පිරිත් පැන් ඉසීම අද (31) සිදු කෙරුණා.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව රටම ආවරණය වන පරිදි පේදුරුතුඩුව, දෙවුන්දරතුඩුව, සංගමන්කන්ද හා තලේයිමන්නාරම යන ස්ථානයන්ට පිරිත් පැන් ඉසීම සිදුකළ බවයි ෴

+++++++++++++++++++

(31.10.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (31) උතුර පළාතේ සංචාරයකට එක්වුණා.

කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි යුද හමුදාපතිවරයා පවතින කොරෝනා වසංගතය හමුවේ ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර ඇති බව සඳහන්.

එමෙන්ම කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය එහිදී ඇගයීමකට ලක් කර තිබෙනවා ෴

++++++++++++++++++++

(31.10.2020 – 18:36 +0530 – hirunews.lk/sinhala)

අද (31) දිනයේ කොරෝනා ආසාදිතයන් 137 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 7,000 ඉක්මවා ගියා.

මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 10,561 ක් ලෙසයි ෴

++++++++++++++++++

(31.10.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය වැළදුණු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 78 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, බොරැල්ල පොලීසියේ නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය වැළදී ඇති බවට අද (31) තහවුරු වුණේ ඊයේ (30) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදියි.

එහිදී එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 13 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති අතර, ඉන් 7 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ වෙරළබඩ පොලීසියේ නිලධාරීන් පිරිසකට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

300 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති අතර, 1800 දෙනෙකු පොලිස් බැරක්කවල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

(31.10.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය වැලදී ඇතැයි අද (31) පස්වරුවේ තහවුරු වුණා.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අද (31) දිනයේත් නව ආසාදිතයන් දස (10) දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (31) හඳුනාගත් ආසාදිතයින් දස (10) දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බන්ධ ආශ්‍රිතයන් බවයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

වත්තල ප්‍රදේශයේ පසුගිය දින දෙක (2) තුළ වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් 75 දෙනෙකු රෝහල් වෙත යොමු කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදුකෙරුණා.

වත්තල ප්‍රදේශයේ තවත් පෞද්ගලික ඇගලුම් කර්මාන්තශාලාවක සේවකයින් 49 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (30) තහවුරු වුණා.

සේවකයන් දහසක් (1000) පමණ සේවය කරන අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් 120 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදීයි මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ.

කැස්බෑව කොට්ඨාශයෙන් ද හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.

ඔවුන් සියළු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආසාදිතයන්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බවයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කළේ ෴

++++++++++++++++++

(31.10.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය අද (31) කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා.

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිය ගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව සිදුකෙරුණා.

පසුගිය 29 වන දා රෝහල් ගත වී ඇති ඇය නිධන්ගත රෝගවලින් පෙළෙමින් සිට ඇති අතර ඊයේ (30) මිය යාමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදීයි මෙම කාන්තාවට කොරෝනා වැළදී ඇති බවට තහවුරු වුණේ.

++++++++++++++++++

පසුගිය දා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමඟ වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළ විෂබීජහරණය කිරීම අද (31) සිදුකළේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ෴

++++++++++++++++++

(31.10.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් වාර්තා වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් බේකරි නිෂ්පාදන අලෙවි කළ පුද්ගලයන් පිරිසකට එරෙහිව නිරෝධායනය නීතිය යටතේ කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

එමෙන්ම, මිරිස්ස ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා මුහුණු ආවරණ නොමැති ධීවරයින් වරාය පරිශ්‍රය තුළට ඇතුළු කර නොගන්නා ලෙස උපදෙස් ලබාදුන්නා.

+++++++++++++++++

(31.10.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති පසුබිමක කොවිඩ් අභියෝගයට රට මුහුණ දිය යුත්තේ කෙසේද?

අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

මේ අතර අක්‍රිය වී තිබූ පී.සී.ආර්. යන්ත්‍රය මේ වන විට යථාතත්ත්වයට පත්කර ඇති බව වාර්තාවනවා.

චීන තානාපති කාර්යාලය අද (31) පෙරවරුවේ නිවේදනය කළේ ඒ සදහා අදාළ සමාගමේ නියෝජිතයෙකු මෙරටට පැමිණි බවයි.

සුළු පරීක්ෂණ කිහිපයකින් පසු අදාළ යන්ත්‍රය සඳුදා සිට භාවිතයට ගත හැකි වනු ඇති බවට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

+++++++++++++++++

(31.10.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 102 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් 21 දෙනෙකු සහ ඔවුන්ගේ අශ්‍රිතයින් 81 දෙනෙකු සිටින බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

***************************************

(31.10.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

පසුගිය අගෝස්තු මස 29 වනදා එහි සංචාරයක නිරතවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන්නේ පරිසරයට හානි නොවන අයුරින් දින 90 ක් තුළ මෙම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන ලෙසයි.

ඒ අනුව යුද හමුදා ඉංජිනේරු බලකාය, සැප්තැම්බර් 2 වනදා මෙම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, ගං වතුරෙන් විනාශ වූ වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමේ ඉදිකිරීම්ද මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

*********************************************

කොරෝනා සැක නිසා මවක් රෝහල් ගතකිරීමෙන් පසු සිත් තැවුලට පත් මන්දමානසික පුතු සියදිවි හානිකරගනී

(31.10.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කාන්තාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සියදිවි හානි කර ගැනීමේ අවාසනාවන්ත පුවතක් හෝමාගම – දොලහේන – හරිත පෙදෙසෙන් වාර්තා වුණා.

අදාළ කාන්තාව මහරගම ප්‍රදේශයේ මාළු වෙළදසැලකින් මාළු මිලදී ගෙන ඇති අතර අනතුරුව ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඊයේ (30) දිනයේයි.

විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 25 ක ඇගේ පුත්‍රයා සමඟ ඇය නිවසේ තනිව ජීවත්ව ඇති අතර, මව රැගෙන යාමෙන් කම්පනයට පත් පුතු නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

*********************************************

9 දෙනෙකු ඝාතනය කිරීමට යැයි පවසා, ගිනි අවිය රැගෙන පලාගිය පොලිස් සැරයන්වරයෙකු සොයා පරීක්ෂණ

(31.10.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු ගිනි අවියක් සමඟ පළා ගොස් තිබෙනවා.

පෙරේදා (29) දිනයේදී සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී මෙලෙස පොලිස් සැරයන්වරයා ගිනි අවියත් සමඟ පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.

එම පුද්ගලයින් 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත්, ගිනි අවියත් සමඟ පළා ගිය මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි කුරුවිට පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

*********************************************

කොරෝනා සුව වීමෙන් අනතුරුවත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි කළ හැකි බව සොයා ගැනේ

(01.11.2020 – 08:07 +0530 – lankaleadnews.com)

ජපාන සහ රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අනුව කොරෝනා වෛරසය රතු ඇටමිදුලු, අක්මාව, වකුගඩු හා වත් අභ්‍යන්තර අවයව වලට හානි සිදුකරන බවට සොයාගෙන ඇත. මෙම ක්‍රියාවලිය රෝගය සුවය ලැබීමෙන් පසුව වුවද සිදුවිය හැකි බව කියවේ. එපමනක් නොව නිව්මෝනියාව හෝ කොරෝනා රෝගයට අදාළ පැහැදිලි රෝග ලක්ෂණ නොතිබූ පුද්ගලයන් තුළ පවා මෙලෙස අභ්‍යන්තර අවයව හානි වීම සිදුවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.

එසේ සිදුවන්නේ රෝග කාරක වෛරසය රතු ඇට මිදුලු වලට පහර දීම නිසාවෙනි. අසාධ්‍ය කොරෝනා රෝගීන්ගේ රුධිර කැටි ගැසීම හා අවයව පටක මිය යෑම මෙමඟින් පැහැදිලි කරගත හැකිය.

රුසියානු පෙරදිග ෆෙඩරල් විශ්වවිද්‍යාලය, පැසිපික් ප්‍රාන්ත වෛද්‍ය විද්‍යාලය හා ජපාන විද්‍යාඥයන් එකතු වී, කොරෝනා රෝගයෙන් මිය ගිය පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් අධ්‍යනය කිරීමෙන් පසු මෙය තහවුරු කරගෙන තිබේ.

වෛරසයේ ප්‍රධාන ඉලක්කය වන්නේ රතු ඇටමිදුලුයි. රතු ඇටමිදුලු මගින් රතු රුධිරාණු මුදාහැරීම යාමනය කරයි. වෛරසය පහරදීම නිසා ඇට මිදුළු වල හා විවිධ අවයව පටකවල විශාල සෛල එනම් මෙගාකැරියොසයිට දක්නට ලැබේ. මෙම මෙගාකැරියොසයිට රුධිර කැට ගැසීමට දායක වේ. නමුත් කොරෝනා වෛරසය මගින් මෙම සෛල අනවශ්‍ය ලෙස රුධිරයට එක් කිරීම සිදු කරයි. තවදුරටත් රතු රුධිර සෛල නිපදවීම අවම වීම හා මියගිය රතු රුධිරාණු නිසා මොළය ඇතුළු අභ්‍යන්තර අවයව වලට ඔක්සිජන් සැපයීම සීමා වී ඒවාට හානි සිදුවිය හැකිය. අවසානයේ අවයව පද්ධති අකර්මණ්‍ය වේ. රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමට පටන් ගනී. ශ්වසන පද්ධතියේ සංකූලතා හා රතු රැධිරානු අවම වීම රෝගීන් තව තවත් අයහපත් තත්ත්වයන්ට ඇද දමයි.

කොරෝනා රෝගයේ වඩාත් පැහැදිලිව ප්‍රකාශ වන්නේ පෙනහලු ෆයිබ්රෝසිස් (fibrosis) වේ. විද්‍යාඥයන් සොයා ගත් සිද්ධාන්ත වලට අනුව, එය ඇති වීමට බලපාන එකම හේතුව පෙනහලු පටක හානි වීම පමණක් නොවේ. මෙගාකැරියොසයිට වැඩි ප්‍රමාණයක් රුධිරයට එක් වීමද මෙම තත්ත්වයට හේතුවකි. ඒ අනුව අක්මාව, ප්ලීහාව, වකුගඩු, අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියන් තුළ ද මෙවැනිම ක්‍රියාවලියක් ඇති විය හැකිය. මෙම තත්ත්වය සායනික සංකූලතා මගින් හඳුනාගත හැකි වන්නේ, අදාල ඉන්ද්‍රියයන්ට සැලකිය යුතු හානියක් සිදුවීමෙන් අනතුරුව ය. එය භයානක තත්ත්වයක් බවට විද්‍යාඥයන් පැහැදිලි කර දෙයි.

පර්යේෂණයේ මීළඟ අදියර ලෙස වෛරසය සෛලීය මට්ටමින් ක්‍රියා කරන ආකාරය අධ්‍යනය කිරීමට නියමිතය. මෙමගින් අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වේ. රුසියානු-ජපන් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම පර්යේෂණයේ ඉදිරි කටයුතු සිදුවනු ඇත.

මූලාශ්‍ර : new.mail.ru

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *