ඇඳිරි නීතිය ගැන අවසන් තීන්දුව ඉදිරි PCR ප්‍රතිඵල මත

ඇඳිරි නීතිය ගැන අවසන් තීන්දුව ඉදිරි PCR ප්‍රතිඵල මත

*********************************************

ඇඳිරි නීතිය ගැන අවසන් තීන්දුව ඉදිරි PCR ප්‍රතිඵල මත

(01.11.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පී.සී.ආර්. වාර්තා අනුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

උතුරේ සංචරයකින් අනතුරුව ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාවගේ හැසිරීම කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් තීරණාත්මක බවයි.

බස්නාහිර පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 117 ක තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

පසුගිය 29 වනදා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ අතර, එය හෙට (02) අලුයම පහෙන් අවසන්වීමට නියමිතයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ මීට පෙර නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ පොලිස් බල ප්‍රදේශවලට හෙට (02) අලුයම ඇඳිරි නීතිය ඉවත්වන්නේ නැහැ.

පසුගිය 29 වනදා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් බැහැරවූ පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ එවැනි පුද්ගලයන් 550 දෙනෙකු මේ වනවිටත් හඳුනාගෙන ඔවුන් දැනට සිටින තැන්වලම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මීගමුවේ සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා.

ඔහු කියා සිටියේ දත්ත විශ්ලේෂනය කිරීමේදී බස්නාහිර පළාතෙන් අසාමාන්‍ය බැහැරව යාමක් නිරික්ෂණය නොවන බවයි.

මේ අතර හෙට (02) සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් විවෘතව පවතින්නේ සඳුදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණයි.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත වන්නේ අඟහරුවාදා සහ සිකුරාදා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණක් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++

(01.11.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ජංගම වෙළඳුන්ට දැනුම් දෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ජංගම වෙළෙඳුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++

(01.11.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 239 දෙනෙකු ඊයේ (31) දිනයේදීත් අලුතින් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10,663 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තාවූ ආසාදිතයන්ගෙන් 180 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන් හි ආශ්‍රිතයන් වන අතර, සෙසු 59 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තාවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (31) දිනයේදී වාර්තාවූ නව ආසාදිතයන් 239 දෙනා සමඟින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 7,000 ඉක්මවා ගියා. එය දැක්වුණේ 7,185 ක් ලෙසයි.

මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සුවවූ කොරෝනා ආසාදිතයින් රෝහලින් පිටව යන අවස්ථාවේදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණය ඉදිරියේදී නවතා දැමීමට කටයුතු කරන බවයි.

එය වෛද්‍ය පර්යේෂණ මගින් අවශ්‍ය නොවන ක්‍රියාවක් බවට තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළා.

පිළියන්දල නගරයේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාර මධ්‍යස්ථානයකට කොරෝනා ආසාදිතයෙකු පැමිණීම හේතුවෙන් එම රසායනාගාරයේ සේවකයින් හතරදෙනෙකු (4) ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු ගෙවී ගිය දින දෙක තුළදී හමුවූ බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළා.

වෙන්නප්පුව – වයික්කාල, තල්විල, කටුනේරිය, කුමාරකට්ටුව වැනි ප්‍රදේශවලින් මෙම පිරිස සොයාගෙන තිබෙනවා.

එමෙන්ම ත්‍රිකුණාමලය – උවර්මලේ ප්‍රදේශයේ නිරෝධායන නීති කඩකරමින් පැවති විවාහ මංගල උත්සවයක් නතර කිරීමට ඊයේ (31) පියවර ගෙන තිබුණා. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඒ. ලදාගරන් මහතා සඳහන් කළේ එම මංගල උත්සවයට පැමිණි 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි.

මේ අතර මුල්ලේරියාව රෝහලේ අක්‍රියව පැවති පී.සී.ආර්. යන්ත්‍ර මේ වනවිට යළි පණ ගන්වා තිබෙනවා.

පසුගියදා එය අලුත්වැඩියා කිරීම සඳහා චීනයෙන් විශේෂිත නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණියා.

ඒ අනුව හැකි ඉක්මණින් එම යන්ත්‍රයෙන්ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවලට අවශ්‍ය විෂබීජනාශක දියර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය එතනෝල් මධ්‍යසාර ලබාදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සෑම දිනකම පැය විසි හතර පුරා විවෘත කිරීමටද තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++

(01.11.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 153 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 35 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(01.11.2020 – 10:08 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 80 ක් වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා ලිපියක් ද යොමුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඊට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී සහ සියලුම මාධ්‍ය ආයතන ද ඇතුළත්.

කෙසේ වෙතත් ඇඳිරි නීති කාලය තුළ තම සේවා හැඳුනුම්පත අවභාවිතා කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද වැඩබලන පොලිස්පතිවරයා අදාළ ලිපියෙන් දැනුම්දී තිබෙනවා.

එම ආයතන ලැයිස්තුව පහතින් :

+++++++++++++++++

(01.11.2020 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර ලබන අගහරුවාදා (03) සිට ආරම්භ කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සදහා මුදල් ලැබීමෙන් පසු සතියක් තුළ අදාළ දීමනාව ලබා දී අවසන් කරන ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

දෙවන අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 4,64,254 කට රුපියල් 5000 දීමනාව හිමිවනවා .

ඊට රජය වෙන් කරන මුදල රුපියල් 2,321,270,000 ක්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

++++++++++++++++

(01.11.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

රසායානාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව පෙරේදා ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇති අතර එහි රාජකාරි ආවරණය කිරීම සඳහා පර්යේෂණ හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස්.කේ. රත්නායක මහතා පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

වෛද්‍ය ආනන්ද ජයලාල් එම තනතුරෙන් ඉවත් කරන ලෙසට මීට පෙර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ සංගමය චෝදනා 16 කින් සමන්විත ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණා.

කොරෝනා වසංගතය හමුවේ රසායනාගාර සේවාව තුළ ඇති බිඳ වැටීම් ගණනාවකට මොහු වගකිව යුතු බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

+++++++++++++++++

(01.11.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ පළාතෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන තත්ත්වයක් තුළ මේ මොහොතේ ඇඳිරි නීතිය ඉවත් කිරීම සිදු නොකළ යුතු බවයි.

බස්නාහිර පළාත සදහා නිරෝධායන ඇඳිරි නීතිය පනවන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම පළාතෙන් වෙනත් ප්‍රදේශ වෙත පිටවයාම හේතුවෙන් නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් සංඛ්‍යාව 554 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (01) එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ ප්‍රදේශ කිහිපයකට හෙට ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසුව ද පිට පළාත් ගොස් සිට යළි බස්නාහිර පළාතට පැමිණෙන පුද්ගලයින් හදුනාගැනීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 80 ක් වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා ලිපියක් ද යොමුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඊට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී සහ සියලුම මාධ්‍ය ආයතන ද ඇතුළත්.

කෙසේ වෙතත් ඇඳිරි නීති කාලය තුළ තම සේවා හැඳුනුම්පත අවභාවිතා කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද වැඩබලන පොලිස්පතිවරයා අදාළ ලිපියෙන් දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 153 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 35 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ(31) පස්වරුවේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් මුරපොළවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සදහා ආහාර පාන ලබාදීමේ වැඩසටහනකට එක් වුණා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රුපියල් පන්දහස (5000) ලබාදීමේ දෙවන (2) අදියර අනිද්දා (03) සිට ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ සඳහා මුදල් ලැබීමෙන් පසු සතියක් ඇතුළත අදාළ දීමනාව ලබාදී අවසන් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දෙවන අදියර යටතේ මෙම දීමනාව ලැබෙන දිස්ත්‍රික්කයේ පවුල් සංඛ්‍යාව හාරලක්ෂ 64,254 ක්.

එමෙන්ම නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් දස දහසක (10,000) ආහාර මල්ලක් නොමිලේ ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++++++++++

(01.11.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

අද (01) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 86 ක් වන අතර, ඉන් වැඩිම පිරිස වන 51 ක් වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින්.

දෙහිවල ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 13 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයෙන් ද අලුතින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (31) දිනයේ නව ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් 28 දෙනෙකු නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (31) දිනයේදී මෙලෙස අලුතින් හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 239 ක්.

ඒ සමඟම මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 10,663 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,244 ක්.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෑතකදී කොරෝනා වෛරසයට ගොදුරු වූ බොහෝ දෙනෙකු තම ප්‍රධාන රැකියාවට අමතරව මත්ස්‍ය වෙළඳාමේ නිරතවූවන් බවට අනාවරණ වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය පැවති ප්‍රදේශවලට ආරක්ෂක අංශ මඟහැර මොවුන් මාළු අලෙවි කිරීම සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 106 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ ද තවත් නිලධාරීන් 6 දෙනෙකු ආසාදිතයන් ලෙස අලුතින් හඳුනා ගැනීමත් සමඟ එම කොට්ඨාශයෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 30 ක්.

කොළඹ අපරාධ කෙට්ඨාසයේ කාන්තා නිලධාරිනියකට වෛරසය අසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව කාන්තා නිලධාරීන් 235 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

මෝදර, වරාය, දෙමටගොඩ, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථාන වලින් නව ආසාදිතයන් වාර්තා වී තිබෙනවා ෴

++++++++++++++++++

(01.11.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කළුබෝවිල රෝහලේ 15 බී ළමා වාට්ටුවේ වෛද්‍යවරියකට ද වෛරසය ආසාදනය වී ඇති බව අද(01) වාර්තා වුණා.

ඒ හේතුවෙන් එම වෛද්‍යවරියගේ ආශ්‍රිත සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මීට පෙරද එම රෝහලේ වෛද්‍යවරයෙකුට වෛරසය ආසාදනය වුණා.

කොළඹ ජාතික රෝහලේ ද තවත් හෙද නිලධාරිනියකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

වාට්ටු අංක 5 හි රාජකාරී කරන හෙද නිලධාරිනියක් මෙලෙස කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදියි.

ඇඹිලිපිටිය නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින ආසාදිත රෝගීන්ට දුම්වැටි අලෙවි කළ පුද්ගලයෙකු සොයා පොලීසිය සහ සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රෝගියෙකු විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය ආසන්න ප්‍රදේශයේ ජීවත් වන තරුණයෙකු සමඟ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති කර ගත් දැන හැදුනුම්කම් මත එක් අවස්ථාවක දුම්වැටි ලබාගෙන ඇති අතර, පසුව යළිත් වරක් තවත් රෝගීන්ගෙන් මුදල් එකතු කර පළමු අවස්ථාවේ දුම්වැටි ගෙන්වා ගත් පුද්ගලයා දුම්වැටි ගෙන්වා ගැනීමට නැවත වතාවක් මෙම තරුණයාට මුදල් ලබාදී තිබුණා.

කෙසේ වෙතත්, අදාළ තරුණයා එම මුදල් රැගෙන දුම්වැටි ලබානොදීම හේතුවෙන් මුදල් ලබාදුන් රෝගියා විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බලධාරීන්ට ඒ පිළිබදව දැනුම් දුන් අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන් ඔහු සොයා විමර්ශන ආරම්භ කළ බව සදහන්.

අදාළ තරුණයා දුම්වැටි මිලදී ගත් බව කියන වෙළදසැල ද වසා දමා නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර, තරුණයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වටරැක – පානලුව ප්‍රදේශයේ පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා කාර්යාලයේ ආරක්ෂ අංශ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මාළු මිලදී ගැනීම සඳහා ගිය එම කාර්යාලයේ තවත් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට පසුගිය දා තහවුරු වීමත් සමඟ සිදුකළ පරීක්ෂණ අනුවයි මෙම නව ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ.

තම මවගේ හදිසි අභාවය නිසා අවසන් කටයුතුවලට සහභාගිවීමට නොහැකි වූ කොරෝනා ආසාදිත පුත්‍රයා ඇය වෙනුවෙන් තමන් ප්‍රතිකාර ලබන රෝහලේ සිට පාංශූකූල ලබාදීමේ පිංකමක් අඹන්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ සඳහා අඹන්පොළ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහින්ද උයන්ගොඩ මහතා විසින් අවශ්‍ය පහසුකම් සංවිධානය කර දී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(01.11.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් තිබූ කහ කිලෝ ග්‍රෑම් 1,600 ක් සමඟ අටදෙනෙකු (8) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (31) උඩප්පුව මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්.

කහ තොගය මෙරටට රැගෙන ආ බව කියන බෝට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ ෴

***************************************

(01.11.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

වාරි ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය කාල වකවානුවේ වැසි අපේක්ෂා කළද ප්‍රමාණවත් තරම් වැසි නොලැබීම හේතුවෙන් මහ කන්නයේ වගා සිදුකිරීමට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවන මට්ටමකට ළඟාවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙතෙක් වගා තීරණ ක්‍රියාත්මක කර නොමැති ජලාශ හා අමුණුවල වගාව ඉදිරි වැසි ලැබෙන තෙක් ප්‍රමාද කරන ලෙස වගා ඉංජිනේරුවන්ට උපදෙස් ද ලබාදී තිබෙනවා.

***************************************

(01.11.2020 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර නේවාසික වීසා බලපත්‍රයක් සහ ගුවන් බලපත්‍රයක් සකසා විදේශගතවීමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාජ ලේඛන භාවිත කරමින් කටාර් රාජ්‍යය හරහා ඉතාලිය වෙත යාමටයි මෙම තරුණයා සැළසුම් කර ඇත්තේ.

ඔහු මන්නාරම වෙල්ලාකුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු බවටයි ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඊයේ (31) අලුයම 3 ට පමණ මොහු ගුවන් තොටුපලට පැමිණ ඇති අතර, ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ කවුළුවට ඔහු ඉදිරිපත් කළ නේවාසික වීසා කාඩ්පත පිළිබඳව සැක සිතූ කටාර් ගුවන් සේවයේ නිලධාරීන් අදාළ ලියකියවිලි වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන්ට භාරදී තිබෙනවා.

එහිදී ඔහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදියි මෙලෙස ව්‍යාජ බලපත්‍ර උපයෝගී කරගනිමින් ඉතාලිය බලා ගමන් කිරීමට උත්සාහ ගෙන ඇති බවට හෙළිවී ඇත්තේ ෴

***************************************

(01.11.2020 – 08:52 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදාව පසුගිය සතිය තුළ සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

කේරළ ගංජා ප්‍රමාණය කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950 ක් ඒ අතර පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

සැකකරුවන් තුන්දෙනෙකුද (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් 34 සහ 39 යන වයස්වල පසුවන පේදුරුතුඩුව, කල්පිටිය සහ උරනි යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

(01.11.2020 – 10:40 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (31) පෙරවරු 6 සිට අද (01) අලුයම 5 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එම වැටලීම් වලදී හෙරොයින් සහ ගංජා ළඟතබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(01.11.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

සීගිරිය සංචාරක පොලිස් මුරපලේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතා හදිසියේ මියගොස් තිබෙනවා.

මොහු නිරීක්ෂණ කටයුත්තක් සඳහා සීගිරියේ සිංහ පාදය දෙසට ඊයේ (31) ගමන් කරමින් සිටියදී ඇදවැටී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පසුව ගිලන් රථයකින් ස්ථානාධිපතිවරයා සීගිරිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තාවන්නේ.

58 හැවිරිදි ස්ථානාධිපතිවරයා හදිසි හෘදයාබාධයකින් මියයන්නට ඇති බවට සැක කරන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදුකිරීමට නියමිතයි.

දේහයෙන් ලබාගත් සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයකටද යොමුකර ඇති අතර, එහිදී ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

පසුගියදා බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ලක්මාල් මහතා ද රාජකාරි කටයුත්තක නිරතවෙමින් සිටියදී හදිසියේ මියගිය අතර, පසුව හෙළිවුණේ හෘදයාබාධයකින් පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ෴

***************************************

(01.11.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අක්මීමන බින්දු’ නැමැත්තා ගිනි අවි ඇතුලු ආයුධ තොගයක් සමඟ අක්මීමන – ගිනිගල්තුඩුව – සේනානායක මාවත ප්‍රදේශයේදී ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ගෙවත්තේ වළදමා තිබූ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ටී 56 උණ්ඩ 6 ක්, පිස්තෝල උණ්ඩ හයක් (6), මයික්‍රෝ උණ්ඩ 6 ක්, රිවෝල්වර උණ්ඩ 3 ක් සහ කිනිසි තුනක් (3) ද සොයාගැනුනා ෴

***************************************

(01.11.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – කණන්ගමුව, දුනුකේවත්ත සහ දොරකුඹුර යන ප්‍රදේශයන්හි පවතින නිවාස 50 ක පමණ බිත්ති සහ පොළොව පුපුරායාම හේතුවෙන් ඒවායේ ජීවත්වන ජනතාව දැඩි බියට පත්ව තිබෙනවා.

දිගු කළක සිට පවතින මෙම තත්ත්වයට හේතුව තමන් නොදන්නා බවත්, ඒ පිළිබඳව වගකිවයුතු අංශ දැනුවත් කර ඇති බව ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර මහතා ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ 2012 වසරේ සිට අදාළ ප්‍රදේශවල ගිලාබැසීම් වාර්තාවී ඇති ඇති බවයි.

කෙසේ වෙතත් එමඟින් නිවාස කිහිපයකට පමණක් හානි සිදුව ඇති අතර, ඔවුන්ට ඉන් ඉවත්වීමට දැනුම්දී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

දේශීයව නිෂ්පාදනය කරන පළමු කඨින චීවරය විවීම මැදිරිගිරිය බිසෝපුර නව උදා ගම්මානයේ පිහිටි දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන ආයතනයේදී අද (01) ආරම්භ වුණා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රොෂාන් රණසිංහ සහ දයාසිරි ජයසේකර යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ වසරකදී භික්ෂුන් වහන්සේට අවශ්‍ය වන සිවුරු 40,000 ක් මෙන්ම කඨින චීවර දස දහසක් දේශීයව නිෂ්පාදනය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි ෴

***************************************

(01.11.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා, ‘එයාර් චීෆ් මාර්ෂල්’ ධුරයට උසස් කර තිබෙනවා.

ඔහුගේ සේවා කාලය හෙට (02) දිනයෙන් අවසන් වන අතර, නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අනිද්දා (03) සිය ධුරයේ වැඩභාරගැනීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *