අමතකවෙන මිනිසත්කම

අමතකවෙන මිනිසත්කම

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට පොලීසියට උපදෙස් – දිස්ත්‍රික්ක අතර සංචරණය තදින් සීමා කෙරේ

*********************************************

අමතකවෙන මිනිසත්කම

(01.11.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මවක් තම රුධිරය කිරට හරවා දරුවන්ට ජීවය ලබා දෙනවා සේම පියෙකු දහඬිය කඳුලු වගුරුවමින් ඒ ජීවයට පන පොවන්නේ උත්තරීතර පිය සෙනෙහස නිසා.

එහෙත් දරුවන් උස් මහත් වී මව්පියන්ට නොසලකන පුවත් අපට නිරන්තරයෙන් පසුගිය දින කිහිපයේදීම වාර්තාවුණා.

පවතින කොවිඩ් ව්‍යාප්තියත් සමඟ මේ බොහෝ දෙනා පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටයි.

ගම්පහ -ගනේමුල්ල – හොරගොල්ල අමර විහාරය අසලට මෙම පියා පසුගියදා දමා ගොස් තිබුණා.

“දාලා ගිහිං කියලා හිතුණා. හෙමින් හෙමින් ඇවිදගෙන ඇවිත් මෙතනින් ඉඳගත්තා.”

පන්සලට වඳින්න ගෙනාවේ කවුද? මේ සීයාව වඳින්න කියලා කවුරු හරි ගෙනත් දාලා. සමහර වෙලාවට මෙයා දරුවෝ ගැන කියනවා , ඉන්න තැනක් කියන්නේ නැහැ. දරුවන්ට ලැජ්ජාවෙයි කියලා හිතලා. අනුරාධපුරයේ ඉඳන් මෙහේ එන්න බැහැනේ කෝච්චි බස් නැහැනේ. කොහොමද ආවේ..? ඇඳිරි නීතියනේ.”

අනතුරුව ගම්පහ නගරාධිපතිවරයාත්, ග්‍රාමසේවා නිලධාරී හා ගම්වාසීන් මැදිහත්ව මේ පියා රාගම රෝහලට රැගෙන ගියා.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මැදිමාලිගාතැන්න දිසාපතිවරයා මැදහත්ව වැඩිහිටි නිවාසයකට ඇතුළත් කර තිබෙනවා.

මෙම පියාගේ අනන්‍යතාව හඳුනාගත් පසුව ඔහුව මහමඟ දමා ගිය දරුවන් සොයා කටයුතු කරන බව බලධාරීන් සඳහන් කළා.

– – – – – – – – – – – – –

මේ අතර තවත් එවැනිම දුක්බර සිදුවීම් කිහිපයක් වාර්තා වුණේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්.

බණ්ඩාරගම නගරයේ ප්‍රධාන බස්නැවතුම්පලේ සිටින යාචක පිරිසක් මේ. මේ දිනවල කර කියාගත නොහැකිව ඔවුන් පාලුවට ගිය නගරයේ අසරණව ජීවත්වන අයුරු අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. ආරක්ෂක අංශ නිලධාරීන් සහ ගම්වාසීන් විටෙන් විට ආහාර ලබා දීමට කටයුතු කළත් ඔවුන් හට වෙන කිසිඳු පිළිසරණයක් මෙහි නැහැ. මෙම යාචක පිරිස පවසන්නේ තම දරුවන් නොසැලකීම හේතුවෙන් මෙලෙස මහ මඟ තනිව ජීවත් වීමට සිදුව ඇති බවයි.

***************************************

(01.11.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටියදී වියලි කහ කිලෝග්‍රෑම් 4,150 ක් පසුගිය දින දෙක (2) තුළදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් කිලෝග්‍රෑම් 2042 ක් පුත්තලම – පෙත්තාලෙයි වෙරළ තීරයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් පස්දෙනෙකුද සමගයි.

ඊයේ (31) අලුයම පෙරියපාඩු වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අටදෙනෙකු (8) සමඟ තවත් වියලි කහ කිලෝ 1,600 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම නාවික හමුදාව සඳහන් කළේ තවත් කහ කිලෝග්‍රෑම් 508 ක් මන්නාරම – වංකාලෙයි වෙරළ තීරයේදී සිය භාරයට ගත් බවයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව තුනක් (3) ෴

***************************************

(01.11.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි උඩමාලිබොඩ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහල වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවා.

ගර්භණී වාට්ටුවක් ඇතුළු වාට්ටු 5 කින්, මෘත ශරිරාගාරයකින් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙන් වූ නේවාසිකාගාරවලින්ද සමන්විත වන මෙම රෝහලෙන් ඒ අවට ගම්මාන 20 ක අයත් 25,000 කට අධික ජනතාවට සෙත සැලසුණා.

කෙසේ වෙතත්, මෙම උඩමාලිබොඩ ග්‍රාමීය රෝහල අභාවයට යාමට පටන් ගන්නේ 2015 වසරෙන් අනතුරුවයි.

උඩමාලිබොඩ ග්‍රාමීය රෝහලෙන් ලැබුණු සේවය නැවතීමත් සමග ප්‍රදේශයේ ජනතාවට කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි දැරණියගල රෝහල වෙත යාමට සිදුව තිබෙනවා.

විශාල පිරිසකට සෙත සැලසූ උඩමාලිබොඩ ග්‍රාමීය රෝහලේ මේ වනවිට වවුල් රජ දහනක් බවටයි පත්ව තිබෙන්නේ.

මෙම රෝහල කඩිනමින් යථා තත්ත්වයට පත්කර මීට පෙර සැපයූ සේවාව නැවතත් තමන්ට ලබාදෙන ලෙසයි ප්‍රදේශවාසී ජනතාව ඉල්ලා සිටින්නේ.

සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් දිය යුතු මෙවන් කාලවකවානුවක මෙවැනි සම්පත් තවදුරටත් වල්බිහිවීමට ඉඩ නොතැබීම බලධාරීන්ට සතු වගකීමක්.

උඩමාලිබොඩ ග්‍රාමීය රෝහලේ සේවාව යළිත් ජනතාවට ලැබෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(01.11.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ වායු ගුණ මැණීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 සිට අසාමාන්‍ය ලෙස ඉහළගොස් ඇති බවයි.

කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුලු ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වැනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා එහි අගය පෙන්නුම් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින් කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

දිවයින වටා පවතින සුළං ප්‍රවාහය හේතුවෙන් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වායු දූෂක මෙරට වායුගෝලයට ඇතුළුවීම මෙලෙස වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය ඉහළ යෑමට හේතුව වී ඇති බව එයා විෂුවල් වෙබ් අඩවිය ප්‍රකාශ කළා.

එම වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ වාය දූෂණ තත්ත්වය දැක්වුණේ මේ ආකාරයෙන්.

මෙම තත්ත්වය ඉදිරි දින වලදීත් මේ ආකාරයටම පැවතිය හැකි බැවින් කුඩා ළමුන්, වැඩිහිටියන්, ගර්භනී මාතාවන් සහ ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය හමුවේ අදාළ කණ්ඩායම්වලට හුස්ම ගැනීමේ අපහසුතාවක්ද ඇති වීමට ඉඩ පවතින බැවින් මුඛ ආවරණ නිරන්තරයෙන් පළඳින ලෙස එම සංවිධානය ප්‍රකාශ කළා.

එමෙන්ම ව්‍යායාම්, ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයන්හි නිරතවීමද හැකිතාක් අවම කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටින්නේ.

***************************************

(01.11.2020 – 14:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කිරීම අද (01) සිදු කෙරුණා.

ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන්.

පොලිස් දෙපාර්තමේන්තුව සහ ඛනිජ තෙල් තොග ගබඩා කිරීමේ පර්යන්තය මගින් මෙම අවස්ථාව සංවිධාන කර තිබූ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙන්ම ලංකා ඛනිජ තෙල් සහ තොග ගබඩා කිරීමේ පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස්ද මහතා එම අවස්ථාවට එක්වුණා.

+++++++++++++++++

(01.11.2020 – 15:39 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංගණය කරමින් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණි 15 දෙනෙකු පමණ ඔවුන් රැදී සිටි සංචාරක හෝටල් තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මොවුන් ඉකුත් 28 සහ 29 යන දෙදින තුළ කොළඹ, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල සිට පැමිණි පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.

නිරෝධායන නීති උල්ලංගණය කරමින් විකල්ප මාර්ග ඔස්සේ මොවුන් නුවරඑළියට පැමිණ ඇති බවට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා ෴

+++++++++++++++++++

(01.11.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

මළවුන් සිහි කරන හෙට (02) දිනයේ ඊට අදාළ ආගමික චාරිත්‍ර නිවසේ සිට සිදුකරන ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මොරටුව, ජාඇල, කටුනායක, වත්තල, කඳාන, සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ජනතාව මෙලෙස අනිවාර්යෙන් නිවසට වී ආගමික චාරිත්‍ර සිදුකරන ලෙසයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල වෙසෙන කතෝලික ජනතාව ද ඒකරාශීවීම් අවම කර මෙම උපදෙස් පිළිපදිනු ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අපේක්ෂා කරනවා ෴

++++++++++++++++++++

(01.11.2020 – 15:55 +0530 – hirunews.lk/sinhala)

දිනකදී සුවය ලැබූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (01) දිනයේ නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් 506 දෙනෙකු මෙලෙස සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි.

ඒ අනුව සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4905 දක්වා ඉහළ ගියා. තවදුරටත් පුද්ගලයින් 5738 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++

(01.11.2020 – 16:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් රෝහල් ගතවීමට පෙර 011 796 6366 අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය දැනුම්දෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා කියා සිටියේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය නම් මෙම අංකයට අමතන ලෙසයි ෴

පිටකොටුව මැනිං පොදු වෙළඳපොල දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව මැනිං වෙළඳ සංගමය පවසනවා ෴

+++++++++++++++++++

(01.11.2020 – 17:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 125 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ 400 කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලත්, 2000 ක පමණ පිරිසක් පොලිස් බැරක්කවලත්, නිරෝධායනයට ලක්වන බවයි.

+++++++++++++++++

(01.11.2020 – 17:25 +0530 – hirunews.lk/sinhala)

හෙට (02) සිට නැවත දැනුම් දෙන තුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල පෙරවරු 8 සිට පස්වරු 04:30 දක්වා දුරකථන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ සම්බන්ධ කර උපදෙස් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත්, මහනුවර, වව්නියාව, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල අත්‍යාවශ්‍ය අවස්ථාවලදී ගමන් බලපත්‍ර ලබාදීම සඳහා විවෘතව තැබෙන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

*********************************************

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට පොලීසියට උපදෙස් – දිස්ත්‍රික්ක අතර සංචරණය තදින් සීමා කෙරේ

(01.11.2020 – 17:34 +0530 – hirunews.lk/sinhala)

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගෙන තිබෙනවා.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතු අතර ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14 කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන ලෙසටයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට නියම කර ඇත්තේ.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළා.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් ඇති අතර මෙම මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරනය අත්හිටුවිමට ද තීරණය කර තිබෙනවා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බවයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව ඔහු ප්‍රකාශ කළා.

නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000 ක බඩු මල්ලක් දීමට ද පියවර ගෙන තිබෙනවා.

රෝග ව්‍යාප්තිය නතර කිරීමෙන් පසුව ද ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනිදා සඳුදා පෙ.ව. 05:00 තෙක් දීර්ඝ කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

මෙම කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලීසියට උපදෙස් දී තිබෙනවා ෴

++++++++++++++++

+++++++++++++++++

(01.11.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 193 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඔවුන්ගෙන් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර ඉතිරි 187 දෙනා ආසාදිතයන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ ෴

කොරෝනා ආසාදනය වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු උපන් දිනය සාදයකට සහභාගි වූ පුවතක් වාර්තා වනවා.

නිකවැරටිය – දියගම ප්‍රදේශයේ උපන් දින සාදයකට මෙම කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා සහභාගිවීම හේතුවෙන් එහි පවුල් 35 කට අයත් පුද්ගලයන් 150 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන් ෴

+++++++++++++++

(01.11.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇත්තේ අද (01) දිනයේ නව ආසාදිතයන් 19 දෙනෙකු අලුතෙන් හඳුනාගැනීමත් සමඟයි.

මොවුන් මාවනැල්ල සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.

සීතාවක නගර සභා බල ප්‍රදේශයෙන්ද තවත් ආසාදිතයන් හයදෙනෙකු (6) වාර්තාවී ඇති අතර, ඔවුන් පහළ පුවක්පිටිය, ගලපිටමඩම සහ විද්‍යාල මාවත ආදී ප්‍රදේශවල පදිංචි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් බව අනාවරණ වී තිබෙනවා.

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ තවත් ආසාදිතයන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මස්කෙලිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) හඳුනා ගැනීමත් සමඟම ඔවුන් හා සම්බන්ධ වී කටයුතු කළ පවුල් 15 කට අයත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මෙම කොරෝනා ආසාදිතයින් දෙදෙනාගෙන් (2) එක් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හා සම්බන්ධ වූ අයෙකු වන අතර, ඔහු පසුගිය දා මස්කෙලිය ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සයකට ද සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණ වනවා ෴

+++++++++++++++++++

(01.11.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 90 ක්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සඳහන් කළා.

අද (01) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මීට පෙර වාර්තාවූ කොරෝනා වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් මෙම වෛරස් ප්‍රභේදය ක්ෂණික තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් සහිත බවයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ යම් රෝග ලක්ෂණයක් මතුවුවහොත් රෝහල්ගතවීමට පෙර 011 796 6366 අංකය අමතන ලෙසයි ඔහු දැනුම් දුන්නේ ෴

++++++++++++++++++

(01.11.2020 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 21 වන කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තාවී තිබෙනවා.

එම පුද්ගලයා 40 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා ෴

++++++++++++++++

BOI කර්මාන්ත ශාලා සඳහා ඇදිරිනීති බලපත් ලබා ගැනීමට කළ යුතු දේ

(01.11.2020 – 20:15 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද ඒ අනුව ම ක්‍රියාත්මකවීම අපේක්ෂා‍ කෙරේ.

ඒ සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියේ www.investsrilanka.com ඇති උපදෙස් අනුව නිකුත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දායකත්වය ලබා දෙන බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ ෴

++++++++++++++++++

මෙරට පැතිර යන වෛරසය යුරෝපීය වෛරස කාණ්ඩයට සමානයි

(01.11.2020 – 13:11 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ ව්‍යාප්ත කොවිඩ් නව වෛරස කාණ්ඩය යුරෝපය තුළ පැතිරයන වෛරස කාණ්ඩයට සමාන බැවින් එය ඉන්දියාව තුළ ව්‍යාප්ත වෛරස කාණ්ඩයට අයත් නොවන බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

එම පර්යේෂක අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනය අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අද (01) ‘BIG FOCUS’ වැඩසටහන එක්වෙමින් මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආචාර්ය චන්දිම ජීවන්දර මහතා :

++++++++++++++++++++

ශිලනි තාරකීට PCR කරලා…හෝටලේම නිරෝධායනයට දාලා – TRUENEWS සමග හැප්පෙන්න ගිහින් …

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *