ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල උසස්පෙළ සිසු සිසුවියන්ට දැනුම්දීමක්

ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල උසස්පෙළ සිසු සිසුවියන්ට දැනුම්දීමක්

ජංගම වෙළෙඳුන්ට අවසර ලැබෙන හැටි

රට තුළ ඇති තත්ත්වය Alert Level 3 – සෞඛ්‍ය අමාත්‍යංශය

*********************************************

ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල උසස්පෙළ සිසු සිසුවියන්ට දැනුම්දීමක්

(01.11.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ප්‍රවාහන ගැටලු පවතී නම් 077 105 6032 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසට ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙනවා.

මේ අතර අද (01) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ විභාගයට පෙනී සිටින සිසුන්ට ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරමින් පැමිණිය හැකි බවයි.

විභාගයට පැමිණෙන කාර්ය මණ්ඩලවලට ද එම අවස්ථාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේ විභාග වලට පෙනී සිටින සිසුන්ට හෝ කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන ගැටළුවක් ඇත්නම් 077 105 6032 යන අංකයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන වෙත පැමිණිලි කළ හැකි බවයි ෴

+++++++++++++++++

(01.11.2020 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 204 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේවන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11,060 ක්.

අද (01) හමුවූ මෙම ආසාදිතයන් 204 දෙනාගෙන් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 169 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ ෴

++++++++++++++++++

(02.11.2020 – 07:10 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතටම යළිත් මේ මස 9 වනදා සඳුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පනවනු ලැබූ බැවින් පෙර දැනුම් දුන් පරිදි වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර නොමැති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය සතියේදී බස්නාහිර පළාතේ සහ කුලියාපිටිය කොට්ඨාශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ඔසුසැල් සහ වෙළඳසැල් විවෘත කිරීමට දින සහ වේලාවන් වෙන් කර තිබූ බවයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 9 වන දා අලුයම 5 දක්වා දීර්ඝ කරන බවයි.

මීට අමතරව ඇහැලියගොඩ, කුලියාපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කුරුණෑගල මහ නගර සභා බලසීමාවට ද අද (02) අලුයම 5 සිට එළඹෙන 9 වනදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

එමෙන්ම, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5 ට ද මේ මස 9 වන දා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතයට ගත හැකි ආයතන සංඛ්‍යාව 89 දක්වා ඉහළ දැමූ බව ද ඔහු ඊයේ (01) ප්‍රකාශ කළා.

එමෙන්ම, රජය නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගන්නා ආකාරය පිළිබද ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ උපදෙස් ලබා ගත හැකියි.
http://investsrilanka.com/

මේ අතර, ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

පුද්ගල දුරස්ථභාවය, ශ්වසන ආචාර විධි, විෂබීජහරණ ක්‍රියාපිළිවෙත්, මුහුණු ආවරණ නිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් උපදෙස් එහි ඇතුළත් ෴

+++++++++++++++++

(02.11.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයන් 397 දෙනෙකු ඊයේ (01) දිනයේදී හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 11,060 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ 397 දෙනාගෙන් 356 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් වන අතර 41 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 7582 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6134 ක් වන අතර, ආසාදිතයින් 4905 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින ආයතන තුළ නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල හා සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවයි.

මේ වන විට ලොව පුරා කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් රටවල් රැසක් අඩපණ වී ඇති අවස්ථාවක ඕස්ට්‍රේලියාව ඊට සාර්ථකව මුහුණ දී තිබෙනවා ෴

++++++++++++++++++

(02.11.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala)

හොරණ ප්‍රදේශයේ සේවකයන් 6000 ක් පමණ සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

මේ අතර වත්තල ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 800 ක් ස්වයං නිරෝධායනය සඳහා ඊයේ (01) යොමු කළා ෴

++++++++++++++++++++++

(02.11.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ පාසල් ආරම්භ කිරීමේ කාලවකවානු සහ විභාග කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී රටේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු රැසක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.

මේ අතර, විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විභාග අපේක්ෂකයන් සහ කාර්ය මණ්ඩල සඳහා අදාළ විභාග ශාලාව වෙත පැමිණිමේදී නිරෝධායන ඇදිරි නීතිය බාධාවක් නොවන බවයි.

එම කටයුතු සඳහා ජාතික හැදුනුම්පත හෝ සේවා හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව ද එම නිවේදනයේ සදහන් ෴

+++++++++++++++++++

(02.11.2020 – 08:30 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 රේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංගණය කළ 179 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 1812 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම, පසුගිය 30 වන දා සිට මේ දක්වා මුහුණු ආවරණ නොමැති සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති කඩ කළ 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු කියා සිටියා ෴

‘කොරෝනා වෛරසය වැළදීමේ අවදානමක් සහිත පුද්ගලයන්’ (?) මාර්ග දෙපස හෝ වසා දමා ඇති මත්ස්‍ය අලෙවිසැල් අසළ හෝ වෙළදාමේ නිරත වුවහොත් (?) නිරෝධායන නීති අනුව නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා ෴

***************************************

(02.11.2020 – 08:14 +0530 – hirunews.lk/sinhala)

කතරගම – කටගමුව වැව ආසන්නයේ දඩයක්කරුවන් පිරිසක් සහ වනජීවි නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී 08:10 ට පමණ සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ දඩයක්කරුවෙකු කතරගම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවුණා.

දඩයක්කරුවන් මුවන් දෙදෙනෙකුට (2) වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේ කටගමුව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරීවරයා ප්‍රමුඛ වනජිවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ ෴

*********************************************

ජංගම වෙළෙඳුන්ට අවසර ලැබෙන හැටි

(02.11.2020 – 09:47 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදුකළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ සඳහා වු ක්‍රමවේදය අද (02) දිනය තුළ සකස් කර අවසන් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

“මාර්තු සිට මැයි, ජූනි දක්වා වු කාලයේ දී එම ක්‍රමවේදය සකස් වුණා. ඒ ගැන එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතිකය ලබා ගත්තට පස්සේ, පොලීසියේ අවසරය ලබා දෙනවා ඒ ප්‍රදේශයේ අදාළ ‘ඩිලිවරි’ සේවා පවත්වාගෙන යෑමට. විශේෂයෙන්ම අපිට අවශ්‍ය වන ඖෂධ, ආහාර, එළවළු හා මාළු වැනි අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමට අදාළ ක්‍රමවේදය අද සකස් වෙනවා. පෙර පරිදිම තමයි. ඒ අය යම් ව්‍යාපාරයක නිරතවෙන අය බවට ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් මගින් සනාථ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලියාපදිංචි ව්‍යාපාරයක් වෙන්න ඕනේ. ඒවගේ අයට ඒ සඳහා අවසර ලබාදීමට තීරණය කරලා තියෙනවා.”

තොග වෙළෙඳුන්ට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉඩ ලැබෙනවා ද?

“ආහාර, එළවළු, සත්ව නිෂ්පාදන හා බිත්තර වැනි දේවල් ඒ ඒ ප්‍රදේශවලින් තොග වශයෙන් ගේන අයට යම් දුරකට එන්න කිසිදු බාධාවක් නෑ. ඒ සඳහා බලපත්‍ර නිකුත් කරනවා. මාර්ග බාධකවලටත් අපි දැනුම් දෙනවා. තොග වශයෙන් එහෙම එන්න පුළුවන් කළුතර හෝ කොළඹ හෝ තෝරාගත් තැනකට. ධීවර අයටත් එහෙමයි. අපි – පොලිස් මුලස්ථානය පෙරේදා (31) නිකුත් කරා විශේෂ නිවේදනයක් මත්ස්‍ය අත්වැන්න ලබා ගෙන ඕනෑම ධීවර වරායකට එන අයට ඒවා අලෙවි කිරීමට හෝ ගබඩා කිරීමට සම්පූර්ණ පහසුකම් සලසන්න කියලා. එක්කෙනෙකුට දෙන්නෙකුට බස්නාහිර පළාතට එන්න බෑ. නමුත් ලොරියක් වශයෙන් තොග ගේනවා නම් ඒවාට බස්නාහිර පළාතට ඇතුළු වෙන්න අවස්ථාව සලසා තියෙනවා.”

*********************************************

රට තුළ ඇති තත්ත්වය Alert Level 3 – සෞඛ්‍ය අමාත්‍යංශය

(01.11.2020 – 20:59 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

“රට තුළ ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන අතර දැනට රට තුළ ඇති තත්ත්වය ‘Alert Level 3’ ලෙස සැළකේ,” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගෘහස්ත, එළිමහන් උත්සව සහ මහජන රැස්වීම් සඳහා අවසර නැත.

සම්පූර්ණ මාර්ගෝපදේශ පහතින් :

+++++++++++++

MINISTRY OF HEALTH
http://www.health.gov.lk/

++++++++++++++++++++

(02.11.2020 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය මහරෝහලේ වෛද්‍යවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ.

පසුගිය සිකුරාදා ඔහු කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් පැමිණි පසු උණ රෝගය ඇතිවීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ හේතුවෙන් ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් 3 දෙනෙකු ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ෴

***************************************

(02.11.2020 – 10:29 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ ගත වූ පැය 24 තුළ සිදුකළ වැටලීම්වලින් මත්කුඩු සහ මත්පැන් අලෙවි කළ සැකකරුවන් 99 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර හෙරොයින් මත්කුඩු අලෙවියේ යෙදුණු 21 දෙනෙකු ගංජා සහ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු පුද්ගලයන් 59 දෙනෙකු සිටින බවයි පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ද වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

පී.සී.ආර්. ප්‍රතිඵල එනතෙක් සිටින ශලනි තාරකා කියන කතාව

(02.11.2020 – 07:11 +0530 – aruna.lk)

තමන්ට බණ්ඩාරවෙලට පැමිණීම පිළිබදව ජනප්‍රිය රංගන නිළි ශලනි තාරකා විසින් ඇගේ නිල ෆේස්බුක් ගිණුම හරහා හේතු දක්වා තිබේ.

වීඩියෝවක් මගින් ඇය සදහන් කර ඇත්තේ ඇඳිරි නීතිය දැමීමට පෙර තමන් ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සදහා බණ්ඩාරවෙලට පැමිණි බවයි.

එම වීඩියෝව මගින් ඇය සදහන් කර ඇත්තේ ඇඳිරි නීතිය දැමීමට පෙර තමන් ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සදහා බණ්ඩාරවෙලට පැමිණි බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කලාකරුවන් සදහා ලබාදී ඇති අවසර පත්‍රය සමග තමන් ඇතුළු තවත් රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් 25 දෙනෙකු මෙලෙස රූගත කිරීම් සදහා සහභාගි වී ඇති බව ද ඇය පැවසීය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ශලනි තාරකාගේ වීඩියෝව පහතින් :

– – – – – – – –

අදාළ රංගන ශිල්පිනිය සහ සෞඛ්‍ය බලධාරීන් සමග ඇති වූ සංවාදයක් ජංගම දුරකථනයකින් වීඩියෝ ලෙස පටිගත කර ඇත. (01.11.2020)

– – – – – – – –

(01.11.2020 – aruna.lk)

බස්නාහිර පළාතේ ඇඳරි නීතිය පැනවූ අවස්ථාවේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබේ.

රූගත කිරීම් කටයුතු සඳහා 14 දෙනෙකුගෙන් යුත් පිරිසක් ගොස් ඇති අතර ඔවුන් සියලුදෙනාම නිරෝධනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔවුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇති බව වාර්තා වේ.

මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාද සිටින බව ආරංචි මාර්ග කියයි ෴

+++++++++++++++++++

(02.11.2020 – 11:07 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බස්නාහිර පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැදවා තිබෙනවා.

අද (02) පෙරවරු 10:30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එම සාකච්ඡාව ආරම්භවීමට වීමට නියමිතව තිබුණා.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය පහසුකම් හා සේවා සැපයීම මෙන්ම ඊට අදාළව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙනවා.

එමෙන්ම, දිස්ත්‍රික්ක 25 හිම දිස්ත්‍රික් ලේකම්වරුන් ද අද (02) පස්වරු 4 ට අරලියගහ මන්දිරයට කැදවා තිබෙනවා.

ඒ, කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හමුවේ අදාළ දිස්ත්‍රික්කවල මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

++++++++++++++++

(02.11.2020 – 00:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට 22 වන කොරෝනා මරණය පානදුර ප්‍රදේශයෙන් වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා ප්‍රකාශ කළා.

ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 27 හැවිරිදි මොහු සියදිවි නසාගෙන ඇති බවයි.

පසුගිය 31 වනදා පානදුර මූලික රෝහලේදී මොහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී අදාළ තරුණයා කොවිඞ් 19 ආසාදිතයෙකු බවට තහවුරු කරගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මීට ටික වේලාවකට පෙර දැනුම් දුන් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මෙම මරණය මෙරට 22 වන කොරෝනා මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරන බවද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *