තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

තල්මසුන් 100 ක් පානදුර වෙරළට

කොවිඩ්-19 වෛරසය මැරිය නොහැක; මැරෙනතුරු බලා සිටීමට සිදුවී ඇත !

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක්

පළමු වරට විශ්වවිද්‍යාල සඳහා අතිරික්ත සිසුන් දස දහසකට වැඩි සංඛ්‍යාවකට අවස්ථාව

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රැකියා සඳහා ගමන් කිරීමට අවසර ලැබෙන්නේ මෙහෙමයි

බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන් 7857 දක්වා ඉහළට – රාජගිරිය STF කඳවුරේ 23 කටත් කොරෝනා

*********************************************

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(02.11.2020 – 22:36 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශ ලෙසට නම්කර තිබෙනවා.

එමෙන්ම ගලිගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම්කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ මත කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටින්නේ.

+++++++++++++++++

කොළඹ ජාතික රෝහලට පිනට ලැබුණු පී.සී.ආර්. යන්ත්‍රයට විශේෂඥවරිය පයින් ගහයි

(03.11.2020 – epaper.aruna.lk)

කොළඹ ජාතික රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු පී.සී.ආර්. යන්ත්‍රය එම රෝහලේ ක්ෂූද්‍රජීවී විශේෂඥවරිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කර ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා තිබෙන මෙම පී.සී.ආර්. යන්ත්‍රය භාවිත කළ නොහැකි යැයි පවසමින් විශේෂඥවරිය මෙසේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ. වෛද්‍ය පර්‌යේෂණායතනයේ ක්ෂූද්‍රජීවී විශේෂඥවරයකුගේ උපදෙස් මත එය සිදුව ඇති බවත් ඔවුන් මෙය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වෙනත් නිෂ්පාදනයක් මිලදී ගැනීම සඳහා බවත් රසායනාගාර විද්‍යඥ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම යන්ත්‍රය ජාතික රෝහල වෙත ලබා ගැනීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ම විශාල පරිශ්‍රමයක් දැරූ බවත් එය ලැබුණේ නම් ජාතික රෝලේ රෝගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණයන් රෝහලේම සිදුකර කොවිඩ් නොවන රෝගීන්ට ලබාදිය යුතු ප්‍රතිකාරයන් අඛණ්ඩව ලබාදීමට හැකිවන බවත් ඔහු පෙන්වා දේ.

කෙසේ නමුත් මෙම යන්ත්‍රය රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍යතාවක් නොවූ බැවින් පරිත්‍යාගශීලියා විසින් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කර අතැයි ද කුමුදේශ් මහතා සඳහන් කරයි ෴

*********************************************

තල්මසුන් 100 ක් පානදුර වෙරළට

(02.11.2020 – 21:20 +0530 – hirunews.lk/sinhala)

පානදුර මුහුදු වෙරළට තල්මසුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇති බව වාර්තා වනවා.

අඩි 10 ත් 25 ත් අතර විශාලත්වයෙන් යුත් එම තල්මසුන් නැවත දියඹට යොමු කිරීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ පොලීසිය එක්ව කටයුතු කළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

++++++++++++

02-11-2020

+++++++++++++++

02-11-2020

+++++++++++++++

(03.11.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පානදුර මුහුදු වෙරළට ගොඩ ගැසූ සියයකට ආසන්න තල්මසුන් රංචුවෙන් සියල්ලන් පාහේ නැවතත් මුහුදට තල්ලු කර යැවීමට හැකි වී තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, ධීවර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වෙච්ඡා සේවකයින් රැසක් එක්වුණා.

අවසන් වශයෙන් ඉතිරිව සිටි තල්මසුන් 18 දෙනා මුහුදට ඇදගෙන යාම සඳහා බෝට්ටුවක් යොදා ගැනීමට සිදු වූ බවයි පරිසරවේදී නයනක රන්වැල්ල මහතා සඳහන් කළේ ෴

++++++++++++++

(03.11.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

පානදුර මුහුදු වෙරළට ගොඩ ගැසූ තල්මසුන් අතරින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

පරිසරවේදී නයනක රන්වැල්ල මහතා කියා සිටියේ ගල්පර වැදී සිදුවූ තුවාල හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවයි.

පානදුර මුහුදු වෙරළට ඊයේ (02) සවස තල්මසුන් සියයකට (100) ආසන්න සංඛ්‍යාවක් ගොඩ ගැසූ අතර, පසුව නාවික හමුදාව, ධීවර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රදේශවාසීන් එක්ව එම තල්මසුන් නැවතත් මුහුදට තල්ලු කර යැවීමට පියවර ගත්තා.

ඉන් තල්මසුන් 18 දෙනෙකු මුහුදට ඇදගෙන යාම සඳහා බෝට්ටුවක් යොදා ගැනීමට සිදුවූ බවයි පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කළේ.

+++++++++++++++++

***************************************

තලංගම පීසා කොල්ලකරුවෝ

(02.11.2020 – 16:04 +0530 – aruna.lk)

පීසා මිලදී ගන්නා බවට ඇනවුම් කර, ඇනවුම් ලබාදෙන ස්ථානයේ ලිපිනය සොයාගැනීමට අපහසු එකක් යොදා, පීසා ඇනවුම රැගෙන පැමිණීමේදී එය පැහැර ගන්නා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනිම තවත් සිදුවීමක් තලංගම පොලිසියට වාර්තා වී ඇත.

පසුව තලංගම පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී සැකකරුවන් හතර (4) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් තලවතුගොඩ අවට පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 08 ක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙහිදී සැක කරුවන් සිදුකර ඇත්තේ සොයාගැනීමට අපහසු ලිපිනයක් පිසා ඇණවුමට ලබා දී මයි. අනතුරුව පීසා රැගෙන එන පුද්ගලයට අතර මගදී පහරදී ඔහු ගෙන එන පීසා ඇනවුම සහ ඔහු ගේ මුදල් සහ යතුරු පැදියේ යතුරුද රැගෙන සැකකරුවන් පලා යාමයි.

මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදුකරනු ලබනවා ෴

*********************************************

කොවිඩ්-19 වෛරසය මැරිය නොහැක; මැරෙනතුරු බලා සිටීමට සිදුවී ඇත !

(03.11.2020 – 08:27 +0530 – aruna.lk)

කොවිඩ්-19 පිළිබඳ විශිෂ්ට පැහැදිලි කිරීමකි. මෙය ප්‍රයෝජනවත් වේ යැයි බලාපොරොත්තු වෙමු.

= කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් ජෝන් හොප්කින්ස් රෝහලෙන්… =

  • මෙම වෛරසය ජීවියෙකු නොවේ. එය ආරක්ෂිත ලිපිඩ (Fat – මේද) තට්ටුවකින් ආවරණය වී ඇති ප්‍රෝටීන් අණුවකි. (RNA හෝ DNA)
  • එම වෛරසය ඇස, නාසය හෝ මුඛය මගින් මිනිස් සිරුරට ඇතුළු වේ. එය අක්ෂි- eyes, නාසික Nose හෝ මුඛ Mouth ශ්ලේෂ්මල සෛල මගින් අවශෝෂණය කර ගන්නා විට වෛරසය ජාන කේතය වෙනස් කර (විකෘති) ආක්‍රමණික හා ගුණක සෛල බවට පරිවර්තනය වේ.
  • වෛරසය ජීවියෙකු නොව (Not a living organism) ප්‍රෝටීන් අණුවක් බැවින් එය විනාශ කළ නොහැක. එය තනිවම දිරාපත් විය යුතුය. විසුරුවා හැරීමේ කාලය (Disintegration time) රඳා පවතින්නේ එය තිබෙන ස්ථානයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ ද්‍රව්‍ය වර්ගය මත ය.
  • වෛරසය ඉතා බිඳෙන සුළුය (Very fragile) වෛරසය ආරක්ෂා කරන එකම දෙය නම් එය වටා ඇති තුනී මේද තට්ටුවයි. සබන් පෙණවලට එම මේද පටලය කපා දැමීමට පුලුවන. සබන් හෝ ඩිටර්ජන්ට් Detergent හොඳම ආයුධය වීමට හේතුව එයයි. ඒ නිසයි ඔබට සබන් යොදා හොඳින් පෙන නගිනතුරු, තත්පර 20 ක් හෝ ඊට වැඩි කාලයක්, පෙන ගොඩක් සෑදෙන තෙක් දෑත් ඇතිල්ලීමට සිදුවන්නේ.
  • වෛරසය වටා ඇති මේද තට්ටුව දිය කර හැරීමෙන් ප්‍රෝටීන් අණුව විසුරුවා හැරීම හෝ විනාශ කිරීම සිදුවේ.
  • තාපය (Heat) මේදය දිය කරයි; අත් සේදීම, රෙදි සේදීම සහ මතුපිට පිරිසිදු කිරීම සඳහා අංශක 77 ට වඩා වැඩි ජලය භාවිත කිරීම අවශ්‍ය වන්නේ මේ නිසා ය. ඊට අමතරව උණු වතුර වඩාත් පෙන (සබන්) නිපදවන අතර එය වඩාත් ඵලදායී වේ.
  • ඇල්කොහොල් හෝ ඇල්කොහොල් 65% ට වඩා වැඩි, ඕනෑම මිශ්‍රණයකට සියලුම මේද, විශේෂයෙන් වෛරසයේ බාහිර ලිපිඩ තට්ටුව දියකර හැරිය හැකිය.
  • බ්ලීච් (Bleach) කොටස් 1 සහ ජලය කොටස් 5 ක් සහිත ඕනෑම ද්‍රාවණයකට ප්‍රෝටීන් කෙලින්ම විසුරුවා (දියකල) හැකි අතර එය අණුවේ ඇතුළත සිට බිඳ දමයි.
  • ඔක්සිජනීකෘත ජලයේ දී සබන්, මධ්‍යසාර හා ක්ලෝරීන්වල කාර්යක්ෂමතාව ඉහලය. හේතුව පෙරොක්සයිඩ (Peroxide) වෛරස් ප්‍රෝටීන දියකර (විසුරුවා) හරින නිසා ය. කෙසේ වෙතත්, ඔබ ඒවා (Pure) පිරිසිදු ස්වරූපයෙන් භාවිත කලයුතු අතර ඉන් ඔබේ සමට හානි සිදුවිය හැකිය.
  • වෛරසය, බැක්ටීරියා වැනි ජීවියෙකු නොවන නිසා බැක්ටීරියා නාශක හෝ ප්‍රතිජීවක වැඩ නොකරනු ඇත(ප්‍රයෝජනවත් නැත) ; ප්‍රතිදේහ වලට පණ නැති දේ විනාශ කළ නොහැකි බැවිනි.
  • වායුසමීකරණය කරනලද නිවාස සහ මෝටර් රථ වැනි සීතල (අඩු උෂ්ණත්වය) සහිත තත්ව වලදී වෛරස් අණු ඉතා ස්ථායීව පවතී. එසේ ස්ථාවරව සිටීමට ඔවුනට තෙතමනය හා අන්ධකාරයද අවශ්‍ය වේ.(සීතල හා අදුරු තත්ව).
  • වියලි, (Dehumidified) වියළි-උණුසුම් හා දීප්තිමත් පරිසරයන් වෛරසය වේගයෙන් දුර්වල බවට පත් කරයි.
  • ඕනෑම වස්තුවක ඇති වෛරසය, එහි ප්‍රෝටීන් බිද දැමීමෙන් විනාශ කිරීමේ හැකියාව පාරජම්බුල කිරණ (UV Light) වලට ඇත. සැලකිලිමත් වන්න, UV Light සමේ ඇති කොලජන් (ප්‍රෝටීන්) ද බිඳ දමයි !
  • වෛරසය ට නිරෝගී සම හරහා යා නොහැක.
  • විනාකිරි, වෛරසයේ ආරක්ෂිත මේද ස්ථරය බිඳ නොදමන නිසා එය ප්‍රයෝජනවත් නොවේ.
  • ස්ප්‍රීතු (SPIRITS), වොඩ්කා, (VODKA) ද ප්‍රයෝජනවත් නැත. ප්‍රබල (අධිසාන්ද්‍රිත) වොඩ්කාවල මධ්‍යසාර 40% ක් පමණක් අඩංගු වන අතර වෛරසය නැසීමට අවම වශයෙන් මධ්‍යසාර සාන්ද්‍රනය 65% ක් වත් තිබිය යුතු වේ.
  • LISTERINE (මුඛ සේදුම් දියරයකි) යනු 65% මධ්‍යසාර ය.
  • අවකාශය සීමා වන තරමට වෛරසයේ සාන්ද්‍රණය වැඩි විය හැක. වඩා විවෘත හෝ ස්වාභාවික වාතාශ්‍රය ඇති විට වෛරසයේ සාන්ද්‍රණය අඩුවේ.
  • ශ්ලේෂ්මල (මුඛ ප්‍රදේශය), ආහාර, අගුල්, බොත්තම්, ස්විච, දුරස්ථ පාලක , ජංගම දුරකථන, ඔරලෝසු, පරිගණක, මේස ආදිය ස්පර්ශ කිරීමට පෙර සහ පසු ඔබේ දෑත් සබන් යොදා සෝදාගත යුතුය. ඔබ නාන කාමරය භාවිත කරන විටද එය අමතක නොකළ යුතුය.
  • නිතර සේදීම නිසා ඔබේ දෑත් වියලි වේ. දෑත් නිතරම වියලි බවින් තොරව (Moisturize your hands) තබා ගත යුතුය. වියළි අත් වල ඉරිතැලීම් ඇති විය හැකි අතර ක්ෂුද්‍ර වෛරස් අණු ඉරිතැලීම් තුළ සැඟවිය හැක. වැඩි ඝණ, උකු බවකින් යුත් මොයිස්චරයිසර් (Moisturizer), වඩා හොඳය.
  • වෛරසය සැඟවී නොයන ලෙස ඔබේ නියපොතු කපා තබා ගන්න.

අවබෝධයෙන් කටයුතු කරමු.
දරුණු වසංගතයෙන් ආරක්ෂා වෙමු.

සිංහල පරිවර්තනය :
ඇසළ එරංගි මලවිතන්ත්‍රී (Master Trainer in English)
සහ රුවිනි ගමගේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන)

කලුතර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන අංශයේ ප්‍රජා සත්කාරයකි.

*********************************************

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක්

(02.11.2020 – 21:48 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පවතින අතරතුර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් පොලිසිය විසින් හඳුන්වාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ අදාළ අයදුම්පත්‍රය පුරවා එවීම තුලින් බලපත්‍ර ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි.

+++++++++++++++++

කොරෝනා නිසා තරුණයන්ට වඩා තිස් (30) ගුණයක සංකූලතාවක් වැඩිහිටියන්ට

(03.11.2020 – 07:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමේදී වයස් පරතරය එතරම් ප්‍රබල බලපෑමක් අතිනොකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන වෙත සජීවීව එක්වෙමින්.

කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එය ආසාදනය වීමෙන් අනතුරුව ඉන් තරුණයන්ට වඩා වැඩිහිටි පිරිසට තිස් (30) ගුණයක පමණ වැඩි සංකූලතාවක් ඇතිවන බවයි.

එහිදී නිධන්ගත රෝග හේතුවෙන් එම බලපෑම තවත් වැඩි කරවන බවයි ඔහු පවසන්නේ.

දස දහසකට (10,000) අධික වෛරස් ප්‍රභේද අතරින් වැඩි පැතිරීමක් ඇති වෛරසයක් මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

එහිදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ නිවසෙන් පිටතට බැහැරව ගමන් කරන පුද්ගලයන්ට දැඩි වගකීමකින් කටයුතු කළයුතු බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ හරහා බලාපොරොත්තු වන්නේ ජනගහනය එකතු වන අවස්ථා හැකි සෑම අයුරකින්ම අඩු කිරීම බවයි ඔහු සඳහන් කරන්නේ.

කණ්ඩායම් සමග රූගත කිරීමක් සිදුකරයි නම් එය මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කළ යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම එහිදී අවම සේවක සංඛ්‍යාවක් යොදවාගැනීමට එහිදී මූලික අවධානය යොමුකළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ ෴

++++++++++++++++++

(03.11.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය – බ්‍රාහ්මණවත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (02) තහවුරු වී තිබෙනවා.

43 හැවිරිදි මෙම වැඩ පරීක්ෂකවරයා පසුගිය 22 වනදා නිවසට පැමිණ යළිත් 25 වන දින නගර සභාවේ රැකියාවට ගොස් ඇති අතර, 31 වනදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ඔහුගේ බිරිඳ සහ දරුවන්ද නිවසේ නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයන් 275 දෙනෙකු ඊයේ (02) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,355 දක්වා ඉහළ ගියා.

ඊයේ (02) දිනයේදී වාර්තාවූ ආසාදිතයන්ගෙන් දෙසිය තිස් දෙදෙනෙකුම (232) ආශ්‍රිතයින් වන අතර සෙසු පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, සියදිවි හානිකරගැනීමෙන් මියගිය පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයාගේ මරණය, කොරෝනා ආසාදිත මරණයක් ලෙස නොසැලකීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (02) පස්වරුවේ නිවේදනය කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා උපුටා දක්වමිනුයි එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ.

මෙම මරණය 22 වන කොරෝනා මරණය ලෙස ඊයේ (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවා.

මේ අතර කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙරට පෞද්ගලික සමාගමක් විසින් රුපියල් මිලියනයක් වටිනා මුව ආවරණ 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබෙනවා ෴

++++++++++++++++

(03.11.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවලට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙලෙස හුදෙකලා කිරීමට ලක් කර තිබෙනවා.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයද ඊයේ (02) සිට හුදෙකලා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනය කළේ.

මේ අතර, ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් නිවෙස්වලින් පිටතට පැමිණෙන්නේද යන්න සෙවීම සඳහා බුද්ධි අංශ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත සහ ඇහැලියගොඩ, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීම සඳහා ජංගම වෙළඳසැල් නිවෙස් අසලටම පැමිණීමේ ක්‍රමවේදය අද (03) සිට ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, බෝකුන්දර, නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන හෙට (04) දිනයේ විවෘත කරන බවයි.

ඒ අනුව එහි සේවකයින්ගේ පී.සී.ආර්. පරික්ෂණ අද (03) දිනයේ සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඇඳිරි නීතිය පැවතියද පිටකොටුවේ තොග වෙළඳසැල් අද (03) විවෘතව තබන බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් මහතා කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා, අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා, ඉදිකිරීම් කටයුතුවල නිරත ආයතන, ධීවර, කෘෂිකාර්මික ඇතුලු තවත් ක්‍ෂේත්‍රවල තම රාජකාරි අවශ්‍යතාවන් සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීමට පොලීසිය අයදුම්පත්‍රයක් නිකුත් කර තිබෙනවා ෴

+++++++++++++++

(03.11.2020 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 180 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන 25 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1,992 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

***************************************

(03.11.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබලෙකු අද (03) අලුයම සිදුවු හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

කඳවුරේ මහල් 03 කින් සමන්විත ගොඩනැගිල්ලක 03 වන මහලෙන් බිමට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මියගිය ගුවන් හමුදා ක්‍රෝපල්වරයා කුරුණෑගල – ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ෴

*********************************************

පළමු වරට විශ්වවිද්‍යාල සඳහා අතිරික්ත සිසුන් දස දහසකට වැඩි සංඛ්‍යාවකට අවස්ථාව

(03.11.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

පළමු වරට මෙරට විශ්වවිද්‍යාල සඳහා අතිරික්ත සිසුන් දස දහසකට (10,000) වැඩි සංඛ්‍යාවක් බඳවාගැනීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, මේ වනවිට තැපෑල අක්‍රියව පැවතීම හේතුවෙන් කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සහ තමන් තෝරාගත් විශ්වවිද්‍යාලය වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව විද්‍යුත් තැපෑල හරහා අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියේ.

ඒ සඳහා www.ugc.ac.lk වෙබ් අඩවිය හෝ ඍජුවම appeals@ugc.ac.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව සැලසෙනවා.

මේ අතර සෞඛ්‍ය නිර්දේශ මත, තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම තවත් සති දෙකකින් (2) කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා. පාසල් ආරම්භවීමට නියමිතව තිබුණේ ලබන 09 වනදායි.

කෙසේ වෙතත්, අන්තර්ජාලය ඔස්සේ සහ දුරස්ථ ක්‍රමවේදයන්ට අනුව විෂය නිර්දේශ ඉගැන්වීමේ කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.

***************************************

(03.11.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව අද (03) උදෑසන 10 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

කොරෝනා වසංගතය පවතින බැවින් පැය දෙකක (2) කාලයකට අද (03) දිනයේ පාර්ලිමේන්තු කටයුතු සීමා කර ඇති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග දෙකක් (2) විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලය සීමා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයද අද (03) පැවැත්වෙන්නේ නැහැ.

එසේම පාර්ලිමේන්තුව පැවැත්වෙන අද (03) දිනයේ මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ඇතුලුවීමට ඉඩ නොලැබෙන අතර, පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ටද අවසර නොලැබෙන බවයි එහි සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර විසිවන ආණ්ඩුක්‍රම සංශෝධන පනත අද (03) මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.

ඊට අදාළ පිටපත් දහසක් (1000) මුද්‍රණය කිරීමට නියමිත අතර, ඉන් 700 ක් පමණ පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතයි ෴

***************************************

(03.11.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම්කාරක සභාව විසින් නම් කරන ලද සාමාජිකයන්ගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, සරත් වීරසේකර, ඩී.වී.චානක, නාලක ගොඩහේවා, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු ඊට ඇතුළත් බවයි කතානායකවරයා සඳහන් කළේ.

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ඩිලාන් පෙරේරා, හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්දිරන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, ඉසුරු දොඩංගොඩ, අනූප පැස්කුවල්, සහන් ප්‍රදීප් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පත් කර තිබෙනවා.

මේ අතර, 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම, පෙත්සම්කරු විසින් ඉල්ලා අස්කර ගන්නා බවට ඉල්ලීමක් කර ඇති බැවින් එම පෙත්සම නිෂ්ප්‍රභ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි ද කතානායකවරයා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ෴

*********************************************

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රැකියා සඳහා ගමන් කිරීමට අවසර ලැබෙන්නේ මෙහෙමයි

(03.11.2020 – 12:31 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුලදී රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතනයක හෝ ව්‍යස්ථාපිත මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ අවසර දී ඇති පුද්ගලික ආයතනයක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉහත සඳහන් ආයතනවල සේවකයන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ගමන් කිරීමට තම සේවා හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියා විසින් සේවයට කැඳවීමේ ලිපියක් ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට භාවිත කළ හැකි බව එම නිවේදනයෙන් දැනුම්දී තිබෙනවා.

මෙලෙස අවසරය හිමිවන අදාළ ආයතන සහ එම කොන්දේසි ඇතුලත් මාධ්‍ය නිවේදනය පහතින් :

*********************************************

බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන් 7857 දක්වා ඉහළට – රාජගිරිය STF කඳවුරේ 23 කටත් කොරෝනා

(03.11.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර නිර්මාණය වී අදට මසක් සපිරෙන අතර, එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7,800 කට අධිකයි.

කොරෝනා ආසාදිතයින් 275 දෙනෙකු ඊයේ (02) වාර්තා වූ අතර, ඉන් දෙසිය තිස් දෙදෙනෙකු (232) මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින්.

අනෙක් ආසාදිතයින් 43 දෙනා වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,857 ක්.

ඊයේ (02) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එම සංඛ්‍යාව 90 ක්.

ඉන් වැඩිම ආසාදිතයින් වන 34 ක් මහර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊට අමතරව බියගමෙන් 18 ක් සහ කැලණියෙන් ආසාදිතයින් 16 ක් වාර්තා වුණා.

බේරුවල මූලික රෝහලේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව කොරෝනා ආසාදිත දන්ත වෛද්‍යවරයෙකු සහ රසායනාගාර සහයකයෙකු හඳුනාගත් අතර, ඔවුන් ඊයේ (02) අයි.ඩී.එච්. රෝහලට සහ ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කලාපයන්ගෙන්ද ඊයේ (02) ආසාදිතයින් තිස් දෙදෙනෙකු (32) වාර්තා වූ අතර, තවත් පොලිස් නිලධාරීන් 39 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02) අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර සිටින පුද්ගලයින් බවයි.

හුදෙකලා කර ඇති රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරෙන් ඊයේ (02) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23 ක්.

බොරැල්ල පොලිසියෙන් ආසාදිතයින් 08 ක්, ප්‍රභූ ආරක්ෂක අංශයෙන් දෙකක් (2), කෙසෙල්වත්ත පොලිසියෙන් දෙකක් (2)සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය, කොටුව පොලිසිය සහ මීගමුව පොලිසියෙන් ආසාදිතයෙකු බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර, කොළඹ – ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැව නාවික හමුදා භට ඛණ්ඩයේ නිලධාරියෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ වනවිට දිවයිනෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,335 ක්.

සුවය ලැබූ සංඛ්‍යාව 5,249 ක් වන අතර, 6,665 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, මේ වනවිට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කොරෝනා වැළඳී ඇති බවට සැක සහිත රෝගීන් හැර සෙසු රෝගවලින් පෙලෙන තැනැත්තන් ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණීමට අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *