ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට නව වැඩපිළිවෙලක්

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට නව වැඩපිළිවෙලක්

MOH කොට්ඨාශ 55 ක් අවදානම් – 161 කින් කිසිදු ආසාදිතයෙකු නැහැ

දරුගැබ විනාශකරන මෙන් බලකර පිස්සු දොස්තරයා තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා

*********************************************

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට නව වැඩපිළිවෙලක්

(03.11.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ 114 ක සහ නගර සභා බලප්‍රදේශයක මේ වනවිට නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත් කර ඇති බවයි.

ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 180 දෙනෙකු සහ වාහන 25 ක නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++++

නිරෝධායන ක්‍රියාවලිය විධිමත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මාර්ගෝපදේශ පෙලක්

(03.11.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මෙරට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් මාර්ගෝපදේශ පෙලක් සකස් කර තිබෙනවා.

අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යවරිය සහ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙත යොමුකළ බවයි එම කොමිසම සඳහන් කළේ.

මෙරට තුළ කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර ප්‍රසාදයට ලක් කළ මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේ වර්තමානයේ අසාමාන්‍ය සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් මහජන සෞඛ්‍යයේ පැවැත්වීම උදෙසා ජනතා සංචරණ සීමාවන් පැනවීම පිලිගත හැකි කරුණක් බවයි එමගින් පෙන්වාදෙන්නේ.

කොවිඩ් 19 ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම වෙනුවට නිවෙස්තුලම නිරෝධායනයට ලක් කිරීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිළිගෙන ඇති කරුණක්.

එමෙන්ම, නිරෝධායන සීමාවන් ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම්වලට අනුගත වන්නේ ද යන්න පිළිබඳව එමගින් ඇගයීමක් සිදුකර තිබෙනවා.

ඒ පිළිබඳව ජනතාව මතුකරන කරුණු ද සැලකිල්ලට ගෙන මාර්ගෝපදේශ පෙළක් සකස් කර ඇති අතර එහි සඳහන් වන්නේ, නිරෝධායන ක්‍රියාවලිය නිසි අධිකාරියක් මගින් විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු බවයි.

පරීක්ෂා කිරීම් සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් සිදුකළ යුතු අතර, නිරෝධායන මධ්‍යස්ථාන නිසි බලධරයෙකු විසින් නම් කළ යුතු බව එමගින් ප්‍රකාශ කළා.

නිරෝධායන කාලසීමාව පැහැදිලිව දැක්විය යුතු අතර, නිරෝධායන කිරීමට හේතුව ඇතුළු කරුණු දැක්වූ සටහනක් අදාළ පුද්ගලයන් වෙත නිකුත් කළ යුතු වනවා.

මීට අමතරව, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ජනතාව මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගෙන ඔවුන්ට වැටුප් සහිත රාජකාරි නිවාඩු ලබාදීම අදාළ පවුල් වෙත මූල්‍ය පහසුකම් සැලසීම ආදිය පිළිබඳව ද මානව හිමිකම් කොමිෂන් සභාව කරුණු දක්වා තිබෙනවා.

කෙසේ නමුත්, අදාල නිර්දේශ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව කටයුතු කිරීමට හේතුවක් නොවන බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළා ෴

+++++++++++++++

(03.11.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දෙවන රැල්ල පාලනය කිරීමට ආණ්ඩුව සාර්ථකව පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වෛද්‍ය ආඥා පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

අමාත්‍යවරිය රජයේ කොරෝනා මර්දන වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් පළ කළ අතර, එහිදී විපක්ෂය හා අමාත්‍යවරිය අතර විටින්විට ඇතිවූයේ උණුසුම් සංවාදයක්.

අද (03) උදෑසන 10 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටයුතු පැය දෙකකට (2) සීමා කර තිබූ නමුත්, එම කටයුතු තවත් මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

මේ අතර, රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම්කාරක සභාව විසින් නම් කරන ලද සාමාජිකයන් 18 දෙනාගේ නම් කතානායකවරයා විසින් අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

(03.11.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය අවම මූලික සුදුසුකම් ඇතුළත් ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

අදාළ ගැසට් නිවේදනයේ රෙගුලාසි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි දැක්වෙන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවම සුදුසුකම ලෙස සම්මාන සාමාර්ථ දෙකක් (B-2) සහ සාමාන්‍ය සාමාර්ථයක් (C-1) අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ අදාළ රෙගුලාසි වෙනුවට වසරින් වසර වෙනස්වන නියමයක් අවශ්‍ය බවයි.

එසේම, අදාළ රෙගුලාසි උපදේශක කාරක සභාවට යොමුකර නොතිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විරෝධය පළ කළා.

පසුව කතානායකවරයා, අමාත්‍යවරියට දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා පැහැදිලි කරන ලෙසටයි ෴

++++++++++++++++

+++++++++++++++++

පාර්ලිමේන්තුව ලබන 12 වන බ්‍රහස්පතින්දා උදෑසන 10 ට යළි රැස්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අද (03) පැය 3 කට පමණක් සීමා කෙරුණා.

උදෑසන 10 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීමට අවස්ථාව හිමිවුණේ නැහැ ෴

+++++++++++++++++

(03.11.2020 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 5581 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 332 ක් අද (03) රෝහල් වලින් නික්ම යාමත් සමඟයි.

මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 5733 ක් ෴

කොරෝනා ආසාදිතයෙකු පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා තිබෙනවා ෴

++++++++++++++++++

මෙරට 22 වන කොරෝනා ආසාදිත මරණය වාර්තාවෙයි

(03.11.2020 – 14:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට 22 වන කොරෝනා මරණය කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයෙන් අද (03) වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නිවස තුලදී මියගොස් ඇති ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවයි, පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඇය මියයාමට ආසන්නතම හේතුව වී ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වය බවයි.

මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන ඇති අතර, පවුලේ අනෙකුත් සාමාජිකයන් ද නිවාස නිරෝධායනයට ලක් කර තිබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++

(03.11.2020 – 17:24 +0530 – hirunews.lk/sinhala)

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළඳාමට පමණක් ලබන සඳුදා (09) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිසියේ ද සහය ඇතිව ආර්ථික මධ්‍යස්ථානය මුළුමනින්ම විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එය යළි විවෘත කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදන කළේ.

වැලිසර ආර්ථික මධ්‍යස්ථාන කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට අද (03) ලක් වුණා.

එහිදී තීරණය කෙරුනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළඳාමට විවෘත කර ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමටයි.

මේ අතර නාරාහෙන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන හෙට (04) සිට තොග වෙළඳාමට විවෘත කිරීමට ඊයේ (02) තීරණය කෙරුණා ෴

+++++++++++++++++++

(03.11.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 14 ක් පත් කර තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු යටතේ මෙම කණ්ඩායම් කටයුතු කරනු ඇති බවයි.

මේ අතර, බස්නාහිර පළාතේ පොලිස් නිලධාරින් 175 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර, ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස 1238 ක් ෴

++++++++++++++

(03.11.2020 – 18:39 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 272 ක් මෙරටින් වාර්තා වනවා.

එයින් තිදෙනෙකු (3) නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් වන අතර, අනෙක් 269 දෙනා කලින් ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම නව ආසාදිතයින් 272 සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදියින් ගණන 8000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 8129 ක් ලෙසයි ෴

++++++++++++++

(03.11.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, හෙම්මාතගම, පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය මෙන්ම ගිරිවුල්ල පොලිස් බල ප්‍රදේශය මේ වනවිටත් හුදකලා කර පවතිනවා.

එසේම, බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ 114 ක සහ කුරුණැගල මහනගර සභා බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර, වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු ලබන සදුදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, බෝකුන්දර, සහ නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ද හෙට (04) තොඟ වෙළඳාම සඳහා විවෘත කෙරෙනු ඇති.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය අලෙවි කිරිම සඳහා ඇදිරි නිතිබලපත්‍ර ලබා ගැනිම වෙනුවෙන් අද විශාල පිරිසක් දිගු පොලිම් වල සිටින අයුරු දක්නට ලැබුණු බව එහි ගිය හිරු වාර්තාකරු සඳහන් කළා.

කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න කියා සිටියේ සුදුසු පුද්ගලයින්ට පමණක් අදාළ බලපත්‍ර ලබා දිමට කටයුතු කරන බවයි.

මේ අතර, මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයේ නිරෝධායනය වූ පවුල් සඳහා සහනාධාර බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කළහොත් දැඩි පියවර ගන්නා බවයි.

***************************************

(03.11.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධනය ඉලක්ක කරගත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් එම ව්‍යාපෘතිවලින් ජනතාවට නිසි ප්‍රතිලාභ ලැබෙනවාද යන්න දීර්ඝ කාලයක් සිට පවතින ගැටලුවක්.

මාර්ග කොටස් වශයෙන් පමණක් ප්‍රතිසංස්කරණය හේතුවෙන් පීඩාවට පත් පිරිසක් පිළිබඳ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා වන මේ පුවතත් ඊට එක් නිදසුනක් පමණයි.

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මවුස්සාගොල්ල, හිඟුර සිට නමුණුකුල ක්ලබ් හන්දිය දක්වා වූ මාර්ගය 2010 නොවැම්බර් මාසයේදී අන්තර් ගම්මාන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම සේවා වසම් 7 ක් ඔස්සේ දිවෙන මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ වුණා.

මාර්ගය තැනින් තැන කොටස් වශයෙන් සංවර්ධනය කිරීමෙන් එහි ගමන් කරන්නන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.

වැසි දිනවල නිතර සිදුවන පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීම හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීම පවා අවදානම් සහගත ක්‍රියාවක් බවට පත්ව තිබෙනවා.

ජනතාව චෝදනා කරන්නේ මාර්ගය පුළුල් නොකිරීම හේතුවෙන් කහපිල – ගලකුඹුර ප්‍රදේශයෙන් මැණික් ගඟ හරහා රුපියල් ලක්ෂ 32 ක වියදමින් පාලමක් ඉදි කිරීමට වැයකළ මහජන මුදලින්ද කිසිදු පළක් වී නොමැති බවයි.

***************************************

ඉසඩ් ඩී ඇළට වැටුණු වන අලියා ගොඩගත් මෙහෙයුම

(03.11.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද, කාසන් වැවේ සිට ඕමාඩියාමඩු දක්වා ජලය ගෙන යන ‘ඉසඩ්.ඩී ඇළ’ට වැටුණු වන අලියෙකු පැය 07 ක පමණ මෙහෙයුමකින් පසු අද (03) දහවල් ගොඩ ගැනීමට හැකිව තිබෙනවා.

වැලිකන්ද, නාගස්තැන්න ප්‍රදේශයෙන් අද (03) අලුයම කාලයේදී මෙම සත්වයා ‘ඉසඩ්.ඩී ඇළ’ට වැටී ඇති අතර අනතුරුව පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරින් අලියා ගොඩගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා.

වයස අවුරුදු 35 ක් පමණ වන අලියෙක් මෙලෙස ඇලට වැටී ඇති අතර වන ජීවී නිලධාරින් ප්‍රදේශවාසින් හා එක්ව කඹවලින් ඉනිමන් තනා අලියා ගොඩගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

***************************************

(03.11.2020 – 15:58 +0530 – hirunews.lk/sinhala)

‘පාර්ලිමේන්තු සභාවේ’ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඊයේ (02) ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කර ඇති අතර, ඊට ඔහුගේ අනුමැතිය ද හිමිව ඇති බවයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ‘පාර්ලිමේන්තු සභාවේ’ සංයුතිය ද වෙනස් වනවා.

ඒ අනුව, ‘පාර්ලිමේන්තු සභාව’ අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව, අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කතානායක විසින් පත් කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් සමන්විතයි ෴

***************************************

(03.11.2020 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමව තිබෙනවා.

***************************************

(03.11.2020 – 18:24 +0530 – hirunews.lk/sinhala)

කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ පසුම්බියේ තිබූ ඒ.ටී.එම්. (ATM) කාඩ්පත සොරා ගෙන රුපියල් ලක්ෂ 04 කට අධික මුදලක් ලබා ගත් පුද්ගලයෙකු සොයා දකුණු කළුතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පයාගල ප්‍රදේශයේ පදිංචි සැකකරු හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු උපස්ථායක සේවා සපයන්නෙකු බවටද වාර්තා වනවා ෴

***************************************

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (03) ගුවන් හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගත්තා ෴

***************************************

(03.11.2020 – 22:18 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල, පොල්ගහමුල්ල, ධර්මා වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) අද (03) සවස දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ මෙලෙස අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් එක් අයෙකුගේ සිරුර මේ වනවිට සොයාගෙන ඇති බවයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ දික්වැල්ල, පොල්ගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි අයෙකුගේ සිරුර බවයි වාර්තා වන්නේ.

අතුරුදන් පුද්ගලයා අඹගස්කොරටුව, පොල්ගහමුල්ල පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ සිරුර සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් සහ දික්වැල්ල පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මොවුන් පවුලේ අය සමඟ අද (03) සවස මුහුදේ දිය නෑමට පැමිණ ඇති අතර එසේ දිය නාමින් සිටියදී මෙම දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ ෴

*********************************************

MOH කොට්ඨාශ 55 ක් අවදානම් – 161 කින් කිසිදු ආසාදිතයෙකු නැහැ

(03.11.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ජම්පටා වීදියේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් පෙරේදා ජිවිතක්ෂයට පත්ව තිබූ අතර, එය මෙරට 22 වන කොරෝනා මරණය බවට අද (03) තහවුරු වුණා.

ඒ ඇයගේ මරණයෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලයට අනුවයි.

ඇය මියයාමට ආසන්නතම හේතුව ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් මීට පෙර හඳුනාගෙන ඇති අතර, පවුලේ අනෙකුත් සාමාජිකයන්ද නිවස තුළ නිරෝධායනයට ලක් කර තිබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 5,581 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 332 ක් අද (03) රෝහල් වලින් නික්ම යාමත් සමඟයි.

මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 6005 ක්.

මෙරටින් දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 11,607 ක්.

එසේම, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර නිර්මාණය වී අදට මසක් සපිරෙන අතර, එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7,857 ක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වත්මන් කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 356 ක් වන දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් 55 කට ආසන්න සංඛ්‍යාවක් අධි අවදානම් බල ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාශ 161 කින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, මෙතෙක් ආසාදිතයෙකු වාර්තා නොවූ කිලිනොච්චියෙන් ද මේ වනවිට රෝගියෙකු වාර්තා වනවා.

පවතින බැරැරෑම් සහ සංකීර්ණ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ප්‍රමුඛතා පදනම මත යෝජනා 08 ක් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් අතර සංචරණය සීමා කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා එහි ඇතුළත්.

මේ අතර, කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් 19 පරීක්ෂණ රසායනාගාරයක් ස්ථාපිත කිරීම උවමනාවෙන්ම මඟහැර ඇති බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොළඹ ජාතික රෝහලට කොරෝනා පරීක්ෂණ රසායනාගාරයක දැඩි අවශ්‍යතාවයක් පවතින නමුත්, රෝහල ස්ථාපිත කිරීමට නියෝග ලබාදුන් අණුක ජීවි රසායනාගාර ද්විත්වය ස්ථාපිත කිරීම විවිධ අඩුපාඩු දක්වමින් දිගින් දිගටම ප්‍රමාද කරන බවයි.

එසේම, කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන ක්ෂුද්‍ර ජීවි විශේෂඥවරිය සිය අභිමතය පරිදි සමාගම් සන්නාමය යටතේ උපකරණ ගෙන්වා ගැනීමට සිදුකර ඇති බලපෑම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවයි එම ලිපියෙන් දක්වා ඇත්තේ.

එමෙන්ම, කොරෝන ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ද තාවකාලිකව වසා දමා තිබෙනවා.

දින 3 කට පසු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද (03) විවෘත කළත්, එළවළු මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ නොසිටි බව අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළා.

එසේම, ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා බදුල්ල මහාධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 වනදා සහභාගි වී ඇති අතර, එය අනාවරණ වීමත් සමඟ බදුල්ල මහාධිකරණයේ අදට (03) නියමිත නඩු සියල්ල කල් දැමුණා.

මේ අතර, කොරෝනා රෝගීන් හට සේවා සැපයීමේදී ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම සහ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ රාජකාරියට පැමිණීමට ප්‍රවාහන පහසුකම් නොලැබීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෝමාගම මූලික රෝහලේ සුළු සේවකයින් අද (03) දහවල් රාජකාරියෙන් ඉවත් වෙමින් රෝහල් පරිශ්‍රය තුළ නිහඬ විරෝධතාවක නිරත වුණා.

එසේම, කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයෙන් බැහැර කරන අපජලය වගාබිම්වලට ගලායෑම හේතුවෙන් තමන් සෞඛ්‍ය අවදානමකට මුහුණ දී ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

++++++++++++++++++

මෙරට 23 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(03.11.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට 23 වන කොරෝනා මරණය වාර්තා වනවා.

එම මරණය කොළඹ 15 ප්‍රදේශයේ නිවසකදී මියගිය 61 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

+++++++++++++++++++++

(03.11.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මීටරයක දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවට මේ වනවිට විවිධ මතවාදයන් පළ වනවා.

ඒ, ශ්‍රී ලංකාවෙන් දැනට හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය යුරෝපයේ පැතිර යන ප්‍රබල තත්ත්වයේ වෛරස ප්‍රභේදයක් බවට හඳුනා ගැනීමත් සමඟයි.

මෙම තත්ත්වය සමඟ මීටරයක පරතරය වෙනස් කිරීම සඳහා මේ වනවිට සෞඛ්‍ය බලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා.

අප ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ඊට අදාළ සාකච්ඡාවක් හෙට (04) පැවැත්වෙන බවයි.

මුහුණු ආවරණ පැළඳීම කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළේ වෛසරය ව්‍යාප්තිය ආරම්භයේදීමයි.

නමුත් ඔබේ මුහුණු ආවරණය නිසි ප්‍රමිතියෙන් යුත් එකක් නොවේ නම් නව කොරෝනා වෛරසයට ඔබේ ස්වසන පද්ධතිය පහසුවෙන් ආක්‍රමණය කළ හැකි වනවා.

එසේ නම් මුහුණු ආවරණයේ නිසි ප්‍රමිතිය තහවුරු කරගන්නේ කෙසේද ?

+++++++++++++++++++

කොරෝනා තත්ත්වය මත රැකියාවලට බලපෑම් සිදුවී සෞදි අරාබියේ ආරක්ෂණ නිවාස 150 ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්, පැය 48 ක් තුල මෙරටට රැගෙන එන ලෙස ජනාධිපතිවරයා විශේෂ නියෝගයක් කර තිබෙනවා ෴

++++++++++++++++++

(03.11.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala)

‍තවත් කොවිඩ් 19 ආසාදිතයින් 137 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 05 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර 132 ක් ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

ඒ අනුව අද (03) දිනයේ මේ වන විට හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 409 ක් ෴

++++++++++++++++++

කොරෝනා පාලනයෙන් ගිලිහී අවසන්.. – හිටපු වසංගත රෝග අංශ ප‍්‍රධානී

(03.11.2020 – 22:26 +0530 – lankacnews.com)

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී අවසන් බව මෙරට හිටපු වසංගත රෝග ප්‍රධාන විශේෂඥ වෛද්‍ය නිමල් අබේසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා පලමු රැල්ලෙන් පසුව සිදු වූ නොසැලකිල්ල එයට හේතු වූ බවද ඔහු පෙන්වා දෙයි.

අද වන විට වසංගත රෝග විද්‍යා අංශය නොසැලකිලිමත්ව කටයුතු කරන බවටද ඔහු චෝදනා කරයි.

වසංගතය පාලනය කිරීම සඳහා නිවැරදි උපදෙස් ලබා දීමක්වත් නොපෙනෙන බවත් කිසිම කෙනෙකු හෝ ආයතනයක් සම්බන්ධිකරණයක් කරන බවක් නොවන බවත් ඔහු කියා සිටියි.

එකිනෙකා හුදෙකලා ව කටයුතු වන බවක් පෙනෙන්නට ඇති බවත් විශේෂඥ දැනුම ඇති කමිටුවකින් වසංගතය පාලනය කරන බවක් නොපෙනෙන බවත් ඔහු පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

+++++++++++++++++++

ඇඳිරි නීතිය මැද සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවූ ආයතන 107 මෙන්න

(03.11.2020 – 16:39 +0530 – lankaleadnews.com)

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශය සේවා කටයුතු සිදු කරගෙන යාම සඳහා අවසරය ලබාදී ඇති රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ සංස්ථාවක් ඇතුළු ආයතන සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ දමා ඇති බවට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

+++++++++++

පොලිස් මූලස්ථානය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය (pdf file)

*********************************************

දරුගැබ විනාශකරන මෙන් බලකර පිස්සු දොස්තරයා තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා

(03.11.2020 – 20:34 +0530 – lankaleadnews.com)

= දරුගැබ විනාශකරන මෙන් බලකර නරුම දොස්තර තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා =

තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක වෛද්‍යවරියක විසින් ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව මෙලෙස පැමිණිල කර ඇත්තේ එම රෝහලේම සේවය කරන සාගරිකා දිලූෂානි සේනානයක නම් වෛද්‍යවරියයි.

දරුගැබ විනාශ කරගන්නා ලෙස බලපෑම් කර ඇති මෛ වෛද්‍යවරයා වෛද්‍යවරිය එය ප්‍රතික්ෂේප කරවිට ‘ඇයි තමුසේ ශාපි විරෝධියෙක්ද’ යි කියමින් නිතරම ඇයට හිංසා කිරිමට පටන් ගෙන තිබේ.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සමග හැප්පීමට තමාට නොහැකි බව ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය තමාට දැනුම් දුන් බව වෛද්‍ය දිලුක්ශානි සේනානායක සඳහන් කරයි.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා කරන මෙම පහරදීම් හා බලපෑම් සාමාන්‍ය දෙයක් බැවින් ඒවා ඉවසා සිටීමට පුරුදු වන ලෙස කරාපිටිය රෝහලේ අන් වෛද්‍යවරුන් තමාට උපදෙස් දුන් බව ද මෙම සිද්ධියට මුහුණදුන් දිලුක්ශානි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

වෛද්‍ය දිලුක්ශානි සේනානායක මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක වැඩසටහනට එක් වෙමිනි.

+++++++++++++++

වෛද්‍ය බෙල්ලනගෙන් මාධ්‍යවේදියාට දැඩි දෝෂ දෝෂාරෝපණයක් (06-11-2020)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *