තල්මසුන් ගොඩ ආවේ යුද අභ්‍යාසයක් නිසා ද ?

තල්මසුන් ගොඩ ආවේ යුද අභ්‍යාසයක් නිසා ද ?

විවිධ ස්ථානවලින් නිල නොවන කොරෝනා පොකුරු – දිනක සාමාන්‍යය 400-500 ත් අතර

*********************************************

තල්මසුන් ගොඩ ආවේ යුද අභ්‍යාසයක් නිසා ද ?

(03.11.2020 – 22:08 +0530 – newsfirst.lk/sinhala)

පානදුර වෙරළට තල්මසුන් හා ඩොල්ෆින් සත්ත්වයින් විශාල පිරිසක් පැමිණීම ගැනත් දැන් සංවාදයක් ඇතිවී තිබේ.

මේ සංවාදය ඇතිවෙන්නේ ඇමරිකාව, ජපානය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව බෙංගාල බොක්ක ආශ්‍රිතව අද සිට ‘මලබාර්’ නමින් යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමේ පසුබිමකයි.

මුහුදේ යුද ක්‍රියාකාරකම් හා තල්මසුන් ගොඩ ගැසීම අතර සබදතාවක් තිබේද?

තල්මසුන් 100 කට අධික සංඛ්‍යාවක් ඊයේ (02) පස්වරුවේ කොළඹ නගරයට දකුණින් පිහිටි පානදුර වෙරළට ගොඩගැසීමත් සමග ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු බෙහෝ දෙනා තල්මසුන් නැවත දියඹට යැවිමට දැඩි පරිශ්‍රමයක නිරත විය.

තල්මසුන් මුහුදට යැවීම සඳහා ඊයේ (02) පස්වරුවේ ආරම්භ කළ මෙහෙයුම රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වූ අතර අවසන් තල්මසා දියඹට යැවීමට හැකි වුයේ අද (03) උදෑසනයි.

මෙම සිදුවිම මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම තල්මසුන් ගොඩ ගැසීම බව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරය තහවුරු කළේ ය.

අවාසනාවකට අද (03) දහවල් වන විට මිය ගිය තලමසුන් සිව් (4) දෙනෙකුගේ සහ ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් පානදුර ආශ්‍රිත වෙරළට ගොඩ ගසා තිබිණ.

මෙම තල්මසුන් ගොඩ ගැසීම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට ආසන්න බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාව, ඇමරිකාව , ජපානය , සහ ඔස්ට්‍රේලියාව දින තුනක ඒකාබද්ධ නාවික යුද අහභාසයක් සිදුවූ පසබිමකයි.

අදාළ යුද අභ්‍යාසයට ලොව ප්‍රමුඛ හමුදා භාවිත කරන යුදෝපකරණ රැසක් ඇතුළත් ය .

මේ අතර ස්කොට්ලන්ත මාධ්‍ය වර්තා කර තිබුණේ, මීට පෙර එරට මුහුදු තීරයට අභිරහස් ලෙස ගොඩ ගැසූ තල්මසුන් සම්බන්ධයෙන් එරට ආරක්ෂ අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි.

එරට විමර්ශන නිලධාරීන්ට අනුව මෑත කාලයේ සිදුවූ තල්මසුන් ගොඩ ගැසීම් සියල්ල අසාමන්‍ය සිදුවීම් වන අතර එය ස්කොට්ලන්ත උතුරු මුහුදේ සිදුවූ යුද අභ්‍යාස හා සම්බන්ධ බවට ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණ.

– උපුටා ගැනීම –

මෙම යුද අභ්‍යාස වලදී භාවිතා කල හමුදා සෝනා යන්ත්‍ර මෙවැනි සතුන්ගේ හැසීරීම් වලට බාදා පමුණුවනවා. මෙවැනි ජීවින් ගමන් කිරීමට ආහාර සොයා ගැනීමට සහ එකි නෙකා සමග සන්නිවේදනය කිරීමට ශබ්දය භාවිත කරන බැවින් එය ඔවුන්ට බාධාවක්.

– උපුටා නැනීම අවසන් –

නාවික සෝනා පද්ධති ස්කොට්ලන්ත අයර්ලන්ත , අයිස් ලන්ත වෙරල තිරයන් හී ගොඩ ගැසූ අභිරහස් ලෙස මිය ගිය තල්මසුන් 90 දෙනෙකුගේ මරණයට හේතුවක් බව ජාත්‍යන්තර සමුද්‍රීය විශේෂඥයෝ පවසති.

මෑත ඉතිහාසයේ සෝනා භාවිතය දැඩි දෝශ දර්ශනයට ලක්ව ඇති අතර සබ්මැරීම් ක්‍රියාකාරකම් ලොව බොහෝ ස්ථනවල සිදුවූ විශාල මුහුදු ජීවින්ගේ ගොඩගැසීම් වලට සම්බන්ධ බවට පර්යේශකයන් අවධාරණය කරයි.

තවද අඩු බලයකින් යුත් සෝනා පද්ධති තල්මසුනට සෘජුව හානියක් නොකලද ඔවුන්ගේ සාමාන්‍ය හැසරීම් රටාවන්ට බාද ඇති කරන බව පර්යේෂකයින්ගේ මතයයි.

බෙංගාල බොක්කේ විශාල යුද අභ්‍යාසයක් සිදුවන අවස්ථාවක මෙවැනි සාගර ජීවින්, මෙරට වෙරළ තීරයට ගොඩ ගැසිම දැඩි අවාසනාවන්ත සිදුවිමකි.

එබැවින් යුද සෝනා පද්ධති භාවිතය සහ තල්මසුන් ගොඩ ගැසීම සම්බන්ධයෙන් ඇති පර්යේෂණ සහ වාර්තා බැහැර කළ හැකිද ?

මෙය ‘සී ඔෆ් ශ්‍රී ලංකා’ (ශ්‍රී ලංකා මුහුද) යි. එය ශ්‍රී ලංකාවටම ආවේනික සාගර කලාපයකි.

එය තව දුරටත් අනාරක්ෂිත වීමට ඉඩ ලබා දීම, ජාත්‍යන්තරව ඕනෑම කෙනෙකුට ඇතුල්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමකි.

සාගර ජීවින් මෙරට වෙරළට මෙලෙස ගොඩ ගැසීම ඉදිරියෙදී අපිට මුහුණ දීමට සිදුවන මෙවැනි විපත් පිළිබඳව පූර්ව අනතුරු අඟවීමක්ද විය හැකියි.

+++++++++++++++++++++

100 කට අධික තල්මසුන්ගේ දිවි රැකදුන් පානදුර වෙරළේ අභියෝගාත්මක මෙහෙයුම

(03.11.2020 – 13:20 +0530 – newsfirst.lk/sinhala)

කොවිඩ් 19 රැල්ල මැඩපැවැත්වීමේ අභියෝගයට මුහුණදී සිටින මොහොතක ඊයේ (02) පස්වරුවේ තවත් වටිනා සමුද්‍රීය සම්පතක් රැකදීමේ අභියෝගාත්මක මෙහෙයුමක් සාර්ථක කර ගැනීමට මෙරට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූහ.

පානදුර වෙළරට ගොඩ ගැසූ සියයකට අධික වූ තලමසුන් සංඛ්‍යාවක් මරණයෙන් බේරාගෙන යළි මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ඊයේ (02) රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී තල්මසුන් විශාල පිරිසක් යළි දියඹට රැගෙන යාමට ස්වේච්ඡා කණ්ඩායම් ක්‍රියා කළේ, පවතින වසංගත තත්ත්වය හමුවේ, ජීවිත අවදානම ද නොතකමිනි.

බාධක නොතකමින් මෙහෙයුම ඇරඹේ

පස්වරුව වන විටම වෙරළාරක්ෂක ජීවිත ආරක්ෂකයින් සහ ධීවර ප්‍රජාව එක්ව තල්මසුන් මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ආරම්භ කළ අතර මේ පිළිබඳ කන වැකුණු බොහෝ දෙනෙක් මෙහෙයුමට සහය වීම සඳහා පානදුර වෙරළ තීරයට පැමිණෙන්නට වූහ.

දවස ගෙවී ගොස් වෙරළ තීරණය අඳුරු වීමත් සමග තල්මසුන් යළි මුහුදට යොමු කිරීමේ ප්‍රයන්තය නිෂ්ඵල ක්‍රියාවක් ලෙස පෙනුණ ද සිය උත්සාහය අත්නොහළ පිරිස අඛණ්ඩව මෙහෙයුම දියත් කළහ.

රාත්‍රීය වනවිට ශ්‍රී ලංකා 4X4 සමාජය එම ස්ථානයට පැමිණියේ, එම අවස්ථාවේ අවශ්‍යවම තිබූ මෙහෙයුම් ප්‍රදේශය ආලෝකකරණය කර මෙහෙයුමට අවශ්‍ය සහය ලබාදීම සඳහායි.

මුදා ගැනීමේ මෙහෙයුම අතිශය දුෂ්කර ක්‍රියාවක් වූයේ අදියර කිහිපයක් යටතේ ගොස් සත්ත්වයින් මුහුදට මුදා හැරීමට සිදුවූ නිසා ය.

මුලින්ම සත්ත්වයින් රළු රළ පහරින් තල්ලු කර ගෙන ගොස් පසුව ගලවා ගැනීමේ කඹයක් ආධාරයෙන් Jet Ski වෙත රැගෙන යාමට සිදු වූ අතර ඉන් අනතුරුව ගල්පරයට ඉහළින් ඇදගෙන යාමට ද සිදු විය.

ගල්පරයට ඉහළින් මුහුදට ඇදගෙන ගොස් පසුව තල්මසුන් බෝට්ටුවකට මාරු කර මුහුදට මුදා හැරීම සිදු කෙරිණ.

මධ්‍යම රාත්‍රීය වනවිට යුද හමුදාව, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂකයින්, A-PAD සහ ගම්මැද්ද V-Force අතුළු ස්වේච්ඡා සේවකයින්ගෙන් සමන්විත මෙම මුදා ගැනීමේ කණ්ඩායම් අතරමං වූ තල්මසුන් 100 කට ආසන්න ප්‍රමාණයක් නැවත සාගරයට මුදා හැරීමට සමත්වූහ.

මුදා ගැනීමේ කණ්ඩායම් අද (03) උදෑසන වන තුරුත් තල්මසුන්ගේ ජීවිත රැක දීමේ මෙම හෙහෙයුම දියත් කර ඇත්තේ, රළු වූ මුහුදු රළ ද නොතකමිනි.

මෙහෙයුමට සම්බන්ධව සිටි ධීවරයෙකු ‘නිව්ස් ෆස්ට්’ වෙත පැවසුවේ, මුල් අවස්ථාවේ පැමිණ සි‌ටි පිරිස් සමග එක්ව තල්මසුන් මුහුදට මුදා හැරීමට උත්සය කළ ද සත්ත්වයින් යළි වෙරළ දෙසට ඇදී එන්නට වූ බැවින් පසුව මෙහෙයුම සඳහා නාවික හමුදාවේ සහය ලබා ගත් බවයි.

පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසුවේ ඇයි?

සමුද්‍රීය ජීව විද්‍යාඥ ආශා ඩි වෝස් මහත්මිය පැවසුවේ, පානදුර වෙරළට මෙම සත්ත්වයින් ගොඩ ගැසීම පිළිබඳව නිෂ්චිත හේතුව ප්‍රකාශ කළ නොහැකි වුවත් තල්මසුන් සමූහයක් ලෙස ගමන් ගන්නා විට මෙවැනි සිදුවීම් සාමාන්‍ය බවයි.

ඇය වැඩිදුරටත් පැවසූවේ, සමූහයක් ලෙස ගමන් ගන්නා විට එක් තල්මසෙකු වෙරළ තීරය දෙසට පැමිණිය හොත් අන් අය ද එම සත්ත්වයා අනුගමනය කිරීම සාමාන්‍ය පුරුද්දක් බවයි.

මේ අතර සාගරයේ පවතින රේඩාර් සංඥා මගින් අදාළ සතුන්ගේ සිරුරේ පිහිටා ඇති අධිසංවේදී ඉන්ද්‍රියන්ට හානි වීම හරහා ද මෙලෙස තල්මසුන් ගොඩබිමට පැමිණිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

“මේ සතුන්ට දිශානතිය සොයා ගැනීම සදහා මේ සතුන්ගේ නලලේ තියෙනවා ඉතාම සංකීර්ණ සහ සංවේදී ඉන්ද්‍රියක් මේ ඉන්ද්‍රියන් මගින් කරන්නේ මේ සතුන් ශබ්දය නිකුත් කිරීම සහ ලබා ගැනීම. අධිශක්තියක් තියෙන සෝනාර් භාවිතා කිරීමේදී මේ කියන ඉන්ද්‍රියන්වලට හානි වෙන්න පුළුවන්. මේ අධිසෝනාර් භාවිත කිරීමේදී මේ සතුන් කරන්නෙ තමන්ට තියෙන අපහසුතාවයන්ගෙන් මීදිම සඳහා හැකිතාක් මුහුද යටට කිමිදෙන එක.මේ නිසා තමන්ගේ දිශාව හොයා ගන්න බැරි වෙනවා. මේ තත්ත්වය නිසා තමයි මේ දේ සිදු වෙන්නේ.”

මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ජාතික සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පැවසුවේ, එක් වරකදී ශ්‍රී ලංකා වෙරළට ගොඩ ගැසූ විශාලතම තල්මසුන් ප්‍රමාණය මෙය බවයි.

පානදුර මුහුදු තීරයේ සිට වාද්දුව දක්වා කිලෝමීටර් එක හමාරක් (1½) පමණ දුරට ගොඩ ගැසූ වසර 50 ක් දක්වා ජීවිත කාලයක් හිමි ටොන් එකක් (1) පමණ බරකින් යුත් මීටර් 6 ක් දක්වා වර්ධනය විය හැකි මෙම තල්මසුන් සැලකෙන්නේ අතිශයින්ම සමාජශීලි තල්මසුන් ලෙසයි.

මීට වසර කිහිපයකට පෙර සාම්පූර්හිදී මෙලෙස තල්මසුන් ගොඩගසා තිබූ අතර වැඩිම තල්මසුන් ප්‍රමාණයක් ගොඩබිමට පැමිණීමේ සිදුවීමක් මීට මාසයකට පමණ පෙර ඔස්ට්‍රේලියාවෙන් ද වාර්තා විය.

කෙසේ වෙතත් අද (03) උදෑසන වන විට මිය ගිය තල්මසුන් දෙදෙනෙකුගේ සිරුරු පානදුර සහ වාද්දූව තල්පිටිය වෙරළට ගොඩ ගසා තිබිණ.

යුද හමුදාව, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂකයින්, A-PAD සහ ගම්මැද්ද V-Force අතුළු ස්වේච්ඡා සේවකයින්ගෙන් සමන්විත මුදා ගැනීමේ කණ්ඩායම් බාධක නොතකා අඛණ්ඩ මෙහෙයුම යුහුසුළුව දියත් නෙකළේ නම්, වටිනා සත්ත්ව සම්පතෙන් බොහෝ පිරිසකට ජීවිත අහිමි වන්නට ඉඩ තිබිණ.

තවදුරටත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී හා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තවදුරටත් පානදුර හා ඒ වට මුහුදු කලාපයේ රැඳී සිටිමින් මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවෙති.

මියගිය තල්මසුන් කිහිප දෙනෙකුගේ ඡායාරූප News 1st සතුව ඇතත් සංවේදීතාව හේතුවෙන් එම ඡායාරූප පළ නොකිරීමට තීරණය කළෙමු.

*********************************************

විවිධ ස්ථානවලින් නිල නොවන කොරෝනා පොකුරු – දිනක සාමාන්‍යය 400-500 ත් අතර

(04.11.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

විවිධ වූ ස්ථානවලින් නිල නොවන තොරතුරු වලට අනුව පොකුරු නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහනට සජීවීව එක්වෙමින්.

මේ අතර දිනකට වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 400-500 ත් අතර සාමාන්‍ය අගයක් ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව දරුණු අවදානම් මට්ටමක පවතින බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ.

ඇතැම් ප්‍රදේශවල ජනතාව නිසි අයුරින් සෞඛ්‍ය පුරුදු පිළිබඳව අවදානය යොමු නොකිරීම භයානක තත්වයක් බවද ඔහු සඳහන් කළා.

ඇතැම් රෝගීන් මියයාමෙන් අනතුරුව කොරෝනා අසාදනය වී ඇති බවට අනාවරණ වීම පිළිබඳවද එහිදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අදහස් පළකලා.

ඔහු සඳහන් කළේ ඇතැම් නිදන්ගත රෝග සහිත පුද්ගලයන් රෝහල්ගතවීමට අනියත බියකින් පසුවීම මෙම තත්වයට හේතුව බවයි.

එහිදී අදහස් පළකරමින් ඔහු සඳහන් කළේ තමන්ට නිදන්ගත රෝගයක් පවතීනම් අදාළ රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

PCR පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීමේ ගැටළුවක් මේ වනවිට නොමැති බවද ඔහු සඳහන් කළා.

එසේම මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් ඉවත්වීමත් සමඟ ඇතිවූ මහජන කැළඹීමත් සමග තමන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට යෝජනා වූ බවයි.

කෙසේ වෙතත් තමන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර සම්බන්ධයෙන් පත්වීමක් හෝ ලිපියක් ලබාදී නොමැති බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ගෙන් කළ ඉල්ලීමකට ගරු කිරීමක් ලෙස තම රාමුව තුළ සිටිමින් ජනතාව දැනුවත් කිරීම පමණක් සිදුකරන බවයි.

එසේම ඉදිරියේදී යම්කිසි අයුරකින් එය නතරකිරීමේ හැකියාවක් පැවතීමේ ඉඩකඩක් ද තිබිය හැකි බැවින් ඉන් අනතුරුව තමන්ට මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිවනු ඇති බවද අවසාන වශයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළා ෴

+++++++++++++++

(04.11.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 409 වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 11,744 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 401 දෙනෙකු ආශ්‍රිතයින් වන අතර 08 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එසේම, නව ආසාදිතයින් සමඟ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර අටදහසේ (8000) සීමාව ඉක්මවා ගොස් 8,266 ක් ලෙස සටහන් වුණා.

මේ වනවිට රෝහල් ගත වී සිටින වෛරසය ආසාදනය වූවන්, සංඛ්‍යාව 6,140 ක්.

එසේම, ඊයේ (03) දිනයේදී 22 වන සහ 23 වන කොරෝනා මරණ වාර්තා වූ අතර, 22 වන මරණය ලෙස සටහන් වුණේ කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මරණයයි.

68 හැවිරිදි ඇය නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය මියයාමට ආසන්නතම හේතුව වී ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වය බවයි.

මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් මීට පෙර හඳුනාගෙන තිබූ අතර, පවුලේ අනෙකුත් සාමාජිකයන්ද නිවාස නිරෝධායනයට ලක් කර තිබෙනවා.

23 වන කොරෝනා මරණය ලෙස කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇයට උණ, කැස්ස, උගුරේ ආසාදනය වැනි රෝගි තත්ත්වයන් තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, දැනට ව්‍යාප්ත වන වෛරසයේ ප්‍රබලත්වය නිසා මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යාම පමණක් ප්‍රමාණවත් වේද නොඑසේනම්, එය මීටර් 2 දක්වා වැඩි කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අද තීරණයක් ගැනෙනු ඇති.

මේ අතර, කොව්ඩ් 19 පැතිරිම වැළැක්ව්මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එහි කාර්යභාර නිලධාරිවරයා ඇමතීම සඳහා 011 286 0002, 011 286 0003 සහ 011 286 0004 යන දුරකථන අංක භාවිත කළ හැකියි.

නාවික හා ගුවන් හමුදා කාර්ය භාර නිලධාරිවරයා ඇමතීම සඳහා 011 405 5932 දුරකථන අංකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සම්බන්ධ කර ගැනීම සඳහා 011 368 8664 සහ 011 303 0864 දුරකථන අංක භාවිත කළ හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, සෞදි අරාබියේ ආරක්ෂිත නිවාස 150 ක රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පැය 48 ක් තුල ජනපතිගේ නියෝගය අනුව, මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊයේ (03) පැවති කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

ඔවුන් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ එහි සිටින ශ්‍රී ලාංකිකයින්.

එමෙන්ම, රුපියල් 5000 දීමනාව, රෝගීන්ට ඖෂධ නිවසට ලබාදීම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත රුපියල් 10,000 ක වටිනාකමකින් යුත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබාදීම සහ හෝටල් නිරෝධායන ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ ෴

++++++++++++++++++

(04.11.2020 – 09:11 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන, බෝකුන්දර, සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන අද (04) පෙරවරුවේ තොඟ වෙළඳාම සඳහා විවෘත කරනු ලබනවා.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන ලෙසයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්.එල්.අනිල් විජේසිරි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

එසේම, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ද තොග වෙළඳාම් කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ බේකරි නිෂ්පාදන නිවෙස් වෙතට ගොස් අලෙවි කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇති බවයි.

මේ අතර, ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්ත සඳහා ඇඳිරි නිතිබලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට කෑගල්ලේ පොලිස් බල ප්‍රදේශ 4 ක් සහ ගලිගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය හුදකලා කර ඇති අතර, බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ 114 ක සහ කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වනවා ෴

+++++++++++++++++

(04.11.2020 – 09:55 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 34 දෙනෙකු අද (04) දිනයේද තම නිරෝධායන කටයුතු අවසන්වීමෙන් අනතුරුව නිවෙස්වලට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ පෞද්ගලික හෝටල්වල නිරෝධායනයට ලක්වූ පිරිසක් මෙලෙස පිටත්ව යාමට නියමිත බවයි.

ඒ අනුව මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 63,223 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නික්ම ගොස් තිබෙනවා.

එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල 34 ක් තුළ තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින සංඛ්‍යාව 2,776 ක් ෴

+++++++++++++++++

(04.11.2020 – 10:17 +0530 – hirunews.lk/sinhala)

‘හෑන්ඩ් සැනිටයිසර්’, නැතිනම්, දෑත් පිරිසිදුකාරක පිළිබඳ මෑත කාලයේ ලොව පුරා වැඩි අවධානයක් යොමුවන්නේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමගයි.

එතෙක්, ඒවා වැඩි වශයෙන් භාවිත වුණේ රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා සපයන ආයතන වල පමණයි.

එදිනෙදා ජීවිතයේදී පිරිසිදු කිරීම් සඳහා අප සබන් හෝ සබන් දියර භාවිත කළත්, සැනිටයිසර් වල ක්‍රියාකාරිත්වය විෂබීජ ඉවත් කිරීම සඳහා ඊට වඩා වැඩි ප්‍රබලත්වයකින් යුක්ත වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ක්‍රියාකාරී දෑත් පිරිසිදුකාරක ද්‍රාවණයක 80% ක් එතනෝල් හෝ 75% ක් අයිසොප්‍රොපිල් මධ්‍යසාර අඩංගු විය යුතුයි.

කොරෝනා වෛරසය දෑත් හරහා ශරීරගත වීමට වැඩි ඉඩක් පවතින නිසා ඇසට නොපෙනෙන විෂබීජ ක්ෂණිකව විනාශ කිරීමට ඊට හැකියාව පවතිනවා.

ඒ එහි ඇති එතනෝල්, ග්ලිසරෝල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යන සංඝටක හේතුවෙන්.

ඇතැම් විට නිසි ප්‍රමිතියෙන් යුතුව සකස් නොකළ සැනිටයිසර් භාවිතය අහිතකර වීමට ද ඉඩ තිබිය හැකියි ෴

+++++++++++++++++++

(04.11.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතරක (24) කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 31 ක් බව පොලිසිය පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2,190 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

++++++++++++++++

කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ – ගම්පහින් 146 ක්

(04.11.2020 – 10:54 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (03) දිනයේ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් 409 දෙනාගෙන් 146 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි.

තවත් 122 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 47 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 12 දෙනා බැගින් ඊයේ (03) දිනයේදී හදුනාගෙන තිබේ.

කුරුණෑගල, නුවරඑළිය, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, මාතලේ, මහනුවර, අම්පාර, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර පොලිස් නිළධාරින් 05 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සිව් (4) දෙනෙකු ද ඊයේ (03) හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් අතරට අයත් ය.

නව කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ :

+++++++++++++++

මුහුණු ආවරණ පැළඳ නොසිටියහොත් අත්අඩංගුවට පත්විය හැකියි

(04.11.2020 – 09:44 +0530 – sinhala.adaderana.lk)

මුහුණු ආවරණ නොපැළදීම හා දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය ඔක්තෝබර් 15 වන දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යය වෙයි.

අද (04) උදෑසන ‘දෙරණ අරුණ’ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

නිරෝධායන ඇඳීරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 220 ක් බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ (03) දිනය තුළ අත්අඩංගුවටගෙන ඇති බවද පොලීසිය පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බස්නාහිර පළාත ඇතුළු පොලිස් බලප්‍රදේශ කිහිපයක පසුගිය ඔක්තෝබර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2200 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන 340 ක් ද එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

+++++++++++++++++++

කොවිඩ් බලපෑමෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

(04.11.2020 – 07:24 +0530 – sinhala.adaderana.lk)

රටපුරා පැතිර යන කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03 ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ්-19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කැළණිය, කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03 හුදකලා කිරීමට තීරනය කර තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

++++++++++++++++++

හොරණ බොඩිලයින් ගාමන්ට් තවත් 24 කට කොරෝනා.. දැන් 47 යි.. සේවකයන් 6000 ක් නිරෝධායනයේ..

(04.11.2020 – 12:00 +0530 – lankacnews.com)

හොරණ පිහිටා ඇති බොඩිලයින් ඇගළුම් කර්මාන්තශාලාවේ තමත් සේවකයන් 23 කට කොරෝනා ආසාදනය වී තිබේ.

එම කර්මාන්තශාලාවෙන් සේවකයන්ට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණ වලින් ප‍්‍රතිඵල ලැබී ඇති 250 අතරින් මෙම ආසාදිතයන් වාර්තා වෙයි.

තවත් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් 57 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සේවකයන් හය දහසකට (6000) ආසන්න පිරිසක් සේවය කරන එම කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා තිබේ ෴

+++++++++++++++++

(04.11.2020 – 10:40 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04 කට කොරෝනා.. ඔවුන් 20 විවාදය දාත් ගිහින්.. විවාදයට සියළු මැති ඇමතින් ඇවිත්.. ජනාධිපතිද ඇවිත්..

පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදුණු මාධ්‍යවේදීන් හතර (4) දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඔවුන් සියලු දෙනාම මුද්‍රිත මාධ්‍ය වාර්තාකරුවන්ය.

පසුගියදා පාර්ලිමේන්තුවේ විසිවෙනි සංශෝධනය විවාදයද ආවරණය කිරීම සදහා මෙම සිවු දෙනා පාර්ලිමේන්තු ගොස් ඇත.

මේ වන විටත් එම දිනවල පාර්ලිමේන්තුවට පැමිණි සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එදින විවාදය සදහා පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් පැමිණ සිටි අතර ජනාධිපතිවරයාද එදින පාර්ලිමේන්තුව පැමිණ සිටියේය ෴

+++++++++++++++++

(04.11.2020 – 10:00 +0530 – lankacnews.com)

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික බලකා සෙබළුන් දෙදෙනෙකුට (2) ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මෙම පිරිස ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි අයයි.

ඔවුන් එහිදී කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ආසාදිත යයි හෙලි වී ඇත.

කොළඹ මැලේ වීදියේ හමුදා කඳවුරේ සේවය කරමින් සිටි මෙම සෙබළුන් 239 දෙනෙකු නිරෝධායන සඳහා එහි රඳවා ඇත.

මෙම සෙබළුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ හා සම්බන්ධ රාජකාරි කටයුතු වල නිරතවී සිටි අයයි ෴

+++++++++++++++++

(04.11.2020 – 09:33 +0530 – lankacnews.com)

අහඹු පරීක්‍ෂණවලින් ආසාදිතයන් හමුවේ.. ප‍්‍රදේශ ගණනාවක් ‘ලොක්ඩවුන්’..

ග්‍රාම සේවා වසම් හයක් සහ තවත් ප්‍රදේශ පහක් (5) ඊයේ (03) පස්වරුවේ සිට හුදකලා කර තිබේ.

මෙසේ හුදෙකලා කර ඇත්තේ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ප්‍රදේශයන් කීපයකි.

පන්නල, කොහොඹපොල, බඩබැද්ද, ඉහලගලයාය, පහලගලයාය, මූකලාන යන ග්‍රාමසේවා වසම් සහ මාහරගම, පනවලකුඹුර, මල්ගමුව, නාලවලාන මැදිරිවිල යනප්‍රදේශ ද මෙසේ හුදකලා කර ඇත.

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ අහඹු ලෙස සිදුකළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු (5) හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ෴

++++++++++++++++

ආයෝජන මණ්ඩල කර්මාන්තශාලාවල සේවකයින්ට වයිරස් බෝවන්නේ නැත්ද? කළුතර – ගම්පහ වෛද්‍යවරු ප්‍රශ්ණ කරති

(04.11.2020 – 09:14 +0530 – lankaleadnews.com)

බස්නාහිර පළාත වසා දැමීම සඳහා ගනු ලැබූ තීන්දුව පමා වීම නිසා ඇති වූ අවාසිදායක තත්වය තව දුරටත් වර්ධනය කරමින් ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා දිගටම පවත්වාගෙන යාමට අවසර දිම පිළිබව ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් විරෝධය පළ වී ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් දක්වා ඇති බව වාර්තා වේ. මේ වන විට හොරණ ප්‍රදේශයේ සේවකයින් 5000 ක් පමණ සිටින කර්මාන්ත ශාලාවකින් කොවිඩ්–19 රෝගීන් හමුවීම සමඟ මෙම තත්වයේ බැරෑරුම්කම පැහැදිළි වන බව වෛද්‍යවරු පවසති.

අපනයන ඇනවුම් හඹායන කර්මාන්තශාලාවල සේවක්යින්ගේ ශරීර වලට වයිරසය ඇතුල් වන්නේ නැත්දැයි එම වෛද්‍යවරු ප්‍රශ්ණ කරති. මෙම තත්වය නිසා පමා වී වසා දැමීමට ගනු ලැබූ තීන්දුවන් පවා නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වන බව ඔවුහු පවසති ෴

+++++++++++++++++

මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ට කොවිඩ් අවදානම වැඩියි – මහාචාර්ය අතුල සුමතිපාල

(04.11.2020 – 07:34 +0530 – lankaleadnews.com)

මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ්–19 වයිරස් ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල මහතා පැවැසීය. මානසික සෞඛ්‍ය දුර්වලවීමත් සමග රෝග සඳහා ප්‍රතිශක්තිය අඩුවීම ඊට හේතුව බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ්–19 ට එරෙහි සටන අදෘශ්‍යමාන වයිරසයකට එරෙහි ගෝලීය යුද්ධයක් බව ජාතික ‘මූලික අධ්‍යයන ආයතනයේ’ සභාපතිවරයා වන සුමතිපාල මහතා කීවේය.

“අප මානසිකව පහත වැටී ඇත්නම්, චිත්ත ධෛර්යය පමණක් නොව අපගේ ශරීරයේ ප්‍රතිශක්තියද පහත වැටේ. අප කළ යුත්තේ වයිරසය ඉදිරියේ දණ ගසා උත්සාහයන් අතහැර දැමීම නොව, තවත් වසර දෙකක් (2) අපට එය සමග ජීවත් වීමට සිදුවනු ඇති බව පිළිගැනීම සහ අපගේ ජීවිතයේ යම් යම් දේ වෙනස් කිරීම සහ අඩුපාඩු දරා ගැනීමට සූදානම් වීමයි” යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය.

‘සමාජ දුරස්ථභාවය’ යන යෙදුම පවා ඉතා වැරදි බවත් එය ‘පෞද්ගලික දුරස්ථභාවය’ ලෙස වෙනස් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය ෴

++++++++++++++++

(04.11.2020 – 12:23 +0530 – lankadeepa.lk)

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා ආසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

මේ වන විට බොරැල්ල පොලීසිය නිලධාරීන් 56 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ස්වයං නිරෝධායනය වීම සඳහා යොමු කර සිටි පොලිස් නිලධාරී පොලීසිය තුළ සාමන්‍ය රාජකාරියේ යොදවා ඇතැයි ද , ඔවුන්ගෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි ෴

+++++++++++++++++

(03.11.2020 – 20:12 +0530 – lankadeepa.lk)

කොවිඩ්-19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමේ සහ ආර්ථික මට්ටම හා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය තින්දු තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පවරා තිබේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (03) පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇත.

ලොව ප්‍රධාන පෙළේ රටවල කොවිඩ් වසංගතය හමුවේ දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමෙන් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින්, වසංගතය පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ නිසි පරිදි ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වන ආකාරයෙන් කෘෂිකර්මාන්තය මෙන්ම සෞඛ්‍ය, ප්‍රවාහනය, ධීවර කටයුතු, කර්මාන්ත, ජල හා විදුලි සැපයීම, කසල කළමනාකරණය, ඉන්ධන සැපයීම, ගොවීන් වෙත ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම ආදී අත්‍යාවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණි ෴

++++++++++++++

(04.11.2020 – 09:08 +0530 – aruna.lk)

සුවසැරිය ගිලන් රථවල ඇති වෙන්ටිලේටර් යන්ත්‍ර (කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර) ගලවා රෝහල්වලට ලබාදීමට රජය සූදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන චෝදනා කරයි. එජාප නියෝජ්‍ය නායකයා මෙම චෝදනාව එල්ල කරන ලද්දේ ජනමාධ්‍ය වෙත ඊයේ (3 වැනිදා) විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.

‘පහුගිය මාර්තු මාසේ ඉඳන් මේ දක්වා වෙන්ටිලේටර් අරගෙන නැහැ. පී.සී.ආර්. කට්ටල අරගෙන නැහැ. සුවසැරිය ගිලන් රථවල තියෙන වෙන්ටිලේටර් ගලවලා රෝහල්වලට දාන්න සූදානමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. ගිලන් රථවලට තියෙන වෙන්ටිලේටර් ටික ගැලෙව්වොත් ඒවා ආපහු සවි කරන්න බැහැ. රටට ලැබුණු මුදල්වලින් මාර්තු මාසේ ඉඳන්ම මේවා මිලදී ගත්තනම් අද මෙවැනි අර්බුදයකට අපි මුහුණ දෙන්නේ නැහැ.

ඒ වගේම අද මුළු රටේම දැඩි සත්කාර ඒකකවල ඇඳන් තියෙන්නේ හයසිය තිහයි (630). ඒකෙන් එකසිය පනහක (150) විතර සංඛ්‍යාවක් තමයි කොවිඩ් රෝගීන්ට වෙන්කරලා තියෙන්නේ. මෙච්චර මුදලක් ලැබිලා තියෙන අවස්ථාවකදී ඇයි දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය ඇඳන් මිලදී ගන්නේ නැත්තේ.’ යැයි එජාප නියෝජ්‍ය නායකයා වැඩිදුරටත් ආණ්ඩුවෙන් විමසා සිටී ෴

***************************************

මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයෑම ගැන විමර්ශනයක්

(04.11.2020 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල බන්ධනාගාරයේ ඊයේ (03) ඇති වූ සිද්ධියකින් රැඳවියෙකු මියයාම සහ බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ඊයේ (03) උදෑසන ඇති වූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

එම නියාමකවරයාට මියගිය රැඳවියා විසින් පහරදී ඇති බවත්, පසුව ඒ සඳහා මැදිහත් වූ සෙසු බන්ධනාගාර නිලධාරීන් සහ තවත් රැඳවියන් පිරිසක් අතර ගැටුම දුරදිගයෑමෙන් සිදුවූ පහරදීමකින් අදාළ රැඳවියා මියගොස් ඇති බවයි ෴

***************************************

(04.11.2020 – 09:08 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව අඩු මිලට ජලය ලබා දෙන නිසා පාරිභෝගිකයන් තම අවශ්‍යතාවයට වඩා ජලය භාවිතා කරන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

කොළඹ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අපතේ යන ජලය පිරිපහදු කර ගෙවතු කටයුතු සදහා භාවිතා කිරීමට ඉදිරියේදි නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ෴

***************************************

(04.11.2020 – 10:22 +0530 – hirunews.lk/sinhala)

වසර 5 කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතුවෙන් උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය යටතේ කණ්ඩායම් 2 ක් විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙය වෙද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට මුවාවී වෛද්‍ය උපාධිය විකිණීමට දරන උත්සාහයක් බවයි.

මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය අවම මූලික සුදුසුකම් ඇතුළත් ගැසට් නිවේදනයට ඊයේ (03) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා ෴

***************************************

(04.11.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදා හැරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

2020 වර්ෂය සඳහා සාරි 76,000 ක් බෙදා දීමටයි අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 182.4 ක්.

මෙරට දහම් පාසල් 11,000 ක ප්‍රමාණයකට මෙම සාරි බෙදා හැරෙනවා ෴

***************************************

(04.11.2020 – 12:02 +0530 – hirunews.lk/sinhala)

කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සහ කඩුවක් සමඟ තරුණයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු (2) පොලීසිය පරීක්ෂා කිරිමකට ලක් කරනු ලැබුවා.

එහිදී ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක් සහ කඩුවක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන්ගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් සතුව තිබූ යතුරුපැදිය ද තියුණු ආයුධ පෙන්වා කිසියම් පුද්ගලයෙකුගෙන් කොල්ලකා ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කොකුවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක් (2) ෴

***************************************

(04.11.2020 – 12:04 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල පාලනයට අදාළව අද (04) ගැසට් නිවේදනයක් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ පිටකොටුව තොග වෙළඳපොලේ අද (04) පෙරවරුවේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලටම තොග වෙළඳපලට සහල් සපයන තත්ත්වයක් පවතින බවයි.

එය පාලනය කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු කියා සිටියා ෴

***************************************

දියලුම ඇල්ල දෙපසින් මාර්ගයට ගල් පෙරළෙයි

(04.11.2020 – 07:40 +0530 – lankadeepa.lk)

ධාරානිපාත වර්ෂාවත් සමඟ දියලුම ඇල්ලේ දෙපස කන්දේ විශාල ගල් කිහිපයක් මාර්ගය මත වැටීමෙන් අද (04)අලුයම සිට පැය කිහිපයක් එම මාර්ගය අවහිර වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.

ගල් කිහිපයක් කඩා වැටීමෙන් එම ස්ථානයේ කඩයකට ත්‍රිරෝද රථයකට සහ නිවසකට දැඩි හානි වූ බවත් එහි සිටි 6 දෙනෙකුගේ ජීවිත අනූනවයෙන් බේරී ඇති බවත් හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.

එම ස්ථානයේ එහා මෙහා යාමට සිටි උසස් පෙළ විභාග සඳහා යන අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි කඩිනමින් ගල් කඩා ඉවත් කිරීමට පොලිසිය ආපදා කළමනාකරණ අංශ ප්‍රදේශවාසීන් සමඟ එක්ව පියවර ගත්තේය.

***************************************

කොටින්ට කඩේ ගිය මාධ්‍ය සංගමයක ලොක්කෙක් ශලනි තාරකාගේ දෙපතුල ලෙව කයි – දර්ශන දුන් බව කියමින් සෞඛ්‍ය බලධාරීන්ට තර්ජන කරයි

(04.11.2020 – 11:39 +0530 – truenews.lk)

වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයක ප්‍රධානියෙක් බව පවසන පුද්ගලයෙක් බණ්ඩාරවෙල සෞඛ්‍ය බලධාරීන්ට තර්ජනය කර තිබෙනවා.

ඒ, නිරෝධායනයට ලක් කළ ශලනි තාරකා ඇතුළු පිරිසගේ වීඩියෝව මාධ්‍ය වෙත ලබාදීම හේතුවෙන්.

එම අවස්ථාවේ මාධ්‍යවේදියෙක් බව පවසන රාජ්‍ය නොවන සංවිධානවල මුදලින් යැපෙන පුද්ගලයාට බණ්ඩාරවෙලින් තදින්ම පිළිතුරු දෙමින් ඉතිහාසය ද සිහිපත් කර දී තිබෙනවා.

LTTE සංවිධානයට කඩේ ගොස් මුදල් ඉපයූ ඔහු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය සමයේ තර්ජන එල්ල වන විට කොළඹට පැමිණ තමන්ද උද්ඝෝෂණය කළ බව එහිදී ඇතැමුන් සිහිපත් කර දී තිබුණා.

එම වෙබ් සංගමයේ ප්‍රධානියා බව කියන පුද්ගලයාට අප අවධාරණය කරන්නේ තමන් මුදලට කෑදර කමින් රට ජාතිය විකුණා කෑවද එම ප්‍රාදේශීය මාධ්‍යකරුවා එවැන්නෙක් නොවන බවයි ෴

***************************************

(04.11.2020 – 09:39 +0530 – aruna.lk)

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ රජයේ හා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල සහයෝගය ඇතිව පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල ඉගැන්වීම් කටයුතු නියමිත පරිදි සිදු කිරීමට පැන නැගුණ අපහසුතා සැලකිල්ලට ගෙන දැනට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ ‘අයි නාළිකාව’ සහ ‘නේත්‍රා නාළිකාව’ ඔස්සේ සිදුකෙරෙන ඉගැන්වීමේ කටයුතු මේ අනුව වඩාත් පුළුල් කිරීමට නියමිතය.

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය නැවත ර​ටේ මතු වීම මත නියමිත පරිදි පාසල් ආරම්භ කිරීම ප්‍රායෝගික නොවන බව පෙනී යන බැවින් අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වාගෙන යාම සඳහා ප්‍රශස්ත විකල්ප දුරස්ථ අධ්‍යාපන ක්‍රම අත්‍යවශ්‍ය බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. එබැවින්, 3 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව රජයේ හා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල සහයෝගය ඇතිව මෙම වැඩසටහන් විකාශය කිරීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *