රජයේ රෝහල් වල සායනික රෝගීන්ගේ ඖෂධ හෙට (05) සිට තැපැල් මඟින් නිවසට

රජයේ රෝහල් වල සායනික රෝගීන්ගේ ඖෂධ හෙට (05) සිට තැපැල් මඟින් නිවසට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

රට විවෘතකර තැබීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ජනපති පහදයි

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

සහල් නිෂ්පාදකයන්ට සහ මෝල් හිමියන්ට උපරිම මිලක් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

*********************************************

රජයේ රෝහල් වල සායනික රෝගීන්ගේ ඖෂධ හෙට (05) සිට තැපැල් මඟින් නිවසට

(04.11.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත තැපැල් සේවය සමඟ ඒකාබද්ධව නිවසටම ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල හෙට (05) සිට යළි ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කළේ රෝගීන් වෙත ඖෂධ ගෙනවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය ලබාදීම අවශ්‍ය බවයි.

තමන්ගේ සායනික පොත් සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, අදාළ රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කළ යුතු වනවා.

එවිට තමන් අයත් රෝහලේ කාර්ය මණ්ඩලය අදාළ බෙහෙත් ඇසුරුම් සකස් කර තැපැල් කාර්යාලයට භාර දෙන අතර, ලිපි බෙදා හරින නිලධාරියා මගින් එය අදාළ රෝගියාගේ නිවසටම ගෙනවිත් භාර දෙනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

රෝහල වෙත තොරතුරු සැපයීමේදී තම ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා ග්‍රාම නිලධාරින්ගේ ද සහය ලබා ගැනීම සුදුසු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා ෴

+++++++++++++++++

(04.11.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දෙවන රැල්ල පාලනය කිරීම සඳහා මාස දෙකකට (2) වැඩි කාලයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර, ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ කොරෝනා වෛරසය මෙරට තුළ පැතිරීම තරමක් අවදානම් මට්ටමක පවතින බවයි.

ඊයේ (03) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 409 දෙනා අතුරෙන් 146 දෙනෙකුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

ඒ අතරින් 21 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ජාඇල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, මීගමුවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 15 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 122 ක් වාර්තා වී තිබූ අතර, ඒ අතරින් 20 දෙනෙකු කඩුවෙලින් වාර්තා වී තිබුණා. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 47 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 12 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 12 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 07 දෙනෙකුද ඊයේ (03) දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

එම ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 8,266 ක්.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 11,744 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,140 ක්.

සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,581 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

දැනට ව්‍යාප්ත වන වෛරසයේ ප්‍රබලත්වය නිසා මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යාම පමණක් ප්‍රමාණවත් වේද නොඑසේනම්, එය මීටර් 2 දක්වා වැඩි කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අද (04) තීරණයක් ගැනෙනු ඇති.

මේ අතර, මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන්ද ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පුත්තලම දංකොටුව ප්‍රදේශයෙන්ද තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වුණා.

එසේම, පොලිසියේ නිලධාරීන් 179 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 23 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වනවා.

පවතින කොරෝනා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන අවදානම් තත්ත්ව සහිත රෝගීන් සායන වෙත ගෙන්වා ගැනීම සුදුසු නොවන බැවින් හෙට (05) සිට දිවයින පුරා ඇති රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස්වත ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව එහි කාර්යභාර නිලධාරීවරයා ඇමතීම සඳහා 011 286 0002, 011 286 0003 හෝ 011 286 0004 යන දුරකතන අංක භාවිත කළ හැකියි.

මේ අතර, ආසාදිතයින් වාර්තා වීම සිතියම්ගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ එසේ නොවුනහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවලින් ඉවත්වීමට පියවර ගන්නා බවයි.

++++++++++++++++++

(04.11.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතට සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිවුල්ල, මාවනැල්ල, හෙම්මාතගම සහ බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තවමත් හුදකලා ප්‍රදේශ ලෙස පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, රත්මලාන, බෝකුන්දර සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අද (04) පෙරවරුවේ සිට විවෘත කෙරුණා.

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ද තොග වෙළඳාමේ කටයුතු වෙනුවෙන් ලබන සඳුදා (09) සිට ආරම්භ කෙරෙනු ඇති.

ඒ අනුව, නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එම ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තොග වෙලඳාම සඳහා කොළඹ – පිටකොටුවේ තොග වෙළඳසැල් ද විවෘත කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ජී. ඉලමනාදන් මහතා සඳහන් කළේ දැනට අත්‍යාවශ්‍ය ආහාර වල හිඟයක් නොමැති බවයි.

ගතවූ පැය විසි හතරක (24) කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 31 ක්.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2,190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

එසේම, මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 75 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස පවුල් 5700 ක පුද්ගලයින් ද දෙවන සහ තුන්වන පෙළ ආශ්‍රිතයින් ලෙස පවුල් 6200 ක පුද්ගලයින් ද, මේ වනවිට නිරෝධායනයට ලක් කර සිටිනවා.

පොලිසීය ඔවුන්ට දැනුම් දෙන්නේ නිරෝධායන රීති පිලිපදිමින් තම නිවෙස්වලටම වී සිටින ලෙසටයි.

මේ අතර, කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත්, ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛන්ඩව පවත්වා ගෙන යාමටත්, අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට බලය පවරා තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකය හැකිතාක් ඉහළ මට්ටමක රඳවා ගැනීමටත්, ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාමටත් රජය සෑම උත්සාහයක්ම ගන්නා බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

පසුගිය දිනවල එම කාර්ය සාධක බලකායේ රැස්වීම්වලට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් දන්වා සිටියේ කෘෂිකර්මාන්තයට අමතරව, කර්මාන්ත පවත්වාගෙන යාම, සෞඛ්‍ය, ප්‍රවාහන හා ධීවර කටයුතු ආදී අත්‍යාවශ්‍ය කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටයි.

ඇතැම් ප්‍රදේශවල ජංගම මත්ස්‍ය වෙළඳසැල් වසා දැමීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ධීවර සංස්ථාව මගින් ඇසුරුම් කරන ලද මාළු ජනතාව අතර, බෙදා දීම ද අවධානයට යොමුවී ඇති කරුණක්.

එමෙන්ම, මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදී එම දීමනාව තුළ රුපියල් 500 ක වටිනාකමකින් යුතු අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමටයි තීරණය කර ඇත්තේ ෴

+++++++++++++++++++

(04.11.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විසිරී පවතින සංවර්ධන ව්‍යාපෘති, මෙහෙයුම් සහ කළමනාකරණ ඒකක රැසක් එළඹෙන ජනවාරි මස සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිකුත් කර ඇති 2021 – 2023 මධ්‍ය කාලින රාමුව තුළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිලියෙල කිරීම සහ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයේ මේ බව සඳහන්.

එම චක්‍රලේඛයට අනුව 2021 වසරේ සිට මෙම ඒකක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශවලට යොමු කෙරෙන්නේ නැහැ.

ඒ සඳහා කෙටුම්පත් කළ නව චක්‍රලේඛයට පසුගිය ඔක්තෝම්බර් 8 වනදා අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

එහි දැක්වෙන්නේ ව්‍යාපෘති කළමනාකරණ ඒකක ශාඛා කාර්යාලවල පහසුකම් සහ වැටුප් ව්‍යාපෘති අයත් අමාත්‍යාංශවල වියදම් සීමාව ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දී ඇති බවයි.

එමෙන්ම, ආර්ථිකය ප්‍රතිසාධනය කිරීමේදී පවත්නා සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය කළමණාකරණය කිරීම හා රජයේ වියදම් දැඩි ලෙස පාලනය කිරීම කෙරෙහි ද අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම, රාජ්‍ය ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු වනවා.

එහෙත්, දැනට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ගොඩනැගිලි නිම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහාභාණ්ඩාගාර දැනුවත් කිරීමෙන් පසු ලබා ගත හැකි බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා නිකුත් කළ මෙම විශේෂ චක්‍රලේඛයේ දැක්වෙන්නේ ෴

++++++++++++++++++

(04.11.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව රජයට ප්‍රශංසාව පළ කරන බව ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද් සර්බෝස් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති හමුවකදීයි.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ වසර ගණනක් පුරා ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප සහයෝගිතාව නව රජය යටතේ අඛන්ඩව පවත්වාගෙන යාමට සහතික වන බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව ලෝක බැංකු අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබෙනවා.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ ඉන් අනතුරුව ආර්ථික සංවර්ධනය සහ යටිතල පහසුකම්, සනීපාරක්ෂාව මෙන්ම, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බව ලෝක බැංකු අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

චිත්‍රපට, සංචාරක ව්‍යාපාරය, වැනි ක්ෂේත්‍ර කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට හා සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ලෝක බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ.

++++++++++++++++++++

(04.11.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ක්‍රියාවලිය තුළ ජනතාවට සහන සැලසීමට රුපියල් බිලියන 7.3 කට වැඩි මුදලක් වෙන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති පවුල් සඳහා සහන මල්ලක් ලබාදීම සහ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම සඳහා මෙම මුදල් වෙන් කර ඇති බවයි.

නිරෝධායනයට යොමුකර ඇති පවුල්වලට වියළි ආහාර ලබාදීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් රුපියල් මිලියන 75 ක් වෙන් කර තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 227 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 5858 දක්වා ඉහළගොස් තිබෙනවා ෴

++++++++++++++++++

04 Nov 2020 – 14:11 +0530

+++++++++++++++++++

(04.11.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අස්වනු සඳහා නිසි මිලක් නොලැබීමෙන් කල්පිටියේ එළවළු ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ අලෙවි කර ගත නොහැකිව එක් රැස්වූ ලක්ෂ ගණනක එළවළු තොග විනාශ කර දැමීමට සිදුව ඇති බවයි.

++++++++++++++++++

(04.11.2020 – 14:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු බත්තරමුල්ල ඉසුරුපාය හෙට (05) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ (03) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදුකොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

රට තුළ දැනට පවත්නා තත්ත්වය හමුවේ රජය හඳුන්වා දී ඇති නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය සහ, ආයතන ප්‍රධානීන් විසින් ලැබෙන කැඳවීම් අනුව රාජකාරියට වාර්තා කිරීමේ පසුබිම හෙට සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ ෴

+++++++++++++++++++++

(04.11.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ පසුම්බියේ තිබූ ATM කාඩ්පත සොරා ගෙන එහි තිබූ රුපියල් ලක්ෂ 14 කට අධික මුදලක් සොරා ගත් සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා පෞද්ගලික ආයතනයක උපස්ථායකයෙකු ලෙස කටයුතු කරන බවයි පොලීසිය ඊයේ (03) ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය ඇමතූ රෝහල් සේවකයන් කියා සිටියේ මෙම සැකකරු රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවලට යොදවා සිටි පෞද්ගලික සේවා සපයන ආයතනයක සාමාජිකයෙකු බවයි.

සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළා ෴

+++++++++++++++++++

(04.11.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ‘ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ’ ශේෂය මේ වන විට රුපියල් මිලියන 1693 ඉක්මවා ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ඒ අනුව එම අරමුදලේ ශේෂය රුපියල් 1,693,475,780.01 ක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් මෙම අරමුදලට දායක වී සිටින අතර චෙක් පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකියි.

දුරකථන අංක 076 070 0700, 011 232 0880, 011 235 4340, 011 242 4012 ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට හැකියාව පවතිනවා ෴

+++++++++++++++++

(04.11.2020 – 17:19 +0530 – hirunews.lk/sinhala)

නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වූ රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් නිසා එම කාර්යාලය අද (04) දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට නානුඔය මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

අදාල ඉංජිනේරුවරයාගේ බිරිඳට කොව්ඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරුවීමත් සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වූ සේවකයන් ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකු ඔහුන් පදිංචි නිල නිවාසවලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

දුම්රිය ඉංජිනේරු කාර්යයාල වසා දැමීමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානයේ තාවකාලිකව නතර නොකිරිමට ද දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබෙනවා.

නානුඔය දුම්රිය ස්ථානය සහ දුම්රිය ඉංජිනේරු කාර්යාල විෂබිජහරණයට ලක් කිරීමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමුකර ඇති දුම්රිය සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පැවසූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++++++++++

(04.11.2020 – 17:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුල මේ වනවිටත් තාවකාලිකව අත්හිටුවා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එසේ වුවද www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවයි ෴

++++++++++++++++++

(04.11.2020 – 18:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 274 ක් අද (04) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

නිරෝධානය මධ්‍යස්ථාන වල සිටි 07 ක් සහ ආශ්‍රිතයින් 267 ක් ඒ අතර වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙම අසාදිතයින් 274 සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,000 ඉක්මවා ගියා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,018 ක් ලෙසයි.

+++++++++++++++++++

(04.11.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මඟ පෙන්වීමෙන් සැකසුණු ‘සුවෙන් සිටිමු’ (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපතිවරයා වෙත හඳුන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා වෙත හඳුන්වා දුන් බවයි ජනධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදී තිබෙනවා ෴

+++++++++++++++++++

(04.11.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත තැපැල් සේවය සමඟ ඒකාබද්ධව නිවසටම ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල හෙට (05) සිට යළි ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කළේ රෝගීන් වෙත ඖෂධ ගෙනවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය ලබාදීම අවශ්‍ය බවයි.

තමන්ගේ සායනික පොත් සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, අදාළ රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කළ යුතු වනවා.

එවිට තමන් අයත් රෝහලේ කාර්ය මණ්ඩලය අදාළ බෙහෙත් ඇසුරුම් සකස් කර තැපැල් කාර්යාලයට භාර දෙන අතර, ලිපි බෙදා හරින නිලධාරියා මගින් එය අදාළ රෝගියාගේ නිවසටම ගෙනවිත් භාර දෙනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

රෝහල වෙත තොරතුරු සැපයීමේදී තම ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා ග්‍රාම නිලධාරින්ගේ ද සහය ලබා ගැනීම සුදුසු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සෞඛ්‍ය උපමානයන්ට යටත්ව ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා අවසර ලබා දී තිබියදී සෞඛ්‍ය අංශ විසින් අදාල කටයුතුවලට බාධා එල්ල කරන බවට පවසමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ දැනට විකාශනය වන ටෙලිනාට්‍ය රූගත කිරීම නතර කිරීමෙන් ඒ සඳහා ඍජුව දායක වී ඇති ශිල්පීන් 4500 කගේ පමණ රැකියා අහිමිවී ඇති බවයි.

එසේම, කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ තාවකාලිකව ඊයේ (03) වසා දැමුණු බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ල හෙට (05) සිට යළි විවෘත කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ මේ වනවිට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව සියලු විෂබීජහරණ කටයුතු අවසන් කර ඇති බවයි.

මේ අතර, නාරාහේන්පිට, රත්මලාන සහ බොකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද (04) තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණා.

එම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද අද (04) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සඳහා එක්ව තිබුණා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුල මේ වනවිටත් තාවකාලිකව අත්හිටුවා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

එසේ වුවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔන්ලයින් ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවයි.

එසේම නුවරඑළිය මහාධිකරණය, දිසා අධිකරණය මෙන්ම, මහේස්ත්‍රාත් අධිකරණයේ සියලු නඩු කටයුතු ලබන 16 තෙක් තාවකාලිකව අත්හිටුවන්නැයි නුවරඑළිය නීතිඥ සංගමය විනිසුරුවරුන්ගෙන් අද (04) ඉල්ලා තිබුණා.

එහි සභාපති ගාමිණී සේනානායක මහතා ප්‍රකාශ කළේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු සිදුකරන බව විනිසුරුවරුන් දැනුම් දුන් බවයි.

++++++++++++++++++

(04.11.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අසාදනය වී ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 222 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (04) තහවුරු වුණා.

එමෙන්ම, අද (04) දිනයේදී නව ආසාදිතයන් 274 දෙනෙකු හඳුනා ගත් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඉන් 07 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර, අනෙක් 267 දෙනා ආශ්‍රිතයන්.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 12,018 දක්වා ඉහළ යනවා.

එසේම, කොළඹ මහ නගර සභා සීමාව තුළ රොගින් වාර්තා විමේ වැඩිවිමක් දක්නට ලැබෙන බවයි කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

මේ අතර, පසුගිය දෙසතිය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 2600 දෙනෙකුගෙන් පී.සී.ආර්. පරික්ෂණ සිදු කර තිබෙනවා.

එහිදී 13 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇති බවයි ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සඳහන් කළේ.

හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ්‍ය තුළ කොවිඩ්-19 වෛරසය අසාදනය වු රෝගින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි වෛද්‍ය ඉන්දිකා ජයරත්න මහත්මිය සඳහන් කළා.

එමෙන්ම, හැටන් – ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි යුධ හමුදා සෙබලුන් තිදෙනෙකුට (3) කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් තිදෙනා ඊයේ (03) පස්වරුවේ පනාගොඩ යුද හමුදා රෝහල වෙත යොමුකර තිබෙනවා.

එසේම, පොලිස් විශේෂ කාර්ය බලකායේ 56 දෙනෙකුට ද මේ වනවිට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

අද (04) දිනයේ බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 41 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයෙන් වාර්තා වී ඇති ආසාදිත නිලධාරීන් සංඛයාව 56 ක්.

මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ කොරෝනා අසාදිතව ප්‍රතිකාර ලබන පොලිස් නිළධාරින්ගේ පවුල් වල සමාජිකයින්ගේ සුභසාධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවයි.

එසේම නිරෝධායන ක්‍රියාවලිය තුළ ජනතාවට සහන සැලසීමට රුපියල් බිලියන 7.3 කට වැඩි මුදලක් වෙන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

++++++++++++++++++

(04.11.2020 – 21:45 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 169 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

නිරෝධානය මධ්‍යස්ථාන වල සිටි 18 ක් සහ ආශ්‍රිතයින් 151 ක් ඒ අතර වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙම අසාදිතයින් 169 සමඟ අද (04) දිනයේ මේ වනවිට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 443 ක් ෴

+++++++++++++++++++

04 Nov 2020 – 22:49 +0530

+++++++++++++++++

මෙරට PCR පරීක්ෂණ නිවැරදිව සිදුවේ ද ?

(04.11.2020 – 21:03 +0530 – sinhala.adaderana.lk)

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපනය කර ඇති දින කිහිපයක් අක්‍රීයව පැවති PCR යන්ත්‍රයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.

ඒ අනූව, එම යන්ත්‍රය දෛනිකව පරීක්ෂණ 1000 ත් 1400 ත් අතර උපරිමයක් යටතේ යළි ක්‍රියාත්මක වන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අතර, මෙරට පිහිටි මධ්‍යස්ථාන 26 ක් තුළ ඊයේ (03) රාත්‍රිය වන විට සිදුකර ඇති PCR පරීක්ෂණ ප්‍රමාණය 551,000 සීමාව පසුකර ගියේය.

එම PCR පරීක්ෂණ යන්ත්‍රය සවිකර තිබූ මේසයේ පැවති අස්ථාවරභාවයක් හේතුවෙන් එම යන්ත්‍රය අක්‍රීයවන්නට ඇති බවට ආරම්භයේදී පැවසුවද, ඊට හේතුව එම යන්ත්‍රය තුළ ඇති වූ දෝෂයක් බව මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ එම යන්ත්‍රය අක්‍රීයවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පැමිණි චීන විද්‍යාඥයා සිදුකළ අඛණ්ඩ පරීක්ෂා කිරීම්වලදීය.

අලුත්වැඩියාවෙන් පසු සිදුකළ පරික්ෂණ වට කිහිපයකින් අනතුරුව PCR යන්ත්‍රයේ කටයුතු ඊයේ (03) සිට යළි ආරම්භ කෙරුණි.

ඒ අනූව ඊයේ සාම්පල 500 ක් පරීක්ෂා කෙරුණු අතර මේ වන විට එය උපරිම ධාරිතාවය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම රෝහල ඇතුළුව රසායනාගාර 26 කදී මේ වන විට දෛනිකව PCR පරීක්ෂණ 7,000 ත් 10,000 ත් අතර සිදුකෙරන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

රජයේ රසායනාගාර 15 ක්, රජයේ විශ්වවිද්‍යාල 5 ක්, පෞද්ගලික මධ්‍යස්ථාන 5 ක් සහ යුද හමුදා රසායනාගාරයක් ඊට ඇතුළත් වේ.

කෙසේ වෙතත් PCR පරීක්ෂණ තවමත් ප්‍රමාණවත් පරිදි සිදුනොවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේය.

සමස්ථ රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා සමාජ නියැදි ලබාගැනීම සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

+++++++++++++++++++

***************************************

(04.11.2020 – 16:52 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පොහොර බෙදා හැරීම අද (04) සිට ආරම්භ කළ බව පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කන්න කිහිපයක සිට පැවති පොහොර හිඟය හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි අතර, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟයි අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කළේ.

ඒ අනුව පොහොර නෞකාවක් මේ වනවිට කොළඹ වරායට ළගා වී ඇති අතර, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම කඩිනමින් පොහොර නිකුත් කෙරෙනු ඇති.

කාබනික පොහොර දිවයිනේ ව්‍යාප්ත කර රසායනික පොහොර භාවිතය අවම කිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතර, එම ඉලක්කය ළගා කර ගැනීමෙන් පසු රසායනික පොහොර ආනයනය අවම කරන බව ද පොහොර නිෂ්පාදන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

*********************************************

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(04.11.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

2019 – 2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ලබන වසරේ (2021) පෙබරවාරි 28 හෝ එදිනට පෙර ගොනු කරන්නේ නම්, දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව නියමිත දිනට වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම මත දඩ පනවනු නොලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ බදු ගෙවන්නන් සහ අනුමත ගණකාධිකාරිවරුන් වෙතයි.

මෙවර තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනුකළ යුතු අවසාන දිනය නොවැම්බර් 30 වනදා වන අතර, පවතින තත්ත්වය මත ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුකූලව ආදායම් වාර්තා ගොනුකිරීම අපහසුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා ෴

***************************************

(04.11.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විරුත්තෝඩෙ ග්‍රාම නිලධාරි වසමේ පුලිදිවායල්හි අක්කර 02 කට ආසන්න අධි සංවේදී ස්වභාවික කඩොලාන රක්ෂිතයක් ජංගම කියත් ආධාර කර ගනිමින් විනාශ කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඉස්සන් වගා පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් සංවිධානාත්මක පිරිසක් මෙම දැවැන්ත විනාශ සිදුකර ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය නිසා පාරිසරික ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අප මේ සම්බන්ධයෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය ගෙන් විමසීමක් කළ අතර ඇය කියා සිටියේ සිද්ධිය පිළිබඳව මේ වනවිටත් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

*********************************************

රට විවෘතකර තැබීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ජනපති පහදයි

(04.11.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

රට වසා තැබීම ගැටලු ගණනාවකට හේතුවන බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලුම දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ අද (04) පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර, කොවිඩ් මර්දනයට සහය වීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ මෙහෙයවීමෙන් සැකසුණු ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපතිවරයාට හඳුන්වාදීම ද අද (04) සිදුවුණා.

කොරෝනා ආසදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොරෝනා පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝගය වන අතර, මෙම ඩිජිටල් ව්‍යාපෘතිය තුලින් එම ගැටළු දෙකටම එකවර විසඳුම් ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

*********************************************

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(04.11.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට 24 වන කොරෝනා මරණය අද (04) වාර්තා වී තිබෙනවා.

කොළඹ 13 පදිංචි 79 හැවිරිදි කාන්තාවක සිය නිවසේදී මියගොස් ඇති අතර, එය කොරෝනා ආසාදනයවීම නිසා ඇතිවූ හෘදයාබාධයකින් සිදුව ඇති බව අනාවරණ වී ඇත්තේ.

*********************************************

සහල් නිෂ්පාදකයන්ට සහ මෝල් හිමියන්ට උපරිම මිලක් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(04.11.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන්ට සහල් අලෙවි කළ හැකි උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සූදුරු සම්බා හැර සියලු සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 94 ක උපරිම මිලකට අලෙවි කළ යුතු බවයි.

නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 92 ක උපරිම මිලක් ද නියම කර තිබෙනවා.

කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා නියම කර ඇති උපරිම මිල වන්නේ රුපියල් 89 ක්.

මෙම නියෝගය අද (04) සිට බලපැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

***************************************

කරණම් ගැසූ ත්‍රීරෝද රථය – CCTV දර්ශන සහිතයි

(04.11.2020 – 19:38 +0530 – sinhala.adaderana.lk)

නාත්තන්ඩිය උඩුබද්දාව ප්‍රදේශයේදී එකම දිශාවට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූවාය.

අද (04) දහවල් සිදුවූ මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු සහ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණි.

පිටුපසින් පැමිණි මෝටර් රථය, ත්‍රීරෝද රථයේ ගැටීමෙන් එය පෙරළි ගොස් එම අනතුර සිදුවී තිබුණි.

අනතුර සිදු කළ මෝටර් රථය පළාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් විමර්ශනයක් කර අදාළ සැකකරු මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව අනාවරණය වී තිබේ.

එම අනතුරේ CCTV දර්ශන පහතින් දැක්වේ :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *