අගමැතිවරයා, එකඟතා බිඳදමා වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ සූදානමක!

අගමැතිවරයා, එකඟතා බිඳදමා වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ සූදානමක!

ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

සෝමාවතී රජමහා විහාරයේ කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයට අගමැති අතින් ඖෂධ මංජුසාව

සඳුඳා (09) බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති කියයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 05 ක් වාර්තාවෙයි – මෙරට කොවිඩ් මරණ ගණන 29 දක්වා ඉහළට

*********************************************

අගමැතිවරයා, එකඟතා බිඳදමා වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ සූදානමක!

(04.11.2020 – 20:53 +0530 – lankaleadnews.com)

වෘත්තීය සමිති හා අගමැතිවරයා අතර ඇතිකරගත් එකඟතා බිඳදමා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානම සම්බන්ධව සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කර තිබේ.

සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ විධායක සභාව වෙනුවෙන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ජී. නිරෝෂන් මහතා ගේ අත්සනින් යුතුව අද (04) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය සමග මිට ඉහතදී ඇති කරගත් ගිවිසුමකට අනුව ඉන්දියාවේ අදානි සමාගම් සමුහයට වරාය නැගෙනහිර පර්‍යන්තයේ බහුතර කොටස් හිමිව ඇති බවට වාර්තා පලවෙමින් තිබෙන මොහොතකය.

ශ්‍රී ලංකා රජය මුලින් අත්සන් කළ එකඟතා ගිවිසුමකට (MOU) අනුව අදානි සමාගමට සියයට 49 ක් සහ ශ්‍රී ලංකා රජයට 51% ක් හිමිව තිබු බවත්, කෙසේවුවද අදානි සමගම වෙනත් පර්ශවයක් යොදවා ශ්‍රී ලංකා රජයේ කොටස් මිලට ගෙන ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් කර ඇත්තේ වරාය අධිකාරිය නොව ශ්‍රී ලංකා රජය බවද වාර්තා වේ. එසේම, Sunday Times පුවත්පත හා සිරස රූපවාහිනී නාලිකාව මිට අදාල තොරතුරු රැසක් අනාවරණය කර තිබිණ.

වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එවැනි මාධ්‍ය වාර්තා පළවෙද්දී සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ :

ජනාධිපතිවරයාට අවධාරණය කර ඇති කරුණු මෙසේය :

(01). 2020.11.01 දින Sunday Times පුවත්පත විසින් ‘India to manage ECT Operations at the colombo port’ යන ශීර්ෂ පාඨය යටතේ වාර්තා කරන ලද පුවත මගින් හා එදිනම සිරස රූපවාහිනී නාලිකාව රාත්‍රී 10.00 ප්‍රවෘත්ති තුළින් ගෙන එන ලද ඉහත කී පුවතට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා කර ඇත.

(02). එම මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර නැත.

ගෙවී ගිය කාලය තුළ ඔබතුමාගේ රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය මගිනුත් පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ මහජනතාව මෙන්ම වරාය සේවකයා රැවටීමටද ඔබතුමා ඉතා සූරයෙකු බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පැවති ඔබට පූර්වයෙන් පත්වූ රජයන් විසින් පුද්ගලික සමාගම් අතට පවරන ලද වරාය සම්පත් රාශියකි.

ඒ අනුව ත්‍රීකුණාමල වරායේ එක් ජැටියක් ප්‍රීමා සමාගමටත්, විජයකුමාර පාලමේ කොටසක් සෙරම්ඩිප් සමාගමටත්, කොළඹ වරායේ රැජින ජැටිය SAGT සමාගම වෙතත් චන්ද්‍රිකා රජය විසින් පවරා දී ඇත.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලනය තුළ විශාල ලෙස ආදායම් උපයන ලද නැව් තෙල් අංශය ජෝන් කීල්ස් සමාගම වෙතත්, දකුණු කොළඹ වරායේ දකුණු කොටස චීනයටත් පවරා දෙනු ලැබිණි.

රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ත්‍රීකුණාමල වරායේ එක් ජැටියක් මිට්ෂුයි සමාගමටත්, හම්බන්තොට වරාය මුළුමනින්ම චීනයටත් පවරා දී ඇත.

පසුගිය රජයන් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් එකින් එක දෙස් විදෙස් සමාගම් වෙත පැවරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්වූ ආර්ථික වාසියක් නැත.

එවන් පසුබිමක පූර්ව රජයන් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ගමන් මගේම ඉදිරි දිගුවක් බවට ඔබ රජයද පත්ව ඇත.

(03). පූර්ව රජයන් වරාය දේපළ පුද්ගලීකරණය කරන විට ඒවා වරාය සේවකයාටත් මහජනතාවටත් යම් මට්ටමකින් හෝ වාර්තා වීමක් සිදුවිය. එහෙත් නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ඔබ රජය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ගුප්ත එකකි.

(04). ඔබතුමාගේ රජය නැගෙනහිර පර්යන්තය රහසිගතව ඉන්දියාවට පැවරීම සඳහා 2020 ජූනි මස 09 දින විෂය භාර අමාත්‍යවරයා මගින් කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කර තිබුණි.

එම කැබිනට් පත්‍රීකාව පිටතට පැමිණීමත්, වෘත්තීය සමිති දැඩි විරෝධයත් හමුවේ එම කැබිනට් පත්‍රීකාව අසත්‍ය එකක් බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ වැඩපිළිවෙළ තාවකාලිකව යටපත් කරගනු ලැබිණි.

(05). පසුගිය රජය විසින් ජයබහාලූ අදියර V සඳහා ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර තුනක් 2020.06.20 වන දින කොළඹ වරායට ළඟා වූ අතර වරාය අධිකාරියේ නිවැරදි තීරණයකට අනුව දොඹකර තුන නැගෙනහිර පර්යන්තය තුළ ස්ථාපිත කර කඩිනමින් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබූවත් ඔබ රජය ඉන්දියානු බලපෑමට යටවී දොඹකර ගොඩබෑමේ කටයුතුවලට බාධා කරනු ලැබිණි.

දොඹකර නැගෙනහිර පර්යන්තය වෙත ගොඩබා ගැනීම වෙනුවෙන් වරාය වෘත්තීය සමිති හා සමස්ත වරාය සේවකයින් අඛණ්ඩ අරගලයක නිරත වූ අතර අවසානයේ විශාල ආර්ථික පාඩුවක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට එමගින් සිදුවිය.

(06). එසේ ගොඩබාන ලද දොඹකර යොදා ගනිමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම කිසිදු සාධාරණ හේතුවකින් තොරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ප්‍රමාද කරනු ලැබුණි.

එහෙත් පූර්ව දැනුම්දීමකින් තොරව හදිස්සියේ 2020.08.16 දින AS CRISTIANA නැමති නෞකාව නැගෙනහිර පර්යන්තයට සේන්දුකර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවට වාර්තා වුවත් එම කටයුතු එදින සිදු නොවුණි.

හේතුව ලෙස වරාය ගරු සභාපතිතුමා වෘත්තීය සමිති වලට ප්‍රකාශ කරනු ලැබුවේ වෘත්තීය සමිති විසින් සමාජ මාධ්‍ය යොදාගෙන එම කටයුත්ත පූර්වයෙන් ප්‍රචාරය කිරීම නිසා ගැටලු පැනනැගිය හැකි බැවින් යොදාගත් දිනට මෙහෙයුම් ආරම්භ කිරීම අවලංගු කළ බවයි.

(07). නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීම දිගින් දිගටම පැවති ප්‍රමාදය නිමාවට පත්කරමින් කිසිදු පූර්ව ප්‍රචාරක කටයුත්තකින් තොරව ගරු විෂයභාර අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් MSC EMMA නැමති නෞකාව නැගෙනහිර පර්යන්තයට සේන්දු කර මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, රටේ මහජනතාවටත් විශේෂ දවසක් වනවිට මහජනතාව තුළ දැඩි විරෝධයක් පැවති ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයත් එදිනම සිදුවිය.

රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමෙන් පසුව සාකච්ඡා වූ කරුණු දෙපාර්ශවය විසින්ම රටට අනාවරණය නොකිරිණි.

(08). නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ වන විට විශාල නෞකා 05 ක් මෙහෙයවා ඇත.

පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සමගි බහාලු පර්යන්තය වසා දමා එහි පැවති බහාලුම් උපකරණ නැගෙනහිර පර්යන්තය වෙත රැගෙන යාම පසුගිය දින කීපය තුළම සිදු කරනු ලැබිණි.

තම රැකියාවල සුරක්ෂිතතාවත්, රටේ අනාගතයත්, විශේෂයෙන්ම වරාය අධිකාරියේ පැවැත්ම වෙනුවෙනුත් ඔබතුමාගේ රජය ගනු ලැබූ නිවැරදි ප්‍රවේශය සම්බන්ධව වරාය සේවකයාට ඇත්තේ ප්‍රසාදයකි.

ගරු ජනාධිපතිතුමනි,

කරුණු එසේ වුවත් ඉහතින් සඳහන් කරන ලද අංක 04 සිට 08 දක්වා වූ කරුණු එකිනෙකට සම්බන්ධ හා කිසියම් පෙළගැස්මකට අනුව දියත් වන සිදුවීම් පෙළක් බව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පෙනෙන්නට ඇත.

වෘත්තීය සමිතිවලට හා සේවකයින්ට නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමට සටන් කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ පැනනැගී නැත. හේතුව සියල්ල හොඳින් සිදුවන නිසාවෙනි.

එහෙත් ඇත්ත එය නොවන බව අප ඉතා හොඳින් දනිමු.

කොරෝනා නීති වලට අනුව මහජන ඒකරාශිවීම් තහනම්ය. සේවකයින් සේවයට කැඳවනු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණි. මෙවැනි පසුබිමක නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීම ඔබ රජයේ උපායමාර්ගය බව අප විශ්වාස කරමු.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම සම්බන්ධව පසුගිය පළමුවැනිදා පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය නම් ඒවා වහ වහා නිවැරදි කිරීමේ වගකීම ඔබ රජය සතු කාර්යයකි.

එසේම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට, සමාගමකට නොපවරන බවට වූ සහතිකය රටට ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ ඔබතුමාට බව අප විශ්වාස කරමු.

අඳුරේ අතපත ගාමින් වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස රැවටීමට අප සූදානම් නැත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට හා 10,000 ක පමණ වරාය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන් සියලු වෘත්තීය සමිති එක මිටකට ගොනුවී ඇත.

නැගෙනහිර පර්යන්තයේ ආරක්ෂාව වෙනුවෙන් එම ශක්තිය නැවත උරගා බැලීමකට ඉඩ නොතබා නැගෙනහිර පර්යන්තයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඔබතුමාගේ රජය කඩිනමින් ස්ථීර තීරණයකට එනු ඇතැයි අප අපේක්ෂා කර සිටිමු.

***************************************

බ්‍රැන්ඩික්ස් නිරෝධායන මූලධර්ම සහ නීති නොතකා ඇනවුම් හඹා යාම නිසා කොවිඩ් දෙවන රැල්ල රහසේම වර්ධනය වුණා – ජාතික සංවිධාන වලින් ඉල්ලීමක්

(04.11.2020 – 11:30 +0530 – lankaleadnews.com)

බස්නාහිර පළාත වසා තිබියදී ආයෝජන මණ්ඩල සමාගම් වලට ඇනවුම් හබා යාමට ඉඩදීම නිසා වසංගත තත්වය නරක අතට හැරෙන බවට යම් වෛද්‍යවරුන් දරණ මතය පිළිබඳය ‘ලංකා ලීඩ්’ ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ වචන :

“බ්‍රැන්ඩික්ස් ආයතනය නිරෝධායන මූලධර්ම සහ නීති නොතකා ඇනවුම් හඹා යාම නිසා කෝවිඩ් දෙවන රැල්ල රහසේම වර්ධනය වුණා. ඉන් පසුව බලධාරීන් ඇද-ඇද හිටියා. ප්‍රදේශය වසා දමා නිරෝධායන කටයුතු විධිමත් කිරීම සති කිහිපයකින් පමා වුණා.

ඒ නිසා රෝගය සීඝ්‍රෙයන් අනෙක් ප්‍රදේශ වලට පැතිරුණා. දැන් පමා වී හෝ බස්නාහිර වසා දැම්මා. එහෙත් යම් සමාගම් කිහිපයකට ඇනවුම් හබා යාමට ඉඩ දීම නිසා වසා දැම්මේ ප්‍රතිපලයත් නැති වෙලා රෝගය පැතිරීම වර්ධනය වෙන්න පුළුවන්.

ඇනවුම් හදිසි නිසා සේවකයින්ට වයිරසය ඇතුල් නොවී තිබෙන්නේ නැහැ. යම් සමාගමක් ආයෝජන මණ්ඩලය අනුමත කළ පමණින් එහි සේවකයින්ගෙන් සෙසු ජනයාට රෝගය බෝවීම වළකින්නේ නැහැ. පින්සිද්ධ වෙයි බලධාරීන්ට කියන්න තියෙන්නේ ‘දැන්වත් මොළේ පාවිච්චි කරන්න’ කියලා තමයි.”

***************************************

ආනයනික සීමා හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු සතියක් තුළ විසඳීමට කර්මාන්ත ඇමති විමල් සැරසෙයි!

(04.11.2020 – 11:29 +0530 – lankaleadnews.com)

තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

මෙසේ විසඳුම් ලබා දීම පිණිස අවශ්‍ය තීන්දු ගැනීමට ඊයේ (03) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය කාර්යාලයේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එයට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සහභාගි විය.

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව ඇතැම් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයනික තහනම දේශීය කර්මාන්තකරුවන්ට බලපා ඇති ආකාරය තාර්කිකව සලකා බලා අවශ්‍ය පියවර ගැනීමේ දී දේශීයව නිපදවිය නොහැකි නිසා කඩිනමින් එකී තහනම ඉවත්කළ යුතු භාණ්ඩ, දේශීයව නිෂ්පාදනය කරන තෙක් තාවකාලිකව තහනම ඉවත්කළ යුතු භාණ්ඩ හා කිසිසේත්ම ආනයනය නොකළ යුතු භාණ්ඩ යනුවෙන් ලයිස්තු ගත කිරීමක් සිදු කිරීමට මෙහිදී තීරණය විය.

ඉහත ලැයිස්තු සැකසීම මෙම සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල අදාළ අමාත්‍යාංශ දෙකෙහි ඉහළ නිලධාරීන්ගෙන් සහ රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතනවල ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සැකසීමට නියමිතය. එම ලැයිස්තුව සැකසීමෙන් අනතුරුව අවසන් තීරණය ගැනීම සඳහා ලබන අඟහරුවාදා අමාත්‍යවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවේ දෙවන අදියර පැවැත්වෙනු ඇත.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම් .ඒ. රත්නායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තීරුබදු), ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

***************************************

පෞද්ගලික රෝහලේ වැරදි PCR වාර්තාවක් නිසා විදේශ රැකියාව අහිමි වේ

(05.11.2020 – 01:08 +0530 – truenews.lk)

පෞද්ගලික රෝහලකින් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කහවත්ත වැල්ලඳුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඉරණවිල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යවා එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ දෙකකට භාජනය කිරීමෙන් පසු ඔහුට කොරෝනා ආසාදිතව නැති බවට තහවුරු වීම නිසා නිවසට එවා තිබෙනවා.

විදෙස් ගත රැකියාවකට යෑම සඳහා මෙම පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන තිබුණා.

එහිදී ඔහු කොරොනා ආසාදිතයකු බවට තහවුරු වීම නිසා ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා මෙන්ම කහවත්ත, වැල්ලඳුර ප‍්‍රදේශයේ පුද්ගලයින් 47දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කර ඔවුන් ද පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරනු ලැබුවා.

පෞද්ගලික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණය විශ්වාසනීයත්වය ගැන සැක මතුවී තිබිය දී තමාගේ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණය ඉරණවිල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට නොයවා රත්නපුර ශික්ෂණ රෝහල වැනි ආසන්න ස්ථානයකදී ඉක්මනින් සිදු කළේ නම් බොහෝ ගැටලු ඇති වීමට ඉඩ නොතිබූ බව සිද්ධියට මුහුණදුන් පුද්ගලයා සඳහන් කරනවා.

මේ නිසා තමාගේ විදේශ රැකියාව ද අහිමිව ගිය බව ඔහු පවසනවා.

කහවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලද දැනුම් දීමට අනුව මෙම පුද්ගලයා නිවෙස් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙනවා ෴

+++++++++++++++++++

ශලනි තාරකා ඇතුලු ටෙලිනාට්‍ය කණ්ඩායමේ PCR ප්‍රතිපල එයි

(05.11.2020 – 00:56 +0530 – truenews.lk)

බණ්ඩාරවෙලදී PCR පරීක්ෂණයට ලක් කළ ටෙලිනාට්‍ය කණ්ඩායමේ 25 දෙනාගේ පරීක්ෂණ ප්‍රතිපල මේ වනවිට ලැබී ඇති අතර ඒ සියල්ල ‘නෙගටිව්’ බව වාර්තා වනවා.

පසුගිය දිනෙක බණ්ඩාරවෙල නගරයේ මෙම නාට්‍යයේ රූගත කිරීම් පැවැත්වී ඇති අතර ගම්වැසියන් පිරිසක් විසින් ඊට විරෝධය පළ කළා.

ඒ අනුව ශලනි තාරකා ඇතුලු පිරිස අදාළ ස්ථානවලම නිරෝධයනයට ලක් කර තිබූ අතර පසුව කරන ලද පරීක්ෂණවලදී ඔවුනට කොරෝනා වැළදී නැති බව තහවුරු වී තිබෙනවා ෴

*********************************************

ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

(05.11.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අද (05) අලුයම සිදුවු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආණමඩුව – කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබී තිබුණා.

එම අවස්ථාවේදී ආණමඩුව පොලිසියේ නිල රථය වෙනත් රාජකාරියකට යොදවා තිබූ බැවින් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ තම පෞද්ගලික මෝටර් රථයෙන් අදාළ ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්.

එම ස්ථානයට ළඟා වනවිට නීතිවිරෝධී ගවයින් රැගත් ලොරි රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණෙමින් තිබූ අතර, රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තම මෝටර් රථය යළි හරවාගෙන ලොරිය පසුපස ලුහුබැඳ තිබෙනවා.

එහිදී මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ආණමඩුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ආර්.එම්. අජිත් හේමන්ත නැමැති 38 හැවිරිදි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා නිකවැරටිය – ඉහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ බිරිඳ ද උපපොලිස් පරීක්ෂකවරියක වන අතර, අනතුරෙන් තුවාල ලැබූ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ආණමඩුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ප්‍රතිකාර ලබන ඔහුගෙන් අද (05) ප්‍රකාශයක් ලබාගන්නා අතර, ඒ අනුව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථය පිළිබඳව සිදුකරන විමර්ශන වලට සහය ලබාගැනීමට හැකි වනු ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක්ද මේ වනවිට යොදවා ඇති අතර, පළාගිය ලොරි රථය සොයා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

+++++++++++++++

*********************************************

සෝමාවතී රජමහා විහාරයේ කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයට අගමැති අතින් ඖෂධ මංජුසාව

(05.11.2020 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික සෝමාවති රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ පඬු පෙවීමට පූජා කෙරෙන විවිධ ඖෂධ අඩංගු මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත ඊයේ (04) නිල වශයෙන් භාරදී තිබෙනවා.

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.

දෙවැනි පැරකුම් රජ දවසින් පසු ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යය, ශාසනයේ චිර පැවැත්මට හේතුවේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කළා.

රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 දෙදින ඵෙතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා මුණ ගැසුණා.

අධ්‍යාපන, ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුල පිරීම් තුළින් ශ්‍රී ලංකාව සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බවයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ද එහිදී තානාපතිවරයා ඉතා ප්‍රශංසනාත්මකව අගය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම රජයේ ප්‍රමුඛතාව වී ඇති බවත්, එය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවත්, එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

***************************************

(05.11.2020 – 09:02 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයාමේ අවදානමක් පැවතිය හැකි ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (04) පස්වරුවේ විමසිලිමත්වීමේ කහ නිවේදනයක් නිකුත් කළා.

ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවදානම් ප්‍රදේශ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ෴

***************************************

(05.11.2020 – 09:23 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට මේ වනවිට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ හුදකලා කිරීම් හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අදාළ අංශ ජනතාවට උපදෙස් ලබාදෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ විදුලි උපකරණ භාවිතයේදී වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

ඔහු එහිදී කියා සිටියේ ජනතාව වෙනදාට වඩා දිනකට වැඩි කාලයක් නිවෙස්වල ගත කරන බැවින් විදුලිය පරිහරණය රාත්‍රි කාලයට වඩා දිවා කාලයේදී ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව විදුලිය ඉතිරි කර ගැනීම සඳහා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඔහු ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කොළඹ, මධ්‍යම කලාපය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රංජිත් සමරසිංහ මහතා ද ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළා ෴

*********************************************

සඳුඳා (09) බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති කියයි

(05.11.2020 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුඳායින් (09) පසුව බස්නාහිර පළාත තුළ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ, අද (05) උදෑසන ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ රට වසා දැමීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

එමෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙලටද මෙමඟින් බාධා සිදුවන බව සඳහන් කළ යුද හමුදාපතිවරයා කියා සිටියේ සියලු කරුණු සලකා බලා සඳුඳා (09) දිනයේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

කෙසේ වෙතත්, ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ඔහු ප්‍රකාශ කළා ෴

++++++++++++++++

++++++++++++++++

(05.11.2020 – 09:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 222 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (05) තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ වෛරසය ආසාදනය වී ඇති මුළු පොලිස් නිලධාරින් සංඛ්‍යාව 56 ක්.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායේ 56 දෙනෙකුට ද මේ වනවිට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර මෙරට 24 වන කොරෝනා මරණය ඊයේ (04) වාර්තා වුණා.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධායක් හේතුවෙන් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් සිය නිවසේ සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (04) දිනයේදී නව ආසාදිතයන් 443 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,187 දක්වා ඉහළ ගියා.

ඊයේ (04) හඳුනාගත් ආසාදිතයින් 443 දෙනා අතර 418 දෙනෙකුම ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඉතිරි 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දීර්ඝ කාලීන රෝග සඳහා රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් රෝහල් වෙත පැමිණ අදාල වෛද්‍ය උපදෙස් ප්‍රමාද නොකර ලබාගත යුතු බවයි.

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් රෝගීන් වාර්තා වීමේ අඩුවක් සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 24 ක් වන අතර අද (05) දිනයේදී නිරෝධායන ක්‍රියාවලියට ලක්ව ඇති පුද්ගලයින් 2193 දෙනෙකු සඳහා රුපියල් දස දහසේ (10,000) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදුකරන බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය කියා සිටියේ.

මේ අතර කොවිඩ් 19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා ෴

+++++++++++++++++++

(05.11.2020 – 09:52 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත තැපැල් සේවය සමඟ ඒකාබද්ධව නිවසටම ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල අද (05) සිට යළි ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කළේ රෝගීන් වෙත ඖෂධ ගෙනවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය ලබාදීම අවශ්‍ය බවයි.

තමන්ගේ සායනික පොත් සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, අදාළ රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කළ යුතු වනවා.

එවිට තමන් අයත් රෝහලේ කාර්ය මණ්ඩලය අදාළ බෙහෙත් ඇසුරුම් සකස් කර තැපැල් කාර්යාලයට භාර දෙන අතර, ලිපි බෙදා හරින නිලධාරියා මගින් එය අදාළ රෝගියාගේ නිවසටම ගෙනවිත් භාර දෙනු ඇති.

මේ අතර, පිටකොටුව – මැණිං තොග වෙළඳපොල නැවත විවෘත කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවයි එම වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම, නිරෝධායන ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් සත්ත්ව ආහාර, සත්ත්ව නිෂ්පාදන සහ සත්ත්ව ඖෂධ ප්‍රවාහන ගැටලුවක් ඇත්නම් 011 342 3677 අංකයට හෝ 011 342 3664 අංකයට අමතන ලෙස පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ නගරයෙහි අඩු ආදායම්ලාභී ජනතාවගේ අපහසුතාවයන් වැළැක්වීම සඳහා යුද හමුදාව සහ පොලීසියේ සහයෝගය ඇතිව කොළඹ මහනගර සභා කාර්ය මණ්ඩලය යොදවා තැපැල් හා උප තැපැල් කාර්යාල 18 කදී අද සිට ලබන 13 වනදා දක්වා ප්‍රතිලාභ ගෙවීමට කටයුතු කරන බව කොළඹ මහනගර සභාව නිවේදනය කළා.

ප්‍රතිලාභීන් 13,000 කට මෙලෙස ප්‍රතිලාභ ලබාදීමට නියමිතයි.

මේ අතර, නිරෝධායනය ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථාවක මෙන්ම අවසර දී ඇති පුද්ගලික ආයතන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමට පොලීසිය අනුමැතිය ලබාදී තිබෙනවා.

නිරෝධායනය ඇඳිරි නීතිය තදින්ම බලපැවැත්වෙන ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජා-ඇල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් අද (05) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, දිවයින පුරා කාර්මික ව්‍යාපාරයන්හි සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීමේදී අවශ්‍ය වන කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගැනීමට අදාළ අයදුම්පත් එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේ නොවැම්බර් පළවනදා (01) සිට කල් ඉකුත් වීමට නියමිත සියලු රාත්‍රී සේවා අනුමැතීන් වල වලංගු කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇති බවයි.

එම පූර්ව අනුමැතිය මාස 6 කට වරක් යාවත්කාලීන කර ගැනීම නෛතික අවශ්‍යතාවක් ෴

සේවකයින් දෙදෙනෙකුට (02) කොරෝනා අසාදනය වීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++

++++++++++++++++++

(05.11.2020 – 10:49 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 156 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ වනවිට පුද්ගලයින් 63,439 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි.

තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයින් 2601 ක් නිරෝධායනය වෙමින් සිටිනවා ෴

++++++++++++++++++++

(05.11.2020 – 11:17 +0530 – hirunews.lk/sinhala)

අද (05) අලුයම 5 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත පුද්ගලයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එසේම, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 18 ක්. ඇදිරි නීතිය පැනවූ කාලසීමාව තුළ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2393 ක් වන අතර, වාහන 356 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, මුඛ ආවරණ නොමැතිව සහ දුරස්ථ භාවය නොමැතිව කටයුතු කළ පුද්ගලයින් තුන්දෙනෙකු (3) ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව, ඇදිරි නීතිය පැනවූ කාලසීමාව තුළදී ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 78 ක් ෴

++++++++++++++++++

(05.11.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති නිසා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ගැන විමර්ශනය කිරීමට පත් කළ කණ්ඩායම පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස නීතිපති, වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++

(05.11.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදායින් (09) පසු බස්නාහිර පලාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට නම්, ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සහයෝගය දැක්විය යුතු බවයි.

බස්නාහිර පළාතට සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිවුල්ල, මාවනැල්ල, හෙම්මාතගම සහ බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තවමත් හුදකලා ප්‍රදේශ ලෙසටයි පවතින්නේ.

මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 200 ක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 18 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ දක්වා කාලය තුළදී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2393 ක්.

මුඛ ආවරණ භාවිත නොකිරීම හා දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඊයේ (04) දිනයේ පුද්ගලයින් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළව මේ දක්වා 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල නිවෙස් අසලට පැමිණෙන ඩිලිවරි වාහන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද පොලීසිය ජනතාවට උපදෙස් දෙනවා.

මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් ලැබුණු මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමුකර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළා.

++++++++++++++++++

(05.11.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට ප්‍රමාණවත් පරිදි පී.සී.ආර්. පරීක්ෂණ සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 12,187 ක් වාර්තා වන අතර, සිදුවූ මරණ සංඛ්‍යාව 24 ක්. සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින් 5,585 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

රෝහල්ගතව ආසාදිතයින් 6,305 ක් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊයේ (04) දිනයේදී කොරෝනා ආසාදිතයින් 443 දෙනෙකු හඳුනාගත්තා. ඒ සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 8,709 ක්. ඊයේ (04) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 212 ක් වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අතරට මෝදර උයන නිවාස සංකීර්ණයෙන් වාර්තා වන ආසාදිතයින් 138 දෙනෙකුද ඇතුළත්.

ඊයේ (04) වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් හැට දෙදෙනෙකු (62) ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (04) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 20 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09 දෙනෙකු සහ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 06 දෙනෙකුද ඊයේ (04) වාර්තා වුණා.

මේ අතර, කොළඹ – කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එසේම, ඊයේ (04) තහවුරු වූ ආසාදිතයින් පිරිසත් සමඟ මේ දක්වා බොරැල්ල පොලිසියේ 48 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට බස්නාහිර පලාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් 180 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, පොලිස් නිලධාරීන්ට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට මෙන්ම ස්වයං නිරෝධායනයටද යොමු කෙරුණා.

ඒ අනුව 257 දෙනෙකු මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර, නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1302 ක්.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 273 ක් බව සඳහන්.

එසේම, වරාය අධිකාරියේ සේවකයින්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා නිකුත් වීමත් සමඟ 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

තවදුරටත් එහි සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකරන බවයි වරාය අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගැනුණේ එහි සේවකයින් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ රෝග ලක්ෂණ සහ රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවයි.

+++++++++++++++++

+++++++++++++++++

(05.11.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ නේවාසික රැඳවියන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අතර, කාන්තා රැදවියන් සිව් (4) දෙනෙකු සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, තුෂාර උපුල්දෙණිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, බන්ධනාගාර නියාමකවරයෙකුට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

වෛරසය ආසාදනය වූ රැඳවියන් වැලිකන්ද රෝහලටත් බන්ධනාගාර නියාමකවරයා අයි.ඩී.එච්. රෝහලටත් මේ වනවිට යොමුකර ඇති බව සඳහන් ෴

+++++++++++++++++

(05.11.2020 – 14:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 6623 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (05) දිනයේදී තවත් 765 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

ඒ අනුව දිනකදී සුවය ලබා වැඩිම පිරිසක් නිවෙස් වෙත යනු ලැබුවේ අද (05) දිනයේදී වීම විශේෂත්වයක්.

මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,187 ක් වන අතර, ඉන් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5540 ක් ෴

++++++++++++++++

(05.11.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක මනාළ යුවළකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා (2) මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වූ 120 කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවයි.

මනාළ යුවළට අමතරව මනමාලියගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර අද (05) දිනයේදී තවත් ආසාදිතයින් 765 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව දිනකදී සුවය ලබා වැඩිම පිරිසක් නිවෙස් වෙත යනු ලැබුවේ අද (05) දිනයේදී වීම විශේෂත්වයක් ෴

+++++++++++++++++

(05.11.2020 – 16:35 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩි ලෙස නිරීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන වාහන සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් දැනුම් දුන්නේ ෴

++++++++++++++++++

++++++++++++++++++

(05.11.2020 – 16:55 +0530 – hirunews.lk/sinhala)

එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ජනාධිපති කාර්යාලයේදී කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය අද (05) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට ද තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

++++++++++++++

(05.11.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරින් 297 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඉන් 186 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

එමෙන්ම, පොලිස් නිලධාරින් 2400 ක් මේ වනවිට නිරෝධානයට ලක්වෙමින් සිටිනවා ෴

***************************************

(05.11.2020 – 09:44 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටවූ පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම ඊයේ (04) කතානායක නිල නිවසේදී පැවැත්වුණා.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මෙන්ම ඔවුන්ගේ නියෝජිතයන් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් එක්ව සිටියා.

මෙහිදී කතානායකවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියා පටිපාටිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

පසුව, පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ගත යුතු පියවර සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 10 වනදා යළි රැස්වීමට නියමිතයි ෴

***************************************

සෞදි අරාබිය විදේශ ශ්‍රමිකයින්ට පැනවූ සීමා ලිහිල් කරයි

(05.11.2020 – 11:34 +0530 – hirunews.lk/sinhala)

තම රට තුළ සිටින මිලියන 10 ඉක්ම වූ විදේශ ශ්‍රමිකයින් සඳහා පනවා ඇති ඇතැම් දැඩි සීමාවන් ලිහිල් කිරීමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවයේ නිරත විදේශ ශ්‍රමිකයින්ට සිය හාම්පුතාගේ අවසරයක් නොලබා සේවා ස්ථානය වෙනස් කිරීමට අවස්ථාව සැලසෙනවා.

එමෙන්ම, ඔවුන්ට සෞදි රජයේ ව්‍යාපෘතිවල සේවය සඳහාද ඉල්ලුම් කළ හැකියි.

කෆාලා ලෙස හැඳින්වෙන අනුග්‍රාහක ක්‍රමය මගින් සෞදි හාම්පුතුන්ට විදේශ ශ්‍රමිකයින්ගෙන් සීමාව ඉක්මවා සේවා ලබා ගැනීමට ඉඩ සැලසෙන බව මානව හිමිකම් සංවිධාන මගින්ද පෙන්වා දී තිබූ කරුණක්.

සේවා තත්ත්වයන් සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම නව පියවර මගින් අපේක්ෂා කරන බවයි සෞදි මානව සම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, නව පියවර විදේශ ශ්‍රමිකයින් බහුතරයක් සේවයේ නිරත ගෘහසේවය සඳහා අදාළ නොවීම පිළිබඳව මානව හිමිකම් සංවිධාන කණස්සල්ල පළ කළා ෴

***************************************

(05.11.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විරුත්තෝඩෙ ග්‍රාම නිලධාරි වසමේ පුලිදිවායල්හි අක්කර 2 ක ට ආසන්න අධි සංවේදී ස්වභාවික කඩොලාන රක්ෂිතය විනාශ කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (04) සිදුකළ මෙම අනාවරණයේදී ප්‍රදේශවාසීන් කියා සිටියේ ඉස්සන් වගා පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් සංවිධානාත්මක පිරිසක් මෙම දැවැන්ත විනාශ සිදුකර ඇති බවයි.

මෙම කඩොලාන විනාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා , මධ්‍යම පරිසර අධිකාරිය හා මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු ඊට සම්බන්ධ අදාළ අංශ මගින් විමසීම් කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පුද්ගලික ඉඩමක් වුවත්, කඩොලාන කපා ඉවත් කිරීම නීතිවිරෝධී බැවින් ඊට සම්බන්ධ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසට විෂය භාර අමාත්‍යවරයා පුත්තලම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

(05.11.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනයේ සිදුව ඇති වංචා දූෂණ සෙවීම සඳහා වෝහාරික විගණන වාර්තාවක් කැඳවන බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් වැරදිකරුවන්ට දඩුවම් නොලැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි ෴

***************************************

(05.11.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ස්වාභාවිකව ලැබෙන ජල අතිරික්තය සුරක්ෂිතව තබා ගැනීමට අතීතයේ රජවරු වැව් අමුණු තැනුවේ මෙරට බොහෝ වැසියන්ගේ ජීවනෝපාය කෘෂි කර්මාන්තය වූ නිසයි.

එවන් යුගයක් තිබූ රටක නිසි ප්‍රතිසංස්කරණයක් සිදුනොවී වල් වැදුණු වැවක් හේතුවෙන් ගොවීන් පිරිසක් මුහුණ දෙන ගැටලු පිළිබඳවයි අද (05) ‘රතු මිනිත්තුව’.

කුරුණෑගල – මාවතගම පිහිටි විශාලතම වැව වන අක්කර 36 ක වපසරියකින් සමන්විත නාරංගොඩ වැව ආශ්‍රිතව කුඹුරු ගොවිතැන සිය ජීවනෝපාය කරගත් ගොවි පවුල් 500 ක් පමණ ජීවත් වනවා.

ඉතා සුන්දර පරිසරයක පිහිටි නාරංගොඩ වැව කලක සිට නිසි ප්‍රතිසංස්කරණයකට ලක් නොවීමෙන් මේ වනවිට පත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමක්.

***************************************

(05.11.2020 – 14:40 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ගබඩා ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ඊට යුද හමුදාවේ සහය ලබාගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස්වූ විශේෂ රැස්වීමකදී තීරණය කෙරුණා.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සහල් හිඟයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ දැමීමට කටයුතු කරන මාෆියාව පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම විශේෂ රැස්වීම කැඳවනු ලැබූ බවයි ෴

***************************************

(05.11.2020 – 17:59 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 63 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ වෙත්තලකේනි ප්‍රදේශයෙන් ඔබ්බට වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ වැටලීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගත් බවයි.

එහිදී සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 213 ක් නාවික හමුදා භාරයට ගෙන තිබුණා ෴

*********************************************

තවත් කොවිඩ් ආසාදිත මරණ 05 ක් වාර්තාවෙයි – මෙරට කොවිඩ් මරණ ගණන 29 දක්වා ඉහළට

(05.11.2020 – 18:23 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිත මරණ 05 ක් අද (05) දිනය තුල වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම මරණයන් පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් :

+++++++++++++

(05.11.2020 – 18:45 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 213 දෙනෙක් අද (05) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපතිවරයා පවසනවා.

එම ආසාදිතයින් සියල්ලන්ම ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මෙම ආසාදිතයින් 213 දෙනා සමඟ මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 12,400 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+++++++++++++

(05.11.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීම සඳහා සිදුකරන ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ හෙවත් ‘ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ’ සිදුකිරීමට අදාළ සාම්පල තොගයක් දිවයිනට රැගෙන ඒම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ යුතු බව ‘වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය’ පවසනවා.

කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ බව කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *