ඇමති බන්දුලගේ උවමනාව ඉටුවේ – ‘උපරිම මිලට දෙන්න බැහැ’ සුළු මෝල් හිමියෝ සහල් නිපැයුම නවත්වති

ඇමති බන්දුලගේ උවමනාව ඉටුවේ – ‘උපරිම මිලට දෙන්න බැහැ’ සුළු මෝල් හිමියෝ සහල් නිපැයුම නවත්වති

ඇඳිරි නීතිය ඉවත් කළත්, නිරෝධායනය අඛන්ඩව

හිඟයක් පවතින බැවින් රුධිරය දෙන්නැයි ලේ බැංකුවෙන් ඉල්ලීමක්

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ට වුණු දේ

මිනිත්තු 20 කින් කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි ක්‍රමවේදයක්

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය නොකිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්කරයි

*********************************************

ඇමති බන්දුලගේ උවමනාව ඉටුවේ – ‘උපරිම මිලට දෙන්න බැහැ’ සුළු මෝල් හිමියෝ සහල් නිපැයුම නවත්වති

(06.11.2020 – 06:26 +0530 – lankaleadnews.com)

රජය විසින් පනවා තිබෙන උපරිම මිලට සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් විශාල පාඩුවක් දැරීමට සිදුවන නිසා අද (6 වැනිදා) සිට සහල් නිෂ්පාදන කටයුතු නතර කරන බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පවසයි.

කන්නය ආරම්භයේදීම මෙම මිල ගණන් නියම කරනු ලැබුවේ නම් තමන්ට වැඩි මිලට වී මිලදී ගැනීමට සිදුනොවන බවද ඔහු කියා සිටී.

මෙලෙස සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් 700 ක් පමණ දැඩි අසීරුතාවට පත්ව සිටින බවත්, සහල් නිෂ්පාදනය පමණක් නොව වී තොග රැස් කරන්නන්ගෙන් වී මිලදී ගැනීමද නතර කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.

වැඩි මිලට ගත් වීවලින් නිෂ්පාදනය කරන සහල් තොග රජයේ උපරිම මිලට නිකුත් කිරීම නිසා තමන්ට සහල් කිලෝවකින් රුපියල් 24-25 ක පාඩුවක් දැරීමට සිදුවන බවද එම සංගමය කියා සිටී.

වී තොග රැස් කරන්නන්ගෙන් සම්බා වී කිලෝවක් රුපියල් 73.40 කටද, නාඩු සහ කැකුළු වී කිලෝවක් රුපියල් 62.50 කටද මිලදී ගැනීමට සිදුව ඇත. මෙලෙස වැඩි මිලට ගත් වීවලින් සහල් නිෂ්පාදනය කර රජය සඳහන් කරන උපරිම මිලට අලෙවි කිරීමට නොහැකි බව මෙම මෝල් හිමියෝ කියා සිටිති.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙරේදා (4 වැනිදා) රාත්‍රී නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු/රතු සම්බා රුපියල් 94 ක්, සුදු/රතු නාඩු 92 කටද, සුදු/රතු කැකුළු රුපියල් 89 ක උපරිම මිලකටද කිලෝවක් වෙළෙඳපොළට නිකුත් කළ යුතු​ වේ.

මෙම තත්වය තුළ වෙළඳපොළ තුළ කෘතිම සහල් හිඟයක් ඇතිවේ. ඒ මඟින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉල්ලා සිටින පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් ආනයනය කිරීම සාධාරණීකරණය වේ. එවිට යම් කිසිවෙකුට රුපියල් මිලියන 300 ක 400 ක කොමිස් ගැසීමට ද ඉඩක් ලැබේ ෴

+++++++++++++++++++++

(05.11.2020 – 21:02 +0530 – hirunews.lk/sinhala)

සහල් සැකසුම්කරුවන් විසින් අලෙවි කල යුතු උපරිම මිල නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් වුවද එම මිලට සහල් නොමැති බවට වෙළෙඳුන් චෝදනා කරනවා.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට ට එක්වෙමින් සඳහන් කළේ ගැසට් පත්‍රයට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

+++++++++++++++

(06.11.2020 – 07:26 +0530 – sinhala.adaderana.lk)

සහල් අලෙවිය සඳහා උපරිම මිල ගණන් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන සඳුදා (09) සිට නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් වෙළෙඳපොළ වෙත යොමුකරමින් අදාළ වැටලීම් සිදුකිරීමට සැළසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය ෴

*********************************************

ඇඳිරි නීතිය ඉවත් කළත්, නිරෝධායනය අඛන්ඩව

(05.11.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (05) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට ද තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් නිලධාරින්ට උපදෙස් ලබාදී තිබුණේ ඇදිරි නීතිය ඉවත් කළ පසු, ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි.

මේ වනවිට නිවාස 31,457 ක අසූහතර දහසකට (84,000) ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටිනවා.

ආසාදිතයන් සමාජයෙන් හමුවුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන ඇති අතර, පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළඳ කලාපය ආශ්‍රිත පී.සී.ආර්. පරීක්ෂණ අහඹු ලෙස සහ අඛන්ඩව කරගෙන යාමට ද මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, ලබන සඳුදායින් (09) පසු බස්නාහිර පලාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට නම්, ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සහයෝගය දැක්විය යුතු බවයි.

බස්නාහිර පළාතට සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිඋල්ල, මාවනැල්ල, හෙම්මාතගම සහ බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තවමත් හුදකලා ප්‍රදේශ ලෙසටයි පවතින්නේ.

මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 200 ක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 18 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ දක්වා කාලය තුළදී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2393 ක්.

මුඛ ආවරණ භාවිත නොකිරීම හා දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පුද්ගලයින් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළව මේ දක්වා 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මත පදනම්ව ශ්‍රී ලංකා වකුෆ් සභාව තීරණය කර ඇත්තේ මුස්ලිම් පල්ලියක ඕනෑම අවස්ථාවක රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 25 දෙනෙකුට පමණක් සීමා කිරීමටයි.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරනු ලැබ ඇති හෝ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල පිහිටි සියලුම මුස්ලිම් පල්ලි නැවත දැනුම් දෙනතුරු වසා තැබිය යුතු බව ද වකුෆ් සභාව නිවේදනය කළා.

මේ අතර, 2019 – 2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 හෝ එදිනට පෙර ගොනු කරන්නේ නම්, දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව නියමිත දිනට වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම මත දඩ පනවනු නොලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

+++++++++++++++++++

(05.11.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා රටේ ජනතාවට මිත්‍යා මත විශ්වාස කරන ලෙස පවසන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ආනයනික එන්නත් ශරීර ගත කරගෙන සිටින බවට සමඟි ජනබලවේගය චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සඳහන් කළේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++

(05.11.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කර තිබූ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මේ මොහොතේ සිට යළි විවෘත කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.

+++++++++++++++++++++

(06.11.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

අවම බස් ගාස්තුව රුපියල් 20 ක් සහ සාමාන්‍ය සේවා ගාස්තුව, එකහමාරක් දක්වා ඉහළ නැංවීම ඇතුළු කරුණු 10 ක් ඇතුළත් යෝජනාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාර දුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදීයි. ඔහු ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයේ දෙවන රැල්ලත් සමඟ බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි මට්ටමට පත්ව ඇති බවයි.

විශේෂයෙන් බස් රථ හිමියන්ගේ ලීසිං වාරික සහ අමතර කොටස් හිඟය වැනි කරුණු මත බස් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමේදී අධික පාඩුවක් සිදුවන බවද ඔහු සඳහන් කළා.

මේ අනුව සෞඛ්‍ය නිර්දේශ අනුව සුළු මගීන් ප්‍රමාණයක් නංවාගෙන ධාවනය කිරීමට නම් සාමාන්‍ය ගාස්තුවට තවත් අඩක ප්‍රමාණයක් වැඩිපුර ටිකට්පතක් සඳහා අය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි ඔහු එහිදී සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දී බස්රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවී බස් රථ හිමියන්ටද සාධාරණයක් ඉටුවන ක්‍රමවේදයකට ගමන් කිරීම සඳහා අවශ්‍ය වැඩපිලිවෙලක් සකස් කිරීමට පියවර ගන්නා බවයි ෴

+++++++++++++++++++

(05.11.2020 – 22:23 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

එම 170 දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව අද (05) දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383 ක් දක්වා ඉහළ යනවා.

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,092 ක් වනවා ෴

++++++++++++++++++

(06.11.2020 – 08:05 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඊයේ (05) පස්වරුවේ සිට හුදකලා තත්ත්වයෙන් මුදා හැරුණා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිඋල්ල, සහ මාවනැල්ල, හෙම්මාතගම යන පොලිස් බල ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ ලෙසටයි නම්කර ඇත්තේ.

එසේම, ලබන සඳුදායින් (09) පසු බස්නාහිර පලාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (05) ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,393 ක්.

එසේම, නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ තම පොලිස් නිලය අවභාවිත කරමින් සිවිල් පුද්ගලයින් යතුරුපැදියකින් ප්‍රවාහනය කළ ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

නිරෝධායනය ඇඳිරි නීතිය තදින්ම බලපැවැත්වෙන ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී, පෙරේදා (04) රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8 දෙනා ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, එක් අයෙකු රුපියල් 50,000 බැගින් ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මේ අතර, පවතින තත්ත්වය සමඟ ධීවර කටයුතු නතර කිරීම නිසා මීගමුව කලාපයේ ධීවරයින් ගැටලු රැසකට මුහුණදී ඇති බව මීගමු කලාපයේ ධීවර කටයුතු භාර සුජීව අතුකෝරල පියතුමන් පෙන්වා දුන්නා ෴

+++++++++++++++++++

(06.11.2020 – 08:10 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු ඊයේ (05) හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,570 දක්වා ඉහළ ගියා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඊයේ (05) දිනයේදී හමුවු ආසාදිතයින් සියලුදෙනාම මීට පෙර හමුවු කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,092 ක් වනවා.

එසේම, ඊයේ (05) දිනයේදී මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගියා.

මියගිය පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුම (2) සිය නිවස තුළදී මිය ගොස් තිබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම කාන්තාවන් දෙදෙනා 58 සහ 73 හැවිරිදි කොළඹ 12 සහ 14 ප්‍රදේශ වල පදිංචිකාරිනියන්.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි අනෙක් කාන්තාව පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ජිවිතක්ෂයට පත්වුණා.

මිය අනෙක් පුද්ගලයින් දෙදෙනා 46 සහ 74 හැවිරිදි වියේ පසුවු කොළඹ 02 සහ 15 ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉන් එක් අයෙකු දිර්ඝ කාලින වකුගඩු රෝගයකින් පෙළි ඇති අතර අනෙක් පුද්ගලයා මිය ගොස් ඇත්තේ කොව්ඞ් 19 නිසා ඇති වු හෘදයාබාධයක් හේතුවෙන්.

මේ අතර, ඊයේ (05) වැලිකඩ බන්ධනාගාරයේ 07 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, වැලිකඩ බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සහ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (05) පැවැති විශේෂ හමුවකදියි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලාවල තවත් සේවකයින් 73 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 15 කින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මුළු සේවකයින් ගණන 175 ක්.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේ පසුගිය දින දෙක තුළ දී කටුනායක සහ බියගම නිදහස් වෙළඳ කළාපවල කිසිදු සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු නොවු බවයි.

මොරණාගල දිස්ත්‍රිකකයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හමුවී ඇති අතර නිරෝධායන ලක් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 811 ක්.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 156 ඊයේ (05) දෙනෙකු (2) නිවෙස් වෙත පිටත් කර හැරුණා ෴

++++++++++++++++++

(06.11.2020 – 08:30 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල එළැඹෙන සති අන්තයේ පොලිස් මාර්ග බාධක යොදා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් වසම් 112 ක මෙන්ම කුලියාපිටිය, ඇහැලියගොඩ සහ කුරුණෑගල මහ නගර සභා බලප්‍රදේශවල ක්‍රියාත්මකයි.

ඒ අනුව ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 139 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, රථවාහන 26 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++++++++++

(06.11.2020 – 09:24 +0530 – hirunews.lk/sinhala)

අද (06) දිනය තුළදී ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 43 දෙනෙකු නිවෙස් වෙත පිටත්කර යැවීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මෙම පිරිස පෞද්ගලික හෝටල්වල නිරෝධායනයට ලක්වූ අයයි.

ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් කර යැවූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 63,644 ක්.

නිරෝධායන මධ්‍යස්ථාන 30 ක් තුළ පුද්ගලයින් 2,420 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා ෴

***************************************

(05.11.2020 – 23:13 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම, අකුරැටිය ප්‍රදේශයේ පිහිටි වෙල්යායක අත්ට්‍රැක්ටරයකින් සී සාමින් සිටි පාසල් සිසුවෙක් අද (05) පෙරවරුවේ විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

සී සාන අතර තුර කුඹුරට ජලය ලබා ගැනීමට ඇති ජල මෝටරයට විදුලිය සපයා තිබූ විදුලි රැහැනේ පැටලීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දෙගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වන අතර මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය හෙට (06) ගාල්ල කරාපිටිය රෝහලේ දී පැවත්විමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(06.11.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ වෙළඳ අමාත්‍යාංශයේ සිටි අතිරේක ලේකම්වරයෙකු අමාත්‍යාංශයට අයත් වාහනයක් රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා උපදෙස් ලබා දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කරන ලෙසට ද සිය ලේකම්වරයාට දැනුම් දුන් බවයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යටතේ කටයුතු කළ තවත් බොහෝ පිරිසක් සිය අමාත්‍යාංශය තුළ හිඳිමින් වැඩකටයුතුවලට බාධා එල්ල කරන බවයි.

ඔවුන් වෙනත් අමාත්‍යාංශවලට හෝ රාජ්‍ය ආයතනවලට යොමුකර නව රජයේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, එය දේශපාලන බලපෑමකින් තොරව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

(06.11.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

පුද්ගල ජීව දත්ත සහ ජීව මිතික දත්ත ඇතුළත් කර නිකුත් කිරීමට නියමිත විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලියට අන්තර් කාලීන විසඳුමක් වශයෙන් ‘ඔන්ලයින්’ ක්‍රමය ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමඟ සම්බන්ධ වෙමින්.

ඒ අනුව, මෙම වැඩපිළිවෙල සමඟ සම්බන්ධ වීමට අදාළ ආයතන විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර, ඊට අදාළ ගිවිසුම් වලට අත්සන් කිරීමෙන් අනතුරුව සේවා ලබා ගත හැකියි.

ශ්‍රී ලංකාවේ පිහිටි බැංකු, මූල්‍යායතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු ආයතන ඊට ඇතුළත් වන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කොරෝනා තත්ත්වය හමුවේ ‘ඔන්ලයින්’ ක්‍රමය ඔස්සේ දෛනික සේවා අවශ්‍යතා ඉටු කිරීමේ කටයුතු සඳහා ද මෙය වැදගත් වන බව දෙපාර්තමේන්තුවේ අදහසයි ෴

*********************************************

හිඟයක් පවතින බැවින් රුධිරය දෙන්නැයි ලේ බැංකුවෙන් ඉල්ලීමක්

(06.11.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වයත් සමඟ රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සංවිධාන නොවීම හමුවේ රුධිර හිඟයක් නිර්මාණය වී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේ ජංගම රුධිර පරිත්‍යාග කිරීමේ මධ්‍යස්ථාන පසුගිය කාලවකවානුව පුරාම නිසි පරිදි සිදුකිරීමට නොහැකි වූ බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ එම වැඩපිලිවෙලට දැඩි බලපෑම් එල්ල වූ අතර, මේ හේතුවෙන් පිට පළාත්වලද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබී නැහැ.

එම තත්ත්වය මත රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලින්ට ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ.

ඒ සඳහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

National Blood Transfusion Service – Sri Lanka

*********************************************

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ට වුණු දේ

(06.11.2020 – 09:50 +0530 – sinhala.adaderana.lk)

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 40 කට ආසන්න සංඛ්‍යාවකට මේ වනවිට කොවිඩ්-19 වෛරසය වැළඳී තිබීම හේතුවෙන් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම යම් ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම විමර්ශනයේදී සාක්ෂි සටහන් කරගැනීමට සිදුව ඇත්තේ මිනුවන්ගොඩ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන් බැවින් මෙම ගැටලු මතුව ඇති බවයි හෙතෙම පෙන්වා දෙයි.

එහිදී නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ “මේ පිළිබඳව නීතිපති උපදෙස් ලැබුණු විගස විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කළා. නමුත් එතන පොඩි ප්‍රශ්නගත තත්ත්වයක් තියෙනවා. ඔබ දන්නවා කොළඹ අපරාධ කොට්ඨාසයෙත් මේ වනවිට 40 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ අපරාධ කොට්ඨාසයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමුකළ නිලධාරීන්. ඉතින් එතකොට ඒ සඳහා ක්‍රියාකරන්න අමාරුයි. ඊළඟ කාරණය තමයි මේ සඳහා සාක්ෂි සටහන් කරන්නත් වෙන්නේ මිනුවන්ගොඩ ඒ කර්මාන්ත ශාලාවේ ඉන්න යම් යම් ආකාරයේ සේවකයින්ගෙන්. මේ නිසාත් යම් ප්‍රමාදයක් තියෙනවා. කෙසේවෙතත් මේ විමර්ශනය කරගෙන යෑමට තමයි පොලිස්පතිතුමා දැනුම්දීලා තියෙන්නේ. කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා දැනුම් දීලා තිබ්බා ආසාදිත තත්ත්වයත් එක්ක ඇතිවුණු අපහසුතාවය ගැන. නමුත් අනිවාර්යයෙන්ම ඒ විමර්ශනය අඛණ්ඩව සිදු කිරීමට තමයි පොලිස්පතිතුමා තීරණය කරලා තියෙන්නේ.” යනුවෙනි.

අද (06) උදෑසන ‘දෙරණ අරුණ’ වැඩසටහන සමග එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කණ්ඩායම පිළිබඳ ව වහාම තමාට තොරතුරු ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඊයේ (05) උපදෙස් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බවද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබුණි.

***************************************

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

(06.11.2020 – 07:55 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි.

පසුගිය ඔක්තෝබර් මස 12 වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648 කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

කොවිඩ්-19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

එමෙන්ම කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථායක් වු IDH රෝහලේ සහ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක ද මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සිදුවු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

කොවිඩ්-19 අවදානම මධ්‍යයේ වුවද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වු බව හෙතෙම සඳහන් කළේය ෴

*********************************************

මිනිත්තු 20 කින් කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි ක්‍රමවේදයක්

(05.11.2020 – 21:59 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයකුට කොවිඩ්-19 වැළඳී ඇත්දැයි මිනිත්තු 20 කාලයක් තුළදී හඳුනාගත හැකි නවතම ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල’ ලක්ෂ 10 ක් මෙරටට ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමතකර ඇති, මෙම පරීක්ෂණය මගින් කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතය.

මෙමගින් දැනට සිදුකරන PCR පරීක්ෂණවලට වඩා අඩු කාලයකින් හා අඩු පිරිවැයකින් ආසාදිතයින් සොයාගත හැකි බව සෞඛ්‍ය අංශ පවසති.

යම් පුද්ගලයෙක් කොවිඩ්-19 ආසාදිතයකු ද? නැද්ද? යන්න තහවුරු කරගැනීම PCR පරීක්ෂණ මගින් සිදුකෙරෙන අතර එය සාම්පල ලබාගැනීමේ සිට අවසන් වාර්තාව නිකුත්කිරීම දක්වා පැය කිහිපයක් ගතවන ක්‍රියාවලියකි.

ගෙවුණු සතිය පුරා දෛනිකව PCR පරීක්ෂණ 9900 ත් – 12200 ත් අතර සංඛ්‍යාවක් සිදුකර ඇති අතර එම සාම්පලවලින් 200 ත් – 650 ත් අතර සංඛ්‍යාවක් දෛනිකව ආසාදිතයන් ලෙස හඳුනාගත හැකිවූ බව සෞඛ්‍ය අංශ පවසති.

කෙසේවෙතත් ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගැනීමේ අවශ්‍යතාව ඉහළයාමත් සමඟ ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ’ මගින් කොවිඩ්-19 ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා තීරණය කරනු ලැබීය.

එමගින් පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු විය හැකිද? නැද්ද? යන්න මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයක් ඇතුළත හඳුනාගත හැකි වීමත්, එක් කට්ටලයක් රුපියල් 1200 ක් පමණ අවම මිලක පැවතීමත් විශේෂත්වයකි.

“මෙයින් අපට ඉතා ඉක්මනින් ක්ෂේත්‍රය තුළදීම විනාඩි 10 ක් 15 ක් ඇතුළත ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වෛරසය තිබෙනවා නම් ඒ වෛරසය අපිට හඳුනාගන්න පහසු ක්‍රමයක්. ඒක අපට හඳුනාගන්න පුළුවන් විශාලම ක්ෂේත්‍ර කටයුතුවලදී. ඒ වගේම විශාල වශයෙන් අපට පරික්ෂා කරන්න අවශ්‍ය වූ විට එතැනට ගොස් ක්ෂණිකව පරික්ෂණය කරලා ප්‍රතිඵල දීලා ඒ රෝගීන්ව වෙන්කර ගන්න අපට පුළුවන් වෙනවා.” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

මෙම ක්‍රමවේදයේ දී සැකසහිත පුද්ගලයෙකුගෙන් ලබාගන්නා සෙම පටල එම ස්ථානයේදීම පරික්ෂණ කට්ටලයේ ඇති අදාළ රසායනික සංයෝග සමග මිශ්‍රකර තිබෙන්නට හැර ඔහුට රෝග කාරකය වැළඳී ඇතිද යන්න මිනිත්තු 15 ත් 20 ත් අතර කාලයකදී හඳුනාගැනෙන අතර මෙමගින් අහඹු පරීක්ෂණ ඉහළ නැංවීමට හැකි වේ.

දැනට කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දෛනකිව සැකසහිත පුද්ගලයන් දසදහසක (10,000) ගෙන් පමණ PCR පරීක්ෂණ සිදුකෙරුණත් මෙම ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් එවන් විශාල පිරිසක් කෙටි කාලයක් තුළ පරීක්ෂාවට භාජනය කළ හැකිවීමත්, එතුළින් PCR පරීක්ෂණ සඳහා අනවශ්‍ය ලෙස වැය වන කාලය, ශ්‍රමය සහ මුදල අවම කරගත හැකි වීමත් නිසා රෝග පරීක්ෂාවන්ද වේගවත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියාසිටියේ, “මෙය ඉක්මන්. මේ මගින් PCR පරීක්ෂණ සංඛ්‍යාවට වඩා රෝගීන් හඳුනාගැනීම වැඩිපුර කරන්න අවශ්‍යනම් ‘ඇන්ටිබොඩි’ සහ ‘ඇන්ටිජන්’ පරික්ෂාව මගින් ඒක කළ හැකියි. PCR පරීක්ෂණය තමයි වඩාත් සාර්ථක. PCR පරීක්ෂණ මගින් තමයි වෛරස් එක හඳුනාගත හැක්කේ. හැබැයි වෛරස් එක ශරීර ගතවෙලා තියෙනවාද? නැද්ද? හඳුනාගන්න ‘ඇන්ටිජන්’ පරික්ෂාවෙන් පුළුවන්.” බවය.

“අපට යම් තැනක් එනවා එතනින් එහාට PCR ප්‍රමාණය වැඩිකර ගැනීමේ අපහසුතාවක් එන. එතනදි තමයි වැදගත් වෙන්නේ විකල්ප හඳුනා ගැනීම. ඒවගේ විකල්පයක් තමයි ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ එක එසේ නැතිනම් ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාව’ බව අප විශ්වාස කරනවා. මේ ක්‍රමවේදයෙන් විශේෂයෙන්ම ප්‍රජාව තුළ අහඹු සමාජ නියැදි පරික්ෂාව කරන්න පුළුවන්. ඒ නිසා ඉතාම පැහැදිලිව PCR එක්ක අනිවාර්යෙන් කළ යුතුයි. ඒ පරීක්ෂණයට දෙන විකල්පයක් විදිහට ‘ඇන්ටිජන් ටෙස්ට් එක’ පවිච්චිකළ හැකිනම් විශේෂඥ මතයට අනුව ඒක කළ යුතුයි.” යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මුල් අදියර යටතේ, මෙලෙස මෙරටට ආනයනය කරනු ලබන පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් (2) ඊයේ (04) දිනයේදී දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ආනයනයකර ඇති අතර ඉදිරි සතියක කාලය තුළ තවත් කට්ටල ලක්ෂ අටක් (8) ගෙන්වීමට සැළසුම් කර තිබේ.

එම පරීක්ෂණ කට්ටල මූලිකව යොදාගැනීමට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ආයතනවල ලක්ෂ අටකට (8) ආසන්න සේවකයන් පරීක්ෂාව සඳහා ය.

කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලීන් අඩපණනොවී පවත්වාගෙන යාම සඳහා සේවක සුරක්ෂිතතාව කඩිනමින් තහවුරු කරගැනීමේ අරමුණින් එම පියවර ගෙන තිබේ.

“ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තිබෙන කට්ටල තමයි අපි ලංකාවට ගෙන්වීමට අවසර දීලා තියෙන්නේ. ඒ සාම්පල අපිට ලැබිලා තියෙනවා. ඒ සාම්පලවල ප්‍රතිඵලය අනුව අපි ඉදිරියේදී අපිට අවශ්‍ය සම්පූර්ණ සාම්පල කට්ටල ප්‍රමාණය ඇණවුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

*********************************************

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය නොකිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

(06.11.2020 – 09:30 +0530 – lankaleadnews.com)

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියක් මඟින් කොවිඩ්–19 මළ සිරුරු භූමිදානය නොකළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගනු ලැබූ තීන්දුව දේශපාලන හේතු මත වෙනස් නොකරන ලෙස ඉල්ලා ඇත.

එම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ ආගමික අන්තවාදීන් සෑම විටම තම ආගමට විශේෂිතව සැලකිය යුතු බවට සහ එසේ නොවන විට මරාගෙන මැරෙන ආකාරයට සටන් කළ යුතු බවට මතයක් ගොඩ නැඟෙන බවය.

එවැනි ඉල්ලීම් පොදු මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම නොව ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් බව වටහාගත යුතු බවත් ඒ නිසා එම ඉල්ලීම් වලට යටත් වී නරක පූර්වාදර්ශ ඇති නොකරන ලෙසත් එම ලිපිය මඟින් ජනාධිපතිවරයාට අවධාරණය කොට ඇත.

සම්පූර්ණ ලිපිය පහතින් :

කෝවිඩ් – 19 (1) 2020.11.06 by Prasad Nilanka

++++++++++++++

*********************************************

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්කරයි

(06.11.2020 – 09:41 +0530 – lankadeepa.lk)

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ අනුව මෙතෙක් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පැවති මෙම ආයතනය , ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ උපදෙස් පරිදි අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනී , ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනයේ නිසි බලධාරීනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ 16 වෙනි ජාතික විශ්වවිද්‍යාලය වන මෙය ‘ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය’ වශයෙන් නම් කර ඇත. මෙය උප කුලපතිවරයෙකුගේ පාලනයකින් සහ පීඨ හතරකින් (4) සමන්විත වනු ඇත.

දේශීය වෛද්‍ය විද්‍යා පීඨය , දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨය, දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ අධ්‍යාපන විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨය වශයෙන් පීඨ හතරක් (4) ඇති බව සදහන් කළ මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය, මෙම විශ්ව විද්‍යාලය ලබන වසරේ මාර්තු 1 වෙනි දින නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවද ප්‍රකාශ කළාය ෴

***************************************

(06.11.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ කසල බහාලුම් 242 න් තවත් බහාලුම් 65 ක් අද (06) ප්‍රතිනැව්ගත කෙරුණා.

කොළඹ වරායෙන් අද පෙරවරුවේ මෙම බහාලුම් 65 ක් යළි එංගලන්තයට ප්‍රතිනැව්ගත කෙරුණු අතරල තවත් කන්ටේනර් 17 ක් අද (06) හා හෙට (07) එංගලන්තයට යැවීමට නියමිතයි.

ඒ අනුවල මෙරට ඉතිරි වන බහාලුම් සංඛ්‍යාව 140 ක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට බහාලුම් 102 ක් ප්‍රතිනැව් ගත කර ඇති බව ද ඔහු සඳහන් කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලුණු අවස්ථාවේදි මෙරටට ගෙන්වූ කසල බහාලුම් 242 යළි එරටට යවන ලෙස අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේ පසුගිය ඔක්තෝම්බර් 14 වනදායි.

ඒ අනුවයි මෙම බහාලුම් යළි ප්‍රතිනැව්ගත කිරීම සිදුකෙරුණේ.

මෙම කසල බහාලුම් මෙරටට එවීම මගින් සිදුවූ අලාභයට වන්දි ලෙස රුපියල් මිලියන 1600 කට අධික මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරිය ‘බැසල් සම්මුති කාර්යාලය’ට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *