කොරෝනා මරණ ගැන රජයේ වෛද්‍යවරුන් සමාලෝචනයක් ඉල්ලයි

කොරෝනා මරණ ගැන රජයේ වෛද්‍යවරුන් සමාලෝචනයක් ඉල්ලයි

*********************************************

කොරෝනා මරණ ගැන රජයේ වෛද්‍යවරුන් සමාලෝචනයක් ඉල්ලයි

(06.11.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

නිධන්ගත රෝගවලින් පෙලෙන සහ වයස්ගත පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 29 ක් වන අතර, ඒ අතරින් වැඩි පිරිසක් වයස්ගත වූවන් සහ නිධන්ගත රෝගවලින් පෙලෙන්නන්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 12,570 ක් වාර්තා වන අතර, ඊයේ (05) දිනය තුළ ද නව ආසාදිතයන් 383 ක් හඳුනා ගැනුණා.

එසේමල මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,092 ක්.

ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් අතරින් 168 ක් වූ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 157 දෙනෙකු ඊයේ (05) වාර්තා වී තිබූ අතර, වත්තල ප්‍රදේශයේ 57 දෙනෙකු ඒ අතර වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 24 ක්.

එසේම, ඊයේ (05) හඳුනාගත් ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් 21 දෙනෙකුද සිටිනවා.

රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතරල ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකුටද වෛරසය ශරීරගත වී ඇති බව වාර්තා වුණා.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 297 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 199 දෙනෙකු ඒ අතර වන බව සඳහන්.

නිරෝධායන මධ්‍යස්ථානවලට පොලිස් නිලධාරීන් 258 දෙනෙකු යොමුකර ඇති අතරල ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1,350 ක්.

මේ අතර, හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පසුගියදා සුවය ලබා නිවෙසට පිටත්ව යාමෙන් පසුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔහුට ප්‍රතිකාර කළ හෝමාගම රෝහලේ අංක 05 වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් තුන් දෙනෙකු (3), හෙදියන් තුන් දෙනෙකු (3) සහ සුළු සේවකයින් 6 දෙනෙකු ඇතුළු 30 දෙනෙකුට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකෙරුණා.

අනතුරුව එම වාට්ටුව සහ රෝහල් පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක්කර ඇති අතරල පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකළ පුද්ගලයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසද උපදෙස් ලබාදී ඇති බවයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝහලේ වෛද්‍යවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 32 ක් වන අතර, ඒ අතර ළමයින් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු වන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වූවද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් ඒ සඳහා බියවිය යුතු නොමැති බව රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කළා.

මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළින් ගතවූ දින කිහිපය තුළ වැඩි වශයෙන් කොරෝනා මරණ වාර්තා වීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ ජනගණත්වය අධික ප්‍රදේශවල ජනතාව සිය සංචරණ කටයුතු වහාම සීමා කළ යුතු බවයි.

එලෙස වාර්තා වන කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා.

මේ අතර ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ හෙළ වෙද ක්‍රමයේ දුම් ඇල්ලීම ඇතුළු ඇතැම් ක්‍රමවේද භාවිත කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට යම් විසඳුමක් ලැබෙන බවයි.

මේ අතරල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කර ඇති බැවින් ඒ පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විමසා සිටියේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය නිසිපරිදි අත්හදා බැලීමකින් තොරව දිවයිනට ගෙන්වා ඇත්නම් ඒ සඳහා අවසර ලබාදී ඇත්තේ කවුරුන්ද යන්නයි.

++++++++++++++++++

(06.11.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

නව සාමාන්‍යකරණය යටතේ ලබන සඳුදා (09) සිට බොහෝවිට රටම විවෘත වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියල්ලන් පියවර ගත යුතු බවයි.

එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මේ සති අන්තයේ පොලිස් මාර්ග බාධක යොදා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් වසම් 112 ක මෙන්ම කුලියාපිටියල ඇහැලියගොඩ සහ කුරුණෑගල මහ නගර සභා බලප්‍රදේශවල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

එමෙන්මල ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 139 දෙනෙකු අත්අඩංගුවට ගත් අතරල රථවාහන 26 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 18 දෙනෙකු ද ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන ඇදිරි නීති කාලය තුළ තම පොලිස් නාමය භාවිත කරමින් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් ප්‍රවාහනය කළ ගල්කිස්ස පොලීසියේ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබෙනවා.

මේ අතරල බදුල්ල – කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය අද (06) නැවතත් විවෘත කිරීමත් සමඟ එහි තොග වෙළඳාම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුව තිබෙනවා.

මේ අතර ජාතික හැඳුනුම්පතේ අදාළ කරුණු සහතික කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ‘ඔන්ලයින්’ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සඳහා අවසරලත් ආයතනවලට ලියාපදිංචි විය හැකි බවයි.

මේ අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු ග්‍රාම සේවා වසම්වල නිරෝධායන වන පවුල් සඳහා ආධාර බෙදාදීම අද සිදුකෙරුණු බව බේරුවල ප්‍රාදේශීය ලේකම් කේ.පී.පී.චතුර මල්රාජ් මහතා කියා සිටියා.

(ශබ්දය නැත !)

+++++++++++++++++++

(06.11.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගයෙන් වාසි ලබා ගැනීමේ ක්‍රියාදාමයක ඇතැම් ව්‍යාපාරිකයින් නිරතවී සිටින බවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ කියා සිටියේ ඇතැම් ඖෂධ සහ පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

+++++++++++++++++

(06.11.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හමුවේ දෑත් පිරිසුදු කිරීම සදහා ඔබ භාවිත කරන විෂබීජනාෂක දියර නිසි ප්‍රමිතියකින් යුක්තද..?

ඒවා නිරන්තරයෙන් සම මතුපිට ගැල්වීම අහිතකරද?

මේ ඒ පිලිබද කල සොයා බැලීමක්.

++++++++++++++++++

(06.11.2020 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 563 දෙනෙකු අද (06) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි 324 දෙනෙකු, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පනස් දෙදෙනෙකු (50) ඇතුළු තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබූ පිරිසක් මෙලෙස සුවය ලබා ඇති බවයි.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 7,186 ක් ෴

+++++++++++++++++

(06.11.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු කළුතර දිස්ත්‍රික්කයේ මතුගම – බදුගම නව ජනපදය එම තත්ත්වයෙන් මුදාහැර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ෴

කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ තලාතුඔය නගරයේ වෙළඳසැල් හෙට (07) සිට දින 3 ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++

කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් ජපුර රෝහලට කළ පරිත්‍යාගය

(06.11.2020 – 16:23 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිතව සිට සුවවූ පුද්ගලයෙකු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබා දී තිබේ.

ඉන් අනතුරුව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මගින් දැනට සිදුකරන පී.සී.ආර්. ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 300 ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා පැවසුවේය.

ජයවර්ධනපුර මහ රෝහල සතුව මීට පෙර පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් නොතිබුණු අතර එම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගෙන ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා ය ෴

++++++++++++++++++

කොවිඩ් අවදානම ඇති කොළඹ නගරයේ මහල් නිවාස

(06.11.2020 – 15:39 +0530 – sinhala.adaderana.lk)

කොළඹ මහ නගර සභා සීමාව තුළ අධික තදබදයක් සහිත මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් අනෙක් නිවාසවලට ගමන්කිරීම සම්පූර්ණයෙන් නතර කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ පරික්ෂාවට ලක් නොවූ ආසාදිතයින් නිවෙස්වල සිටිය හැකි බවය.

“විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව තුළදී අපි හඳුනා ගත්තා, කොවිඩ්-19 රෝගය නිසා නිවෙස තුළදී මිය ගිය කිහිපදෙනෙක්ව. එයින් තේරුම් ගන්න ඕනේ අපි PCR පරීක්ෂණ කරන අතරතුර තවදුරටත් රෝගීන් සිටිනවා. ඔවුන් හඳුනාගැනීමට අපිට අවශ්‍යයි. ඒ නිසා ගෙදරට යන එන අය නිසා ඒ රෝගය තමුන්ගේ ගෙදරට එන්න පුළුවන්. අපි විශේෂයෙන්ම කියන්නේ කොළඹ මහනගර සභා සීමාව තුළ අධික ජනගහන තදබදයක් සහිතව ජීවන්වෙන මහල් නිවාසවගේ ස්ථානවල ජීවත්වෙන අයට, කිසිම විදිහකින් අනෙක් නිවෙස්වලට යෑම සම්පූර්ණයෙන්ම නවත්වන්න කියලා අපි උපදෙස් ලබා දෙනවා,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මහතා පැවසීය.

වයස්ගත සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වෛරසය ආසාදනයවීමෙන් මියයාමේ සම්භාවිතාව වැඩි බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී “අපේ රටතුළ වගේම විදෙස් රටවලිනුත් කොවිඩ් රෝගය පිළිබඳව තියෙන අත්දැකීම්වලින් පැහැදිළිව කියන්න පුළුවන් වයස්ගත සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වෛරසය වැළඳුණාම මියයාමට ඇති සම්භාවිතාවය අධිකයි. ඒ නිසා එවැනි අය මේ රෝගය තමන්ට වැළඳීමට තිබෙන ඉඩ අවම කරගත යුතුයි” යනුවෙන් ද සඳහන් කළේය ෴

++++++++++++++++++++

++++++++++++++++++++

තෙවැනි (3 වැනි) කොවිඩ් රැල්ලක් ආවොත්!

(06.11.2020 – 14:18 +0530 – sinhala.adaderana.lk)

දෙවැනි කොවිඩ් රැල්ලෙන් පසුව ඇති වියහැකි තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වෛරසය මීටත් වඩා භයානක විය හැකි බවට කොවිඩ්-19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ වෛරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් එම තත්ත්වය ඇතිවිය හැකි බවට ලොව කොවිඩ් පිළිබඳ පර්යේෂණ සිදුකරන කණ්ඩායම් අනතුරු අඟවා ඇති බවය.

ඒ හේතුවෙන් සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් සැමවිටම අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

“කොවිඩ් රෝගයත් සමග තව අවුරුදු 02 කට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයා ගත්තෙ නැති වුණොත් බෙහෙතක්, තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන්. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතල ලෙස මිනිසුන්ට ආසාදනයවන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න,” යනුවෙන් ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුනි ෴

+++++++++++++++++

නිවැසියන් නිරෝධායනයට යවා සිටියදී නිවසට සොරුන් පනී – CCTV දර්ශන සහිතයි

(06.11.2020 – 12:22 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙන යොමුකර සිටි පවුලකට අයත් නිවසකට සොරුන් ඇතුළු වී එහි තිබූ උපකරණ කිහිපයක් ගෙනයෑමේ පුවතක් වාර්තා වේ.

ඒ, මිනුවන්ගොඩ හොරන්පැල්ල ගාලකඩේ ප්‍රදේශයෙනි.

නිවසේ සවිකර තිබූ CCTV කැමරාවල සොරුන් කිහිපදෙනෙක් නිවසට ඇතුළුවන ආකාරය පටිගත වී තිබූ අතර පසුව ඔවුන් CCTV කැමරාවලට හානිකර ඒවා ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර තිබුණි.

මෙලෙස රාත්‍රී කාලයේ නිවෙස වෙත ඇතුළු වූ සොරුන් නිවසේ තිබූ ගෘහ භාණ්ඩ ඇතුළු විදුලි උපකරණ රැගෙන ගොස් තිබේ.

මෙම නිවසේ පදිංචිකරුවන් ගම්පහ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

***************************************

(06.11.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය මධ්‍යයේ මෙවර පැවැති උසස් පෙළ විභාගය අදින් අවසන් වනවා.

පසුගිය ඔක්තෝබර් මස 12 වනදා උසස් පෙළ විභාගය ආරම්භ වූ අතර එය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්වීමටයි පියවර ගැනුණේ.

මෙවර විභාගයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ සිසුන් 29 දෙනෙකු අයි.ඩී.එච්.රෝහලේ පැවති විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන් අතර නිරෝධායන ක්‍රියාවලියට ලක්වූ සිසුන් 568 දෙනෙකු ද ඔවුන්ට වෙන් වූ විශේෂ මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටියා.

විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අදියර කිහිපයක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය නිරේදේශ සම්පූර්ණ කර ඇති ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්යල කපිල පෙරේරා සඳහන් කළේල පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් එම වාර්තා ලබා ගන්නා බවයි ඒ අනුව සාමාන්‍ය පෙළ එක් එක් විෂයන්ට අදාළව දැනට සම්පූර්ණ කර ඇති විෂය කරුණු හා තවදුරටත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාමාලෝචනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කරනු ලැබුවේ ලබන ජනවාරි මස 17 වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ෴

***************************************

(06.11.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ගම්වදින වනසතුන් නිසා වගාබිම්වලටත් ජන ජීවිතයටත් සිදුවන හානි පිළිබඳ අප විවිධ අවස්ථාවලදී වාර්තා කර තිබෙනවා.

ගම්වැදුණු රිලවුන්ගෙන් පීඩා විඳින ගම්වැසියන් පිරිසක් පිළිබඳ මේ පුවත වාර්තා වුණේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

රිලචුන් රංචු පිටින් ගම්වැදීම හේතුවෙන් මහනුවර තුන්පනේ ප්‍රාදේශීය සභාවට අයත් හතරලියද්ද, පල්ලේපොල, වැලිකන්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

වගා හානියෙන් නොනවතින මෙම රිලවුන් අවට ජීවත් වන කුඩා පක්ෂීන් වැනි සතුන් ද සිය ග්‍රහණයට ගන්නා බවයි ගම්වැසියන් පවසන්නේ.

ගම්වැසියන් පවසන්නේ වනසතුන්ට අවශ්‍ය ආහාර සහ ජලය නොමැතිවීමට ප්‍රධාන හේතුව හතරලියද්ද – වැලිකන්ද රක්ෂිතයේ අක්කර දහස් ගණනක ආගන්තුක ශාක තිබීම බවයි.

ගම්වැසියන් මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර තිබෙනවා.

***************************************

(06.11.2020 – 14:32 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධනය යනු රටක් දියුණුව කරා ගෙන යාමට ඉවහල් වන ප්‍රධාන සාධකයක්.

මෙරට මාර්ග පද්ධතියට නව අධිවේගී මාර්ග පවා එක්වෙමින් තිබෙන යුගයක බලධාරීන්ගේ ඇස නොගැටුණු අබලන් මාර්ගයක් පිළිබඳවයි අද (06) ‘රතු මිනිත්තුව’.

මේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුගම ග්‍රාම නිලධාරී වසමට අයත් මොරහෙල – වැල්ලවාය මාර්ගයයි.

වසර 50 කට ආසන්න කාලයක සිට කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවීමෙන් මෙම මාර්ගය භාවිත කරන ගම්වැසියන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මොරහෙල, හතේ කණුව, මැදවෙල, කොස්ගහවෙල සහ වැලිආර යන ගම්මාන 5 ක ජනතාවට වැල්ලවාය නගරයට පැමිණීමට ඇති එකම මාර්ගය ද මෙයයි.

මෙම ගම්මානවල ජීවත් වන පවුල් 200 කට අයත් පුද්ගලයින්ට නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීමෙන් අත්ව ඇති ඉරණමයි මේ.

අපහසුතා මධ්‍යයේ වුව ද ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සපුරාලීමට මෙම මාර්ගයේ බස් රථ ද ධාවන වනවා.

දශක ගණනාවක් පුරා බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු සාධාරණයක් තමන්ට සිදු නොවූ බව ගම්වැසියන් චෝදනා කරනවා.

ගම්වැසියන්ගේ එකම ඉල්ලීම වන්නේ සිය දෛනික ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සඳහා මෙම මාර්ගය පිළිසකර කරන ලෙසයි.

මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(06.11.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇතැම් ස්ථානවලට ඉදිරි දිනවලදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඊයේ (05) පස්වරුවේ ඇහැළුණු අධික වැසි හමුවේ නගර කිහිපයක් ජලයෙන් යට වුණා.

නාවලපිටිය ප්‍රදේශයට ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස්නැවතුම්පොළේ සිට ශ්‍රීපාද පිරිවෙන දක්වා මාර්ගය පැය 2 කට ආසන්න කාලයක් ජලයෙන් යටව පැවතුණා.

මේ අතර නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ මඩගාල ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට ඊයේ (05) පස්වරුවේ බාධා පැමිණියා.

ඊයේ (05) පස්වරුවේ මහනුවර නගරයට ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබූ අයුරුයි මේ.

මේ අතර කොළඹ නගරයට අඳහැළුණු වර්ෂාව හේතුවෙන් පිලියන්ද ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

***************************************

(06.11.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරසය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට සංචරණ සීමා අවසන් කරන දිනය දක්වා කාලය අතහැර, වරදකල දිනයේ සිට දින ගණනය කර දඩ පත් ගෙවීමට මෙම අතිරේක කාලය ලබාදෙන බවයි.

එම නිවේදනය පහතින් :

***************************************

(06.11.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 2 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් සමඟ සැකකරුවෙකු හික්කඩුව – පිංකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි අයෙක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *