රාජ්‍ය ආයතනවලට NGO සහ තානාපති කාර්යාල සමග ගිවිසුම් අත්සන් කිරීම තහනම් කරයි

රාජ්‍ය ආයතනවලට NGO සහ තානාපති කාර්යාල සමග ගිවිසුම් අත්සන් කිරීම තහනම් කරයි

සහල් අර්බුදය උග්‍ර වූයේ හිතුවක්කාර පාලන මිල නිසයි

කොවිඩ් පරීක්ෂණවල අක්‍රමිකතාවක් සිදු වුණා ද?

පාන් කෑවම වෙන දේ දන්නවාද ???

*********************************************

රාජ්‍ය ආයතනවලට NGO සහ තානාපති කාර්යාල සමග ගිවිසුම් අත්සන් කිරීම තහනම් කරයි

(06.11.2020 – 13:31 +0530 – lankaleadnews.com)

රජයේ ආයතනවලට විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග කිසිදු ගිවිසුමක් අත්සන් කිරීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තහනම් කර ඇත.

ජනපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ කිසිදු අධ්‍යයනකින් තොරව රාජ්‍ය සහ පළාත් පාලන ආයතන එවැනි ගිවිසුම්වලට යොමු වීම හේතුවෙනි.

උතුරු පළාත් සභාව පසුගිය සමයේ කැනඩාව සමග එවන් ගිවිසුම්වලට ඇතුළත්ව තිබූ බව රජයට හෙළි වී තිබිණි.

මෙරට කි‍්‍රයාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර තානාපති කාර්යාල ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර මත රාජ්‍ය ආයතන සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇති බවට ද රජයට අනාවරණය වී ඇත ෴

*********************************************

සහල් අර්බුදය උග්‍ර වූයේ හිතුවක්කාර පාලන මිල නිසයි

(06.11.2020 – 10:55 +0530 – lankaleadnews.com)

පවතින සහල් පාලන මිල සහල් මෝල් හිමියන්ට කිලෝවකට රු. 5 කට වඩා පාඩු ඇති කරන ලෙස පනවා තිබීම වී මිල ඉහල යන මාසවලදී සහල් අර්බුදයක් ඇති කිරීමට හේතු වී ඇති බව සහල් මිලදීගන්නෙකු වන කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා ජනපතිගේ අවධානයට ක්ෂණික වීඩියෝවක් යොමුකරමින් පවසයි.

සහල් මෝලක් පාඩු නොලබා ක්‍රියාත්මක වීමට නම් සහල් කිලෝවක මිල රු. 97 කට වඩා ඉහලින් තිබිය යුතු යයි පවසන ඔහු කල යුත්තේ රු. 5 කින් සහල් පාලන මිල ඉහල දැමීම යයි පවසයි.

එයින් එක් පුද්ගලයෙකුගේ දිනක වියදම ඉහල යන්නේ රු. 1.40 කින් පමණක් බවත් ප්‍රකාශ කරයි.

ඔහුගේ ගණනය කිරීම පහත පරිදි වේ :

සහල් වෙලදපොලට ගෙන්වා ගැනීමට කළයුත්තේ විකෘති පාලන මිල නිවැරැදි කර රු. 5 කින් ඉහලට එසවීමයි.

රු. 5 ක් මිල වැඩි කලොත් එක් අයෙකුගේ දිනක වියදම වැඩිවීම = රු . 1.40

යෝජිත මිල :

කැකුලු – 98
නාඩු – 100
සම්බා කැකුලු – 105
සම්බා තම්බන ලද – 106
කීරි සම්බා – 110

වී කිලොව රු. 50 වු විට නිශ්පාදන වියදම සරලව.(ආර්ථික සැලසුම් කමිටුවේ නිර්දේශ වලටද අඩුවෙන් ගණනය කල විට)

හාල් කිලෝ 1 කට වී කිලෝ 1.6 = රු. 83
කැකුලු කිලෝවක් නිපදවීමට රු. 9 ; තම්බාපු රු. 10

ප්‍රවාහනය – 2
තොග වට්ටම – 1
සිල්ලර වට්ටම – 2

එකතුව රු. 97

පවතින පාලන මිල :

කැකුලු – 93
තම්බාපු – 96
සම්බා – 98

පොඩි මෝල් දුවන්නෙ කුඩු ලාබෙන්.

[ලොකු මෝල් කීරි සම්බා ලාබෙන්.(රු 120)]

අරුණ කාන්ත බණ්ඩාර

+++++++++++++++

ඇමති බන්දුල තදින් සිටියි – ‘කරන්න බැරිනම් වහන්න – වැඩි මිලට වී ගත්තනම් පාඩුව විදගන්න’ – වීමෝල් හිමියන්ට තර්ජනාගුලියක්

(06.11.2020 – 18:18 +0530 – lankaleadnews.com)

අද (06) දින පොළොන්නරුවේදී වී මෝල් හිමියන් පිරිසක් මුණ ගැසුණු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකොට ඇත්තේ තමා විසින් පැන වූ පාලන මිල වෙනස් නොකරන බවය.

ගොවියාට වැඩි මිලක් ගෙවා ඇති බැවින් එම මිලට කෙසේවත් සහල් ලබා දිය නොහැකි බවට මෝල් හිමියන් ඉදිරිපත් කළ දුක් ගැනවිලි පිළිබඳව අමාත්‍යවරයා සැලකිල්ලක් නොදැක්වූ බවද වාර්තාවේ.

වැඩි මිලට වී ගත්තා නම් පාඩුව විඳ ගත යුතු බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද වාර්තාවේ.

ඒ අනුව බොහෝ මෝල් හිමියන් වෙළඳපොලට සහල් නිකුත් කිරීම අත්හිටුවීමට සහ මෝල් වසා දැමීමට තීරණය කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ.

මෝල් හිමියන්ගේ මතය අනුව සාමාන්‍ය මිලට හෙවත් රු. 50 ට වී මිලදී ගත්තත් බන්දුල ඇමතිවරයා කියන මිලට සහල් ලබා දීමට කිසිසේත්ම කළ නොහැක.

ඒ අනුව ජනාධිපතිතුමා මැදිහත්වී සාධාරණ පාලන මිලක් පනවා සහල් කර්මාන්තය සහ වී ගොවිතැන බේරා ගැනීමට කටයුතු කළ යුතු බවට මෝල් හිමියෝ ඉල්ලා සිටිති ෴

*********************************************

කොවිඩ් පරීක්ෂණවල අක්‍රමිකතාවක් සිදු වුණා ද?

(06.11.2020 – 17:23 +0530 – lankaleadnews.com)

මෙරට කොවිඩ් මර්දනය මුල් වටයේදී අතිශය සාර්ථක ලෙස සිදු වූ බව පිළිගත හැකි ය. ඒ අනුව ඉතා ඉක්මනින් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඔස්සේ ප්‍රථම රැල්ල අභිබවා සාමාන්‍ය ජනජීවිතය කෙටි කාලයකින් ස්ථාපිත කිරීමට හැකි වූ බව දනිමු. එය කොපමණ සාර්ථක වූවා ද යත්, දෙවැනි රැල්ල ආරම්භ වෙමින් තිබුණු අවස්ථාව වන විට, රට තිබුණේ සාමාන්‍යකරණය වීමේ උපරිමයට ළඟාවෙමිනි.

කෙසේ වෙතත්, එකී සියලු සාර්ථක ප්‍රතිඵල අනපේක්ෂිත ලෙස පරාජය කරමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිත ව පැන නැඟුණු දෙවැනි කොවිඩ් රැල්ල, ක්ෂණයකින් රටපුරා පැතිරුණි. එය මර්දනය කර ගැනීම අපහසු වූයේ දෙවැනි රැල්ල ආරම්භ වන විටත්, එය සෑහෙන ප්‍රදේශ ගණනකට සහ පුද්ගලයන් සංඛ්‍යාවකට පැතිරී තිබුණු නිසා ය.

මෙහි සුවිශේෂත්වය වන්නේ මුල් රැල්ලට එරෙහි ව විධිමත් ලෙස කටයුතු කළ සෞඛ්‍ය අංශය, දෙවැනි රැල්ල හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්, එයට නිදහසේ පැතිරෙන්නට අවකාශ සලසා දුන් බවක් පොදු ජනතාවට ඒත්තු යන්නට වූ නිසා ය. මේ පිළිබඳව බොහෝ මැසිවිලි නැඟුණු අතර, සෞඛ්‍ය අංශයේ වගකිය යුතු කිසිවෙකු ඊට නිසි ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට නො තිබුණි. සැබැවින් ම දෙවැනි රැල්ල පිළිබඳ ව සමාජය තුළ ප්‍රචලිත වුණු අසතුටුදායක පුවත්වලට එරෙහි ව යම් ක්‍රියාකාරී බවක් ලැබුණේ කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා වැන්නන් දෛනික ව මාධ්‍යයේ පෙනී සිටිමින් සිදුකළ සක්‍රිය මැදිහත්වීම නිසා ය. ඒ අතරේ සොඛ්‍ය අංශයේ බහුතරය අතිශය දුෂ්කර ලෙස කටයුතු කරමින්, දෙවැනි රැල්ලට එරෙහි ව සේවා සපයනු දැකිය හැකි විණි.

දෙවැනි රැල්ල ආරම්භක සමයේ ආණ්ඩුව ද, රජය ද නිහඬ ව සිටි බව යථාර්ථයකි. ඒ පිළිබඳ ව සමාජ මාධ්‍යවල බොහෝ ප්‍රතිචාර සටහන් කර තිබිණි. එහෙත් දෛනික ව ආසාදිතයන් ගණන සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, පෑලියගොඩ මාලු වෙළෙඳසල කේන්ද්‍ර කර ගනිමින් ඇතිවුණු ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, දෙවැනි රැල්ල භයානක ලෙස රටපුරා පැතීරී ගියේ, කිසිවෙකුට ඊට එරෙහි ව කිසිවක් කරකියා ගත නො හැකි අවස්ථා නිර්මාණය කරමිනි.

ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් තිබිණි.

දෛනික PCR පරීක්ෂණ ක්‍රමයෙන් ඉහළ යමින් තිබිණි. එහෙත් නිසි පියවර ගන්නා බවක් තවදුරටත් නො පෙනිණි.

මේ අතරේ රෝහල් සංඛ්‍යාව සහ නිරෝධායන මධ්‍යස්ථාන වර්ධනය කර ගැනීම, කඩිනමින් සිදු වී තිබෙන බව ද පිළිගත හැකි ය. එහෙත් කේන්ද්‍රීය ගැටලුව හෙවත් ආසාදිතයන් පිළිබඳ පරීක්ෂණ කෙරෙහි ලබා දිය යුතු අවධානයේ මඳකමක් දිගින් දිගට ම ප්‍රකට විණි. එය කොපමණ ද යත් ‘ආණ්ඩුව මේ සැරේ වැඩේ අතෑරලා’ වැනි අදහස් සමාජයේ සෑම තැනක ම ප්‍රචලිත වෙමින් තිබිණි.

මේ පිළිබඳ ව පැවසීමට අතීත කතා දෙකක් තිබේ.

කොවිඩ් ප්‍රථම රැල්ල අවස්ථාවේ වැඩි දියුණු කරන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටලයක් මෙරටට ගෙන්වීමේ කටයුත්තකට මගේ මිත්‍රයෙක් මුල පුරමින් සිටියේ ය. එය ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු විසින් එංගලන්තයේදී වැඩි දියුණු කරන ලද්දකි. ඒ පිළිබඳ තොරතුරු මා හට දැන්වුණු අතර මම එය සෞඛ්‍ය බලධාරීන්ට දන්වා සම්මුඛ සාකච්ඡාවක් ලබා ගතිමි. එකී සාකච්ඡාවට එවකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීහු කිහිප දෙනෙක් සහභාගි වූ හ. එකී පරීක්ෂණ කට්ටලයෙන් විනාඩි 15 ක් වැනි කෙටි කාලයකින් සෘජු ව කොවිඩ් ආසාදනය පිළිබඳ තොරතුරු සහතික කළ හැකි ය. එය වැඩි මිළක් නැත. එකී සාකච්ඡාවෙන් පසු අදාළ පරීක්ෂණ කට්ටලයට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, සෞඛ්‍ය අංශයේ දැඩි උනන්දුවක් ඇති වී තිබිණි. ඒ අනුව නැවත නැවත තොරතුරු විමසමින් ඔවුහු මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට යන බවක් පෙන්වූ හ. එහෙත් ක්‍රමයෙන් පළමු කොවිඩ් රැල්ල මර්දනය වන විට එකී කටයුතු සියල්ල අඩපණ වී අවසානයේ කිසිදු පියවරක් නො ගැනෙන තැනට වැඩ සිද්ධ වූ බවක් පෙනිණි. ඒ අනුව මගේ හිතවතා ඇතුළු අපි ද අකර්මන්‍ය වූයෙමු.

දෙවැනි කතාව ආයුර්වේද වෛද්‍ය විශේෂඥයෙකු සම්බන්ධ ව ය. එතුමා ද මාගේ හිතවතෙකි. වරක් ඔහු මා සමඟ පවසා සිටියේ කොවිඩ් වසංගතයට එරෙහි ව විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය ක්ෂණික ව වර්ධනය කළ හැකි දේශීය ඖෂධ සංයෝගයක් පිළිබඳ සාර්ථක පරීක්ෂණයක් සිදුකර තිබෙන බව ය. මේ පිළිබඳ එක් සාර්ථක අත්හදා බැලීමක් ලෙස අමෙරිකාවේ සිටි අසාධ්‍ය කොවිඩ් රෝගියෙකුට මේ ඖෂධය ලබා දී සුව වි තිබේ. එකී සාක්ෂි ඔහු සතු ය.

ඒ අනුව මම ඔහු සමඟ මුලින් ම රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු මුණ ගැසුණෙමි. දෙවැනි ව පෞද්ගලික ප්‍රසිද්ධ දේශීය ඖෂධ පිළිබඳ ව කටයුතු කරන මගේ හිතවත් සමාගමක ප්‍රධානීන් මුණගැසුණෙමි. ඒ අවස්ථාවල තාක්ෂණික ගැටලු උද්ගත විණි. පසුව රජයේ සෞඛ්‍ය බලධාරින් ගේ අවධානය ඔස්සේ SPMC ආයතනය ලවා සාම්පල නිෂ්පාදනයක් සකස් කර ගත්තෙමු.

සියල්ල අවසානයේ දැන් එකී වෛද්‍යවරයා කොළඹින් බැහැර ප්‍රදේශයකට අහේතුක ව මාරු කර යවා තිබේ. අදාළ වැඩ කටයුතු ද දැන් ඇණහිට ගොසිනි.

දෙවැනි රැල්ල ආරම්භ වූයේ මේ අතරවාරයේ ය.

මා සෞඛ්‍ය විශේෂඥයෙකු නො වෙතත්, මා ගේ වැටහෙන නුවණට තේරෙන දේ නම්, යම් හෙයකින් ඉහත අප විසින් මුලින් පෙන්වා දෙන ලද ආකාරයේ පරීක්ෂණ කට්ටලයක් අප රට තුළ භාවිතයට ගැනෙමින් තිබුණා නම්, බ්‍රැන්ඩික්ස් රැල්ල ඉතා පහසුවෙන් මර්දනය කර ගැනීමට හැකියාව තිබුණු බව ය.

නමුත් සිදුවූයේ වෙනත් දෙයකි.

බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූ ආකාරය අදටත් අපභ්‍රංෂයකි. වරක් එය යුක්රේන ගුවන් සේවයක් සහ මෙරට හෝටලයක් පදනම් කර ගනිමින් ව්‍යාප්ත වූ බවක් ප්‍රකාශ කෙරිණි. එහෙත් නීතිපතිවරයා ගේ නියෝගයෙන් කැඳවන ලද පරීක්ෂණය මේ වන තුරුත් සිදුකර නොමැත. ඊට බාධා තිබෙන බව පරීක්ෂක කණ්ඩායම් පවසති. දැන් ඇති වන ගැටලුව වන්නේ, නීතිපතිවරයා ගේ පරීක්ෂණයට බාධා එල්ල වන්නේ නම්, යුක්රේන සිදුවීම අසත්‍යයක් ද යන්න ය. මේවා විසඳෙන ලකුණක් නැත.

කෙසේ වෙතත් මේ අතර දෛනික PCR පරීක්ෂණ පිළිබඳ ව බොහෝ ගැටලු ඉස්මතු විණි.

• ඇතැම් බලධාරින් විසින් පෞද්ගලික රෝහල් වෙත අදාළ පරීක්ෂණ භාර දෙන ලද බවක් ප්‍රසිද්ධ විණි.

• වසංගත රෝග සම්බන්ධ සෞඛ්‍ය බලධාරියෙකු ගේ සහෝදරයෙකු PCR පරීක්ෂණයට අදාළ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමේ ඒජන්සිය ලබාගෙන ඇතැයි තවත් පුවතක් ප්‍රචලිත වෙමින් තිබිණි.

• PCR කට්ටලකින් යම්කිසි මුදලක් සෞඛ්‍ය බලධාරින්ට හිමිවන ආකාරයේ තොරතුරක් ද පැතිරුණි.

• IDH රෝහලේ PCR පරීක්ෂණ කට්ටල 15,000 ක් යල්පැන ගිය කතාවක් තිබිණි.

• කටුනායක ගුවන් තොටුපළේ තවත් PCR කට්ටල 15,000 ක් හිර වී ඇති බවට පුවතක් පළවිණි.

• IDH රෝහලේ ප්‍රධාන PCR යන්ත්‍රය අකර්මන්‍ය වූ බව දැන්විණි.

• කොළඹ ජාතික රෝහලට එවන ලද PCR යන්ත්‍රය එක් විශේෂඥ වෛද්‍යවරියක විසින් ප්‍රතික්ෂේප කරන ලද බවක් කියැවිණි. පසුව එය ජ’පුර විශ්වවිද්‍යාලයට ගෙනගොස් තිබිණි.

මෙවැනි බියකරු තොරතුරු පැතිර යන අතරවාරයේ PCR පරීක්ෂණ දස දහස් ගණනක් දින ගණන් ගොඩගැසෙනු දක්නට ලැබිණි. ඒ අනුව PCR පරීක්ෂණ දෛනික ව ප්‍රමාද විණි. අදාළ තොරතුරු real time තත්ත්වයෙන් බැහැර විණි. අද ලැබෙන තොරතුරු සතියකට පෙර ඒවා බව පත්විණි. දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් තිබිණි.

මේ අතර ‘තවමත් කොවිඩ් වසංගතය සමාජගත වී නැති’ බව වසංගත රෝග විද්‍යා අංශය විසින් පැයෙන් පැයට දන්වා සිටින ලදී.

PCR පරීක්ෂණ ප්‍රමාදයට එරෙහි ව කිසියම් යහපත් ප්‍රවණතාවක් දිස්වන්නට වූයේ දෙවැනි රැල්ල ඇති වී මාසයක් පමණ ගත වූ පසු ව ය. වෙනෙකක් තබා වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂඥ වෛද්‍යවරයා ගේ නික්ම යෑමෙන් පුරප්පාඩු වී තිබුණු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට නව පුද්ගලයෙකු පත් කෙරුණේ ද මේඅතරය.

ඒ වන විට කොවිඩ් ආසාදනය කිලිනොච්චිය දක්වා පැතිරී දිස්ත්‍රික්ක 25 ම ගොදුරු වී තිබිණි.

සැබැවින් ම සිදුවිය යුතු සියල්ල සිදු වී තිබිණි.

අද සමාජය මුහුණ දී තිබෙන තත්ත්වය කවර තත්ත්වයක් යටතේ වුව සුබදායක නැත. දැන් කොවිඩ් 19 වෛරසය සමාජගත වී හමාර ය.

අප ගේ ප්‍රශ්නය වන්නේ රට මෙපමණ තැනකට වැටෙන තුරු, පරීක්ෂණ කටයුතු නියමාකාරයෙන් සිදුකර ගැනීමට අවශ්‍ය තින්දු තීරණ ප්‍රමාද වූයේ ඇයි ද? යන්න ය. ඒවා අවභාවිත වන ආකාරයක් පෙනෙන්නට තිබුණේ ඇයි? යන්න ය.

සාමාන්‍යයෙන් එක් PCR පරීක්ෂණයක් රු. 5000 – 7500 ක් පමණ වන බව ප්‍රකට ය. දැන් Ag-T (Antigen Test) පරීක්ෂණ ආරම්භ කර තිබේ. එකී එක් පරීක්ෂණයකට වැය වන මුදල රු.1200 – 1500 ක් පමණ ය.

අප දන්නා තරමින් PCR පරීක්ෂණයට දිනක්, දෙකක් පමණ ගත වේ. Ag-T පරීක්ෂණයට ගත වන කාලය විනාඩි 15 කි.

මේ වන විට Ag-T පරීක්ෂණ කට්ටල මිලියනයක් ආනයනය කිරීමට කටයුතු කර තිබේ. මුලින් ලැබෙන මිලියනය වෙළෙඳ කලාපවලට වෙන්කර තිබේ. ඒ අනුව තවත් Ag-T පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් ආනයනය කෙරෙන බව සක් සුදක් සේ පැහැදිලි ය. ඒවා කොපමණ කාලයක් ගතවන තෙක් සිදුවන්නේ දැයි නො දනිමු.

දැන්, සාමාන්‍ය ජනතාව වන අපට ගැටලු කිහිපයක් පැන නඟී.

• Ag-T පරීක්ෂණ කට්ටල මිලියන ගණන ආනයනය කිරීමට තීරණය කරන ලද්දේ කවර කාලයක ද? මෑතකදී ද? එසේ නම් මිලියන ගණනක් අවශ්‍ය වන තෙක් මේවා ආනයනය නො කළේ ඇයි?

• Ag-T පරීක්ෂණ කට්ටල මිලියන ගණන ආනයනය කිරීමට තීරණය කරන ලද්දේ මීට කලකට ඉහතදී නම්, ඒවා මිලියන ගණනක් අවශ්‍ය වන බව දුර සිට වැටහෙන දුර දක්නා නුවණ කාගේ ද?

• මුලින් Ag-T කට්ටල ආනයනය නො කෙරුණේ ඇයි?

• සාමාන්‍ය ආසාදිතයන් ගණනක් සිටිද්දී වැඩි මුදලක් සහිත PCR පරීක්ෂණ කට්ටලත්, වැඩි ආසාදිතයන් ගණනක් සිටිද්දී අඩු මුදලක් සහිත Ag-T පරීක්ෂණ කට්ටලත් ආදි වශයෙන් ‘වියදම් සම කර ගැනීමේ‘ විශේෂඥ ගණිත දැනුම කාගේ ද?

• රජයේ ඖෂධ පාලන අධිකාරිය (NMRA) කොවිඩ් පරීක්ෂණ කට්ටල ආනයනය කිරිමේදී අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය යන රටවලින් පමණක් ඒවා ආනයනය කළ යුතු බවට නිර්ණායකයක් ඉදිරිපත් කර තිබේ. මේ කාගේ තීරණ ද? මේවා පිටුපස ඖෂධ ජාවාරම්කරුවෝ සිටිත් ද?

ඇතැම් පුවත්පත් සහ ජනමාධ්‍ය ද වරින් වරි මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) පවා විවිධ ඉඟි ලබා දී තිබේ.

එහෙත් ගැටලු එසේ ම ය.

(මේවා කිසිවකු ඉලක්ක කර එල්ල කෙරෙන මඩ නො වේ. රටේ යහපත පිළිබඳ ව උනන්දු වන අප වැනි පෘතග්ජනයන් ගේ ඔලුවලට වද දෙන දෛනික ප්‍රශ්න පමණි. ඇතැම් පුද්ගල නාම සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම් තහවුරු කිරිමට විනා ඔවුන් චූදිතයන් කිරීමට නො වන බව ද කරුණාවෙන් සලකන්න. එවැනි තොරුතුරු අප සතු ව නොමැති අතර, එවැනි අරමුණක් ද අපට නැත. අනෙක, ඔවුන් මේවාට වගකිය යුතුයැයි ද නො කියමු. අප මේ ගැටලු ඉස්මතු කර තිබෙන්නේ අදාළ සමස්ත පරීක්ෂණ ක්‍රියාවලි පිළිබඳ අපැහැදිලිතාවක් තිබෙන නිසා පමණි.)

Kumara Liyanage

+++++++++++++++++++

ගෙදරත් දවස් 14 ක් නිරෝධායනයට.. සමාජයට යන්න බෑ – බණ්ඩාරවෙල සිට ශලනි තාරකා ඇතුළු පිරිස ගෙදර යැවූ අයුරු

(06.11.2020 – 12:18 +0530 – truenews.lk)

බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කල ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6 කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය නිලධාරී රන්ජිත් දිසානායක මහතා පවසනවා.

මේ පිළිබඳ අප බණ්ඩරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෛද්‍ය ලක්නාත් වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ද මේ බව තහවුරු කර තිබෙනවා.

පසුගිය 4 වැනිදා පැවැති කොවිඩ් 19 නිවාරණය පිළිබද පළාත් කමිටු රැස්වීමේදී මෙම කණ්ඩායමේ ගැටලුව සාකච්ඡාවට ගෙන ඇති අතර මෙහිදී එම කණ්ඩායමට ‘තෝරාගැනීම්’ (options) 3 ක් ලබා දීමට තීරණයකට එළබ තිබුණා.

එම තෝරාගැනීම් පිළිබද අප කළ විමසීමේදී වෛද්‍ය ලක්නාත් මහතා කියා සිටියේ එම තොරාගැනීම් තුන (3) ඔවුන්ට ඉදිරිපත් කළ විට ඔවුන් එහි පළමු තොරාගැනීම ලබා ගත් බවයි. එම තොරාගැනීම් 3 මෙසේයි :

  1. ඔවුනට බණ්ඩරවෙලට පැමිණි වාහනයෙන්ම නැවත්ත තමන් පදිංචි නිවෙස් කරා යා හැක. නමුත් වාහනය අතරමග කිසිඳු තැනක නවතා සමාජය අතරට යා නොහැක. අනතුරුව ඔවුන් තමතමන්ගේ නිවෙස්වල දින 14 ක කාලයක් නිරෝධායනය විය යුතු අතර. මේ වන විට ලබා ගෙන ඇති ඔවුන්ගේ PCR පරීක්ෂණ වර්තා ඒ ඒ අයවලුන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කරනු ලැබේ.
  2. දින 14 ක කාලයක් බණ්ඩාරවෙල නිරෝධායනය කර ඇති ස්ථානයේම නිරෝධායනය වී පසුව රූගත කිරීමේ කාර්යය කරගත හැක.
  3. දැන්ට නිරෝධායනය වෙමින් සිටින හෝටලයේම නැවතී සිටිමින් තමන් පැමිණි වාහනයේම රූගත කිරීම් සඳහා පිටත්ව ගොස් කිසිදු ආකාරයකින් සමාජය හා මිශ්‍ර නොවී රූගත කිරීම් සිදු කොට නැවතත් ඒ වාහනයෙන්ම හෝටලයට පැමිණ සිටිය යුතුය. (බයෝ සෙල් ක්‍රමවේදය)

මෙහිදී වෛද්‍ය ලක්නාත් වීරසේකර මහතා දෙවැනි තොරාගැනීම තමනගේ සිතැඟි පරිදි වඩාත් සුදුසු තොරාගැනීම ලෙස ටෙලි නාට්‍ය ශිල්පීන්ට යොජනා කර ඇති නමුත් ශිල්පීන් පිරිස පළමු තොරාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අවස්තාවේදී තම තමන්ගේ නිවෙස් කරා ගොස් නිරෝධායනය වී කොරෝනා තත්ත්වය සමනය වූ පසු තමන් යළිත් රූගත කිරීම් සඳහා පැමිණෙන බව මෙහිදී ඔවුන් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බදුල්ල පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මිය සඳහාන් කළේ මෙවැනි ඒකල සිදූවීම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය MOH සතු බවයි ෴

++++++++++++++++++++++

නිරෝධයනයේ සිටි පුද්ගලයා ‘මහ මග’ මරණයට පත්වෙලා !

(06.11.2020 – 11:31 +0530 – truenews.lk)

පුත්තලම ආනන්ද ජාතික පාසැල අසළ මාර්ගයේ දී නිරෝධායනයට ලක්ව සිටි අයෙකු මරණයට පත්ව සිටිනවා.

හෙට්ටිපොල හෝටලයක සේවය කළ මොහු කොරෝනා රෝගියෙක් හෝටලයට පැමිණීම නිසා එහිදීම නිරෝධායනය කරනු ලැබුවා.

පසුව නිරෝධායනය අවසන් කර ඉතිරි දින 14 නිවසේ නිරෝධායනයට යොමු කළ යුතු වූ ඔහු මාර්ගයේ මියගොස් සිටියා.

එවන් පුද්ගලයන් පොලිසියට බාර දී නිවසට ගෙනවිත් නිරෝධායනය කරවිය යුතු වුවද මෙලෙස තනිවම මාර්ගයේ මරණයට පත්වුයේ කෙසේද යන්න මෙතෙක් වාර්තා නොවන බවයි මාධ්‍යවේදී ජූඩ් සමන්ත මහතා TRUENEWS.LK වෙත සඳහන් කළේ.

‘8 C, කුරුණෑගල පාර, පුත්තලම’ ලිපිනයේ පදිංචි 55 හැවිරිදි ඔහු ධර්මලිංගම් වසන්දන් නම් වනවා.

*********************************************

පාන් කෑවම වෙන දේ දන්නවාද ???

(06.11.2020 – 19:15 +0530 – lankaleadnews.com)

අද අපේ මිනිසුන්ගේ ජනප්‍රියතම ආහාරය බවට පත් වී තිබෙන්නේ පාන්ය. මැතිවරණ වේදිකාවලදී පාන් ගෙඩිය තීරණාත්මක සාධකයක් බවට පත් වන්නේ එම නිසාය. පාන්වලට එම තත්ත්වය හිමි වී තිබෙන්නේ එහි ඇති පෝෂණ ගුණය නිසා නොවේ. පාන්, පහසුවෙන් ලබාගත හැකි සහ පහසුවෙන් ක්ෂණිකව සකසාගත හැකි ආහාරයක් වන නිසා ය.

පාන් සාදා ගන්නේ තිරිඟු පිටි වලිනි. තිරිඟු පිටි සකස් කරගන්නේ තිරුඟු ධාන්‍යයෙනි. තිරිඟු ශක්තිජනක ආහාරයකි. විටමින් බී වර්ග සහ අයන වර්ග තිරිඟුවල අඩංගුය. විශේෂයෙන් තයමින්, රයිබොෆ්ලේවින්, නියැසින් වැනි ‍පෝෂක සංඝටක අඩංගුය.

තිරුඟු ඇටයක කොටස් 2 ක් පවතී. එනම් පිටත පොත්ත සහ ඇතුළත එන්ඩොස්පර්මය යනුවෙනි. තිරිඟු කෙටීමේදී පිටත පොත්ත සහ ඇලියුරොන් ලේයරයේ කොටසක් ඉවත් වේ. නිස්සාරණය ලෙස හැඳින්වෙන්නේ එයයි. එම ඇලියුරොන් ලේයරයේ ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂණ සංඝටක විශාල ප්‍රමාණයක් අඩංගුය.

එබැවින් තිරිඟු ඇට නිස්සාරණයේදී විශාල පෝෂණ සංඝටක ප්‍රමාණයක් ඉවත් වී යයි. පාන් පිටි සකස් කිරීමේදී ලැබෙන පිටි පෝෂණ ගුණයෙන් හීන වන්නේ එම නිසාය. අප ආහාරයට ගන්නා පාන් පිටි සියයට 70 ක් නිස්සාරණය කරන ලද පිටිය. පාන් පිටි ගුණයෙන් අඩු වන අතර විවිධ සංකූලතා ඇති කරයි.

තිරිඟුවල අඩංගු ග්ලූටන් ප්‍රෝටීනය ශරීරයට අහිතකරය. විවිධ රෝග ඇති කරන බව විවිධ පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. දිගු කාලයක් පුරා පාන් ආහාරයට ගන්නා අය බෝනොවන රෝගවලට ගොදුරු වී ඇති බව සොයාගෙන ඇත.

තිරිඟු ඇට සම්පූර්ණයෙන්ම පිටි බවට පත් වන්නේ නම් සම්පූර්ණ පෝෂණ ගුණය ලැබේ. ආටා පිටි යනුවෙන් හැඳින්වෙන්නේ තිරිඟු ඇට සම්පූර්ණයෙන්ම පිටි බවට පත් කර ලබාගන්නා පිටිය.

මෙහිදී පිටත පොත්ත, ඇලියුරොන් ස්තරය ඇතුළු සියලුම පෝෂණ කොටස් ආටා පිටිවලට එකතු වේ. තිරිඟු ඇට සියයට 70-80 ක් සියයට 90 ක් ලෙස නිස්සාරණය වන අතර වැඩිපුර නිස්සාරණය වූ තරමට වැඩි පෝෂණ සංඝටක ප්‍රමාණයක් ඉවත් වෙයි. ආටා පිටි ඉන්දියාවේ වැඩි වශයෙන් පරිභෝජනය කළත් ශ්‍රී ලංකාවේ එතරම් පරිභෝජනය කෙරෙන්නේ නැත. රුලං යනුවෙන් හැඳින්වෙන්නේ ද තිරිඟුවලින් වෙන් කර ගන්නා කොටසකි.

පාන්වල අඩංගු ග්ලූටන් නිසා ඇලෙන සුලු බවක් ඇති වේ. ආහාරවල ස්පොන්ජ් ගතිය ඇති කරනු ලබන්නේ ග්ලූටන් වලිනි. ග්ලූටන් ධාන්‍ය කුලයේ අනෙකුත් ප්‍රෝටීනවලට සාපේක්ෂව දිරවීමට අපහසු ප්‍රෝටිනයකි. ග්ලූටන් ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටලවල ඇලීම නිසා ශ්ලේෂ්මල ස්‍රාවය වැඩිවේ.

මේ නිසා ආහාර මාර්ගයේ අවහිරතා ඇති වේ. මෙය සාමාන්‍යයෙන් ආහාර මාර්ගයේ මැද කොටස තුළ බහුලය.

මේ නිසා පෝෂණ සංඝටක අවශෝෂණය දුර්වල වේ. පෝෂණ ඌනතා ඇති වේ. ග්ලූටන් නිසා ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

එනම් ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ සිටීමෙන් ආහාර මාර්ගයේ ආහාර ජීර්ණය හොඳින් සිදු වී ශක්තිජනක කොටස් තැන්පත් කිරීම, පරිවහනය කිරීම, ප්‍රතිදේහ සහ ප්‍රතිදේහ පටක ක්‍රියාකාරිත්වය වැඩි කිරීම වැනි කාර්යයන් රැසක් සිදු වේ.

එහෙත් හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ අසමතුලිත වීමෙන් පෝෂණ ඌනතා මෙන්ම රෝගී තත්ත්වයන් ඇති වේ. පාන්වල ඇති ග්ලූටන් ආහාර මාර්ගයේ පී.එච්. අගය අඩු කර ආම්ලිකතාව වැඩි කිරීම නිසා ගැස්ට්‍රයිටිස් ඇතිවේ.

පාන්වල ඇති කාබෝහයිඩ්‍රේට් ඉතා ඉක්මනින් ආහාර මාර්ගය තුළ අවශෝෂණය කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ නිසා ඉන්සියුලින් ස්‍රාවය වීම වේගවත් වේ. මෙය කාල‍යක් මුළුල්ලේ සිදු වන විට අග්න්‍යාශයේ ඉන්සියුලින් ස්‍රාවය දුර්වල වී දියවැඩියාව ඇති‍ වේ.

අද බොහෝ දෙනකු පාන් නිෂ්පාදනයේදී සීනි එකතු කරයි. එය දියවැඩියාව හටගැනීමට හේතු වේ. එහෙත් අනෙකුත් ධාන්‍ය ආහාරයට ගන්නා අයගේ ක‍ාබෝහයිඩ්‍රේට්, ආහාර මාර්ගය තුළ සෙමෙන් සෙමෙන් අවශෝෂණය වීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ නැත.

පාන් පිටි ආහාරයට ගැනීමෙන් ශරීරයේ අහිතර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ. එම නිසා හෘදයාබාධ, අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වේ. ස්ථුලතාව ඇති වේ.

තිරිඟු පිටිවල ඇති ෆයිටික් අම්ලය නිසා ආහාර මාර්ගය තුළ යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම් අවශෝෂණය දුර්වල වේ. ෆයිටික් අම්ල සැම විටම පෝෂණ සංඝටක අවශෝෂණයට බාධා ඇති කරයි. වැඩිපුර පාන් ආහාරයට ගන්නා අයට ලේ හිඟවීම ඇති වන්නේ එබැවිනි.

නිතරම පාන් ආහාරයට ගන්නා අයට බඩේ පිපුම හා බඩ දැවිල්ල ඇති වේ. ඒ පාන්වල ඇති ග්ලුටන් නිසාය. ග්ලුටන් ආහාර මාර්ගයට හානි කිරීමට අමතරව ස්නායු පද්ධතියට ද හානිදායකය. දිගු කාලයක් මුළුල්ලේ පාන් ආහාරයට ගන්නා අයගේ මතක ශක්තිය අඩු වීම, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම ඇති වන්නේ එබැවිනි.

පාන් පිටිවල සුදුපාට වැඩි කිරීම සඳහා යොදා ගන්නා ක්ලෝරීන් ඔක්සයිඩ ශරීරයට කිසි සේත් හිතකර නැත.

සමේ තුවාල ඇති කිරීම, ශ්වසන ආබාධ, තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීම ක්ලෝරීන් නිසා අත් වන අහිතකර ප්‍රතිඵල කීපයකි. ක්ලෝරින් සහ අයඩින් එකම කාණ්ඩයට අයත් වීම නිසා අයන විස්ථාපනය වීමෙන් තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු වීමට හෝ වැඩි වීමට බලපායි.

ඊට අමතරව පාන්වලට එකතු කරන මාගරින් නිසා අසංතෘප්ත මේදය නිපදවීමෙන් විවිධ සංකූලතා හට ගත හැකිය. තිරිඟු පිටිවල ගැටලු ඇති කරන තවත් ප්‍රෝටීන 2 ක් මෑතකදී සොයා ගෙන තිබේ. ඒ wheat Germ Agglutinin සහ Tripsin Inhibitor යනුවෙනි.

මේවා ද ඉහත දැක්වූ පරිදි ආහාර මාර්ගයේ සංකූලතා ඇති කරන බව සොයා ගෙන ඇත. පාන් ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාරයක් බව මේ අනුව පැහැදිලි වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *