ශ්‍රී ලංකාව කොරෝනා අවදානමේ 3 වන අදියරට

ශ්‍රී ලංකාව කොරෝනා අවදානමේ 3 වන අදියරට

ජනපති කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණයට යයි

ඇඳිරි නීතිය ඉවත් කළ පසු අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශන මාලාවක්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි 18 සිට

ලංකාවේ ලක්‍ෂ 20 කට වැඩිය කොරෝනා ආසාදිතයන් ඉන්නවා.. වෛරසය සමාජගත වී අවසන්.. – ප‍්‍රමුඛ පෙලේ සෞඛ්‍ය විද්වතෙක් හෙලි කරයි

කොරෝනා වලින් බේරෙන්න ‘මුදල් හුවමාරුව අඩු කරන්නැයි’ වෛද්‍ය සංගමයෙන් උපදෙස්

*********************************************

ශ්‍රී ලංකාව කොරෝනා අවදානමේ 3 වන අදියරට

(06.11.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය අනුව ශ්‍රී ලංකාව තුන්වන (3) මට්ටමේ සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ මූලික පොකුර ආශ්‍රිතව අනු පොකුරු වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවයි.

කොරෝනා වෛරසය සමඟ තවත් අවුරුදු දෙකක (2) පමණ කාලයක් ජීවත්වීමට සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

කොළඹදී අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ආසාදිතයින් නව දහසේ (9000) සීමාව ඉක්මවා ඇති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයින් 3,763 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අද (06) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ එම පොකුරේ තවත් පුද්ගලයින් 563 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 7,186 ක්.

ශ්‍රී ලංකා රේගුවේ සේවකයින් 08 දෙනෙකුට, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් 11 දෙනෙකුට සහ කොළඹ නැව් තටාකාංගනයේ සේවකයින් 17 කට මේ වනවිට වෛරසය ආසාදනය වී තිබෙනවා.

එසේම, කොළඹ මහ නගර සභා සීමාවෙන්ද මේ වනවිට දෙවන (2) රැල්ලෙන් කොරෝනා ආසාදිතයින් 2,115 දෙනෙකු වාර්තා වනවා.

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 207 දෙනෙකුද ඇතුළුව පොලිසියේ නිලධාරීන් 350 කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එසේම, ආසාදිතයින් වාර්තා වූ වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක තවත් සේවකයින් 51 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති අතර, ඒ අනුව එහි සමස්ත ආසාදිත සේවක සංඛ්‍යාව 106 ක්.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය මධ්‍යයේ පැවැති උසස් පෙළ විභාගය අද (06) අවසන් වූ අතර, මෙවර විභාගයේදී කොරෝනා ආසාදනය වූ සිසුන් 29 දෙනෙකු විභාගයට පෙනී සිටීම විශේෂත්වයක් ෴

කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ තලාතුඔය නගරයේ වෙළඳසැල් හෙට(07) සිට දින 3ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා ෴

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අතර කාන්තා රැඳවියන් 22 ක් සහ පිරිමි රැඳවියෙකු සිටින බව සඳහන් ෴

++++++++++++++++++++

මිනුවන්ගොඩ සහ පැලියගොඩ පොකුරෙන් අද (06) දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 213 වාර්තා වූ අතර, ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින්.

මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් ඊයේ (05) අසාදිතයන් 383 ක් වාර්තාවුණා.

ඒ සියළු දෙනාම වාර්තා වුණේ ආශ්‍රිතයින් ලෙසයි.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9305 ක් ෴

*********************************************

ජනපති කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණයට යයි

(06.11.2020 – 17:48 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වුණා.

කටුවන ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩු නිසා එහි දෛනික කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ මිද්දෙණිය නගරයේ උප කාර්යාලය ගොඩනැගිල්ල තුලයි.

එහි පවතින ගැටලු අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, මිද්දෙණිය ‘රණවිරු උයන’ ළමා ක්‍රීඩාංගනය සහ ශරීර සුවතා මංතීරුව ද එහිදී ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පත් කෙරුණා.

මිද්දෙණිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට සහ රෝහලේ වෛද්‍ය හිගයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසටත්, මිද්දෙණිය මහ විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙසටත් එහිදී ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වන ගුණසමරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල, ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද (06)පැවැත්වුණා.

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

(06.11.2020 – 17:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමටමහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන් අපේක්ෂා කළ පරිදි තම ව්‍යාපාර යථා තත්ත්වයට පත්කර ගැනිමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන බව නිරීක්ෂණය වී ඇති බව මහ බැංකුව පවසනවා.

ඒ හේතුවෙන් ණය ආපසු ගෙවීම සඳහා ණයලාභීන්ට පහසුකම් සැලසීමේ සහ දිරිගැන්වීමේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව, සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය, ලිඛිතව ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව, මාස 9 ක සහන කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් අදාළ බැංකුවට ලිඛිත ඉල්ලීමක් කළ යුතුවනවා ෴

*********************************************

ඇඳිරි නීතිය ඉවත් කළ පසු අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශන මාලාවක්

(06.11.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

නව සාමාන්‍යකරණය යටතේ ලබන සඳුදා (09) සිට බොහෝවිට රටම විවෘත වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, වෛරස ව්‍යාප්තිය තුන්වන (3) මට්ටමේ පැවතීම හේතුවෙන් ලබන සඳුදා (09) නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ පසුව ද ක්ෂේත්‍ර 55 ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති එම මාර්ගෝපදේශ අනුව, අත්‍යාවශ්‍ය සේවා හෝ අවසර ලබාදී ඇති ක්‍රියාකාරකම්වල නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර ලැබෙන්නේ පුද්ගලයින් දෙදෙනෙකුට (2) පමණයි.

නව මාර්ගෝපදේශ අනුව පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබෙනු ඇති.

ගෘහස්ථ හා එලිමහන් උත්සව, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද සහ මහජන රැස්වීම් පැවැත්වීම සඳහා ද තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

පුද්ගල දුරස්ථභාවය, මීටර් 1.5 ක දුරක් පවත්වා ගත හැකි ආකාරයට, සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට අවසර ලබාදී තිබෙනවා.

නමුත්, වරකට රැදී සිටිය හැකි ගණුදෙනුකරුවන් සංඛ්‍යාව ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක ප්‍රමාණයකට සීමා විය යුතු බවටයි දැක්වෙන්නේ.

පොදු ප්‍රවාහනයේදී ආසන ධාරිතාවයෙන් සියයට 75 ක් දක්වා මගීන් ප්‍රවාහනයට අවසර හිමිවනවා.

පෞද්ගලික කුලී රථ සේවා පවත්වාගෙන යාමේදී මෝටර් රථ සහ ත්‍රිරෝද රථවල වරකට ගමන් කළ හැකි වන්නේ මගීන් දෙදෙනෙකුට (2) පමණයි.

රජයේ සහ පෞද්ගලික කාර්යාල අවම කාර්ය මණ්ඩලයකින් පවත්වාගෙන යා යුතු අතර, සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කරන ලෙස නව මාර්ගෝපදේශ වල සඳහන්. මංගල උත්සව අමුත්තන් 50 දෙනෙකුට සීමා විය යුතු අතර අවමංගල්‍ය උත්සව පුද්ගලයින් 25 දෙනෙකුට සීමා විය යුතුයි.

ආගමික ස්ථාන තුල ද වරකට රැදී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව 25 ක් ලෙසටයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, එම ස්ථානවල ජනතාව එක්රැස්වන ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු කළුතර දිස්ත්‍රික්කයේ මතුගම – බදුගම නව ජනපදය එම තත්ත්වයෙන් මුදාහැර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

එසේම, කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමඟ වසා දැමුණු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පසුගියදා තොග වෙළඳුන් සඳහා පමණක් විවෘත කෙරුණු අතර, එහි සිල්ලර වෙළඳාම ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ.

බදුල්ල – කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය අද (06) නැවතත් විවෘත කිරීමත් සමඟ එහි තොග වෙළඳාම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුණා.

එසේම, කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හමුවේ තලාතුඔය නගරයේ වෙළඳසැල් හෙට සිට දින 3 ක් වසා තැබීමට තීරණය කළ බව තලාතුඔය වෙළඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා පැවසුවා.

තැපැල්පති රංජිත් ආරියවංශ මහතා ප්‍රකාශ කළේ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට සංචරණ සීමා අවසන් කරන දිනය දක්වා කාලය අතහැර, වරදකල දිනයේ සිට දින ගණනය කර රථ වාහන දඩ පත් ගෙවීමට සහන කාලයක් ලබාදෙන බවයි.

+++++++++++++++++++

ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ

(06.11.2020 – 23:08 +0530 – sinhala.adaderana.lk)

+++++++++++++++++++

‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල ගෙන්වීමේදී අක්‍රමිකතාවක් ද ?

(06.11.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීමේ ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ හෙවත් ‘ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ’ සිදුකිරීමට අදාළ නිෂ්පාදන තොගයක් නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දිවයිනට ගෙන්වීම ප්‍රශ්නසහගත බව වෛද්‍ය රසායානාගාර වෘත්තියවේදීන් පවසනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

+++++++++++++++++++

(06.11.2020 – 22:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 187 දෙනෙකු වාර්තා වනවා.

එම පිරිස ද පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

ඒ අනුව අද (06) දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යව 400 ක් ෴

+++++++++++++++++++

ශ්‍රී ලංකාවේ 30 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(06.11.2020 – 23:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 30 වන කොරෝනා වයිරස් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් ඇත්තේ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් ෴

(06.11.2020 – 11:33 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30 වැනි කොවිඩ්-19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (05) දින මියගොස් ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++

කොවිඩ් වැළඳුණු මව බිහිකළ නීරෝගී බිළිඳා

(06.11.2020 – 19:23 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරසය වැළඳුනු ගැබිනි මවක් අද (06) නීරෝගී දරු උපතක් සිදුකළ බව වෛද්‍යවරු පවසති.

එහිදී ඇයට සිදුකර තිබූ සිසේරියන් සැත්කම සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ බව නැගෙනහිර කොළඹ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරයි.

මේ අතර මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කළ වෛද්‍යරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ලබන 9 වනදා තෙක් තාවකාලිකව වසා දැමුණි.

අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත.

තවද, රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි පහළොස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.

ඒ අතර එකම පවුලේ සිව්දෙනෙකු (4) ද සිටින අතර සියලුදෙනා පෑලියගොඩ ආශ්‍රිතයන් ය.

එමෙන්ම හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තවත් පුද්ගලයන් 16 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් සියලුදෙනා පෑලියගොඩ ආශ්‍රිතයන් බවය.

++++++++++++++++++

කොවිඩ් වසංගතයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බේරාගැනීමට ක්‍රමවේදයක් සැකසු පාසල් සිසුන්

(06.11.2020 – 18:03 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වසංග තත්ත්වය හේතුවෙන් රෝහල් තුළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මුහුණ පා සිටින අවදානම සැලකිල්ලට ගෙන පාසැල් දරුවන් තිදෙනෙකු විසින් කළ නව නිර්මාණයක් (රොබෝ යන්ත්‍රයක්) අද (06) කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ලබාදී තිබේ.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන ඒ.කේ. මනෝජ් නෙරංජන, ආර්.එම්. අයේෂ් රත්නායක සහ ආර්.එම්. චමාල් රාජපක්ෂ යන සිසුන් තිදෙනා එම නිර්මාණය කර තිබේ. වෛද්‍යවරුන්ට රෝගීන් සමීපයට නොගොස් රෝග ලක්ෂණ පරීක්ෂා කළහැකි පරිදි එම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර ඇත.

ඔවුන් පවසන්නේ රෝගීන් පරීක්ෂා කිරීම, බෙහෙත් ලබාදීම ඇතුළු කාර්යයන් රැසක් එම රොබෝ යන්ත්‍රය හරහා සිදුකරගත හැකි බවය.

කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අදාළ රොබෝ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු රොබෝ යන්ත්‍රය රෝහල් කටයුතු සඳහා එක්කර ගැනීමට කැමැත්ත පළකර ඇත.

එම සිසුන්ට මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වී ඇති අතර ඔවුන් පවසන්නේ අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් දිවයිනේ අනෙකුත් රෝහල් සඳහා ද එවැනි රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට සූදානමින් පසුවන බවය.

*********************************************

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි 18 සිට

(06.11.2020 – 21:23 +0530 – hirunews.lk/sinhala)

දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

මේ අතර, කොවිඩ් වසංගතය මධ්‍ය යේ වුවද රජය පිළිබඳ විශ්වාසය තබා උසස්පෙළ විභාගයට දරුවන් සහභාගී කරවීම සම්බන්ධයෙන් මව්පියන්ට ස්තූතිය පළකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

කොවිඩ් වසංගතයේ දෙවන ව්‍යාප්තියත් සමග රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණදෙමින් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648 කදී සිසුදරුවන් 362,824 ක් වෙනුවෙන් පැවැත්වූ උසස්පෙළ විභාගය අද (06) සාර්ථකව අවසන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, පවතින වාතාවරණය යටතේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් තම අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමග එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා ෴

***************************************

06-11-2020

***************************************

04-11-2020

*********************************************

ලංකාවේ ලක්‍ෂ 20 කට වැඩිය කොරෝනා ආසාදිතයන් ඉන්නවා.. වෛරසය සමාජගත වී අවසන්.. – ප‍්‍රමුඛ පෙලේ සෞඛ්‍ය විද්වතෙක් හෙලි කරයි

(06.11.2020 – 10:01 +0530 – lankacnews.com)

කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයන් ලක්‍ෂ 20 ඉක්මවූ පිරිසක් මෙරට තුල සිටින බව සෞඛ්‍ය ආරක්ෂණ සහ ඖෂධ පිළිබඳව පශ්චාත් උපාධිධාරී ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට දැනට සිදුකරන පරීක්ෂණ වලින් 50% කට එහා ප්‍රමාණයක ප්‍රතිඵල වැරදි බව ද ඔහු කියා සිටියි.

දැනටමත් මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වී අවසන් බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.

*********************************************

කොරෝනා වලින් බේරෙන්න ‘මුදල් හුවමාරුව අඩු කරන්නැයි’ වෛද්‍ය සංගමයෙන් උපදෙස්

(07.11.2020 – 08:00 +0530 – truenews.lk)

නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සදහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිදු කරගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවරයන් වන බවයි.

මුදල් පමණක් නොව භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම ද වැදගත් වන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *