ආනයනය කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු

ආනයනය කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු

*********************************************

ආනයනය කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු

(07.11.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

කඩිමුඩියේ ආනයනය කළ බව පැවසෙන ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ හෙවත් ‘ක්ෂණික ප්‍රතිදේහ ජනන පරීක්ෂණ’ කට්ටලවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති, රවී කුමුදේශ් මහතා මේ බව කියා සිටියේ ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (07) එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළමු පරීක්ෂණය සඳහා කඹුරුපිටිය සහ වැලිකන්ද රෝහල් වෙත යොමුකළ කට්ටල 40 න් නිරවද්‍ය වාර්තා ලැබී ඇත්තේ කට්ටල 6 කින් පමණක් බවයි.

+++++++++++++++++++

(07.11.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර, ලබන සඳුදා (09) සිට මධ්‍යම තැපැල් හුවමාරුව සහ මැනිං වෙළඳපොල කටයුතු ද ආරම්භ කරන බව එහි බලධාරින් ප්‍රකාශ කළා.

+++++++++++++++++

(07.11.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මෙරට තුළ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල රසායනාගාර කටයුතු සඳහා පමණක් දිනකට රුපියල් කෝටි 06 කට වැඩි මුදලක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ පී.සී.ආර්. පරීක්ෂණවල රසායනාගාර කටයුතු සඳහා රුපියල් 6,000 ක් පමණ එක් පුද්ගලයෙකු වෙනුවෙන් වැය වන බවයි.

සාමාන්‍යයෙන් දෛනිකව මෙරට තුළ මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ දසදහස (10,000) ඉක්මවා සිදුකරනවා.

ඊයේ (06) දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ 11,824 ක් සිදුකර ඇති අතර, ඒ අනුව මේ වනවිට දිවයින පුරා සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 5,80,598 ක්.

ඊයේ (06) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 400 දෙනෙකු හඳුනාගත් අතර, ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආශ්‍රිතයින්.

ඊයේ (06) වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 203 ක්.

එම දිස්ත්‍රික්කයේ ජාඇල සහ වත්තල ප්‍රදේශවලින් ආසාදිතයින් 30 බැගින් වාර්තා වුණා. එසේම, ඊයේ (06) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 101 ක්.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,783 ක් වන අතර, තවදුරටත් ආසාදිතයින් 5,568 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සම්පූර්ණයෙන්ම සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7,186 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවත් හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, සේවකයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් මීගොඩ ආයූර්වේද රෝහලද තාවකාලිකව වසා දැමීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 221 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 300 ක්.

එසේම, කොළඹ මහ නගර සභාවේ සේවකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එම බල ප්‍රදේශය තුළ ඊයේ (06) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 500 ක් සිදුකර ඇති අතර, ඉන් සියයක (100) ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ.

ඉන් 43 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව ඇය කියා සිටියා.

මේ අතර, කොරෝනා වෛරසය වැළඳුණු මව්වරුන් 28 කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් ඔවුන් සඳහා වෙන් වූ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොරෝනා ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ දක්වා එම ඒකකයට කොරෝනා වැළඳුණු ගැබිණි මව්වරුන් 80 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කර ඇති අතර, එහිදී මව්වරුන් 06 දෙනෙකු නිරෝගී දරුවන් බිහිකර ඇති බවයි එම රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා සඳහන් කළේ.

ඔහු තවදුරටත් කියා සිටියේ ගැබිණි මව්වරුන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය යුතු බවයි.

හැකියාවක් ඇත්නම් මුල්ලේරියාව, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන්ට සහ අලුත උපන් දරුවන්ට අවශ්‍ය ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග කරන ලෙසද ඔහු ජනතාව වෙතින් ඉල්ලීමක් කළා.

එමෙන්ම, කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගතයුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය සාමාජික රටවලට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

+++++++++++++++++++

(07.11.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර සිටින රෝගීන්ගෙන් වෛසරයේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන් දින 14 කට පසු නිවෙස් වෙත පිටත් කර යවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වංසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ඔවුන් නිවෙස් වෙත යොමු කරන අවස්ථාවේදි යළි පී.සී.ආර්. පරික්ෂණයක් සිදු නොකරන බවයි.

එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් පී.සී.ආර්. පරීක්ෂණයකින් තොරව සමාජයට මුදා හැරීමේ තීරණය බරපතල ව්‍යසනයක පෙර නිමිත්තක් විය හැකි බවයි.

ඒ සඳහා යොදා ගත් විද්‍යාත්මක පරීක්ෂණ වාර්තාව රට හමුවේ තැබීම රජයේ වගකීමක් බව ද එහි සඳහන්.

+++++++++++++++++

(07.11.2020 – 14:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 7723 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (07) දිනයේදී තවත් 537 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,970 ක් වන අතර, ඉන් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5217 ක් ෴

++++++++++++++++++

(07.11.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ ‘ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ’ නායක ‘සහරාන් හෂීම්’ගේ බිරිඳ වන ‘අබ්දුල් කාදර් ෆාතිමා හාදියා’ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් වැලිකන්ද රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී 25 හැවිරිදි ඇයට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර, අද (07) අලුයම ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබුණා.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 29 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 26 දෙනෙකුම කාන්තා රැඳවියන්.

එසේම, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 300 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇති අතර, ඒවායේ ප්‍රතිඵල අනුව ඔවුන්ට වෛරස ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ සීමිතවීම හේතුවෙන් පැරණි බෝගම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ රැඳවියන් 07 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා කියා සිටියේ ඔවුන් ද වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි ෴

+++++++++++++++

(07.11.2020 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරන්දෙණිය දිස්ත්‍රික් රෝහල අද (07) සිට කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රනීත් තුම්මාදුර මහතා ප්‍රකාශ කළේ රෝහල තුළ සෙසු රෝග සඳහා ප්‍රතිකාර ගෙන යන අතරතුර කොරෝනා රෝගීන් සඳහා ද රෝහලේ වෙනත් අංශයක ප්‍රතිකාර කිරීම අද (07) සිට ආරම්භ කළ බවයි ෴

+++++++++++++++

(07.11.2020 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 257 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 13,227 ක් ෴

+++++++++++++++

(07.11.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala)

සේවකයින් 5600 කට අධික සංඛ්‍යාවක් සේවය කරන හොරණ ගුරුගොඩ බොඩිලයින් ඇගලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ එම කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 81 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද (07) තහවුරු වීමත් සමඟයි.

එම කර්මාන්තශාලවේ සේවකයින්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 2000 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.සී. සේනාරත්න මහතා කියා සිටියේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,970 ක් වන අතර, තවදුරටත් 5,217 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

තවත් කොරෝනා ආසාදිතයින් 537 දෙනෙකු අද (07) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 7,723 දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ වෛරසය ආසාදනය වන පිරිස සීමාකර ගතහොත් දෙවන රැල්ල පාලනය කරගත හැකි බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෛරසය පැතිර යාමේ තත්ත්වය දිනෙන් දින වෙනස් වන බැවින්, ඊට අදාළ අවදානම් මට්ටම් 4 ක් සහ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදී ඇති බවයි.

විටින් විට යම් යම් ප්‍රදේශවල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවත්, සීමා සමඟ අනෙක් ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය සහ වෘත්තීය වැඩකටයුතු සිදුකිරීම එහි අරමුණ වනවා ෴

++++++++++++++++

(07.11.2020 – 19:11 +0530 – hirunews.lk/sinhala)

පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් බෝ නොවන රෝගීන් සායනවලින් ලබා ගන්නා ඖෂධ නිවසට ලබාදීම සඳහා හඳුන්වාදුන් වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

මේ අතර, බස්නාහිර පළාත සහ කුලියාපිටිය හා ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇදිරි නීතිය කඩ කළ 2700 ක් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

++++++++++++++++++

(07.11.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

සඳුදා (09) දිනයේ නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළහොත් සෞඛ්‍ය නිර්දේශ මත පදනම්ව, බස් ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.

ඒ අනුව තම සංගමය ප්‍රවාහන බලධාරින්ට සිදුකළ යෝජනා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හමුවේ සඳුදා (09) දිනයේදී බහුතර බස් සංඛ්‍යාවක් ධාවනය කිරීමට කටයුතු නොකරන බවයි.

දුම්රිය ධාවන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.

මේ අතර, බස්රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද, නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා සැලසුම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ ඇදිරි නීතිය ඉවත් කළහොත් අදාළ ප්‍රදේශවල සියලු ප්‍රවාහන සේවා සෞඛ්‍ය නිර්දේශ අනුව සාමාන්‍ය පරිදි සිදුකරන බවයි ෴

***************************************

(07.11.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

වෛරස් රෝගයක් හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ ගෝවා වගාව විනාශ වී තිබෙනවා.

ගොවීන් පවසන්නේ අක්කර 500 කට ආසන්න භුමි ප්‍රමාණයකට වෛරසය පැතිරී ඇති බවයි.

කල්පිටිය අර්ධද්වීපයේ දළුව, මාම්පුරිය, නාරක්කල්ලිය, ඉලන්තඩිය, සේතපොල, නොරෝච්චෝල ඇතුළු ගම්මාන රැසක ගොවීන්ගේ ප්‍රධාන වගා භෝගය ගෝවායි.

නමුත් වෛරස් රෝගය බලපෑම හේතුවෙන් ඉලන්තඩිය හා දළුව ප්‍රදේශයේ ගෝවා වගාවට අත්ව ඇති ඉරණමයි මේ.

ඉතා කෙටි කාලයක් තුළ එක් වගාවකින් තවත් වගාවකට රෝගය පැතිර යන බව ගොවීන් පෙන්වා දෙනවා.

ගොවීන් පවසන්නේ මාස කිහිපයක් තිස්සේ අදාළ රෝගී තත්ත්වයට යම් යම් ප්‍රතිකර්ම කළ ද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි.

වගාව සඳහා වැය කළ ශ්‍රමය හා මුදල් මෙලෙස විනාශ වී යාමෙන් මෙම ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

***************************************

(07.11.2020 – 15:57 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – තලංගම ප්‍රදේශයේ ඉඩමක සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (07) අලුයම පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් කහවත්ත – වැල්ලඳුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය බලංගොඩ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිත බව අප වාර්තාකරු සදඟන් කළා ෴

***************************************

(07.11.2020 – 17:01 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 5711 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානය ඊයේ (06) සිදුකළ විශේෂ මෙහෙයුම් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

ඒ අනුව, කුදිරමලේ, කල්පිටිය, තුඩාව යන ප්‍රදේශවලදී අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, වෙරළ තීරවල සඟවා තිබියදී සහ අදාළ මුහුදු සීමාවලදී මෙම වියළි කහ තොගය සොයා ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *